Monday, May 18, 2015

යුද්ධය ඉවරයිද?


යුද්ධය නිමා කර වසර හයකි.එහි ගෞරවය බෙදා ගන්නට පොර කන දේශපාලන හැතිකරයට එය නිමා වූවකි.මට එසේ නොසිතෙන්නේය.මුං හදන්නේ අපහු යුද්ධයකට රට තල්ලු කරන්නටය.උන්ට ගාණක් නැත.මෙහේ රැකවරණ මදිනම් රටකට හෝ යවා උන්ගේ දරුවන්ට උගන්නන්නට උන්ට හැකියාව ඇත.පත්තර කොළවල නිදා ගත්තු එවුන් පත්තර ගසන්නට තරම් සල්ලිකාරයෝ කරපු දේශපාලනයක රස දමා යා නොහැකි හෘදයාංගම වේදනාවක් මිස වෙන කිසිම කැක්කුමක් මේ අය තුළ තිබිය නොහැකිය.

මට මතක් වෙන්නේ යාපනයේ මැරතන් තරගයමය.එහි ජයග්‍රාහකයාට අම්මා සහ පියා දෙදෙනාම අහිමි කර තිබුණේ යුද්ධය ය.ඔහු ජයගත් පසු එය බෙදා ගන්නට මව් පියන් නොමැති කම විද ගත්තේ අත් ගෙඩි දමන තුරු දොරේඅප්පා ක්‍රීඩාංගණයේ වැටට තඩි බාමින්ය.මාතලේ සිට කොළම එද්දී හමු වූ හමුදා නිලධාරියාගේ සිඟිති දියණිය අතුරුදහන් වූ පියා වෙනුවට මා නිවසට කැදවා ගෙන යන්නට ඇයගේ මවට යෝජනා කළ හැටි මතක් වෙද්දී යුද්ධයේ සමරන්නට ආඩම්බරයක් තිබෙන බව මටනම් නොහැඟෙන්නේය.

යුද්ධය නිමා වන්නට බොහෝ කලකට පෙර සිටම ලේ පිපාසිත ආශ්වාදයක මා පැටලී නොසිටියෙමි.මා එහි උරුමය ඊට පෙර සිටම ලීවෙමි.මේ ඊට එක් උදාහරණයක්ය.
ගැහැණියගේ උරුමය
තැන්පත්ව
අල්මාරි කොණ
විහිදන
කාවුන්ට
කපුරු තේජස
කාකි නිල ඇඳුම
ඇඟට ඇලුණ
රෙද්දක් වගේ
තෙතබරිත
නොවෙලෙන මතකය
තෙමයි ඇස් දෙක

එබී
තොටිලි වැට උඩින්
හෙමිහිට
සිප ගතිමි
ළපටි මල් කැකුළ
කවුරුත් කියන්නා සේ
තාත්තාගේ
කපාපු පළුව

හිතිනි
පෙරළ දමයි
තත්පරයට
අවුරුදු ගණන්
පෙනෙයි
හිස නවා දොරකඩින්
එබෙන
ඔහු රුව

සැනින්
ඒ වතට මුහුවෙයි
පදක්කම් නිල ලාංඡන
පැලැන්දූ කාකි ඇඟ

කර දඬු වඩුණු
මගේ ඉහ උඩ පේන
වත නැමෙයි හෙමිහිට
මගේ පා ළග
වඳියි යැද අවසර
යන්න යුද්ධයට
අසයි
කොයි දෙමළාද
නැසුවෙ මා පිය පණ

අල්පෙනිත්තක් වගේ
කෙළින් සිටවූ
පොඩි පවන් රැළටත්
පෙරළෙන
ගැහැණුන්ගෙ ජීවිත
විදින්නේ කොහොමද
තනිකම
වෙඩි උණ්ඩ වගේ සැර
වැන්දඹුකම
පා ඇඟලිවලින්වත්
ඇවිදින්න
බැරි තරමට
බොම්බ අතුරාපු
යුද බිමෙකි
සලෙල හිත්
හැම තැනෙම

දෙමළු නොව
යුද්ධයයි
නිමා විය යුත්තෙ
ම‘පුතුනි
නවතින්න


නිමා වූ බව කියන යුද්ධයට බොහෝ පෙර රාවයට මා ලියූ එම කවියෙන් කියූ ලෙස මට නම් යුද වීරයෝ නැත.යුද්ධය බිහි කළ දේශපාලනික සහ ජාතිවාදි නරුමයෝ ඇත.ඒ නිසා ඇති වූ යුද්ධය විසින් ඉතිරි කළ වැන්දඹුවෝ,මව් පියන් නැති දරුවෝ මෙන්ම ගණිකාවෝ ද වෙනත් ව්‍යාධින්ද බොහෝය.ඉතිරි වී ඇත්තේ ඒ දේවල් මිස වීරයෝ නොවන්නේ අප වීරයන් කියා ගන්නා බොහෝ අයගේ දායකත්වයන් අඩු වැඩි වශයෙන් මේ ව්‍යාධින් නිර්මාණයෙහිලා බල පා තිබෙන බැවිණි.

කෙනෙකුට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම යනු ඔහුගේ ආගමික සහ ජාතිය විසින් උරුම කර දෙන දේ වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය තහවුරු කිරීමය.ඒ අයිතිය ජාතියක්අනුව ආගමක් අනුව වෙනස් විය යුතු බව සිත්න්නෝ පළමුවෙන්ම අවමන් කරන්නේ ඔවුන් පෙනී සිටින ජාතියටය.ඔවුන් පෙනී සිටින ආගමටය.

තවෙකෙක් වහලෙක් හෝ තමන්ගේ යටත් වැසියෙක් ලෙස සිතා කටයුතු කරන අය මනුෂ්‍යයන් නොවන බව මඟේ හැඟීමය.නායකයා යනු පාලනය කරන්නා නොව.ඔහු ආදරය කරන්නෙක් විය යුතුය.සමඟි කරන්නෙක් විය යුතුය.බේද කරන්නා මටනම් කාලකණ්නියෙකි.ගැටුම් ඇති කරන්නා තිරිසනෙකි.

ඒල්ටීටීය වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා මේ පවතින ක්‍රමවේදය ත්‍රස්තවාදී ව්‍යාපාර ලෙස හංවඩු ගසා විනාශ කරන්නට උත්සාහ කළ බව අපි දනිමු.ඒ ක්‍රමවේදයේ නෛතික සහ සමාජ සම්මත රාමූන් බිද දැමූ නිසාවෙන්ය.ඒවාට නිවැරදි බව කියන පිරිසක් ඒවා ත්‍රස්තවාදය යැයි කියා ගන්නා පිරිසක් තමුන් ප්‍රජාතන්ත්‍රවාදි යැයි කියා ගනිමින් ඒ රාමුම බිද දමමින් උත්සාහ කරන්නේ එල්ටීටීඊ හෝ ජවිපෙ තරම් ඉහළ නොගිය දේශපාලන අරමුණකින් බැහැරව පුද්ගල කේන්ද්‍රීය උවමනාවක් වෙනුවෙන් මේ රටේ ජීවිත කිහිපයක් බිලි දෙන්නටය.ඒ මිනී මතින් කතිර ඉල්ලා ගෙන කුක්කාත් මැක්කො ටිකත් රජ වෙන්නටය.අපුල එයමය.

නීතියට ගරුකරන්නා සහ බියවන්නා පැහැදිලිව හදුනා ගත හැකිය.බියවන්නා වැරදිකරුය.බලය අහිමි වේය යන්න නොසිතා වැරදි කළ වුන් නීතියට බිය ය.එහෙත් බලය නොව හෘද සාක්ෂියට අනුව කළ යුතු දේ මෙය යැයි සිතා යමක් කළ අය එය වරදක් යැයි කීව ද,තමන්ගේ හෘද සාක්ෂිය සමඟ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේය.ඇත්ත එබඳුය.

යුද්ධය වීරයෝ නිර්මාණය නොකරන බව යළි යළිත් මම කියමි.එසේ නිර්මාණය වන විරයන් පසෙකට වීරයන්ය.පසෙකට දුෂ්ඨයන්ය.පාටක්,ජාතියක්,ආගමක් නැතිව ලෝකයටම මඟ කියන දේ කරන්නෝ පමණක් වීරයෝ වෙති.මාක්ස්,ලෙනින් වීරයෝ වුව ඔවුන්ව ප්‍රදර්ශනය කරමින් ඒ යට සිට මොරතලන උන් වීරයෝ නොවන්නේ එබැවින්ය.වසර තිහක යුද්ධය විසින් ඉතිරි කළ වීරයන් බොහෝ පිරිසක් සොහොන් කොත්ය.ස්මාරකය.ඊට අමතරව වැඩිපුරම ඇත්තේ දොම්නසය.දුක් සුසුම්ය.ඔබ ඒවාට කැමති නම් අනෙක් ජාතියේ ආගමේ අයිතියේ තමන්ගේ සැරයටිය වැද්දුවාට කම් නැත.මට මගේ දරුවන්ට හෝ උන්ගේ දරුවන්ට අත් වන ඉරණම යුද්ධයේ ස්මරණ වීමේ වේදනාව කිරීමට මම අකමැති වෙමි.මට ජාතිය,ආගම අදාළ වන්නේ දේශයට පසුවයි.ඉතිං ඒ දේශයේ මොන ආගම මොන ජාතිය පිණුම් ගසන්නේද යන්න නොව සියල්ල එකාවන්ව සහජීවනයෙන් ජීවත් වන්නේ නම් සහ එකිනෙකාට ගරු කරන්නේනම් මට වැදගත් එපමණකි

Monday, May 4, 2015

පදුම කුමරිගෙ පුදුම ලව් එක

DSCN7016 (2)චුල්ලපදුම කුමාරයාගේ කතාව මතක ඇති කාලේ සිට අසා ඇති වාර ගණන මගේ වයසට වැඩිය.දැනුත් දන්සල් දොරකින් උදේ සිට එම කතාවම කවියෙන් ගැයෙන්නේය.එහෙත් දන්න බොහෝ කාලයක සිට මට දුක සිතෙන්නේ කුමාරයා ගැන නොවේය.කුමරිය ගැනය.ඇය ගැන ගෞරවයක් ඇති වන්නේය.

රජුන්ට අන්තඃපුර පිටින් තිබෙන බව හැබෑය.ඒත් රජ්ජුරුවන් ඒ ඉන්න ස්ත්‍රීන්ට දැනෙන්න නිදියනවාදැයි යන්න කිසිවෙකුත් දන්නේ නැත.මේ ගැන කතා බහට ලක්වන ජාතකයක් වේ නම් කවුරු හෝ කමෙන්ටුවක ලියා තබනවානම් මරුය.

දන්න තරමින් රජ්ජුරුවන්ගේ රැකියාවේ ලොකු කමට බලයට ගැහැණුන් ගන්න ලැබෙනවා මිස සහ ඔහුට ඇති ආර්ථික වපසරියේ වර්ගපලය අනුව ගැහැණුන්ව භෞතිකව නඩත්තු කරන්නට ඇති හැකියාව සළකා ගැහැණුන් ලැබෙනවා හැරෙන්නට ඔහුට ඇයව කාම ක්‍රියාවලියේදී සංතර්පණය කර හැකිද යන්න නොසැළකේ.මේ නිසා රජු වූ පමණින් ලැබෙන වරප්‍රසාදය හැරෙන්නට හැඟිම්වල සමානත්මතාවය එකිනෙකාගේ රුචිකත්වය වැනි කරුණු පිළිබදව සැළකිල්ලක් නොදක්වන අතර රජ යන සංකල්පයට අනුව කුමරිය බිසව යන්නද එක්තරා අන්දමක යටත් චරිතයක් පමණි.

සිය සහෝදරවරුන්ගේ බිරින්ඳෑවරුන්ගේ බිරිද ඝාතනය කර පිස කෑමේ ක්‍රියාවලියේ ගොදුරක් වන්නට නොදී සිය බිරියගේ ජීවිතය බේරා ගැනීම පදුම කුමරුගේ උතුම් ක්‍රියාවකි.උරය පලා ලේ දීම දෙවැන්නයි.මේ ආකාරයට රැක බලා ගන්නා බිරිඳ සහ ජීවිතය බේරා ගත් දෙපා නැති කොට අතර සබදතාවයක් ඇති වීම හරහා කරන්නේ කුමරුට මේ දෙදෙනා ද්‍රෝහීවීමේ කතාවය.ඒ අනුව සෝයි පදුම සහ වේස කුමරිය සහ ගුණමකු කොටා ගැන කතාවය.

මේ කතාව පිටුපස ඇය අධික කාමාශා ඇත්තියක ලෙස හදුනා ගන්නට නොහැකිය.තවත් ආකාරයකින් ජාතක කතා කතුවරයාගේ බුද්ධාගමට අනුව ගෙන ‘ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන‘ ගණයට මේ කාන්තාව ඇතුළත් කිරීමට ද නොහැකිය.මන්ද කුමාරයා හෙළෙන් පහළට තල්ලු කිරීමෙන් ඉනික්බිතිව ඔහු දිවි ගලවා ගෙන අසළ ගමක ජීවත් වී පැමිණ රජකම ලබා ගෙන දන්සැල් ඉදිකිරීම දක්වා කාලය මාස කිහිපයක් සති කිහිපයක් ලෙස ගත නොහැකිය.

ඒ ආකාරයට ගත් කළ ඇය රජසැප විදිමට හැකි වටපිටාවක සිට එයට පයින් ගසා බැදෙන කොටාගේ ජීවිතයට ද්‍රෝහී වී නැත.හිඟමන් යදිමින් කොටා සමඟම ජීවත් වන්නීය.එයින් ඇය පදුම රජුට ලබා දිය නොහැකි තෘප්තියක් කොටාගෙන් ලබන නිසා විය යුතුය.ඇය හුදෙක් දුටු දුටු පිරිමියාගෙන් කාමය සංතර්පණය කර ගන්නා ගැහැණියක් නම් මේ ගතවන කාලය තුළ ඇය තවත් පිරිමින් ගණනාවක් අතට මාරු වී තිබිය යුතුය.

රජ කෙනෙකුට ලබා දිය නොහැකි අන්දමෙන් ඇය යහනේ තෘප්තිමත් කරන්නට මේ සොර කොටා ට තිබෙන හැකියාව මෙයින් පැහැදිළි වන්නේය.සියල්ල දන් වලින් පිං වලින් මැනිය නොහැකි බව රජුටද නොතේරෙනවා විය යුතුය.එසේත් නැති නම් කොටාට තමුන්ට නැති හැකියාවක් එම ස්ත්‍රිය වසඟයට ගැනීමට තිබූ බව දන්නා රජු ඒ ගැන කම්පාවට මෙන්ම කෝපයටද පත් විය යුතුය.එය මිනිස් ස්වබාවය ය.එම මිනිස් ස්වභාවය නිසා ඇති වන මානසිකත්වය නිසා මහා දන් දෙන රජු කුස ගින්නේ කොටාත් හිස මත තියා ඇවිදින ගැහැණිය සහ කොටා එ‘නුවරින් එළවා දමන්නේය.

ඒ එළවා දමමින් දෙන තීරණය රජෙකුගේ ධාර්මික බව කියා පෑමට උදාහරණයක්ය.ඒ ජාතක කතා කතුවරයාටය.තමන් රජෙක් වි,ජීවිතය බේරා ගැනීමට මැදිහත් වී,සැප සම්පත් ලබා දුන් ස්ත්‍රියට තමාට වඩා මේ කොටා වැදගත් වූයේ ඇයි?තමාට කළ හැකි කිසිවක් කළ නොහැකි ඔහුව තමා මෙන් අතැර දමා නොයා ඔහු මත්තේම මේ ස්ත්‍රිය එල්ලී සිටින්නේ ඇයි?

රජු මේ කිසිවක් කල්පනා නොකරන්නේය.ජාතක කතා කතුවරයාට ද මේ ඇතුළත තිබෙන කොටාගේ ලිංගික කාර්යයේ හැකියාව කුමාරයාගේ සියලු කැපකිරීම් දෙවැනි කොට තකන්නට කුමරියට සිත් ඇති කරන බව කතුවරයාගේ විග්‍රහයට හසු නොවන්නේය.විවාහයකදි අත්‍යවශ්‍ය සාධකයක් වන ලිංගිකත්වය රජු විසින් නොතකා හැරිම නිසා හෝ ඔහුට ඒ ආශ්‍රයෙන් ඇති නොහැකියාව හෝ කතුවරයා සිය විග්‍රහයේදි ප්‍රකාශ නොකිරීමට වග බලා ගැනීමෙන් පැහැදිළි කරන්නේ ඔහු තුළ තිබූ කාන්තා විරෝධය සහ රාජ්‍ය පක්ෂපාතීත්වයම පමණක්ය.

ඇය සිය විවාහය නැතිනිම් පවුල් කෑම ගැන ආර්ථික වටිනාකම් වලින් නොමනින ගැහැණියකි.ආදරය,කාමාශාවන් සංතර්පනය කරන්නට තමන්ගේ සහකරුට ඇති හැකියාවන් නිසා අධික ආදරයක් ඇති කර ගන්නා සහ නොයෙකුත් වේදනාකාරි අත්දැකීම් පීඩාවන් දෙවැනි කොට ආදරයෙන් ජීවත්වීම සඳහා සියල්ල කැප කරන්නේය.කොටාගේ ජීවිතය රැකීමට ඔහුව කරමත ඇවිදීම සිය ජීවිතය කර ගන්නට තරම් ඇය කැපකිරීම් කළ හැකි ගැහැණියකි.ඒ රජසැප පිලිබද සිහින දැකීම අත හැර වීමෙන් ඇය දක්වන කැප කිරීම තව දුරටත් අවබෝධ කර ගත හැකිය.

නමුත් වසර දෙදහස් ගණනක් ලොව කොතැන හෝ පොහොය දිනයක කවුරුන් හෝ බුදු පුතෙක් හෝ බෞද්ධයන් එක්ව පදුම කුමරිය වේසාවක් කොට හං වඩු ගසන්නේය.තමුන්ට වඩා ගැහැණිය පිනවීමේ දක්ෂතාවයක් කොටා ට තිබෙන බව සිතා ඔවුන්ට සමාව දෙනු වෙනුවට කොටා සහ කුමරිය නොමරා බඩ ගින්නේ මැරුණත් කම් නැතැයි සළකා බරනැසින් එලවා දමන පදුම රජු මහා කාරුණික පුද්ගලයෙක් කර බුදු බව ලැබිමට පෙරුම්පුරන බෝධිසත්වයෙක් කරන්නේය.

කාන්තාවට ගැරහිම,කාන්තාවකගේ හැඟීම් නොතැකීම මෙන්ම ශක්තිමත් පවුල් පසුබිමකට බැදීමකට ඇති ලිංගිකත්වයේ හැකියාව නොතකා හරින සහ දෙවැනි කොට සළකන ජාතක කතා සංග්‍රහය හැම පොහොයකටම අපටම කරන සරදමක් ලෙස පදුම කුමාරයාගේ මේ කතාව ගැන මට හැඟෙන හැඟීම් තව කෙනෙක්ට නොදැනෙනවා විය හැකිය.

එහෙත් මට නම් පදුම කුමරා කරන කැපවීම් තරමටම තම ජීවිතය දෙැවැනි කොට තමන්ට නිවැරදිව ගැලපෙන සහකරු තෝරා ගැනීමේ සිට ඔහුව රැක ගැනිම දක්වා පරාසය තුළ ගැහැණිය කරන කැපවීමද මාර ය.සියල්ල භෞතික සංතර්පණයන්ගෙන් තෘප්තිමත් වන බව සිතන පදුම රජු මහා කරුණාවන්ත දානපතියෙක් නොවන්නේ මේ ගැහැණියගේ සහ කොටාගේ ලෞකික බැදීම්වල ඇති අධ්‍යාත්මික වටිනාකම් හඳුනා ගන්නට තරම් නොහැකි පුද්ගලයෙක් බැවින්ය.

  

Saturday, May 2, 2015

සැනසිලි සැරසිලි

වෙසක් දවසේ වෙබ් එකේ අජිත්ගෙ පිංතූරයට ලියන කවිය බ්ලොග් එකේ අලවලා යන්න හිතුණා.
වෙබ් එකේ ලින්ක් එක http://thecolombopost.net/?p=110280

බලන්න කියවලා.මේව ඉතිං වෙසක්ම නෙමෙයි.වෙසක් වලට අවුරුදු වලට කියලා අපි කූඩු වගේ අලව ගන්න දේවල් නෙ තියෙන්නෙ.නැත්නම් ජීවිතය හැමදාම එකයි.

kavi

අලවා ගත් හීන රැලි
තනා ගන්නට අපේ කූඩුව
නොවැරදී යා යුතුය අකුරට
පමා කළ නොහැක 
රිදවන්න අකමැතිය ගුරු සිත

දවසෙන් දවස උස යන
අකුරක් නෙලා ගන්නට
ඉණිමං ඕනෑය රුපියල්
වතු පිටි නැති කලට
අර ගෙන ආපු පරපුර
මහමඟ ගෙනත් අතුරන
සවිය පමණයි අපේ උරුමය

කූඩුවක් කියන්නෙ හැඩ ඇති 
කොළ ගොඩක් පමණ නොව
මිල වලින් නොකිය හැකි
වටිනාකමකි දින පතා වැඩි වන
නවතින්න මොහොතක්
රැගෙන යන්නට කූඩුවක්
මිනිස් කූඩුවක සැඟවුණ 
අඳුර දුරු කරනු විලසට

ඡායා – අජිත් සෙනවිරත්න
පද -නිශ්මං රණසිංහ