Tuesday, April 29, 2014

ඕං කණෝ පිණුම්

 Photo: ලෝක සාහිත්‍යය තුළ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සුවිශේෂී ‍ලේඛකයෙකු වන්නේ ඇයි?

- ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි

නවකතා ලෝකය හෙල්ලූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු පසුගිය බ්‍රහස්පතින්දා මියගියේය. හේ කොලොම්බියානු ‍ලේඛක ගේබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ය. ඔහුගේ මරණය වෙනුවෙන් කොලොම්බියාව දින තුනක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර ලංකාවේ අපි අවුරුදු නිවාඩුව ගතකරමින් සිටියෙමු. මා සිටියේ අපේ ගමේ අවුරුදු උත්සවයක කණාමුට්ටිය බිඳීමේ තරගයක් විනිශ්චය කරමිනි. මේ ලිපිය ලියන්නට හිඳගත් මොහොතේ සිටම, ගාර්ෂියා මාර්කේස් මිය යන විට මා කරමින් සිටි දේ නැවත සිහිවන්නට විය.
කණාමුට්ටිය බිඳීම අපූරු තරගයකි. එය ගාර්ෂියා මාර්කේස් පවා කැමති වන්නට ඉඩ ඇති තරගයක් බව මට සිතේ. හොඳින් ඇස් පෙනෙන අයගේ ඇස් වසා අනික් ඉන්ද්‍රියන්ගෙන් ලෝකය ග්‍රහණය කරගෙන එහි සාර්ථකත්වය අත්කරගන්නා සැටි කණාමුට්ටිය බිඳීමේ ක්‍රීඩාවෙන් පුහුණු කෙරේ. “එදිනෙදා සංවේදීතාව“ ඉක්මවා මිනිස් ජීවිතයේ ඇති ආශ්චර්යවත් බව දකින්නට ඉඩ සැලසීම ගාර්ෂියා මාර්කේස්ගේ කතා කලාවේ ඇති ලක්ෂණයකි. එය නම් සෑම විශිෂ්ට සාහිත්‍යකරුවෙකු වෙතම තිබිය යුතු ලක්ෂණයකි.
සිය කෘතිය වෙත තමාගේම කැමැත්තෙන් එළඹෙන රසිකයෙකුගේ ෙදෙනිකත්වයේ දෘෂ්ටිය රචකයාගේ කලාත්මකත්වයේ අසිරිමත් පටලයෙන් වසන සාහිත්‍යකරුවා රසිකයා වෙත ඒ ෙදෙනික දෘෂ්ටිය ඉක්මවූ දැක්මක් ලබා දෙයි. ගාර්ෂියා මාර්කේස් යනු මේ කාර්යය ඉතා ආකර්ෂණීය ලෙස කරන ‍ලේඛකයෙකි. ඔහු එදිනෙදා සත්‍ය ජීවිතය ඇසුරින් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නිපදවන්නේ අසිරිමත් ආකාරයටය. ඔහු ලියන සෑම වැකියක්ම ඔහුටම ආවේණික වූ ද ආකර්ෂණීය වූ ද ලෝකයක් සේ අපට දැනේ.
ගේබ්රියල් ගාර්ෂියා මාර්කේස්ගේ හුදෙකලාවේ වසර සියයක් නවකතාව 1967දී පළවීම ලෝක සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සේ විය. එය පළ වූයේ ලෝකයේ ප්‍රධානම සාහිත්‍ය ශානරය වූ නවකතාව එක්තරා අලුත්ම කලාත්මක අසිරියක් සොයමින් සිටි කාලයකය. නවකතාව නම් සාහිත්‍ය ශානරය අදටත් ලෝකයේ ප්‍රධානම සාහිත්‍ය ශානරයයි. එය විවිධ ස්වරූපයෙන් මතු වෙයි. ඉතා තාත්වික යථාර්ථවාදය ලෙසටත් ඉතා    පර්යේෂණකාමී ස්වරූපයන්ගෙනුත් නවකතාව නමැති කලාව ලොව පෙනී සිටියි. එහෙත් නවකතා කලාව කලින් කලට නව කලාත්මක දේශසීමා  ගවේෂණයද සිදු කරයි. 1922 වර්ෂයේදී ජේම්ස් ජොයිස් නවකතා කලාවේ කලාත්මක දේශසීමාව අතිශයින් පුළුල් කළ ‘යුලිසිස්’ ලිව්වේය. 1914-15 කාලයේ ලියවී 1925දී පළ වූ ප්‍රාන්ස් කෆ්කාගේ ට්‍රයල් නවකතාව ලොමු දැහැගන්වන උපමා කතාවක් නවකතා කලාව වෙත එක් කළේය. ඉන්පසු 1967දී හුදෙකලාවේ වසර සියයක් පළවීම තවත් එවැනි අසිරිමත් සිද්ධියකි. 1980 වර්ෂයේදී සල්මාන් රුෂ්ඩිගේ මිඩ්නයිට්ස් චිල්ඩ්රන් පළවීම එවැනි සංසිද්ධියක් යැයි සැලකේ. එය ගාර්ෂියා මාර්කේස්ගේ අතිවිශාල බලපෑමට යටත් වූ රසවත් නවකතාවකි. දැන් හරුකි මුරකමි අමුතුම නවකතා කලාවක් වර්ධනය කර ඇත.
නවකතා පිළිබඳ ලෝක කතිකාව තුළ මේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතාබහ පැවතුණද තාමත් ජාත්‍යන්තර භාෂාවලට නැගුණු සේම නොනැගුණු මෙවැනිම පර්යේෂණකාමී නවකතා ලෝකයේ විවිධ සාහිත්‍ය සංස්කෘතිවල මෙකී කාලවකවානුවල හෝ ඊට පෙර සිදුවී තිබෙන්නට ඉඩ ඇත. නිදර්ශනයක් ලෙස තායි ‍ලේඛක කුක්රිත් ප්‍රමෝජ් 1954 වර්ෂයේදී ලියූ නොයෙක් ජීවිත යන අරුත ඇති නවකතාව යුරෝපීය නවකතා කලාව හා බෞද්ධ කතා කලාව මුසු වූවකි. එය ‘මැනි ලයිව්ස්’ යනුවෙන් ඉංග්‍රීසියට නැගී ඇත. 1959දී කුරටු‍ලේන් හයිඩර් නම් ‍ලේඛිකාව උර්දු බසින් ලියූ ආග් කා දාර්යා හෙවත් අග්නි ගංගාව නවකතාව ගාර්ෂියා මාර්කේස්ටත් පෙර ගැඹුරු පර්යේෂණකාරී නවකතාවක් ලියයි. එය බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය සම්භාව්‍ය කතා කලාවන්හි ආභාසය ලබයි. එය රිවර් ඔෆ් ෆයර් යනුවෙන් ඉංග්‍රීසියට නැගී ඇත. ගෝතමාලා ‍ලේඛක මිගෙල් අන්හෙල් අස්තුරියාස්ගේ මෙන් ඔෆ් මේස් නවකතාව 1949දී පළවූ අතර ඇමෙරිකානු මහද්වීපයේ විසූ ඇතැම් ස්වදේශික ඇමෙරිකානු සංස්කෘතීන්ට අයත් ජනප්‍රවාද හා කතා කලාවන්හි ආභාසය ලැබූ අතිශය නිර්මාණශීලී නවකතාවකි. මේ මගේ ඉතා සීමිත දැනුමට හසුවූ කෘතිවලින්ද කීපයක් පමණි.
එහෙත් ගාර්ෂියා මාර්කේස්ගේ හුදෙකලාවේ වසර සියයක් නවකතාව පළවීම නිසා එවැනි පර්යේෂණකාමී ප්‍රබන්ධ රචකයන්ගේ කෘති අගය කරන්නට න්‍යායික හා කතිකාමය අවකාශය නිර්මාණය විය. කෆ්කා වැනි      ශ්‍රේෂ්ඨ ‍ලේඛකයන් තමන්ගේම පූර්වගාමීන් නිර්මාණය කරන බව හෝර්හේ ලුයීස් බොර්හේස් නම්                               විශිෂ්ට සාහිත්‍යධරයා වරක් කීවේය. එය ඉතා අපූරු කියමනකි. ඉන් ඔහු අදහස් කළේ ශ්‍රේෂ්ඨ ‍ලේඛකයන් තමන්ගේ අනුගාමිකයන් නිර්මාණය කරන බව නොවේ. තමාගේ නිර්මාණ කිරීමත් සමග තමා ගිය මග ගිය පූර්වගාමීන් අලුතෙන් හඳුනාගන්නට ඉඩ ලබාදෙන බවය. මේ වූ කලී ගාර්ෂියා මාර්කේස් සම්බන්ධයෙන්ද සත්‍ය වන කරුණකි. ඔහුගේ ප්‍රබන්ධ කතා පළවීමත් සමග ප්‍රබන්ධ රචනා ක්‍ෂේත්‍රයේ ඔහු කළ දේට සමාන දේ කළ තවත් ‍ලේඛක ‍ලේඛිකාවන්ගේ සාහිත්‍යයික ව්‍යයාමය නව අර්ථයකින් නැවත වටහාගන්නට ඉඩ ලැබිණි.

මැජික් යථාර්ථවාදයේ ආශ්චර්ය

මැජික් රියලිස්ම් යැයි ප්‍රකට වූ ප්‍රතිනිර්මාණ විධිය ගාර්ෂියා මාර්කේස්ගේ නිර්මාණයක් නොවුණත් එය ලෝක සාහිත්‍ය සිතියමෙහි කේන්ද්‍රයට ගෙන ඒමට හුදෙකලාවේ වසර සියයක් හේතුවිය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ ඕනෑම පිටුවකින් පාහේ මැජික් යථාර්ථවාදය නම් ෙශෙලියට නිදසුන් හොයාගන්නට පුළුවන. මිනිස් දිවියේ ලෞකික හේතුඵල තර්කනය ඇසුරින් විස්තර කළ හැකි ෙදෙනික සිදුවීම් සමග අනපේක්ෂිත මොහොතක ඇදහිය නොහැකි ආශ්චර්යමය සිද්ධි එක්වීම ඒ ෙශෙලියේ ලක්ෂණයකි.
මේ එක් නිදර්ශනයකි. “විශේෂ දූතයෙක් කර්නල් ඔරෙලියානෝ බුවෙන්දියාගේ මුදු මොළොක්
අතින් මෙසේ ලියන ලද කඩදාසියක් ඇතුළත දමා මුද්‍රා තබන ලද ලියුම් කවරයක් රැගෙන ආවේය. “තාත්තව හොඳින් බලා ගන්න. මොකද එයා මැරෙන්නයි යන්නෙ.” “ඔරෙලියානෝ එහෙම කියනවා නම් එයා ඒක දන්න හින්දයි කියන්නෙ” ඇය කීවාය. හොසේ ආර්කාදියෝ බුවෙන්දියා ඔහුගේ නිදන කාමරයට ගැනීමට ඇය ඔවුන්ට උදව් කර තිබුණි. ඔහු කවදත් වගේම ඉතා බර වූයේ පමණක් නොව චෙස්නට් ගස යට ගත කළ දීර්ඝ කාලය තුළ ඔහුට හිතෙන හිතෙන හැටියට සිය ශරීරයේ බර වැඩිකරගැනීමේ විශේෂ හැකියාවක් ඔහු විසින් වර්ධනය කරගෙන තිබිණි. එය කෙතරම් වීද යත් පිරිමි හත් දෙනෙකුට පවා ඔහු ඔසවාගෙන යා නොහැකි වූ නිසා ඔහු ඇඳ වෙත ඇදගෙන යාමට ඔවුන්ට සිදු විය.” මේ වූ කලී නවකතාවේ දහවැනි පරිච්ජේදයෙන් අහඹු ලෙස ගත් කොටසකි. සිය පියා මිය යමින් සිටින බව නිවසින් බැහැරව ඉතා දිගු කාලයක් රණබිමක ගත කරන කර්නල් බුවෙන්දියාට හාස්කමකින් මෙන් පෙනෙන සැටිත්, සිය සිරුරේ බර හිතූ හිතූ තරමට වැඩිකර ගැනීමේ පියාගේ අමුතු ශක්තියත් එම කොටසින් අපට පෙනේ. එම නවකතාවේ පෙරළන පෙරළන තැන පාහේ එවැනි තැන් දැකිය හැකිය. එය ඔහුගේ මායා යථාර්ථවාදී ෙශෙලියේ ලක්ෂණයකි.
එම ෙශෙලියේ දැඩි හෙවණැල්ල මෝහන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නවකතාවේ දක්නට ලැබේ. එහෙත් ගාර්ෂියා මාර්කේස්ගේ මායා යථාර්ථවාදය යනු ඒ ෙශෙලිය පමණක් නොවේ. ඒ ෙශෙලිය ඒ මායා යථාර්ථවාදයේ කොටසක් බව නම් ඇත්තය.
ගාර්ෂියා මාර්කේස්ගේ නවකතා (විශේෂයෙන් හුදෙකලාවේ වසර සියයක් සහ කොලරා කා‍ලේ ආ‍ලේ) ඉතා පර්යේෂණකාමී වුවද සාමාන්‍ය සාහිත්‍ය පාඨකයා කොන් කරන විදග්ධ නවකතා කලාවක් නොවේ. ඔහුගේ ලෝ ප්‍රකට කීර්තියට එක් හේතුවක් නම් නවකතා කියවන සාමාන්‍ය පාඨකයාටද පවා විඳිය හැකි ෙශෙලිමය කලාත්මකත්වයක් ඔහුගේ කෘති තුළ තිබිමයි. ඔහුගේ මෙම මායා යථාර්ථවාදයේ ස්වභාවය ගැන                             නිරීක්ෂණයක් කරන ලතින් ඇමෙරිකානු සාහිත්‍ය පිළිබඳ     විශේෂඥයකු වූ මහාචාර්ය ජෝන් එස්. බ්‍රෂ්වුඩ් මෙසේ කියයි. හුදකලාවේ වසර සියයක් නවකතාවේ (නිරූපිත) යථාර්ථය ඉතා අමුතු එකක් වුවද දුෂ්කර ආඛ්‍යාන ශිල්පක්‍රම මගින් ගොඩනගන ලද සීමා බාධක නොමැති නිසා එය පාඨකයාට සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැක්කකි.” (මොඩර්න් ක්‍රිටිකල් වීව්ස්: ගාර්ෂියා මාර්කේස් - 1988 පිටුව. 227) මෙය නිවැරදි   නිරීක්ෂණයකි. එහෙත් ඔහුගේ කෘති හුදෙක් පවතින්නේ සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය දැනීමේ මට්ටමේ නොවේ. තේමාත්මක ගැඹුර ඇත්තේ කාටත් පාහේ විඳිය හැකි ආඛ්‍යානයක කේන්ද්‍රීය රූපකය වෙතය. එය අවශ්‍යයෙන්ම සෑම පාඨකයෙකුටම එකවර වැටහී යන්නක් නොවන්නට ඉඩ ඇත.

සියලු දෙයෙහි යථාර්ථය

සියක් වසරක හුදෙකලාව කෘතිය ලතින් ඇමෙරිකානු මහද්වීපයට ආවේණික ස්වභාවිකත්වය, එහි මිනිසුන් ජනකතා, ගමකතා, විහිළු, යාන්හෑලි, පුරාණෝක්ති සියල්ල එකට කැටිකරගත් දැවැන්ත රූපකමය ගොඩනැංවීමකි. එය මදක් කියවාගෙන යන විට අප වසන ලොවට වඩා වෙනස් හේතුඵල තර්කනයකින් යුතු අමුතු ලොවක් වෙත පිවිසුණාක් මෙන් අපට දැනේ. ගාර්ෂියා මාර්කේස් මේ ලෝකය ගොඩනගන්නේ කොලොම්බියාවේ සැබෑ ඉතිහාසය වටාය. නවකතාවේ එන ප්‍රබන්ධමය නගරය වන මැකොන්දෝවේ නැග්ම, අර්බුදය හා වැටීම ගාර්ෂියා මාර්කේස් උපන් අරකතාසා නගරයේ ඉතිහාසයට සමාන්තර බව දැන් ප්‍රකට කාරණයකි. (එම නගරය අරකතාසා - මැකොන්දෝ යැයි නම් කරන්නට ජනමත විචාරණයක් පවා පසුකලෙක පැවැත්වුවද එය අසාර්ථක විය) වරක් එන්පීආර් ගුවන්විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ගාර්ෂියා මාර්කේස් මෙසේ කීවේය. “මගෙ ජීවිතේ පැහැදිලි දෙබෙදුමක් තිබුණා. එකක් තමයි මගෙ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය. ඒකෙ තිබුණෙ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසෙ. ඊළඟට මගෙ ආච්චිගෙ ලෝකෙ. ඒක සම්පූර්ණයෙන්ම  යථාර්ථයෙන් පිට තිබුණු ෆැන්ටසිමය ලෝකයක්. මේ කතා වර්ග දෙකම අද අපි හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ දකින ලෝකය ගොඩනගන්නට දායක විය.
ගාර්ෂියා මාර්කේස් දශක පහක් පමණ ජීවත් වූ මෙක්සිකෝවෙන් බිහි වූ ලෝ ප්‍රකට ‍ලේඛක කාර්ලෝස් ෆුවෙන්තේස් සිය පරම්පරාවටම අයත් මිතුරු ‍ලේඛකයා ගැන අපූරුවූද සංකීර්ණ වූද රචනාවක් විය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ සංරචිත යථාර්ථයේ අඩංගු වනදේ ෆුවෙන්තේස් මෙසේ විස්තර කරයි. මැකොන්දෝව නිවැරදිව දැන ගැනීමට නම් සියලු “සැබෑ” ඉතිහාසයද සියලු “ප්‍රබන්ධමය” ඉතිහාසයද, උසාවි මගින්  පිළිගන්නා  සියලු සාක්ෂිද , මහජන  වාර්තා තබන්නන් විසින් සහතික කරන ලද සියලු සාක්ෂිද, වැඩිහිටියන්  බාලයන්ට කියූ අවිවාහකව වයස ගිය ස්ත්‍රීන් පූජකවරුන්ගේ කනට කොඳුරා කියූ යකැදුරන්  විසින් මැදියම් රැයේ ඇවිස්සූ  විකටයන් විසින් නගර චතුරශ්‍රයේ රඟදැක්වූ කටකතා ජනප්‍රවාද, ඕපදූප, සාවද්‍ය ආගමික කතා, අතිශයෝක්තීන් ආදියද කිසිවෙකු විසින් ලියා නොතබන ලද උපමා  කතාද මැකෝන්දෝ යථාර්ථයට අයිති බව දත යුතුය. මැකොන්දෝවේ සහ බුවෙන්දියා පවු‍ලේ මේ සාගාව කටකතාවේ එන ඉතිහාසයද ජනප්‍රවාදයද  ඇතුළත් සමස්ත  ඉතිහාසයක් නිසා නිල වූද ලියා තබන ලද්දා වූ ද ඉතිහාසය ඒ කාලය වටහා ගැනීමේලා අප්‍රමාණවත් බව අපට කියනු ලැබේ. එපමණක් නොව             පුරුෂයන් සහ ස්ත්‍රීන්  විසින් දකින ලද සිහින, පරිකල්පනය කරන ලද දේ ආසා කරන ලද දේ නම් කරන දේ යන සියල්ල මේ ඉතිහාසයට අයිතිය. (ෆුවෙන්තේස්ගේ ලිපිය “මයි සෙල්ෆ් විත්  අදර්ස්” කෘතියේ අඩංගු වේ.)
ෆුවෙන්තේස් කියන දේ නිවැරදිය. ගාර්ෂියා මාර්කේස් ලියූ ආකාරයට ලියූ ෙශෙලිමය පූර්වගාමීන්  කතෛකුත් සිටියද ඔහු ගොඩනගන ‘සමස්ත’ යථාර්ථයක්  සංරචනය කරන්නට හැකිවන්නේ ඔහුටය. හුදෙකලාවේ  වසර සියයක් නවකතාවේ ආරම්භයේදීම පිටිසර වූද ශිෂ්ටාචාරයෙන් දුරස්ථ වූද ප්‍රාථමික නිද්‍රාවක තාමත් ගැලී  සිටින්නා වූද මැකොන්දෝ  නමැති කුඩා  ජනපදය වෙත එන අහිගුණ්ඨික කණ්ඩායමක නායකයෙකු වන මෙල්කියාදේස් විශාල කාන්දම්  කෑලි දෙකක් රැගෙන එයි. ඒ කාන්දම්  කෑලි රැගෙන යන යන තැන අහුමුළුවල සැඟව තිබුණ යකඩමය දේවලට පණ ඇවිත් කාන්දම් වෙත ඇදේ. මේ මැකොන්දෝ  වෙත නූතනත්වයේ පළමුවැනි මහා පුදුමයයි. මෙල්කියාදේස් මෙසේ කියයි.
“දේවල්වලටත් ඒවටම ආවේණික ජීවිතයක් තියෙනවා. කළ යුතු දේ තමයි ඒවාගෙ ආත්ම ඇහැරවල  ගන්න එකයි.”
මා දකින හැටියට ගාර්ෂියා මාර්කේස් ප්‍රබන්ධ කතා ලියූ පෑන මෙල්කියාදේස්ගේ කාන්දම්  කෑලිවලටත්  වඩා බලගතුය.  ඔහුගේ පෑන ඉතා අප්‍රාණික දේවල පවා ආත්මය අවදි කරවයි.  මිනිස් තර්කනය  පමණක් “සැබෑ ප්‍රාණය” සේ දකින නූතන මිනිසුන්  වන අපි ඔහුගේ පණ දීමට මායා යථාර්ථවාදය යැයි කියමු.
හුදෙකලාවේ වසර සියයක් අපූරු නවකතාවක් බව ඇත්තය. එහෙත් ඔහුගේ නවකතා අතර වටහා ගැනීම වඩාත් දුෂ්කර නවකතාවක් සේ මට දැනෙන “ඕටම් ඔෆ්ද පේට්‍රියාක්” කෘතිය  අද අපට එන්න එන්නම අදාළ  වන සෙයක් දැනේ.  එහි සංරචනය කෙරී ඇත්තේ  ජනතාව විසින් බියෙන්, භක්තියෙන්, දේවත්වයෙන් සලකන ගෝත්‍ර  නායකයකු ඒකාධිපතියෙකුගේ රටකට සිදුවන දේය. නම් නොකරන ලද කැරිබියානු රටක වසන මේ මිලිටරි ඒකාධිපතියා අඩු තරමින් අවුරුදු දෙසීයක් වත් ජීවත් වෙයි. ඔහුගේ  බලය කොතරම්ද යත් ඔහු අණ  කළ විට කාලය ගමන් කිරීමද නවතියි. එපමණක් නොව කාලයට ආපසු  යන්නට අණ කරන්නටත්  ඔහුට පුළුවන.  ඔහු සිය බලය බෙදා හදා ගන්නේ සිය පවු‍ලේ අය සහ ‍ලේ  ඥාතීන් සමග පමණි. ඔහු පාලනය කරන රටේ සියලුම දේවල ඔහුගේ නම ඇති අතර වහු පැටවුන්  පවා උපදින්නේ මේ පාලකයාගේ නම දරාගෙනය. එය වූ කලී  ගුවන් තොටු‍පොළ, වරාය, පාසල්  වැනි දේ  පාලකයා නමින්  කිරීමේ ක්‍රියාවලියේම මායා යථාර්ථමය දිගුවකි. එපමණක්  නොව නවකතාවේ  ඇති ඔහු  ඔහුගේ මගේ  ආදී සියලු  සර්වනාමවලින් හැඳින්වෙන්නේ පාලකයාම මිස අනිකෙකු නොවේ. ඔහු  තමාගේ නොවන , තමා පිණිස නොවන, තමාගෙන් හට නොගත්තා වූ , තමා සමග නැති සියල්ල විනාශ කරයි. එහෙත්  ඔහු උපතින් ගෙනා සීමාවන් ද ඇති සීමාසහිත මිනිසෙකි. ඌරෙකු  තරම් විශාල  අණ්ඩකෝෂයක් ද ඇති මේ ඒකාධිපතියා සිය ජීවිත කාලයම හර්නියාවෙන් වේදනා විඳියි. ලෝක ධනවාදීන්ගේ නොමද අනුග්‍රහය ලබන මේ පාලකයා  සමස්ත රටම අපායක් කර, සමස්ත ජනතාවම  වනචාරී වියරුවකට ඇද දමයි.  එවැනි අසීමිත අපරීක්ෂිත  ඒකාධිපති  වියරුවක් වර්ධනය වීමට ඉඩහල ජනතාවක් වෙත සෘජු  විවේචනයද ඉතා සීරුමාරුවෙන් සිය මනරම්  ගද්‍ය වෙත රිංගවන ගාර්සියා  මාර්කේස් අසීමිත බලකාමය පිළිබඳ ලොමු දැහැගැන්වෙන රූපයක් ගොඩනගයි.

වමේ ‍ලේඛකයෙකු ලෙස මියගිය ධනවත් ප්‍රබන්ධ රචකයා

ගාර්ෂියා මාර්කේස් සැලකෙන්නේ කියුබානු නායක ෆිදෙල් කැස්තේ‍රා් සමග අඛණ්ඩ මිත්‍රත්වයක්  පවත්වා ගත් ‍ලේඛකයෙකු ලෙසයි. ඔහු සමාජවාදී  ලෝකයක් පිළිබඳ මියෙන තුරුම විශ්වාස කළේය.
එය දේශපාලනික වශයෙන් කෙතරම් දැනුවත් විශ්වාසයක්ද යන්න මම නොදනිමි. එහෙත් ඔහු ඇමෙරිකානු අධිරාජ්‍යවාදය සහ ධනවාදය ලතින් ඇමෙරිකානු  කලාපයට  කළ විනාශය ගැන නිතරම ලිව්වේය. හුදෙකලාවේ වසර සියයක්  නවකතාවෙහි පවා එය දැකිය හැකිය. ඔහුගේ සමාජවාදය   පිළිබඳ විශ්වාසය සමග ඔහුගේ  සාහිත්‍ය කලාව සම්බන්ධ කරන්නට ඔහු නිතර තැත් දැරුවේය. ඒ නිසා ඔහු වරක් මෙසේ  කීවේය. “හුඟක් දෙනෙක් විශ්වාස කරනවා මම ෆැන්ටසිමය ‍ලේඛකයෙක් කියලා. ඇත්තටම මම යථාර්ථවාදී කෙනෙක්. මම ලියන්නෙ සැබෑ සමාජවාදී යථාර්ථවාදය කියල මං විශ්වාස කරන දේ.”
මා ඉහතින් විස්තර කරන්නට තැත් කළේ ගාර්ෂියා මාර්කේස් සැබෑ සමාජවාදී යථාර්ථවාදය යැයි  හඳුන්වන දෙයයි. එය වූ කලී කෆ්කා, ෆෝල්කනර්, ජොයිස්, වර්ජිනියා වුල්ෆ් සේම ඩිකන්ස්, ටොල්ස්ටෝයි ද අඩංගු කරගත් සමාජවාදී  යථාර්ථවාදයකි. එහෙත්  අප රට සාමාන්‍යයෙන් සමාජවාදී යථාර්ථවාදය යැයි සැලකෙන්නේ කෆ්කා හතුරෙකු ලෙස දකින්නට ලූකාශ්ගෙන් උගත් සමාජවාදී  යථාර්ථවාදයයි. ගාර්ෂියා  මාර්කේස්ගේ මරණය අඩු තරමින්  ඒ වරද ගැනවත් යළි සිතන්නට අප නො‍පොළඹවන්නේ
නම් ඔහුගේ මරණයත් අපේ රටේ සිදුවන  සියලුම මරණ මෙන් මරණ බිය හැර අන්  කිසිම දෙයක්      නූගන් වන නිරර්ථක මරණයක් වන්නේය.

ලක්බිම ඉරිදා සංග්‍රහය


එදිනෙදා සංවේදීතාව“ ඉක්මවා මිනිස් ජීවිතයේ ඇති ආශ්චර්යවත් බව දකින්නට ඉඩ සැලසීම ගාර්ෂියා මාර්කේස්ගේ කතා කලාවේ ඇති ලක්ෂණයකි. මේ වචන ටික මම ණයට ගත්තේ ලියනගේ අමරකීර්ති ලියු සටහනකින්ය.ඒ ගාර්ෂියා මාර්කේස් ගැන ඔහු ලියන සටහනකින්ය.මාර්කේෂ් මරණය ගැන අමරකීර්ති දැන ගන්නා විට ඔහු ඉද ඇත්තේ ගමේ අවුරුදු උත්සවයකය.ඒ කණා මුට්ටිය බිදීම විනිශ්චය කරමින්ය.
ඔහු එතැන සිට කණා මුට්ටිය බිදීම සහ මාර්කේෂ්ගේ ඉන්ද්‍රජාලිකවාදය ගැන අපූරු ගැලපීමක් කරන්නට සූදානම් වෙයි.ණයට ගත්තේ ඒ ගැන කියන වචන ටිකය.
ඇස් බැන්දාම පේන්නෙ කොහොමද?එවිට අනෙකුත් ඉන්ද්‍රියන් පෙනීමේ අඩුව පිරිවීම සදහා සංවේදී වන්නේය.කණට ඇසෙන හඩවල් සුළගේ සැළෙන තුරුපත් පවා මෙසේ ඇස් බැදි කණෙකුට නිවැරදි ඉලක්කයට යන්න පාර පෙන්නන්නේය.ඒ සදහා ක්‍රියාත්මක වන්නේ හිතය.තව විදිහකට කියන්නේ නම් මේ සදහා අතිශයින් වැදගත් වන්නේ මානසික ඒකාග්‍රතාවය ය.පොළව පයට ස්පර්ශ වන්නේ කෙසේද?ඒ වෙනස්කම් සිය මනසින් අල්ලා ගන්නට කණා දන්නේය.එය ද ශබ්දය මනසින් අල්ලා ගන්නා ආකාරයේම වැඩකි.
මේ වැඩේට ඉව කිරීමේ හැකියාව කියා කියන්නට ද පුළුවන.ඉව හා බැදුණු ජෛව විද්‍යාත්මක කතාව හරියටම කියන්නට නොදැනිම ගැන කණගාටුය.ඒ නොදන්නා නිසාය.නමුත් කණා මුට්ටියේ දී ඉතා හොද මනසින් නොපෙනෙන ඇස වෙනුවට අනෙකුත් ඉන්ද්‍රීයන් ඒකාතිමික කළ යුතුය.
නමුත් මට අමරකීර්ති කියන මේ කණාට වඩා අපේ සමාජය තුළින් පේන්නේ කණා මුට්ටිය බිදින්නට යන කණා වටා රොක් වී කෑ ගසන පිරිසය.පොල්ලක් අතේ ඇති ඇස් බැදපු මිනිහෙක් වටේ එක් වී ආතල් එකට කෑ ගසන ඔව්හූ මේ පොල්ලේ අවදානම නොදකින්නේය.කොයි මොහොතක හෝ මේ හඩ සංඥා වලට අනුව කණා ක්‍රියාත්මක වුවහොත් වටේ ඉන්න එකෙක්ගේ ඔළුව පැණි මුට්ටිය බින්ද ගාණට ඉහිරි යන්නට පුළුවන.
දැන් හුග දෙනෙක් වැඩ කරන්නේ අන්ධයා අතට පොල්ල දී ඔහුට හුරේ දමන මානසිකත්වයෙන් බව පැහැදිළිය.අන්ධයාට කිසිවක් නොපෙනෙන බව පැහැදිළිය.නමුත් අතේ ඇති පොල්ලෙන් ඔහු ගහන කණේ පාරවල් වලින් යමක් කඩා වඩා ගැනීම පිණිස ඔහු වටා රොක්වන කිසිවෙක් මේ පොල්ලේ අවදානම නොදකින්නේය.විටෙක මේ අන්ධ හැසිරිම තුළ තමා හෝ තමාගේ ඥාතියා හෝ මිත්‍රයා ද ගොදුරක් විය හැකි බව මේ අන්ධයා පසුපස යන විට නොදැනීම හෝ නොහැගීම කාලීන ගැටළුවය.මෙය දකින විට හැගෙන්නේ ඇස් බැදි එකාට පමණක් නොව ඇස් නොබැදි එවුන්ටද දැකීමක් හෝ පෙනීමක් නොමැති බවය.
ඇතැම් කණුන්ට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට යැයි බලය දුන් විට ඔහු වෙනත් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිට එහි වරප්‍රසාද භුක්ති වදිමින් බලය දුන් එකාට කොකා පෙන්නන්නේය.එහෙත් ඊ ළග අවස්ථාවේදී ඔහුට බලය එන්නේය.ඒ ඔහුට ද බලය ප්‍රදානය කරන්නන්ටද ප්‍රතිපත්තියක් නැති නිසාය.ඒ මේ දකින සියළු පිණුම් සහ පැණුම් කණා පිණුම්ය.කණා පැණුම්ය

නූතණ පුරගනගේ ගැයුම



උගසට අරං මගේ ජීවිතේ පොලියට දුන්නු දරුවත් සමග මම හිදිමි දැන් මාවතේ කාටද ඕනි මගෙ ආදරේ කොටස් කර විකුණමි මිල පාලනය පවරා සිල්ලර කඩේ බඩු මිලට

Monday, April 28, 2014

කුරුල්ලා නපුරෙක් වීම

පුංචිකාලෙ හෙළුවෙ වගක් නැත.කුරුල්ලා එලියෙ දමා ගෙන ගමණක් වුව ගොස් පැමිණිය හැකිය.පොඩි තව් කෙනෙක් හෙවත් බාල අපරාධකරුවෙක් නරක අදහසකින් එළියෙ දමා ගෙන සිටින කුරුල්ලා හුරතල් කෙරුවත් කවුරුත් ගාණකට ගන්නෙ නැතේ කොල්ලා තරමටම උගේ පොඩ්ඩාද හුරතල් යැයි සිතන නිසාය.මෙසේ පුංචි කුරුල්ලන් නැට වූ කී දෙනෙක් ඒ නටවා ඇත්තේ දරු සෙනෙහසින් නොවන බවට කරුණු ඒත්තු යන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය.


දැන් පොඩ්ඩෝ පොඩි නැත.ශිෂ්‍යත්වය කරන කාලෙ වන විටම ඔවුන් කොහෙන් හෝ හෙළුවැලි පිංතූරයක් කතාවක් බලා අවසන්ය.එසේ නොමැති එකෙකු සොයා ගැනීම දුෂ්කරය.ඒ නිසා මාමලා අයයිලා කුරුල්ලන් හුරතල් කරන්න එන්නේ ආදරයට නොව වෙනත් පරමාර්ථ වලින් බව දැන් ඉන්න පොඩි එව්වන්ට ඉබේ වැටහෙන්නේය.ඒත් තවමත් වෙන දේවල් කියන්නට තරම් වැඩිහිටියා සහ පොඩි දරුවා අතර තිබිය යුතු සමීප සම්බන්ධය නඩත්තු කරන්නට පවුල අසමත්ව ඇත.
තෝ මොකටද එපා කියල තියෙන තැන් වල රිංගුවෙ යනුවෙන් පොඩි එකාටම විරුද්ධව එන පළමු ගෝරනාඩුව නිසා මේ ගැන කියන්නට කට අරෙන්නේ නැති තරම්ය.එහෙත් කොහෙන් හෝ තැනකින් වැඩේ පත්තු වීමට ඇති ඉඩ වැඩිය.
එ් නිසා දැන් කාලයේ පොඩි එකීලා තරමටම  පොඩි එව්වෝද පරිස්සම් කළ යුතුය.ඒ සදහා ඉබි යතුරු දමා දොරවල් වසා කොල්ලෝ ගේ ඇතුළට දමා පලක් නැත.කොල්ලන් ගැන ඉවසිල්ලෙන් සහ විමසිල්ලෙන් බැලීම දෙමව්පියන්ගේ යුතුකමය.ඒ කියන්නෙ යන යන තැන හෙවනැල්ල මෙන් පස්සෙන් වැටී සිටිීම නොවන අතර දරුවා සමග මේ කාරණා පිළිබදව විවෘතව කතා කිරීමය.අඩු ගාණෙ පුතේ කාටවත් ඔයාගෙ චූ පැටිය හෙම අල්ලන්න දෙන්න එපා.ඔයා එපා කියද්දි අල්ලන්න ආවෝත් ඒ වෙලාවෙම හරි එදාම හරි මට කියන්න ඕනි.දරුවාට මේ ටික කියා දෙන්නට තාත්තලාට පෞරශයක් තිබිය යුතුය.දැන් කාලේ මාමලා අයියලා පමණක් නොව ඇන්ටිලා සහ අක්කලා ද චූටි කුරුල්ලන් හුරතල් කරන්නට ප්‍රියතාවයක් දක්වන බව පැවසෙන ප්‍රවෘත්ති වාර්තා වන බැවින් ඒ පිළිබදවද දරුවා ට පෙර උපදේශයම ලබා දී තිබීම වැදගත්ය.
දැන් ඒ වගේම අනිත් පැත්තටත් පුංචි කරුල්ලන් ද දඩයම් සිත් ඇත්තෝ වීමට හැකි බැවින් ඇන්ටිලා සහ අක්කලා ද මල්ලිලාගේ කුරුළු පිණුම් වලට උඩගෙඩි දෙන්නට යාම හොද නැත.ඒ සමහර විට දන්නෙම නැතිව පුංචි කරුල්ලන්ට දඩයම් විමට ඉඩ-කඩ පවතින නිසාය. 

Sunday, April 27, 2014

විල්පත්තු විරෝධය ආයෙත් පටන් ගමු!

විල්පත්තුවෙ විරෝධය සාමාන්‍යය විදිහට හුළං ගිහින්.ටික දවසක් මිනිස්සුන්ට ඇත්තම ප්‍රශ්න අමතක කරන්න මේ වගේ එකක් එනවා.තවමත් ගෝත්‍රික ගතිය ගියෙ නැති තැන් වල මේ වගේ විරෝධවල තියෙන ජාතිවාදි හෝ ආගම්වාදි පසුබිම ගෑවුන ගමන් භූමිතෙල් වැදුණු ගැරඩි වගේ තමයි.සිහි එළව ගන්නෙ නැතිව දුවන්නන් වාලෙ දුවන්න ගන්නවා.හති වැටුණම නවතිනවා.දැණුත් මේ ඒ වගෙ හති වැටුණු වෙලාවක හති අරින ගමන් ඉද්දි විල්පත්තු විරෝධය දේශපාලනිකව තේරුම් අරං කරන්න ඕනි එකක් කියප යෝජනා කරන්න හිතුණා.


මේ රටේ ජීවත් වෙන ඕනිම ජාතියක ආගමක මිනිහෙක්ට පොදු පහසුකම් සහිතව ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න බැදිල ඉන්නෙ ආණ්ඩුව.ඒක සිංහල බෞද්ධයන්ට විතරක් අයිතියි කියල හිතනවනම් මානසික අර්බූදයක් නිසා ඇති වෙන තත්ත්වයක්.ඒකෙන් තමයි වෙනත් ජාතීන් වලට අයත් පිරිස් සහ වෙනත් ආගමිකයන් ප්‍රධාන ධාරාවෙන් වෙන් වෙලා කල්ලි ගැහෙන්නෙ.එතකොට මොකද කරන්න වෙන්නෙ පිරිත් නූල් අතේ ගැට ගහල තුවක්කුව අතට දීල ගිහං සිංහල බෞද්ධ විරෝධීන් මරාපිය කියල යුද්ධයට දක්කනවා.ආණ්ඩු යුද්ධෙ පිටින් දාලා ජනතා ප්‍රශ්න අමතක කරලා තමන්ගෙ නියෝජිතයො එක්ක ආතල් ලයිෆ් එකක් ගෙනියනවා.
සාමාන්‍ය ජනතාව යුද්ධය නියෝජනය කරමින් යුධ පිටියෙ මැරෙනවා.සියලු සත්වයෝ නිදුක් නිරෝගිව සුවපත් වේවා කියපු බුදු හාමුදුරුවන්ගෙ බුදු ගුණ ආනු භාවයෙන් සිංහල බෞද්ධ නොවන මිනිස්සු මරන්න යුධ භටයන්ට ශක්තිය ලැබේවා කියලා හාමුදුරුවරු බෝධි පූජා තියනවා.සෙත් පිරිත් ගායනා කරනවා.ඕක අමුතුවෙන් නොකීවට මේ රටේ වුණ බව දැන්වත් කල්පනා කරන්නකො.
දැන් ආයෙමත් විල්පත්තුවට හැරෙමු.කවුද මේ අනවසර තැන් වල පදිංචි කරවන්නෙ.මේ රටේ උන් හිටි තැන් නැති මිනිස්සු.ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් හදා දීමට ආණ්ඩුවට බල කිරීමත් මේ රටේ මිනිස්සුන්ගෙ වගකීමක්.ඒ වගේම රක්සිතය විනාශ කරමින් අනවසර ලෙස කැලෑව සුද්ධ කරමින් කරන වන විනාශය නැවත්වීමේ ආණ්ඩුවේ වගකීම තහවුරු කරමින් ඊට එරෙහිව අරගල කිරීමත් මේ රටේ ජනතාවගේ වගකීමක්.
එහෙනම් විල්පත්තුවේ සටන හරියටම ඇරඹෙන්න ඕනි වන විනාශය නැවත්ීම සදහා සහ එහි සිටින උන් හිටි තැන් අහිමි මිනිස්සුන්ට වහලක් යට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නත් ආණ්ඩුවට කරන බලකිරීමත් එක්ක.
වන විනාශය වහා නවතව්!
උන් හිටි තැන් නැති මිනිසුනගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරව්!

Saturday, April 26, 2014

අපේ එකාගේ සමීකරණය

මම යොදා ගනිමින් ටෙලි නාට්‍යයක රග පාන්න අවස්ථාවක් ගත් අයෙක් අද නළුවෙක් පමණක් නොවන දේශපාලනික වශයෙන්ද රගපාමින් සිටියි.සිවිල් සමාජයද අන්දමින් සිය ජනප්‍රියතාවය යොදා ගෙන මිනිසුන් අන්දන ලෝක සූරයෙක් වෙන්නට මාන බලමින් ද සිටියි.දේශපාලකයා මෙන්ම කලාවේ ඔහුගේ යම් හැකියාවද ඒ පිළිබද සමාජයේ ඇති දැණුම තුළින් බඩ වියත රැක ගැනීම සහ සුඛ විහරණය පිණිස භාවිතා කළාට ප්‍රශ්නයක් නැත.ඒ ස්වභාවය වෙනස් කළ නොහැකි බැවිනි.නමුත් මම මේ ක්‍රියාදාමයේ මුල් පුරුක වී එය පැල කිරීමේ කාර්යයට දායක වූ බැවින් මට සිතුණේ මූ අපේ එකෙක් කියාය.ඒ නිසාම බුකියේ මේ කරන ඇන්දීම නවත්වන ලෙසත් එය බොරුවක් ලෙසත් සදහන් කළ අතර එසැනින් ඔහු එය මකා දමා නැවත නැවතත් ලෝක පූජිත පුද්ගලයාගේ භූමිකාව රගපාන්නට වූ තැන මම ඔහුට මැසේජ් කර ඒ බව දැණුම් දුන්නෙමි.
පිළිතුර ලෙස ආ දෙයින් කිය වෙන්නේ මම උගේ එකෙක් යැයි සිතා සිටි බවය.ඔය ලෝක සූර විෂය අරඹයා මේ රටේ හොදටම හම්බ කරන් කෑ වෛද්‍යවරයාට එම තනතුර සහ බොරුව අත හැර යන්නට වන තෙක්ම ප්‍රහාර එල්ල කිරීමට මුල් වූ මාධ්‍යවේදියා මමය.ඔහු සමග කළ ඩීල් එක අලුතින් එම තනතුරට පත් පුද්ගලයා සමග කරන්නට ගිය විට ඔහු කරන්නේ මේ අපේ එකාට මගේ නම්බරය දීමය.ඒ එය නිවැරදිව කරන්නේ කෙසේද යන්න පිළිබදව උපදෙස් ලබා ගැනීමටය.ඒ අනුව ඒ සදහා මා අමතන අපේ එකා නැවත හමුවන තුරු සමුදුන්නද යළි කතා කළේ නැත.නමුත් මීට පෙර මම පෙර කී වෛද්‍යවරයාටද හම්බකර ගන්නට මාර්ගය සකසමින් සිය වෘත්තීය නළු ජීවිතයටත් තමාගෙ සමාජ ඉලක්ක වෙතත් යාමට අවශ්‍යය ජනප්‍රියතාවය දිනා ගැනීමට මෙ‍ාහු කළ ප්‍රෝඩාවන් ලෝක වාර්තා ලෙස ප්‍රසිද්ධ කරමින් සිටින්නේය.අපේ මාධ්‍යය ද මරු ගවේෂනයක නියැලෙන බැවින් ඒ ලෝක වාර්තා ගැන නිල සදහන් පත්‍ර කිසිවක් නොවිමසා ඔහු කියන දේ ම ලියන්නේය.මෙය දකින එදා වේල කන්නට නැති අයද කොහෙන් හරි ඉඩමක් හෝ විකුණාගෙන අවදානම් වැඩ කර වාර්තා තැබීමට උත්සාහ ගන්නේය.නැවතිය යුත්තේ මොහු හම්බකරන් කන්නට කරන ප්‍රෝඩාව නොව එයින් අගතියට පත් වන ජන කොටසය.අවවාදය දුන්නේ එබැවින්ය.
අවවාදයට පිළිතුර ලෙස එන කාරණා වලට අනුව ඔහු පවසා සිටින හැටියට ඔහු ඉවසා සිටින්නේ මම ඔහුගේ නැතිනම් අපේ එකෙක් කියාය.
පළමු දර්ශන තලයේදී අමු බයිට් එකක් බවට පත් වෙමින් සිටි ඔහුව අසීමාන්තික බයිට් කිරීමෙන් රැක ගත්තේ මමත් මංජුල වෙඩිවර්ධනත්ය.ඒ නිසාම ඔහු මගේ නම විකුණා සිය පළමු ටෙලි නිර්මාණ රංගනයට එන්නේ අපේ මිත්‍ර නළුවෙක්ට කතා කර අවස්ථාව සකසා ගනිමින්ය.
මේ පුද්ගලයා අද සිටින තැන අනුව ඔහු වෙනුවෙන් හිරේ යාමටත් පිරිසක් සිටින්නේය.ඒ මා මරා දමාය.මට හිරිකිත මොහු සිය මුග්ධ කමට සහ තක්කඩි කමට මම ඔහුගෙන් පාර අසා ගෙන පැමිණි අයෙක් ලෙස හදුන්වා දීම ගැන නොව මම ඔහු අපේ එකෙක් ලෙස සිතීම ගැනය.මම හිරගෙදර නාට්‍යය නිර්මාණය කරමින් හිරකරුවන් නැවත හිරේ ඒමට පෙළඹෙන මානසිකත්වයෙන් ගලවා ගැනීමට සහ ඔවුන්ගේ හිත කලාව සදහා පොළඹවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේය.එහෙත් මේ කලාකරුවා කියා ගන්නා අය තමන්ට ආදරය කරන පිරිස අපරාධකරුවන් කර හිරගෙදරට දක්කන්නට පිඹුරුපත් සකසමින් සිටින්නේය.අපේ වෙනස එයය.
ඒ වෙනස තුළ ඔහු හරිය.මුල අමතක කර පාපිෂ්ඨයෙක් ලෙස හැසිරෙන සියල්ල රුපියල් ශත වලින් මනින සහ දේශපාලන තානාන්තර සදහා ඒවා යොදා ගනිමින් බලය භාවිතා කර එයද ආර්ථික ප්‍රතිලාභ ලැබෙන මාවතක් කර ගැනීමට වෙහෙසන ඔහු ට අනුව කිසිම හිරිකිතයක් නැතුව ඔහු පළමු වරට කලාවට ඈදා ගන්නා ෂෙල්ටන් පයාගලයන් ද අපේ එකෙක් කියා හදුන්වන්නට පුළුවන.ඔහු ජීවත්ව සිටියානම් මේ ක්‍රියාකළාප වලට විරුද්ධ වන විට මම තව දුරටත් ඉවසන්නේ අපේ එකෙක් කියල වහාම ‍ඕක නවත්තපන් කියා අණ කරන්නට ද පුළුවන.
එහෙත් මට මම ගැන හිරිකිතය.මමත් මේ දේවල් ලියා මේ මාවතෙන් ඉවතට ඇද දමන්නට උත්සාහ කළ මේ පුද්ගලයා අපේ එකෙක් කියා මා ද සිතුවේය.එහෙත් එක දෙයක් කිව යුතුය.පරණ විදිහටම කියනවනම් මල්ලි! මිනිස්සු හිරේ යවන්න හදන්නෙ කලාකාරයො නෙමෙයි.මිනිස්සු වෙනුවෙන් කලාකාරයො හිරේ යන අවස්ථාවන් නම් තියෙනවා.ඒ නිසා උඹ ඔය රගපාන්නෙ අපරාධකාරයගේ චරිත ඔහු එවූ විදුලි පණිවිඩය මා සතුව තවමත් ඇත.එහි ලියූ දේ මතකද?
අයියේ!
මම .... අයියා හමු වී අයියා කීවා කියා රගපාන්න අවස්ථාවක් ගත්තා.ඒ .... මහත්තයාගේ ටෙලි නාට්‍යයක පොඩි චරිතයක්..... අයියාට කියා එම චරිතය තව ටිකක් ලොකු කරල දෙනවද 

ඒ විදුලි පුවත තුළ උඹේ මානසිකත්වය හොදටම පේනවා මල්ලි .ඒත් දැන් ඒක එවල ගොඩක් කල් නේද?ඒ කාලෙට සාපේක්ෂව උඹේ ඔළුව හැදිල නෑනේ බං.අඩු ගණනෙ අපේ එකෙක් කියන සමීකරණය විසදා ගණින්.ලේ නෑ කමක් හෝ වෙනත් සෘජු බැදීමක් නැති අපිට අපේ වෙන්න පුළුවන් අදහස් සහ ක්‍රියාවන් වලින් ගැලපෙනවනම් විතරයි.ඒ නොවන තැනකදි උඹට අපේ කියල දැනෙන විදිහ වැරදියි.ඒක වැරදි සමීකරණයක්.සමීකරණයෙන් මාව අයින් කර ගනිං.මම සමාජයට අවුලක්නම් සමාජය වෙනුවෙන් යුතුකම් කරන කලාකාරයෙක් විදිහට මාව අයින් කරල උඹ හිරේ පලයන්.ඒත් මාව මරල උඹ වෙනුවෙන් හිරේ යවන්න මිනිස්සු නිර්මාණය කරන එක කලාවෙ වැඩක් නෙමෙයි.අන්තිම පහත් පාදඩ මදාවි පාතාලයෙක්ගෙ වැඩක්.

Friday, April 25, 2014

වනාතේ දි අනාත වුණ ගුරු ගීතය

 

වනාතෙ වතුර පල් වෙන
බෝක්කුව වටේ පැලවෙන
පැල්වලින් ඇවිත් පූදින
මල් වලට අකුරු වක්කර
ඉලක්කම් පොහොර එක්කර
විෂ වෙච්චි පොළව වද වුණ
අලුත් බිජු අරං ඉන්දන
හිතක් ගැබ් අරං විදවන

මලක් සහ ගලක් එක් වුන
රැයක් නැති තරම් ගෙදරක
පලක් නැති කතා ගුගුරන
ෆිල්ම් රූ පුරා වැස්සෙන
පොතක් නැත ඉතිං පෙරලෙන
කුමක් නම් කරම් සිසු කැළ

තිතක් වී හිතේ බොද වෙන
ඇතෙක් සේ හැගුම් ඉපදුන
සගව ගෙන නෙතේ කදුළක
පරාජය ගෙනව පිට වෙන
දෙයක් මිස නොවේ හිත තුළ
සමා වෙනු මට මගේ හිත


ඇම්ඩන්ගේ තාත්තාගේ අලුත් නුවණ



ඇම්ඩන්ගෙන් බේරි වැඩක් කිරීමට ස්වභාව ධර්මයද උදව් නොකරන බව ඔහුගේ තාත්තාට සිතුණේ එදා පෙරහැර ආ පසුය.ඇම්ඩන් තාත්තාත් රැගෙන ගොස් පෙරහැරේ ආ පිරිස ගැනීමෙන් පසු තාත්තා පොරොන්දු වූ පරිදිම ඇම්ඩන්ට අදාළ ගෙවීම් කර දැමූ අතර ඉන් අනතුරුව බිරිද ඉන්න පැදුරවත් නොපෑගුවේය.
ඇයි දෙයියනේ හෝටලේකට ගිහිල්ල ගැහැණියකට ගෙවනවට වැඩි ගාණක් ගෙවල තමන්ගෙ ගෑනි එක්ක ඕනි යැ ලෙස මේ පිළිබදව විමසද්දී ඇම්ඩාගේ තාත්තා දෙන පිළිතුරය.
රටේ තියෙන තත්ත්වය අනුව ට්‍රැෆික් වැඩිය.ඒ නිසා මිනිස්සු වෙනුවට වාහන ගණින්නට ඇම්ඩාට භාර දුන්නොත් සමහර විට මිනිස්සු ගාණට වඩා ගාණක් යා හැකිය.එයද සාක්කුවට හොද නැත.අනිත් කාරණය හැම තැනම පෙළපාලිය උද්ඝෝෂණය පෙළපාලිය.ඒ නිසා හොදම දේ තමන්ගෙ පුතාට හම්බ කරන සේසතම ගෙවා බිරිද සමග සංවාසයේ යෙදීම නොවන බව ඇම්ඩාගේ තාත්තාට කලපනා වී තිබිණ.
මේ කෙසේ වුව ද ඔහු පවසන්නේ බිරිද දකින විට සිය හැගීම් පාලනය කර ගැනීමට අපහසු බවත් අතීතයේ ආදරයෙන් දෙදෙනා වෙලී පැටලී සිටි ආකාරය නිතර මැවී පෙණෙන බවත්ය.ඒ නිසා මහත් දොම්නසින් සිටි ඇම්ඩාගේ තාත්තා මේ ළගකදී සිට උනන්දුවෙන් හම්බන්තොට ගුවන් තොටුපළ ආසන්නයෙන් නිවසක් මිළ දී ගන්නට වෙහෙසෙන්නට පටන් ගත්තේය.එය සාර්ථක කර ගත් ඔහු කොළම සිටි නිවස විකුණා දමා හම්බන්තොට පදිංචියට යාමට සූදානම් විය.
ඇයි මේ වගෙ තීරණයක් ගත්තෙ?
පිටත් වීමට මොහොතකට පෙර මම ඔහුගෙන් විමසුවෙමි.ඔහුගේ මුහුණ රතු විය.ඒ ලැජ්ජාවෙන් බව පැහැදිළිය.එහෙත් අමුතු සතුටකින් ඔහු පිනා ගොස් සිටින බව පැහැදිළිය.ඒ නිසාම මම යළිත් ඔහුගේ ගොළු වත බිද දැමීමට උත්සාහ කළේය.
මටයි වයි‍ෆ්ටයි කරදරයක් නැතුව වියදමක් නැතිව සෙක්ස් ලයිෆ් එක අරං යන්න තිබුණු එකම විදිහ මේක අවසානයේ ලැජ්ජාවේ මිරිකෙමින්ද මහත් වූ උද්දාමයෙන්ද යුතුව ඔහු පැවසීය.
අපේ ඇම්ඩා අණ්ඩයනෙ.ගියාට පස්සෙ අපි උට දෙන්නෙ ගුවන් යානා ගනින්න.දවසට තුනනෙ ඉතිං ආවත්. එතෙකින් නොනැවතුණු ඔහු තව දුරටත් එහි ඇති ආර්ථික වාසියද විග්‍රහ කරන්නට විය.
.

Wednesday, April 23, 2014

අපේ රට පිච්චියට දැම්ම පච්චය

නයෝමි මිෂෙල් කෝල්මන් ලංකාවට ආවේ මේ රටේ කළබලයක් ඇති කිරීමට නොවේය.ඇය පැමිණි තුන්වන අවස්ථාව මෙයයි.එහිදී අප තේරුම් ගත යුත්තේ මේ රටට සහ ජනතාවට ඈ තුළ ඇල්මක් පවතින බවයි.මේ ඇල්ම රටේ ආර්තික පුනරුදයට වැදගත් එකක් වන අතර නමුත් ගුවන් තොටුලඝේ සිටි ඔලමොට්ටලයන් ගේ සහ ඒ ගොන්නටම ඇද දමන පොලිසියත් ඉන් අනතුරුව ඇය අධිකරණයට ගිය විට නීතිය සහ නීතිඥයන්ද ක්‍රියා කරන්නේ පෙර කළෙක වරිග සභාවක පරිදිය.එහි දියුණු ලෝකය හා සසැදෙන කිසිවක් නැති බව පැහැදිළිය.අතිශයින්ම ග්‍රෝත්‍රිකවාදී හැසිරීමක් වන එහි ප්‍රතිපලය ලංකාවේ මානව හිමිකම් පිළිබද සැළකීම තුට්ටුවට වැටී තිබෙන බව හෙළි වීමය.
ඇයගේ අතේ ඇති පච්චය ප්‍රශ්නයක් වෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඇයට උපදෙස් දීමට තිබිණ.ඒ  වෙනුවට ඇයගේ අතේ ඉහළ කොටසේ අත් දිග ඇදුමක් ඇදි විට උස්සාවත් බලා ගන්නට අපහසු පච්චය නිසා අපේ පොලිසිය සහ රාජ්‍යතාන්ත්‍රික නීති පද්ධතියද කළේ ලෝකය ඉදිරියේ සම්පූර්ණයෙන්ම සිය ඇදුම් ඉවත් කර ගැනීමය.ඊටත් වඩා හාස්‍යයට කාරණය වන්නේ ඒ ඇදුම් උනා ගෙන සිටින තේජස් විලාශයය.
නිරුවතින් ගගේ සිටි පුද්ගලයෙකු එහි පැමිණි හිමි නමක් හා දෙඩීමේදී ගගේ පාවී ආ අඩිය නොමැති බාල්දියකින් සිය නිරුවත වසා ගැනීමට ඉදිරිපත් වූ කතාවට මෙම කතාව බොහෝ සෙයින් සමානය.මේ සිදුවීම පමණක් නොව දැන් කාලයක සිට අපේ මහජන සාමය රකින ආයතනය පාරම්බාන්නේම අඩිය නැති බදුන් වලින් හෙළුව වසා ගෙනය.
බටහිර මිනිසුන්ට ඇති නිදහස මත ඔවුන් ආගම තීරණය කරන්නේ යම් හැදෑරීමකින් පසුවය.ඒ නිසාම බෞද්ධ දර්ශනයට අනුව සිදු වූ දෙයක් ලෙස මෙය සිතට ගන්නට නොයනු ඇත.එහෙත් ලංකාවේ බෞද්ධයැයි කියා ගන්නේ සිත දියුණු කළ අතහැරීමට සූදානම් පිරිසක් නොව ගෝත්‍රිකයන් පිරිසක් බවට ඇය විසින් වටහා ගැනීමනම් නොවැළක්විය හැකිය.
ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යංශය,සංචාරක අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබදව ඇයට නීතියේ සාධාරණය ලබා දීමට ඉදිරිපත් විය යුතු නමුත් ඔවුන් ද සිය චින්තනයේ ගෝත්‍රික පච්චය කොටා ගත්තෝ බැවින් නයෝමිට පිළිසරණක් වන්නට කිසිවෙක් නැත.කිසිදු මාධ්‍යයකින් ද මේ වන විට ඒ සිදුවීම පතුරු ගසනු විනා බුද්ධ ශාසන අමාත්‍යංශය,සංචාරක අමාත්‍යංශය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය ගන්නේ කුමන පියවරක්දැයි අසන්නේවත් නැත.
මේ බෞද්ධ කම විසින් ඉදිරියේදී සෑම ගැහැණියකගේම රෙද්ද උස්සා බලන්නට අවශ්‍යයබව කිවහොත් එය පුදුමයක් නොවනු ඇත.මන්ද ඇතැම් ගැහැණු සිය ලිංගේන්ද්‍රිය ආසන්නයේ මෙන්ම ගුද මාර්ගය ආසන්නයේද ටැටූ කොටා ඇති අතර ඒ අතර නෙළුම් මල් වැනි පූජනීය ලක්ෂණද දකින්නට ඇත.එසේම විවිධ වසංගත රෝග ඇති කාලයට ගන්නා ක්‍රියාමාර්ග සේ ‍ගුවන් තොටුපළේ මින් ඉදිරියට පච්චා පරික්ෂා කිරීම සදහා වෙනම ඒකකයක්ද විවෘත කරන්නට සිදු වෙනවාට සැක නැත.
එසේම දරුණු අපරාධකරුවන් විශාල පිරිසක් බුදුගුණ අනන්තයි යනුවෙන් ආදී බුදු දහමට අදාළ කාරනා සිය සිරුරුවල කොටා ගෙන සිර ගෙවල් වල සිටිති.මේවා ද ඉදිරියේ දී වෙනස් කිරීමට පියවර ගන්නැයි යමෙක් පවසනු ඇත.
පොලිසිය ආශ්‍රිතව සහ බන්ධනාගාරය ආශ්‍රිතව වෙනම පච්ච මැකීමේ ස්ථාපිත කරන්නට සිදුවන කාලයක් උද්ගත වෙනු ඇත.ස්වීය ආදරය සහ භක්තිය ඇති වූ විට එය ප්‍රකාශ කිරීම සදහා රූප සහ වචන ඇගේ කෙටීම යනු සාමාන්‍යය තත්ත්වයක් වුව ශ්‍රී ලංකා පොලිසිය එවැනි සිදුවීම් නොදන්නේය.සාමාන්‍යයෙන් සමාජය තුළ සිදුවන හැසිරීම් වල ස්වභාවය නොදන්නා පිරිස් පොලිසියේ සීම සමාජ ඛේදවාචකයක් වීම මෙයින් මනාව පැහැදිළි කරන්නේය.
ලංකාවේ නීතිය මිනිසුන්ගේ හැගීම් වල නිදහසට ඉඩ දෙන එකක් නොවේය.විශේෂයෙන් ආගමට බය ය.මීට පෙර වරක් මංජුල වෙඩ්වර්ධනගේ මේරි නම් වූ මරියා නම් කෘතියට එරෙහි වූ කතෝලික සභාව එය තහනමට ලක් කළේය.එහිදී පැන නැගුණු ප්‍රධානම කාරණය පිට කවරයේ අඩ නිරුවත් පිංතූරයේ කොන්තයක් එල්ලී තිබීමය.නමුත් ගැහැණියක් නිරුවත් වන විට සිය කරේ පළදින ආභරණ ගලවා නොදමන බවට එයට එරෙහි වූ පිරිසට තිබූ අඩු දැණුමය.
නයෝමි නොව තවත් ගැහැණු ලංකාවට පැමිණෙද්දී කුරුසය,ජේසු ස්වාමි දරුවන් සිය සිරුරුවල කොටා ගෙන පැමිණෙන්නේය.ඒවා භක්තියටය.එහෙත් බෞද්ධයා භක්තිය දක්වන්නේනම් කළ යුත්තේ පාරේ කුණු වලවල් වැසිකිළි නොබලමින් සෑම තැනකම පිළිම වහන්සේලා ඉදි කිරීමය.ඒවා පොලිසියෙන් ඉවත් කරන්නේ නැත.එතරම් අපිරිසිදු පරිසර ආශ්‍රිතව බුදු පිළිම ඉදිකිරීමෙන් කිසිදු සැදැහැවතෙක් කළබලයට පත් නොවීම පුදුමයකි.
ගැටළුව ඇත්තේ නයෝමිගේ අතේ ඇති පච්චයේ නොවේය.මෙරට පොලිසියේ සහ ගුවන් තොටුපළ නිලධාරීන්ගේ ඔළු තුළය.නයෝමිගේ පච්චයෙන් කළබල වූ ටැක්සිකරුවන් නිසි පරිදි පන්සිල් සමාදන් වන්නෝය.කිසි විටෙක සතයක් හෝ අසාධාරණ විදිහට උපයන්නෝ නොවෙති.
බුදුරජාණන් වහන්සේ පළමුවම කළේ අත්හැරීමය.ඒ ආගමේ නාමයෙන් අද එහි මුර බල්ලන් වන්නට දගලන පිරිස සිදු කරන්නේ තව තවත් එකතු කිරීමය.බුදු දහම කුලයකට ජාතියකට අයත් නොවන බව කියමින් සිය පරම්පරාවේ තේජස උන් වහන්සේ පළමු කොට ඉවත හළ නමුත් ධර්මයේ ආශිර්වාදය සියල්ලන්ටම දානය කළ නමුත් සහ මිනිසා ක්‍රියාවෙන් වසලයෙක් හෝ බමුනෙක් වන බව කී නමුත් දැන රට තුළ සිදු වෙමින් පවතින්නේ මේ සියල්ල බුදුන් වහන්සේ සිංහලයන් පමණත් ඉලක්ක කොට කී ආකාරයෙන්ය.
විෂම තත්ත්වයන් තුළ වඩා යහපත් දේ හදුනා ගැනීමට සාධක ගොඩ නැගෙන බව නොරහසකි.එහෙත් අද සිදුවන්නේ එකම තැනෙකට සියල්ලෝ ගොනු විය යුතුය යන බලපෑම කරමින් බුද්ධාගම පොලිසියක් ලෙස ක්‍රියා කිරීමය.කිසිදු රජයක් හෝ දේශපාලන පක්ෂයන් මෙය උමතුවක් සහ වියරුවක් කියා සාමාන්‍ය පුරවැසියන්ට බලපාන ආකාරයට මේ අන්තවාදීන්ගේ ක්‍රියාවන් පාලනයට ඉදිරිපත් නොවීමේ ඛේදවාචකය විසින් අද නයොමි ආපසු හරවා යැවූ ආකාරයටම විදෙස් රටවල සිටින ලාංකිකයන්ටද ආපසු හැරී එන්නට සිදුවීමේ අවදානමක් තිබේ.එසේම ආපසු හරවා යන්නට වැඩි මහන්සියක් දැරීමට සිදු නොවිය හැකි අතර මන්ද මේ සංඥාව හරහා ලෝකයට ලබා දෙන ලංකාවේ ගෝත්‍රික අනන්‍යතාවය පිළිබද පණිවිඩය සැළකිය යුතු මට්ටමකට ලංකාවට පැමිණෙන සංචාරකයන් අඩු කරන්නට ද හේතු විය හැකිය.
සිදුවීම් සිදු වන්නේ මේ රටේ ආරක්ෂාව පිළිබද සාමාන්‍ය ජනතාවට විශ්වාස කළ හැකි මට්ටක නොවේය.රජයේ ප්‍රාදේශිය දේශපාලනඥයෙක් රිමාන්ඩ් ගත කොට සිටින තංගල්ලේ නඩුවේ හේටල් කළමණාකාරියගේ සාක්ෂි නිවැරදිව සටහන් නොකළ බවට චෝදනා එල්ල වන්නේ පොලිසියටය.හම්බන්තොට සිදු වීමේදී පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට පහර දෙනු තුරු බලා සිටියේ පොලිසියය.කොටුව දුම්රිය පොළේදී උද්ඝෝෂකයෙක් ලෙස සළකා සාමාන්‍ය පුද්ගලයෙක්ට ලේ වැගිරෙන තුරු පහර දෙන්නේද පොලිසිය ය.දැන නයොමි විසින් සිය බෞද්ධ භක්තිය ප්‍රදර්ශනය කිරීම සදහා සිය සිරුරේ බුද්ධ රූපයක් ටැටූ කලාවට අනුව සළකුණු කර ගැනීම බෞද්ධ රටකින් පිටුවහල් කරීමට හේතුවක් කරන්නේද පොලිසිය යි.
දැන් පච්චය ගැන කතා කරන්නට ඇත්තේ එක දෙයකි.නයෝමිගේ පච්චයට අපේ සංස්කෘතිය,මානව ගුණ ධර්ම,ආගන්තුක සත්කාර පමණක් නොව බෞද්ධකමද පිච්චියට දමා ඇත.




Monday, April 21, 2014

මොනාලිසා

හරිම හතරැස්
අඩියක් පමණි 
මගේ සිහිනය
නොමසැලී
සිටින බිත්තිය


නිශ්මං රණසිංහ

රස+පල

ලස්සනයි නම් මල
කොහේ තිබුණත් මුල
සුවද වින්දට වරද කිම
ඇත්තමයි මට රස
සම්මතය කී විස
පලමයි බුදින්නට හිත

නිශ්මං රණසිංහ

හිරය

අතැගිලි බැදුණු
වරපටට සිර වුණු
ලය තිබුණු
තෙතමනය මිරිකින


නිශ්මං රණසිංහ

සිසිල

කාට නැතත් මට වැහැපන්
හිරිපොද වැස්ස
ඇයට තියෙන මල් කුඩයට
මම හරි ආසයි


නිශ්මං රණසිංහ
මම කලෙකට ඉහත ලියපු කවියක්!ඒක ගීතයක් වෙන්නත් විලි රුදා පෙන්නුවා.ඒත් තවම ගීතයක් වෙලා ඉපදුනේ නැහැ.

පාට මිලින මල් විකසිත කම්බාය
ඈත බඹරු සුවද දදී කැන්දාය
පාට පාට හීනෙට රොද බැන්දාය
කාට දාව මුත් කැකුළක් පිපුනාය

පාට උලාවත් රූබර ගත නොහෙනා
පාර දිගේ මල් පෙති පෙති බිම හැලුණා
ඉනූ කදුළු මල් ගහ මුල පොහොර වුණා.
බඹරු වටේ තව මල් කැකුලක් පිපුණා

කෝම හොයන්නද මේ මල් පරවේණී
පාරේ පිපී පාරෙම පර වී යාවී
කාගේ වැරද්දට පිපුණත් මල්මාලී
සුවද බෙදන කොට ගහ දඩුවම් දේවී


නිශ්මං රණසිංහ

චිත්තපට ගැන

ලියපු දේවල් තියාගෙන තනියෙන් වින්ද ඇති කියල කරන සුමිත්ගෙ බල කිරීම මත ලියල විසිරිලා තිබුණු ටික එක තැනකට එකතු කරන්න හිතුවෙ.චිත්තයේ ඇති වූ විවිධ දේ එක්ක ඇදුණු දේවල් කොච්චර සාර්ථක ද දන්නෙ නැහැ.ආයෙමත් සුපිික්‍රීඩා පටන් ගන්නකං මේ ටික බලමු.
නිශ්මං රණසිංහ