Thursday, February 2, 2017

සයිටම් අයිටම් එක

මේ දිනවල තලු මරන්නට ලැබී ඇති අයිටමය සයිටමය වන්නේය.සයිටමයෙන් එන ඩෙකාලා අවුල් වන්නේ ප්‍රමිතියෙන්නම් ඒ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුය.ඒ සඳහා රජයේ රෝහල්වල සායන පහසුකම් ලබා දිම වැළක්වීමෙන් ප්‍රමිතිය ඉහළ නැංවීමට බාධා ඇති වන්නේය.ඒ සඳහා ඇති බාධා ඉවත් කර සායනික පහසුකම් වෙනුවෙන් රජයෙන් සයිටමයෙන් අය කරන මුදල ඉහළ දමා එය රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ මෙන්ම  රජයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවල තත්ත්වය ඉහළ නැංවීමට සහ වැඩි සිසුන් පිරිසක් වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කර ගත හැකි අන්දමට පහසුකම් සැපයීමට යොදා ගන්නට හැකිය.

ගැටුමේ ස්වභාවය ඒ ආකාරයෙන් වූවා නම් හාමුදුරුවන්ට කඳුළු ගෑස් පූජා ඉදිරියේ බැමි වලින් පැන වැඩමවන්නට වන්නේ නැත.අධ්‍යාපන කටයුතුවලට බාධා වන්නේද නැත.මේසයක ඉදගෙන රජයේ වියදමෙන්ම තේ එකක් බ කේක් කෑල්ලක් ද කා වැඩේ නිමා කර ගන්නට තිබිණ.

තව දුරටත් සොයා බැලිය යුත්තේ සයිටමයේ වෛද්‍ය අයිටමයට බඳවා ගන්නා සුදුසුකම් ය.එය එස් බී උන්නැහේ කියනා හැටියට වැඩ 3 යි සම්මාන 2 යි යන ප්‍රමිතියෙන් යුක්තනම් අවුලක් නැත.එය රටටම පොදු ප්‍රමිතියකි.

ආණ්ඩුවේ බඳවා ගැනීම දිස්ත්‍රික් මට්ටමට යද්දී වෙනස් වෙයි.එකම ප්‍රතිපල සීමාවේ නොරැදෙයි.ඒ පළාතෙන් පළාතට ඇති පහසුකම් සළකා ඇති කළ තත්ත්වයක්ය.කෙසේ හෝ දුෂ්කර පළාත්වල ඉහළ ප්‍රතිපල ගන්නා අය ද සොයා බලන විට කොළඹට,මහනුවරට,කුරුණාගලට හෝ ගම්පහ වැනි තැනෙක පංති ආ උදවිය ය.නමුත් පෙනී සිටින දිසාව මිස පෞද්ගලික පංතිවලට ආ දිශාව ගණනයට අදාළ නැත.

වටේම කැරකී බලන විට ලක්ෂ 120 ක් දී දොස්තර වීම මෙහි ප්‍රධාන ගැටළුවය. වෛද්‍යවරුන්ට තව දේවල් තිබිය හැකිය. එකක් වෘත්තීය තරඟකාරීත්වය වැඩි වීමය.එවිට සැර බාල කරන්නට වීම ද එක්තරා අන්දමක ගැටළුවකි. එහෙත් පොදු විශ්ව විද්‍යාල ප්‍රජාව පෙන්වන්නේ අධ්‍යාපනය විකිණීමනම් වන ප්‍රාථමික ගැටළුවකි. ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරු ද ඇතැමෙක් තමන්ගේ වියදමෙන්ද තවෙකෙක් රජයේ ශිෂ්‍යත්ව මඟින් ද ගෙවා සිය සුදුසුකම් වැඩි කර ගෙන තිබෙන බව ඔවුන් දන්නේ නැත.ඒ ලෝකයේ දැණුමට මිලක් තිබෙන බැවින්ය.
එසේනම් දැන් මේ මැදිහත්වීම කරන්නේ කා වෙනුවෙන් ද යන්න නැවත සළකා බැලිය යුතුය. රටේ බඳු මුදලෙන් ඉගෙන රජයේ බදු නිදහසෙන් ලක්ෂ 120 ක කාර් ද ගන්නට හැකියාව ඇති පිරිසක් ලක්ෂ 120 ක් ගෙවා සිය වෘත්තියටම පිවිසෙන්නට සූදානම් පිරිසකට එරෙහිව කරන අරගලයකට අනෙකුත් විශ්ව විද්‍යාල ප්‍රජාව දායක වී ඇත.ඊට අමතරව ඔවුන්ට පෞද්ගලිකව ලක්ෂ ගණනක් හම්බ කර ගන්නට අවස්ථාව ඇත.එවැනි තත්ත්වයක සිට කරන සටනක සාධාරණය අපේක්ෂා කරන්නට නම්,අඩුම තරමේ රජයේ වෛද්‍යවරු කිසිවෙක් ඒ සටන වෙනුවෙන් වෘත්තියට පිවිසීමෙන් පසුව ලැබෙන බදු සහන භුක්ති නොවිද තමන්ට ඉගෙන ගැනීමට වියදම් කළ ජනතා මුදලට කෘතවේදී වන බව කිව යුතුය.එසේත් නැතිනම් පෞද්ගලික සායනවල ප්‍රතිකාරවලින් වැළකී සිටින බව කිව යුතු වන අතර එසේ යෙදෙන්නේනම් තමන් රජයේ රෝහලක හෝ සායනයකට සහභාගී නොවී පෞද්ගලික අංශයේම සේවය කළ යුතුය යනුවෙන් වෛද්‍ය සංගම් විසින් වෛද්‍යවරුන් වෙත බලපෑමක් කළ යුතුය.

එසේම රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීම සඳහා සයිටමය මෙන් පොදු ලකුණු මට්ටමක් රටටම අදාළ කර ගත යුතුය යනුවෙන් තර්ක කිරීමද එම සංගමයට කළ හැකි ධනාත්මක මැදිහත් වීමකි.දැන් සිඳුවන්නේ තිබෙන තත්ත්වයන් යටතේ සයිටමය කපා ඉවත් කර දැමිය යුතුය යන සටන් පාඨයට අමතරව අප ඒ වෙනුවෙන් ජනතා බදු මුදලෙන් වෛද්‍යවරුන් වීමෙන් පසු ලැබෙන මෙන්න මේ දේවල් ප්‍රතික්ෂේප කර එය රටේ සුබ සිද්ධියට යොදවන්න සූදානම් යනුවෙන් නොපැවසීමය.

අපට තියෙන ඔක්කොමත් දීලා තවත් දේ ඕනෑ කියා ද වර්ජනය කරන සංගමයක් තවත් කෙනෙක් ලබා ගන්නා දෙයක් ඔහුට ලබා නොදෙන ලෙස කීමේ දී පුංචි හිරිකිතයක් ඇති වන්නේය.ඒ හිරිකිතය ඉවත් කර ගැනීම සඳහා කළ හැකි මැදිහත්වීම නම් ඒ දේ දිය යුත්තේ මෙසේය කියා ප්‍රමිතියක් සැකසීමය.ඒ සඳහා රජයේ රෝහල් ලබා නොදෙන්නයැයි කීමට වඩා වැදගත් ඒ සඳහා රජයට කරන ගෙවීම වැඩි කරන ලෙස පවසා එයින් රජයේ වෛද්‍ය විද්‍යාලය පෝෂණය කළ හැකි මඟක් යෝජනා කිරීමය.

එසේ නොවනතාක් සටන්පාඨ වලට හිර කර තිබෙන ඔළුවලට නොදැනෙන හිරිකිතයක් විවෘතව මේ දෙස බලා සිටින්නෙකුට දැණෙනු වළක්වන්නට නොහැකිය.තියෙන දේ වලට අමතරව තවත් දේ ඉල්ලා ද වර්ජනය කරන  වෛද්‍යවරු වෙනෙකෙක්ගේ අයිතිය සහ හිමිකම කප්පාදුකිරීමට දැඟළීම යම් ම්ලේච්ඡ තත්ත්වයකි.සටන අනෙකාගේ මස් රාත්තල ගැනනම් එය ලබා දෙන පිළිවෙල සකස් කිරීමකට හෝ ඒ සටන රට වෙනුවෙන් වන අවංක හැඟීමකින් නම් ඒ හැඟීම මත ක්‍රියා කර සටන වෙනුවෙන්  තමන්  අත් හරින්නට සූදානම් වරප්‍රසාද පිලිබඳව ප්‍රකාශයක් තිබිය යුතුය.

ඒ කිසිවක් නැත. දැන් ඇත්තේ හඳ ඉල්ලා හඬන පොඩි ළමයෙක්ගේ හැඩීමක්ය.එසේත් නොවන්නේනම් අනෙකාට ඉරිසියාව දැක්වීම ජාතික මට්ටමට ගෙනා බොළඳ වැඩ පිළිවෙළක්ය.