Tuesday, April 21, 2015

පිය හැඟුම් සහ දරු පෙම

ඒ තාත්තලා සහ මේ තාත්තලා - ආඩම්බරයෙන් පරාධීනත්වයට

මම මගේ පුතු ගැන ලියමි.කෙදිනකවත් උෟ ඒ දේ කියවන්නට තරම් අකුරු සාස්තරය ඉගෙනගනු ඇතැයි සිහිනයකවත් හැඟිමක් ඇතිව නොවේය.ඒ ඔහු විශේෂ දරුවෙක් බැවින්ය.ඔහුට කළ හැකි හොදම ඉගැන්වීම හොඳින් මිනිසුන් ඇසුරු කරන්නේ කෙසේද යන්නය.

එසේම මට මගේ ජීවිතයේ දූ පුතුන් රැසක් හමුවී ඇත.ඒ අයට තිබෙන අඩු පාඩුව මානසික අර්බූදයක් නොවේය.ඔවුන්ට අඩු වී තිබුණේ මව්වරුය.පියවරුය.ඒ අතර රූපකායෙන් පමණක් සිටින මව්වරු සහ පියවරුද වෙති.එහෙත් යුද්ධය,දේශපාලනය සහ සමාජයේ වෙනත් දූෂණ නිසා මව්පිය සෙනෙහස අහිමි වූ දරුවෝ අපට නිරන්තරයෙන්ම මුණ ගැසෙති.

වරක් මා මාතලේ සිට කොළඹ බලා එමින් සිටියේය.මාතලේ පැවති ප්‍රාදේශිය බැංකු ක්‍රීඩා උළෙලක මාධය සම්බන්ධිකරණය අතරතුර සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ පැවති මව්බිම පුවත්පත එළි දැක්වීමේ උත්සවයේ ප්‍රසංග කළමණාකාරිත්වය පැවරි තිබුණේ මටය. ඒ සඳහා පැමිණෙන මට මාතලේ සිට කොළඹ පැමිණෙන අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙබළකුගේ බිරිදක් සහ දියණියක් හමු වන්නේය.මගේ අසුනේ පැමිණෙන මේ දෙදෙනාගෙන් දියණිය ඉතා ඉක්මණින් කුළුපඟ වූවාය.ඇය එක වසරේ ය.

බොහෝ දේවල් මා සමග පවසමින්,ගීත ගයමින් හුරතල් වෙමින් පැමිණි ඇය මගෙ යාළුන්ගෙ තාත්තලත් ශයා වගෙලු යැයි වරෙක කීවේය.

එතකොට ඔයාගෙ තාත්තා?

.............

පියාගේ ඉරණම පිළිබද කතාව මතු වන්නේ එතැනින් ය.

අම්මෙ අපි මේ අන්කල්ව අපේ ගෙදර නවත්තගමුකො.

කොටුවෙන් බැස වෙන් වී යන්නට ආසන්නයේ මගේ අතින් මිදෙන්නට ඇති ලෝභකමෙන් ඇය පවසන්නීය.

ඒ මොකටද පුතේ?

මව දියණියගෙන් විමසූ පැනයට ඇය දුන් පිළිතුරත් සමඟ ඇයට අත වනා විසිර ගියද ඒ මවත් මමත් වචනයකුදු කතා නොකර වෙන් වූහ.

තාත්තට.අපි තුන් දෙනාට හයියෙන් බදා ගෙන දොයියන්න පුළුවන් එතකොට

ඒ තාත්තා යළි ආවාදැයි මම නොදනිමි.එහෙත් කිහිප වතාවක්ම ඒ දිනවල මගේ ඇස් ඒ මතකයෙන් තෙත් විණි.

ප්‍රසිද්ධ පාතාල නායකයෙකුගේ දියණියක් සහ මගේ පුතා එකම ළදරු පාසලේ ඉගෙන ගනිමින් සිටියේය.ඒ දියණිය ළදරු පාසලට පැමිණි මුල් කාලයේම ඔහු ඝාතනය වන්නේය.ඒ අතරතුර ළදුරු පාසලේ ප්‍රධාන ආචාර්යතුමියගේ නිවසේද මරණයක් සිදුවන අතර එයට සහභාගි වන්නට ගොස් ආපසු එන විට අර දියණියද මව ද පැමිණෙන්නේ අප සමඟය.පුතා එයට රැගෙන නොගිය නිසා සාමාන්‍යෙයන් අද දුවගේ පංතියේද සිදුවන පරිදි පැටව් ටික (පස් හය දෙනෙක්) කෝච්චියේ මා සමඟ අසුන්ගෙන විවිධ කතා කියමින් රඟමින් එන්නට විය.මා ද ඔවුන්ට හවුල් විණි.රඟ පා පෙන්වමින් ද කතා කියමින්ද මා ඔවුන්ව විනෝදවත් කරමින් පැමිණෙන අතරේ මට වඩාත්ම සමීපව සිටින්නේ අර දියණිය ය.

මාමේ ඔයා ජාරක එක්කත් මෙහෙම සෙල්ලම් කරනවද?

ඔව් පැටියො. ඇයි?

අය පිළිතුරු දෙනු වෙනුවට මා ව බදාගෙන නිහඩව සිටියි.ඇයගේ පියාගෙ සිදු වීම මතක් වී මා මුවද ගොළු වී ඇත.පොඩි එවුන් කෑ ගසයි.මා දුම්රියෙන් ඉවත බලා ගෙන ඇසට නැගෙන කදුළු පිසලන්නට වෙර ගතිමි.මගේ උරහිසට හේත්තු වි සිටින අර පුංචි දියණිය මගේ කණට ඇසෙන සේ මෙසේ කොදුරන්නේය.

ඔයා හරි ෂෙෘ්ක්... අපිට ඉතිං තාත්ත නැහැනෙ.

මෙවැනි තාත්තල නැති විශාල පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයේද මට හමු වී ඇත.මගේ උපකාරද ඇතිව අද ද ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද ඒ අතර වෙති.එහෙත් යුද්ධය නිමා වී යාපනයේ පැවති නෙස්ටමෝල්ට් මැරතන් තරගය නිමාවේ එය ජයග්‍රහණය කළ පුතු ගේ කතාව මෙහිදී වැදගත්ය.

ඔහු තරගය නිමා වී දොරේඅප්පා ක්‍රීඩාංගණයේ යකඩ වැටට අත් රිදෙනතුරු වැරෙන් පහර දුන්නේය.

එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.

ඒ යුද්ධයේ ආදීනවය.ඔහු පහර දෙන්නේ මේ ජයග්‍රහණය විද ගන්නට ඔවුන් නැතිවීමේ වේදනාවෙන්ය.

මේ සටහන ඉහළ ඡායාරූපයේ වාඩි වී සිටින පුතු නියෝජනය කරන්නේ මේ සියලුම දරුවන්ට පියවරු මව්වරු අහිමි කරන්නට යෙදුණ දේශපාලන සමාජ පසුබිම පාලනය කළ පියෙක්ගේ දරු සෙනෙහසේ තරමය.ලක්ෂ තුනක් වැනි සුළු මාසික වැටුපකට ශ්‍රී ලංකා ගුවන් සේවිකාවක් සේවයට ගන්නට තමන්ට වරප්‍රසාද ඇති කළ පියෙකුගේ සෙනෙහසය.ඔහුට පියා අහිමි වී නැත.ගැටළුව අල්ලස් කොමිසමට පියා කැදවීමය.

ඒ පියා ද වගකිව යුතු මෙරට සමාජ දේශපාලන ව්‍යහුය තුළ ඒ ක්‍රමයේ හිදැස්වලින් වැටුණු යුද්ධයට,භීෂණයට,සමාජ විරෝධි ක්‍රියාවන්ට මෙන්ම සමාජය වෙනස් කරන්නට සිය අභිමතය අනුව ගත් උත්සාහයන් වලදී ද,පීතෘත්වය අහිමි වූ දූ පුතුන්ට වඩා මේ පුතු අසරණ වන්නේ කොතැනද?

ඊයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අපූරු කතාවක් කීවේය.

මට දරුවො නැහැ.හැබැයි දරුවො මරා දාන කුඩු ගේන්න මම දායක වෙලා නැහැ.

රනිල්ගෙන් මෙතැනට වටින්නේ ඒ වචනවල බරය.එය රනිල්වාදියෙක් කර,මා දඩුකදේ ගසන්නට නොයා මෙය කියවීම වැදගත්ය.දරුවෙක් වෙනුවෙන් දෙන ශුක්‍රාණු දායකත්වය පියෙක්වීමට ප්‍රමාණවත්ය.එහෙත් පිය හැඟුම් සඳහා එය ප්‍රමාණවත් නොවේය.තමන්ගේ දරුවාගේ සුඛ විහරණය වෙනුවෙන් වැය කරන පීතෘත්වය සහ සමාජය දෙස පියෙක් ලෙස බලන්නට ඇති හැකියාව අතර සෑහෙන දුරස්කමක් ඇත.මෙවැනි ඡායාරූප පළ කළ හැකි හිස් තැන නිර්මාණය වන්නේ ඒ දුරස්කම නිසාය.ඒ නිසා දරුවෝ ගරු කළ යුතු පීතෘත්වය ලෙස ආත්මාර්ථකාමී කැපවිම් හදුනා ගන්නා අතර පියවරු දරුවන් වෙනුවෙන් ආත්මාර්ථකාමි කැපකිරිම් කරති.පිය සෙනෙහස සහ දරු සෙනෙහස වඩාත් අප සමාජය තුළ සක්‍රීයව පවතින්නේ මේ වපසරිය තුළ ය.

එය රටේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන තැනද එලෙසම පවතින්නේය.මේ ඡායාරූපය කියන ඒ දුර්භාග්‍යය අවසන් වෙන තෙක් මේ සමාජයේ දරුවන් පිතෘත්වයේ උණුසුම නොමැතිව දුක් සුසුම්ලනු ඇත.


Monday, April 20, 2015

අයි.සී.සී සහ අයි ආර් සී

mad

අයි.සී.සී සහ අයි ආර් සී යන වචන දෙක සමාන වෙමින් පවතින්නේදැයි සැක සහිත ය. එය වෙනම විසදා ගත යුතු කාරණයකි. නමුත් ‘අයිසීසී එකට ඕනි විදහට වැඩ කරන්නෙ නැහැ‘වැනි අදහස් මතු වන මුරණ්ඩු ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ අයි.ආර්.සී. කාරයන්ට මුහුණ දිය යුතු අවබෝධය සහ පෞරුෂය එපමණට නොවැඩි ළදරු මානසිකත්වයකි.
උසස් පෙළ සහ බාලාංශ ළමයින් අතර ගැටුමක් සේ පෙනෙන්නට තිබෙන මේ අර්බූදය මුලට ගිය විට හමු වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා දේශපාලනයේ ස්වභාවය ය. දැලි පිහිය භාවිතයේ ආදීනව කවරේද යන්න තීරණය වන්නේ එය භාවිතා කරන්නා අනුව ය. මේ නීති රීතිවල ක්‍රියාකාරීත්වයේ සොබාව ද එබඳු නැත. නමුත් පත්වන පුද්ගලයාට සම්ප්‍රදාය ක්‍රියාත්මක විය හැකි ඉඩ වසා ස්වීය පෞද්ගලික පෞරුෂය භාවිතාවේ යොදා හැසිරිය හැකි ය.
එවැන්නකුට බලය ලැබීම හෝ බලය භාවිතාවේ ඉඩක් ලැබීම යනු ලෝකයක් අනාථ කළ හැකි වැඩකි. ක්‍රිකට් ලෝකය ද අනාථ වූයේ එවැනි පුද්ගල භාවිතාවන් ගේ සහ දායකත්වයන් ගේ මැදිහත්වීම හරහා ය.
ඉකුත් කාලයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ක්‍රිකට් ශාඛා සමිතියක් වීමට තරම් පිරිහුණු අතර අමාත්‍ය අර්ජුන රණතුංග ම මේ පිළිබදව විවිධ අවස්ථාවන් හී මාධ්‍යයට කරුණු දක්වනු දකින්නට ලැබිණ. එහි තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන්නට ගත්තේ ශ්‍රී නිවාසන් අයිසීසී යේ අදෘශ්‍යමාන පාලකයා වීමත් සමඟ ය.
ඉන්දියාව අප පූර්වාදර්ශයට ගත යුතු රටක් ලෙස හැදින් වූයේ ඔවුන් තුළ තිබෙන බලය අත හැර යාමේ හැකියාවට සාපෙක්ෂව ය. බොහෝ විට වරදක් වූ විට එහි විපාකය පහළට නොඑවා අමාත්‍ය ධූරවලින් පවා අස් වෙමින් ඔවුන් දෙන ආදර්ශය ගැන එවැනි සමාජ දේශපාලන වට පිටාවක් නැති ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතු බව අපි නිතර සාකච්ඡා කළෙමු. නමුත් ශ්‍රී නිවාසන් ශ්‍රී ලංකාව ආදර්ශයට ගත්තේ ය. අයිපීඑල් හරහා දැවැන්ත චෝදනා එල්ල වෙද්දි ඒ සියල්ල දරා ගෙන ඔහු තම ක්‍රියාවන් එලෙසින්ම පවත්වා ගෙන යන්නට තරම් නිර්ලජ්ජිත විය. අයිසිසි ය ද ඔට්ටු ඇල්ලීම වැනි චෝදනා අභිමුව වුව ඔහුට පරීක්ෂණවල විනිවිදභාවය සුරකින්නට හෝ එම පරික්ෂණ නිමවන තුරු හෝ තනතුරුවලින් තාවකාලිකව ඉවත් වන්නට යැයි කියා හෝ නොකීවේ ය.
මේ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොදුරු වීම පිළිබඳ ආසන්නම සිදුවීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සංචාරය අතරමඟ නැවතීමෙන් ඇති වූ හිදැස පුරවන්නට කිසිඳු සූදානමකින් තොරව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එරටට යැවීම ය. ක්‍රීඩකයන් පවා ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කළ මෙම අවස්ථාව නිසා අපේ ක්‍රිකට් කණ්ඩායමට වාර්තා කිහිපයක් ම හිමි විය. පරාජය ඉක්මවා ගිය එම වාර්තා අතර රෝහිත් ෂර්මාට වැඩිම එක්දින ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තාව හිමි කර දෙමින් විශාල ලකුණු ගණන්වලින් පරාජය විඳ ගැනීමේ අවස්ථාව ද අපට හිමි විය.
ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ අර්බූද ද ඇති තරමට තිබිණ. තීරණ ගැනීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ක්‍රියා කළ ආකාරය මෙන්ම පරිපාලනයේ තිබි අභ්‍යන්තර අර්බූද හේතුවෙන් සභාපතිවරයාට සහ ලේකම්වරයාට තමන්ට අදාළ සීමා කවරේද යන්න කියා දීමට තරම් අමාත්‍යවරයාට මැදිහත් වන්නට සිදු වූ අවස්ථා ද මේ අතර තිබිණ.
ශ්‍රී ලංකාවෙ පැවති ලෝක කුසලානයෙන් පසුව මූල්‍යමය වශයෙන් අස්ථාවර වූ ක්‍රිකට් ආයතනය ඇතැම් කාලයන් පසු කළේ සේවක පඩිනඩි හෝ ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක ය. රූපවාහිනි විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ අර්බූදයන්හී දී චෝදනාව එල්ල වූ ආයතනයේ ප්‍රධානියකු ලෙස සාක්ෂි දීමට ක්‍රිකට් ආයතන ලේකම්වරයා කැදවීම හරහා සහ ඒ සම්බන්ධයෙන් ඔහු දී ඇති කට උත්තරය ද පැහැදිලි කරන්නේ ඔහු එහි නියෝජිතයකු බව නම් වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.
මෙවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පරිපාලනයක් සමඟ විශ්වසනීයත්වයෙන් කටයුතු කිරීම පහසු නැත. රටේ ක්‍රීඩාවක් ඒ ආකාරයට අයාලේ යන්නේ නම් එය නිවැරදි කිරීම සහ ඒ ගැන පරික්ෂා කිරීමට රටේ නීතියෙන් ඇති අවසරය නොවැළක්විය හැකි ය.
අප පිළිගත යුතු දෙයක් වන්නේ, ක්‍රීඩාවක ව්‍යුහමය සැලැස්මට අනුව අප එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර මුලස්ථානයට වගකිව යුතු ය. ක්‍රීඩාව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රමිතියකට එහි හැසිරීම අවිශ්වසනීය වුවත් අප එයට සටන් කිරීමට සූදානම් විය යුත්තේ හිස් අතින් නොවේ.
ක්‍රීඩා අමාත්‍යවරයා වරද්දා ගන්නේ මෙතැනදී ය. ලංකාවට පමණක් නොව ඉන්දියාව අයිසීසී ය තුළ ද විශාල පරාසයක බලය හිමි කර ගෙන සිටින බව අප අමතක නොකළ යුතු ය. ඒ ඉන්දීය ආශ්චර්යයේ ආලෝකයෙන් ආලෝකය ලැබීම පමණක් නොව ඒ ආලෝකය දල්වන්නට ඉන්ධන ඇදීමට ද ශ්‍රී ලාංකේය පරිපාලනය කටයුතු කළ බව අප මෙහිදි දන්නා සත්‍යයකි.
මේ තත්ත්වය යටතේ පසුගිය කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අකමැත්ත පළ කළ තොරතුරු සහ සැක සහිත මූල්‍යමය ගනු – දෙනු මෙන්ම පරිපාලනයට නුසුදුසු සහ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරීමට වලංගු නීතිය යටතේ කොමිසමක් පත් කරමින් පැවති පාලනය ඉවත් කිරීමේ ඉඩ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත් හළේ ය. එසේම එම චෝදනාවලට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් වී ඇති චෝදනා තොගයේ පරික්ෂණ නිමවන තුරු එම පරීක්ෂණවලට ඇති විය හැකි බලපැම් සලකා මෙම පරිපාලනය තාවකාලිකව ඉවත් කරන බව කීමට ද තිබිණ.
ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ යුතු පිළිවෙළ එබඳුව තිබිය දී එම අතපසු කිරීම නොතකා අයිආර්සි කාරයාට චණ්ඩි කතා පැවසීමට යාමෙන් වෙන්නේ මුල්ලකට වීසි වන්නට පහර කෑමට ය. අපි බය නැහැ අපිට ඕනි දේ අපේ රට වැනි ග්‍රෝතික වදන්වලට සැපට නින්ද යන අය සිටින බව අපි දනිමු.ඒ වගේම ඇමති ගේ හිත සුව පිණිස ඔළුව වනන අය ද සිටින බව අපි දනිමු.
මේ සිහින දකින්නන් යථාර්තයට ද, ඔළුව වනන එහෙයියන් ශක්තියට සහ සෘජුව තැබෙන සේ සිය කශේරුකා සවිමත් කර ගැනීමට ද කටයුතු කරමින් කතා කළොත් අන්තිමට ඉතුරුවන සත්‍යය වන්නේ, ජාත්‍යන්තරය නොතකා කටයුතු කරන්නේ නම් අපට ක්‍රිකට් ලෙස ලෝක පරිමානයේ දෙයක් ඉතිරි නොවන බව ය. එවිට ලෝකය ආඩම්බරයෙන් පෙන්නන දෙයක් ලෙස ‘අපේ ක්‍රිකට්‘ නොපවතිනු ඇත. අපිට ඕනි නම් අත උඩින් පන්දු යැවීම නවතා එය දෙපරන්දය අස්සෙන් පිතිකරුවාට වීසි කරන පන්දු යැවිමක් බවට පත් කර ගෙන වුව, එයට ක්‍රිකට් යැයි කියා අපට ඕනැ හැටියට අප රට තුළ පමණක් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇත.
දැන්වත් ක්‍රීඩා අමාත්‍යවරයා තිරණය කළ යුත්තේ මින් කුමන මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවකට ‘අපේ ක්‍රිකට්‘ කීම උචිත ද යන්න ගැන ය. ක්‍රිකට් ක්‍රීඩාවේ පෙර පාදයේ මෙන්ම පසු පාදයේ ක්‍රිඩා කර ද නොදැවී ආරක්ෂා වී සිටීමට හැකි බව පමණක් බුද්ධියේ ප්‍රමාණය අනුව තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
වෙබ් එකට ලියපු ආටිකල් එක .මේකට පෝස්ට් කළා.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි වගේ වැඩක් තමයි.... 


Wednesday, April 15, 2015

ඕං මගේ අවුරුද්ද

හැම අවුරුද්දම එකයි. ඇස්වලට එන්නෙ නැති කඳුළු හතවතේ තෙරපගෙන හිනාවෙන මිනිස්සුන්ගේ උත්සවශ්‍රීය අවුරුද්ද හැටියට ගෙවිල යනවා.අවුරුද්දට මොකුත් නොකර කොහොමද? හුගක් අය අහන ඒ ප්‍රශ්නයට මට උත්තරයක් නැහැ.හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.නැකැත් පත්‍ර එක්ක හැසිරීම ඒ විදිහට හැරි හැරී කෑම,ලිප මෙලවීම,ඔළුවෙ තෙල් ගා ගන්න එක මට පෞද්ගලිකව වදයක් කියලා දැනෙන්නෙ පුංචි කාලෙ ඉදළමයි.

“මුරණ්ඩුකම“

ඔහොම කියලා මේව ප්‍රතික්ෂේප කරන කොට බෝධි පූජා තියනවා.එහෙම ප්‍රතික්ශේප කරන එකාගෙ කරටම හරක බලෙන් අල්ලල බදිනව වගේ යන්තර එල්ලනවා.අම්මා මේව කරන කොට ඒව ඉවස ගෙන තාත්තා කට හිර කරං හිනා වෙනව මට මැවිලා පේනවා.ඔය විදිහටම මොකක් හරි දෙයක් වුණහම පුතා කට උණ්ඩි කරල හිනා වෙනකොට මම ඉගිල්ලිල ගිහිං තාත්තගෙ මතකයෙ එල්ලෙනවා.

හැබැයි තාත්තා අවුරුද්දට මේ සම්ප්‍රදායෙ ටිකක් එල්ලෙනවා.ඒක මම හිතන්නෙ අනුන්ගෙ කැමැත්තට විරුද්ධ වෙන්න බැරි නිසා කරපු වැඩක් වෙන්නත් පුළුවන්.මිනිස්සුන්ට මොනව හරි කරන්න ඕනිනෙ.තාත්තා අම්ම එක්ක රණ්ඩු වෙවී බැංකු පොත හිස් කරන හැටි මට මතක් වෙනවා.පතල්වල වැඩ කරපු හැමෝ අතේම රුපියල් 5 ක් 10 ක් හරි අත මොලවන්න ඕනි කියන හැඟීම තාත්තා තුළ හැම වෙලේම තිබුණා.වැඩේ හොදටම අවුල්නම් කට්ටියව මා එක්ක කහවත්ත හුසේන්ස් මැණික් ආයතනය වෙත පිටත් කර හරින එක තමයි තාත්තා කළේ.

ඒ මතකය එක්ක මටත් කා එක්කවත් අවුරුද්දට තියන මගේ අකමැත්ත පිළිබදව තර්ක කරන්න කැමති නැහැ.සරලම කාරණය සරලම විදිහට කිව්වොත් මම කැමති නැහැ.ඒ චාරිත්‍ර වාරිත්‍ර එක්ක ස්වභාව ධර්මය එක්ක තියෙන මානව සම්බන්ධතාවයෙ ගැඹුර වඩා පුළුල් ලෙස පළල් කිරීමක් තියෙන බව පැහැදිළියි.ඒත් ඉස්සර වුණේ හැමදාටම අදාළව තිබුණ මේ බැදීම වන්දනා කරන්න එක දවසක් තෝරා ගැනීම වෙන්න පුළුවන්.අද සිදුවන්නේ ඒක කෘතිමව ස්පර්ශ කිරීමක්.ඒ හැඟීමත් අවුරද්ද එක්ක මාව තදින් නො‘බැදෙන්න හේතුවක් වෙන්න ඇති.

ඒත් අවුරුද්ද කියන කන්සෙප්ට් එක එක්ක එකිනෙකාට ආදරය කරන බැද වැළද ගැනීමට මම ආදරෙයි.ඒක තමයි මගේ අවුරුද්දට තියන බැදීම පුළුල් කරන්නෙ.නැකැත්,අලුත් ඇදුම් කැවිලි පෙවිලි මේව අහුවෙන්නෙ උඩ කිව්ව ආදරේ දැනෙන සහ ඒක බැදල තියෙන නූලක් විදිහට.ඒ නූලෙ තියන පිරිසිදු ගතිය කඩා දා ගන්න බැරි නිසා තදින් අල්ලං ඉන්නවා.ඒක තමයි මගේ අවුරුද්දෙ හැඩතලය.මේ හැඩතලය එක්ක ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් අවුරුද්ද කියන්නෙ මොකද්ද කියන දේ වඟේම මේ අවුරුද්ද අපිට ආවෙ කොහොමද කියන එකත් ලියන්න මම අපේ වෙබ් එකට ලියන සති අංග විශේෂාංග වලට මාතෘකාව කර ගත්තා.

ඒ කේ උඩින්ම තියෙන්නෙ තිනෙතක වරුණ කියන පිංගූරයට ලියන කවියෙ විශේෂාංගය යටතෙ මම අජිත් ගෙ කවියට ලියපු කවිය.  http://thecolombopost.net/?p=63917

thinetha-new-year

දුක පිරුණු තිත්ත රස
ඇස්වලින් හංගා
චිත්‍රපටයක වගේ
ඈ සිනාසෙන්නා
ඉස්තරම් රඟපෑම
පැණි රහට දැනෙනා
පත් තිරක විකුණන්න
හැඩ තාල දැම්මා

දවසෙ පොලියට අරං
තෙල් ද පැණි ගත්තා
අවුරුද්දෙ පැතුම් ඒ 
තෙලෙහි ලා බැද්දා
දවසකට සතුටු වෙන 
හැඟුමන් පරද්දා
වසරක් ම ණය වේද
හිතේ බර නැංගා

රතිඤ්ඤා කරලකට
කවුද ගිනි තිබ්බා
මහ හඬින් පිපිරිලා
රොඩු කෑලි තිබ්බා
හඬ මිසක් වැඩක් නැති
දවසක්ද සිතුණා
දවසකට සතුට දී 
අවුරුද්ද මැකෙනා

ඡායා – අජිත්
සටහන – නිශ්මං


ඊට පස්සෙ සමාජමය වශයෙන් යම් යම් දේ සාකච්ඡා කරන්න ගන්න චූල උත්සාහයක් විදිහට හඳුනගන්න පුළුවන් ආකාරයෙ කොළමක් ලියනවනෙ වෑර් ෂෝට් කියලා.ඒක ට ලියපු ටිකත් මේකටම අමුණල තියන්න තීරණය කළා.  http://thecolombopost.net/?p=65943

අවුරුද්දට හැම තැනම අවුරුදු උත්සව. පොඩි එව්වො ටිකත් උන් අතේ තියෙන පෑන් පැන්සල් ටික තෑගිවලට බෙදා ගෙන අවුරුදු උත්සවයක් කරන්න ලැහැස්තියි.
‘අලුත් තරගයක් කියන්නකො.?‘
කට්ටිය මා වටේ රොක් වෙලා. එහෙම එක පාරටම අලුත් එව්වා එනවයැ. අනික මුං ටික පරඬැල්කිච්චො වගෙ කෑ ගහනවා, ඉක්මනට ඉක්මනට කියලා.
‘අලුත් රබන් පද!‘
උත්තරේ පැහැදිලි කරන්න වුණේ නෑ. මුං ටික හරී! කියා ගෙන දිව්වා.
මං හිතුවා වට්ටක්කා වෙනුවට බණ්ඩක්කා දාලා පොඩි පොඩි වැඩ ටිකක් එක්ක මුන් ටික වැඩේ කරයි කියලා. ඒත් මුං ගෙනත් දුන්න එව්වා බලන්නකො. අනේ අම්මප.
දිනුම දෙන්න ඕනි පදේ මොකද්ද කියලත් මේ ටික බලල කියනවනම් විනිශ්චය මණ්ඩලයට පහසුයි.
ඒ පැති ගත්තත් කෝටි ගණන්
මේ පැති ගත්තත් කෝටි ගණන්
ඒ පැති ගත්තත් මේ පැති ගත්තත් 
ඡන්දෙ දුන්නු උන් මෝඩ රැලක්
ප්ලේන්ටි ටිං ටිං ප්ලේන්ටි ටිං ටිං
සද්දෙට වැඩ දාලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
ප්ලේන්ටි මිල බැහැල
ටිං ටිං ඒකෙ අගෙත් බැහැලා
ඡන්ද පොළේඅපි යනකොට හොරට දානවා
පලා බබෙක් ගොඩ ගහගෙන කතිර ගහනවා
තක දොං කතිර ගහනවා
ඡන්දෙ ලබන්නට සුදුසුකමක් ඇත
බාර් දෙකක් හිමි කුඩුත් ගෙනෙමි මම
ඡන්දෙ ගත්තට පැත්ත පැන්නම 
දුන්න මිනිහට වෙයි වදේ
පැන්න මිනිහට නෙමේ වැදුණේ
දුන්න මිනිහට දෙයියනේ
නොණ්ඩි කකුල බැඳ ගෙන හරි 19 ට යං
පුංචි අපට කට අරින්න ඉඩක් හදපං බං
19 ක් කද බැඳ ගෙන දෙන්න ආපු මුං
රහ දැනුණම දාල යන්න බැහැ කියනව බං
යකෝ මුන්ට ඉතිං පොඩි කියන්න පුළුවන් ද? හාවා ඉබ්බා තියා ගල් ඉබ්බෙක්වත් නැහැනෙ මේ රබන් පදේක.දේශපාලනඥයො දැක්කොත් පනතක් ගේනවා මුන්ට ලොකු වෙන කොට ඡන්ද බලය නැති කරන.
කෝකටත් ඉස්කෝල නිවාඩුව ඉවර වෙන්න කලිං මේකෙ හොඳම එක තෝරන්න මට පොඩි උදව්වකුත් දෙන්න කියල කියන ගමං හැමෝටම සුබ නම් සුබ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.

- කරන්ට්

Thursday, April 9, 2015

කනගාව දිනුව මගේ දූ වෙනුවෙන්....

‘කවෝදි කනගාවා චිත්‍ර තරගයෙන් ලංකාවෙන් තේරුණ තුන්දෙනා අතර ඉන්නවා.එයාගෙ සම්පූර්ණ විස්තර එවන්න‘
ප්‍රවීන චිත්‍රකලා ආචාර්ය බෝගහවත්ත මහතා ද සිය සිසුවිය ගැන ඇති කරගත් අප්‍රමාණ ප්‍රීතියෙන් තෙපලන විට ඇයගේ දෙමව්පියන් ලෙස අපට දැනෙන හැගීමේ තෘප්තිය සහ සතුට වචනවලට දමා කිරන්නට නොහැකිය.

ජීවිතයේ නොලැබෙන දේවල් වලට වෛර කිරීම, ඒ වෙනුවෙන් ඊර්ෂ්‍යා කිරීම ජීවිතය නොවිය යුතු බව මගේ දැක්මය. ආනිසංස ගැන මට මහත් විශ්වාසයක් නැතත් නොලැබෙන සහ නොලැබුණ දේ ගැන නොසිතා තවකෙකුට යමක් ලබා දිය හැකිනම් වෙහෙසෙන හිත හැදෙන්නේ එතැන් සිටය.

මා තාත්තා කෙනෙක් වූ දිනයේ දැනෙන සතුට තරමටම දුකක් කාලය විසින් මසිත මත තෙරපූ දිනය මා මතක තබා ගන්නේ නැත.

‘සාමාන්‍ය වයසෙ වැඩ කරන්න අමාරුයි.අවුරුදු 8 - 9 ක් විතර පහළින් ඉදියි හැම වෙලාවෙම.

මහාචාර්ය හේමමාලි පෙරේරා එසේ කියන විට කඩා වැටුණ හිත මා එසැණින් යළි පිළිසකර කර ගත්තේය.ඒ වන විටත් මා දත් දේ නොමිළේම අනුරුද්ධ බාලිකා වැනි පාසල් දියණියන්ට මෙන්ම විවිධ තැන් හී අවධානය යොමු නොවූ පුතුන්ට බෙදා දෙමින් උන්නේය.රටේ ක්‍රීඩා කේෂ්ත්‍රෙය් වත්මන් ප්‍රබලයන් වෙනුවෙන් අරගල කරමින් සටන් වදිිමින් අද අප විදින වර්ථමාන දක්ෂයන් රැසක් නිර්මාණය කිරිම වෙනුවෙන් පෑන මෙහෙයවමින් සිටියේය.

අඳුරු රැයෙක නාට්‍යකරුවෙක් ලෙස හදා ගත් ගණු-දෙනුවත් සමග සමීපතමයෙක් වන වෙඩ්ඩා සමඟ මී විතක් තොලගාන මොහොතක ක්‍රීඩාව ගැන කලාව ගැන මා කියන දේ අකුරු කරන්නට ඔහු ඇරයුම් කරන්නේ ඒ දක්වා මසකට විශාල මුදලක් ලැබෙමින් තිබෙන රජයේ රැකියාවට මා ආයුබෝවන් කියනු ඇතැයි සිහිනයකින් හෝ නොසිතාය. ඒත් මා ලියන අකරුවලට වටිනාකමක් දෙන්නටත්,ඒ අකුරුවලින් මට ලැබෙන වටිනාකමෙන් මා විශ්වාස කරන යථාර්තය සැබෑවක් කරන්නටත් මා තුළ තිබුණු හැගීම මගේ ජීවිතය මුදලින් ලැබිය නොහැකි දැඩි තෘප්තියක වෙලා ගන්නට මට බල කරන්නේය.

මාධය ආයතනයක වෙනත් වෘත්තියක සිට අකුරු ගලපන්නට සේන්දු වන්නෙක් නොවුණ මා දිගින් දිගටම ඒ අකුරු මගේ වෘත්තියට වඩා වගකීම බවට පෙරලා ගන්නේ එතැන් සිටය.ඒ වගකීම අකුරුවලට සීමා නොවී ‘සිපිරිගෙදර‘ කාගෙවත් අවධානයට ලක් නොවූ සිරකරුවන්ගේ නාට්‍ය කුසලතා වර්ධනය දක්වා විහිදෙන්නේද එබැවින්ය.

කෙසේ වුව පුතාගෙන් ඉනික්බිති පවුල තුළ ඇතිවන සියුම් කැළඹිමක් තිබිණ.එය ආත්මීය වේදනාවක් මිස උපන් පුතු ගැන අංශු මාත්‍රයක බිදීමක් නොවේය.හිතවත් වෙදදුරන්,මිතුරන් තවත් එකෙක් ගැන පොළඹවන හැඟිමට මා බිය වූයේ පුතු කෙරෙහි වෙනස් හැඟිමක් නව සාමාජිකයෙකුගේ සම්ප්‍රාප්තියෙන් ඇති වේය යන බියෙන්ය.

නමුත් කලෙකින් දුව අපේ කැදැල්ලට එන්නේය.ඒ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරමින්,උපතේදී ඇගේ මවගේ ජීවිතයට විශාල තර්ජනයක්ද කරමින්ය.සුමානයකට අධික කාලයක් ඇයට සිය මවගේ කිරි බිදක්වත් නොලැබෙන තරමට මව අසාධ්‍ය තත්ත්වයට තල්ලු කළ එම උපත කාලයත් සමඟ අපට දරුවෙක්ගෙන් ලැබිය හැකි වෙනත් සතුටුදායක තත්ත්වයන් කරා තල්ලු කරන බව දැනෙන්නට විය.

මද ආඩම්බරයකින් සහ අභිමානයකින් ජීවත්වන ඇයට අයියාට තරම් කරුණාවන්ත මිත්‍රශීලිකමක් නොවිණ.නමුත් ඇය ඉගැනීමේ මෙන්ම භාහිර ක්‍රියාකාරකම් හී ද කැපී පෙණෙන දක්ෂතාවයක් ඇතිව වැඩුණාය.පාසලේ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම චෙස් කණ්ඩායමේ ප්‍රබල සාමජිකාවක්ද වන ඇය උදෑසන නිවේදන කටයුතුවල නියැලෙන නිවේදිකාවක්ද වන්නීය.ඒ අතර අයියා උදාහරණයට ගෙන හැදෙන්නට ඇති දේ ද අප ඇයට කියා දුන්නාය.පෙන්නා දුන්නාය.

ඇය ක්‍රීඩාවේ වෙහෙස වී කරන ඉසව් කෙරෙහි තවමත් අදක්ෂය.ඒත් ඇයගේ නිවාසයේ දක්ෂතා වර්ධනය කරන වගකීම මට පැවරෙද්දී ඇය ‘නොදුවන,පනින බව මා නොසිතුවේය.අනෙක් දරුවන් වෙනුවෙන් කළ කැපවීම නිසා ඇයගේ නිවාසයට වසර ගණනාවකින් නොලැබි ජයග්‍රහණ රැසක් මෙවර දිනා දෙන්නට මට හැකි විය.

අර හොදට දුවන නංගි ළමා නිවසෙ ඉන්නෙ.අපි එයාට දුවන්න දේවල් අරං දෙමු‘

මා කාලයක සිට පුතාගෙන් සොයමින් සිටි දුවගෙන් අපේක්ෂා කළ වචන ඇසුවේය.

කවෝදි අක්ක තමයි අපේ පංතිය බලා ගන්න එන්නෙ.අක්ක මට ගොඩක් උදව් කරනවා.පාඩම් කියලා දෙනවා.

සිය පංතිය බලා ගන්නට එන ශිෂ්‍ය නායක අක්කා ගැන ඒ වචන ළමා නිවාසෙ දියණියගෙන් ය.

මට වේදනාවට හැඩෙන්නේ නැත.එහෙත් සතුටට ඇස් තෙත් වෙන බව යළිත් පසක් විණ. ඒ ළමා නිවාසෙ දියණිය ක්‍රීඩාවේ අති දක්ෂය.නමුත් හිටි පිම්මේ ජයක් මිස ඇය සතු ජවසම්පන්න ධාවන හැකියාවට ජයක් ලබන්නට නොහැකි විය.ඒ මව්-පිය සෙනෙහස නැති ඇය තුළ වන වික්ෂිප්තභාවයමය.ඇයට ලැබෙන විහේෂ අවස්ථා දරන්නට බැරි අන්දමේ හැඟුම් ඇති වීම නිසාය.

‘මම ලබන අවුරුද්දෙ මේ ස්කොලෙ නැති වුණාට කමක් නැහැ.අර නංගිව දුවවන්න උදව් කරන්න එමු‘

මට දුව ගැන පුදුම ආදරයක් උපදින්නේය.වචන වෙනුවට ඇයව තදින් තෙරපා ගතිමි.

දුව හෙට කුමක් කරයිදැයි කිව නොහැකිය. ඒත් ඇය දැනටමත් බොහෝ දේ දිනා දී අවසන්ය.

අයිය කරන එව කොහෙන් හරි අයියට ලැබෙනව අයියෙ...

මේ දිනවල වතුරුගම මානසික ආබාධ සහිත දරුවන් පුහුණු කරන ආයතනයක නේවාසිකව සිටින පුතා එවැනි නිවාස අතර පැවති ජාතික තලයේ ධාවන තරගයකින් ඔහු සහභාගි වූ කාණ්ඩයේ පළමුවැනියා වූ බව මා මිතුරියකට කී විට ලැබුණු ඒ ප්‍රතිචාරය ඇත්තක් විය හැකිය. කිසිවක් නොපතා බොහෝ දේ කළ මම ඒවායේ ප්‍රතිපල වලින් අපේ රටේ ජාතික ධජය,අන් රටවල ජාතික ධජ අභිබවා ඉහළ නැගෙනු සජීවීව දකින්නට තරම් භාග්‍යවන්තයෙක් වී ඇත.එවැන්නෙක් ජයග්‍රාහී පූවරුව මතට ගොඩවෙන විට උදම් අනමින් රටටම ඇහෙන්නට කියන්නට තරම් භාග්‍යයවන්ත වී ඇත.

ඔක්කොටම කරන්න.තමන්ගෙ ළමයි ගැන විතරක් අමතක කරන්න.

බිරිදගේ නුරුස්සනා බස් වලට පිලිතුරු දැන් ලැබී ඇත.මා නිසා පෙරට ආ දරුවන්ගේ දෙගුරුන්ගේ ඇස් වලින් සතුටු කඳුළු පනින විට මේ සතුටේ කොනක මගේ මිනිහා ඇතැයි සිතා සතුටුවන්නට ඇයට උගන්නනවාට වඩා ඇයගේ ඇස් වල කඳුළුවල සතුට රදවන්නට අපේ දියණියට හැකි වීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙමි.

‘මට බොහෝ දේ නැතුවාට කම් නැත.නුඹගේ දැණුමත් හැකියාවත් සමඟ ස්වාධින ගමණක් සකසා ගන්නා අතරේම ළමා නිවාසේ නැගණිය පිළිබද ඇති වූ හැඟීම ද පුළුල් ලෙස වැඩේ නම්‘ 

වචන නොවුණු හැඟිමෙන් කනගාව ජය වෙනුවෙන් සුබ පැතුම් ඉල්ලා වඩා ගන්නට දෑත දිගු කළ දියණිය මා වඩා ගෙන හුස්ම හිර වෙන තරමට පපුවට තුරුළු කර ගතිමි.

ඡායාරූපය - චානක මධුශංඛ

Friday, April 3, 2015

මුහුදු පතුල යට ඉඳ ගොඩ ගත් දරු සෙනෙහස

unnamed

නැවතත් පුතු හරහා යමක් ලියන්නට වී ඇත. ඒ පුතුගේ වෘත්තීය මධ්‍යස්ථානය ගැනය. වැඩි යමක් නොකියමි.මෙවැනි පිං ඇති සහ ෆන් ඇති පෙමැති වැඩකට සෙට් වෙන්න ඔබත් කැමතිනම් එම ස්ථානය ඇමතිය හැකි දුරකථන අංකය - 033 22 79 321 
ඇයි අඩන්නෙ?’
මුහුදු පතුල යට ඉඳලා ගීතය ගැයිමෙන් පසු මට තුරුළු වන පුතකු ගෙන් මම විසමි.
‘මට අම්මව මතක් වුණා මාමේ’
වචන නිවැරදිව නොකිය වුණ ද ඒ කියන දේ පැහැදිලි ය. ගීතයෙන් කවරක් කියැවුණ ද මේ අහිංසකයා ගේ මනස පුරා තම  ආදරණීය අම්මා ගේ රුව මවන්නට ඒ පද පෙළ සමත් ව ඇති සෙයකි. ආදරණීය මවකගේ සෙනෙහස ඔහු ගේ ඇස්වලට  කඳුළු නංවා ඇත. මම ඔහු තුරුළට ගෙන සිස සෙමෙන් සිප ගනිමි. එදෙස බලා හුන් ම‘පුත් ජාරක ද ඈත සිට දිවැවිත්   ‘ජීවිතේ‘යි කියමින් අනෙක් පසින් මට තුරුළු වෙයි. මම දෙදෙනා ම තවත් මගේ තුරුළට සිර කර ගනිමි.
මේ සිදුවීම හුය ඔස්සේ සිත අතීතයට දිව යයි. ඇතැම් විටෙක අප කියන දේ පැහැදිලි ව තේරුම් ගන්නට නොහැකිව දෑස්  විසල් කර අප දෙස බලා සිටින පුතුගේ රුව මා දෙනෙත අබියස මැවී පෙනෙයි. එවන් විසල් දෑස් විශාල ප්‍රමාණයක් බලන   බලන හැමතක ම මා නෙත් ගැටෙයි. අනවබෝධය සහ අවබෝධය අතර සරන ඔවුන්ගේ මනස් ඒ මුහුණුවලින්  සැඟවෙන්නේ නැත. සතුට ද දුක ද අව්‍යාජ ව පෙරට පනියි. නෙතග සිහිලකින් තෙත් වෙයි. උපැස් යුවළ අතට ගෙන නෙත්    අග තෙත් කළ කඳුළ මම කාටත් පෙනෙන සේ පිස ගතිමි.
‘මේ දරුවො මෙහෙම සන්තෝසෙන් හැමදාම තියන්න පුළුවන්නම් ඒක කොච්චර පිනක්ද?‘ ම‘සිතේ සසල බව දෙනෙතින් එළි දුටු බව ඉවෙන් මෙන් වටහා ගත් අයුරක් පාමින් මා බිරිය ද අප සමීපයට එමින් කොඳුළා ය.
‘ඇත්තටම ලොකු පිනක් තමයි‘ මම පිළිවදන් දුනිමි.
බොහෝවිට අප යමකින් බලාපොරොත්තු වන්නේ පිං ය. ඒත් මෙතැන දිවි ගෙවන දරුවන්ට ඇවැසි පිනට වඩා පෙම ය. ඒ    පෙම මවු පෙම, පිය පෙම හෝ සහෝදර පෙම විය යුතු නොවේදැයි මට සිතුණේ ඔවුන් හා ඒ ගත කළ හෝරා කිහිපයේ දී ඒ   බව අප සැමට මැනවින් පසක් වූ නිසා ය.  පින මෙන් ම පෙම යන මේ දෙකම යා වෙන තැනෙක මතු වන සැබෑ අරුත  ලොව වෙන කිසිදු දෙයකින් මෙලොව නොලැබෙන බව මට හැඟෙයි.
මේ කාරණා දෙකම සාක්ෂාත් කර ගත හැකි වූ දිනයක් පසුගිය දිනෙක අපි උදාකර ගත්තෙමු. ඒ වතුරුගම අමුණුකුඹුර පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ය.  මෙම මධ්‍යස්ථානයට පිං කැමති බොහෝ දෙනා දානය ලබා දෙන බව මා දන්නේ මගේ පුතා ද එහි නේවාසිකයකු ලෙස    උගන්නා බැවිනි. ම‘පුතු මෙන් ම මෙහි සිටින අනෙක් දරුවන් බොහෝ දෙනා ද එදා වේල සරි කර ගන්නට බැරි පවුල්වල  දරුවෝ නොවෙති. එදා වේලෙන් ඔබ්බට ගොස් මේ දරුවන් ගේ අනාගතය සරිකර ගන්නටඅවශ්‍ය වටපිටාව නිර්මාණය   කිරිමේ සත්කාර්යයට අත ගසා සිටින මෙම ආයතනය ජාතික වගකීමක් ඉටු කරන තැනෙකි.
මෙවැනි ආයතන සද්භාවයෙන් රැක ගැනීමට දායක වන සමාජ මැදිහත් වීම මෙහිදී ‘දානය‘ වෙයි. ඒ දානය මේ දරුවන්  විඳින්නේ ඇබ්බැහි වීමෙනි. හැමදාම ගෙදරින් ලැබෙන සංග්‍රහවලින් දුරස්ව, සිය මානසික තත්ත්වය නිසා ද දුරස්ව සිටින්නට  වීමේ මේ පැටවුන් ගේ හුදෙකලාව පිටතින් පැමිණෙන කෙනකු හා සාමිචීයේ යෙදීමෙන් ලබා ගන්නටත්,  ඊට එකතු කරන  පිරිකර ස්වභාවයේ ඇතැම් පරිත්‍යාගවලින් මහත් වින්දනයක් ලබන්නටත් මේ දරුවෝ හුරු පුරුදුව සිටිති.
මේ අහංසකයන් ගේ සිත්සතන් එක් හෝරාවක්, දෙකක් හෝ වරුවක් සතුටින් තබන්නට මීට වඩා යමක් කළ නොහැකිද? ඒ  හැම මොහොතක ම මගේ සිත කැළඹූ ගැටලුව විය. එයට පිළියමක් ලෙස මට පළමුව සිහියට ආවේ සංගීතය ය.  මගේ  දරුවා සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කරන්නෙකි.  දරුවන් උදෙසා මිහිරි සංගීත දිනක් සූදානම් කළ යුතුයැයි අවසන තීරණය විය.සහභාගි කර ගත යුත්තේ කවුරුන්ද? නම්   ගණනාවක් මතකයේ ඇලී තිබෙයි. එහෙත් ඒ බොහෝ දෙනා මගෙන් ගැලවී මුදල් මත ම ඇලී සිටිති. ඔවුන්ගේ දෙයකදී  මුදල් නැතිව කරන පරිත්‍යාගයක් මට කළ හැකි වුව ද මේ පිරිසට නො කළ හැකි හේතු බොහෝ ය. ආදරය, ළතෙත් මිතු දම    සහ සහෝදරත්වය මිල කරන්නට මේ බොහෝ දෙනා හොඳින් හුරුපුරුදු ව ඇති නිසා ය.
අවසානයේ ව්‍යාපාර සහ සමාජීය ආදරය පටලා නොගත්තකු ලෙස හැඟෙන ලලිත් ධම්මික ඇමතුවෙමි. එයට ආදරණීය   අත්වැල් ගණනාවක් ඇමිනිණි. සමන්ත, දක්ෂ සංගීත නිර්මාපකයකු වන නිරෝෂන් ධම්මික අවසානය දක්වාම අප සමඟ    සිටියෙමු. දුවගේ යහළුවන් හරහා එකතු වූ දියණියකගේ මා – පිය දෙපළක් වන සිදත් සහ දර්ශනී ද ඊට මුල සිට ම එක්ව   සිටිය හ.  ගිය බොහෝ දෙනෙක් පුතා දැන උන්හ. එහෙත් අපේ පුතාට ස්වභායෙන්ම නැති පෙනුමත් සමඟ එහි සිටින බොහෝ දෙනා         ව්‍යවහාරයෙන් ගත් විට අවවර්ධිත දරුවන් ය. එවන් පෙනුමක් නැතත් එහි සිටින මගේ දරුවාත් ‘අවවර්ධිත‘ කියා සාමාන්‍ය සමාජය නොසළකා හරින තත්ත්වයේ අවාසනාවන්තයකු වීමේ හුදෙකලාව තනිව දරා ගන්නට අප පුරුදු වී බොහෝ කල් ය. එහෙත් මගේ පුතා හෝ වෙනත් දරුවන් දෙස විශේෂ අවශ්‍යතා ඇති සහ විශේෂ හැකියාවක් ඇති අය ලෙස බලන්නට මම මගේ පුතා ලැබෙන්නට පෙරම හුරු වී සිටියෙමි.
‘මම ජූඩ්,මම නිවේදන කරන්නද?‘
එක්වරම ඇසුණු හඬකින් මම පියවි ලොවට පතිත වෙමි. සංගීතය සෙමෙන් සෙමෙන් දලු ලා එද්දී එයට පද පෙළක ඇති අඩුව ජූඩ්ට ද දැනෙන්නට ඇත.  ඔහු තුළ වන අවවර්ධිත ඇති මානසික තත්ත්වයට වඩා මතු වී පෙනෙන අතක සහ පයක ඇති ආබාධය ඔහුගේ ආබාධිත තත්ත්වයහඳුනාගැනීම පහසු කරයි. ඔහු නිවේදනයේ දී නිතර ඇසෙන වචන ඒ රිද්මයෙන් ම තෙපළයි. සංගීතය ගැන ද   ඔහුට ඇත්තේ හොඳ ඉවකි. හඬ ද අපූරු ය. ඔවුන් අනුකරණයේ රුසියෝ ය. එහෙත් අනුකරණය සියයට සියයක් නිවැරදි නොවන්නේ ඔවුන් ගේ ඇතැම් ආබාධිත   තත්ත්වයන් හේතුවෙනි. ඔවුන් බිම වැතිර ඉදිරිපත් කරන රංගනයන්ගේ ඉඟි බිඟිවලින් පැහැදිලි කරන්නේ ඔවුන් ඉදිරිපත්
කරන්නට උත්සාහ කරන රංගනයන්ගේ මුල් අවස්ථා ය. ඒ රංගනය ම නොවුණ ද ඒවා හැඩ ය. මන බඳින්නේ කදුළුත් සමඟ ය. ඒ තරම් සතුට හා දුක මිශ්‍ර වෙනත් කඳුළක් ඇද්දැයි මට නොසිතේ.  ඇතැමෙක් සිය කමිසයේ බර නිදහස් කර ගෙන සංගීතයේ සැහැල්ලුව පූර්ණ වශයෙන් විදිමින් සිටිති. ඇතැම් විට  සංගීත සංදර්ශනයක අප දකින නර්තනශීලී තරුණයකු ගේ මෙන් ඉවත් වූ උඩුකය ආවරණය ඔහුගේ ඉණේ එතී ඇත. මේ එතිල්ලට ගැටයක් දැමීමට නොදන්නාකම නිසා හුදු පැටලිල්ලක් පමණක් වී ඇතිකමිසය වරින් වර සකසන්නට වීම නිසා නැටීමට වඩා වැඩි කාලයක්  ඔහුට ගතවෙන්නේ සිය කමිසය ඉණෙන් ලිහී බිමට වැටීම වළක්වා ගන්නට දරන උත්සාහයට ය.
රැගෙන ගිය ආහාර බෙදා දීමෙන් පසුව මියුරු සංගීතය සමඟ ඒකාත්මික වූ ඔවුන්ගේ ඇස්වල සතුට උතුරා යයි. කතා කළ   හැකි අය අතර හොඳින් ගයන්නන් ද, නිවේදන කටයුතුවල විකුම් පාන්නන්ට ද අමතරව නිවැරදිව වාචික ප්‍රකාශනයේ   අපොහොසත් අය ද, ගී ගැයීමේ පෝලීමේ ය. ඔවුන්ට ද කීමට දේ ඇත. මේ සියල්ලෝ මයික්‍රපෝනය රැගෙන‘ හා හෝ ‘   කියමින් ඔවුන්ගේ ම රිද්මයට ගයන්නට ඉදිරිපත් වූහ.
වචන පිළිබඳ ගැටලුවක් නැත. රිද්මය ද ගැටලුවක් නැත. ධම්මිකගේ විදුලි ඕගනය මත ඒ අතට මේ අතට දිවෙන ඇඟිලි නිසා නික්මෙන හඩත් සමඟ ඔවුහු තමන්ට හැකි පරිදි නටති. මේවා කෙතරම් රසවත් වුව ද,හැඟුම්බර වුව ද, ආදරණීය වුව ද    සමාජයේ එවැනි පුළුල් හදවත් තවමත් අතැයි යන්න පසක් වන විට දෑසට නැවතත් කඳුළක් නැඟෙයි. වන් දරුවන් පමණක් නොව එවැනි දරුවන් සිටින මා-පියන්ද අවශේෂ කොට සලකා බැහැර කරන ඇස්වලින් මෙන් ම ක්‍රියාවන් ගෙන් ද බැට කා හොඳින් හුරු – පුරුදූ මම මේ මොහොත ගැන නැවත නැවතත් සිතුවෙමි.
ඔවුන් වැඩියෙන්ම ඉල්ලා සිටින්නේ මව් පිය ගුණ ගීත ය. ඒ මව්පියන් ගේ සෙනෙහසෙන් ඈත්ව සිටින නිසාම නොවන්නට ඇත. ඒ බොහෝ ආදරය ඇවැසි මොවුන්  මව්පියන් ලෙස ඒ ආදරය ලබා දෙන  මව්පියන් පිළිබඳ දක්වන ආදරය නිසා ද    විය හැකි ය. ඇතැමකුට ඒ ආදරය සිහිනයක් වන තරමට දෙගුරුන් මෙවැනි දරුවන් ඈත් කර දමන්නේ එය තමන්ගේ   අවාසනාව ලෙස ද, දරුවන් ඈත් කිරීමෙන් අවාසානාව ඈත් කර දැමිය හැකි සහ එයින් සැඟවිය හැකි යැයි යන අන්ධ සහ  අමානුෂික විශ්වාසය ද පදනම් කර ගෙන වන්නට ඇත. දෛවඥයන් විසින් ප්‍රධාන ධාරාවේ හැරුම් ලක්ෂයන් නිශ්චය කරන භූමියක මේවා පුදුමයට කරුණක් නොවුණ ද,මෙවැනි දරුවන් සම්බන්ධයෙන් දක්වන අපේ සමාජ දේශපාලනික ආකල්පය තවමත් පවතින්නේ නොදියුණු මට්ටමක බව පැහැදිලි කරුණකි.
මේ දරුවන්ගේ හැසිරීම් හෝ පෙනුමට වඩා වැදගත් වන්නේ ඔවුන්ට සාමාන්‍ය සමාජයෙන් ලැබෙන ආදරය සහ ඔවුන්   වෙනුවෙන් කරන කැපකිරීම් ය. අවාසනාවකට අඩුවෙන් ම ඇත්තේ ඒ හැඟීම් ය. එහෙත් එවැනි හැඟීම් ඇති පොකුරක් නෙළා ගන්නට හැකිවීම ගැන මට ඇත්තේ නිරාමිස සතුටකි. එහි ගිය අපි පොකුරම එකම හැඟුමක තෙරපෙමින් ඒ සියල්ල දෙස බලාගෙන හැඩුවෙමු. ඒ දෑසින් නොව හදවතිනි. ඔවුන්ට ලැබුණ අවස්ථාව පෙරුම් පුරා ලබා ගත්තක් සේ මට හැඟිණි. එතරම් සොම්නසට ආනන්දයට පත් මෑතකාලීන දිනක් මගේ මතකයේ නැත.
ඔවුහු රඟති. අයෙක් ගයන විට අනාරාධිතව ඊට අත්වැල් තබති. මේ සාමාන්‍යකරණය අධ්‍යාපනය ආශ්‍රයෙන් අත්සන් තැබුණු ‘සලමන්කා‘ වැනි ගිවිසුම්වලින් නොව මිනිස් හදවත්වල ඇති වන හැඟුම්වලින් ස්ථාපිත වූවා නම් මේ වෘත්තීය අධ්‍යාපනික වට පිටාවට පෙර මෙම දරුවන් බොහෝ දෙනකු සාමාන්‍ය පංති කාමරයේ බොහෝ දේ සපුරා අවසන් කර තිබෙන්නට බොහෝ ඉඩ කඩ තිබිණ.
වචනවලින් කියා ගන්නට බැරි තරම් ඒ හැඟීම පොහොසත් ය.  මේ සමඟ වන ඡායාරූප සමඟ මා විසි     කරන වදන්වලට වඩා හැඟීමක් ආදේශ කර ගන්නට ඔබට හැකි වනු ඇත. පිං ගැන කියන්නට මම වැඩි යමක්   නොදන්නෙමි. තවෙකකු වෙනුවෙන් යමක් කළ යුත්තේ ලැබිය යුතු ආනිශංස ගැන සිතා නොවන බව මගේ විශ්වාසය    වන්නේය.
‘මේක තමයි මචං හොඳම ෆන් එක‘   ජීවිතයේ ලද ඉහළම සතුට ලැබූ බවට මා මිතුරා සමන්ත ඒ පුතුන් ගේ ගෙල වටා අත්වැල් ලා ගෙන ආදරයෙන් වැලඳ    ගනිමින් පවසයි. මා සමාජයේ ආකර්ශනය සහ අවධානය යොමු නොවන දරුවන් සමඟ වැඩ කිරීම ජීවිතයේ සතුට කොට සිතා සිටින්නේ බොහෝ කල් සිට ය. ඒ පිරිස විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ම නොවේ. අවධානයෙන් බැහැර කර සිටින ඔවුන් ගේ හදවතින් මතු වන එක සිනා රැල්ලක් මහ වැස්සක සිසිල දනවමින් දාහයෙන් විඳවන ජීවිතය තෙමාලන්නට සමත් නෙවන්නේ යැයි කාට නම් කිව හැකිද?
මෙම ලිපිය සමඟ තවත් ඡායාරූප සදහා - http://thecolombopost.net/?p=45278