Saturday, February 27, 2016

අයිතිය සහ විනය

මේකෙ මේ කෙල්ලො දෙන්න ලසන්තියි ශ්‍රියාලතයි.පාරට බයිසිකලෙත් එක්ක දියවෙච්චි කෙල්ලො.අදත් තරුණ කෙල්ලන්ට මුන් දෙන්න එක්ක බයිසිකල් පැදිලිනම් පහසු නැහැ,
ඒත් මෙයාලා කණ්ඩායමක් විදිහට දිනපු මෙඩල් එකක් තනියෙන් අයිති කර ගන්න හදන සහෝදර ක්‍රීඩිකාවක් නිසා මුං දෙන්න ඉන්නෙ බොහොම අසරණ වෙලා.

ලසන්තිගෙ ගමේ මිනිස්සු ඒ කෙල්ල වෙනුවෙන් කටවුට් එකක් ගහල එකටම ආය බොරුවක් කියල ගොමත් ගහල.අපේම සහෝදර මාධ්‍යෙව්දියො පුවත්පත්වලින් මේ ප්‍රවාත්තියට තටු දෙමින් කරපු විගඩමෙන් රටට රන් පදක්කම් පවා දිනා දීපු ශ්‍රියාලතාලගෙ අභිමානයට හැකියාවට වි ඇති අගෞරවයට කවුද වග කියන්නෙ.
අඩුම තරමෙන් මේ කතාව වැරදි විදිහට පළ කළ මාධ්‍ය ආයතනයක්වත් මේක නිවැරදි කරන්නෙ නැහැ.මාධ්‍යයට ඇති බලය කෙනෙක් ගැන සමාජ අවධානය යොමු කරන්න යොදා ගත්තට කමක් නැහැ.ඒත් ඒකෙන් තව කෙනෙක්ට හානියක් කරන්න යොදා ගැනීම වැරදියි.

එහෙම අදහසකින් නොලිව්වනම් ඒක දැන්වත් නිවැරදි කරන්න කාලය ඇවිත්,මේ ක්‍රිඩිකාවන් ගැනත් ලියන්න ඕනි.මුං දරුමල්ලො පැත්තක දාලා අවුරුදු ගාණක් තාර පොළව උණුවෙන තරමට මහපාරට දහඩිය හලපු ඒවයෙන් රටට කීර්තියක් ගෙනාපු කෙල්ලො,

අලුත් කෙනෙක් එනවනම්..ඇය දිගු ගමණක් යනවනම් මේ කෙල්ලො වපුරපු බිමේ අස්වැන්න අතරින්,ඒකයි ඇත්ත.ඒක වහං කරල ගුණමකු විදිහට පලයං කඩාගෙන කියල කවුරුහරි කියනවනම් හෝ මාධ්‍යයක් එයට උදව් කරනවනම් ඒක වැරදියි.

මම ශ්‍රියා රන් පදක්කම ගත්තු වෙලේ ලිව්ව ආටිකල් මතක් වුණා.අනුරාධපුරයට ගිහිං උන් දවසේ වේල සරිකර ගන්න කඩේට ගොඩ වෙලා ප්ලේන්ටියක් ගහල කරපු ඒ ආටිකල් එක 2006 ට අයිති එකක්.
එතකොට ශ්‍රියා සාග් රන් පදක්කම්ලාභිනියක්.

ඒ රන් පදක්කමට ලැබුණු දෙයක් තිබුණෙ නැහැ ඇයට.ඒ වෙන කොටත් වෑල්ඩින් කරල පැදපු රන් පදක්කම් ගෙනාපු බයිසිකලය තේ කඩේ අයිනෙ හේත්තු කරල තිබුණා.ඇය බයික් එක පෙන්නමින් කතා කරන කොට ඇස්වලින් වැටුණු කදුළු බර දෙයක් වුණානම් ඒ පාපැදිය ආයෙත් වෑල්ඩින් කරන්න වෙන්න තරමට පුපුරලා කෑලි වෙනවා.

එහෙම රටට දුක් විදල කීර්තිය ගෙනත් දීපු කෙල්ලන්ගෙ නම්වලට ගොම ගස්සන මාධ්‍යවාර්තාකරනයක් වෙනවනම් මටනම් මාධ්‍යවේදියෙක් විදිහට ලැජ්ජයි.

මේ වගෙම ක්‍රීඩාව ගැන වගකිමට නොහැකි අයගෙ වාර්තාවලින් ක්‍රීඩකයන්ගෙ ජීවිතය විනාශවෙලා තියෙනවා.හොදම උදාහරණය.වැලිවේරියෙ බෝම්බ සිදුවීම.ලංකාවට බිහිවෙමින් තිබුණු සුපිරිම මැරතන් ධාවකයෙක් වෙච්චි විග්නේෂ්වරන් ඒ බෝම්බය ගෙන ඒම ගැන සැකයි කියලා ගිය පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තිය නිසා ඔහුට මැරතන් නෙමෙයි යුධ හමුදාවෙ රස්සාවත් දාලා යන තැන වැඩ සිද්ධ වුණා.ඒක කවදාවත් යළි ප්‍රවෘත්තියකින් නිවරදි කළෙත් නැහැ.

මාධ්‍යවේදින්ගෙ නම් අගමැති කිව්වම කෑ ගහන කවුරුත් මේ වගේ මාධ්‍ය භාවිතාවන් ගැන කතා කරන්නෙ නැහැ.ඒක සුජාත අයිතියක්ද?ඕනිම දෙයක් තමන්ට ඕනි පරිදි ලියා පළ කිරීම.....
ප්‍රාදේශිය කතුවරයා අඩුම තරමේ ක්‍රීඩා අංශයෙන් මේ ගැන ඇහැව්වද?ක්‍රීඩා පිටුවක පළ වුණානනම් අඩුම තරමෙ දකුණු ආසියාතික නිල වෙබ් අඩවියෙන් ප්‍රතිපල පරික්ෂා තළාද,තමන්ගෙ ආයතනය නියෝජනය කරමින් දකුණු ආසියාතික තරඟාවලිය ආවරනය කළ මාධ්‍ය සඟයාගෙන් අසා බැලුවාද?රටම මේ තරඟාවලියට සියලු දේ රජය දුන් බව කියන අවස්ථාවක එක ක්‍රීඩිකාවක් ගෙයක් උකස් කළේ ඇයි?ඇය දිනූ රිදී පදක්කම තනි ඉසව්වකට නොවන බව සොයා නොබැලුවේ ඇයි?

මේ ක්‍රීඩිකාවන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන්.මාධ්‍යකරුවාත් මේ රටට අයිති එකෙක්.එසේනම් රට වෙනුවෙන් දහදිය වඟුරන මේ කෙල්ලන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න මේ රටේ පුරවැසියෙක් ලෙස මාධ්‍යකරුවාටද අයිතියක් නැහැ.ඒ්
ලැජ්ජයි!ලැජ්ජයි!ලැජ්ජයි!

Tuesday, February 23, 2016

සතුටුයි දුකයි

අවුරුදු 28 ට පස්සෙ අනුන්ගෙ නොවන උළුවහුවකින් ඇතුල් වෙන්න ලැබෙනවා.ඒකත් මගේ ආර්ථික කළමණාකරනයේ හැකියාව නිසා නෙමෙයි බිරින්දෑගෙ වැඩක්.මාර්තු 11 දා ඒ දේ සිද්ධ වෙද්දි මගේ කණ ගාවා හයි වෙන නලාව ටික ටික සද්දෙ වැඩි වෙනවා.

කරපු හෝ කරන නරක වැඩවලට එන සද්දයක් නෙමෙයි ඒක.මට හිතෙන හැටියට මම කළ හොද නිසා ලැබෙන ප්‍රතිචාර.

අවුුරුදු 28 පුරාම මම කුලියට ඉන්නව කියන එක අදාළ වුණේ නැහැ.දන්න කියන හැමෝටම එහි දොර හැරුණා.තියෙන විදිහට බත ඉඳුනා ඒ හැමෝම වෙනුවෙන්.කෑවා බිව්වා එක ගොඩේ වැටිලා නිදා ගත්තා.පුටු උඩ පැදුරු උඩ ඇඳවල් උඩ ඉස්සෙල්ල තැන අල්ලගත්ත එකාට වාසිය.

කලා කේෂ්ත්‍රයේ වගේම සාහිත්‍ය කේෂ්ත්‍රයේ වගේම ක්‍රීඩා කේෂ්ත්‍රයේ හැමෝටමත් ඒක පොදු වුණා.මම එහෙම හිටපු අයගෙ නම් කිසිවක් මේකේ නොලියන්නෙ කාලයත් එක්ක සමහර අය ඉන්න ස්ථාවරයන් එක්ක ඒ අයට මදිකමක් පොඩි කමක් වෙයි කියල හිතලයි.

මට මම කුලියට ඉන්න එක අවුලක් නොවුණට අනුන් කුලියට ඉන්න එක මට අවුලක් වුණා.දැන් මේ නලා සද්දෙ එන්නෙ ඒකෙ ප්‍රතිපල හැටියට.විශේෂයෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රයෙ හුඟ දෙනෙක්ගෙ ගෙවල් ප්‍රශ්න සහ ඉඩම් ප්‍රශ්න නිරාකරනය කර දෙන්න මගේ මැදිහත්වීම සිදු වුණා.

මම හිතන්නෙ ඒ ගැන හොඳටම දන්න කෙනා රන්ජන් පරණවිතාන.වරක් මට ගෙයක් කුලියට ගන්න කී මනි හොයා ගන්න තියෙද්දි ඒක දෙවන තැනට දාලා වත්මන් ජනාධිපති,එවකට මහවැලි ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දුරකථනයට වද දෙමින් ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධ සහෝදරියන් දෙදෙනෙක් වෙනුවෙන් මහවැලි ඉඩම් ලබා දෙන්න වෙහෙසුණා.වැඩේ සිදු වෙද්දි මගේ පිස්සුව දිහා බලං හිටපු රන්ජන් අයියා...බැංකු කාඩ් එක දික් කළා රහස් අංකයත් එක්ක.ඒ සල්ලි දුන්නට පස්සෙ තවමත් නොදුන් සහ දෙන්න වෙයිද කියලා කියන්න බැරි ගාණකුත් ඉතුරු වෙලා තියෙනවා.(රන්ජන් අයිය මේකට කමෙන්ට් කළොත් ඒ ක්‍රීඩිකාවන්ගෙ නම් කියන්න එපා)

මේ වගේ ගෙවල් ඉඩම් ගණනාවක්.ඒ වගෙම ක්‍රීඩා මගේ කුලී ගෙදර නවාතැන්....මේ ඔක්කොම අල්ලං හැඩවෙන නලාවෙ වැයෙන ගීතයේ පදමාලාව මම පහතින් ලියන්නම්..

කී දෙනෙක්ට ගෙවල් ඉඩම් අරං දීල ඇද්ද?
දැන් මම මහන්සියෙන් කරන දේට අඩු ගාණෙ ටයිල් ටික අරං දෙන්න බැරිද?
ඔය උදව් කළ කාට හරි කියනවකො.
අඩු ගාණෙ පස්සෙ සල්ලි දෙන්න හරි න්‍යායට ඉල්ලනවකො..

ඔය සංක්ෂිප්තය ඇතුලෙ තමයි මුළු ගීත සියල්ලේම පදමාලා හැදිල තියෙන්නෙ.

හැම වෙලේම දූවිලි එක්ක හැප්පෙන්න තියෙන ආසාවට දූවිලි අවුස්සන කොල්ල එක්කයි දූවිල්ල නිසා ආසාත්මකතාවයන්ට නිතර ගොදුරු වෙන දුවත් එක්කයි ටයිල් නැති පොළවකට අඩිය තියන එක අවුලක්.හරියට උඩ තට්ටුව ඉවර නැති නිසා පර්චස් 4 ට ආසන්න අලුත් ගෙදරට යන විට මට දමා යන්න විය හැකි පොත් ගොන්න ගැනයි මට දුක තියෙන්නෙ.ඒව කොච්චර ප්‍රයෝජනවත්ද සහ ඒවාට මම කොච්චර ලව්ද කියන එක ගෙදර හිටපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.

තව දුකක් තියෙනවා ළමයින්ට දුකක් වීම ගැන දුකක් නැතුව නෙමෙයි.ඒත් ඒ දුක කවද හරි උඩ තට්ටුව දා ගන්නකම් කිසිවෙක්ට මේ ගෙදරට එන්න කියලා හදිසියකට නවාතැන් දෙන්න බැරි දුක. හැබැයි ඉතිං අසතුටක් නැහැ එක අතකින්.බිරිඳගේ දේවල් මගේ නොවුණත් මගේ ළමයින්ගේ අනාගතයට දැනෙන සුරක්ෂිතභාවය වගේම උන් මගේ වීමෙන් මටත් පොඩියට හරි අයිතියක් දැනෙන නිසා සතුටුයි.

11 වෙනිදා යන්නෙ එක අතකට අවදානම් ගමණක්.පොඩි එව්වන්ගෙ සෞඛ්‍යයට හිතකර නොවන ගමණක්.ඒත් ඒක අපේ.ඒ ආඩම්බරය බෙදා ගන්න තව එකෙක්ට උඩ කෑල්ල හදා ගන්නකම්,ටයිල් ටික වැටෙනකම් මම ඉන්න ගෙදරක නිතර හැමෝටම විවෘත වෙන දොර වැහිල තියෙයි.ඒ ගැන දුකයි.සමාවෙන්න.

මේකත් එක්ක තියෙන්නෙ සුමිය ඇදපු ප්ලෑන.ඒකම නෙමෙයි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා හැදෙන්නෙ.මේකම හදා ගන්න තිබුණනම් පට්ට.ඒත් පර්චස් 4 ට ත් අඩු ඉඩක මොන පට්ට ද?හැදෙන හැටි ලැබෙන හැටි හොඳයි.කරපු දේවලට ලෝන් දෙන බැංකුවක් තිබුණනම් උදව් කළ අයගෙන් ලියුම් ටිකක් එකතු කරගෙන ගිහිං ලෝන් එකක් අරං මේක එක පාරට ඉවර කරනවා.....ඒත් බැංකුවලින් මාසික ආදායම ඔප්පු කරන්න ලියවිලිමයි ඉල්ලන්නෙ.

මම මිත්‍ර බැංකු කළමණාකරුවෙක්ට කිව්වා ඔය කියන දේ වගේම මාසිකව සිද්ධ වෙන තවත් දේවල් අයිතිත් බිරිඳට කියලා.වෙන මක් කොරන්නද?

කොහොමහරි 11 ඉදන් කුලී නොවන ගෙයක..ඒක මැදෑ.