Friday, April 21, 2017

ලංකාවේ දේශපාලනයට සතුන් ඕනෑකර තිබේ


මම මුහුණු පොතේ සැරිසරන විට අද මුහුණු පොත බක්මහ උළෙලේදී අතට අත දී සුබ නොපතන ලෙස දුන් වැදගත් උපදෙසක් දුටිමි.ඒ සමඟ එම මුහුණු පොතේ පහළට යද්දී දුටුවේ රනිල් වික්‍රමසිංහට මුකවාඩමක් නැතිව පැය භාගයක් සිටින්නට නොහැකි වීම ගැන ඒ උපදේශකගේ විවේචනයක්ය.
එයින් ද කෙනෙකුට යමක් දැන ගන්නට හැකි බව මට හැඟේ.එසේනම් ඒ නිර්වචනයෙන් පැහැදිළිවන්නේ විෂබීජයක බලපෑමක් එල්ල නොවී පැය භාගයක් සිටිය හැකි බවය.
සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නට සමාජයට ඉඟැන්වීම නායකත්වයක් බව මට හැඟේ.නිරෝගීකම වෙනුවෙන් එම හැසිරීම වැදගත්ය.නමුත් බොහෝ අයට ඇත්තේ නායකයෙක් යනු සිය සෞඛ්‍යය ගැන නොසිතා කටයුතු කළ යුතු අයෙක් බව හැඟීමක්ය.ඉහත මුහුණු පොතේ සටහන් දෙක පැහැදිළි කරන්නේද එයම නොවේද?හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම හෝ ඒ අනුව කටයුතු කිරීම දේශපාලන නායකයෙක්නම් අනුචිතය.
එසේනම් දේශපාලුවා ශික්ෂණයක් හෝ සංවරයක් නැති සතෙක් වැනි එකෙක් විය යුතුය.ඔහු බුද්ධිමත්ව කටයුතු නොකරන සිතා වැඩ කිරීමේ හැකියාවෙන් තොර සතෙක් වැනි එකෙක් විය යුතුය.
අතැම් දේශපාලනයන්ගේ හැසිරීම සතුන් පරිදිය.ඒ දේශපාලනඥයන් තෝරාගන්නේ මිනිසුන්ය.ඒ ගැන පුදුම වන්නට දෙයක් නැත්තේ මෙවැනි සටහන්වලින් සතුන් ඉල්ලන පිරිස් සිටින බව පැහැදිළි වන නිසාය.
රනිල්ගේ කට හරියෙන්ම වැඩේ නැවතිණ.මුකවාඩම නොදැම්මේනම් පිංතූරයේ පහළට එන්නට සිඳුවනු ඇත.එහිදී සපත්තුව හසුවිය හැකිය.ඒ වර්ගය සහ වන්දියක් ලෙස පොට වරද්දාගෙන කෑගහන රක්ෂණාවරණයේ ලක්ෂය සහ සපත්තුවෙ ගාණත්,සපත්තු දෙකක් නොදා ඇවිදින්නට නොහැකි එකෙක් ලෙස අවමානයත් අලවා විවේචන අරඹනු ඇත.
ඕනෑම කුණු ගොඩක වසන කපුටෙක්,කුණක් ඇඳ කන සහ එහි රිංගන කබරයෙක් හෝ බල්ලෙක් මෙවැනි අදහස් දරණ පිරිස වෙනුවෙන් පත් කර ගැනීමට හැකි වන පරිදි සත්තුන්ටද ඡන්දය ඉල්ලීමේ අයිතිය ලබා දිය යුතුව ඇත.
රනිල් හෝ ඔහුගේ දේශපාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නැත.තමන් දරණ දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමට ද,ඊට විරුද්ධමත විවේචනය කිරීමට ඇති අයිතිය ද අගය කරමි.එහෙත් විද්‍යාත්මකව පිළිගත් සෞඛ්‍ය පුරුදු ප්‍රදර්ශනය කරන විට ඊට අගයක් දීම වෙනුවට සහ එය සමාජ ආදර්ශයක් ලෙස නොගෙන දේශපාලකයා ඌරෙක් බල්ලෙක් හෝ කපුටෙක් ලෙස හැසිරිය යුතුය යන්න සමාජ මතයක් කරන්නට වෙර දැරීමනම් නින්දිතය.
දීර්ඝ සංචාරයකින් පසුව,වෙහෙසකාරි තත්ත්වයක තිබෙන සිරුර වෙනුවෙන් ගත් සෞඛ්‍යමය තීන්දුව එබඳු වුව ද,මිනිසුන් රැඳී සිටින තැන්වලදී ඔහු සමීපව හැසිරිණ.මෙය විනාඩි කිහිපයක වෙනස් වීමකි.එය කාටවත් නොපෙනී මුකවාඩමම ගිල දමන්නට බලන මානසිකත්වය සහ එවැනි මත සමාජයට බෝ කරන්නට යාම අශ්ලීලකමකි.
නායකයා හොඳ පුරුදු ඇත්තෙකි.නායකත්වය ලැබෙන්නේ හොඳ පුරුදු ඇත්තෙක්ටය කියන ආදර්ශය දරුවන්ට කියා දෙනු වෙනුවට නායකයා කියන්නේ සහ හොඳ පුරුදු කියන්නේ ඕනෑම අනාරක්ෂිත තැනෙක (කුණු ගොඩක) සෞඛ්‍ය පිළිබඳව කිසිම සැළකිල්ලක් නැතිව රිංගන ඌරෙක්,බල්ලෙක් හෝ කබරයෙක් වැනි අයෙක් බව ද මේ පහදමින් සිටින්නේ.

Sunday, April 16, 2017

මීතොටමුල්ලෙ කුණු

මම තැන් කිහිපයක කුණු කන්ද ගැන ලිව්වා.ඒත් මේ කන්දෙ ඇත්ත හැංගිලා තිබුණු ඒ වටා හිටිය බොහෝ දෙනෙක්ගෙ ජීවිතවල ඇත්ත හෙළිකෙරෙන සමාජ දේශපාලන කතාව තේරුම්ගන්න පුළුවන් අත්දැකීමක් මා සතුව තියෙනවා.
මම අනුරුද්ධ බාලිකාවේ යම් යම් කලා කටයුතුවලට සම්බන්ධ වුණාම ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන අම්ම කෙනෙක් හිටියා.
"මුන්ට මොනව හරි දෙයක් ඉගෙන ගන්න එක තමයි ස්ර් තියෙන එකම ගැලවීම"
ඒ අම්ම තමන්ගෙ දරුවෙිතරක් නෙමෙයි අනිත් දරුවොත් පත්වෙලා ඉන්න ඉරණමෙන් ගොඩ එන්න මොනව හරි ඉගෙන ගන්න ඕනි කියන එක නිතරම විශ්වාස කළා.දරුවන්ගෙ විනය ගැන ඕනවටත් වඩා උනන්දු වීම නිසා ඇතැම් කෙල්ලො ඇය සමඟ උරණවත් සිටියා.ඒත් ඇය අවංකවම එහි සිටින බොහෝ දැරියන් ජීවත්වෙන පරිසරය වෙනස් විය යුතුයි.ඒ සඳහා එම දියණිවරු වෙනස් විය යුතුයි කියලා කල්පනා කළා.
ඔය අතරෙ තමයි 2011 විතර ඉදලා කුණු කන්ද ගොඩ ගැහෙන්න පටන් ගන්නෙ.ඒකට විරුද්ධවත් ඇය පෙරට පැමිණියා.ඒ් අරගල නිසා ඇය රක්ෂිත බන්ධනාගාරයට පවා යොමු වුණා.අතමිට හිඟ වුවත් තමන් ජීවත්වෙන පරිසරය භෞතිකවත්,ඒ මිනිසුන් අධ්‍යාත්මිකවත් වෙනස් විය යුතු බව සිතූ ඒ සටනෙ හිටියෙ අවංකවම.
නමුත් සියල්ල දෙදරා යන මොහොතක් එනවා.ඇයගේ වැඩිමහල් දියණියම ඇය සමජය දකින හීනයෙන් පැන යනවා.ඒ සාමාන්‍ය පෙළවත් කරන්න පෙර කොළොන්නාව නගර සභාවෙ සේවකයෙක් එක්ක හොර රහසේම දීග කන්නට යාම නිසා.
ඇය පාසලෙන් ඈත් වෙනවා.පාසලේම දියණිවරුන්ගෙ විනය ගැන සිතූ අම්මාගේ දියණිය රැක ගන්නට අපොහොසත්වීම නිසා ඇය ආත්මීය වශයෙන් දැඩි පසුබෑමකට ලක් වෙනවා.ඇය සමාජමය වශයෙන් පැතූ අපේක්ෂාවන් වෙනුවෙන් කළ සමාජ මැදිහත්වීම්වලින් ඈත් වී ගෙදර හුදෙකලා වෙන්න යන කොට ඇයට වෙනදට වඩා භෞතික ගැටළු ටික දැනෙන්න ගන්නවා.ඇය මේ දක්වා විඳි ඒ දේවල් දරා ගන්න අපහසු විදිහට ඇය කඩා වැටෙනවා.
කුණුකන්ද වෙනුවෙන් ඇයගේ හඩ නිහඬ කරන්නට ඒ සමඟ බැදුණු දේශපාලනය අවස්ථාවක් හොයා ගන්නවා.ඇයට කුණු වලේම රැකියාවක් ලැබෙනවා.කුණු අදින්න හෝ තෝරන්න නෙමෙයි එන ලොරිවලට ප්‍රවේශපත් නිකුත් කිරීම වගේ රැකියාවක්.කුණු වලට එරෙහි වූ ඇයට රැකියාව ලෙස කුණුවල රකින්න වෙනවා.
මේ සිදුවීමෙන් පසුව ඇය ගැන තොරතුරක් ගන්න මම සෑහෙන්න වෙහෙසුණා.ඒ දරුවො ගැන ඇය ගැන කිසිවක්ම මේ වන විටත් සොයා ගන්න නැහැ..ඒත් මේ පරිසරය මිනිසුන්ගෙ අරගලවලට සළකන හැටි,ඒවයෙ ඉරණම තීරණය කරන හැටි ඇයගේ ජීවිතය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. කුණු කින තත්ත්වයට මිනිසුන්ගෙ ඔළු හදන සමාජමය තත්ත්වය වෙනස් වෙන්න ඕනි.මීතොටමුල්ලෙ ඇය වගේ පරාජය කර කුණු ගොඩට ඇද දැමූ ගැහැණුන් නොව විශාල වශයෙන් කුණු ගොඩ ජයග්‍රහණයක් කර සිතූ අයත් සිටියා.ඒව පිටුපස දේශපාලනය විතරක් නෙමෙයි මහා යකඩ මාෆියාවේ සෙවණැලිත් තිබුණා.කුඩු,ගංජ ව්‍යාපාරයන්ගෙ අවශ්‍යයතාවයත් තිබුණා.
මම කාපු ටොෆි කොළෙත් ඔතන ඇති අපිත් වැරදියි කියලා පසුතැවෙන අයත් මේ මොහොතෙ ඉන්නවා.ඒව හරි සංවේදීයි.ඒත් සමහරු යෝජනා කරන විදිහට තමන්ගෙම ගෙවත්තෙ කුණු පොහොරබවට පත් කරන ව්‍යාපෘති හදන්නනම් මිනිසුන්ට ගෙවල් අයින් කරගෙන කොම්පෝස්ට් වළක ජීවත්වෙන්න වෙනවා.හුඟ දෙනෙක්ගෙ උරුමය පර්චස් දෙකයි තුනයි.මටත් එහෙමයි.මගෙ අවට තත්ත්වයත් බොහෝ විට එහෙමයි.
ඒ නිසා මේ කුණු දාන එක නවත්තන එකම නෙමෙයි වැඩේ.දැනට ජීවත්වෙන අයගෙ ජීවිත බේරගන්න ආණ්ඩුව බලහත්කාරයෙන් හරි මැදිහත් වෙන්න ඕනි.වතුර බහින ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න ඕනි.දැනටත් කුණු කන්ද හේදිල එන වතුර අවට පහත්බිම් ජලයෙන් යට කරමින් තියෙන්නෙ.සමාජ ප්‍රශ්න ගොඩක් මැද්දෙ සංවේදීවෙමින් ඔවුන්ගෙ කඳුළු ඉදිරියෙ මුදු වෙන්න යාමට වඩා රළු විදිහට මේ ප්‍රශ්නයට යොමුවෙන්න ඕනි.
ජනපති මැදිහත් වෙයි කියලා අඩන අයව නලවන්න,විරෝධයපාන්නන් සනසවන්න යන කාලයක් නැහැ.ස්ථීර නිවාස නැතව මේ ඉඩම්වලට අත තියන්න එපා කියලා චීවරධාරීන් කෑගහන්න සූදානම් වෙයි.මේ නැති කරන්නෙ බෞද්ධයන්ගෙ අයිතිය කියයි.ඒත් දානෙ ටිකක් දෙන්න නිරෝගි මිනිහෙක් ජීවත් කරන්නනම් මේ අය පළමුව තාවකාලික තැනකට ගාල් කරන්නම වෙනවා.හැබැයි හැකි ඉක්මණින් ඔවුන්ට සිය දේපළවල වටිනාකම දෙන්න.ස්ථීර පදිංචිය දෙන්න.සුනාමියට හසු වූ අයගේ ඉරණම අත් නොකරන්නත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා.