Friday, December 23, 2016

උදව් ඇඳ විය හැකි ලෝකයක්

https://www.facebook.com/prageethrathnayake.artpage/posts/1836581043298275

මේ ලින්ක් එකට අදාළ සටහන කියවන්න පුළුවන් ද දන්නෙ නැහැ හැමෝටම....මුහුණු පොතට එබිල බලන්න පුළුවන් අය ඒක දිගට කියවන්න.කමෙන්ට්ස් එක්කම..විවිධ දේ විවිධ අය කියා ඇති එහි තිබෙනවා.

ඒක පාදක කරගෙන මට මගේ කතාවක් ලියන්න හිතුණා.
මගේ තාත්තා නැති වුණේ මහපාරෙ සිදු වුණු අනතුරකින්.මේක මගේ හිතට වදයක් වුණේ තාත්තා මගේ ජීවිතේ මට තදින්ම දැණුන කෙනා නිසයි.මගේ ජීවිතයේ මට වඩාත්ම ආදරය කළ කෙනා ඔහු නොවන්නට ඇති...ඒත් මට තාත්තව දැනෙන්නෙ ඒ විදිහට.

ඒ මතකය මධ්‍යම රාත්‍රියෙ පිටකොටුවෙ මගේ ජීවිතයට එකතු කළ අත්දැකීම් කිහිපයක් තියෙනවා.මට පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ළඟින් ගෙදරට එන්න ත්‍රීවීලයකට යන්නෙ සුළු මුදලයි. අදටත් ඒ පහසුකම මට නැතිවෙලාම නැහැ.ඒත් ඉස්සර ඊටත් වඩා හොදයි.මගේ යාළුවන්ට වුණත් මගේ නම කියලා එහෙම පස්සෙ සල්ලි දෙන්න හරි යන්න පුළුවන්කම තිබුණා.මංජුල වෙඩිවර්ධන ඒකෙන් හොඳටම ප්‍රයෝජන ගත්තු කෙනෙක් නිසා ඌ දන්නවා මගේ ඒ බැදීම් ගැන.

එක දවසක් මම හඳුනන ත්‍රී රෝද රථයක් එනතුරු එතන හිටියෙ ඒ වෙනකොට මගේ මිතුරුන්ව සිටි පදික වෙළඳුන් සමඟ කතා බහක යෙදෙමින්.ඒ අතර උස මැදිවියේ කෙනෙක් බීමත්ව පැමිණ පදික වේදිකාව මත වැටෙනවා.ඔහුගේ හිසේ පිටුපසින් ලේ වැගිරෙනවා.මට සිහියට ආවෙ තාත්තා.

කවුරුත් නැද්ද මේ මනුස්සයව දාගෙන යන්න.මම ත්‍රීවීල් එකට සල්ලි දෙන්නම්...

ඒ සමඟම ඉදිරිපත් වුණේ නටබුන් තත්ත්වයක තිබුණු ත්‍රීරෝද රථයක දෙන්නෙක්.ඔවුන් තෙල් ගහන්න ඕනි කියලා 200 ක් අරං මනුස්සයත් දා ගෙන ඉගිළුණා.

ස්ර්ටනම් පිස්සු....

කඩේක හිටිය ප්‍රභා ත්‍රීවීල් එක ගියාට පස්සෙ මට කිව්වා....

ස්රට සල්ලිත් නැහැ,ඒ මනුස්සයත් මඟ කොහාට හරි දාල යනව පාරෙ මැරෙන්න..

කතාව යද්දිම නිහාල් අයිය ආවා.ඒ මගේ මිතුරු ත්‍රීරෝද රථ රියැදුරෙක්.මම ඔහුට කතාව කියමින් එන අතර ප්‍රභාගෙ කතාව ඇත්තක් වෙලා තිබුණා.මරදාන කාර්මික විද්‍යාලය ළඟ අර මනුස්සය දාලා ගිහිං.නිහාල් අයිය කිව්වෙ සිහිය නැති නිසා මේක ලෙඩක් කියලා..ඒත් මම මනුස්සයව දා ගත්තා.

රෝහලට රැගෙන ගියාම වැඩේ ලෙඩේ තමයි..මොනවත්ම කියන්න දන්නෙ නැති හිස පිටුපිසන් ලේ ගලන තුවාල සහිත මිනිසෙක් සමග කොණ්ඩය වවපු අපිළිවෙලට ඉන්න තරුණයෙක්..(තරුණයෙක් කිව්වෙ ඒ මොහොතට සාපෙක්ෂව)

මම රාවයට ලියන බව දැන ගත්තම, තව අය ඒ ගැන කතා කළාම මට නිදහසක් ලැබුණා.ඒ විශ්වාසය..පාරට ඇවිත් සිගරට් එකක් බීල යන්න..තේ නම් වරින්වර පොලිසියත් දුන්නා.නමුත් අර මනුස්සයට සිහි එනකං පොතේ ඇතුළත් කිරීම ගැන නම ලියපු මම ඉන්න ඕනි වුණා.නිහාල් අයිය යන්න කිව්වට යන්නෙම නැහැ.හොද මිනිස්සු.ඒත් මම කරුණු කියා දීල ප්‍රශ්නයක් වුණොත් මම කෝල් කරන්නම් ගෙදරට කියන්න කියලා ඔහුව පිටත් කළා.(එතකොට ගෙදරට දුරකථන පහසුකම් තිබුණේ නැහැ.)

මනුස්සයට උදේ 8 වෙන කොට විතර සිහිය ආවා විතරක් නෙමෙයි වැටෙන තැනකට එනකං මතකය අවදි කර ගන්නත් පුළුවන් වුණා.රෝහලේ ප්ලාස්ටික් පුටුවට ඇලිලා තිබුණ හිරිවැටුණු මගේ පස්සට නිදහස ආවා.ඒත් මනුස්සයට තව වෙලාවකට කන්න බොන්න හොද නැති නිසා මම මගේ නම්බරය ලියා තියල එතනින් පිට වුණා.

පොලසිය කිරුළපොන ප්‍රදේශයෙ හිටිය එයාගෙ ගෙදරට පණිවිඩය දෙන්න භාරගත්තෙ මට ලොකු ගෞරවයක් දෙමින්.ඊට පස්සෙ එක පාරක් මා ඔහුව බලන්නත් ගියා.ඊට පසුව මට අසනීපයක් වුණේ ඔහුගේ පුතා.මනුස්සය කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක්.ඔහු ඒ මනුස්සයගෙ දුක කියමින් දින කිහිපයක්ම රාවයට ඇවිත් මගෙන් සල්ලි ඉල්ලගෙන ගියා.වරක් මම සල්ලි ඉල්ල දුන්නෙ පීරිස් අයියගෙන්...(රාවයෙ පෙර මතක දන්න අය දන්නව ඔහු ගැන.එහෙම පහසුවෙන් සල්ලි දෙන්නෙත් නැහැ.)

මම පීරිස් අයියට කතාව කිව්වට පස්සෙ පීරිස් අයිය මට බැන්නා.ඒත් තාත්ත නිසා ද දන්නෙ නැහැ මට ඒ මනුස්සයට උදව් කරන්නමයි හිත.දවසක් මම නැති වෙලාවක පීරිස් අයිය අර පුතාට බැනල එලවල තිබුණා.ඌ කරන්නෙ බොරුවක් බවත් කිව්වා.මටත් මේක දැනිල මේකෙන් ගැලවෙන්න ඕනි කම තිබුණා.

දවසක් මම මනුස්සය ආපු වෙලාවක රාවයට අල්ලපු වැටේ තිබුණු කඩය ළඟට එක්ක ගිහිං තේ අරං දීල..බැම්ම අතරෙ තිබුණු පාරට අරං රුපියල් 100 ක් දීල අරූට හොඳවයින් දෙකක් ඇන්නා.ඒ අන්තිම දීම.ඒත් අදත් අර මනුස්සයට මොකක් වෙන්න ඇද්ද?

මගේ හිත කකියනවා.උදව් ඕනි.එහෙම තැනක් දාලා යන්න බැහැ.නමුත් අද දාලා යන මිනිස්සු වගේම වැරදි දේ කරන අය වැඩි නිසා උදව් කරන කෙනාටම බාල්දිය පෙරළෙන්න ඉඩ තියෙනවා.හැම වෙලාවෙම කරන උදව්වෙ ප්‍රශ්නයකුත් තියෙනවා.ඒ තරමට මේ ලෝකෙ පිරිහිලා.

මුල් ලින්ක් එකට අදාළ ප්‍රගීත්ගෙ උදව්ව මට වටින්නෙ ඒ නිසාමයි...ඒකෙ ඇද දකිනවට වඩා උදව් ඇද වෙන ලෝකයක් මේක...ජීවත්වෙන්න අමාරු මිනිස්සුන්ටමයි...මනුස්සකමටයි.

Tuesday, December 6, 2016

පටු කම පිටු දකිමු!

තුන්වන ලෝකයේ රටවල්වල දේශපාලනයේ සීමා මායිම් පටුය.ඒවා අතිශයින් හැඟීම්බර සීමාවලට නතුව තිබේ.හැගුම්බර යනු ජාතිය,ආගම වැනි සීමාය.ඒවා නිසා උස් කොට පහත් කොට සිතන දේශපාලනයේ ඛේදණිය තත්ත්වය ශ්‍රී ලංකාවට ද උරුමය.
අයෙක් ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වන බව බුදුහිමි දෙසුවද,බුද්ධාගම ආගම යැයි පාරම්බාන බොහෝ අය ද සිතන්නේ සිංහල වීම නැතිනම් සිංහල බෞද්ධවීම බ්‍රාහ්මණ තත්ත්වයේ තබාය.
එපමණක් අවශ්‍යය නැත.බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ද කටයුතු කරන්නේ නිකායන්ට යටත් වෙමින්ය.ඒ ඒ  නිකායන් ක්‍රියාත්මක වන්නේ පවතින කුල ක්‍රමයට අනුවය.ඒ ඒ අනුව බුද්ධ කාලයේ සැරියුත් මුගලන්ලාට මෙන්ම සැඩොල් කුලේ සෝපාකට ද මහන දම් පුරන්නට ලැබුණු සංඝ නිකාය අවිද්‍යාවෙන් වැසී ඇත.
සතුරාටත් මෛත්‍රී කරන තත්ත්වයක් අද නැත.අනෙකාට ගරු කිරීමක් නැත.උපාලි ගෘහපතියාට ජෛන ආගමට කළ උදව් නොනවත්වා කරන බව පොරොන්දුවන තෙක් බෞද්ධාගමට සම්බන්ධ වන්නට බුදු රජාණන්වහන්සේගෙන් නොලැබුණ බව කියැවී ඇතත්,දැන් වෙනත් ආගමක වීම ජාතියක වීම හැදි ගෑවී යන්න ලෙස ප්‍රාර්ථනා කිරීමට ප්‍රමාණවත්ය.
"උන්ට ගිය රට",
"උන්ට ඕන විදිහට ඉන්නද අපි"
ඒ අදහස් අනුව පෙන්වා දෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශණා කළ ධර්මය අනුව අනෙකුන් කටයුතු තළ යුතු බවය.බෞද්ධයන් සිටින්නේ අනෙක් ආගමිකයන් බුද්ධ වචනයට අනුව හැසිරවීමටය.ආගම් ජාති බදාගෙන ජීවත්වෙන රටවල මේ තත්ත්වය දකින්නට බුද්ධාගමම නිදසුන් ගෙස භාවිතා කරන්නට අවශ්‍යය නැත.කුමන පටු ආගම්වාදියෙක් වුව සිතන්නේ සියල්ල සිතිය යුත්තේ සිය ආගමට අනුව ලෙසය.නැතිනම් පහරදිය යුතුය.මරා දැමිය යුතුය.හැදි ගෑවී යා යුතුය.
මේ රටවල මේ උරුමයට ගැති වන්නෝ අතිශයින් දුප්පත්ය.නූගත්ය.මේ දෙකම ජීවත්වන්නට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදෙන තත්ත්වයකි.ඒ නිසා ඔවුන් ජීවත්වීම නිසා යැපෙන්නන් බවට පත් විය යුතුය.මේ යැපීමේදී ඔවුන් කුමන හෝ දේශපාලන ග්‍රෝත්‍රයක හුරතලුන් බවට පත් වන්නේය.ඒ අනුව ජාතිය ආගම සහ ක්‍රියාව තීරණය වන්නේය.
ඒ අය මෙහෙයවන අය ග්‍රෝත්‍රික නැත.ලෝකය හඳුනන්නෝය.ඔවුන්ගේ පැවත්මට මේ නූගත් සහ දුප්පත් ජනතාවගේ ශ්‍රමයේ ආශිර්වාදය අවශ්‍යය වන්නේය.එය දැන තමන් හඳුනාගෙන තිබෙන අවිද්‍යාව සහ මිත්‍යාව, විද්‍යාව ලෙස සහ යථාර්තය ලෙස වදාළන්නේය.කෙලෙස් ගොඩවල්වලට ලෝගු පුරවා ඇත.ඒවා පූජණිය වන්නේ ආගම් ලෝගුවලින්ය.නැතිනම් ඔවුන් කරන්නේද ග්‍රෝත්‍රික දේශපාලනයේම ලක්ෂණයක්ය.
ගැටුම් අවම රටවල්වල ආගම් සහ ජාති නොසළකා හැරීම අනුවන ගෝතයන්ගේ වැඩක්ය.උන්ට එහෙම හරි ජම්මයක් ජාතියක් නැත.
ඒ පටු මිනිසුන් ලොව දකින හැටිය.නමුත් හැම එකෙක්ම ඒ ජාතියක් ජම්මයක් නැති උන්ගේ ණය කාරයන්ය.ජීවත්වන්නේ ඒ රටවල්වලින් ලැබෙන ණයෙන්ය.පරම්පරා ගණනක් ඒ රටවලට ගෙවිය යුතුය.එසේ ගෙවන්නට වී ඇත්තේ පටුකම නිසා දියුණුවේ මාර්ගවලට ඇති ප්‍රවේශයන් පුළුල් කර ගන්නට නොහැකිවීම නිසාය.වර්ග 25000 ක සීමාවක මුතු අටයක් යැයි කියන රටක ඇත්තේ පාහර  ආගම්වාදී ජාතිවාදී දේශපාලනය විසින් තැන තැන පැහැරූ ගූ ගොඩවල්ය.
මේ තත්පරයේත් ඒ ගඳ වටේට විහිදෙන්නේ ජයලලිතා ජයරාම්ගේ මරණයත් සමඟය.දකුණු ඉන්දියාම මල ගෙයක්ව ඇත.එහෙත් අපට නොවටින නිසා ඇය හැදි ගෑවි යා යුතුය.කෙනෙක්ගේ මරණයට රතිඤ්ඤා පත්තු කරන කිරිබත් උයන අපේ බෞද්ධ සංස්කෘතියේ අයිතිකාරයන් එය තමන්ගේ කර ගත්තාට කමක් නැත.අපි ජාතියක් ජම්මයක් නැති එව්වන් ලෙසම හංවඩු ගැසුවාට ද කම් නැත.සීමාවක් නැතිව හොඳට හොඳ කියන්නට නරකට නරක කියන්නට මනුස්සකම් වැඳගන්නට ලැබී ඇති හැකියාව පටු සීමාවන් වලට වඩා පුළුල් ය.ඒ පටුකමට සාපේ්ක්ෂව සතුට හා ප්‍රීතිය ද පටු වන අතර...සතුටු වන්නට විවෘතව ඇති ලෝකය පටු කර ගැනීම අන්තවාදයේ උරුමය වන්නේය.

Friday, September 30, 2016

නිමාලි තව දුවමු අපි!

ඉකුත් වසරේ ළමා දිනය දවසේ මගේ ළමයි දෙදෙනාගෙන් මා සතුටු විය.අද මීට සුළු මොහොතකට පෙර ළමයෙක් යැයි නොකීවද මගේ සිතේ මගේ දරුවෙක් මෙන් ජීවත්වෙන නිමාලි ලියනාරච්චි මට සතුට ගෙන ආවාය.ඒ වසර විසි හතරක් පැරණි මීටර් 800 කාන්තා ශී ලංකා වාර්තාව බිඳ දමමින්ය.ගාල්ලෙන් පැමිණි ශ්‍රියාණි ධම්මිකා මැණිකේ 1992 දී මෙහි ශ්‍රී ලංකා වාර්තාව දිනා ගත්තේ විනාඩි 2:03.85 ක කාලයක් වාර්තා කරමින්ය.අද දකුණේ සූරියවැව සිට යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයට සපැමිණි නිමාලි ඒ වාර්තාව සිය නමට ලියා ගත්තේ විනාඩි 2:03.5 ක කාලයකින්ය.නිමාලි මෙන්ම සූරියවැවෙන්ම පැමිණි ගයන්තිකාගේ මලල ක්‍රීඩා ජීවිතයට ද මා බෙහෙවින් සමීපව සිටියාය.ලැබෙන තොරතුරු අනුව ඇය ද පැරණි වාර්තාව ඉක්මවා තිබිය යුතුය.
තරඟයට පෙර දින රාත්‍රියේ මම නිමාලි සමඟ කතා කළෙමි.ඇත්තටම ඇය මා සමඟ කතා කළාය.ඒ මතකය ඇය සතු දුර්ලභ මනුස්සකමකි.එහිදී දොරේ අප්පා පිටියේ තත්ත්වය මෙන්ම සුළඟ ගැන ද ඇය කතා කළේ කණස්සල්ලෙන්ය.නමුත් ඇයට මා කීවේ ඇය විඳ තිබෙන දුක් කම්කටොළු,වේදනා හා ගත් විට ඒ සියල්ල සුළඟක්ම පමණක් බවය.ඇය ඔව් මම දෙයක් අත අරින්නෙ නැහැ ලේසියෙන් යැයි කීවාය.ඇය අද එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමෙන් අනතුරුව ද මා අමතමින් එය ක්‍රියාවෙන් ඔප්පු කළ බව කියන්නට තරම් කෘතවේදී වූවාය.
ඇය ගුවන් හමුදාවට සම්බන්ධ කිරීමට මා එකඟ කර ගත්තේ මා මිත්‍ර දීපාල් මුණසිංහය.ඔහු ඇයව හොඳින් බලාගත්තේය.ඒ මුළු ගුවන් හමුදාවේම ආදරය,සහ කරුණාව මෙන්ම මිත්‍රශිලී සහයෝගය ඇයට ලබා දෙන්නට දායකත්වය දෙමින්ය.ඇය එළැඹෙන 6 වන දා ගුවන් හමුදාවේ සහය ඇතිව ඉදි කළ නිවසට ගෙවැදීමට නියමිතය.රටේ රජ්ජුරුවොත්,ක්‍රීඩාවේ නාමයෙන් පහළ වූ කුමාරයාණන් ලෙස වැජඹි නාමල් කුමාරයා ද රට වෙනුවෙන් දුවන මේ කෙල්ල දුටුවේ නැත.
නිමාලි,ගයන්තිකාලා පමණක් නොව එරංගා දුලක්ෂි,පීඑච් චමල්ලා ද රට වෙනුවෙන් දුවන හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් තියා සාමාන්‍ය ක්‍රීඩා පිටියක් නවිකරණය කර දීමටවත් නොනැවතුණු ඔව්හූ සූරියවැවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ගෙනාවේය.අල්ලක් තරම් ඉඩ ඇති නිමාලිගේ ගේ උළුවහු පළල් කර දෙන්නටවත් නොසිතුවේය.නමුත් ගුවන් හමුදාව මෙන්ම සිය ප්‍රදේශයේ ක්‍රීඩිකාව රටටත් දකුණටත් ගෙනෙන කීර්තිය ගැන සිතූ සජිත් ප්‍රේමදාසයන් නිමාලි ට පමණක් නොව ගයන්තිකාට ද කොළඹින් නිවාස ලබා දීමට මැදිහත් විය.මෙය යහපත් වෙනසකි.ක්‍රීඩාවට සතුටකි.
ගයන්තිකා වෙනුවෙන් මා මහවැලි ඉඩමක් ලබා දීම සඳහා ලක්බිමේ සිටියදී රන්ජන් පරණවිතානයන්ගේ ආශිර්වාදය ඇතිව කළ මැදිහත් වීම අනුව එවකට මහවැලි ඇමති වූ මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇයට ඉඩමක් ලබා දීමට මැදිහත් වුණාය.මහ රාත්‍රියේ ඒ කටයුත්තට අදාළ ලියවිල්ල අත්සන් තබා එවකට ඔහුගේ පෞද්ගලික ලේ්කම්ව සිටි ජයසිංහ මහතා ලවා මට මහ රෑම දුරකථන ඇමතුමක් ද ලබා දුන්නේය.
මම අකුරු වීසි කර නැත.පිළිවෙලකට අතුර ඇත.ඒවායෙ පලය රටට ලැබෙමින් තිබේ.මා වගකීමෙන් මෙසේ කියමි.2020 ඔලිම්පික් පදක්කමක් හෝ අවසාන 8 දෙනා අතරට හෝ ලංකාව ගෙන ඒමට නිමාලිට හැකිය.ඒ සඳහා කෙන්යාව වැනි දුර දිවීමේ රටක විශේෂිත පුහුණුවකට නිමාලි මෙන්ම ඇය මෙහෙයවීම පිළිබඳව මේ වසරේ දක්ෂතම පුහුණුකරු ලෙස ජනාධිපති සම්මාන ලත් පුහුණුකරු සුජිත් අබේසේකර ද යොමු කළ යුතුය.එය 2019 වසරේ අග භාගයේ කළ යුතු දෙයක් නොවේය.දැන්ම කළ යුතු දෙයක්ය.
මලල ක්‍රීඩා සංගමයට ඒ බුද්ධිය පහළවීමට තව බොහෝ කාලයක් ගත වෙනු ඇත.ඊට පසුව ක්‍රීඩා ඇමතිතුමා ළඟ ද එහි නිලධාරීන් ළඟ ද පල්වන විට පෙරහැර ගොස් අවසන්ය.ඒ නිසා මේ සඳහා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා පළමුව මැදිහත්වන්නේනම් අපූරුය.
නිමාලි කර්කශ ජීවිතය ද ඔසවා ගෙන පැමිණ පළමු වරට ජාතික ජයග්‍රහණයක් ලැබූ දිනය මට අද වගේ මතකය.එදා ඇය කැඳවා ගෙන පැමිණ සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.ගැබ්බරව සිටි ඇය නිමාලි වෙනුවට මම අසන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දෙමින් ජීවිතය කියෙව්වාය.
මම ඒ සටහනකට ගෙන වෙඩ්ඩාට කීවේ රාවයේදී නොවේය.එවකට අප පදිංචිව සිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලා නිල නිවසේදීය.
මචං මේකි තාවකාලික දිවීමක් වෙයිද දන්නෙ නැහැ.
වෙඩ්ඩා මට කීවේය.ඒ ඒ තරමටම ඇයට නොදුවන්නට තරමේ ආර්ථික පීඩාවන් තිබුණු බැවිණි.දිව්වොත් ඉන්ටර්නැෂනල් මෙඩල් ගොඩක් අපි සිගරට් උරන අතර දෙඩුවෙමු.
ඒ නිසාම ඇය වෙනුවෙන් ලී ඒ සටහනට හෙඩිම වූයේ නිමාලි ඇය කෙතරම් දුරක් දුවන්නී ද වැන්නක්ය.නමුත් ඒ සටහනට ඉහළ ප්‍රතිචාර ලැබිණ.උදව් කරන්නට බොහෝ අය ඉදිරිපත් විය.නමුත් එය වගකීමක් ලෙස කරට ගන්නට එවකට ඇය ඉගෙනුම ලැබූ විදුහල්පතිවරයාට නොහැකි විය.නමුත් ඒ ගුරුපියාගෙන් අත හැරුණු නිමාලිව මම මගේ පීතෘ වගකීමෙන් අත් නොහැරියෙමි.ඇය කළකිරීමෙන් ඉවත් වෙන්නට උත්සාහ දරද්දී වෛද්‍ය ලාල් ඒකනායකගේ පීතෘ සහයද ඇයට ලැබිණ.පෑනෙන් දුවන්නට බැරිය.දුවන්නට හැකිය.ඊට පෑනට අකුරු උනන්හට හදවතක් තිබිය යුතුය.
දිනෙක තරග ප්‍රතිපල ලියන්නට හෝ සංචාර යන්නට පමණක් සෑදි පැහැදී සිටින අයෙක් අතින් විනාශ නොවුණොත් මගේ දියණිය ගැන ජීවිත කතාව මමම ලියමි.එය නගරයක් දෙවණත් වන්නට කෑ ගසන තරමේ මහා හඬක් සහිත ක්‍රීඩාවට පිවිසෙන්නෙකුට උද්යෝගය සපයන්නක් වනු ඇත.
ළමා දිනය පමණක් නොව අද වැඩිහිටි දිනය ද වන්නේය.ඒ් නිසා මා තරුණ වියේදීම නිමාලිව හැදිණ ගත්තේ සහ වැඩ කළේ වැඩිහිටිෙයෙක් ලෙස යැයි හැඟෙන්නේය.ඒ් නිසා මෙය වැඩිහිටි දිනයට ද තෑග්ගකි.
පියවරු දරුවන් අමතක කරන්නේ නැත.මා දමා ගිය දූවරු පුතුන් ගැන වුව කියන්නට ඇත්තේ එපමණකි.නිමාලිට ද දිනෙක මා අමතක විය හැකිය.ඒත් හැම ජයග්‍රහණයකදීම උඹ කීවා ද නොකීවා ද මම ද රන් හදවතේ පැළදගමි.
නිමාලි දැන් මම පළමු සටහනේ උද්ධෘතය වෙනස් කර කියමි.නිමාලි දුවන්නීය.ඒ රටද රැගෙන බොහෝ ඈතටය.
ජයවේවා දුවේ!

.විග්නේෂ්වරන් පරාජය කිරීම සහ අමාත්‍යංශයේ ගුල්ලන් ජය ගැනීම

C.V.Vigneswaran_2.png (545×341) Sports-Minstry.jpg (800×500)

දකුණේ ජාතිවාදී කණ්ඩායම්වල අවශ්‍යයතාවය ඇති කරන පෙළඹවීම කිරීමේ කොන්ත්‍රාත්තුව පවරාගෙන ඇත්තේ උතුරේ මහ ඇමතිවරයාය.ඔහු උතුරේ ජනතාවගේ අවශ්‍යයතාවයන් පිළිබද අරගල කිරීම සැබෑ නියෝජිතත්ත්වය පෙන්වීමක් වුව ද,දෙමළ සංස්කෘතිය විසින් සිංහල සංස්කෘතියට උතුරේ ඉඩක් නොදෙන තරමට ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීම අනුමත කළ නොහැකිය.වෛරී ප්‍රකාශනයන් කිරීම නොකළ යුතුය.මෙවැනි දේශපාලනයන්ගේ සූත්තර නිසා තිස් වසරක යුද්ධයෙන් බැට කෑවේ උතුර පමණක් නොවේය.රටමය.නමුත් උතුරට අහිමි කළ තිබූ දේ යුද්ධයට හේතු වූවා සේම යුද්ධයෙන් උතුරට අහිමි වූ දේ දකුණට සාපේක්ෂව විශාල බව ද අප පිළිගත යුතුය.

විග්නේෂ්වරන් ගේ වෛරී ප්‍රතික්ෂේප කිරීම්වලට විරුද්ධ තත්ත්වයක සිටිය ද,උතුරේ මිනිසුන්ගේ අයිතීන් සුරක්ෂිත විය යුතුය යන මතය ප්‍රතික්ෂේප කළ නොහැකිය.ඔවුන්ගේ ඉඩකඩම් දේපළ යළි ඔවුන් වෙත ලබා දිය යුතුය.ඒවා හමුදා කඳවුරුවලට පැවරී තිබිය යුතු බවට ගෙනෙන මතය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ලැජ්ජාවට කරුණක් වන්නේ ඔහු හෝ ඇය නියෝජනය කරන මතවාදයටමය.අනුන්ගේ දේපළක් පිළිබදව එය වෙනත් පාර්ශවයක් සතුව තිබිය යුතු බව කියන්නට කෙනෙක් උත්සාහ කරන්නේනම්,එය වසර 30 අධික කාලයක් පැවති  යුද්ධයට අවශ්‍යය පරිසරය සකස් කළ ගෝත්‍රික දේශපාලනයේ පිළිබිඹුවක්මය.

මහින්ද රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කරන පරිදි යළිත් ජාතිවාදය උතුරේ හිස ඔසවන්නේනම් හෝ යුද්ධ බීතිය නැවත නැගෙන්නේනම් හෝ වරද කාගේ විය හැකිද?යුද්ධයෙන් ඉනික්බිති කොමිස් සමඟ උතුරට වැඩම කළ කොන්ක්‍රීට් පරිසර මිනිසුන්ගේ ආත්මීය සුවය වෙනුවෙන් සහ සංහදියාව පිළිබද තිබෙන අනවබෝධය දුරු කර විශ්වාසනීයත්වය තහවුරු කරන්නක් නොවුණේය.එය එසේ නොකිරීම වසර පහකට ආසන්න කාලයක් අතපසු කර අද කොරහෙ කිඹුල්ලු දකින්නට මහින්ද පාර්ශවය දරණ උත්සාහයට කියන්නට ඇත්තේ , හිරිකිතය.සිය මස්සිනා එල්ලී සිටින සාටකයේ අනිත් කොන දැන් විග්නේෂ්වරන් ද එල්ලී ඇති අතර වාසු - විග්නේෂවරන් මස්සිනාවරු සුසංයෝගය ඊ ළග තත්පරයේදී උතුරේ සහ දකුණේ ඇති වන්නට හැකි අනොන්‍යය සබඳතාවය වැළක්වීමට පිඹුරුපත් සකසමින් ඇත.ඒ සාමය,සහයෝගය හෝ මිත්‍රත්වය යනු දේශපාලනයට බාධාවක් වන බැවින්ය.විසදන්නටඅරගලයක්,ගැටුමක් නැති වූ විට විසඳන්නට දෙයක් පෙන්වා නොදී ප්‍රතිපත්තිමය කරුණු මත පදනම්ව දේශපාලනය කිරීම ලංකාවේ දේශපාලන සංදර්භය තුළ ජනප්‍රිය කරුණක් නොවන බැවින්,ජාතිවාදය,ආගම්වාදය වැනි ගෝත්‍රික තත්ත්වයන් මතු කළ හැකි පදනමක් උතුරේ හෝ දකුණේ පවත්වා ගැනීම මේ ආකාරයෙන් බලය නඩත්තු කිරීමට උත්සාහ කරන්නන්ගේ විලාසිතාවය.

නමුත් මේ සියල්ල උඩු-යටි කුරු කර යාපනය දොරේ අප්පා ක්‍රිඩාංගණයට ජාතික ක්‍රීඩා උළෙල සපැමිණ ඇත.උතුරේ සහ දකුණේ සියල්ලෝ එකට එක්ව තරඟ වදිමින් සිටිති.වෙඩිවලින් උතුරේ සමාජ ප්‍රශ්න නිහඩ කර දකුණේ විසිල්වලින් ජීවත් වූ ආණ්ඩුව ඇති කළ සාමය ඉදිරියේ වුව එය යථාර්තයට සමීප කළ හැකි ආසන්නම මඟක් ලෙස ක්‍රීඩාව කැපී පෙණුනි.

යුද්ධය සමයේ ද උතුරේ ක්‍රීඩාවට සුළු හෝ ගණු දෙනුවක් දකුණ හා තිබිණ.නමුත් සාමය පැමිණෙන විටම මේ සටහන් කරු සිය ක්‍රීඩා ප්‍රකාශනයන් හී වරින් වර කී දෙයක් තිබිණ.ඒ මලල ක්‍රීඩාවේ පනින්නන් සහ දුවන්නන් උතුරෙන් බිහිවන බවය.මේ මොහොත වන විටත් එය යථාර්තයක් වෙමින් ඇත.ඒ සඳහා උතුර දකුණ අතර නිර්මාණය වූ දැණුම් හුවමාරු පාළම ද සෑහෙන බලපෑමක් ඇති කර ඇත.එසේම වොලිබෝල්,කබඩි සහ පාපන්දු ක්‍රීඩාවෙන්ද රටට අවශ්‍යය ක්‍රීඩක සම්පත් යාපනයෙන් සොයා ගැනීම අපහසු නොවනු ඇත.

උතුර ක්‍රීඩාවට දක්වන ආදරය සහ උනන්දුව කෙතරම් ද යන්න යුද්ධය නිමා වූ වහාම එහි පැවත් වූ නෙස්ටමෝල්ට් මැරතන් තරඟයෙන් පැහැදිළි කර ගැනීමට හැකිය.සහභාගි වූ ප්‍රමාණය 7000 ට ආසන්න විය.පළමු ආරම්භය වැරදියට ලබා ගෙන ඔවුන් කිලෝ මීටර් ගණනක්  දුව ගොස් නැවත කැදවා ගෙන පැමිණියේය.එහෙත් යළිත් බොහෝ උනන්දුවෙන් ඒ සියල්ලෝම නැවත දිව ගියහ.

ඉතාමත් ක්‍රියාකාරී දුෂ්කර ජීවිතයක් ගෙවන යාපනය මිනිසුන්ගේ ස්වභාවික ජීවන හැසිරීමේ වින්දනාතිමක කොටස ක්‍රීඩාවය.එය ජාතික වශයෙන් අප අවබෝධ කර ගත යුතුය.ඒ සංහදීයාව පිළිබද දේශපාලන කථිකාව හෘදයාංගම උවමනාවකින් මතු වන්නේනම් පමණි.ඒ නිසාම ජාතික ක්‍රීඩා උළෙල පිළිබඳව වචනයක්වත් නො'පවසා එහි සාර්ථකත්වය වළක්වන්නට විග්නේෂ්වරන් ක්‍රීඩා උළෙල ආසන්නයේ උතුරේ හර්තාලයක් පිටුපස සිට ගත්තේ ක්‍රීඩාවේ වින්දනාත්මක ප්‍රවේශය වළක්වන්නට ස්වීය දේශපාලන උවමනාවට නොහැකි බව දන්නා නිසාය.නමුත් විග්නේෂ්වරන් ඒ මොහොතේ උඩ ගොස් තිබෙන බව පෙණුනද,එය පදනම් කරමින් දකුණේ දේශපාලන ජාතිවාදය උස් හඪින් බෙරිහන් දෙන්නට පටන් ගත්තද,ඊයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් මීටර් 3.41 ක් රිටත් සමඟ ඉහළ ගිය ඇනීටා ජෙගදීස්වරන්, විග්නේෂ්වරන් පහළට වැට්ටුවේය.දකුණේ දේශපාලනයේ ජාතිවාදී හඬවල් තව දුරටත් ඇනීටා වෙනුවෙන් නැඟෙන ඔල්වරසන් හඬ අස්සේ නෑසී යනු ඇත.

නමුත් උතුරට ගිය මෙම ක්‍රීඩා උළෙලේ උතුරට ලැබුණු දේ මොනවාද යන්න අප සොයා බැලිය යුතුය.මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයම වාගේ උතුරේය.ජාතික ක්‍රීඩා උළෙල කරන විට මුළු අමාත්‍යංශයම උතුරට යා යුතුද?අත්‍යවශ්‍ය සේවා අධීක්ෂකයන් පිරිසක් පමණක් යොදවා උතුරු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් පිරිස හරහා මේ කටයුතු කළ හැකිව තිබිණ.නමුත් ඒ තත්ත්වය වෙනුවට ක්‍රීඩා උළෙලද උතුරේ ජනතාවගේ නිවාස සහ ඉඩම් අල්ලාගෙන හමුදා කඳවුරු බැඳ සිටින තත්ත්වයට පත් වී ඇත.කොළඹ ප්‍රජාව ක්‍රීඩා උළෙලේ සමස්ත පරිපාලනය අතට ගෙන තිබේ.

කොඩි කණුව පවා ජාතික ක්‍රීඩා උළෙලකට යන්නේ කොළඹ සිටය.එසේ යන කුලී ලොරි රථ කොඩි කණු බා එහි රඳවා ගන්නට නොහැකිය.යළි පැමිණිය යුතුය.එහෙත් යළිත් ඒවා ගෙන එන්නට ද ක්‍රීඩා උළෙල පැවත්වෙන ප්‍රදේශයේ වාහනයක් සොයා ගන්නේ නැත.නැවත වාහනය ඒ වෙනුවෙන් කොළඹ සිට යන්නේත් කොඩි කණු පටවාගෙන කොළඹ පැමිණෙන්නේත් සල්ලිවලටය.

මේ එකතුව බැලූ විට අවශ්‍යය කොඩි කණු ප්‍රමාණ්‍ය උතුරු පළාත් සභාවට කුලියට ගැනීමට පැවරුවද යන වියදමට වඩා බෙහෙවින් වැඩි එකක්ය.යන නිලධාරි සහ සේවක නඩය සියයට 50 න් අඩු කළ විට ඉතිරි විය හැකි මුදල කොපමණ ද?මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිලධාරීන් සතියට කී වතාවක් කොපමණ කාලයක් යාපනයේ ගොස් ඇත් ද?නමුත් අවශ්‍යය උපදෙස් ලබා දී ගෙවීම් ද කර නිලධාරි කිහිප දෙනෙක් යාපනයේ රැදෙව්වේනම් මේ කාලය තුළ ඔවුන් කාලය කළමණාකරනය කර ගනිමින් වැඩ කරනවා ඇත.

උළෙල අවසානයේ ක්‍රීඩා අමාත්‍යංශය නිලධාරීන් වෙනුවෙන් මේ ක්‍රීඩා උළෙල සංවිධානයේ දී යාපනයට යාම් -ඒම් සඳහා ගෙවා ඇති මුදල් ඉන්ධන වියදම් ද සමඟ ගණන් බැලිය යුතුය.නවාතැන් සඳහා කොපමණ වියදමක් දරා ඇත් ද?ක්‍රීඩා උළෙලට යාපනයට ගිය පිරිස් වෙනුවෙන් දරා ඇති නවා තැන් වියදම් කොපමණ ද?මේ වැය කරන්නේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් පහසුකම් ලබා දීමට යෙදිය යුතු මුදලයි.

බොහෝ විට විදෙස් සංචාරවලදී යන වියදම ගැන කතා කරන්නට ඉදිරිපත් වන කිසිවෙක් වසරක් පාසා මේ සිඳුවන නාස්තිය ගැන කතා නොකරයි.විදේශ සංචාරවලදී සීමිත පිරිසකට අවස්ථාව ලැබීම නිසා ඇති වන විරෝධය සහ වෛරය සමඟ එල්ලවන විවේචන ජාතික ක්‍රීඩා  උළෙල වෙනුවෙන් ඇති නොවීම ඛේදයකි.වසර හතරකට වරක් එන ඔලිම්පික් සදහා වන විවේචන තරමටම අවුරුද්දක් පුරා ඇති වන මේ විනාශකාරී වියදම ද නැවත්විය යුතුය.

පෞද්ගලිකව අදහස් දක්වන්නේනම් මේ ආකාරයට ක්‍රීඩා උළෙල කොළඹින් පිටට ගෙන යාම ම බොරු වැඩකි.නමුත් මේ මොහොතේ කොළඹ තිබෙන කෘතිම ධාවන පථවල තත්ත්වය ද අවුල් බැවින් ද,යාපනයේ පැවත්වීම ජාතික සංහදීයාවට පාර කැපීමක් ද වන බැවින් ද මෙයට එකඟ විය හැකිය.නැතිනම් වසර හතරකට වරක් කොළඹින් පිටට ක්‍රීඩා උළෙල ගෙන යාම සැළසුම් කර ඒ පවත්වන ප්‍රදේශයට කෘතිම ධාවන පථයක් ලබා දීමට කටයුතු කළ යුතුය.ඒ කොළඹ පැවත්වීමෙන් ඉතිරි කර ගත හැකි මුදලින්ය.ජාතීන් අතර ආගම් අතර සංහදීයාව සකස්කරන අතරම මේ ක්‍රීඩා උළෙලවල් ජාතික පරිපාලනය සහ පළාත් සභා පරිපාලනය අතර සංහදියාව සකසා ගැනීම සඳහා ද යොදා ගත හැකිය.එවිට බටා,ගමන් වියදම්,නවාතැන් වියදම්,ඉන්ධන වියදම් ලෙස අඩු වන මුදල් ප්‍රමාණය ක්‍රීඩා සංවර්ධනයේ වඩාත් ප්‍රායෝගික අවශ්‍යයතාවයක් වෙනුවෙන් යොදා ගත හැකිය.

එසේ නොවන තාක් ක්‍රීඩා අමාත්‍යංශය යකඩවලටත් ගුල්ලන් ගසන තත්ත්වයට ප්‍රදර්ශනය වීම වළක්වනු නොහැකිය.

Monday, September 26, 2016

රංගයි සිරසයි



රංග කියූ දේ කියා අවසන්ය.එහෙත් සිරස තවමත් රංගව කරට ගෙන බිම තබා නැත.ඔහුව ඔසවා ගෙන යන්නේ වතුර නැති වලකට අත හරින්නට විය යුතුය.නමුත් රංග කළන්සූරිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුර ඉල්ලා ගත් දෙයක් නොවන නිසා ඔහුට එය අතහැර යාම කජ්ජක් නොවන බව මේ වන විටත් පැහැදිළි කර අවසන්ය.

මට හිතෙන හැටියට රංග සිරසට නොව තවත් රජයේ ඉහළ මාධ්‍ය කණ්ඩායම්වලටද දිරවිය නොහැකි චරිතයකි.ඒ ඔහු පවතින මාධ්‍යය මාධ්‍ය ලෙස විශ්වාස නොකරන බවට හැඟෙන කතාම පතුරන නිසාය.නමුත් නිදහස් මාධ්‍යයක් පතන අයෙකුට සහ වගකිව යුතු මාධ්‍ය සදාචාරයක් මෙරට ස්ථාපිත කිරීමට රංග වැන්නෙක් අවශ්‍යය වන්නේය.

එහිදී රංගට සිරසවත්,සිරසට රංගවත් අත හැර යා නොහැකිය.

මම ගංවතුරෙන් හොදින්ම බැට කෑ අයෙක්ය.තවම එහි සුබසාධන යාන්ත්‍රණය නිවැරදිව අප වෙනුවෙන් ක්‍රියාත්මක වී නොමැත.ඒ මා පදිචිව සිටින ග්‍රාම සේවා කොට්ඨාශයේ ග්‍රාම සේවකගේ අපූරුවය.හරියටම මගේ ගෙදරින් වෙන් වන අල්ලපු වැටේ සිටින ග්‍රාම සේවක ඒ අතින් මරු ය.ඔහු ඒ ප්‍රදේශයට කළ සේවය ජනතාව නැවත ප්‍රකෘතියට ගෙන ඒම වෙනුවෙන් දැරූ වෙහෙස සම්මාණනීය කළ යුතු තරම්ය.

ග්‍රාම සේවක එසේ වූ විට ඇති වන ප්‍රතිපල ගැන මට ගංවතුර සමයේ අත්දැකීම් ගණනාවක් ඇත.මා දන්නා හඳුණන මිතුරන්ගෙන් මා අවට සිටින මිනිසුන්ට විශාල ලෙස උපකාර කරන්නට මට සිදු විය.ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ තරමය.ඇතැම් විට කොළොන්නාව ප්‍රදේශය භාරව ජනාධිපති කාර්යාලයෙන් යොඳවා සිටි මහතාට ද මේ තත්ත්වය විධිමත් කිරීමට හැකි නොවුණේ ඔහු කෙතරම් උනන්දුවක් දැක් වුව ද,මිනිසුන්ගේ හුරුව කණපිට ගැසීමට නොහැකි බැවින්ය.

එවැනි අවස්ථාවක දී සිරස පමණක් නොව අනෙකුත් මාධය ආයතන ද සිය ප්‍රවෘත්ති සම්බන්ධතා යොදා ගනිමින් කළ සේවය අගය කළ යුතුය.එහෙත් ඒවා ද නිසි පරිදි සිදු වූවා යැයි කියන්නට නොහැකිය.මොකද මේ කිසිවක් ඇතැම් දුෂ්කර ප්‍රදේශවලට නොපැමිණ රූපගත කිරීම් පහසු තැන් වලින් නැවතුණු බැවින්ය.එවා නැවත එතැන් හී සිට බෙදා හැරීම පැවරෙන්නේ යළිත් සුපුරුදු සාධාරණ නොවන කුසීත ක්‍රමවේදයටමය.

නමුත් ඒ මාධ්‍ය කාර්යය සුබ සාධන ක්‍රියාවක් නොවී වාර්තාකරණයකට පමණක් සීමා වුවා නම් ප්‍රශ්නය මීට වඩා බරපතල විදිහට රටට දැනෙන්නට තිබුණු බව රංග වුව පිළිගත යුතුය.නමුත් රංග පෙන්වා දෙන පරමාදර්ශි මාධ්‍ය මාධ්‍යයකට ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයකි.

එසේ නම් සිරස රංග ඉලක්ක කර ගත යුත්තේ නොවේ.රංග සමඟ එකට සිට ගෙන සිය ආයතනයට සුබ සාධන කාර්ය කරන්නට සිදු වූ ඇත්ත තත්ත්වය ලෝකයට ඉදිරිපත් කළ යුතුය.ඔවුන්ට පුරවැසියන් ලෙස සහ පුරවැසියන් සංවිධානය කළ හැකි ව්‍යහුයක් සහිත ආයතනයක් විදිහට සමාජයේ ඉටු නොවන වගකීමක් සඳහා ජනතාව පෙළ ගැස්වීමට සිදු විය.

රජයේ ආපදා කළමණාකරනය කරන්නට ඇති ආයතන සියල්ල මේ ගැටුම ගැන ලැජ්ජාවට පත් විය යුතුය.මෙවැනි සංවාදයකට හිදැසක් තැනෙන්නේ ඔවුන් විසින් අත හරින ලද වගකීම්වලින් බව පැහැදිළිය.ආපදාවට පත් වූ අය වෙනුවෙන් කටයුතු කිරීමට රජයේ නිලධාරීන් ක්‍රියා කරන්නේ දැනටද කබලෙන් ලිපට වට්ටමින්ය.

සිය වැඩ කටයුතු වතුරට සේදී ගිය මිනිසුන්ට හාල් කිලෝ 10 හෝ වෙනත් සොච්චම් සහනාධාරයක් වෙනුවෙන් පැය ගණනක් පෝලිම්වල සිටින්නට සිදු වීම කෙතරම් අමානුෂිකද යන්න මෙහිදී අවධානයට ලක් කළ යුතුය.උදාහරණයකට මේ මෑත දවසක රුපියල් දෙදහසක බඩු මල්ලක් වෙනුවෙන් ලැබුණු තැපැල්පත මගේ පුතු (ඔහුගේ තත්ත්වය දන්නා අය ඔහු ගැන දනියි) විසින් අතුරුදහන් කර ඇත.නමුත් එහි සඳහන් දුරකතන අංකයක් හරහා සම්බන්ධ තොරතුරු දැන ගැනීමට හැකියාව ඇති බැවින් ඒ අංකය අපේ නිවසේ වාතාවරණය දන්නා බැවින් බිරිඳ ලියා ගෙන තිබිණ.

එහි සඳහන් නම ඇත්තියගේ දුරකතනය වැඩ කළේම නැත.ඒ සම්බන්ධිකාරකගේ වගකීමය.ඒ නිසා ඒ බඩු මල්ල අහිමි වූ අතර අපව සම්බන්ධිකරණය කරන්නට අපගේ තොරතුරුවලට ඇමතුමක් දි එම තැපැල්පත හමුවූයේද නැද්ද යන්නවත් ඔවුන් විමසා සිටියේ ද නැත.

රජයේ නිලධාරීන් සිරස මෙන් එක දවසක් කටයුතු කළා නම් ග්‍රාමසේවා වසමට අදාළ තැනෙක විශ්වසනීය පුද්ගලයෙක්ට මෙම සහනාධාර බෙදීමේ වගකිම පවරා ඔවුන් ද සහභාගි වී මේ කාර්ය කළ හැකිව තිබුණි.රාජ්‍ය සේවකයාට එය වගකීමක් ලෙස දැනෙන්නේ නැත්තේ ඇයි ද යන්න විමසා බැලීම නොවටී.වැඩවසම් ක්‍රමයකට වැඩ කරන නෝනාවරුන් මහත්තුරුන් ඒ ආකාරයට කාලය වැය නොකළ යුතු බව ක්‍රමය විසින් ඒත්තු ගන්වා ඇත.

අද රැකියා සොයා එන බොහෝ දෙනෙක් රජයේ රැකියාම බලාපොරොත්තු වන්නේ නිදහස නිසා බව පවසන විට රට නිදිහස් වීමට කෙතරම් කාලයක් යනු ඇද්දැයි සිතා ගැනීමටවත් නොහැකිය.මේ ක්‍රමය ඇතුළේ මාධ්‍යයට සිය සංවිධානාත්මක හැකියාව තොරතුරු වාර්තාකරණයට සහ ගවේෂණයට වඩා දෙයකට භාවිතා කළ යුතුය.

මා ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස කළේ ද එයමය.ලියා පළ කිරීමෙන් නොනැවතෙන බව දන්නා නිසාම වගකිවයුත්තන්ට ඇවිටිලි කරන්නට විය.සාධාරණය ඉටු වන තුරු දන්නා කියන හැම සම්බන්ධතාවයක්ම යොදා ගනිමින් මේ තෙරපීම සිදු කළේය.

ඇතැම් විට අයෙක්ට නවාතැන් මගේ නිවසේ ලබා දීම ආසන්නම විසඳුම විය.රජය එය වගකීමක් ලෙස භාර ගන්නට චක්‍රලේඛ පෙරළමින් දගළන විට දරුවාගේ ක්‍රීඩාව නැවතී යා හැකි බව මා අත්දැකීමෙන්ම දැන සිටි බැවින් පළමුව මගේ මැදිහත්වීම කළේය.

උදාහරණයකට ඊයේ සජිත් ප්‍රේමදාස මහතා අතින් නිවාස ලැබුණු ගයන්තිකා සහ නිමාලි පෙන්වා දිය හැකිය.නිමාලිට පෙර මහවැලි කළාපයේ සිටි දක්ෂතම ක්‍රීඩිකාවන් වූයේ ගයන්තිකා සහ ඇගේ සොහොයුරිය නිලංකා ය.ඔවුන් දෙදෙනා ජාතික මට්ටමෙන් ද දක්වා ඇති දක්ෂතා සැළකිල්ලට ගෙන ඔවුන්ට ඉඩම් ලබා දෙන බවට මහවැලියෙන් ලැබුණු පොරොන්දුව වසර ගණනක් ඉටු වී නොතිබිණ.ඒ නිසාම එක්තරා ඇඹිලිපිටියේ පැවත්වෙන මහවැලි ක්‍රීඩා උළෙලකට මෙම ක්‍රීඩිකාවන් සහභාගි නොවන බව දැන ගන්නට ලැබිණ.එය ක්‍රීඩා උළෙලේ ආලෝකයට ගැටළුවකි.නිලධාරීන් ද එය දැන සිටියේය.

අපේ මාධ්‍ය හිතවතුන් හරහා එම සහභාගීත්වය සනාත කර දෙන ලෙස මහවැලි අමාත්‍යංශයේ නිලධාරීන් ඉල්ලිමක් කළේය.ඒ වන විට නිලංකා විශ්ව විද්‍යලයේ පරික්ෂණයකට සූදාන්මව සිටියාය.නමුත් ගයන්තිකා සිටියේ ගමේය.(සූරියවැව) මා ඇයට කතා කළ විට ඔවුන්ට සිදු වී ඇති අකටයුත්ත සහ රැවටීම ගැන පැවසීය.මා ඇයට ඉඩම ලබා දෙන බවට පොරොන්දු විණි.එය අභියෝගයකි.ඇය දිව්වාය.දක්ෂතම ක්‍රීඩිකාවද වූවාය.අනතුරුව දිනපතා ලක්බිම හරහා බලධාරීන්ට ඉඩම සහ ක්‍රීඩිකාවන් දෙදෙනා ගැන මතක් කරන්නට විය.වගකිවයුත්තන්ට කතා කරන්නට විය.අවසානයේ රාත්‍රියක 11 ට පමණ එවකට මහවැලි ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලිකව ලේකම්ව සිටි ජයසිංහ මහතාට පවසා තිබුණේ මගේ උනන්දුව ගැන කියමින් ඒ දෙදෙනාට ඉඩම් ලබා දීමට අවසර දුන් බව ඒ මොහොතේම කියන ලෙස ය.

නිමාලි ගැන ම වරක් නොව කිහිපවරක්ම කියා ඇත.ඇය මා නොසිටින්නට නොදුවන්නට ද තිබිණ.එය ඇයත්,ඇයගේ පුහුණුකරුවාත් දන්නේය.හැබැයි මේ කිසිවක් අන් මාධ්‍යවලට ප්‍රවෘත්ති නොවිණි.ඒ මා ඔවුන්ගේ මාධ්‍යයේ නොවන බැවින්ය.ඛේදය එයය.මාධ්‍ය අයිතිකරුවන් මාධ්‍යවේදීන් බිඳවා තිබීමය.ඒ නිසා ඇතිවන තරඟය සුබ සාධනයේදී ද දැනෙන්නට ඇත.ඒ නිසා පළමුව වාර්තාකරණය ලෙස රංග හඳුන්වන කාරණය එක හෙළාම පිළිගත යුතු වගේම මාධය ආයතන විසින් ස්වීය හැකියාවන් සහ බලපරාක්‍රමයන් යොදවාගෙන සුබසාධන කටයුතුවල නියැලීම ද වරදක් නොවන්නේය.

නමුත් තරඟය නිසා නිවැරදිව වාර්තාවන් ලැබෙන්නේ නැතිවාක් මෙන්ම ප්‍රවෘත්ති සඳහා කරන සුබ සාධන වැඩවලදී,සුබසාධනයේ වැඩි පරාසයක් කැමරාවලට ගමන් කළ හැකි මට්ටමේ නවතින නිසා නිවැරදිව සම්පත් බෙදීයාමේ ගැටළුව විසඳෙන්නේ නැත.උදාහරණයකට මා දින දෙකක් වහලයේ සිටියේය.ඒ වතුර පොදක්වත් ද නොලබමින්ය.මා පේන මානයේ ඉදිරිපස නිවසේ ආරක්ෂා සහිතව සිටින අයට ද කිසිවක් කළ නොහැකිය.ඔවුන් ද කනු වෙනුවට හැඩුවේය.කිසිම සංවිධානයකට අයත් නොවන ඒ ගෙදරට පැමිණි හිතවතුන් පිරිසක් මා එම මීටර් කිහිපය රැගෙන යන තුරු මට කිසිවක් නොලැබුණ ද,එළියට ආ පසු දැන ගන්නට ලැබුණේ විවිධ මාධ්‍ය ආයතන මඟින් අනුතරු අඩු පැමිණිය හැකි ප්‍රදේශවලට වීසි කරන්නට තරම් ආධාර ලැබුණු බවය.

මේ සඳහා විසඳුම මාධ්‍ය සුබසාධනයෙන් ඉවත්වීම නොවේය.රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව ප්‍රචාරනය පදනම් නොවුණු සුබසාධනයම පදනම් වූ ආධාර බෙදීමේ වැඩ සටහනක් පැවත්වීමය.මේ පොදු එකඟතා කමිටුව පිහිටුවා ගෙන තිබිය යුතු එකකි.එය ක්ෂණයකින් පිහිටුවීමට වඩා මෙවැනි නිදහස් මොහොතක පිහිටුවා ගෙන කටයුතු කරන්නේ නම් ඉදිරි අවස්ථාවන් හි ඇතිවන තත්ත්වයන්ට මුහුණ දිය හැකි තත්ත්වයක් නිර්මාණය කළ හැකිය.

එය රංගට කළ නොහැකිය.එක්කෝ ජනාධිපති හෝ අගමැති කළ යුතුය.නැතිනම් ආපදා කළමණාකරණ අමාත්‍යවරයා කළ යුතුය.මේ මාධ්‍ය ආයතන මෙන්ම සමාජ සේවා වෙබ් අඩවි මඟින් නිර්මාණශීලි අදහස් ඔස්සේ සියල්ලට පෙර තැබිය යුතු සුබ සාධන කටයුතු කළ පිරිස් ද මේ කමිටුවට එක් කර ගත යුතුය.ගංවතුර කෙතරම් විපතක් කළේ ද යන්න දැන් අමතක වෙමින් යන තරමට කාලය ගෙවී ගොස් තිබේ.තවමත් පශ්චාත් විමර්ශනයක් සිදු වි නැත.එහි දී ආධාර ලබා දීම බෙදා හැරීම සම්බන්ධයෙන් සෙල්ෆි කිහිපයකට පමණක් සීමා වෙමින් මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි කළ මෙහෙය සහ එය කළ අන්දම රජයට පමණක් නොව මාධ්‍යයට ද දැන ගැනීම වටින්නේය.

ඔවුන් යොදා ගත් පණිවිඩ හුවමාරු තාක්ෂණයම යොදා ගනිමින් වෙන රටක සිටියත් ජලය බෙදා හැරීමට මැදිහත් වූ ලක්ෂමන් නයනකාන්ත වැන්නන් ඒ කමිටුවට අනතර්ජාලය හරහා සම්බන්ධ කර ගත යුතුය.නලින් දිල්රුක්ෂ කළ යෝජනාව නිරාහාර මිනිසුන්ගේ කුස ගින්නට විශාල ආලොකයක් එක් කළේය.කසුන් සමරකෝන්,මංජුල සමරසේකර,හන්සි ජයසිංහ,කසුන් පුස්සෙවෙල,මධුෂාන් නානායක්කාර මේ මොහොතේ මතක් වන නම් කිහිපයකි.වගකීමක් ඇති අයෙක් මේ සටහන බලා කතා කළොත් තවත් මෙවැනි පිරිස් සොයා දෙන්නට හැකිය.

රංගගේ ප්‍රකාශය සහ සිරසේ හැසිරීම ඔස්සේ දෙපිළ බෙදෙන්නට පළමුව අප තේරුම්ගත යුත්තේ ශක්තිමත් ආපදා කළමණාකරන සේවයක් රටට නැති බවය.ඒවා පරණ ලියවිලි වල නීතිමය තත්ත්වයන් සැළකිල්ලට ගෙන කළ නොහැකිය.අද ද සිදුවන්නේ ආපදාවට පත් වූ අයට පැය ගණන් අව්වේ වේලෙමින් පෝලිමේ සිටිමින් ඔවුන් කළ වරදකට දඩුවම් විඳින අයුරෙන්  නිලධාරින් බැහැ දකින්නට අව්වේ තපින්නය.පළමුව මේ පීඩාවෙන් පීඩාවට පත් ජනතාව පීඩනයට ලක් කරන එක නවතා ඔවුන්ගේ සහන ඔවුන් අතරට ගෙනියන්නේ කෙසේද යන්න පිළිබඳව කතිකාවක් සැකසිය යුතුය.ඊට රාජ්‍ය ආයතන මෙන්ම,මාධ්‍ය ආයතන ද,සමාජජාලා වෙබ් අඩවි හරහා සේවය කළ අය ද එක් කරමින් සාකච්ඡාවක් ඇරඹිය යුතුය.ඊ ළඟ ගංවතුර,නායයාම හෝ දැඩි නියඟය එන තෙක් මෙය ප්‍රමාද කළ යුතු නැත.

රංගගේ තනතුරට සුදුසු දැණුමෙන් පෙන්වා දෙන කරුණු සහ සිරසේ ඊට ප්‍රතිවිරුද්ධ සටන ඇති වන්නේ ආපාදා කළමණාකරණය පිළිබදව ප්‍රතිපත්තිය සහ ක්‍රියාවට නැංවීම පිළිබදව ඇති හිස් තැන් නිසාය.මේ මොහොතේ සිරස තේරුම් ගත යුත්තේ මෙන්ම අප සිරසින් කල්පනා කර තේරුම්ගත යුත්තේ ද එයයි.ඒ නිසා මීට මැදිහත් වන්නන් සිරස හෝ රංග පසුපස පෝලිම් ගැසිම පසෙකළා ඒ මොහොතේ රජයට කළ නොහැකි වූ ආධාර බෙදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහ ඒ සඳහා අලුත් අදහස් එකතු කළ පිරිස් එකට එක් කර ජනාධිපිතවරයාගේ ද,අගමැතිවරයාගේද මැදිහත් විම ඇතිව ආපදා කළමණාකරනය පිළිබදව අලුත් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාදාමයක් ඇති කිරීමට මැදිහත් විය යුතුය.

Thursday, August 11, 2016

චරිත තුනක් - කඳුළු ගොඩක්


සහෘදයන්ගේ වෙන්වීම් ගැන එක දිගට ලියන්නට වීම ඛේදයකි.
විජය අයියා මහා හිතවතෙක් නොවේය.නමුත් සහෘදයෙකි.හමු වී ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණි.දේවිකා මිහිරාණිගේ වැඩිමහල් සොහොයුරියක අතුරුගිරියේ වල්ගම සිටින්නේය.මම එහි පදිංචිව සිටි සමයේ ඒ සොහොයුරියගේ සැමියාගේ සාප්පුවට අල්ලපු නිවසේ මම සෑහෙන කාලයක් විසුවේය.
එවකට විවාහ නොවි සිටියද යෞවන සමාජය සහ ක්‍රීඩා සමාජය නිසා එම ප්‍රදේශයේ පාසලේ ද දරුවන් සමග බොහෝ කලා සහ සමාජ වැඩට මම කැදවීය.අද මට සිටින පුතු මෙන්ම මානසික වර්ධනයේ යම් අඩුවක් ඇති පුතෙක් දේවිකා මිහිරාණිගේ සොහොයුරියටද සිටි අතර ඇතැමෙක් ඔහුව අවතක්සේරු කරන්නට විසුළු කරන්නට උත්සාහ ගත්තද මම ඔහුට බෙහෙවින් ආදරය කළේය.ඒ නිසාම ඔහු මා කෙරෙහි දැක් වූ ලෙංගතුකම නිසා ඒ පවුලම අප පවුලේ හිතවතුන් විය.
තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවද කරමින් සිටි බැවින් සහ යෞවන සම්මාන ආදියේ යම් ජයග්‍රහණද අත් කරගෙන සිටි බැවින් විජය අයියාගේ මස්සිනා මට ඔහුව ආ ගිය විට මුණ ගැස්සුවේය.එවකට එකම විකට චරිතයක් හෝ රඟ නොපා සිටි ඔහු මා දැන සිටියේ දක්ෂ නළුවෙක් බව පමණය.විකට චරිතවලට ඔහු කළ සාධාරණය ඔහු අති දක්ෂ නළුවෙක් බවට මා සිත තුළ ගෞරවයට පාත්‍ර කරවීය.
මල්ලි ඕඩියන්ස් එක රඟපාවන්න ඕනි....
පෙර කලෙක නළුකම ගැන ඔහු මට කියූ වචනය මා තේරුම්ගත්තේ ඔහු විකට චරිත රඟපාන විටය.එහිදි ඔහු ප්‍රේක්ෂකයා වඩාත් ක්‍රියාශීලී ලෙස නාට්‍යයේ කොටස්කරුවන් කර ගත්තේ බඩ කොර කරමින්ය.
නමුත් මා පෞද්ගලිකව සිතන්නේ ඔහු ඊට කොටු වූ බවය.ඔහු ගැන බර සැහැල්ලු වූ බව මඟේ හැ ගීමය.එය විජය අයියාගේ වරදක් නොවන්නේය.ඔහු මේ කමයේ ගොදුරක්ව ජීවත්වීම සඳහා හොඳ මිලක් ලැබෙන මඟකට තල්ලු කළේය.තරඟකාරී භෞතික සමාජ වටපිටාව ඔහුව ඩැහැ ගත්තේ අප කුමන තරාතිරමකින් තිරණ ගෙන ඔහු ගැන නිගමන ගත්තද,ඔහුට ඔහුගේ පවුල ගැන හොඳ සංතෘප්තියක් ලැබිය හැකි කරුණු ඉටු කරමින්ය.ඒ නිසා ඔහු සතුටින් නික්ම ගිය බව කිව හැකිය.
එල්මෝ ද සමීප හිතවතෙක් නොවේය.ඔහු තාත්තාගේ මිතුරෙකි.මා ඒ බව කියා ඇත්තේ එක් වරකි.
නැහැ කෝ දැන් නෙවිල්...?
ඒ අසන විටත් තාත්තා දැන්එ ල්මෝ පිවිිසි මඟට ඇතුල් වී තිබිණි.ඔහු තදින් කම්පා විය.
නමුත් අපි යළි හමු වූ විට ඒ ගැන කතා කළේ නැත.ක්‍රීඩාව ගැන මා කරන කියන දේ අසා ඊට ප්‍රශංසා කරා හැරෙන්නට සහ දිරිමත් කළා හැරෙන්නට ඔහු ඊට වඩා දේ කියා නැත.එහෙත් ඔහු කියන දේ අව්‍යාජ සුබ පැතිම් බව දැණුනු බැවින් මම ඔහුට බෙහෙවින් ගරු කළේය.
යළි තාත්තා ගැන මගෙන් නොඇසුවේ ඔහු මගේ නම දැන ගත්තේ තාත්තා ගැන කතා කළාට පසුව නිසා විය යුතුය.කලින් කළට වෙනස්වන මගේ කොණ්ඩයේ හැඩය ඊට බලපාන්නට ඇති බව මගේ හැඟීම විය.නමුත් යළිත් මට ඒ කතාව ඔහුට කියන්නට හිත දුන්නේ නැත.මට ඒ නිසා ඒ ගැන ඔහුව පරික්ෂා කරන්නට නොහැකි වුවත් වයසට වඩා වැඩ කළ හැකි,වෙහෙස ගැන මහන්සිය ගැන තැකීමක් නොකළ ඔහු මට වෙහෙස නොබලා වැඩ කරන්නට ආදර්ශයක් විය.
එල්මෝට පුළුවන්නම් මට බැරිද?
මම වෙහෙස දැණුනු අවස්ථා කිහිපයකදීම මගේ හිත හදා ගන්නට ඒ සිතුවිල්ල පහළ කර ගත්තේය.නමුත් ඒ හති නොවැටෙන මිනිසා නික්ම ගොස්ය.ඒ අපූර්වත්වයද යළි අපට විදින්නට වන්නේ නැත.
ශ්‍රී ලාල් අයියා රන්ජන් අයියාගේ ආරාධනය පිට මා ලක්බිම පඩිපෙළ නඟින විට ද හොඳ මිතුරෙක්ව සිටියේය.යම් අවස්ථාවක ලක්බිම ක්‍රීඩා පිටුවේ අප රාවයේ කළ දේ නොමැති වීම ගැන ඔහු කණසල්ල ප්‍රකාශ කළේය.
තීරණාත්මක මොහොතේ මම ලක්බිමට ගොඩ විය.රන්ජන් අයියා මා ලෙංගතුව පිළිගත්තේය.ඔහුගේ කුටියෙන් එහා පැත්තේ සිටි ශ්‍රී ලාල් අයියා දෙස මා විමසිලිමත් වෙද්දි රන්ජන් අයියා ඔවුන් දෙදෙනා දෙපසකට වෙන් කර තිබූ වීදුරුවට තට්ටු කළේය..
යාළුවෙක් ඇවිත්...
රන්ජන් අයියාගේ කීමට හම්මට උඩු නිශ්මා කියාගෙන ඔහු පැමිණියේය.මොකද්ද වැඩේ ඔහු වටින් පැමිණ රන්ජන් අයියාගේ කාමරයට එබිණ.
දැන් ඉතිං ඉස්සරහට මෙහෙ වැඩ බලා ගන්න පුළුවන් වැනි ව්‍යංගයකින් මා එහි පැමිණි වග රන්ජන් අයියා පැවසීය..
නැහැ මරුනෙ...මම මුට කියලා තියෙනවා කීප පාරක්ම වටෙන් වටෙන් වරෙං වරෙං කියලා...එක පාරට කියන්නත් බැහැනෙ ඉතිං මුංට...
එතැන් සිට අපි එකම කාර්යාලයේ එකට වැඩ කළෙමු.සිසිර හේමකුමාර වැනි ඡායාරුප ශිල්පියෙක් මා සමඟ ක්‍රීඩා වැඩවලට යාමට සෙට් වීම මෙන්ම විශාල පිංතූර යොදා ගනිමින් පිංතූර සහිත පිටු ඉදිරිපත් කිරීමට රන්ජන් අයියාගේ ආශිර්වාදය ලැබිණ.ඒ ගැන මරු මල්ලි සිසිරයා ස්පෝර්ට්ස් වලට මළාට අරින්න බැහැ.උඹ හින්ද ඔය එන්නෙ කියා කීවේය.සිසිරයි මමයි ඒ කළ වැඩවලදි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය වන විටත් එතැන ද එකටම සිටියේය.
ඔහු ගැන අපූරු මතක දෙකක් මා මෙහි ලියා තබමි.ඒවා ඔහු ගත් අමතක නොවන නිශ්චල ඡායාරූප දෙකක් මෙන් මා මනස තුළ තැන්පත්ව තිබෙනු ඇත.
සෙලින්කෝ හී විශේෂ අධ්‍යාපන පාසලක් සසෙක්ස් හී විවෘත විණි.ගීත්ට මගේ පුතු ගැන ද දන්වා ඒ සඳහා මා යොඳන්නට කටයුතු කළේ රන්ජන් අයියාය.ශ්‍රී ලාල් අයියාද එම විශය ගැන උනන්දු බැවින් එය ආවරණයට පැමිණියේ ඔහුය.අප එකට නොගිය අතර හමු වුණේ එතැනදීය.
මා මගේ පුතු ගැන එහිදි ඔහුට කීවේය.එතැන් පටන් ඔහු පුතුට ඒ පාසලෙන් කළ හැකි කුමක්දැයි සොයන්නට විය.මා සියතේ සිටියදි ලලිත් කොතලාවල අත් අඩංගුවට ගැනීමට කරුණු යෙදෙන තෙක්ම වරින්වර ඒ ගැන අලුත් තත්ත්වය මට කියන්නට ශ්‍රී ලාල් අයියා ඉදිරිපත් විය.වරෙක මා සමඟ ලක්බිමට ගොඩ වුණු පුතාගේ ඇවතුම් පැවතුම් ද ඊට හේතු වූවා විය හැකිය.
අවසාන කතාව ඔහු නවීන් දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේදී සිදු විය.නිමාලි ලියනාරච්ි පදක්කමක් රැගෙන බසයක ගෙදර යාම ගැන වාර්තා කළ මාධ්‍යයක් ගැන වාර්තා පළ විය.එය පළ වූ වහාම අමාතයංශය ඊට පිළියම් යෙදූ බව ශ්‍රී ලාල් අයියා මට කීවේය.නිමාලිට මුදල් ත්‍යාග හිමිවන දිනයේ නිමාලි මට එහි එන ලෙස කිවේ ඇයගේ පෞද්ගලික අවශ්‍යයතාවයක් කියමින්ය.පසුව එය බොරුවක් වූ අතර ඇයට අවශ්‍යයව තිබුණේ එම ස්ථානයට මාව කැඳවා ගැනීමය.
එහිදී ශ්‍රී ලාල් අයියා මමත් නිමාලිත් සිටි තැනට විමසිලිමත් දෑසින් පැමිණියේය.
මේ මචං අර උඹ හම්බවෙන්න ලක්බිමට එන කෙනෙක් නේද?
කලක් නිමාලි පමණක් නොව තවත් අය ද ලක්බිමට ආවේ ගියේ මාධ්‍ය වාර්තා පළ කර ගන්නට නොවේය.බස් එනතුරු විශාල කාලයක් ගෙවා දමන්නට නොහැකි වූ විටත් මා අසළට පැමිණ සිටීමට තරම් ඔවුන්ට මා විශ්වාසවන්ත විය.වරෙක ඔවුන්ව මහා රාත්‍රියේ නිවසට අල්ලා ආපිට බස් එකේ කොළඹ ආ අවස්ථාද ඒ අතර තිබිණ.රන්ජන් අයියා මේ කටයුතුවලදි මා ගැන බෙහෙවින් වර්ණා කරමින් ආශිර්වාද කරමින් මගේ මාධ්‍ය භාවිතාවට දිරි දුන්නේය.ශ්‍රී ලාල් අයියාද සෑම විටෙකම පාහේ ඡායාරූප ශිල්පීන් ලබා දෙමින් ඒ කටයුතුවලට සහය දැක්වීය.
මචං උඹල හදන්න මහන්සි වෙනවා.මුං හැදුවට පස්සෙ ඒ ළමයින්ගෙ ගමණට අවශ්‍යය දේ කරනවා නෙමෙයි ඒ ළමයි සහ අමාත්‍යංශය ඇමති කොටෝනවා.රන්ජන් කියන එක හරි.මුංට ගහන්න තියෙන්නෙ...
නිමාලි ගැන මාධ්‍ය සටහන ලියූ අය ගැන කියූ ශ්‍රි ලාල් අයියා නිමාලිට කීවේ නිශ්මා හම්බවෙන්න ලක්බිමට එද්දි මම හිටියෙ එහා කාමරේ...අපි දන්නවා ඔයාල ආව හැටි.ඔයාට මිනිස්ටර්ව කන්ටෑක් කරන්න බැරිනම් මට කතා කරන්න....
නිමාලිට සාක්කුවෙන් ඇඳ දුන් කාඩ් එක ඇය අතේ තියෙනවාදැයි මම නොදනිමි.මචං මේ වගේ තව කට්ටියක් හොයලා දීපං.මිනිස්ටර් මේවට උදව් කරන්න ලැහැස්තියි...
හැබැයි ඒ කතාවට පසු නවීන් දිසානායකට අමාත්‍යංශය අහිමි විය..දැන් ශ්‍රී ලාල් අයියාට ජීවිතය අහිමි වී ඇත...ඔහු මට මා කළ දේ ට දිරි දුන් මිනිසෙක් ලෙස කිසිදිනක අමතක නොකළ හැකිය.ලක්බිමේ ක්‍රීඩා පිටුවේ අන්තර්ගතයේ යම් වෙනසක් කරන්නට රන්ජන් අයියා මට දුන් නිදහසෙන් පල නෙලා ගන්නට ශ්‍රී ලාල් අයියාද යම යම් අවස්ථාවල අත්ත පහතට කර අල්ලා සිටියේය.ඒ මතකයේ ගෞරවය මම හදවතින්ම ඔහුගේ පය පාමුල තබමි.
යන්නැයි කියා කියන්නට හිත නැතත් යළි ආපසු නොඑන බව ඇත්තය.එහෙත් මතකය හිතෙන් නොයනු ඇත.එතැන ඔවුන් සමඟ බැදි මතකය ජීවමානව සදා රැඳෙනු ඇත.

Saturday, August 6, 2016

අනේ අනිච්ඡං සාදු !

මේ දවස්වල මේ රටේ ජනතාව වැඩිපුරම නරඹපු චිත්‍රපටයකට බාල්දියක් පෙරලන්න සාදුල බොහොම බැතියෙන් පෙරමුණු ගැසී ඇත.ඒ බුදුහාමුදුරුවන්ගේ නාමයෙන්ය.මේ කාරණයට සාදුලට උල්පන්දම් දෙන ඇබිත්ත මහත්තුරු ටිකක්ද ඊට එරෙහිව අදහස් දක්වන අයගේ අම්මාවරු පවා බඩ කරන මට්ටමෙන් කතා කරමින් ශ්‍රද්ධාව වපුරමින් සිටියි.

කවුදෝ මිත්‍යා අදහස් වපුරන චීවරධාරියෙක් ඉස්සර කියනවා මට ඇහුණ හැටියට බුදුහාමුදුරුවෝ සිටින කාලයේ වෙනත් ආගම් ගණනාවක් එරට තිබී ඇත.එම ගජ බින්නය විශ්වාස කළ යුතු නැත.ළඟදීම මේ චිත්‍රපටය ගැන කතා කරන හාමුදුරුවරු සහ මහත්තුරු  බුදුහාමුදුරුවෝ බෙලිඅත්ත පැත්තේ ඉපදී කාල්ටන් මැඳුරේ බණ කිව්ව බව ද සොයා කියා දෙනු ඇත.බුදු රජාණන් වහන්සේ බුද්ධ වංශයේ කියා උන්වහන්සේ දේශණා කර තිබෙන කතාවද බොරු බුද්ධ වංශයද ගොවිගම හෝ හකුරු හෝ ලංකාවෙ එක එක හාමුදුරුවරුන්ට මහණ වෙන්න තියෙන නිකායක කරන්නටද ඉඩ ඇත්තේය.

එතනදි ප්‍රශ්නයක් එන්නට ඇති ඉඩ තීරණය වන්නේ ඒ අය බුද්ධවංශයේ නොවී එක එක වංශයේ වීම නිසා තමන්ගේ වංශය වෙනුවෙන් කතා කරද්දීය.ඒත් කමක් නැත.ඒ වහන්සෙලා වෙනුවෙන් මරාගෙන මැරෙන මට්ටමේ ඇබිත්ත ඇබිත්තියෝ සෙට් එකක්ද සිටින නිසා බුද්ධ පුත්‍ර සිරුරුවලට අබැටක හානියක් නොවන්නට ගුටි කන්නට ඒ ඇබිත්ත අබිත්තියෝ පෙළ ගැසෙනු සැක නැත.

මේ ගරුතර උන්වහන්සෙලාට ඇතැමුන් ඉදිරියට දමන 'ගොන්යන්න' යෙදීමේ මහා පාපකර්මයට හවුල් වන අය එතරම් පහත් මට්ටමේ කේන්ති ගත යුතු නැත.වචනයක් හෝ කිව යුත්තේ තේරෙන එකෙක්ටයැයි කියා ඇතැම් අවස්ථාවලදි ඇතැමුන්ට උපදෙස් දෙන එකෙන් වැළකී සිටීමද හොඳ දෙයක් කියා මතක් කරන උන්වහන්සෙලා අපේ මුවගුළු තද කරති.

චිත්‍රපටවලට විරෝධවීම පමණක් නොව උන්වහන්සෙලාගේ මතකයෙන් ගිලිහුණු තවත් කරුණක් ද මතක් කරනු කැමැත්තෙමි.දුරක වඩින විට මුත්‍රා බරක් ඇල්ලූ විට ඉඳුල් නොවුණායැයි සිතිය හැකි ගසකට ඇල්ලීමට හෝ ඊට වැඩි දෙයක්නම් නිදහස් ඇලකට පිට්ටු බා ඒ වතුරෙන්ම බම්බුව සෝදාගෙන යාම අවුලක් අපුලක් දනවන දෙයක් නොවන්නේය.නමුත් මහජන වැසිකිළයක් වැනි දෙයක් භාවිතයට ගැනීමේදී ඊට වඩා ඉවසිලිවන්තව කල්පනා කළ යුතුය.

විශාල පිරිසකගේ දුශ්ලීල කම් මෙන්ම අසූචි ද පිරුණු ඒ බිමකින් බුද්ධ චිවරය අපිරිසිදු විය හැකිය.චීවරයේ පිළගැනීමද එයින් අඩු විය හැකිය.ඒ නිසා එවැනි අවස්ථාවක ඔබ වහන්සේලා වැසිකිළියට බුද්ධ චීවරයට අයත් කොටස් ගලවා යටට ඇද සිටින ලන්කටයක් හෝ අමුඩයක් පිටින් වැඩම කළාට කිසිවෙක් ප්‍රසිද්ධියේ නිරුවත්ව ඇවිද්දේයැයි අවලාද නොඟනු ඇත.ගල් මුල් නොගසනු ඇත.මන්ද වැඩි දෙනෙක් අශුද්ධවන්තයෝ දැනටමත් ඔබ වහන්සේලා එම යට ඇදුමවත් නැතිව ප්‍රසිද්ධියේ නිරුවත් වෙන බව විශ්වාස කරන බැවින්ය.

බය වෙන්න දෙයක් නැත.කවුරුත් කුමක් කළ ද,අනේ සාදු කියා වැළපෙන්නට යන්නේ නැත.ඔබ වහන්සෙලාගේ හැකියාව කියන්නෙ පෞද්ගලිකව කිසිවක් හම්බ කර නැත.සියල්ල ආගමටම උපයා දී ඇත.ඒ නිසා කවුරුත් වැළපෙන්නේ අනේ ආගම කියාය.ඒ තරමට ආගමික සේවයක නිරතවන ඔබ වහන්සෙලා පණ පිටින් අපාගත වෙන තරම් පාප කර්ම කරනු බව වැඩි දෙනෙක් සිතන්නේ ඔබ වහන්සෙලාගේ මඟ නොයන ඉතාම සුළුතරයක්  ස්වාමීන්වහන්සෙලා වෙනත් ධර්මයක් දෙසනු ඇති බැවිනි.

නමුත් ඔබතුමන්ලා පිං කර ඇති බව පැහැදිළිය.වඩින කාර් මෙන්ම වෙනත් වාහනද,දිව්‍ය ලෝකය කිට්ටුවටම යන්න අරක්කු මද වුවොත් ගංජා පූජා කරන තරමට බැතිමතුන් කුල්මත් කර ඇති අන්දමද අනේ වාසනාවන්ය.ධර්මයට කරන ගෞරවණිය සේවය නිසාම අපූරු කුලකතුන් හොරෙන් ඔබ වහන්සේ කෙනෙක්ගේ ඇදට වැඩියත් කිසිවක් නොකියා අවශ්‍යයනම් ලාම්පුව හෝ අල්ලා සිටින්න සූදානම් ඇබිත්ත කැළටද කියන්නට ඇත්තේ අනේ සාදු ය.

බුද්ධාගම බුදුහාමුදුරුවන්ගෙත් නොවේය.ඹබ වහන්සෙලාගේය.ඒ නිසා කිසිවකට බිය නොවි ඔබ වහන්සෙලාගේ පැවත්මට එය යොදා ගැනීමෙත්,ඔබ වහන්සෙලාට උදව් කරන කෙනෙක් වෙනුවෙන් ඔබ වහන්සෙලා එය යෙදීමත් නරක නැත.

Friday, July 15, 2016

දුටු තැන අල්ලනු සහ අල්ලන්නට බැරි තරම් අවුල

පහුගිය කාලේ අපේ රටේ තිබුනේ පහුගිය කාලේ විතරක් නෙවෙයි අද සහ මේ යන විදිහට ඉදිරියේ තවත් අවුරුදු ගණනාවක්ම තියෙන්නේ පුදුම මජර දේශපාලන ක්‍රමයක්නේ. අපි මේක එපා කියල අරක හොඳයි කියනවා, ඒක නරකයි කියල ආයේ මේක තෝරාගන්නවා.
--- මිනිසා කියන කෙනා බලාපොරොත්තු අත් නොහරිනා නිසා මේක නැත්නම් ඊලඟ එක හරියයි කියකියා ජීවත් වෙනව. කුණුවෙලා තියෙන සමාජයක් එකපාරටම ගොඩදාන්නත් බැහැ. මේ කුණුගොඩෙන් ගොඩ එන්න අපිට සෑහෙන කාලයක් යයි. මොකද එකම කට්ටියනේ මේ කැරකෙන්නේ. ""දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්නේ.""
--- පොදු ජනයා විදිහට අපිට තමයි එළවළු ගණන්. අපිට තමයි පාරෙ යන්න වාහන තදබදය. අපිට තමයි පාරට බැස්සහම බස් කෝච්චි නැත්තේ. සාමාන්‍ය මිනිහට තමයි ලැබෙන සොච්චම් පඩියෙන් ජීවත් වීමේ අරගලය තියෙන්නේ.
--- සමහරු තාම කියනවනේ අයියෝ මේ 'වෝකිං පාත්', 'හයි වේ', 'පෝර්ට් සිටි' හද හදා හිටපු ආණ්ඩුව එළවල, මුන් මොනාද කරන්නේ කියල. අපිට ඒවා විතරද ඕනේ? මම විශ්ව විද්‍යාල තුනක උගන්නනව. දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගත්තොත් මම ඒ අයගෙන් අහනව මොකක්ද අවසානයට කියවපු පොත් කියල. පොත් තියා පොතක් දැකලවත් නැහැ.
- Kaushalya Fernando -
නොබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කාගේ ‘ඔපෙරා වොන්යෝසි’ නමැති නාට්‍ය පිටපත ඇසුරින් කෞශල්‍යයා ප්‍රනාන්දු නිර්මාණය කළ 'දුටු තැන අල්ලනු් නාට්‍යයට පේරාදෙණිය වලේ දී ගල් ප්‍රහාර එල්ල වන්නට ප්‍රථම ඇය මුහුණු පොතේ තැබූ සටහනක මේ බව කියා තිබිණ.
කෞශි ලාංකේය වේදිකාව,පුංචි තිරය සහ සිනමාව යන ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ හොඳම නිළිය වීමේ භාග්‍යය ලත් තැනත්තියකි.ඇය සෝමලතා සුබසිංහගේ දියණියය.ඒ නිසා ඇය ඉදිරිපත් කරන හෝ දායකවන නිර්මාණයක ගුණාත්මකභාවය පිළිබද ඇයගේ උගත්කමේ සාධක නොගෙනාවට ඇයගේ භාවිතය විසින්,පවුල් පසුබිම විසින් ඇති කර තිබෙන සාධක ප්‍රමාණවත්ය.
වොලී සොයින්කා 1986 සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සම්මානයට පාත්‍ර වෙන්න පෙර 1977 දී නයිජීරියාවේ බොකාසා පාලනය විවේචනයට ලක් කරන්නයි මේක ලියලා තියෙන්නෙ.ඒ ඇති වී තියෙන මිනීමරු ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රහසනාත්මක විවේචනයක් විදිහට වොලී අතින් ලියැවෙන මේ පිටපත ඇසුරෙන් අනුවාදිත නාට්‍යය පේරාදෙනිය සරසවිය ඇතුළත දී බොකාසා පරපුරේ විවේචනයට ලක් වුණා ද යන්න විමසා බැලිය යුතුයි.
තව කාලයකින් මේ සමාජය පෙරමුණට රැගෙන යන්නට වගකීම පැවරී තිබෙන පිරිසනම් මේ ආකාරයට හැසිරෙන්නෙ අපේ රට ලෝකය ඉදිරියේ පසුපසින් තැබෙනු ඇතැයි සිතිම අරුමයක් ද?
"අප‍්‍රිකාවේ සිටි වඩාත් කෲරතම ඒකාධිපතියෙකි. මිනීමස් කෑම ගැනත්, තම සතුරන්ව සතුන්ට කෑමට සැලසූ බවටත් චෝදනා ලැබූවෙකි. 1979 දී බලයෙන් පහ කෙරෙන තෙක්, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ අධිරාජයා වශයෙන් තමන් විසින්ම ඔටුනු පළඳාගෙන සිටියේය. ඔහු දරුවන් 62 කු ජාතක කෙළේය. නැපෝලියන් බොනපාට් කෙනෙකු මෙන් ඔටුනු පැළඳීම සඳහා ඔහු වැය කළ මුදල, මුළු රටේම වසරක දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ය.’’
සරළව කිවහොත්, බොකාසා යනු, තමාගේ පුද්ගලික මනදොළ සපුරා ගැනීමට ගැළපෙන පරිදි, ආණ්ඩුකරණයේ පිළිගත් සෑම ප‍්‍රතිපදාවක්ම ඉවතලූ, දේශපාලනික උන්මත්තකයෙකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, බොහෝ කාලයකට ගොඩ ඒමට නොහැකි වන පරිද්දෙන් ඔහුගේ රටට වින කෙරූ අයෙකි."
ලන්ඩන් ගාඩියන් පුවත්පත කියූ බවට මේ සටහන කළඹ්ඹු ගාර්ඩියන් පුවත්පතෙනි.එසේනම් මේ පිරිස පෙනී සිටින්නේ සමස්ත නාට්‍යයේ අරුතට අනුව බොකාසාගේ සිස්ටම් එක අපහාසයට සහ උපහාසයට ලක් කිරීමට එරෙහිවය.ඒ වොලී සහ කෞශල්‍යයා ගැන හැදෑරීමේ දුර්වල කමක් නිසා සිදු වූවක් විය යුතුය.
විශ්ව විද්‍යාල සිසුන් එවැනි හැදෑරීමකින් තොරව සහ මූලික පදනමකින් තොර වීමම මට සිතෙන්නේ ඛේදවාචකයක් බවය.සිප ගැනීම් සහ මෙහි වීඩියෝවෙ එන රංගන ශිල්පිණියගේ සුන්දර දෙපය විඳ ගැනීම බොකාසා විරෝධයට වඩා වැදගත් සංස්කෘතික ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස ඔවුන්ට සිතීමම ගැටළුවක් නොවන්නේද?
මේ රටේ දේශපාලන ඛේදවාචකයමය.මීනීමස් බුඳින්,සිය කිරුළු පැළඳීම වෙනුවෙන් රටේ ආදායමම විනාශ කරන පාලකයෙක් නිර්මාණය කරන ක්‍රමවේදයකට තල්ලුවීමේ අවදානමට වඩා වැදගත් වන්නේ මේ සංස්කෘතික ආගමික මිත්‍යාව රැකීමය.ඒ තරමට ජනතාවගේ ඔළු කුහර පුළුල් නොවීම තුළ පටු විනාශකාරී පාලකයාගේ පැවත්ම පහසුය.ඒ නිසා මේ පොළව බොකාසා ලා පැටව් ගසන්නට තරම් කොදු නාරටි බිදුණු පටු හැඟීම්වලින් යුත් නිල උගතුන්ගේ පාරාදීසයක් වීමේ අවධානමට මුහුණ පා සිටියි.
දුටු තැන අල්ලනු නාට්‍යයට ගල් ගැසීම නාට්‍යකට ගල් ගැසීමක් නොවන පුළුල් ලෙස අපේ රටේ විශ්ව විද්‍යාල සිසුවාගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේ එබැවින්ය.මේ රටේ විශ්ව විද්‍යාල පරපුර ලෝකයේ අලුත් ප්‍රවනතා වැළඳ ගැනීම පසෙකලා අතීත කාමය වළඳන එ් අනුව සමාජ රාමුවේ හතර කොන සටහන් කිරීමේ අරගලයට පැමිණ දැන් බොහෝ කල්ය.ඒ නිසාම මේ රටේ උගතුන් යනු කාලයක සිට නිර්මාණය වන්නේ සහ උත්පාදනය වන්නේ ලෝකයට අභියෝග කිරීමේ දැණුම,නව ප්‍රවනතා සහ තාක්ෂණය සමඟ එක පෙළට සිට ගැනීම පසෙකලා ගුහාගත වීමේ අරගලය තුළ සිටි සාමාජික සාමාජිකාවන්ගෙන් වීම විශාල ඛේදවාචකයකි.
ඒ නිසා දේශපාලකයාගේ තීරණවලට හැසිරෙන එහෙයි කියන පාලකයාගේ සුවච කීකරු ගෝලයන් මිස රටේ නැඟී සිටීම වෙනුවෙන් දේශපාලන නායකත්වය සමඟ ලෝකයේ නව ප්‍රවනතා පිළිබදව අදහස් ඉදිරිපත් කරන පරිපාලන නිලධාරි ව්‍යහුයක් අපට කලකින් ලැබෙනු නැත.
මේ සමඟ දුටු තැන අල්ලනු නාට්‍යයේ වීඩියෝ දර්ශනයක් සහ සොයිනකෝ ගේ සහ බොකාසාගේ තොරතුරුවලට අදාළ ලින්කු ද ඉදිරිපත් කරමි.


Friday, June 3, 2016

පුතාගේ ස්ට්කරය බොද වීම සහ අතුරු කතා

මගේ බ්ලොග් සටහන් කියවන බොහෝ දෙනෙක් මගේ පුතා ගැන දන්නවා.ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්.

මේ සටහනට යොදා තිබෙන පිංතූරය රවීන්ද්‍ර පුෂ්පකුමාර ගත්තු එකක්.ඒ පුතාට අවුරුදු තුනේදී.අපි ඒ කාලෙ හිටියෙ රජයේ කර්මාන්තශාලා සේවක නිවාස වල.රවිය මාත් එක්ක වැඩකට ගිහිං ඇවිත් යන්න හදද්දි චූ කෑල්ලත් එළියෙ දාගෙන ගිය කොල්ල රවිය රවිය කියලා කතා කළා.ගේට්ටුව අස්සෙන් එබිල ඉන්න හෙළුම කොටා රවිය කැමරාවේ අලෝ ගත්තා.


මේක ප්‍රසිද්ධ පිංතූරයක් වුණේ ලක්ජන පත්තරෙන්.ඒකෙ මංගල කළාපයට රවියගෙ මේ පිංතූරය තමයි යොදල තිබුණෙ.ඊට පස්සෙ මේක අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් 2002 පේරාදේණිය සරසවියෙ මාගේ දේශය අවධි කරනු මැන වැඩ සටහනට යොදා ගත්තෙ මුද්‍රණය කරල විකුණන ස්ටිකරයට.ඒ ස්ටිකර් එකට විකුණන කොටනම් මේ දරුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇති දෙමව්පියන්ගෙ දරුවෙක්ද කියන එක හෝ ලංකාවෙ අන්තරය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාර රකින්න දඟළන අධයාපන ක්‍රමය ඇතුළෙ කවදාවත් විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි විශේෂ ළමෙක්ද කියන එකවත් අහලවත් හොයලවත් තිබුණෙ නැහැ.

මම හිතන්නෙ ඒ අය ඒක හොයන්නෙ රැග් එක විවේචනය කරන කොට විතරක් වෙන්න ඇති.නැත්නම් ඔවුන්ගෙ සටන් කරගෙන යන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් කැට අල්ලනවනෙ.


කෙහොම හරි ඊට පස්සෙත් මේ පිංතූරය කොල්ලටවත් රවියටවත් පලක් ඇති දෙයක් වෙන්නෙ නැතුව තැන තැන පළ වුණා.එහෙම පළ කරපු තැනෙක කොල්ලගෙ පිංතූරය ජේසුගෙ උපතට අදාළ කර ලියූ ගීතිකාවකටත් යොදා තිබුණා.ඔය පොත මට ගෙනත් දුන්නෙ මංජුල වෙඩිවර්ධන.පියතුමෙක් ලියපු ගීතිකා පොතක්.

ඒක කොල්ලගෙ ජීවිතයට වඩා කන්‍යා සොහොයුරියකගෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවො ගැන තිබුණු දුර්මතය දුරු කරන්න සමත් වුණා.ඇය ඒ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් ඇති තැනත්තියක් බවට පෙරලන්නට ඒ පොත බලපෑවා.


මුලටම ගිහිං ඒ කතාව පටන් ගත්තම කොල්ල පාසල් ගියේ කොළොන්නාව ශාන්ත ජෝෂප් විද්‍යාලයට.ඒකට පල්ලියෙ පාසල කියලත් කියනවා.පුතාව ඇතුල් කරාම සමහර දෙමව්පියො ඒ අයගෙ දෙවොලට සතෙක් රිංගුව වගේ තමයි බැලුවෙ.මම වැඩිය සත්තු කෑ ගහන එක ගැන තකන්නෙ නැති නිසා මට ඒක අවුලක් වුණේ නැහැ.

හැබැයි අපි මේ දරුව ගැන ගුරුවරියට කියල තිබුණු දේ නිසා ඇය දෙමව්පියෝ දැනුවත් නොකරන්න හුඟ දෙනෙක් අපේ එකාව පෙණුමෙන් එහෙමයි කියල දැනං හිටියෙ නැහැ.අර දේවාලෙ කපුවො වගෙ හිටපු දෙමව්පියො කොල්ල දිහා බැලුවෙ පිස්සෙක් කියලම හිතලයි.ඒකෙ කොස්ස ඇති වුණේ ඒ අය සිය දරුවන්ගෙ හිත්වලට මේ සිතුවිල්ල ඇතුල් කිරීමෙනුයි.

ඒ අය පිස්සන්ට විහිළු කිරීමේ බුද්ධිමත් සම්ප්‍රදාය අකුරටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.ඒව ඇතැම් අවස්ථාවල ශරීර වධ දක්වාත් වර්ධනය වුණා.මේ වගේ අවස්ථාවක දරුවො තුන් දෙනෙක් පුතාව පංතියෙ හිර කරල එන්න දෙන්නෙ නැතිව දොර හිර කර ගෙන.ළමයි කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් අය එහා පැත්තෙන් පුතා දෙර තල්ලු කිරීමට සහ ඊට එරෙහිව විරුද්ධ පැත්තෙන් අර දරුවො තුන්දෙනා ඊට එරෙහිව දොර වසාගෙන සිටීමට ඔල්වරසන් නඟමින් ඉද්දි අපේ කොල්ලගෙ සිමාව පනිනවා.ඌ උපරිම ශක්තියෙන් කළ තල්ලු කිරීමෙදි දොර මදක් ඇරිලා ආයෙ වැහෙද්දි තුන් දෙනාගෙන් එකෙක්ගෙ අත අහු වෙනවා.ඇඟිල්ල තුන් පොළකින් කැඩෙනවා.

ඔන්න අර දේවාලෙ අයිති කපු මහත්තුරු ටික මාව වට කරගෙන කාර්යාලයට එන්නෙ පුතා අදම පාසලෙන් ඉවත් කර ගන්න කියමින්.ඒ අතර සමහරු මට ඒක කොලොන්නාව බව ද මතක් කරාම කීවාම මම කියන්නෙ මම රටටම අයිතියි.රටත් මටම අයිතියි.ඒ නිසා කොළොන්නාවට වඩා මගේ අයිතිය විශාලයි කියලා.ඒක තේරුණේ නැති නිසාද කොහෙද ඒ වචනය ආයෙ ආවෙ නැහැ.

විදුහල්පතිතුමත් දැන් අපේ දරුවා ළඟ තියාගෙන හිටගෙන ඉන්නවා.පාසලම කාර්යාලය ඉස්සරහා.විදුහල්පතිතුමා කිව්වා මට දරුවව පාසලෙන් අස් කර ගන්න වෙන්ව කියලා.ඒකට කමක් නැහැ කියපු මම ස්ර්ගෙන් ඇහැව්වා පංතියෙ ළමයින්ගෙන් මට මේ ගැන දැන ගන්න පුළුවන්ද කියලා.විදුහල්පතිතුමා පුතාට පිටුපසින් සිටින ළමයින්ව පෙන්නල මේ ළමයි ඔක්කොම කියනව අර ළමයගෙ (ඒ වෙනකොට ඒ දරුව රෝහලට රැගෙන ගිහිං) අත දොරට අහු කළේ ජාරක කියලා.විදුහල්පතිතුමා ඒ වන විට ඔහු සෑහීමකට පත් වී සිටි පරීක්ෂණයෙ ප්‍රතිපලය එළියට දැම්මා.


ඇයි පුතේ ජාරක එයාගෙ අත දොරට අහු කළේ?

පරික්ෂණය අරඹන විට පූර්ව නිගමනයක සිටීම නිසා අතපසු වන්නට ඇතැයි සිතූ ප්‍රශ්නය මම ළමයින්ගෙන් ඇහැව්වා.

එයාල ජාරකට විහිළු කරල පංතියට දාලා දොර වැහැව්වා....ළමයි ටික ගිරව් වගෙ කියවන්න ගත්තා.වහපු අනිත් ළමයි දෙන්නත් පෙන්නුවා.

විදුහල්පතිතුමා කතා නොකර කාර්යාලයට ගියා.දෙමව්පියෝ හුළඟකට අහු වුණු කොළ රොඩු වගේ විසිරෙන්න ගත්තා.

සර්ට කියන්න ඕනි.මොනව වුණත් පිස්සු ළමයි මේකෙ තියා ගන්න බැහැනෙ....අම්ම කෙනෙක් මට ඇහෙන්න කිව්වා.පංතිභාර ටීචර් කරුණාරත්න.එයා පුතාට හරි ආදරෙයි.අවුරුදු දෙකක් එයා සමහර දෙමව්පියන්ගෙ විවේචනයට ලක් වුණා.පුතාට දක්වන ආදරය නිසා.එයා අම්මට උත්තර දෙන්න හදපු මාව නැවත්තුවා.


මගේ පංතියෙ එක පිස්සු ළමයයි....පිස්සු තියෙන අම්මල තාත්තල ගොඩකගෙ හොඳ ළමයි ඉන්නවා.මට ඉන්න එක පිස්සු ළමයට උගන්නන්න පුළුවන්.ඒත් අම්මල තාත්තල ඉගෙනගන්න වයස පහු කරල ඒ කාලෙත් මොනවත් ඉගෙනගෙන නැහැ කිව්වා....

වැඩේ එතනින් ඉවර වුණා.තත්ත්වය යහපත් වෙද්දි එකා දෙන්න මා එක්ක කතා කරද්දි කොල්ල කෙල්ලෙක්ගෙ ඔළුව පැලුව.ඔවව කිව්වට නළල.ඇහැ ආසන්නයෙ.ආයෙ අපේ එකාව පාසල් එවනවට විරුද්ධ කට්ටිය සංවිධානය වුණා.එදත් මමයි පුතාව ගන්න ගියේ.

විදුහල්පතිතුමා පෙර පරිදිම අස්වීම දෙන්න සූදානම්.එදත් මම එයාල අහන්නෙ නැති ප්‍රශ්නය ඔළුව පැළුණු දියණියගෙන් ඇහැව්වා.

ඇයි පුතේ ජාරක ඔයාට ගැහැව්වෙ?

මට නෙමෙයි ගැහැව්වෙ අනිත් ළමයි ජාරකට වැලි ගැහැව්වා.එයා ඇස් අල්ලන් හිටිය අඩ අඩ බැරිම තැන ගලක් අරං ගැහැව්ව මට වැදුණෙ.

ආපහු  විදුහල්පතිතුමා කාර්යාලයට රිංගුවා.මම අපේ එකත් අරගෙන ඒ දුවයි ඒ අම්මයි එක්ක ඇස් වාට්ටුවට ආවා.ඇහැට ආබාධයක් නැහැ කිව්වා.

ඊට පස්සෙ කරුණාරත්ත ගුරුතුමියගෙන් මිදුණු පුතා කන්‍යා සොහොයුරියගේ පංතියට ආවා.ඇය තමයි පුතාට විරුද්ධ දෙමව්පියන්ගේ බලවේගය වුණේ.ඇය විදුහල්පතිතුමා සමඟ අරගල කළා පුතාව පංතියෙ තියා ගන්න බැහැ කියලා.

පසුව මම ඇය හමුවන්න ගියේ වෙඩ්ඩ දුන්න ගීතිකා පොතත් අරගෙන.මම කිව්ව මම දරුව අරං යන්න ආවෙ.එයා අස්කර ගන්න එක ගැටළුවක් නැහැ.හැබැයි ඔබතුමිය මේ පොත ලියපු ෆාදර්ට කියන්න වහාම මේක වෙනස් කරන්න කියලා මම පුතා ඉන්න පිංතූරය තියෙන ජේසු බිලින්දා ගැන ලියැ වි ගිතිකාව පෙන්නුවා.

කන්‍යා සොහොයුරියකටම දැනෙන පංතියක තියා ගන්න බැරි අපරාධකාරයෙක් වගෙ පිස්සෙක් ජේසු බිළින්දාට යොදා ගත්තම ඒක ඔබතුමියගේ ආගමට හානියක් කියල මම යන්න හැරුණම ඇය එම පොත ඉල්ලා සිටියා.

අනතුරුව ඇය විශේෂ අධ්‍යාපනය ගැන පාඨමාලාවක් පවා කළා.පුතාව සෙනසුරාදට පල්ලියට ගෙන්න ගෙන සිංදු කියන්න පුරුදු කළා.ඒ සියල්ල වුණේ මේ පිංතූරය නිසා.එහෙත් ගංවතුරට අසුවුණු මේ පිංතූරය දැන අබලන් වෙලා.කා අතේ හරි තියෙනවනම් මට දෙන්න.ඒ වගේම ලක්ජන පුවත්පතේ මුල් පිටපතත් සැඩදියේ සැඟවිලා.ඒකත් තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න.

ස්තූතියි බොහෙවින්ම එය ලබා දිය හැකිනම්

Tuesday, May 31, 2016

තාත්තා,මම සහ දුව


මට පොඩි කාලෙ පොඩි බෘස්ලි පිස්සුවක් තිබුණා.ඒක හැදුවෙ අපේ ගෙට පහළ හිටිය ප්‍රිති අයියලගෙ ගෙදර (ලොකු අම්මගෙ පුතා) හිටපු බයර් කියන ව්‍යාපාරිකයා.එයාගෙ නම මට හරියට මතක නැහැ.මුස්ලිම් ජාතිකයෙක් වුණ ඔහු විවාහ වෙලා හිටියෙ සිංහල තරුණියක් සමඟ.කොණ්ඩෙ කපලා තිබුණෙ බාස්ලි විදිහට.මැණික් ව්‍යපාරිකයෙක් වුණ ඔහුගෙ ගේ ඇතුලෙ තිබුණෙම මැණික්වල පිංතූරයි,බෘස්ලිගෙ පිංතූරයි.

මෙහෙ යන එන මට ටික දවසකින් බෘස්ලි අසනීපය හැදුණා.තනියෙන් ඇදට පැනලා වැටී වැටී ගහ ගත්තා.(තනිව) ප්‍රතිවාදියා හිතින් මවා ගෙන කරන මේ සටන්වලට අම්මගෙ යට සායවල් කටු ගහලා කකුල් දෙකක් කර ගෙන රබර් බෑන්ඩ් දාලා යටින් හීනි කරගෙන ඇන්දම ඒක බෘස්ලි අනුකරණය කිරිමක් වුණා.

මේ වැඩේ මගේ ඊ ළඟ අවධානය ගියේ  කොණ්ඩෙට.බෘස්ලි කට් කපන්න.මල්වල හන්දියෙ උඩ පාරෙ තියෙන පිටර් මාමගෙ සැලුන් එකට ගිහිං මම අම්මට හොරෙන් පීටර් මාමට කිව්වෙ බෘස්ලි කට් කපන්න කියලා.පීටර් මාම දන්න බෘස්ලි කෙනෙක් නැති බව කට ඇරුණු හැටියටම මට ඒ කාලෙත් තේරුණා.අන්තිමට ඉස්සරහෙන් පනාවට පොඩ්ඩක් ඉතුරුවෙන්න පීටර් මාමා හැමදාම කපන කට් එකම කැපුණා.

මේකට කරන්න තිබුණු එකම විසඳුම හැටියට මම දැක්කෙ තනියෙන්ම බෘස්ලි කට් එකට යන එක.කොණ්ඩෙ කපන්න ඔච්චර ඉගෙන ගන්න දෙයක් තියෙනවද,කතුරයි පනාවයි ගත්ත කැපුව කියන මතයෙ හිටිය මම ඉස්සරහෙන් හරහට ඉරක් ඇදලා ඒක දිගේ කැපුවා.පොඩි වෙනසක් තියෙනවා.ආයෙ කැපුවා.එහෙම අවස්ථා ගාණක් කැපෙනකොට මගේ හිස් මුදුණ ආසන්න වෙනකං ඉස්සරහ කෙස් නැහැ.(හැබැයි මම පස්සෙ ගාණට කොණ්ඩෙ කපන්න දැන ගත්තා.සුමිත් නිරිඇල්ලයි මමයි ස්කෝලෙ යන ලොකු කාලෙ කළේ කොණ්ඩෙ කපන්න දෙනස සල්ලි ඉතුරු කරගෙන පීල්ල ළඟට ගිහිං අපි දෙන්නම කොණඩය කපා ගන්නවා.තාත්තාත් නැති වෙන්න ඉස්සර අවුරුදු පහක් විතරම කොණ්ඩෙ කපා ගත්තෙ මට කියලා)

දැන් අඩසඳ වගේ තියෙන කොණ්ඩෙ දැක්කම අම්මා කුලප්පු වුණා.එයා එක්ක ගේ වටේ රවුම් දෙකක් විතර දුවලා ගුටි ගහන්න බැරි තරමට ඇයට හති වැටුණම ළඟට ගිහිං මමම අම්මගෙන් ඇහැව්වා දැන් අපි මොකද්ද කරන්නෙ කියලා.තාත්ත එන්න ඉස්සර කපා ගම්මු කියලා ආපහු පීටර් මාමා ළඟට අරං දිව්වෙ වලිප්පුව හැඳුන එකෙක් දොස්තර ළඟට දුවනව වගේ.කරන්න තිබුණු එකම දේ හිස මුඩු කිරීම පමණයි.පීටර් මාමට ඒ වැඩේ බාර දීල පහළ තිබුණු ආර්.පී.අප්පුහාමිගේ කඩේට බැහැල සුදු රවුම් තොප්පියක් අරං ආපු අම්ම ඒක හිසට පොරෝල ගෙදර අරං ආව.

රාත්‍රියෙ තාත්තා ගෙදර ආවම මේකට හම්බ වෙන දඬුවම ඇහැරිලා හිටියොත් වැඩි වෙයි කියලා මම ඉක්මණට ඇඳට වැටිලා නිදි රංගනයක් ආරම්භ කළා.තාත්තා මට අම්ම වගේ හැම වෙලේම තට්ටු නොදැම්මට ඊට වසරකට උඩදි පාසල් ගිහිං එන්න පරක්කු වුණා කියලා කේන්ති ගිහිං කෝපි කෝටුවකින් කළ නෙලිමෙන් මගේ කලව ප්‍රදේශය පුපුරලා ගියා.මාව බේරගන්න ඉදිරිපත් වුණු පතල්වල කට්ටියත් දවස් ගාණක් බෙහෙත් කළා.

මාව දැක්ක තාත්තා එදා වගේම ආවේශ වුණා.එයා ගොඩක් කැමති මගේ හිසකෙස් ටික අහිමි වෙලා තියෙන කොන්ඩෙ වෙනුවට තියෙන තට්ටෙට ඒ පාර වැදුණනම් මම පරලෝ සැපත්.ඒත් ඒක පාත් වුණේ පිට මැද්දට.මට හුස්ම ඔක්කොම ගියා වගේ දැණුනා.මගේ ඇඟ ඉස්සිලා ආපහු ඇදටම කඩා වැටුණා.අම්මා තාත්තව ඇඳ ගෙන ගියා.මම පිට අල්ලල බැලුව.ඇඟිලි පාරවල් ටික ඇඟිලි වෙන් කරල කියන්න පුළුවන් තරම් පැහැදිලිව අහු වෙනව.පුපුරු ගහන පිටේ වේදනාවට එන හැඬුම හිර කරං මම හිටියෙ.තව පැය කිහිපයකින් තාත්තා ආයෙ කාමරයට ආවා.මගේ තට්ට හිස අතගෑවා.කෝපි කෝට්ටෙන් ගහපු දවසෙ වගේම මගේ පිටේ තියෙන ඇඟිලි පහරවල් අත ගාමින් හැඬුවා.අම්මත් කුප්පි ලාම්පුව අල්ලගෙන තාත්තට අඬන්න එපා කියමින් හැඬුවා.

මේ ඉතිහාසය පෙරේදා (මැයි 30) මට ආයෙත් මතක් වුණා.ඒ මගේ දුව නිසා.ඇයට කවදාවත් නොගහපු මගේ අතින් පාරක් වැදුණා.කකුලෙ පාර හිටියා.

එදා හවස ඇය මට කඳුළු එන තරම් සතුටක් දුන්නා.ඒ භාතිය අර්ථනායකගෙ වැඩේ වෙලාවෙ එයාට ලැබුණු පොත් අවට ගෙවල්වල දරුවන්ට බෙදන්න දිල සහ ඒ ගැන එයා දරපු අදහස් අහලා.
https://www.facebook.com/photo.php?fbid=1090119344378218&set=a.101531749903654.1674.100001404876474&type=3&theater&notif_t=like&notif_id=1464677326823419
ඊට ඉස්සර දවසෙ මම කසුන් සමරකෝන් සහ වෛද්‍ය බෝධිනි සමරතුංග හරහා ඒ මිනිස්සු වෙනුවෙන් සංවිධානය කරපු වෛද්‍ය සායනය වෙලාවෙත් එයා එතන දැවටිලා ඒ අයට කරන්න පුළුවන් සහයෝගය දුන්නා.

එහෙම හිටපු දුව ගංවතුර නිසා සීමිත කරපු සම්පත් හේතුවෙන් සහ නහයට තවමත් දැනෙන අපුල හේතුවෙන් පාසල් වැඩ කරන්න තෝර ගන්නෙ ඇද.(ඒකත් රාජවිවේකල.ජනාල නෙතූල ඇතුළු ෆේස්බුක් යාළුවන් රැසක් එකතු වෙලා ගෙනත් දුන්නු එකක්)මමත් මේසෙ හැටියට ඒක යොදා ගෙන දෙපැත්තෙ ඉදං වැඩ කළා.ඒ එයාගෙ ස්කෝලෙට ස්තූති කරල ලියුමක්  ලියන්න.ඒ වෙලාවෙ කකුල දික් කරල එක පාරක් මම ලියපු ලියුම ඇද කරා.

සොරි මට අමතක වුණා

කට අද කරන් එහෙම කිව්වම මම නිශ්ශබ්ද වුණා.කල්පනාවෙන් ඉන්න මේක ඔයාලගෙ ස්කෝලෙටනෙ ලියන්නෙ කියන දේ කියලා මම ආයෙත් ලියන්න පටන් ගත්තා.ඊ ළඟ පාර ඇය කකුල ඊටත් වඩා වේගයෙන් දික්කරාම ලියුම දිගේ දිග ඉරක් ගියා.මේ දවස්වල පීඩනය නිසා වෙන්න ඇති මට පාලනය කර ගන්න බැරි කේන්තියක් ආවා.මගේ අත නිකංම ඉස්සුණා.ඇයගෙ කකුලෙ මගේ ඇඟිලි පාර.

ඇය හඬන්නෙ ශබ්ද නොනඟා.ඒ බය වුණාම හැටි.ඇයගෙ කොන්ද ඉස්සෙනව පහත් වෙනවා.මට බදා ගෙන හඩන්න හිතුනෙ නැහැ.අත හයියෙන් මොකකට හරි ගහ ගන්න හිතුණා.මම මාව රිද්දගන්නෙ කොහොමද?මට ගැටළුව තිබුණෙ එතැන.

රාත්‍රි 10 පහුවෙලා.මම පාරට බැස්සා.බොන්න තැනක් නැහැ.මට වියදම් කරන්න පුළුවන් සීමිත මුදලක්.මම ඒත් කොටිකාවත්ත හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන පිටකොටුවට ආවා.පිටකොටුවෙ ඉදලා ගාලු පාරෙ ගෝල් ෆේස් හරහා පයින් ආවා.

90 දශකයෙ මේ විදිහට අනන්තවත් බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඇවිත් ඇති.මම ඒ උපක්‍රමය යළිත් පිටකොටුවෙ ඉදල බම්බලපිටියට යොදා ගත්තා.පොලිසිය ළඟ ඇරල තියෙන කඩේ ඉදල සිගරට් ගන්න පුළුවන් තැන් වලින් සිගරට් ගත්තා.බිව්වා.අඳුරෙ ඇස්වලට තෙත්වෙන්න ඇරියා.නැවත බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඒ දේ ම කළා.කකුල උස්සන් ඉන්න බැරි තරමට රිදෙනවා.මේ දිනවල සෑහෙන්න විවේකයක් නොලබාම අැඟ වගෙම හිතත් වෙහෙසන නිසා වෙන්න ඇති මේ තරම් මහන්සියක්.දැන් දුව වෙනුවෙන් නෙමෙයි මගේ ශරීරයේ කොටස්වලින් නැඟෙන වේදනාවටත් මට හැඬෙන තරම්.

මම දන්නවා දුවට මෙච්චර රිදුනෙ නැහැ කියලා.ඒත් ඇයගේ හිතනම් ජීවිතේ පළමුවරට මගෙන් පහරක් එල්ල වීම නිසා වෙච්චි රිදිල්ලෙන් දහස් ගුණයක් වේදනා විදින්න ඇති.හැමෝ එක්කම මට තාත්තානම් කවදාවත් ගහලා නැහැ කියන එකේ ආඩම්බරය ඇයට අහිමි වෙලා.ඇත්තටම ගැහැව්වනම් ඒක හිතල කරන දෙයක්.ඒත් මේක එහෙම නෙමෙයි.එක පාරට වූ ක්ෂණික ක්‍රියාවක්.ඒක ගැස්සුණා.ඒත් ගැහැව්වා සහ ගැස්සුණා කියන එක තේරුම් අරං කෙල්ල ආයෙමත් හෙට කා එක්ක හරි කතා කරද්දි....

 ‘තාත්තනම් මට කවදාවත් ගහල නැහැ‘ කියල කියයිද‘?

තාත්තනම් මට ගහල තියෙන්නෙ එක පාරයි කියල මම ඉස්සරහ කිව්වොත්..... ඒක මට කොච්චර රිදෙන පාරක් වෙයිද?ඇයගෙ කකුලෙ හිටපු ඇඟිලි පහර වගේ නෙමෙයි ඒක මගේ හදවතේ ජීවිතකාලය පුරාවටම ලොකු කැළලක් ඇති කරාවි.

ඒක බම්බපිටිය සහ පිටකොටුව අතර තියෙන දුර වගේ ගෙවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ගංවතුර විසින් ඇති කළ පීඩනයේ දරුණුම ප්‍රතිපලය මේක.මට හිතෙන්නෙ එහෙමයි.


Friday, May 27, 2016

ගල් සහ ග්‍රීන් ලේබල්

දැන් සැඩ දිය බැස අවසන්ය.ඉන් අනතුරුව ඇදක්වත් නැති ගෙ‘බිම කොල්ලා ඉතුරු වූ සුන්බුන් ටිකත් සමඟ නිදා සිටිනා‘යුරු ඡායාරූපයේ දැක්වෙන්නේය.

වැස්සට ගසා ගෙන නොගිය එකම දේ මනුස්සකමය.සාමාන්‍ය ජීවිතයේ අප විසින් ඉන්දුවන බිජු වලින් හට ගැනෙන පල කෙතරම් රසවත්ද තිත්තද කියා දැනෙන්නේ මේ අවස්ථාවේ අපට ලෙංගතුවන මනුස්සකමේ ආශිර්වාදයත් සමඟය.

නමුත් මේ බොර දියේ ද අමන වැඩ කරන යකුන් හිඟ නැත.ඒ හොරුන් මංකොල්ලකාරයන් නොව.උන්ට වඩා වැදගත් විදිහට ආතල් ගන්න පිරිසක් ද මේ ගං වතුරේදී දැක ගන්නට හැකි විය.ගංවතුර බලන්න ඇවිත් සෙල්ෆි ගහන පිරිස ගංවතුරට අසු වී සිටින පිරිසට යක්ෂාවේශය කැදවීය.මා කොළොන්නාවේ පෙර සිටි පෙදෙසට යන විට එහි වැව් බැම්ම මත සිටි අනාත වූ පිරිස් සිටින තාවකාලික කූඩාරම් ඇතුළට ඔළු ඔබාගෙන සෙල්ෆි ගහන පිරිස ගැන එම කූඩාරම් වල සිටි අය මා සමඟ කිසිත් කීවේ නැත.නමුත් ජාතක කර හැදූ වැඩූ දෙමව්පියන් ගැන අපූරු කතා කියමින් ඔවුන් සිව්පාවුන්ට සම කළේය.

චේන්ජ් එකකටත් එක්ක රස බලන්න කූඩාරම් වෙත පැමිණි බත් පැකට්වලට පොර ඇල්ලූ පිරිසකට බඩ ගින්නේ සිටි පිරිසගේ කෝපාග්නියේ නොදැවී බේරි ඇත්තේ අනූ නවයෙන්ය.මේ ආකාරයටම ෆන් එකට ඒ තැන්වලට ගොස් ඒ බෙදන බඩු මලුත් ඔසවා ගෙන ගෙදර යන පිරිස් ද හිඟ නොවිණ.මේ සියල්ල සිදුවෙද්දී මා සිටින රදන්වත්ත වැනි ප්‍රදේශවල මිනිසුන්ට තේ උගුරක් හෝ නොලැබුණු අවස්ථා එමටය.මන්ද අවසානයේ ජල රකුසා කඩා වැටි එම ප්‍රදේශවල් වටෙන්ම ජලයෙන් වට වී තිබූ බැවින් ප්‍රවේශ මාර්ග හිඟ විය.

මා ද සිසිර යාපා පැමිණ ලබා දුන් ටෙන්ට් එක යටට වී දින එක හමාරක්ම දිය උගුරක් හෝ නැතිව විසීම ඊට හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය.

කැළඹෙමින් ගලන ජල කඳ දිගේ ඇදී එන දේ අතර මා සිත් ගත්තේ අරක්කු බෝතල්ය.ඒවායේ ගමන් ලතාවන් හරි හැඩය.බෝතලයේ අනුව ඒවා ජලය මත ගමන් කරන අඩි වල බර ද වෙනස්වන්නා සේ ය.ඊටත් වඩා වටින්නේ ඒවා කියා දෙන ස්වභාව ධර්මය පිළිබඳ අපූරු පාඩමය.ගල් අරක්කු බෝතල් මෙන්ම ග්‍රීන් ලේබල් ද දුසිම් ගණනෙන් පාවී ආවේ ප්‍රදේශය අවට ඇති ආර්ථික විෂමතාවයන් නැතිනම් බෙදීම් පැහැදිළි කරමින්ය.

ගල වටා රොක්වන්නට මෙන්ම ග්‍රීන් ලේබල් වටා රොක් වෙන්නට ද ආ ගිය පිරිස් වෙනුවෙන් විවර වන්නට දොරවල් අවට තිබී ඇත.එහෙත් ඒ දොරවල් හැමෝටම ආරාධනා කළේ නැත.කතා කළ හෝ ඇරයුම් ලැබුණු පිරිස් එහි ආ ගිය ඈයෝ වෙති.නමුත් ස්වභාව ධර්මය කිසිඳු වෙනසක් පෙන්වා නැත.හැම ගෙයකටම එක හැන්දෙන් බෙදා ඇත.

මේ තත්ත්වයනම් මිනිසුන් ආදර්ශයට ගන්නේ අඩුවෙන්ය.දැනට ද සියල්ලට සමානව පහසුකම් හිමි නොවීමම මීට උදාහරණයකි.පන නැති බඩු භාණ්ඩ ස්වභාව ධර්මය සමඟ එක් වී අප වෙතින් පලා ගිය අයුරු කේන්තිය අවුස්සන සුළුය.විශේෂයෙන් මෙසේ කේන්තිය ඇවිස්සූ භාණඩ අතර හැලි වලංවලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.ඒව සැඩ පහරේ අපට ඔලොක්කුවට මෙන් දමන රංගනය කේන්ති අවුස්සන සුළුය.

හූ... හූ.... අල්ලන්නට බෑනේ වගේ කුඩා කළ ඔට්ටු සෙල්ලමක මෙන් මේවා හැසිරෙන විට දියට පැන අල්ලා ගන්නට සිතුනද,ජීවිතය අල්ලා ගන්නට එවැනි අවස්ථාවකදී නොහැකි වන්නේය.

තමුසෙට අල්මාරියක්ම තිබිලත් මදි නෙ.

බිරින්දෑ ගේ ගෝරනාඩුව දැන් නම් කාලෙකට නොඇසී සිටිය හැකි වනු ඇත.අල්මාරිය පිරෙන්නට නොව දැන් වැඩට යන්නටවත් ඇඳුමක් නැති තැනටම මා පහත වැටී ඇත.ගෙදර තිබුණු බඩු මුට්ටු අඩු වී වෙනදාට වඩා අත පය දිග හැර ඇවිදින්නට හැකියාවක් සැකසී ඇත.ඒ ස්වභාව ධර්මයේ හැටිය.

ස්වභාව ධර්මය එබඳු වුව අනෙකුත් සියලු ධර්ම මිනිසුන්ගේ අවශ්‍යයතාවය අනුව පාලනය වන්නේය.අප ඉකුත් මාර්තුවේ කුලී නිවසෙන් නික්ම ආවේ ඔවුන්ගේ පිං කමක් සාර්ථක කර දෙන්නටය.තව මාස දෙකක් කල් දෙන ලෙස ඉල්ලුවද ඒ කාලය ධාතු කරඩුව සකසා ගනිමින් අවශ්‍යය පිංකම කර ගැනීමට පමාවෙන බව ඔවුන්ගේ අදහස විය.නිවස මිල දී ගත්තේ ඔවුන්ගේ ඥාති අසල්වැසියන්මය.ඔවුන් ද අප සමඟ ඉතා සමීප ඇසුරක් පැවත් වූ අය විය.වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ සහ ඉංජිනේරුවරයෙක් වූ දෙමහල්ලන්ට ද අපට මාස දෙකක් රැදී ඉන්නට කල් දෙන්නට තිබුණ ද ඔවුන් පිං කැමති කරඩුලාභිණියට අප සිටින තාක් නිවස මිල දි ගත නොහැකි බව පැවසූවෙන් ඔවුන්ගේ පිංකම වෙනුවෙන් අපි එම නිවස අත හැර පැමිණියේය.

එසේ නොවිණිනම් තාවකාලිකව හෝ අප උඩු මහල සාදා ගෙන පැමිණෙන්නේය.එසේ වූවා නම් මේ අනතුරෙන් අඩක්වත් පියවා ගන්නට තිබිණ.නමුත් බුදු දහමට අනුව මිනිහෙක් අනතුරට පත් කිරීමට වඩා ධාතු කරඩුවක් සැකසීම පිංකමකි.සුනාමියට ගසා ගෙන ගිය තරුණයෙක් වෙනුවෙන් අහළ පහළ ඉඩම් වලින් ද අල්ලා ගෙන නඩු හබ වල පැටලෙමින් තිබෙන ගොතටුව චන්දන විහාරයට වැඩමවා වදාළීමට නියමිත ධාතු කරඩුවට දැන් ඉතිං අපිත් අනියමින් හෝ ඒ නිවසට ගෙවූ ලක්ෂ ගණනක කුලියට අමතරව ගංවතුර විසින් අහිමි කළ ලක්ෂ පහකට ආසන්න චංචල දේපළ වටිනාකමද එක් වී ඇත.එයට ද අමතක නොකොට සාධුකාරයක් දෙන්නේ නම් යහපත්ය.

සථීරම ධර්මය බුදු දහම ද දේව දහමක්ද යන්න මා තර්කයට නොගන්නේය.මේ කිසිවක් සැබෑවට පිළිපදින්නේද යන ගැටළුව සහ එය එකිනෙකා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා බව පමණක් හැඟෙන්නේය.ඒ නිසාම සකල ලෝක වාසීන්ට සෙත පිණිස සැකසි බව කියන බොහෝ ධර්මයන්ගේ හැසිරීම සමාජ ගත වන්නේ විශාල වෙනස්කම් සහිතවය.ජාතිය,කුලය,ආගම මෙන්ම ආර්ථිකය ද ඇතැම් විට සමාජ පිළිගැනීමට අනුව කෙතරම් උගත් ද යන කරුණ ද මේ පහසුකම් සහ පිළිගැනීම් බෙදී යාමේදී සැළකිල්ලට ගන්නේය.ඛේදවාචකය එය ය.සොබාදහම ඛේදවාචකයක් වුව නිර්මාණය කරන්නේනම් එහිදි ඒ කිසිවක් අදාළ කර නොගන්නේය.ස්වභාව ධර්මයේ අගය එබඳු වන්නේය.

එහෙත් මට දේවල් අහිමි කරනු හැර මා සිතන හැටි වෙනස් කරන්නට සොබා දහමේ ශක්තියට ද පහසු නැත.මා අහිමි වූ දේවල් හැකි පරිදි ගෙන නිවසේ හිස් බව මකා ගැනීමට වෙර දරන අතරේම මා දැඩි කල්පනාවෙන් හිස් තැන් පුරවන්නට මිනිසුන්ගේ ආදරය එකතු කරන්නට තව තවත් වෙහෙසෙන්නට තීරණය කළෙමි. එහිදි මට වටින්නේ ගල් ද,ග්‍රීන් ලේබල් ද යන්න නොවේය.මිනිසුන් ආදරයට අවංක වන ප්‍රමාණයේ වර්ගපලය ය.


Sunday, May 15, 2016

තෙවරප්පෙරුම අරුමයක් ද?

http://adaderana.lk/news_images/1552915888palitha5.jpg
පාලිත තෙවරප්පෙරුමගේ දේශපාලනය මට දිරවන්නේ නැත.නමුත් ඒ පාලිතගේ දේශපාලනය නොවේය.පවතින සමස්ත දේශපාලනයම එබඳුය.වෙනස පාලිත හැංගී හැංගී වෙස් නොබැදීමය.මෙහි අවාසිය පාලිතටය.

පාලිත තෙවරප්පරෙුම කළු කොට විකිණීම පහසුය.ඔහු කළු පාටින් දැකීමට හුරු පුරුදු කළ ප්‍රෙක්ෂකයන් රූපවාහිණියට සිටියි.පුවත්පත්වලට එවැනිම පාඨකයන් සිටියි.මේ නිසා පාලිත තෙවරප්පෙරුම සුදු කර විකුණන්නට පහසු නැත.ඒ නිසාම මානුෂික ඇගයීමක් ඔහුට මාධ්‍ය හරහා ලැබෙන්නේම නැත.

ඔහු පාරේ නිදා ගන්නේද ඉල්ලීමක් දිනා ගන්නටය.විමල් වීරවංශ නිදා ගන්නා ඉල්ලීමට මහත්මා පෙණුමක් ලැබී ඊට වඩා අවංකව පාලිත කරන නිදා ගැනීම රස්තියාදු මොඩලයක් කරන්නේ මාධ්‍ය ඇසය.ඔහු පොදු පෙරමුණේ දේශපාලනඥයෙක්ට පහර දෙන්නේය.දේශපාලනඥයා දෙමළය.පාලිතට ඇත්තේ ඔහු සමඟ ජාතිවාදී දේශපාලන ඇරියස් එකක් නොවේය.ගමේ පක්ෂ දේශපාලනයේ මෝඩ ස්වරූපය පමණි.එය පට්ට ගසන මාධ්‍යය විමල් වීරවංශ ගෝඨාභය ආරක්ෂක ලේකම් සමයේ පිරිසක් සමඟ පැමිණ සිය බලය යොදා නීතිය සිය අතට ගන්නා අයුරු,එහි සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට තිත්ත කුණු හරුපයෙන් කතා කරන්නට ජනතාව පොළඹවා.නිල ඇඳුමේ තොප්පියට ද පහර දීමට සැළස්වීම පාලිතගේ හැසිරීමට වඩා භයානකය.

නමුත් භයානක මැර ක්‍රියාව අදටත් කර තිබෙන්නේ පාලිත තෙවරප්පෙරුමය.ඒ මාධ්‍ය සමාජය මත කර තිබෙන බලපෑමය.ඇමතිවරයෙක් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරිපිට රටේ නීතියට අපහාස වන අයුරෙන්,එය ක්‍රියාත්මක කරන ඉහළම රාජ්‍ය නිලධාරියාගේ (ආරක්ෂක ලේකම්) ආශිර්වාදය ද ඇතිව මහජන සාමය පිළිබඳ ආයතනය වන පොලීසිය මහජනයා ඉදිරියේ බලු කිරීම පාලිතගේ වැඩේට වඩා මටනම් බලුය.

මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පාලිත ජාතිවාදියෙක් නොවන බව ලෝකයටම ප්‍රදර්ශනය කර තිබුණු බැවින් ප්‍රාදේශීය දේශපාලනඥයාට පහරදීම ජාතිවාදී තැනෙකට තල්ලු කර ගන්නට නොහැකි වුව ද,ඇතැම් තැන් හී එවැනි උත්සාහයන් දකින්නට ලැබිණ.එදා ඒ වෙනුවෙන් සිංහල ජාතිකයෙක් ලෙස මෙන්ම හිටපු හමුදා සෙබළෙක් ලෙස ද,මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තෙවරප්පෙරුම කළ දේ මේ රටේ කීර්තිය පිණිස විශාල ලෙස ඉවහල් විය.සිංහල බෞද්ධ විරෝධයක් නොවන සහ හමුදාවන් හී මානසිකත්වය වියරු සිංහල බෞද්ධ ආවේගයක් නොවන බව පාලිතගේ ක්‍රියාවෙන් ලෝකයට විශාල පණිවිඩයක් ගියේය.

ආසන්නම සිදුවීම කළුතර විද්‍යාලයේ සිදුවීමය.පාලිතගේ මැර හැසිරීම ගැන දොඩන කිසිවෙක්ට එම දරුවාට අසාධාරණයක් සිදු වී තිබෙන බව එම ප්‍රවෘත්තිය පුරාම දකින්නට ලැබුණ ද,නොහැඟෙන්නේය.විදුහල්පතිවරයා ගේ ප්‍රකාශ හරහා මතුවන කරුණු වලින් ද,ඒ බව පැහැදිළි වන්නේය.

මේ තත්ත්වය නිවැරදි කරන්නට තිබුණු හොඳම දේ ඉසුරුපායෙන් විසඳුමක් ලබා ගැනීමය.අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හරහා සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දෙන එවැනි විසඳුම් ඇත්තටම හරිය.පාලිත වැරදිය.නමුත් ඔහු කළුතර විද්‍යාලයට නොගොස් මේ විසඳුම් සොයා ගියේනම් දරුවාට තවත් වසරක් පමණ ඉක්ම ගොස් පාසලක් ලැබෙන්නට හැකිය. මා ඉසුරුපායේ කාර්යක්ෂමතාවය සහ මානුෂිකත්වය හොඳින්ම අත් විද ඇත.ඉසුරුපායේ ප්‍රමාදය නිසා අසාධාරණයකට ලක් වූ දෑස් නොපෙනෙන මවකගේ දරුවෙක් දැන් සිටින්නේ දෙක වසරේය.අමාත්‍යවරයාද මෙහි අසාධාරණයක් වී තිබෙන බව පිළිගත්තේය.

නමුත් හිටපු ලේකම් උපාලි මාරසිංහ මෙන්ම වර්ථමාන ජාතික පාසල් අධ්‍යක්ෂ අයිලප්පෙරුම වෙත ඊට සාධාරණය ඉටු කරන ලෙස යොමු කළ විට ලැබුණු පිළිතුරු නිසාම එම දරුවාගේ පියා තමන් අතින් මිණීමැරුමක් වුවහොත් සිය අඳ බිරිඳට සහ දරුවාට සිදු විය හැකි හානිය ගැන සළකා දරුවාට සාධාරණය ඉටු කරවා ගැනීමට උත්සාහ ගන්නේ නැත.

මේ සිඳුවීම අත්දැක ඇති මටනම් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පළමු කොට දරුවා රකින්නේ ද,සිය නිලධාරියා රකින්නේද යන තීරණය තුළ දෝලනය වෙමින් සිය කුලකය දිනවිය හැකි උපක්‍රම සියල්ල සළකා බලන්නේය.ඒ නිලධාරිවාදයේ සහ වත්මන් දේශපාලනයේ ගති ලක්ෂණවලට අනුව පාලිත තෙවරප්පෙරුම ගත් තීරණය ප්‍රායෝගිකය.ඔහු මහජන නියෝජිතයෙක් ලෙස බලය මහජන සුබ සිද්ධිය උදෙසා යොදවා ඇත.ඒ ක්‍රමය වැරදිය.නමුත් දරුවාට වැරදෙන විදිහට සකස් වී ඇති වැරදි ක්‍රමෝපායන් දහසක් හමුවේ පාලිත අපි අනුමත කරන ක්‍රමවේදයේ ගමන් කළා නම් දරුවාට පාසල ලැබෙන්නේ තුන වසරේදී පමණය.නැතිනම් තැනින් තැනට ඇවිඳ ගොස් එපා වී දෙමව්පියන් සිය උත්සාහය අත් හැර දමන්නේය.

කුලියාපිටියේ දරුවාගේ මෙන්ම කළුතර දරුවාගේ අධ්‍යාපන අයිතිය ද කප්පාදු වි ඇත.ලකුණු 91 ක් ලබා ගත් දරුවෙක් ගෙදර සිටිය දී ඊට වඩා අඩු ලකුණු ලැබූ දරුවන් පාසලට ඇතුළත් කර ගෙන ඇත.ඒ සම්බන්ධයෙන් විදුහල්පති දෙන පිළිතුරුවලින් පැහැදිළි වන්නේ ද ඒ දරුවා ඇතුළත් කිරිම පාසල විසින් නොසළකා හරින ලද ක්‍රියාවක් බවය.එහෙත් අපේ ඔළුවේ හදා ඇති පිංතූරයට අනුව දරුවා වෙනුවෙන් පෙනී සිටි පාලිත තෙවරප්පෙරුමට වඩා විදුහල්පති මරු ය.

අපිට වීරයෝ අමතක වී බොහෝ කල් ය.දැන් අකුරුවලින් රුපවලින් වැඩ කරන අයගේ න්‍යායපත්‍රවලට අහුවෙන රුචිවෙන පිරිසට හැර මිනිසුන්ගේ හදවත්වලට දැනෙන මිනිසුන් කියා කොටසක් නැති තරම්ය.

මේ සිස්ටම් එක ආතල් කියා විසිල් ගසන්නට නොහැකිය.තියෙන සිස්ටම් එකේ දේශපාලනඥයන් බොහෝ පිරිසක් දානපතියන් මෙන් හැසිරෙන සූරා කන්නන්ය.ලොකු ගොඩක් තමන්ට බෙදා ගෙන අනුන්ට කට කට කවන ඉන් ප්‍රචාරය ලබා ගෙන විරයන් වෙන සමාජශීලී,පරිත්‍යාගශීලි දේශපාලකයන්ය.පාලිත ඒ ගණයට වැටෙන්නේ ද නැත.ඔහු අනුන් වෙනුවෙන් කළ දෙයක් මිස තමන් වෙනුවෙන් කරගත් දෙයක් ගැන ඇසෙන්නේද අඬුවෙන්ය.නමුත් කරන දෙය කරනාකාරය අවුල්ය.ඒ අවුල් ආකාරය නිර්මාණය කර ඇත්තේ මේ දේශපාලන ක්‍රමයමය.එය නිවැරදි කීමට නොහැකි වුවත් මටනම් හෘද සාක්ෂියට අනුව පාලිත තෙවරප්පෙරුම වැරදි බව කියන්නට ද දිව නොනැමෙන්නේය.

කෙල්ලක් බෙදා ගන්නට නොහැකිව වැදගත් පුරවැසියන්ගේ දත් උගුල්ලන හෝ ජීවිත අළු කර දමන දේශපාලනඥයෙකුට වඩා, මහජන සේවයක් පමා කරන හෝ මඟ හැර සිටින සමාජයට වගකිව යුතු රාජ්‍ය සේවකයෙක් හෝ ආයතනයකට බලපෑමක් කිරීමට මේ ක්‍රමවේදය විසින් දේශපාලනඥයාට දි තිබෙන තකතීරු බලය යොදා ගැනීම වරදක් නැත.

ඒ මට සිතෙන හැටිය.

Friday, March 4, 2016

පැමෙලා! අම්මට කියන්න කුලියාපිටියට කතා කරන්න

http://s1.reutersmedia.net/resources/r/?m=02&d=20120222&t=2&i=573896969&w=644&fh=&fw=&ll=&pl=&sq=&r=CDEE81L10X300
මේ ඡායාරුපයේ දකුණෙන් සිටින්නී පැමෙලා ජෙලිමෝය.වම්පස සිටින්නි ඇගේ මව එස්තර් චෙප්ටූය.

මෙහි පැමෙලා කෙන්යානු ඉතිහාසයේ කිසිදාක මැකිය නොහැකි නමකි.ඒ ඇය එරටට පළමු ඔලිම්පික් පදක්කම දිනා දුන් ක්‍රිඩිකාව වන බැවිනි.2008 චිනයේ බිජිං නුවර පැවති තරඟාවලියේදි මිටර් 800 කාන්තා ඉසව්ව ජය ගනිමින් මේ ක්‍රීඩිකාව දැක් වූ දක්ෂතාවයට කෙන්යානු රජය මහත් පුද සත්කාර ගරු බුහුමන් පුදන්නේය.

නයිරෝබි සිට නාන්දි දිස්ත්‍රික්කය දක්වා වැටෙන මාර්ගය නම් වි ඇත්තේ පැමෙලා නමින්ය.ඒ තරමට ගරු බුහුමන් දක්වන පැමෙලාගේ පවුලේ ඇයට සහෝදරයන් තිදෙනෙකි.සහෝදරයන් හය දෙනෙකි.මේ දරුවන් සියල්ලටම එස්තර් අම්මා වුව ද මේ දරුවන්ට පියවරු සිටින්නේ එක දරුවාට එකෙකු බැඟින්ය.ඒ පියාද කවුරුන්ද යන්න ඇය නොදන්නේය.කිරි ගෙවිලියක කීවද ඇය ජීවත්වීම පිණිස දැරූ වෙහෙසේදී ඇයගේ වෙහෙසින් කුස පුරවන්නට එකතු වූ කටවල් ගණන වැඩි වී ඇත.

පැමෙලා ද එවැන්නියකි.ඇය ලොව දිනන තෙක් පියෙකුගේ රැකවරණය ගැන කිසිවක්ම නොදැන උන්නාය.එහෙත් පැමෙලාගේ ජයෙන් පසු එස්තර් ගැන පැවසෙද්දී ඇයගේ වයස,උපන් දිනය යනාදිය සැළකිල්ලට ගත් කිහිප දෙනෙකුම ඩී.එන්.ඒ.පරීක්ෂණයක් හරහා පැමෙලා ගේ පියා තමන් බව සහතික කළ හැකි බව කියන්නට වූවේය.නමුත් පැමෙලා සිය මව පමණක් ජීවිතයට ප්‍රමාණවත් බව කීවාය.

මේ සියල්ල හරහා එස්තර් කවුරුන්ද යන්න එළියට පැමිණියේය.ඇය නිදා ගත් මිනිසුන් ගණන ඇයවත් නොදන්නා තරම් විය හැකිය.ඒත් සිය මව වෛශ්‍යා වෘත්තියේ යෙදුණද ඇය සමඟ නිදා ගත් බව ලෝකයට කියන්නට පසු නොබාන පිරිමින්ගේ ආඩම්බරයට හේතුවක් බවට සිය මව පත් කරන්නට පැමෙලාට හැකි වූවාය.කෙන්යාවට එස්තර් ආඩම්බර මාතාවක් මිස පැමෙලා අවජාතක දියණියක් නොවූවාය.ඒ ආකාරයටම නන්දි දිස්ත්‍රික්කයට යන පාර එස්තර්ගේ නමින් පවතින්නේය.සියළු වරප්‍රසාද සහිත විශේෂ පුරවැසිණියක ලෙස ඇය ඇගයෙන්නේය.

මේ සියල්ල කියන්නට හේතුව අදෘශ්‍යමාන හේතුවක් මත ගමක් හැටියට එකතු වී දරුවෙක්ගේ අධ්‍යාපනය වලලන්නට හදන පිරිසකගේ අමනෝඥ ක්‍රියාවන් හමුවේ අසරණව සිටින මව සහ පුතුය.

නමුත් සියල්ල අයහපත් නොවන්නේය.ඔවුන්ට එල්ල වූ පීඩනය පුපුරා පිටතට පැමිණෙන්නේ අතිශයින් සුබදායි ප්‍රතිපලයක් ලෙසය.පුතුට දොර වැසූ ගමේ දරුවන්ට සිහිනයක් බඳු වූ ත්‍රිත්ව විද්‍යාලයේ දොර මේ පුතුට විවර වන්නේය.බෞද්ධ ගමක බෞද්ධ බහුතරයක් අශිෂ්ඨ ලෙස හැසිරෙන විට බෞද්ධකම මෙයයැයි කියන්නට පසුබා සිටි ලංකාවේ ආණ්ඩුත්,ප්‍රභූ බෞද්ධයෝත් බුදු හාමුදුරුවන්ගේ නියෝජිතයා ලෙස සළකන මහනායක හිමිවරු වැඩ වෙසෙන විහාර අභියසම පිහිටි අන්‍යාගාමික පාසලක් මේ දරුවාට අධ්‍යාපනය දානය කරන්නට ඉදිරිපත් වීම අපූරු සිදුවීමක්ය.

එය පැමෙලාට ද යම් තරමක සමාන කමක් දක්වන්නේය.ඇය ද කතෝලික පාසලක අනුග්‍රහය සහ වරප්‍රසාද නොලැබෙන්නට ලෝකය ජයගත් ක්‍රීඩිකාවක් නොවන්නීය.ඇයගේ මව දෙස සෙනෙහසින් බැලුවෝ මානුෂික සිතුවිල්ලකින් එසේ නොකළෝය.මේ දුප්පත් ගැහැණිය සහ  අැයගෙන් යැපෙන්නට නියමිත දරු පැටව්ගේ කුසවල් වෙනුවෙන් අවශ්‍යය පෝෂණය සම්බන්ධයෙන් ඇය සතු උවමනාව කේවල් කර සිය කාමාශාවන් සංතර්පනය කර ගන්නට අවශ්‍යය වූවෝ පමණක් ඇයව ඇමතූහ.අනෙකුන්ට එස්තර් සමාජ පිළිලයක් පමණක් විය.

ඒ අතරින් බලන විට කුලියාපිටියේ මිනිසුන් සැකයක් පමණක් ඇතිව කරන මේ විරෝධය අතින් කෙන්යාවේ නයිරෝබි වලට සැතපුම් දහස් ගණනක් දුරින් ඇති නන්දි දිස්ත්‍රික්කයේ මිනිසුන්ට වඩා අමානුෂික අතින් ඉදිරියෙන් සිටින්නේය.එහෙත් මේ දරුවා සහ මව එස්තර් සහ පැමෙලා තරම්ම දුංඛිත තත්ත්වයට පත්ව නැති බව පිළිගත යුතුය.

දැන් තත්ත්වය තවත් හොඳය.ඉතිං එස්තර් ඔබ දරාගත් හැටි මේ මවට වැදගත්ය.දරුවන් 10 ක් පියවරු නැතිව ඔබ ඇති දැඩි කළ අතර ඒ දුක් කන්දරා මැදින් ඔබ එකියක් ලොවක් වටිනා දැරියක් කළාය.ඉතිං එක පුතෙක් ඇති කුලියාපිටියේ මවට ඔහු රටක් වටින පුතෙක් කළ නොහැකිද?

ඒ ක්‍රීඩාවෙන් විය යුතු නැත.වෙනත් කුමන කේෂ්ත්‍රයකින් හෝ දරුවාව පෙරටම ගෙන යන්නට ඒ ගමේ දරුවන්ට නොමැති ආරම්භයක් මේ පුතුට සිය අධ්‍යාපනය වෙනුවෙන් විවර වි ඇත.යමක් පරාජය කිරීමට උවමනානම් පරාජය කළ යුතු දෙයට වෛර කිරීමෙන් කළ නොහැකිය.සිය උවමනාව වෙනුවෙන් කැපවිය යුතුය.

දැනටමත් පුතුට ලැබි ඇති පාසල අනුවම කුලියාපිටියේ දරුවන් අභිබවා ඔබේ පුතු ගොස් ඇත.මෙයම ජයකි.සමස්තයක් ලෙස ගත් විට කුලියාපිටිය පමණක් නොව සමස්ත ඊනියා සිංහල බෞද්ධ සමාජීය ශ්‍රද්ධාවම සුණු-විසුණු වි ඇත.දියුණු මනසක් ඇති සියල්ලෝම මිනිසුන් ලෙස පිළිගන්නා සමාජ වටපිටාවක දැණුම,රැකවරනය හිමි වූ පුතු සමඟ,දිනෙක ඔබේ මාතෘත්වයට එස්තර්ට වඩා ඉහළ පිළිගැනිමක් ලැබෙනු ඇත.එතෙක් සන්සුන්ව ඉලක්කය කරා පුතු රැගෙන යන්නට ඔබට දිරිය ශක්තිය ලැබෙනු නිසැකය.


එහෙත් අපට කණගාටුවන්නට දෙයක් ඇත.මේ ඡායාරූපයේ දැක්වෙන දේ අප හඳුන්වන්නේ ග්‍රෝත්‍රික අංගයක් ලෙසය.මේ පැමෙලාගේ උපන් බිම වන නන්දි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ග්‍රෝත්‍රික නැටුමක්ය.අපි මේ ග්‍රෝත්‍රිකත්වයටත් පසුපසින් සිටීම ඒ කණගාටුවය.