Friday, December 23, 2016

උදව් ඇඳ විය හැකි ලෝකයක්

https://www.facebook.com/prageethrathnayake.artpage/posts/1836581043298275

මේ ලින්ක් එකට අදාළ සටහන කියවන්න පුළුවන් ද දන්නෙ නැහැ හැමෝටම....මුහුණු පොතට එබිල බලන්න පුළුවන් අය ඒක දිගට කියවන්න.කමෙන්ට්ස් එක්කම..විවිධ දේ විවිධ අය කියා ඇති එහි තිබෙනවා.

ඒක පාදක කරගෙන මට මගේ කතාවක් ලියන්න හිතුණා.
මගේ තාත්තා නැති වුණේ මහපාරෙ සිදු වුණු අනතුරකින්.මේක මගේ හිතට වදයක් වුණේ තාත්තා මගේ ජීවිතේ මට තදින්ම දැණුන කෙනා නිසයි.මගේ ජීවිතයේ මට වඩාත්ම ආදරය කළ කෙනා ඔහු නොවන්නට ඇති...ඒත් මට තාත්තව දැනෙන්නෙ ඒ විදිහට.

ඒ මතකය මධ්‍යම රාත්‍රියෙ පිටකොටුවෙ මගේ ජීවිතයට එකතු කළ අත්දැකීම් කිහිපයක් තියෙනවා.මට පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ළඟින් ගෙදරට එන්න ත්‍රීවීලයකට යන්නෙ සුළු මුදලයි. අදටත් ඒ පහසුකම මට නැතිවෙලාම නැහැ.ඒත් ඉස්සර ඊටත් වඩා හොදයි.මගේ යාළුවන්ට වුණත් මගේ නම කියලා එහෙම පස්සෙ සල්ලි දෙන්න හරි යන්න පුළුවන්කම තිබුණා.මංජුල වෙඩිවර්ධන ඒකෙන් හොඳටම ප්‍රයෝජන ගත්තු කෙනෙක් නිසා ඌ දන්නවා මගේ ඒ බැදීම් ගැන.

එක දවසක් මම හඳුනන ත්‍රී රෝද රථයක් එනතුරු එතන හිටියෙ ඒ වෙනකොට මගේ මිතුරුන්ව සිටි පදික වෙළඳුන් සමඟ කතා බහක යෙදෙමින්.ඒ අතර උස මැදිවියේ කෙනෙක් බීමත්ව පැමිණ පදික වේදිකාව මත වැටෙනවා.ඔහුගේ හිසේ පිටුපසින් ලේ වැගිරෙනවා.මට සිහියට ආවෙ තාත්තා.

කවුරුත් නැද්ද මේ මනුස්සයව දාගෙන යන්න.මම ත්‍රීවීල් එකට සල්ලි දෙන්නම්...

ඒ සමඟම ඉදිරිපත් වුණේ නටබුන් තත්ත්වයක තිබුණු ත්‍රීරෝද රථයක දෙන්නෙක්.ඔවුන් තෙල් ගහන්න ඕනි කියලා 200 ක් අරං මනුස්සයත් දා ගෙන ඉගිළුණා.

ස්ර්ටනම් පිස්සු....

කඩේක හිටිය ප්‍රභා ත්‍රීවීල් එක ගියාට පස්සෙ මට කිව්වා....

ස්රට සල්ලිත් නැහැ,ඒ මනුස්සයත් මඟ කොහාට හරි දාල යනව පාරෙ මැරෙන්න..

කතාව යද්දිම නිහාල් අයිය ආවා.ඒ මගේ මිතුරු ත්‍රීරෝද රථ රියැදුරෙක්.මම ඔහුට කතාව කියමින් එන අතර ප්‍රභාගෙ කතාව ඇත්තක් වෙලා තිබුණා.මරදාන කාර්මික විද්‍යාලය ළඟ අර මනුස්සය දාලා ගිහිං.නිහාල් අයිය කිව්වෙ සිහිය නැති නිසා මේක ලෙඩක් කියලා..ඒත් මම මනුස්සයව දා ගත්තා.

රෝහලට රැගෙන ගියාම වැඩේ ලෙඩේ තමයි..මොනවත්ම කියන්න දන්නෙ නැති හිස පිටුපිසන් ලේ ගලන තුවාල සහිත මිනිසෙක් සමග කොණ්ඩය වවපු අපිළිවෙලට ඉන්න තරුණයෙක්..(තරුණයෙක් කිව්වෙ ඒ මොහොතට සාපෙක්ෂව)

මම රාවයට ලියන බව දැන ගත්තම, තව අය ඒ ගැන කතා කළාම මට නිදහසක් ලැබුණා.ඒ විශ්වාසය..පාරට ඇවිත් සිගරට් එකක් බීල යන්න..තේ නම් වරින්වර පොලිසියත් දුන්නා.නමුත් අර මනුස්සයට සිහි එනකං පොතේ ඇතුළත් කිරීම ගැන නම ලියපු මම ඉන්න ඕනි වුණා.නිහාල් අයිය යන්න කිව්වට යන්නෙම නැහැ.හොද මිනිස්සු.ඒත් මම කරුණු කියා දීල ප්‍රශ්නයක් වුණොත් මම කෝල් කරන්නම් ගෙදරට කියන්න කියලා ඔහුව පිටත් කළා.(එතකොට ගෙදරට දුරකථන පහසුකම් තිබුණේ නැහැ.)

මනුස්සයට උදේ 8 වෙන කොට විතර සිහිය ආවා විතරක් නෙමෙයි වැටෙන තැනකට එනකං මතකය අවදි කර ගන්නත් පුළුවන් වුණා.රෝහලේ ප්ලාස්ටික් පුටුවට ඇලිලා තිබුණ හිරිවැටුණු මගේ පස්සට නිදහස ආවා.ඒත් මනුස්සයට තව වෙලාවකට කන්න බොන්න හොද නැති නිසා මම මගේ නම්බරය ලියා තියල එතනින් පිට වුණා.

පොලසිය කිරුළපොන ප්‍රදේශයෙ හිටිය එයාගෙ ගෙදරට පණිවිඩය දෙන්න භාරගත්තෙ මට ලොකු ගෞරවයක් දෙමින්.ඊට පස්සෙ එක පාරක් මා ඔහුව බලන්නත් ගියා.ඊට පසුව මට අසනීපයක් වුණේ ඔහුගේ පුතා.මනුස්සය කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක්.ඔහු ඒ මනුස්සයගෙ දුක කියමින් දින කිහිපයක්ම රාවයට ඇවිත් මගෙන් සල්ලි ඉල්ලගෙන ගියා.වරක් මම සල්ලි ඉල්ල දුන්නෙ පීරිස් අයියගෙන්...(රාවයෙ පෙර මතක දන්න අය දන්නව ඔහු ගැන.එහෙම පහසුවෙන් සල්ලි දෙන්නෙත් නැහැ.)

මම පීරිස් අයියට කතාව කිව්වට පස්සෙ පීරිස් අයිය මට බැන්නා.ඒත් තාත්ත නිසා ද දන්නෙ නැහැ මට ඒ මනුස්සයට උදව් කරන්නමයි හිත.දවසක් මම නැති වෙලාවක පීරිස් අයිය අර පුතාට බැනල එලවල තිබුණා.ඌ කරන්නෙ බොරුවක් බවත් කිව්වා.මටත් මේක දැනිල මේකෙන් ගැලවෙන්න ඕනි කම තිබුණා.

දවසක් මම මනුස්සය ආපු වෙලාවක රාවයට අල්ලපු වැටේ තිබුණු කඩය ළඟට එක්ක ගිහිං තේ අරං දීල..බැම්ම අතරෙ තිබුණු පාරට අරං රුපියල් 100 ක් දීල අරූට හොඳවයින් දෙකක් ඇන්නා.ඒ අන්තිම දීම.ඒත් අදත් අර මනුස්සයට මොකක් වෙන්න ඇද්ද?

මගේ හිත කකියනවා.උදව් ඕනි.එහෙම තැනක් දාලා යන්න බැහැ.නමුත් අද දාලා යන මිනිස්සු වගේම වැරදි දේ කරන අය වැඩි නිසා උදව් කරන කෙනාටම බාල්දිය පෙරළෙන්න ඉඩ තියෙනවා.හැම වෙලාවෙම කරන උදව්වෙ ප්‍රශ්නයකුත් තියෙනවා.ඒ තරමට මේ ලෝකෙ පිරිහිලා.

මුල් ලින්ක් එකට අදාළ ප්‍රගීත්ගෙ උදව්ව මට වටින්නෙ ඒ නිසාමයි...ඒකෙ ඇද දකිනවට වඩා උදව් ඇද වෙන ලෝකයක් මේක...ජීවත්වෙන්න අමාරු මිනිස්සුන්ටමයි...මනුස්සකමටයි.

Tuesday, December 6, 2016

පටු කම පිටු දකිමු!

තුන්වන ලෝකයේ රටවල්වල දේශපාලනයේ සීමා මායිම් පටුය.ඒවා අතිශයින් හැඟීම්බර සීමාවලට නතුව තිබේ.හැගුම්බර යනු ජාතිය,ආගම වැනි සීමාය.ඒවා නිසා උස් කොට පහත් කොට සිතන දේශපාලනයේ ඛේදණිය තත්ත්වය ශ්‍රී ලංකාවට ද උරුමය.
අයෙක් ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වන බව බුදුහිමි දෙසුවද,බුද්ධාගම ආගම යැයි පාරම්බාන බොහෝ අය ද සිතන්නේ සිංහල වීම නැතිනම් සිංහල බෞද්ධවීම බ්‍රාහ්මණ තත්ත්වයේ තබාය.
එපමණක් අවශ්‍යය නැත.බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ද කටයුතු කරන්නේ නිකායන්ට යටත් වෙමින්ය.ඒ ඒ  නිකායන් ක්‍රියාත්මක වන්නේ පවතින කුල ක්‍රමයට අනුවය.ඒ ඒ අනුව බුද්ධ කාලයේ සැරියුත් මුගලන්ලාට මෙන්ම සැඩොල් කුලේ සෝපාකට ද මහන දම් පුරන්නට ලැබුණු සංඝ නිකාය අවිද්‍යාවෙන් වැසී ඇත.
සතුරාටත් මෛත්‍රී කරන තත්ත්වයක් අද නැත.අනෙකාට ගරු කිරීමක් නැත.උපාලි ගෘහපතියාට ජෛන ආගමට කළ උදව් නොනවත්වා කරන බව පොරොන්දුවන තෙක් බෞද්ධාගමට සම්බන්ධ වන්නට බුදු රජාණන්වහන්සේගෙන් නොලැබුණ බව කියැවී ඇතත්,දැන් වෙනත් ආගමක වීම ජාතියක වීම හැදි ගෑවී යන්න ලෙස ප්‍රාර්ථනා කිරීමට ප්‍රමාණවත්ය.
"උන්ට ගිය රට",
"උන්ට ඕන විදිහට ඉන්නද අපි"
ඒ අදහස් අනුව පෙන්වා දෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශණා කළ ධර්මය අනුව අනෙකුන් කටයුතු තළ යුතු බවය.බෞද්ධයන් සිටින්නේ අනෙක් ආගමිකයන් බුද්ධ වචනයට අනුව හැසිරවීමටය.ආගම් ජාති බදාගෙන ජීවත්වෙන රටවල මේ තත්ත්වය දකින්නට බුද්ධාගමම නිදසුන් ගෙස භාවිතා කරන්නට අවශ්‍යය නැත.කුමන පටු ආගම්වාදියෙක් වුව සිතන්නේ සියල්ල සිතිය යුත්තේ සිය ආගමට අනුව ලෙසය.නැතිනම් පහරදිය යුතුය.මරා දැමිය යුතුය.හැදි ගෑවී යා යුතුය.
මේ රටවල මේ උරුමයට ගැති වන්නෝ අතිශයින් දුප්පත්ය.නූගත්ය.මේ දෙකම ජීවත්වන්නට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදෙන තත්ත්වයකි.ඒ නිසා ඔවුන් ජීවත්වීම නිසා යැපෙන්නන් බවට පත් විය යුතුය.මේ යැපීමේදී ඔවුන් කුමන හෝ දේශපාලන ග්‍රෝත්‍රයක හුරතලුන් බවට පත් වන්නේය.ඒ අනුව ජාතිය ආගම සහ ක්‍රියාව තීරණය වන්නේය.
ඒ අය මෙහෙයවන අය ග්‍රෝත්‍රික නැත.ලෝකය හඳුනන්නෝය.ඔවුන්ගේ පැවත්මට මේ නූගත් සහ දුප්පත් ජනතාවගේ ශ්‍රමයේ ආශිර්වාදය අවශ්‍යය වන්නේය.එය දැන තමන් හඳුනාගෙන තිබෙන අවිද්‍යාව සහ මිත්‍යාව, විද්‍යාව ලෙස සහ යථාර්තය ලෙස වදාළන්නේය.කෙලෙස් ගොඩවල්වලට ලෝගු පුරවා ඇත.ඒවා පූජණිය වන්නේ ආගම් ලෝගුවලින්ය.නැතිනම් ඔවුන් කරන්නේද ග්‍රෝත්‍රික දේශපාලනයේම ලක්ෂණයක්ය.
ගැටුම් අවම රටවල්වල ආගම් සහ ජාති නොසළකා හැරීම අනුවන ගෝතයන්ගේ වැඩක්ය.උන්ට එහෙම හරි ජම්මයක් ජාතියක් නැත.
ඒ පටු මිනිසුන් ලොව දකින හැටිය.නමුත් හැම එකෙක්ම ඒ ජාතියක් ජම්මයක් නැති උන්ගේ ණය කාරයන්ය.ජීවත්වන්නේ ඒ රටවල්වලින් ලැබෙන ණයෙන්ය.පරම්පරා ගණනක් ඒ රටවලට ගෙවිය යුතුය.එසේ ගෙවන්නට වී ඇත්තේ පටුකම නිසා දියුණුවේ මාර්ගවලට ඇති ප්‍රවේශයන් පුළුල් කර ගන්නට නොහැකිවීම නිසාය.වර්ග 25000 ක සීමාවක මුතු අටයක් යැයි කියන රටක ඇත්තේ පාහර  ආගම්වාදී ජාතිවාදී දේශපාලනය විසින් තැන තැන පැහැරූ ගූ ගොඩවල්ය.
මේ තත්පරයේත් ඒ ගඳ වටේට විහිදෙන්නේ ජයලලිතා ජයරාම්ගේ මරණයත් සමඟය.දකුණු ඉන්දියාම මල ගෙයක්ව ඇත.එහෙත් අපට නොවටින නිසා ඇය හැදි ගෑවි යා යුතුය.කෙනෙක්ගේ මරණයට රතිඤ්ඤා පත්තු කරන කිරිබත් උයන අපේ බෞද්ධ සංස්කෘතියේ අයිතිකාරයන් එය තමන්ගේ කර ගත්තාට කමක් නැත.අපි ජාතියක් ජම්මයක් නැති එව්වන් ලෙසම හංවඩු ගැසුවාට ද කම් නැත.සීමාවක් නැතිව හොඳට හොඳ කියන්නට නරකට නරක කියන්නට මනුස්සකම් වැඳගන්නට ලැබී ඇති හැකියාව පටු සීමාවන් වලට වඩා පුළුල් ය.ඒ පටුකමට සාපේ්ක්ෂව සතුට හා ප්‍රීතිය ද පටු වන අතර...සතුටු වන්නට විවෘතව ඇති ලෝකය පටු කර ගැනීම අන්තවාදයේ උරුමය වන්නේය.