Friday, September 30, 2016

නිමාලි තව දුවමු අපි!

ඉකුත් වසරේ ළමා දිනය දවසේ මගේ ළමයි දෙදෙනාගෙන් මා සතුටු විය.අද මීට සුළු මොහොතකට පෙර ළමයෙක් යැයි නොකීවද මගේ සිතේ මගේ දරුවෙක් මෙන් ජීවත්වෙන නිමාලි ලියනාරච්චි මට සතුට ගෙන ආවාය.ඒ වසර විසි හතරක් පැරණි මීටර් 800 කාන්තා ශී ලංකා වාර්තාව බිඳ දමමින්ය.ගාල්ලෙන් පැමිණි ශ්‍රියාණි ධම්මිකා මැණිකේ 1992 දී මෙහි ශ්‍රී ලංකා වාර්තාව දිනා ගත්තේ විනාඩි 2:03.85 ක කාලයක් වාර්තා කරමින්ය.අද දකුණේ සූරියවැව සිට යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයට සපැමිණි නිමාලි ඒ වාර්තාව සිය නමට ලියා ගත්තේ විනාඩි 2:03.5 ක කාලයකින්ය.නිමාලි මෙන්ම සූරියවැවෙන්ම පැමිණි ගයන්තිකාගේ මලල ක්‍රීඩා ජීවිතයට ද මා බෙහෙවින් සමීපව සිටියාය.ලැබෙන තොරතුරු අනුව ඇය ද පැරණි වාර්තාව ඉක්මවා තිබිය යුතුය.
තරඟයට පෙර දින රාත්‍රියේ මම නිමාලි සමඟ කතා කළෙමි.ඇත්තටම ඇය මා සමඟ කතා කළාය.ඒ මතකය ඇය සතු දුර්ලභ මනුස්සකමකි.එහිදී දොරේ අප්පා පිටියේ තත්ත්වය මෙන්ම සුළඟ ගැන ද ඇය කතා කළේ කණස්සල්ලෙන්ය.නමුත් ඇයට මා කීවේ ඇය විඳ තිබෙන දුක් කම්කටොළු,වේදනා හා ගත් විට ඒ සියල්ල සුළඟක්ම පමණක් බවය.ඇය ඔව් මම දෙයක් අත අරින්නෙ නැහැ ලේසියෙන් යැයි කීවාය.ඇය අද එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමෙන් අනතුරුව ද මා අමතමින් එය ක්‍රියාවෙන් ඔප්පු කළ බව කියන්නට තරම් කෘතවේදී වූවාය.
ඇය ගුවන් හමුදාවට සම්බන්ධ කිරීමට මා එකඟ කර ගත්තේ මා මිත්‍ර දීපාල් මුණසිංහය.ඔහු ඇයව හොඳින් බලාගත්තේය.ඒ මුළු ගුවන් හමුදාවේම ආදරය,සහ කරුණාව මෙන්ම මිත්‍රශිලී සහයෝගය ඇයට ලබා දෙන්නට දායකත්වය දෙමින්ය.ඇය එළැඹෙන 6 වන දා ගුවන් හමුදාවේ සහය ඇතිව ඉදි කළ නිවසට ගෙවැදීමට නියමිතය.රටේ රජ්ජුරුවොත්,ක්‍රීඩාවේ නාමයෙන් පහළ වූ කුමාරයාණන් ලෙස වැජඹි නාමල් කුමාරයා ද රට වෙනුවෙන් දුවන මේ කෙල්ල දුටුවේ නැත.
නිමාලි,ගයන්තිකාලා පමණක් නොව එරංගා දුලක්ෂි,පීඑච් චමල්ලා ද රට වෙනුවෙන් දුවන හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් තියා සාමාන්‍ය ක්‍රීඩා පිටියක් නවිකරණය කර දීමටවත් නොනැවතුණු ඔව්හූ සූරියවැවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ගෙනාවේය.අල්ලක් තරම් ඉඩ ඇති නිමාලිගේ ගේ උළුවහු පළල් කර දෙන්නටවත් නොසිතුවේය.නමුත් ගුවන් හමුදාව මෙන්ම සිය ප්‍රදේශයේ ක්‍රීඩිකාව රටටත් දකුණටත් ගෙනෙන කීර්තිය ගැන සිතූ සජිත් ප්‍රේමදාසයන් නිමාලි ට පමණක් නොව ගයන්තිකාට ද කොළඹින් නිවාස ලබා දීමට මැදිහත් විය.මෙය යහපත් වෙනසකි.ක්‍රීඩාවට සතුටකි.
ගයන්තිකා වෙනුවෙන් මා මහවැලි ඉඩමක් ලබා දීම සඳහා ලක්බිමේ සිටියදී රන්ජන් පරණවිතානයන්ගේ ආශිර්වාදය ඇතිව කළ මැදිහත් වීම අනුව එවකට මහවැලි ඇමති වූ මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇයට ඉඩමක් ලබා දීමට මැදිහත් වුණාය.මහ රාත්‍රියේ ඒ කටයුත්තට අදාළ ලියවිල්ල අත්සන් තබා එවකට ඔහුගේ පෞද්ගලික ලේ්කම්ව සිටි ජයසිංහ මහතා ලවා මට මහ රෑම දුරකථන ඇමතුමක් ද ලබා දුන්නේය.
මම අකුරු වීසි කර නැත.පිළිවෙලකට අතුර ඇත.ඒවායෙ පලය රටට ලැබෙමින් තිබේ.මා වගකීමෙන් මෙසේ කියමි.2020 ඔලිම්පික් පදක්කමක් හෝ අවසාන 8 දෙනා අතරට හෝ ලංකාව ගෙන ඒමට නිමාලිට හැකිය.ඒ සඳහා කෙන්යාව වැනි දුර දිවීමේ රටක විශේෂිත පුහුණුවකට නිමාලි මෙන්ම ඇය මෙහෙයවීම පිළිබඳව මේ වසරේ දක්ෂතම පුහුණුකරු ලෙස ජනාධිපති සම්මාන ලත් පුහුණුකරු සුජිත් අබේසේකර ද යොමු කළ යුතුය.එය 2019 වසරේ අග භාගයේ කළ යුතු දෙයක් නොවේය.දැන්ම කළ යුතු දෙයක්ය.
මලල ක්‍රීඩා සංගමයට ඒ බුද්ධිය පහළවීමට තව බොහෝ කාලයක් ගත වෙනු ඇත.ඊට පසුව ක්‍රීඩා ඇමතිතුමා ළඟ ද එහි නිලධාරීන් ළඟ ද පල්වන විට පෙරහැර ගොස් අවසන්ය.ඒ නිසා මේ සඳහා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා පළමුව මැදිහත්වන්නේනම් අපූරුය.
නිමාලි කර්කශ ජීවිතය ද ඔසවා ගෙන පැමිණ පළමු වරට ජාතික ජයග්‍රහණයක් ලැබූ දිනය මට අද වගේ මතකය.එදා ඇය කැඳවා ගෙන පැමිණ සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.ගැබ්බරව සිටි ඇය නිමාලි වෙනුවට මම අසන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දෙමින් ජීවිතය කියෙව්වාය.
මම ඒ සටහනකට ගෙන වෙඩ්ඩාට කීවේ රාවයේදී නොවේය.එවකට අප පදිංචිව සිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලා නිල නිවසේදීය.
මචං මේකි තාවකාලික දිවීමක් වෙයිද දන්නෙ නැහැ.
වෙඩ්ඩා මට කීවේය.ඒ ඒ තරමටම ඇයට නොදුවන්නට තරමේ ආර්ථික පීඩාවන් තිබුණු බැවිණි.දිව්වොත් ඉන්ටර්නැෂනල් මෙඩල් ගොඩක් අපි සිගරට් උරන අතර දෙඩුවෙමු.
ඒ නිසාම ඇය වෙනුවෙන් ලී ඒ සටහනට හෙඩිම වූයේ නිමාලි ඇය කෙතරම් දුරක් දුවන්නී ද වැන්නක්ය.නමුත් ඒ සටහනට ඉහළ ප්‍රතිචාර ලැබිණ.උදව් කරන්නට බොහෝ අය ඉදිරිපත් විය.නමුත් එය වගකීමක් ලෙස කරට ගන්නට එවකට ඇය ඉගෙනුම ලැබූ විදුහල්පතිවරයාට නොහැකි විය.නමුත් ඒ ගුරුපියාගෙන් අත හැරුණු නිමාලිව මම මගේ පීතෘ වගකීමෙන් අත් නොහැරියෙමි.ඇය කළකිරීමෙන් ඉවත් වෙන්නට උත්සාහ දරද්දී වෛද්‍ය ලාල් ඒකනායකගේ පීතෘ සහයද ඇයට ලැබිණ.පෑනෙන් දුවන්නට බැරිය.දුවන්නට හැකිය.ඊට පෑනට අකුරු උනන්හට හදවතක් තිබිය යුතුය.
දිනෙක තරග ප්‍රතිපල ලියන්නට හෝ සංචාර යන්නට පමණක් සෑදි පැහැදී සිටින අයෙක් අතින් විනාශ නොවුණොත් මගේ දියණිය ගැන ජීවිත කතාව මමම ලියමි.එය නගරයක් දෙවණත් වන්නට කෑ ගසන තරමේ මහා හඬක් සහිත ක්‍රීඩාවට පිවිසෙන්නෙකුට උද්යෝගය සපයන්නක් වනු ඇත.
ළමා දිනය පමණක් නොව අද වැඩිහිටි දිනය ද වන්නේය.ඒ් නිසා මා තරුණ වියේදීම නිමාලිව හැදිණ ගත්තේ සහ වැඩ කළේ වැඩිහිටිෙයෙක් ලෙස යැයි හැඟෙන්නේය.ඒ් නිසා මෙය වැඩිහිටි දිනයට ද තෑග්ගකි.
පියවරු දරුවන් අමතක කරන්නේ නැත.මා දමා ගිය දූවරු පුතුන් ගැන වුව කියන්නට ඇත්තේ එපමණකි.නිමාලිට ද දිනෙක මා අමතක විය හැකිය.ඒත් හැම ජයග්‍රහණයකදීම උඹ කීවා ද නොකීවා ද මම ද රන් හදවතේ පැළදගමි.
නිමාලි දැන් මම පළමු සටහනේ උද්ධෘතය වෙනස් කර කියමි.නිමාලි දුවන්නීය.ඒ රටද රැගෙන බොහෝ ඈතටය.
ජයවේවා දුවේ!

.විග්නේෂ්වරන් පරාජය කිරීම සහ අමාත්‍යංශයේ ගුල්ලන් ජය ගැනීම

C.V.Vigneswaran_2.png (545×341) Sports-Minstry.jpg (800×500)

දකුණේ ජාතිවාදී කණ්ඩායම්වල අවශ්‍යයතාවය ඇති කරන පෙළඹවීම කිරීමේ කොන්ත්‍රාත්තුව පවරාගෙන ඇත්තේ උතුරේ මහ ඇමතිවරයාය.ඔහු උතුරේ ජනතාවගේ අවශ්‍යයතාවයන් පිළිබද අරගල කිරීම සැබෑ නියෝජිතත්ත්වය පෙන්වීමක් වුව ද,දෙමළ සංස්කෘතිය විසින් සිංහල සංස්කෘතියට උතුරේ ඉඩක් නොදෙන තරමට ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීම අනුමත කළ නොහැකිය.වෛරී ප්‍රකාශනයන් කිරීම නොකළ යුතුය.මෙවැනි දේශපාලනයන්ගේ සූත්තර නිසා තිස් වසරක යුද්ධයෙන් බැට කෑවේ උතුර පමණක් නොවේය.රටමය.නමුත් උතුරට අහිමි කළ තිබූ දේ යුද්ධයට හේතු වූවා සේම යුද්ධයෙන් උතුරට අහිමි වූ දේ දකුණට සාපේක්ෂව විශාල බව ද අප පිළිගත යුතුය.

විග්නේෂ්වරන් ගේ වෛරී ප්‍රතික්ෂේප කිරීම්වලට විරුද්ධ තත්ත්වයක සිටිය ද,උතුරේ මිනිසුන්ගේ අයිතීන් සුරක්ෂිත විය යුතුය යන මතය ප්‍රතික්ෂේප කළ නොහැකිය.ඔවුන්ගේ ඉඩකඩම් දේපළ යළි ඔවුන් වෙත ලබා දිය යුතුය.ඒවා හමුදා කඳවුරුවලට පැවරී තිබිය යුතු බවට ගෙනෙන මතය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ලැජ්ජාවට කරුණක් වන්නේ ඔහු හෝ ඇය නියෝජනය කරන මතවාදයටමය.අනුන්ගේ දේපළක් පිළිබදව එය වෙනත් පාර්ශවයක් සතුව තිබිය යුතු බව කියන්නට කෙනෙක් උත්සාහ කරන්නේනම්,එය වසර 30 අධික කාලයක් පැවති  යුද්ධයට අවශ්‍යය පරිසරය සකස් කළ ගෝත්‍රික දේශපාලනයේ පිළිබිඹුවක්මය.

මහින්ද රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කරන පරිදි යළිත් ජාතිවාදය උතුරේ හිස ඔසවන්නේනම් හෝ යුද්ධ බීතිය නැවත නැගෙන්නේනම් හෝ වරද කාගේ විය හැකිද?යුද්ධයෙන් ඉනික්බිති කොමිස් සමඟ උතුරට වැඩම කළ කොන්ක්‍රීට් පරිසර මිනිසුන්ගේ ආත්මීය සුවය වෙනුවෙන් සහ සංහදියාව පිළිබද තිබෙන අනවබෝධය දුරු කර විශ්වාසනීයත්වය තහවුරු කරන්නක් නොවුණේය.එය එසේ නොකිරීම වසර පහකට ආසන්න කාලයක් අතපසු කර අද කොරහෙ කිඹුල්ලු දකින්නට මහින්ද පාර්ශවය දරණ උත්සාහයට කියන්නට ඇත්තේ , හිරිකිතය.සිය මස්සිනා එල්ලී සිටින සාටකයේ අනිත් කොන දැන් විග්නේෂ්වරන් ද එල්ලී ඇති අතර වාසු - විග්නේෂවරන් මස්සිනාවරු සුසංයෝගය ඊ ළග තත්පරයේදී උතුරේ සහ දකුණේ ඇති වන්නට හැකි අනොන්‍යය සබඳතාවය වැළක්වීමට පිඹුරුපත් සකසමින් ඇත.ඒ සාමය,සහයෝගය හෝ මිත්‍රත්වය යනු දේශපාලනයට බාධාවක් වන බැවින්ය.විසදන්නටඅරගලයක්,ගැටුමක් නැති වූ විට විසඳන්නට දෙයක් පෙන්වා නොදී ප්‍රතිපත්තිමය කරුණු මත පදනම්ව දේශපාලනය කිරීම ලංකාවේ දේශපාලන සංදර්භය තුළ ජනප්‍රිය කරුණක් නොවන බැවින්,ජාතිවාදය,ආගම්වාදය වැනි ගෝත්‍රික තත්ත්වයන් මතු කළ හැකි පදනමක් උතුරේ හෝ දකුණේ පවත්වා ගැනීම මේ ආකාරයෙන් බලය නඩත්තු කිරීමට උත්සාහ කරන්නන්ගේ විලාසිතාවය.

නමුත් මේ සියල්ල උඩු-යටි කුරු කර යාපනය දොරේ අප්පා ක්‍රිඩාංගණයට ජාතික ක්‍රීඩා උළෙල සපැමිණ ඇත.උතුරේ සහ දකුණේ සියල්ලෝ එකට එක්ව තරඟ වදිමින් සිටිති.වෙඩිවලින් උතුරේ සමාජ ප්‍රශ්න නිහඩ කර දකුණේ විසිල්වලින් ජීවත් වූ ආණ්ඩුව ඇති කළ සාමය ඉදිරියේ වුව එය යථාර්තයට සමීප කළ හැකි ආසන්නම මඟක් ලෙස ක්‍රීඩාව කැපී පෙණුනි.

යුද්ධය සමයේ ද උතුරේ ක්‍රීඩාවට සුළු හෝ ගණු දෙනුවක් දකුණ හා තිබිණ.නමුත් සාමය පැමිණෙන විටම මේ සටහන් කරු සිය ක්‍රීඩා ප්‍රකාශනයන් හී වරින් වර කී දෙයක් තිබිණ.ඒ මලල ක්‍රීඩාවේ පනින්නන් සහ දුවන්නන් උතුරෙන් බිහිවන බවය.මේ මොහොත වන විටත් එය යථාර්තයක් වෙමින් ඇත.ඒ සඳහා උතුර දකුණ අතර නිර්මාණය වූ දැණුම් හුවමාරු පාළම ද සෑහෙන බලපෑමක් ඇති කර ඇත.එසේම වොලිබෝල්,කබඩි සහ පාපන්දු ක්‍රීඩාවෙන්ද රටට අවශ්‍යය ක්‍රීඩක සම්පත් යාපනයෙන් සොයා ගැනීම අපහසු නොවනු ඇත.

උතුර ක්‍රීඩාවට දක්වන ආදරය සහ උනන්දුව කෙතරම් ද යන්න යුද්ධය නිමා වූ වහාම එහි පැවත් වූ නෙස්ටමෝල්ට් මැරතන් තරඟයෙන් පැහැදිළි කර ගැනීමට හැකිය.සහභාගි වූ ප්‍රමාණය 7000 ට ආසන්න විය.පළමු ආරම්භය වැරදියට ලබා ගෙන ඔවුන් කිලෝ මීටර් ගණනක්  දුව ගොස් නැවත කැදවා ගෙන පැමිණියේය.එහෙත් යළිත් බොහෝ උනන්දුවෙන් ඒ සියල්ලෝම නැවත දිව ගියහ.

ඉතාමත් ක්‍රියාකාරී දුෂ්කර ජීවිතයක් ගෙවන යාපනය මිනිසුන්ගේ ස්වභාවික ජීවන හැසිරීමේ වින්දනාතිමක කොටස ක්‍රීඩාවය.එය ජාතික වශයෙන් අප අවබෝධ කර ගත යුතුය.ඒ සංහදීයාව පිළිබද දේශපාලන කථිකාව හෘදයාංගම උවමනාවකින් මතු වන්නේනම් පමණි.ඒ නිසාම ජාතික ක්‍රීඩා උළෙල පිළිබඳව වචනයක්වත් නො'පවසා එහි සාර්ථකත්වය වළක්වන්නට විග්නේෂ්වරන් ක්‍රීඩා උළෙල ආසන්නයේ උතුරේ හර්තාලයක් පිටුපස සිට ගත්තේ ක්‍රීඩාවේ වින්දනාත්මක ප්‍රවේශය වළක්වන්නට ස්වීය දේශපාලන උවමනාවට නොහැකි බව දන්නා නිසාය.නමුත් විග්නේෂ්වරන් ඒ මොහොතේ උඩ ගොස් තිබෙන බව පෙණුනද,එය පදනම් කරමින් දකුණේ දේශපාලන ජාතිවාදය උස් හඪින් බෙරිහන් දෙන්නට පටන් ගත්තද,ඊයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් මීටර් 3.41 ක් රිටත් සමඟ ඉහළ ගිය ඇනීටා ජෙගදීස්වරන්, විග්නේෂ්වරන් පහළට වැට්ටුවේය.දකුණේ දේශපාලනයේ ජාතිවාදී හඬවල් තව දුරටත් ඇනීටා වෙනුවෙන් නැඟෙන ඔල්වරසන් හඬ අස්සේ නෑසී යනු ඇත.

නමුත් උතුරට ගිය මෙම ක්‍රීඩා උළෙලේ උතුරට ලැබුණු දේ මොනවාද යන්න අප සොයා බැලිය යුතුය.මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයම වාගේ උතුරේය.ජාතික ක්‍රීඩා උළෙල කරන විට මුළු අමාත්‍යංශයම උතුරට යා යුතුද?අත්‍යවශ්‍ය සේවා අධීක්ෂකයන් පිරිසක් පමණක් යොදවා උතුරු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් පිරිස හරහා මේ කටයුතු කළ හැකිව තිබිණ.නමුත් ඒ තත්ත්වය වෙනුවට ක්‍රීඩා උළෙලද උතුරේ ජනතාවගේ නිවාස සහ ඉඩම් අල්ලාගෙන හමුදා කඳවුරු බැඳ සිටින තත්ත්වයට පත් වී ඇත.කොළඹ ප්‍රජාව ක්‍රීඩා උළෙලේ සමස්ත පරිපාලනය අතට ගෙන තිබේ.

කොඩි කණුව පවා ජාතික ක්‍රීඩා උළෙලකට යන්නේ කොළඹ සිටය.එසේ යන කුලී ලොරි රථ කොඩි කණු බා එහි රඳවා ගන්නට නොහැකිය.යළි පැමිණිය යුතුය.එහෙත් යළිත් ඒවා ගෙන එන්නට ද ක්‍රීඩා උළෙල පැවත්වෙන ප්‍රදේශයේ වාහනයක් සොයා ගන්නේ නැත.නැවත වාහනය ඒ වෙනුවෙන් කොළඹ සිට යන්නේත් කොඩි කණු පටවාගෙන කොළඹ පැමිණෙන්නේත් සල්ලිවලටය.

මේ එකතුව බැලූ විට අවශ්‍යය කොඩි කණු ප්‍රමාණ්‍ය උතුරු පළාත් සභාවට කුලියට ගැනීමට පැවරුවද යන වියදමට වඩා බෙහෙවින් වැඩි එකක්ය.යන නිලධාරි සහ සේවක නඩය සියයට 50 න් අඩු කළ විට ඉතිරි විය හැකි මුදල කොපමණ ද?මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිලධාරීන් සතියට කී වතාවක් කොපමණ කාලයක් යාපනයේ ගොස් ඇත් ද?නමුත් අවශ්‍යය උපදෙස් ලබා දී ගෙවීම් ද කර නිලධාරි කිහිප දෙනෙක් යාපනයේ රැදෙව්වේනම් මේ කාලය තුළ ඔවුන් කාලය කළමණාකරනය කර ගනිමින් වැඩ කරනවා ඇත.

උළෙල අවසානයේ ක්‍රීඩා අමාත්‍යංශය නිලධාරීන් වෙනුවෙන් මේ ක්‍රීඩා උළෙල සංවිධානයේ දී යාපනයට යාම් -ඒම් සඳහා ගෙවා ඇති මුදල් ඉන්ධන වියදම් ද සමඟ ගණන් බැලිය යුතුය.නවාතැන් සඳහා කොපමණ වියදමක් දරා ඇත් ද?ක්‍රීඩා උළෙලට යාපනයට ගිය පිරිස් වෙනුවෙන් දරා ඇති නවා තැන් වියදම් කොපමණ ද?මේ වැය කරන්නේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් පහසුකම් ලබා දීමට යෙදිය යුතු මුදලයි.

බොහෝ විට විදෙස් සංචාරවලදී යන වියදම ගැන කතා කරන්නට ඉදිරිපත් වන කිසිවෙක් වසරක් පාසා මේ සිඳුවන නාස්තිය ගැන කතා නොකරයි.විදේශ සංචාරවලදී සීමිත පිරිසකට අවස්ථාව ලැබීම නිසා ඇති වන විරෝධය සහ වෛරය සමඟ එල්ලවන විවේචන ජාතික ක්‍රීඩා  උළෙල වෙනුවෙන් ඇති නොවීම ඛේදයකි.වසර හතරකට වරක් එන ඔලිම්පික් සදහා වන විවේචන තරමටම අවුරුද්දක් පුරා ඇති වන මේ විනාශකාරී වියදම ද නැවත්විය යුතුය.

පෞද්ගලිකව අදහස් දක්වන්නේනම් මේ ආකාරයට ක්‍රීඩා උළෙල කොළඹින් පිටට ගෙන යාම ම බොරු වැඩකි.නමුත් මේ මොහොතේ කොළඹ තිබෙන කෘතිම ධාවන පථවල තත්ත්වය ද අවුල් බැවින් ද,යාපනයේ පැවත්වීම ජාතික සංහදීයාවට පාර කැපීමක් ද වන බැවින් ද මෙයට එකඟ විය හැකිය.නැතිනම් වසර හතරකට වරක් කොළඹින් පිටට ක්‍රීඩා උළෙල ගෙන යාම සැළසුම් කර ඒ පවත්වන ප්‍රදේශයට කෘතිම ධාවන පථයක් ලබා දීමට කටයුතු කළ යුතුය.ඒ කොළඹ පැවත්වීමෙන් ඉතිරි කර ගත හැකි මුදලින්ය.ජාතීන් අතර ආගම් අතර සංහදීයාව සකස්කරන අතරම මේ ක්‍රීඩා උළෙලවල් ජාතික පරිපාලනය සහ පළාත් සභා පරිපාලනය අතර සංහදියාව සකසා ගැනීම සඳහා ද යොදා ගත හැකිය.එවිට බටා,ගමන් වියදම්,නවාතැන් වියදම්,ඉන්ධන වියදම් ලෙස අඩු වන මුදල් ප්‍රමාණය ක්‍රීඩා සංවර්ධනයේ වඩාත් ප්‍රායෝගික අවශ්‍යයතාවයක් වෙනුවෙන් යොදා ගත හැකිය.

එසේ නොවන තාක් ක්‍රීඩා අමාත්‍යංශය යකඩවලටත් ගුල්ලන් ගසන තත්ත්වයට ප්‍රදර්ශනය වීම වළක්වනු නොහැකිය.

Monday, September 26, 2016

රංගයි සිරසයි



රංග කියූ දේ කියා අවසන්ය.එහෙත් සිරස තවමත් රංගව කරට ගෙන බිම තබා නැත.ඔහුව ඔසවා ගෙන යන්නේ වතුර නැති වලකට අත හරින්නට විය යුතුය.නමුත් රංග කළන්සූරිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුර ඉල්ලා ගත් දෙයක් නොවන නිසා ඔහුට එය අතහැර යාම කජ්ජක් නොවන බව මේ වන විටත් පැහැදිළි කර අවසන්ය.

මට හිතෙන හැටියට රංග සිරසට නොව තවත් රජයේ ඉහළ මාධ්‍ය කණ්ඩායම්වලටද දිරවිය නොහැකි චරිතයකි.ඒ ඔහු පවතින මාධ්‍යය මාධ්‍ය ලෙස විශ්වාස නොකරන බවට හැඟෙන කතාම පතුරන නිසාය.නමුත් නිදහස් මාධ්‍යයක් පතන අයෙකුට සහ වගකිව යුතු මාධ්‍ය සදාචාරයක් මෙරට ස්ථාපිත කිරීමට රංග වැන්නෙක් අවශ්‍යය වන්නේය.

එහිදී රංගට සිරසවත්,සිරසට රංගවත් අත හැර යා නොහැකිය.

මම ගංවතුරෙන් හොදින්ම බැට කෑ අයෙක්ය.තවම එහි සුබසාධන යාන්ත්‍රණය නිවැරදිව අප වෙනුවෙන් ක්‍රියාත්මක වී නොමැත.ඒ මා පදිචිව සිටින ග්‍රාම සේවා කොට්ඨාශයේ ග්‍රාම සේවකගේ අපූරුවය.හරියටම මගේ ගෙදරින් වෙන් වන අල්ලපු වැටේ සිටින ග්‍රාම සේවක ඒ අතින් මරු ය.ඔහු ඒ ප්‍රදේශයට කළ සේවය ජනතාව නැවත ප්‍රකෘතියට ගෙන ඒම වෙනුවෙන් දැරූ වෙහෙස සම්මාණනීය කළ යුතු තරම්ය.

ග්‍රාම සේවක එසේ වූ විට ඇති වන ප්‍රතිපල ගැන මට ගංවතුර සමයේ අත්දැකීම් ගණනාවක් ඇත.මා දන්නා හඳුණන මිතුරන්ගෙන් මා අවට සිටින මිනිසුන්ට විශාල ලෙස උපකාර කරන්නට මට සිදු විය.ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ තරමය.ඇතැම් විට කොළොන්නාව ප්‍රදේශය භාරව ජනාධිපති කාර්යාලයෙන් යොඳවා සිටි මහතාට ද මේ තත්ත්වය විධිමත් කිරීමට හැකි නොවුණේ ඔහු කෙතරම් උනන්දුවක් දැක් වුව ද,මිනිසුන්ගේ හුරුව කණපිට ගැසීමට නොහැකි බැවින්ය.

එවැනි අවස්ථාවක දී සිරස පමණක් නොව අනෙකුත් මාධය ආයතන ද සිය ප්‍රවෘත්ති සම්බන්ධතා යොදා ගනිමින් කළ සේවය අගය කළ යුතුය.එහෙත් ඒවා ද නිසි පරිදි සිදු වූවා යැයි කියන්නට නොහැකිය.මොකද මේ කිසිවක් ඇතැම් දුෂ්කර ප්‍රදේශවලට නොපැමිණ රූපගත කිරීම් පහසු තැන් වලින් නැවතුණු බැවින්ය.එවා නැවත එතැන් හී සිට බෙදා හැරීම පැවරෙන්නේ යළිත් සුපුරුදු සාධාරණ නොවන කුසීත ක්‍රමවේදයටමය.

නමුත් ඒ මාධ්‍ය කාර්යය සුබ සාධන ක්‍රියාවක් නොවී වාර්තාකරණයකට පමණක් සීමා වුවා නම් ප්‍රශ්නය මීට වඩා බරපතල විදිහට රටට දැනෙන්නට තිබුණු බව රංග වුව පිළිගත යුතුය.නමුත් රංග පෙන්වා දෙන පරමාදර්ශි මාධ්‍ය මාධ්‍යයකට ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයකි.

එසේ නම් සිරස රංග ඉලක්ක කර ගත යුත්තේ නොවේ.රංග සමඟ එකට සිට ගෙන සිය ආයතනයට සුබ සාධන කාර්ය කරන්නට සිදු වූ ඇත්ත තත්ත්වය ලෝකයට ඉදිරිපත් කළ යුතුය.ඔවුන්ට පුරවැසියන් ලෙස සහ පුරවැසියන් සංවිධානය කළ හැකි ව්‍යහුයක් සහිත ආයතනයක් විදිහට සමාජයේ ඉටු නොවන වගකීමක් සඳහා ජනතාව පෙළ ගැස්වීමට සිදු විය.

රජයේ ආපදා කළමණාකරනය කරන්නට ඇති ආයතන සියල්ල මේ ගැටුම ගැන ලැජ්ජාවට පත් විය යුතුය.මෙවැනි සංවාදයකට හිදැසක් තැනෙන්නේ ඔවුන් විසින් අත හරින ලද වගකීම්වලින් බව පැහැදිළිය.ආපදාවට පත් වූ අය වෙනුවෙන් කටයුතු කිරීමට රජයේ නිලධාරීන් ක්‍රියා කරන්නේ දැනටද කබලෙන් ලිපට වට්ටමින්ය.

සිය වැඩ කටයුතු වතුරට සේදී ගිය මිනිසුන්ට හාල් කිලෝ 10 හෝ වෙනත් සොච්චම් සහනාධාරයක් වෙනුවෙන් පැය ගණනක් පෝලිම්වල සිටින්නට සිදු වීම කෙතරම් අමානුෂිකද යන්න මෙහිදී අවධානයට ලක් කළ යුතුය.උදාහරණයකට මේ මෑත දවසක රුපියල් දෙදහසක බඩු මල්ලක් වෙනුවෙන් ලැබුණු තැපැල්පත මගේ පුතු (ඔහුගේ තත්ත්වය දන්නා අය ඔහු ගැන දනියි) විසින් අතුරුදහන් කර ඇත.නමුත් එහි සඳහන් දුරකතන අංකයක් හරහා සම්බන්ධ තොරතුරු දැන ගැනීමට හැකියාව ඇති බැවින් ඒ අංකය අපේ නිවසේ වාතාවරණය දන්නා බැවින් බිරිඳ ලියා ගෙන තිබිණ.

එහි සඳහන් නම ඇත්තියගේ දුරකතනය වැඩ කළේම නැත.ඒ සම්බන්ධිකාරකගේ වගකීමය.ඒ නිසා ඒ බඩු මල්ල අහිමි වූ අතර අපව සම්බන්ධිකරණය කරන්නට අපගේ තොරතුරුවලට ඇමතුමක් දි එම තැපැල්පත හමුවූයේද නැද්ද යන්නවත් ඔවුන් විමසා සිටියේ ද නැත.

රජයේ නිලධාරීන් සිරස මෙන් එක දවසක් කටයුතු කළා නම් ග්‍රාමසේවා වසමට අදාළ තැනෙක විශ්වසනීය පුද්ගලයෙක්ට මෙම සහනාධාර බෙදීමේ වගකිම පවරා ඔවුන් ද සහභාගි වී මේ කාර්ය කළ හැකිව තිබුණි.රාජ්‍ය සේවකයාට එය වගකීමක් ලෙස දැනෙන්නේ නැත්තේ ඇයි ද යන්න විමසා බැලීම නොවටී.වැඩවසම් ක්‍රමයකට වැඩ කරන නෝනාවරුන් මහත්තුරුන් ඒ ආකාරයට කාලය වැය නොකළ යුතු බව ක්‍රමය විසින් ඒත්තු ගන්වා ඇත.

අද රැකියා සොයා එන බොහෝ දෙනෙක් රජයේ රැකියාම බලාපොරොත්තු වන්නේ නිදහස නිසා බව පවසන විට රට නිදිහස් වීමට කෙතරම් කාලයක් යනු ඇද්දැයි සිතා ගැනීමටවත් නොහැකිය.මේ ක්‍රමය ඇතුළේ මාධ්‍යයට සිය සංවිධානාත්මක හැකියාව තොරතුරු වාර්තාකරණයට සහ ගවේෂණයට වඩා දෙයකට භාවිතා කළ යුතුය.

මා ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස කළේ ද එයමය.ලියා පළ කිරීමෙන් නොනැවතෙන බව දන්නා නිසාම වගකිවයුත්තන්ට ඇවිටිලි කරන්නට විය.සාධාරණය ඉටු වන තුරු දන්නා කියන හැම සම්බන්ධතාවයක්ම යොදා ගනිමින් මේ තෙරපීම සිදු කළේය.

ඇතැම් විට අයෙක්ට නවාතැන් මගේ නිවසේ ලබා දීම ආසන්නම විසඳුම විය.රජය එය වගකීමක් ලෙස භාර ගන්නට චක්‍රලේඛ පෙරළමින් දගළන විට දරුවාගේ ක්‍රීඩාව නැවතී යා හැකි බව මා අත්දැකීමෙන්ම දැන සිටි බැවින් පළමුව මගේ මැදිහත්වීම කළේය.

උදාහරණයකට ඊයේ සජිත් ප්‍රේමදාස මහතා අතින් නිවාස ලැබුණු ගයන්තිකා සහ නිමාලි පෙන්වා දිය හැකිය.නිමාලිට පෙර මහවැලි කළාපයේ සිටි දක්ෂතම ක්‍රීඩිකාවන් වූයේ ගයන්තිකා සහ ඇගේ සොහොයුරිය නිලංකා ය.ඔවුන් දෙදෙනා ජාතික මට්ටමෙන් ද දක්වා ඇති දක්ෂතා සැළකිල්ලට ගෙන ඔවුන්ට ඉඩම් ලබා දෙන බවට මහවැලියෙන් ලැබුණු පොරොන්දුව වසර ගණනක් ඉටු වී නොතිබිණ.ඒ නිසාම එක්තරා ඇඹිලිපිටියේ පැවත්වෙන මහවැලි ක්‍රීඩා උළෙලකට මෙම ක්‍රීඩිකාවන් සහභාගි නොවන බව දැන ගන්නට ලැබිණ.එය ක්‍රීඩා උළෙලේ ආලෝකයට ගැටළුවකි.නිලධාරීන් ද එය දැන සිටියේය.

අපේ මාධ්‍ය හිතවතුන් හරහා එම සහභාගීත්වය සනාත කර දෙන ලෙස මහවැලි අමාත්‍යංශයේ නිලධාරීන් ඉල්ලිමක් කළේය.ඒ වන විට නිලංකා විශ්ව විද්‍යලයේ පරික්ෂණයකට සූදාන්මව සිටියාය.නමුත් ගයන්තිකා සිටියේ ගමේය.(සූරියවැව) මා ඇයට කතා කළ විට ඔවුන්ට සිදු වී ඇති අකටයුත්ත සහ රැවටීම ගැන පැවසීය.මා ඇයට ඉඩම ලබා දෙන බවට පොරොන්දු විණි.එය අභියෝගයකි.ඇය දිව්වාය.දක්ෂතම ක්‍රීඩිකාවද වූවාය.අනතුරුව දිනපතා ලක්බිම හරහා බලධාරීන්ට ඉඩම සහ ක්‍රීඩිකාවන් දෙදෙනා ගැන මතක් කරන්නට විය.වගකිවයුත්තන්ට කතා කරන්නට විය.අවසානයේ රාත්‍රියක 11 ට පමණ එවකට මහවැලි ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලිකව ලේකම්ව සිටි ජයසිංහ මහතාට පවසා තිබුණේ මගේ උනන්දුව ගැන කියමින් ඒ දෙදෙනාට ඉඩම් ලබා දීමට අවසර දුන් බව ඒ මොහොතේම කියන ලෙස ය.

නිමාලි ගැන ම වරක් නොව කිහිපවරක්ම කියා ඇත.ඇය මා නොසිටින්නට නොදුවන්නට ද තිබිණ.එය ඇයත්,ඇයගේ පුහුණුකරුවාත් දන්නේය.හැබැයි මේ කිසිවක් අන් මාධ්‍යවලට ප්‍රවෘත්ති නොවිණි.ඒ මා ඔවුන්ගේ මාධ්‍යයේ නොවන බැවින්ය.ඛේදය එයය.මාධ්‍ය අයිතිකරුවන් මාධ්‍යවේදීන් බිඳවා තිබීමය.ඒ නිසා ඇතිවන තරඟය සුබ සාධනයේදී ද දැනෙන්නට ඇත.ඒ නිසා පළමුව වාර්තාකරණය ලෙස රංග හඳුන්වන කාරණය එක හෙළාම පිළිගත යුතු වගේම මාධය ආයතන විසින් ස්වීය හැකියාවන් සහ බලපරාක්‍රමයන් යොදවාගෙන සුබසාධන කටයුතුවල නියැලීම ද වරදක් නොවන්නේය.

නමුත් තරඟය නිසා නිවැරදිව වාර්තාවන් ලැබෙන්නේ නැතිවාක් මෙන්ම ප්‍රවෘත්ති සඳහා කරන සුබ සාධන වැඩවලදී,සුබසාධනයේ වැඩි පරාසයක් කැමරාවලට ගමන් කළ හැකි මට්ටමේ නවතින නිසා නිවැරදිව සම්පත් බෙදීයාමේ ගැටළුව විසඳෙන්නේ නැත.උදාහරණයකට මා දින දෙකක් වහලයේ සිටියේය.ඒ වතුර පොදක්වත් ද නොලබමින්ය.මා පේන මානයේ ඉදිරිපස නිවසේ ආරක්ෂා සහිතව සිටින අයට ද කිසිවක් කළ නොහැකිය.ඔවුන් ද කනු වෙනුවට හැඩුවේය.කිසිම සංවිධානයකට අයත් නොවන ඒ ගෙදරට පැමිණි හිතවතුන් පිරිසක් මා එම මීටර් කිහිපය රැගෙන යන තුරු මට කිසිවක් නොලැබුණ ද,එළියට ආ පසු දැන ගන්නට ලැබුණේ විවිධ මාධ්‍ය ආයතන මඟින් අනුතරු අඩු පැමිණිය හැකි ප්‍රදේශවලට වීසි කරන්නට තරම් ආධාර ලැබුණු බවය.

මේ සඳහා විසඳුම මාධ්‍ය සුබසාධනයෙන් ඉවත්වීම නොවේය.රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව ප්‍රචාරනය පදනම් නොවුණු සුබසාධනයම පදනම් වූ ආධාර බෙදීමේ වැඩ සටහනක් පැවත්වීමය.මේ පොදු එකඟතා කමිටුව පිහිටුවා ගෙන තිබිය යුතු එකකි.එය ක්ෂණයකින් පිහිටුවීමට වඩා මෙවැනි නිදහස් මොහොතක පිහිටුවා ගෙන කටයුතු කරන්නේ නම් ඉදිරි අවස්ථාවන් හි ඇතිවන තත්ත්වයන්ට මුහුණ දිය හැකි තත්ත්වයක් නිර්මාණය කළ හැකිය.

එය රංගට කළ නොහැකිය.එක්කෝ ජනාධිපති හෝ අගමැති කළ යුතුය.නැතිනම් ආපදා කළමණාකරණ අමාත්‍යවරයා කළ යුතුය.මේ මාධ්‍ය ආයතන මෙන්ම සමාජ සේවා වෙබ් අඩවි මඟින් නිර්මාණශීලි අදහස් ඔස්සේ සියල්ලට පෙර තැබිය යුතු සුබ සාධන කටයුතු කළ පිරිස් ද මේ කමිටුවට එක් කර ගත යුතුය.ගංවතුර කෙතරම් විපතක් කළේ ද යන්න දැන් අමතක වෙමින් යන තරමට කාලය ගෙවී ගොස් තිබේ.තවමත් පශ්චාත් විමර්ශනයක් සිදු වි නැත.එහි දී ආධාර ලබා දීම බෙදා හැරීම සම්බන්ධයෙන් සෙල්ෆි කිහිපයකට පමණක් සීමා වෙමින් මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි කළ මෙහෙය සහ එය කළ අන්දම රජයට පමණක් නොව මාධ්‍යයට ද දැන ගැනීම වටින්නේය.

ඔවුන් යොදා ගත් පණිවිඩ හුවමාරු තාක්ෂණයම යොදා ගනිමින් වෙන රටක සිටියත් ජලය බෙදා හැරීමට මැදිහත් වූ ලක්ෂමන් නයනකාන්ත වැන්නන් ඒ කමිටුවට අනතර්ජාලය හරහා සම්බන්ධ කර ගත යුතුය.නලින් දිල්රුක්ෂ කළ යෝජනාව නිරාහාර මිනිසුන්ගේ කුස ගින්නට විශාල ආලොකයක් එක් කළේය.කසුන් සමරකෝන්,මංජුල සමරසේකර,හන්සි ජයසිංහ,කසුන් පුස්සෙවෙල,මධුෂාන් නානායක්කාර මේ මොහොතේ මතක් වන නම් කිහිපයකි.වගකීමක් ඇති අයෙක් මේ සටහන බලා කතා කළොත් තවත් මෙවැනි පිරිස් සොයා දෙන්නට හැකිය.

රංගගේ ප්‍රකාශය සහ සිරසේ හැසිරීම ඔස්සේ දෙපිළ බෙදෙන්නට පළමුව අප තේරුම්ගත යුත්තේ ශක්තිමත් ආපදා කළමණාකරන සේවයක් රටට නැති බවය.ඒවා පරණ ලියවිලි වල නීතිමය තත්ත්වයන් සැළකිල්ලට ගෙන කළ නොහැකිය.අද ද සිදුවන්නේ ආපදාවට පත් වූ අයට පැය ගණන් අව්වේ වේලෙමින් පෝලිමේ සිටිමින් ඔවුන් කළ වරදකට දඩුවම් විඳින අයුරෙන්  නිලධාරින් බැහැ දකින්නට අව්වේ තපින්නය.පළමුව මේ පීඩාවෙන් පීඩාවට පත් ජනතාව පීඩනයට ලක් කරන එක නවතා ඔවුන්ගේ සහන ඔවුන් අතරට ගෙනියන්නේ කෙසේද යන්න පිළිබඳව කතිකාවක් සැකසිය යුතුය.ඊට රාජ්‍ය ආයතන මෙන්ම,මාධ්‍ය ආයතන ද,සමාජජාලා වෙබ් අඩවි හරහා සේවය කළ අය ද එක් කරමින් සාකච්ඡාවක් ඇරඹිය යුතුය.ඊ ළඟ ගංවතුර,නායයාම හෝ දැඩි නියඟය එන තෙක් මෙය ප්‍රමාද කළ යුතු නැත.

රංගගේ තනතුරට සුදුසු දැණුමෙන් පෙන්වා දෙන කරුණු සහ සිරසේ ඊට ප්‍රතිවිරුද්ධ සටන ඇති වන්නේ ආපාදා කළමණාකරණය පිළිබදව ප්‍රතිපත්තිය සහ ක්‍රියාවට නැංවීම පිළිබදව ඇති හිස් තැන් නිසාය.මේ මොහොතේ සිරස තේරුම් ගත යුත්තේ මෙන්ම අප සිරසින් කල්පනා කර තේරුම්ගත යුත්තේ ද එයයි.ඒ නිසා මීට මැදිහත් වන්නන් සිරස හෝ රංග පසුපස පෝලිම් ගැසිම පසෙකළා ඒ මොහොතේ රජයට කළ නොහැකි වූ ආධාර බෙදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහ ඒ සඳහා අලුත් අදහස් එකතු කළ පිරිස් එකට එක් කර ජනාධිපිතවරයාගේ ද,අගමැතිවරයාගේද මැදිහත් විම ඇතිව ආපදා කළමණාකරනය පිළිබදව අලුත් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාදාමයක් ඇති කිරීමට මැදිහත් විය යුතුය.