Sunday, March 22, 2015

මම,තිලිනි සහ චූලාභය

ධනපතියෙක් නැතුව දානපතියෙක් එහෙමත් නැත්නම් පරිත්‍යාගශීලියෙක් වෙන්න බැරිද? හැමදාම ලොස් සාක්කුව එක්ක මම ෆයිට් කළේ ඒක පුරව ගන්න විතරක් නෙමෙයි. මම ඇසුරු කළ අය මට එන්න කිව්වට ඒ අය සැරිසරන තැන්වල හිස් සාක්කුවලට දොස් කිය කිය ඒ අය බිල් පුරවනව බලා ඉද්දි මට ඒ ගැන ලැජ්ජාවක් ඇති වෙන්නෙ නැහැ. මම හොයන්නෙ තියා ගන්න නෙමෙයි බෙදා දෙන්න. ඒක මට තාත්තගෙන් එන්න ඇති සමහරවිට. මගේ අත්‍යවශ්‍යම දෙයට පසුව බැංකුවට දුවල ගිහං තැන්පත් කරන පුරුද්ද විදිහට මට ඇවිත් තියෙන්නෙ ඉතිරි ගාණෙන් කාට හරි පලක් ඇති දෙයක් කරන්නෙ කොහොමද කියන උවමනාව....මේක ගැන හරියටම දැන ගන්න (මට පලු යන්න බනින්න) මේ බ්ලොග්වලම සැරිසරන සුමිත් නිරිඇල්ල ළඟ හොද උදාහරණ තියෙනවා.

ඒත් පසු ගිය කාලයක මා ගැන නොදැන ආදරය කළ අය අකුල ගෙන ගියේ මම පොදි ගහ ගන්න කෙනෙක් හැටියට හංවඩුවකුත් ගහලයි.ඒ ගහපු හංවඩු ගැන මට හිතුනෙ එක දෙයයි. ඒකට පදනම් වූ චරිත වල හිස් බව තරම් මාව සද්දෙට දැනෙන්නෙ නැති එක ස්වභාවිකයි. ඒ නිසා මම තිලිනි සහ චූලාභය විද්‍යාලය හරහා මා ගැනම යමක් ලිවිය යුතු බව තීරණය කළා.


අදටත් ඔබ ඔබේ දරුවෙක් සමඟ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහළට ගියොත්, එහි භෞත චිකිත්සක අංශයෙ දරුවො ව්‍යායාමවලට යොදා ගන්න මෙට්ට සඳහා මැදිහත් වූ පුද්ගලයා මම. ඒක දැන හැදුණුම්කම බිස්නස් එකක් විදිහට කරන්න තිබුණු ඉඩ පරිත්‍යාගයක් බවට පත් කළා.ඇවිදින්න බැරි,කෙළින් නැගිටින්න බැරි දරුවො භේත චිකිත්සක ව්‍යායාම හරහා මේවා තුළින් නැගිට ඇවිදින එක දකින එක මට ගන්න තිබුණු කොමිෂන් එකට වඩා මට වටිනවා.යන හැම වෙලේකම අදටත් එහි ප්‍රධානි ජාලිය උඩුවැල්ල එයින් දරුවො ලබන ප්‍රගතිය ගැන මට කියලා පෙන්නලා දෙන කොට හදවතට දැනෙන සතුටට වටිනාකමක් දෙන්න බැහැ.

ක්‍රීඩා කේෂ්ත්‍රය ගත් විට නමින් නම ලියන්න බැරි තරම් නම් ගොඩක්.සුසන්තිකා ජයසිංහ,සුගත් තිලකරත්න අවධියෙ ඉදල අපි දෙපැත්ත බේර ගන්න දෙපැත්තට අඩි තියලා හිට ගත්තෙ නැහැ. හරි පැත්ත තුළ පෞද්ගලිකව නැති වෙන්න පුළුවන් දේ හිතලා පසුතැවීම වෙනුවට හරි දේ කරලා නැති වීම ගැන සතුටු වෙන්න පුළුවන්කමක් තිබුණා.

අද වන විට ලංකාවෙ ඉන්න සුපිරිම මලල ක්‍රීඩිකාව ක්‍රීඩාව අත නොහැර ධාවන පථයෙ නවත්තගන්න ඕනි නිසා මම ඇයව කාලයක්ම පුහුණුවීම් සඳහා මගේ නිවසේ නතර කර ගත්තා. චන්ද්‍රිකා සුභාෂිණී වන ඇයට හැකියාවට රැකවරණයක් වෙන්න ලැබුණා හැරෙන්නට මට මගේ දර්ශනය කා වද්දන්න බැරි වුණා. දැන් ඇය අහම්බයක් ලෙස පොළවට පාත් වුණු ක්‍රීඩිකාවක් විදිහට ජීවත්වෙන එක ගැන පසුතැවීම වෙනුවට මට තියෙන්නෙ ඇයගේ ගෙවුණු වියේ සිටින බොහෝ දෙනෙක්ට දිගු කළ හැකි අත දිගු නොකිරීම පිළිබද වේදනාවක් පමණයි.

නිමාලි,මංජුල කුමාර, අඹේපිටිය, ෂෙරීනා ක්ලැරන්ස්,චමින්ද විජේකෝන්,ගයන්තිකා තුෂාරි සහ නිලංකා සහෝදරියන්... මේ අයගෙන්  ඇතැම් අයට හිසට සෙවණක් ලැබෙන්න බිමි කඩක් ලැබෙන්න පවා මට දායක වෙන්න පුළුවන් වුණා. වර්ථමානයේ ඔලිම්පික් පරිසාධන මට්ටමට පැමිණි ගීතානි රාජසේකර පිළිබදව පුවත්පතක පළමු සටහන තැබූ මා අද ඇයගේ ඔල්මිපික් සුදුසුකමට හිමි විය යුතු වරප්‍රසාද නොලැබීම පිළිබදව අරගලයක යෙදෙනවා. රට නියෝජනය කරපු ඔලිම්පික් සුදුසුකම ලබපු අයට සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දෙන්න අධයාපන ඇමතිතුමාගෙ අවධානය යොමු කරල ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කරමින් සිටිනවා. මේ වන විටත් සුසන්තිකාගෙ කොලු පැටියට රාජකීය අභිමානය ලබා දෙන්න සාර්ථක මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙලා තියෙනවා.

යොවුන් පත්තරකාරයෙක් හැටියට මෑත කාලයේ රටම කළඹපු සංජක ප්‍රසාද් දොලේවත්ත වැනි අය ඔවුන්ගෙ මුල් කාලයේ වැඩිමහල් සහෝදරයො වගෙ සිටීම ගැන දැනෙන සතුට වචන කරන්න අමාරුයි. ඒ වගෙ කලා කාරයොත් ඉන්නවා. රූපවාහිණි නාලිකාවලින් මීයො පැටව් ගහන විදිහට වදන නළු නිළියන්ට වේදිකාවක් ඇතුළේ පාදයක් තියෙන හැටි,හැරෙන්න ඕනි හැටි පවා කියා දෙන්න වෙන වෙහෙසකර වැඩවලත් නියැලිලා තියෙනවා.

බොහෝ අය එහෙම දේවල් උකහාගෙන හැර යද්දි වේදනාවක් දැණුනත් සමහරු බීපු බඳුනත් පයින් පෙරලලා යන කොට වේදනාව අස්සෙන් පුංචි කඳුළක් මතු නොවෙනවා නෙමෙයි.
‘අපේ එකවුන්ට් ගැඹුරුයි බං. ඒවයෙ පතුල පේන්නෙ නැති තරමට පිරිලා,ඒව ගනින්න බැහැ.‘
ලංකාවේ ඉන්න සුපිරිම කලා අධ්‍යක්ෂවරයෙක් වෙන සාලිය ලියනාරච්චි කඳුළු පිහදාන්න ගත්තු ඒ රළු වචනවල ඇතුළත තියෙන මුදුකමට මම ආදරේ කරනවා.

ඒ මම, අලුත් පියවර පටන් ගන්නෙ කාලෙකට පස්සෙ චූලාභය විද්‍යාලයෙන්. ඒකෙ අඩු පාඩුකම් මම දැක්කා.ඒත් ඒවට උදව් කරන්න ඕනි මිල මුදල් එක්ක මම ගොඩක් දුරයි. ඒ ගමන යන්න ගියහම වාහනයකට ගොඩ වෙන එක මඟදි කන බොන එක ගමණට වඩා කටුක වෙන්න පුළුවන්. මම ආයෙමත් මුලට ගියා. ධනපතියෙක් නොවී දානපතියෙක්..?

මේ අතරෙ ඒ පිටුව ඇතුළෙ ඒ දරුවන්ට කළ හැකි දෙයක් කල්පනා කරමින් ඉද්දි මට දකින්නට ලැබුණා ඒ විද්‍යාලයේ නෙට්බෝල් කණ්ඩායම ගැන. ඒ අයට බෝල අරං දෙන්නෙ කොහොමද? මම හම්බ නොකරපු සල්ලි වලට වඩා වටින ඉතිරි කළ මනුස්සකම කෙරිල් ටෝස්ර් වෙත යොමු කළා. වටිනා බෝල දෙකක් ඒකට පිළිතුරු ලෙස ලැබුණා.

තාත්තෙ හෙට ශිෂ්‍ය නායක කදවුරක්

ඇය පාසලට යවනවා කියන්නෙ ඊ ළග පණිවිඩය මට බව මම අත්දැකීමෙන් දන්නවා.පපුවෙ අමාරුව නිසා පොඩ්ඩක් තවමත් අසනීප ගතියෙන් ඉන්න මට වෙනද වගේ මහන්සි වෙන්න බැහැ.ඒ වගේම මම චූලාභයට යා යුතුමයි. දුව වැඩේට එකඟ වෙනවා.ඇය ගෙදර නවතිනවා.මම ඇයට ප්‍රති සැළකීම දක්වන්න වෙබ් එකේ ආවරණ කටයුතුත් නිම කර මා පිටත් විය යුතු වේලාවට ඇයගේ නින්ද නොකැඩෙන්න එලි වෙන තුරු ඇහැරලා ඉන්න කල්පනා කළා. උදේ 3 .00 ට මම ගමන පිටත් වෙන්න සූදානම් වුනේ කෙල්ලගෙ නින්දට චුට්ටක්වත් බාධා නොවෙන්න.කොළඹින් නුවරටත් නුවරින් උඩුදුම්මබරටත් එන තුරු අත පහු කළ නින්දේ දේවල් යම් තරමකට බස්වලදි පිරිමහ ගත්තෙ තැනින් තැන හිසේ වැදුම් පහරවල් නිසා දැණුනු රිදීම් එක්ක.

චූලාභය විදුහල්පතිතුමා හිටපු තුන්පිම්ම සූරයෙක්.ඒ වගේම ඔහු දන්න නුවර අවට බොහො ක්‍රීඩා ගුරුවරු මගේ සහෘදයො. පළාත් අධයක්ෂතුමාට කිව්වා...මේ වචනත් එක්ක එතුමගෙ නම විදුහල්පතිතුමාගෙ කටෙන් එළිය පනිනවා.

අතුල ජයවර්ධන

නීශ්මං අයියෙ කරන්න පුළුවන් උපරිමය කරනවා. ඒ මොහොතෙත් නැවතත් ඒ රාත්‍රියෙ මා වෙනුවෙන් නුවරට පැමිණ කළ සංවාදයෙදිත් අතුල මල්ලි පොරොන්දු වෙනවා. ඒ වගේම ‘ලකී‘,.ලක්ෂමන් හපුආරච්චි අදත් මම ලියු ඇතැම් ලිපි වාක්‍ය ඛණ්ඩ පිටින් මතකයෙන් කියන මිත්‍රයා ‘අපි වෙලාවක යමු ‘ යෝජනා ගේනවා.

මධ්‍යම පළාත කියන්නෙ මගෙ මාධ්‍ය ජීවිතයෙ සහෘදයන් ගහන තැනක්.මගේ පෑන ගොඩක් දේවල් දිනා දුන්නු පළාතක්. ඒ නිසා ඔවුන් විශාල ආදරයකින් සහ විශ්වාසයකින් මා සමඟ වෙලී සිටිනවා. සල්ලි වියදම් කරල කරන්න බැරි දේවල් ගොඩක් මේ මිනිස්සුන්ගෙ දැණුමෙන් දිනා දෙන්න පුළුවන් කියලා මට විශ්වාසයි. මුදලින් දිනා දිය යුතු දේ දිනා දෙන්නට දැනටමත් සහෘද පිරිසක් චූලාභය සමඟ අත්වැල් බැඳ සිටින නිසා මේ දරුවන්ට තමන්ගේ කාය ශක්තියෙන් යන්න පුළුවන් ලෝකය දිනා දෙන්න මට මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙයි කියලා හෘදයාංගම විශ්වාසයක් ඇති වුණා.

මේ සියල්ලට පදනම හිතන්නත් බැරි තරම් පුංචි කෙල්ලෙක්.හැබැයි මහා විශාල අහැකින් ලෝකය දකින්න ඒ කෙල්ලට තියෙන හැකියාව රටක් වටිනවා.

උපාධියකුත් තියෙනවා.වැඩ කරන්නත් උවමනාව තියෙනවා.හැබැයි මේ වැඩ කරන්න තියෙන උවමනාව සහ ඊට තියෙන කැපවීම එක්ක තමන්ගෙ පෞද්ගලික දියුණුවට කර ගන්න තියෙන අධයාපන පරිපාලනය සම්බන්ධ විභාග අමතක වෙනවා.

ඒත් තිලිනි එසේ විය යුතු නැහැ.ඒ සුදුසුකම් එක්ක ලැබෙන වගකීම් පුළුල් වීම හරහා ඇය වැනි කෙනෙක්ට මේ රටට අද උපගුරුවරියක් විදිහට කරන සේවය වගේ දස දහස් ගුණයක සේවයක් කළ හැකි බව මම විශ්වාස කරනවා.

තිලිනි ෂැල්වින්

ඇය හරහා මේ පාසලට එලෙන අලුත් ඉරට පායන්න ලේසි නැහැ.පසෙකින් කළුගල කන්දත් තවත් පසෙකින් හුන්නස්ගිරි කන්දත් ඒ හිරු කිරණට පාර වසන්නට උත්සාහ කරයි.ඒත් සමාජයට ආදරය කරන මිනිස්සුන්ගෙ ආදරයේ උණුසුම ඉදිරියෙ ඒවා හිම කිරණ වගේ බිදී දිය වී යාවි.

නුඹ තනි නොකරන්නේ ලෝකය ලෝකයත් නුඹ සමඟම යා යුතු බැවිනි. ඒ නිසා ලෝකයද නුඹ තනි නොකරනු ඇත.

ඉවසන්න චූලාභය විදයාලයට වසර දෙකක් ඇතුළත ක්‍රීඩා කේෂ්ත්‍රයේ පළාත් ජයක් හෝ දිනා දෙන්නට නුඹට ඇති ඕනෑකම තනි නොවෙන්නට අත්වැලක් බැද දෙන්නට මා හෙළු දහදියට වටිනාකමක් තිබෙන බව මම විශ්වාස කරමි.
https://www.facebook.com/events/778115315592057/ මේ ලින්කුවෙන් තිලිනිගේ බලාපොරොත්තුවලට ගොඩ වෙන්න පුළුවන්.

සැළකිය යුතුයි - ඇතැම් කළ දේවල් ලියන්නට වුණේ සිදු වූ තැවුල් නිවා ගන්නටයි.ඒ ගැන කමා වෙන්න. යමෙක් යමෙකුට යමක් කියන විට එය විශ්වාස කළ යුත්තේ චෝදනාවට ලක්වන්නාගේ සහ චෝදනා එල්ල කරන්නාගේ වර්ලපලය සැළකීමෙන් බව මට හැඟේ.