Tuesday, December 6, 2016

පටු කම පිටු දකිමු!

තුන්වන ලෝකයේ රටවල්වල දේශපාලනයේ සීමා මායිම් පටුය.ඒවා අතිශයින් හැඟීම්බර සීමාවලට නතුව තිබේ.හැගුම්බර යනු ජාතිය,ආගම වැනි සීමාය.ඒවා නිසා උස් කොට පහත් කොට සිතන දේශපාලනයේ ඛේදණිය තත්ත්වය ශ්‍රී ලංකාවට ද උරුමය.
අයෙක් ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වන බව බුදුහිමි දෙසුවද,බුද්ධාගම ආගම යැයි පාරම්බාන බොහෝ අය ද සිතන්නේ සිංහල වීම නැතිනම් සිංහල බෞද්ධවීම බ්‍රාහ්මණ තත්ත්වයේ තබාය.
එපමණක් අවශ්‍යය නැත.බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ද කටයුතු කරන්නේ නිකායන්ට යටත් වෙමින්ය.ඒ ඒ  නිකායන් ක්‍රියාත්මක වන්නේ පවතින කුල ක්‍රමයට අනුවය.ඒ ඒ අනුව බුද්ධ කාලයේ සැරියුත් මුගලන්ලාට මෙන්ම සැඩොල් කුලේ සෝපාකට ද මහන දම් පුරන්නට ලැබුණු සංඝ නිකාය අවිද්‍යාවෙන් වැසී ඇත.
සතුරාටත් මෛත්‍රී කරන තත්ත්වයක් අද නැත.අනෙකාට ගරු කිරීමක් නැත.උපාලි ගෘහපතියාට ජෛන ආගමට කළ උදව් නොනවත්වා කරන බව පොරොන්දුවන තෙක් බෞද්ධාගමට සම්බන්ධ වන්නට බුදු රජාණන්වහන්සේගෙන් නොලැබුණ බව කියැවී ඇතත්,දැන් වෙනත් ආගමක වීම ජාතියක වීම හැදි ගෑවී යන්න ලෙස ප්‍රාර්ථනා කිරීමට ප්‍රමාණවත්ය.
"උන්ට ගිය රට",
"උන්ට ඕන විදිහට ඉන්නද අපි"
ඒ අදහස් අනුව පෙන්වා දෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශණා කළ ධර්මය අනුව අනෙකුන් කටයුතු තළ යුතු බවය.බෞද්ධයන් සිටින්නේ අනෙක් ආගමිකයන් බුද්ධ වචනයට අනුව හැසිරවීමටය.ආගම් ජාති බදාගෙන ජීවත්වෙන රටවල මේ තත්ත්වය දකින්නට බුද්ධාගමම නිදසුන් ගෙස භාවිතා කරන්නට අවශ්‍යය නැත.කුමන පටු ආගම්වාදියෙක් වුව සිතන්නේ සියල්ල සිතිය යුත්තේ සිය ආගමට අනුව ලෙසය.නැතිනම් පහරදිය යුතුය.මරා දැමිය යුතුය.හැදි ගෑවී යා යුතුය.
මේ රටවල මේ උරුමයට ගැති වන්නෝ අතිශයින් දුප්පත්ය.නූගත්ය.මේ දෙකම ජීවත්වන්නට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදෙන තත්ත්වයකි.ඒ නිසා ඔවුන් ජීවත්වීම නිසා යැපෙන්නන් බවට පත් විය යුතුය.මේ යැපීමේදී ඔවුන් කුමන හෝ දේශපාලන ග්‍රෝත්‍රයක හුරතලුන් බවට පත් වන්නේය.ඒ අනුව ජාතිය ආගම සහ ක්‍රියාව තීරණය වන්නේය.
ඒ අය මෙහෙයවන අය ග්‍රෝත්‍රික නැත.ලෝකය හඳුනන්නෝය.ඔවුන්ගේ පැවත්මට මේ නූගත් සහ දුප්පත් ජනතාවගේ ශ්‍රමයේ ආශිර්වාදය අවශ්‍යය වන්නේය.එය දැන තමන් හඳුනාගෙන තිබෙන අවිද්‍යාව සහ මිත්‍යාව, විද්‍යාව ලෙස සහ යථාර්තය ලෙස වදාළන්නේය.කෙලෙස් ගොඩවල්වලට ලෝගු පුරවා ඇත.ඒවා පූජණිය වන්නේ ආගම් ලෝගුවලින්ය.නැතිනම් ඔවුන් කරන්නේද ග්‍රෝත්‍රික දේශපාලනයේම ලක්ෂණයක්ය.
ගැටුම් අවම රටවල්වල ආගම් සහ ජාති නොසළකා හැරීම අනුවන ගෝතයන්ගේ වැඩක්ය.උන්ට එහෙම හරි ජම්මයක් ජාතියක් නැත.
ඒ පටු මිනිසුන් ලොව දකින හැටිය.නමුත් හැම එකෙක්ම ඒ ජාතියක් ජම්මයක් නැති උන්ගේ ණය කාරයන්ය.ජීවත්වන්නේ ඒ රටවල්වලින් ලැබෙන ණයෙන්ය.පරම්පරා ගණනක් ඒ රටවලට ගෙවිය යුතුය.එසේ ගෙවන්නට වී ඇත්තේ පටුකම නිසා දියුණුවේ මාර්ගවලට ඇති ප්‍රවේශයන් පුළුල් කර ගන්නට නොහැකිවීම නිසාය.වර්ග 25000 ක සීමාවක මුතු අටයක් යැයි කියන රටක ඇත්තේ පාහර  ආගම්වාදී ජාතිවාදී දේශපාලනය විසින් තැන තැන පැහැරූ ගූ ගොඩවල්ය.
මේ තත්පරයේත් ඒ ගඳ වටේට විහිදෙන්නේ ජයලලිතා ජයරාම්ගේ මරණයත් සමඟය.දකුණු ඉන්දියාම මල ගෙයක්ව ඇත.එහෙත් අපට නොවටින නිසා ඇය හැදි ගෑවි යා යුතුය.කෙනෙක්ගේ මරණයට රතිඤ්ඤා පත්තු කරන කිරිබත් උයන අපේ බෞද්ධ සංස්කෘතියේ අයිතිකාරයන් එය තමන්ගේ කර ගත්තාට කමක් නැත.අපි ජාතියක් ජම්මයක් නැති එව්වන් ලෙසම හංවඩු ගැසුවාට ද කම් නැත.සීමාවක් නැතිව හොඳට හොඳ කියන්නට නරකට නරක කියන්නට මනුස්සකම් වැඳගන්නට ලැබී ඇති හැකියාව පටු සීමාවන් වලට වඩා පුළුල් ය.ඒ පටුකමට සාපේ්ක්ෂව සතුට හා ප්‍රීතිය ද පටු වන අතර...සතුටු වන්නට විවෘතව ඇති ලෝකය පටු කර ගැනීම අන්තවාදයේ උරුමය වන්නේය.

3 comments:

  1. "සතුටු වන්නට විවෘතව ඇති ලෝකය පටු කර ගැනීම අන්තවාදයේ උරුමය වන්නේය" ඇහැට ඇඟිල්ලෙන් ඇනල ඔලුව බිම උලල කියා දෙන්න හැදුවත් නොතේරෙන ඇත්ත.! මෙතනට කිට්ටු වෙන්න හෝ හැකියාවක කවදා ලැබේවිද

    ReplyDelete
  2. ආගම කියන්නේ වල් නාශක බෝතලයක් වගේ. බිමට හලන්නත් පුලුවන් කටට හලා ගන්නත් පුලුවන්. ඕන පැත්තකට හරවාගන්නවා මුන්.

    ReplyDelete
    Replies
    1. //බිමට හලන්නත් පුලුවන් කටට හලා ගන්නත් පුලුවන්. ඕන පැත්තකට හරවාගන්නවා මුන්.//

      උන් ඒක මෙහෙ ඉන්න මෝඩයන්ගේ කටට හලනවා. මෝඩයොත් රස කර කර ගිලිනවා!

      Delete