Friday, June 3, 2016

පුතාගේ ස්ට්කරය බොද වීම සහ අතුරු කතා

මගේ බ්ලොග් සටහන් කියවන බොහෝ දෙනෙක් මගේ පුතා ගැන දන්නවා.ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්.

මේ සටහනට යොදා තිබෙන පිංතූරය රවීන්ද්‍ර පුෂ්පකුමාර ගත්තු එකක්.ඒ පුතාට අවුරුදු තුනේදී.අපි ඒ කාලෙ හිටියෙ රජයේ කර්මාන්තශාලා සේවක නිවාස වල.රවිය මාත් එක්ක වැඩකට ගිහිං ඇවිත් යන්න හදද්දි චූ කෑල්ලත් එළියෙ දාගෙන ගිය කොල්ල රවිය රවිය කියලා කතා කළා.ගේට්ටුව අස්සෙන් එබිල ඉන්න හෙළුම කොටා රවිය කැමරාවේ අලෝ ගත්තා.


මේක ප්‍රසිද්ධ පිංතූරයක් වුණේ ලක්ජන පත්තරෙන්.ඒකෙ මංගල කළාපයට රවියගෙ මේ පිංතූරය තමයි යොදල තිබුණෙ.ඊට පස්සෙ මේක අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් 2002 පේරාදේණිය සරසවියෙ මාගේ දේශය අවධි කරනු මැන වැඩ සටහනට යොදා ගත්තෙ මුද්‍රණය කරල විකුණන ස්ටිකරයට.ඒ ස්ටිකර් එකට විකුණන කොටනම් මේ දරුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇති දෙමව්පියන්ගෙ දරුවෙක්ද කියන එක හෝ ලංකාවෙ අන්තරය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාර රකින්න දඟළන අධයාපන ක්‍රමය ඇතුළෙ කවදාවත් විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි විශේෂ ළමෙක්ද කියන එකවත් අහලවත් හොයලවත් තිබුණෙ නැහැ.

මම හිතන්නෙ ඒ අය ඒක හොයන්නෙ රැග් එක විවේචනය කරන කොට විතරක් වෙන්න ඇති.නැත්නම් ඔවුන්ගෙ සටන් කරගෙන යන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් කැට අල්ලනවනෙ.


කෙහොම හරි ඊට පස්සෙත් මේ පිංතූරය කොල්ලටවත් රවියටවත් පලක් ඇති දෙයක් වෙන්නෙ නැතුව තැන තැන පළ වුණා.එහෙම පළ කරපු තැනෙක කොල්ලගෙ පිංතූරය ජේසුගෙ උපතට අදාළ කර ලියූ ගීතිකාවකටත් යොදා තිබුණා.ඔය පොත මට ගෙනත් දුන්නෙ මංජුල වෙඩිවර්ධන.පියතුමෙක් ලියපු ගීතිකා පොතක්.

ඒක කොල්ලගෙ ජීවිතයට වඩා කන්‍යා සොහොයුරියකගෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවො ගැන තිබුණු දුර්මතය දුරු කරන්න සමත් වුණා.ඇය ඒ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් ඇති තැනත්තියක් බවට පෙරලන්නට ඒ පොත බලපෑවා.


මුලටම ගිහිං ඒ කතාව පටන් ගත්තම කොල්ල පාසල් ගියේ කොළොන්නාව ශාන්ත ජෝෂප් විද්‍යාලයට.ඒකට පල්ලියෙ පාසල කියලත් කියනවා.පුතාව ඇතුල් කරාම සමහර දෙමව්පියො ඒ අයගෙ දෙවොලට සතෙක් රිංගුව වගේ තමයි බැලුවෙ.මම වැඩිය සත්තු කෑ ගහන එක ගැන තකන්නෙ නැති නිසා මට ඒක අවුලක් වුණේ නැහැ.

හැබැයි අපි මේ දරුව ගැන ගුරුවරියට කියල තිබුණු දේ නිසා ඇය දෙමව්පියෝ දැනුවත් නොකරන්න හුඟ දෙනෙක් අපේ එකාව පෙණුමෙන් එහෙමයි කියල දැනං හිටියෙ නැහැ.අර දේවාලෙ කපුවො වගෙ හිටපු දෙමව්පියො කොල්ල දිහා බැලුවෙ පිස්සෙක් කියලම හිතලයි.ඒකෙ කොස්ස ඇති වුණේ ඒ අය සිය දරුවන්ගෙ හිත්වලට මේ සිතුවිල්ල ඇතුල් කිරීමෙනුයි.

ඒ අය පිස්සන්ට විහිළු කිරීමේ බුද්ධිමත් සම්ප්‍රදාය අකුරටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.ඒව ඇතැම් අවස්ථාවල ශරීර වධ දක්වාත් වර්ධනය වුණා.මේ වගේ අවස්ථාවක දරුවො තුන් දෙනෙක් පුතාව පංතියෙ හිර කරල එන්න දෙන්නෙ නැතිව දොර හිර කර ගෙන.ළමයි කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් අය එහා පැත්තෙන් පුතා දෙර තල්ලු කිරීමට සහ ඊට එරෙහිව විරුද්ධ පැත්තෙන් අර දරුවො තුන්දෙනා ඊට එරෙහිව දොර වසාගෙන සිටීමට ඔල්වරසන් නඟමින් ඉද්දි අපේ කොල්ලගෙ සිමාව පනිනවා.ඌ උපරිම ශක්තියෙන් කළ තල්ලු කිරීමෙදි දොර මදක් ඇරිලා ආයෙ වැහෙද්දි තුන් දෙනාගෙන් එකෙක්ගෙ අත අහු වෙනවා.ඇඟිල්ල තුන් පොළකින් කැඩෙනවා.

ඔන්න අර දේවාලෙ අයිති කපු මහත්තුරු ටික මාව වට කරගෙන කාර්යාලයට එන්නෙ පුතා අදම පාසලෙන් ඉවත් කර ගන්න කියමින්.ඒ අතර සමහරු මට ඒක කොලොන්නාව බව ද මතක් කරාම කීවාම මම කියන්නෙ මම රටටම අයිතියි.රටත් මටම අයිතියි.ඒ නිසා කොළොන්නාවට වඩා මගේ අයිතිය විශාලයි කියලා.ඒක තේරුණේ නැති නිසාද කොහෙද ඒ වචනය ආයෙ ආවෙ නැහැ.

විදුහල්පතිතුමත් දැන් අපේ දරුවා ළඟ තියාගෙන හිටගෙන ඉන්නවා.පාසලම කාර්යාලය ඉස්සරහා.විදුහල්පතිතුමා කිව්වා මට දරුවව පාසලෙන් අස් කර ගන්න වෙන්ව කියලා.ඒකට කමක් නැහැ කියපු මම ස්ර්ගෙන් ඇහැව්වා පංතියෙ ළමයින්ගෙන් මට මේ ගැන දැන ගන්න පුළුවන්ද කියලා.විදුහල්පතිතුමා පුතාට පිටුපසින් සිටින ළමයින්ව පෙන්නල මේ ළමයි ඔක්කොම කියනව අර ළමයගෙ (ඒ වෙනකොට ඒ දරුව රෝහලට රැගෙන ගිහිං) අත දොරට අහු කළේ ජාරක කියලා.විදුහල්පතිතුමා ඒ වන විට ඔහු සෑහීමකට පත් වී සිටි පරීක්ෂණයෙ ප්‍රතිපලය එළියට දැම්මා.


ඇයි පුතේ ජාරක එයාගෙ අත දොරට අහු කළේ?

පරික්ෂණය අරඹන විට පූර්ව නිගමනයක සිටීම නිසා අතපසු වන්නට ඇතැයි සිතූ ප්‍රශ්නය මම ළමයින්ගෙන් ඇහැව්වා.

එයාල ජාරකට විහිළු කරල පංතියට දාලා දොර වැහැව්වා....ළමයි ටික ගිරව් වගෙ කියවන්න ගත්තා.වහපු අනිත් ළමයි දෙන්නත් පෙන්නුවා.

විදුහල්පතිතුමා කතා නොකර කාර්යාලයට ගියා.දෙමව්පියෝ හුළඟකට අහු වුණු කොළ රොඩු වගේ විසිරෙන්න ගත්තා.

සර්ට කියන්න ඕනි.මොනව වුණත් පිස්සු ළමයි මේකෙ තියා ගන්න බැහැනෙ....අම්ම කෙනෙක් මට ඇහෙන්න කිව්වා.පංතිභාර ටීචර් කරුණාරත්න.එයා පුතාට හරි ආදරෙයි.අවුරුදු දෙකක් එයා සමහර දෙමව්පියන්ගෙ විවේචනයට ලක් වුණා.පුතාට දක්වන ආදරය නිසා.එයා අම්මට උත්තර දෙන්න හදපු මාව නැවත්තුවා.


මගේ පංතියෙ එක පිස්සු ළමයයි....පිස්සු තියෙන අම්මල තාත්තල ගොඩකගෙ හොඳ ළමයි ඉන්නවා.මට ඉන්න එක පිස්සු ළමයට උගන්නන්න පුළුවන්.ඒත් අම්මල තාත්තල ඉගෙනගන්න වයස පහු කරල ඒ කාලෙත් මොනවත් ඉගෙනගෙන නැහැ කිව්වා....

වැඩේ එතනින් ඉවර වුණා.තත්ත්වය යහපත් වෙද්දි එකා දෙන්න මා එක්ක කතා කරද්දි කොල්ල කෙල්ලෙක්ගෙ ඔළුව පැලුව.ඔවව කිව්වට නළල.ඇහැ ආසන්නයෙ.ආයෙ අපේ එකාව පාසල් එවනවට විරුද්ධ කට්ටිය සංවිධානය වුණා.එදත් මමයි පුතාව ගන්න ගියේ.

විදුහල්පතිතුමා පෙර පරිදිම අස්වීම දෙන්න සූදානම්.එදත් මම එයාල අහන්නෙ නැති ප්‍රශ්නය ඔළුව පැළුණු දියණියගෙන් ඇහැව්වා.

ඇයි පුතේ ජාරක ඔයාට ගැහැව්වෙ?

මට නෙමෙයි ගැහැව්වෙ අනිත් ළමයි ජාරකට වැලි ගැහැව්වා.එයා ඇස් අල්ලන් හිටිය අඩ අඩ බැරිම තැන ගලක් අරං ගැහැව්ව මට වැදුණෙ.

ආපහු  විදුහල්පතිතුමා කාර්යාලයට රිංගුවා.මම අපේ එකත් අරගෙන ඒ දුවයි ඒ අම්මයි එක්ක ඇස් වාට්ටුවට ආවා.ඇහැට ආබාධයක් නැහැ කිව්වා.

ඊට පස්සෙ කරුණාරත්ත ගුරුතුමියගෙන් මිදුණු පුතා කන්‍යා සොහොයුරියගේ පංතියට ආවා.ඇය තමයි පුතාට විරුද්ධ දෙමව්පියන්ගේ බලවේගය වුණේ.ඇය විදුහල්පතිතුමා සමඟ අරගල කළා පුතාව පංතියෙ තියා ගන්න බැහැ කියලා.

පසුව මම ඇය හමුවන්න ගියේ වෙඩ්ඩ දුන්න ගීතිකා පොතත් අරගෙන.මම කිව්ව මම දරුව අරං යන්න ආවෙ.එයා අස්කර ගන්න එක ගැටළුවක් නැහැ.හැබැයි ඔබතුමිය මේ පොත ලියපු ෆාදර්ට කියන්න වහාම මේක වෙනස් කරන්න කියලා මම පුතා ඉන්න පිංතූරය තියෙන ජේසු බිලින්දා ගැන ලියැ වි ගිතිකාව පෙන්නුවා.

කන්‍යා සොහොයුරියකටම දැනෙන පංතියක තියා ගන්න බැරි අපරාධකාරයෙක් වගෙ පිස්සෙක් ජේසු බිළින්දාට යොදා ගත්තම ඒක ඔබතුමියගේ ආගමට හානියක් කියල මම යන්න හැරුණම ඇය එම පොත ඉල්ලා සිටියා.

අනතුරුව ඇය විශේෂ අධ්‍යාපනය ගැන පාඨමාලාවක් පවා කළා.පුතාව සෙනසුරාදට පල්ලියට ගෙන්න ගෙන සිංදු කියන්න පුරුදු කළා.ඒ සියල්ල වුණේ මේ පිංතූරය නිසා.එහෙත් ගංවතුරට අසුවුණු මේ පිංතූරය දැන අබලන් වෙලා.කා අතේ හරි තියෙනවනම් මට දෙන්න.ඒ වගේම ලක්ජන පුවත්පතේ මුල් පිටපතත් සැඩදියේ සැඟවිලා.ඒකත් තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න.

ස්තූතියි බොහෙවින්ම එය ලබා දිය හැකිනම්