Friday, December 7, 2018

රැඳවි සොයුරන් සමඟ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට



2018 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ “සිංහයා සහ වහලා“ නාට්‍ය පිළිබඳව චර්ණ රූපවාහිණියෙන් සිදු කළ වැඩ සටහන.මෙහි රංගන දායකත්වය දැක් වූවේ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් වීම විශේෂත්වයකි.ඒ සඳහා නිලධාරින් දෙදෙනෙක්ගේ සහ එක් නිලධාරිණියකගේද සහය ලැබිණ.භාහිරෙන් අංග රචනය සඳහා සුමේධ හේවාවිතාරණගේ ද,ආලෝක කරණය සඳහා අමිල කොඩිතුවක්කුගේද,පසුතල සහ ඇදුම් නිර්මාණය සඳහා ක්‍රිස්ටින් රූත්ගේද සහය ලැබිණ.සංගීත නිර්මාණයද රැදවි සොහොයුරෙක්ගෙනි.

Monday, December 3, 2018

ඉස්සරහට කල්පනා කර ආපස්සට හැරෙන්න

See the source image
පාර්ලිමේන්තුවේ 225 ම කීවද රනිල්ට අගමැතිකම දෙන්නෙ නැහැ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන දරන අදහස ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය.බහුතරය වෙනුවට ඒකාධිපතියෙකු ලෙස හැසිරෙන බවට ඔහු කරන තර්ජනය රනිල් විරෝධීන්ට ආතල් එකක් වන්නේ කෙසේද?
ඒ රනිල්ට ඇති අකමැත්ත නිසා පමණය.
ඒ අකමැත්තෙන් වැසී ඇති රටේ හෙට දවසේ බරපතල අනතුර අතහැර දමා සිටියි. මෛත්‍රී මේ දක්වාත් අනාගතයටත් පහළ වූ ඔය ජාතියේ එකම නායකයා නොවනු ඇත.දෙවන අවස්ථාවේදි බිහිවන්නේ ඊටත් වඩා දරුණු එකෙකු විය හැකිය.ඒ අනුව අපේ දරුවන්ට බහුතරය පිලිනොගන්නා මෙවැනි උන්මත්තක ගති ඇති ඒකාධිපති මනසකින් යුතු වඩා දරුණු අයෙකුගේ ඉලක්කය වන්නට අප ඉඩ දෙමින් සිටිමු.
ඔවුන්ගේ ජනමතයට ප්‍රජාතන්ත්‍රවාදයට මෙවැනි ඉඩක් තැබීම යුතුකම හෝ වගකීමද යන්න සිතා බැලිය යුතුය.රනිල් යනු මේ රටේ අගමැතිම විය යුතුය යන මතයේ මම ද නොවෙමි.නමුත් ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම ව්‍යස්ථාපිත නොවන තැන,ඒ ක්‍රියාවේ දරුණුකම අදටත් වඩා හෙටට බරපතලය.ඒ තත්ත්වය ජනාධිපතිවරයාට ඇති අයිතියක් ලෙස අප පිළිගන්නේනම් එය පූර්වාදර්ශයක් කර අපටත් අපේ දරුවන්ටත් අනාගතයේ විඳින්නට විය හැකි ඕනෑම තත්ත්වයකට අපි ආශිර්වාද කරන්නෝ වෙමු.
ජනාධිපතිවරයාට අනුව රනිල් ඉවත් කිරීමෙන් වෙනස් වූයේ මොනවාද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති හැම ප්‍රශ්නයකටම වර්ජනය කරන ඒක නැවතීම හැරෙන්නට දෙයක් සිදු වි නැත.ඔවුන්ද මහින්ද රාජපක්ෂ හිතවතුන්ද පැවසූ සිංගප්පූරු ගිවිසුම වෙනස් නෙවෙන බවට ප්‍රතිඥා දෙමින් ඇත.ඩොලරයේ නැඟීම ගැන කළ විවේචන වෙනුවට ඒය අතින් අල්ලා නවත්තන්නටදැයි අසන තත්ත්වයට පත් ව ඇත.ඒජාපයට ඒල්ල වූ චෝදනාවලින් ඉතිරිව ඇත්තේ දැන් මහබැංකු චෝදනාව පමණි.ඒයට ඒජාපයම අභියෝග කරමින් මුදල් ගත් අය හෙළිදරව් කරන ලෙස කීවත් මෛත්‍රීපාල සිරිසේන ඒය ඒළියට දමන්නේ නැත. යහපාලන රජයට කළ අන් සියලු චෝදනා මේ රජය යටතේද සිදු වූ අතර පෞද්ගලිකව මා විසින් උතුරේ මියගිය අය සිහිකිරීමට ඇති අයිතිය 200% පිළිගත්තද ඒජාප රජය ඒය පාලනය කරද්දිත් විජාතික උවමනාවන් අනුව කටයුතු කරන සහ  ඩයස්පෝරාවේ ඉත්තෙක් ලෙස චෝදනා කළ අය තවමත් ඒ් තැටියම වාදනය කරමින් ඉතිහාසයේ උතුරේ සිදු වූ ලොකුම විරු සමරුව නොදැක්කා සේ සිටියි.
 බලය බෙදීම පෙඩරල් දීම වැනි චෝදනාවලට ලක් වූ රනිල්ට මෛත්‍රී චෝදනා කරන්නේ බලය බෙදීමට ඉඩ ලබා නොදුන් බව පවසමින්ය.අඩුම තරමේ පළාත් සභා පවා තබා ගැනීමට රනිල් විරුද්ධ බව කියමින්ය.
ඒ් නිසා මේ මොහොතේ  යකෙක් නොවන ඒකෙක් මවා ජනතාව බය කිරීමට උත්සාහ දරමින් දේශප්‍රේමියෙකු වන්නට දඟළන මෛත්‍රීපාල සිරිසේන ජාතික දේශපාලන ගැටළුවක් නොව වෙන කුමක් හෝ පෞද්ගලික අකමැත්තක් අල්ලාගෙන රනිල්ට බැට දෙන බව පැහැදිළිය.ගැටළුව ඇත්තේ ඒතැනය.පෞද්ගලික විරෝධයක් මතු වූ සැනින් ජනාධිපතිවරයාට අගමැති වෙනස් කරන්නට,රජය විසුරුවන්නට හැකිද? පළමු පියවරේම ගැටළුවක් තිබෙන බව මේ වන විට අධිකරණය යම්තාක් දුරට පිළිගෙන අවසන්ය.
මේ තත්ත්වයන් සමඟ මෛත්‍රීපාල අහිමි කරගත්තේ මොනවාද?
ඔහු මහින්ද රාජපක්ෂට විරුද්ධ වෙමින් එළියට බැස අධිකරණයේ ස්වාධිනත්වය කෙළෙසූ බව කීවේය.නීතියට බලපෑම් කළ බව කීවේය.මේ වන විට ඔහු තනතුරේ සිටි කාලය තුළ අධිකරණය දේශපාලන බලයෙන් වියුක්තව ඇති බව සනාත වන්නේය. ස්වාධීන කොමිසන් බල ගැන්වීම නිසා පොලිසියේ මාරුවිමක් පවා හිතුමතයට කළ නොහැකි තත්ත්වයකට දේශපාලනයෙන් බැහැර වි ඇති බව සනාත වී තිබෙන්නේය.
එසේම අපනයන ආදායම වැඩිම වර්ශය ලෙස 2017 හැඳින්විණි.මහ බැංකු දත්ත අනුව ලාභය සටහන් ආදායමක් 2017 සටහන් විය.දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ආකාරයට මේ සියල්ල ඔහු නොදැන එජාපය කල දේ විය යුතුය.
එසේම ඔහු මහින්දගේ කණ්ඩායමෙන් තමන් හා එක්වන අයට ඇමති තනතුරු දෙද්දි මේ ආණ්ඩුවේ සංයුතිය නිහඬව සිටියේය.ශ්‍රියාණි විජේවික්‍රම,විරකුමාර දිසානායක වැනි අයට ඇමතිකම් පිරි නැමුණේ ඒ ආකාරයටය.එසේනම් ඔහුට රජය තුළ බලයක් තිබි ඇති බව පැහැදිළිය.
ඒ සියල්ල සළකන විට මෛත්‍රී පවසන දේ ඔහුටම අභියෝගයක් වී ඇති අතර ඔහුට හිමිවීමට තිබෙන කීර්තිය ඔහුම වාරණයට ලක් කරගනිමින් තිබෙන බව පැහැදිළිය.ආරම්භ කර තිබූ ගම් පෙරළිය තුළින් ගමට ලැබුණු.ගමේ විහාරයට ආගමික ස්ථානයට ලැබුණු සහන නැති වී ඇත.ක්ෂුද්‍ර ව්‍යාපාර සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් දැක් වූ රජයේ ණය ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ ව්‍යවසායකත්වයන් ගොඩ නැඟිම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා හරහා ලැබුණු වරප්‍රසාද අහිමි වී ඇත.දෙසැම්බර් මාසය වන විට ඇරඹීමට නියමිතව තිබුණු රැකියා 50000 ක් පමණ ලැබෙන ව්‍යාපෘති සියල්ල නැති වි ඇත.නැවත ගෙවීමට අවශ්‍යය නොවන ඩොලර් මිලියන 280 ක ඇමෙරිකානු ආධාරය අහිමි වි ඇත.
මේ සියල්ල මෛත්‍රී නායකත්වය දැරූ රජයක් වුව, ඔහු ගේ සමබන්ධයක් නැතිව එජාපයේ වැඩ පිළිවෙලකින් රටට ලැබීමට නියමිතව තිබියදි බලය වෙනුවෙන් ගිජු වි මෛත්‍රීපාල සිරිසේනයන් විසින් අහිමි කළ දේ බවට පත් වි ඇත.
එහෙත් එය නිවැරදි කර ගැනීමට අවශ්‍යය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබා දීම නිසා නොවන බව තේරුම් ගැනිම වැදගත්ය.
ඔක්තෝම්බර් 26 වන දා මේ රටේ අනාගතයේ ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට බලයක් නැති පාලනයකට කළ ආශිර්වාදය වෙනස් කළ යුතු බැවිනි.ඒ අනුව ඊට පෙර පැවති ආණ්ඩුව බලාත්මක කර ඒ ආණ්ඩුව සමඟත්,ඡන්දය ඉල්ලන මහින්ද රාජපක්ෂ සමඟත් එකඟතාවයක් ඇති කරගෙන මැතිවරණයකට යාම සුබය.මහින්ද ද රනිල්ද යන්න මෛත්‍රිපාල සිරිසේනට වැදගත් වුව ද රටට හෙටට වැදගත් ව්‍යවස්ථාවය.ප්‍රජාතන්ත්‍රවාදයය.
ඒ් වරද වසා ගන්නට ජාතිය අමතන හැම අවස්ථාවකම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිස් මෛත්‍රීපාලයන්ගේ ජාතිය අමතන්නේය.ඔහුට මවක් නොමැති නිසා කම් නැත.මට ද මේවා ලියන විට ඒවැනි දේ කීවාට ගණනක් නැත්තේ මගේ මව ද මියගොස් ඇති බැවිනි.නමුත් මගේ දරුවන්ට අනාගතයේ දවසක මා හෝ බිරිඳ සිහිකර බැන වඳිනවාට අකමැතිය.අඩුම තරමේ මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන්ගේම කියන්නට එක කුසෙන් පැමිණි සහෝදර සහෝදරියන් නොසිටියද?තමන්ට සහ බිරිඳට තාත්තා අම්මා කියන්න සුජාත දරුවන් සිටින බැවින් ඒ ගැන සිතා හෝ ආපස්සට හැරිය යුතුය.
මේ වෙනුවෙන් දේශපාලනිකව ලාභයක් නැතිව හැසිරෙන ජවිපෙ රටට දෙන ආදර්ශය වැදගත්ය.එය වර්ථමානයේ එම තත්ත්වය නොතකා හැසිරෙන බහුතර ශ්‍රීලංකා සහ පොහොට්ටු ලාභින්ගෙන් පමණක් නොව මේ තත්ත්වය ඉදිරි කාලයක එජාපයට තමන්ට රිසි සේ හැසිරෙන්නට පූර්වාදර්ශයක් ලෙස ඉතුරු කළහොත් එජාපයෙන්ද ඒ දේ බලාපොරොත්තුවීම වැඩක් නැති බව පමණක් සියලු දෙනා සිහිතබා ගැනීම වැදගත්ය.

Thursday, November 15, 2018

යුතුකම


තමන් කාට පක්ෂ වන්නේද යන්න අදාළ නැත.ඊයේ පාර්ලිමේන්තුවේ අප පත් කර යවන නියෝජිතයා කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ඔවුන් රටටම පේන්නට පෙන්නා දුන්නේය.ආයුධ අරං ආ අය මෙන්ම අපේ වියදමින් නඩත්තු කරන පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කළ අය ද,එම ආයතනයේ ගෞරවය කෙළෙසමින් හැසිරුණ අය ද හොඳින්ම හදුනාගන්නට හැකි ලෙස දර්ශන සමාජ ගත වී අවසන්ය.
මේ මොහොතේ දේශපාලනය යනු එසේ අපේ නියෝජිතයන් ලෙස උත්තරිතර තත්ත්වයක් ලබා දීමට නුසුදුසු සියලු දෙනා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කිරීම විනා තෝරා බේරාගෙන සිය පක්ෂයේ එකාට මහා වටිනාකමක් ලැබෙන අන්දමේ ප්‍රචාරයන් කිරීම මේ මොහොතේ හෝ නවතා දැමිය යුතුය.අඩුම තරමේ වරද වරදක් හැටියට කියන්නට තමන්ගේ පාක්ෂිකත්වයේ ලේ කැක්කුමක් ඇත්නම් පුරවැසියෙක් හැටියට පක්ෂයට එහා ගිය රට ගැන හැඟිමෙන් කිසිවක් නොකියා සිටීමට හෝ ක්‍රියා කළ යුතුය.
නමුත් තකට තක ලෙස දේශපාලනඥයා හැසිරෙන්නේ සිය පාක්ෂිකයාගේ තරාතිරමට අනුව බව පෙන්වමින් මේ මොහොතේ බොහෝ අය තමන්ගේ පක්ෂයේ මහජන නියෝජිතයාගේ අවනිතික හැසිරීම්වලට වීරත්වය ආරෝපනය කරමින් සිටින්නේය.
මේ කාරණා ලංකාවේ ආගමික සංස්ථාවටද අදාළය.රටම රූපවාහිණි තිර ඉදිරියේ බලා සිටි සිදුවීමෙන් සිදු වූ දේවල් පැහැදිලිව දැක ගන්නට තිබියදී එවැනි හැසිරීම් කළ අයට ආශිර්වාද කරමින් සහ සාමාන්‍ය පාක්ෂිකත්වය ප්‍රදර්ශනය කරමින් ව්‍යාජ කරුණු වැපිරිමට නොයාම ආගමට ගරු කොට වන්දනාමාන කරන පාට පක්ෂ නොවන සියලු බැතිමතුන් වෙනුවෙන් කරන යුතුකමකි.බෙදෙන දානයේ හෝ පිදෙන පූජාවේ තිබෙන භෞතික වටිනාකම් කිසිවක් භක්තිය මිස පාට දේශපාලනය නොවන බව අපේ ආගමික නායකයන් තෝරා බේරාගත යුතු මොහොතට එළැඹ සිටින්නේය.
තමන් විශ්වාස කරන දර්ශනය සහ ආගමික නැමියාවන් වෙනුවෙන් පෙනී සිටීම ආගමික නායකයෙකුටත් අදාළ බව පිළිගත යුතුය.එහෙත් එහි මිත්‍යාව නොතිබිය යුතුය.
ඒ නිසා මේ රූපවාහිණි දර්ශන රට පුරා ප්‍රදර්ශනය කිරිමට දේශපාලන පක්ෂවලට අදාළ නොවන නිර්පාක්ෂික එකතුවීමක් අවශ්‍යය වි ඇත.එය දේශපාලන පක්ෂ නියෝජනය කළ ද තමන්ගේ නියෝජිතයා ගෞවරණීය පුද්ගලයෙක් විය යුතුය යන හැඟීම ඇති පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කළ යුතුව ඇති බව මගේ හැඟීමය.
තමන්ගේ නියෝජිතයා දරුවන් බය කරන්නට යොදා ගත හැකි යක්ෂයෙකුගේ හැඩය ගන්නවාද,සැබවින්ම තමන්ගේ දරුවන්ට ලැජ්ජාවක් නැතිව මහත්මයා යැයි ආමන්ත්‍රණය කළ හැකි මහජන නියෝජිතයෙක් අනාගතයේදී තෝරා ගන්නට අවශ්‍යය පදනම සහ පසුබිම සකස් කරනවාද යන්න එතැන් සිට පොදු මහජනතාව තිරණය කරනු ඇත.
හිරේට යන විට මාංචුවලින් බැඳුණු දෑත් ඉහළට ඔසවන්නාට එල්ල වි ඇති චෝදනාව රටේ දේශපාලනයට අදාළ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයක්නම් ඔහු ඇගයීම සහ ඔහුට ගරු කිරීම ගැටළුවක් නොවේය.නමුත් ඔහුට ඇති චෝදනාව දූෂණයක්නම්,වංචාවක්නම්,සාපරාධි ක්‍රියාවක්නම් ඒත් ඔහු වීරයෙක් කොට සළකමින් පිදුම් දෙන්නෝ ගරු කරන්නෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරන්නේ චෞර රාජ්‍යයක අභිමානය ය.
හොරෙකුට,පිස්සෙකුට කෙටියෙන් කිවහොත් අමනයෙකුට තමන්ගේ දරුවාගේ නායකත්වය ලැබෙන ආකාරයට රට සැකසිම තමන්ගේ යුතුකම සහ වගකීම ද යන්න සිතා බැලීමට විවෘත වේදිකාවක් මේ මොහොතේ සමාජය තුළ සකස් වී තිබෙන්නේය.
හුණුවටයේ රාජ්‍ය පාලනයේ නඩුකාරයාට වඩා අසඩක් සාධාරණ විය.සම්ප්‍රදායික නීතිය මත පදනම්ව ගෙනෙන තාර්කික කරුණු සාධාරණය නොවිය හැකි බව ද එයින් හැඟවෙන්නේය.හෘද සාක්ෂිය ඇති මිනිසුන් ලෙස රටේ සමස්ත සිදුවීම් දෙස අපි මෙහිදි විමසිලිමතු විය යුත්තේ එබැවින්ය.ඒ විමසිලිමත් බව අපට මහත්මයා යැයි කිව හැකි සාධනීය කරුණු සහිත මහත්මයෙක් අපේ නියෝජිතයා ලෙස තෝරා පත් කර ගන්නට පාර පෙන්නවා ඇත.එය අඩුම තරමේ සාපේක්ෂව සමාජයට ධනාත්මක ප්‍රවේශයක් ලබා දිය හැකි කාරණා විශාල ප්‍රමානයක් සහිත පුද්ගලයෙකුගේ තේරිමක් වනු ඇත.
ඒ නිසා මේ අර්බූදයේ මුලට අප පැමිණිය යුතුය.එහිදි අර්බූදය නිර්මාණය කිරීමේ වගකිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් වෙන කිසිවෙක්ට පැවරිය නොහැකිය.ඔහු කළ හැකි බොහෝ දේ තිබියදී සාමූහික කතා බහකට නොගොස්,ජනවරමට පිටු පා මෙම තීරණය එළැඹීම මෙයට හේතුවය.ජනවරම යනු ලක්ෂ 62 ජනවරම පමණක් නොවේය.පාර්ලිමේන්තුවේ සෑම නියෝජිතයෙක්ම එම අසුන්වල අසුන් ගෙන සිටින්නේ මේ රටේ ජනතාව විසින් ගනු ලැබූ තීරණයකට අනුකූලවය.ඒ නිසා ඒ සියල්ල සමඟ සාකච්ඡා නොකිරිම යනු ජනතා කැමැත්තට පිටු පෑමය.එහිදි මා කැමති පක්ෂය හෝ පුද්ගලයා යන්න නොසළකා මා කැමති පුද්ගලයා නායකත්වය ගෙන ඒමට ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනසම්මතවාදි ක්‍රමය සොයා නොගැනීම ගැන සමාජයේ ඉදිරි පැවත්ම වෙනුවෙන් කල්පනා කිරීම අපේ යුතුකම විය යුතුය.
අවාසනාවකට මේ වන විට ජනමාධ්‍ය පවා පාර්ශවිකව කටයුතු කරන තත්ත්වයකදි පුරවැසියාට කිසිම ආකාරයකින් සාධාරණව තොරතුරු ලබා ගැනීමට තිබෙන ඉඩ ඇහිරි තිබීම වැරදි පූර්වා දර්ශයක් වන්නේ අදටත් වඩා හෙටටය.
වැව් බැම්මේ කුඩා ඉරි තැලීම නොසළකා සිටින අපට සිදුවන්නේ කෙදිනක හෝ එය කැඩි එන මහා ජල ප්‍රවාහයේ ගොදුරු වන්නටය.දරුවන් ඇති දරුවන් තැනිමට බලාපොරොත්තු වන සියලු දෙනා මේ මොහොතේ සිතාගත යුතු වන්නේ මේ බැම්ම බිදි එන මහා සැඩ පහරේ අපේ දරුවන් ගසාගෙන යන්නට ඇති බරපතල අවදානමක් ඇති බවය.
මේ ඇති වූ තත්ත්වය තුළ දැන් පාර්ලිමේන්තුව රැස්විමට වඩා මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අවශ්‍යය බව පැහැදිළිය.දෙකම එකවර පවත්වන්නට ඇති හැකියාව සැළකිල්ලට ගෙන ජනතා මුදල් පාර්ලිමේන්තුවේ මේ ආකාරයෙන් හැසිරෙන බහුතරයක් තෝරා එවීමට අපේ මුදල් නාස්ති කිරිමට ඇති ඉඩ වැළකීමට ද මැතිවරණ කොමිසමට නෛතික හැකියාවක් ඇත්නම් එයද අවධානයට ගත යුතුය.
නමුත් ප්‍රශ්නය පැන නැඟුණු තැන සිදු වූ අසාධාරණය නිවැරදි විය යුතුය.පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුව භාර දිය යුතුය.එසේ භාර ගැනීමෙන් ඉදිරි සුළු කාලය තුළ මේ රටට වැඩක් කිරිමට හැකි ඉඩක් විධායකය සහ ව්‍යවස්ථාදායකයා තුළ තිබෙන කඹ ඇදිම සමඟ මෙන්ම දෙකට බෙදී සිටින ජනතා නැඟි සිටීම් සමඟ ද කරන්නට යාම මහා සැඩ පහරක් තරණය කරගන්නට කෙසෙල් කොට ඔරුවක් යොදා ගැනීමක් වනු ඇත.ඒ නිසා ජයග්‍රහණය කවරෙකුට හිමි වුව ද කම් නැත.පාර්ලිමේන්තුවේ යුක්තිය අනුව බලය හිමිවන පාර්ශවය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිතව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්නට යැයි ඉල්ලිමක් කළ යුතුය.
ඒ මේ රට අපේ දරුවන්ට අපට වඩා හොඳ රටක් ලෙස ඉතුරු කිරීම අපේ යුතුකම වන බැවිනි.

Monday, November 12, 2018

බඹරකන්දේ රාමා

Image may contain: 3 people, including Srimath Rama, text

රාමා කියන සංගිතවේදියගේ මේ සංගීත ජිවිතයෙ බඹරෙ වැල්ලෙ ගහල කැරකැව්වෙ ලුම්බිණිය.එතනට මේ බඹරෙ අත අරින වැඩේ කරන්න මුල් වෙන්නෙ මම කියන එක බඹරකන්දෙ සංගීත සැදැවේ ඔක්කොම ඉස්සරහ රාමා අත ඇරල දැම්ම නිසා මේ ටික ලියන්න මට හිතුණා.
රාමා හම්බවෙන්නෙ මට 98 විතර.ඒ දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේදි.ඒ අවුුරුද්දෙ මම ඒ පාසල් දැරියන් සමඟ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට නාට්‍යයක් කළා.ඒ සඳහා පාසල තෝරාගෙන ඉදිරිපත් වෙන විට මම දැනං හිටියා පාසලේ තත්ත්වය.විශාල වේදිකා පසුතල සහ ඇඳුම්වලට යන්න හැකියාවක් නැති ආර්ථික වටපිටාවක රංගනයට විශාල තැනක් හිමි වන ලොකු වැඩ කෑලි නැති වැඩක් කරන්න ඕනි.
මගෙ ආච්චි පුංචි කාලෙ හරි අපූරු කතා කියා දෙනවා.ඒ කතාවක තිබුණා මීයෙක්,පූසෙක්,බල්ලෙක් සහ තමන්ගෙ ගම හාමිනේ දෙවියො කියලා හිතාගෙන වැඩ කරන ගමරාළ කෙනෙක්ගෙ කතාවක්.මේක තමයි මම තෝරා ගත්තෙ.නම වුණේ ගමරාලගෙ දේවාලය.
මේකට සංගිතය කරන්න පාසලේ ගුරුවරයෙක් නැහැ.සංගීත භාණ්ඩ වාදනය කරන්න දන්න දියණිවරුත් නැහැ.ගුරු නිවාසෙ හිටිය අශෝක විද්‍යාලයට ගිය මල්ලි මගේ හැඳුණුම් කමට වයලින් එක ගහන්න එන්නම් කිව්වා.එකම විසඳුම ඉස්සරහ ඉස්කෝලෙ සංගිත මිස්.
"ඒ මිස් හරි හොඳයි,කතා කරමුකො ස්ර්"
පුංචි කෙලි පැටව් ටික මාව වට කරගෙන මිස් ගැන හොයා ගත්තු චරිත සහතිකය දිග අරින්න ගත්තා.අන්තිමට මිස් ආවා.ඒ කොණ්ඩෙ රැලි ගැහුණු හීන්දෑරි කොල්ලෙකුත් එක්ක.මුල් දවස්වල මම උට ගෙදර යන්න අතේ ගාණක් මිට මෙලෙව්වත් දවසක කතා බහක් නැති මේ කොල්ල සල්ලි මගේ පැත්තට තල්ලු කරල ඇහැව්ව 'ස්ර් මේ සල්ලි දෙන්නෙ ස්ර්ගෙ අතින් නේද කියලා"
ඒ සංවාදය කෙළවර වෙන්නෙ මූගේ ජීවිතය මා ඉස්සරහ දිග අරින්නත් මගේ ජීවිතය ඌ ඉස්සරහ දිග අරින්නත් තරමට සමීප වෙලා.ඊට පස්සෙ හුඟක් හවස් වෙනකං රිහසල් තිබුණු දවසක මේ හින්දෑරි ගැටය මගේ ගෙදර නවාතැන් ගත්තා.ස්ර් කෑල්ල අයිය කියන සමීපත්වයට මාරු වුණා.
ඒ නාට්‍යයෙ හිටිය චමන්ති,ශර්මි,යශෝධරා වගේම නාට්‍යය නිසාම හමුවුණ ෆාතිමා ශ්‍යාමා කියල පොඩි කෙල්ලො හතර දෙනෙක්.මරු හඩවල්.
අනේ මංජුල මං මේ කෙල්ලන්ගෙ කටහඩවල්වලට හරිම ලෝභයි සංගීතය උගන්නන්න ආව පුෂ්පා රංජනී මිස් එහෙම කියලා මට කිව්වෙ මේ මා එක්ක එන්න රාමනායක ඒලෙවල් කරන්න ඉන්නෙ මියුසික් එක්කනෙ,නැත්තං මට කළාපයට කතා කරලා මේ ළමයින්ට දවසක් දෙකක් හරි උගන්නන් එන්න පුළුවන් මෙහාට.
මං වැඩේ භාරගත්තා.එතකොට රොජර් පොල්හේන්ගොඩ හිටියෙ.ඒ ගෙදර ඇඩ්ඩ්‍රස් එකෙන් රොජර්ම ඇවිත් මගේ ඉල්ලීමට අද මේ රාමාව ලුම්බිණියට භාර දුන්නා.ඒ භාර දෙන්න ඉස්සරම මම ලුම්බිණියට ඇවිත් සංජකව හමු වුණා.එතකොට ඒලෙවල් කරාට ඌ පැහිච්ච මිනිස්සු ආස්සරය කරන එකෙක් වෙලා හිටියෙ ජීවත් වුණේ ලුම්බිණියෙම නිසා.
මම සංජකට කිව්වා මේ එන කොල්ල අමුතු එකෙක් ඌව ට්‍රැක් එකට දාගනිං කියලා.ඒ නිසා දන්න තරමින් රාමා ට රැග් එක හැටියට ලැබුණෙ උට පුළුවන්ම දේ සිංදු කියන්න.ඒ වගෙම ස්කෝලෙ ගැන කියන්න ආව රාමාගෙන් දැනගත්ත පරිදි ඒකෙ මියුසික්වලින් කැටයම් දාන මරු වැඩ කාරයෙක් හිටියා.ඒ අමිල ඉන්ද්‍රජිත්.(දැනට සරලව කිව්වොත් ඔබ මුහුණු පොතේ දකින විවිධ ගායකයන්ගෙ හඩින් එකම පදවැල ගයන ගායකයා)
මේ අතර ඉස්සර (දැන් තියෙනවද දන්නෙ නැහැ) ලුම්බිණියෙ තිබුණා කෙටි නාට්‍ය තරඟයක්.ඒකෙදි රාමාට ඕන වුණා ඩ්‍රාමා එකක් කරන්න.කට්ටිය හොයාගෙන වැඩේට අත ගහන්න රාමා එතකොට අලුත්.ඒ නිසා මම ඇන්ටන් චෙකොව්ගෙ දුම්කොළය පිටපත දිලා උපදෙස් ටිකක් දුන්නා.රාමා හොදම නාට්‍යය වගේම හොදම නළුවත් වෙලා තිබුණා.මතක හැටියට අමිල තමයි සංගීතය කරල තිබුණෙ.ඒ රාමා සහ අමිල එකතු වෙන තැන. ඊට පස්සෙ කතා ගොඩක් තිබුණත් ඒක ඇති.දැන් බඹරකන්ද තරණය කරමු!
බටහිර සංගිතය කිව්වම ඇහෙන සහ දැනෙන ඝෝෂාව නො'ඇසෙන අපූරු ගීත සන්ධ්‍යාවකින් බඹරකන්ද පිරිලා තිබුණා.ඒ නිසා ඒක මරු.හැබැයි රාමාගේ අනන්‍යතාවයන් එක්ක ඒ ප්‍රසංගය මදි.ප්‍රාසාංගික අතින් ඒක ඊට වඩා පොහොසත් කරන්න තිබුණා.
මට මතක් වුණා රාමා සහ අමිල තමන්ගෙ වචන හරඹවලින් යහපත් යැයි කියන්න පුළුවන් මනුස්ස ස්ථාවරයක් හදා ගන්න බැරි වුණ නුවන් නිරෝධ කියන අද වන විට අනන්‍යතාවය වේගයෙන් අහිමි කර ගනිමින් ඉන්න මනුස්සය (රාමාලගෙ පංතිවල) එකතු වෙලා පාසල වෙනුවෙන් කරපු සංගීත සන්දර්ශනය.ඒකෙ සෙට් එක කරල දුන්නෙ මම.මේ නුවන් සහ බඹරකන්ද ප්‍රසංගයේ පූරක වුණ දිනූප එදා මේ ප්‍රසංගයේ පූරකයන් හැටියට වැඩ කළා.ඒකෙ තිබුණු ප්‍රාසාංගික බව මීට ඉහළයි.නමුත් ගායනාමය වශයෙන් ගත්තම බඹරකන්දේ ඊට ඉස්සරහින් තිබුණා.ඒත් රාමාගේ අනන්‍යතාවයත් එක්ක අරගෙන මාර කැරකිල්ලක් කැරකෙන්න බඹරකන්දෙට ආකෘතිමය වශයෙන් වෙනස්කමක් දෙන්න පුළුවන් කියලා මට දැණුනා.හැම තැනම මිහිරි ගි බඹර පැණි වැගිරෙන විදිහට අලුත් ප්‍රාසාංගික අත්දැකිමක් කරන්න මේ වැඩේ පෝෂණය කරන්න පුළුවන්.
මම රාමාට කිව්වා.ඉඩක් ලැබුණොත් එදා රාමාව ලුම්බිණියෙන් තිබ්බ වගේම බඹරකන්දේ කියන සංගිත අත්දැකීමත් ප්‍රසාංගික වේදිකාව තුළ හරියටම කරකවන්න පුළුවන් බඹරයක් කරන්න මටත් දායක වෙන්න පුළුවන් වෙයි.
මේක ගැන මරු කියනව වගේම තව ටිකක් එහාට ගිහිං මරේ මරු වැඩක් කරන්නත් පුළුවන්.ඒක මා එක්ක නොකළට කමක් නැහැ.වෙන අලුත් පරම්පරාවෙ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් එක්ක හරි කරපං.සංගීතයට ආසා කරන බහුතරය වෙනුවට ආදරය කරන බහුතරයක් හදන්නට සංගිත රසිකත්වයට වන්දනා කරන්න හොඳ වන්දනීය තැනක් බවට බඹරකන්දේ සංගීතය ආශ්‍රමයක් කළ හැකියි.
රාමා ට වගේම රාමාගේ ශ්‍රීමත් කොල්ලො ඔක්කොම ටිකටත් සුබ පැතුම්!

Sunday, November 11, 2018

නහය පරිස්සම් කර ගන්න


                                 

මේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම දරුවන් වෙනුවෙන් වගකීමෙන් වැඩ කළ අවස්ථාවක දර්ශන පෙළකි. කෑ ගහන දරුවා ඉන්නේ එතුමාගේ පුතාගේ පිටේය.ඒ පුතාට ඒ තාත්තා දුන් නිදහස අනුව මේක නිවැරදි වන්නත්,ඒ පුතාලා තාත්තාලා කියන ඕනෑම දෙයක් දෙවි හිමියෙන් අදහන අයට මේක දේවකාරියක් වන්නටත් හැකි බව මම දනිමි.
මේ පළමු එක නොවේය.දෙවැන්නය.මීට ප්‍රථම ඔවුන් ජනාධිපතිවරණයේදි පොඩි දරුවෙක් යොදා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දොර හිලට ඇහැ තැබුවේය.ඊට එරෙහිව කතා කළ පිරිස අතර මුල් තැන සිටි රනිල් වික්‍රමසිංහගේ දොර හිලට ඇහැ තබමින් ජනාධිපතිවරයා තමන්ගේ දොර හිලට ඇහැ තැබූ එකා දැන් බලවත් පුද්ගලයෙක් කර ඇත.ස්වාධින රූපවාහිණියේ නිසි බලධාරියා සේ හැසිරෙන්නට බලය දි ඇත.
පළිගන්නට කොන් කරන්නට යෝජනා නොකළද,සදාචාරමය වශයෙන් වෙනසකට බඳුන් වූ බව නොපෙනෙන ක්‍රමයකට ආශිර්වාද කරන්නට ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී ඇති බව සිදුවීම් වලින් පැහැදිලි වෙමින් තිබේ.එහි විපාක විඳින්නට වන්නේ සමස්ත රට වැසියාටමය.
මීට හේතුවන්නට ඇත්තේ කුමක්ද යන්න ජනාධිපතිවරයා පැහැදිළි කළේය.ඒ පැහැදිළි කිරීම පුරාම තිබුණේ තමන්ට රනිල් නො'දිරවන බවමෙීට වසර තුනකට පෙර රනිල්ගේ දේශපාලනය ගැන මහත් අභිමානයෙන් ඔහු කතා ක‍ළේය.ඒ කරුණුම ඔහුගේ හීනමානයට ඔරොත්තු නොදෙන බව දැන් කතාවලින් මෛත්‍රීපාල සිරිසේන පැහැදිළි කරමින් සිටින්නේය.ඒ වෙනුවෙන් තමන්ට ලැබි ඇති බලය රටට,ජනතාවට පමණක් නොව වසර හතළිහක් තමා වටිනා මිනිසෙකු බවට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හානි කරන්නට යොදා ගන්නට ඔහු පසුබට නොවන බව මේ වන විට ඒත්තු ගන්වමින් සිටින්නේය.
ජනාධිපති පුටුව දිනා ගත් සැනින් ඔහු වටා එකතු වූ රට වෙනුවට පක්ෂය වැදගත් කර ගන්නට සිරිසේන  ගත් පියවරේ සිට ඔහුගේ බල උන්මාදය වෙනම ආකාරයකට කියවිය යුතුව තිබේ.ජනාධිපති වීමෙන් පසුව ඔහුට පක්ෂයේ බලය අවශ්‍යය විය.ඒ සඳහා ඔහු ජනාධිපතිකම පාවිච්චි කළේය.
අනතුරුව පැවති මැතිවරණයේදි තමා වේදිකාවේ සිට දැඩි ලෙස විවේචනය කළ මහින්ද ඇතුළු සියලු පිරිසට ඔහු නාම යෝජනා දුන්නේ තමන්ව බලයට පත් කළේ බහුතර එක්සත් ජාතික පක්ෂය බැවින් මහින්දගේ ලක්ෂ 58 න් තමන්ට බලයක් ලබා ගැනිමටය.ඒ නිසා ඔහු සමග පැමිණි සමහර අපේක්ෂකයන්ට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනිමට අවස්ථාව දෙමින් මහින්දගේ පිරිසට අපේක්ෂකත්වය ලබා දීමට ඔහු කටයුතු කළේය.මහින්ද රාජපක්ෂ පෙරටු කර ගනිමින් දේශපාලනය කළ පිරිසට වැඩි බලයක් හිමි වෙද්දි ඒ මොහොතේත් මෛත්‍රීපාල සිරිසේන මූලික කර ගනිමින් දේශපාලනය කළ පිරිස පැත්තකට විසි විය.
අනතුරුව ආණ්ඩුව කරගෙන යාමට තමන්ගේ පක්ෂයේ සුළු පිරිසක් එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂයට සහය දුන්නද පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසගේ නායකයා යන උද්දාමය කිසිවිට මෛත්‍රීපාල සිරිසේනගේ හිතෙන් බැහැර වූයේ නැත.ඒ නිසා තමන්ගේ පක්ෂයේ පිරිස් නිතර නිතර අල්ලස් හා දූෂණ කොමිසම් සභාව තුළට කැදවමින් කටයුතු කළ දිල්රුක්ෂි වික්‍රමසිංහ කෙරෙහි මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්තක් තිබුණේ නැත.ඒ අනුව ඇයට එහි මුල් පුටුව අහිමි විය.
දිගින් දිගටම තමන් සමඟ සිටින මහින්ද රාජපක්ෂගේ දිවෙන් කතා කරන පිරිස් ආණ්ඩුවේ සාමූහිකත්වය නොතකා රනිල් වික්‍රමසිංහ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද විවේචනයට ලක් කළේය.ඊට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන සහ ආණ්ඩුවේ අනෙක් පාර්ශවය විවේචනය කරන්නට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ නැත.එසේ කරන අයටද අවවාද කළේය.නායකයෙක් ලෙස එහිදි රනිල්ට තිබුණු පාලනය මෛත්‍රීට නොතිබුණේ ද,නැතිනම් මෛත්‍රීපාල සිරිසේනයන් ඒ සියල්ල දැන දැන ඔහුගේ ආශිර්වාදය ඇතුව සිදු වූ දේ ද යන්න දැන් පැහැදිළි වෙමින් තිබෙන්නේය.
මේ සියල්ල සිදු වෙද්දි රජය කරන දේ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ සෑම අවස්ථාවකම ඒ විරෝධය සඳහා නිදහස් පොළවක් සැකසි තිබිණ.ඒ 2015 ලැබූ නිදහසේ කොටසකි.පැවති රජයේ නඩු ගොඩ ගැහෙද්දි පවතින රජයේ වැරදිවලට නිතිය ක්‍රියාත්මක වෙමින් අත් අඩංගුවට ගැනිම් ආදිය සිදු වෙමින් පවතින්නේය.බැදුම්කර සිද්ධියට අදාළව එක දිගට අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පළිහේන බන්ධනාගාරයේ සිටිම ඊට එක් උදාහරණයකි.ඒ වගේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාද අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට පත් විය.ඒ නඩුවද විබාග වෙමින් පවතින්නේය.
මේ සිදුවීම් දෙකේදී ආණ්ඩුවේ එකඟතාවයන් සහ සදාචාරයන් කදිමට පැහැදිළි විය.බැඳුම්කරයට එජාපය දෙසට ඇඟිල්ල දිගු කර කරන චෝදනාවලට ශ්‍රී ලංකා නිදිහස් පක්ෂයේ පිරිසට තිබූ නිදහස රනිල් වික්‍රමසිංහගෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට චෝදනා කරන්නට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ට අවස්ථාව නොලැබිණ.අදටද එය එසේමය.එය නිතිමය තත්ත්වයෙන් විසඳෙන්නට ඉඩ හැර සිටිම විනා රනිල් එය මෛත්‍රිපාලට පහර එල්ල කරන්නට කාරණයක් බවට අද වන තුරුම පත් කරගෙන නැත.
නමුත් මේ මොහොතේ වැදගත් රනිල් නොවේය.ඇති වී තිබෙන තත්ත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තැබිය හැකි පිරිසක්ය.2015 දි එවැනි රැල්ලකින් පිහිට වූ ආණ්ඩුව ජනතා සිතුම් පැතුම් ලෙස පෞද්ගලික අවශ්‍යයතාවන් යම යම් අයගේ සපුරන්නට නැත.නමුත් දැනටමත් මේ දින කිහිපය තුළ විඳි අත්දැකිම්වලට වඩා යහපත් නිදහසක් අත් වින්දෙමු.
ඕනෑම දෙයක් කියන හැඩයෙන්ම දැක් එය වර්ණනා කරන වන්දිබට්ටයෙකුට වඩා වැඩි දෙයක් කරන්නට මාධ්‍යයට අවස්ථාව ලැබිණ.රජයේ හොරණෑ බවට පත් වීම වෙනුවට රජයට ප්‍රහාර එල්ල කරන්නට තමන්ට ලැබුණු නිදහස උපරිම ලෙස භාවිතා කළ මාධ්‍ය අවම තරමේ මීට වසර දෙකකට පෙර ආණ්ඩුවට එරෙහිව වැඩ කරන්නට තමන්ට නොතිබි නිදහස නිර්මාණය කිරීම වෙනුවෙන් හෝ සාධරණයක් රජය වෙනුවෙන් කරන්නට ඉදිරිපත් නොවීය.
සැබවින්ම එය මාධ්‍යකරුවා යටත් කරගෙන සිටින හිමිකරුවාගේ සපත්තුවේ බලය මිස ඔහුගේ හෘදය සාක්ෂිය නොවන බව සහතිකය.මේ මොහොතේ එවැනිම හෘද සාක්ෂීන් වසාගෙන ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන විශාල පිරිසක් සිටියි.ඔවුන්ට ජීවත්ීම අතහැර ජීවනෝපිය අතහැරි අරගල කරන්නට යැයි අභියෝගයකට ආරාධනා කරන්නට මේ ආර්ථික සමාජ වටපිටාව තුළ ඉඩක් ලබා දි නැත.ඒ නිසා මේ කතා කරන්නේ ඔවුන්මද ඔවුන්ගේ ජීවත්වීමේ අපේක්ෂාවන්ද යන උභතෝකොිටිකය තුළ හිද සුබවාදිව ඔවුන් දෙස බලා සිටින්නට සිදු වි ඇත.
එකතුවීම යනු සාමාන්‍යයෙන් ඡන්දයක් ආසන්නයේ ලංකා ඉතිහාසය පුරාම සිදු වි අති දෙයකි.එම සිදුවීම 2016 වෙනදාට වඩා බරපතල මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක විය.එ මැදිහත්වීම නිසා ඒ දක්වා නොදුට සහ නොවිඳි නිදහසක වසර තුනක කාලයක් ගෙවා දමන්නට ලැබිණ.පාක්ෂිකව සිටියේ වුව ද හෘද්‍ය සාක්ෂියට නොදැනෙන දෙයකට වැරදි යැයි කියන්නට බය නැති පාලනයක කොටස්කරුවෝ වන්නට පුරවැසියන්ට අවස්ථාව ලැබිණ.අද ද එයට දායකවීම සම්බන්ධයෙන් මට ඇත්තේ  සොම්නසකි.
නමුත් ඒ බලවේග ජයග්‍රහණය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට භාර දි පල්ලම් බැස්සේය.අපේක්ෂා කළ වෙනස වෙනුවෙන් රජය ගෙන යාම සඳහා සුක්කානමට අත තබන්නට ඔවුන් පසුබැසීම සමහර විට ඔවුන් දේශපාලනඥයන් ලෙස හංවඩු ගැසිමට අකමැත්ත නිසා සිදු කළ එකක් විය හැකිය.
අවසානයේ නිදහස පමණක් විඳි රටක එයද එක රැයකින් පැහැර ගන්නට අශුද්ධ බලවේගවලට හැකි වි ඇත.දැන් ඇත්තේ 2015 දුටු රටය.අවිනිශ්චිත භාවය සහිතව වැඩ කිරීම,බිමට කළුවර වැටෙන විට ගෙදරින් දුරකථන ඇමතුම් දෙමින් නිරන්තර විමසීම දක්වා තව නොබෝ දිනකින් මේ තත්ත්වයන් අපේ ජීවිතවලට එබි බය සමඟ ජීවත්වීමේ අප්‍රසන්න අත්දැකීම ඉතිරි කරනවා ඇත.ඒ ක්‍රමය තුළ වචනයකින් හෝ පාලනයට නතු නොවන මොහොතක අත්විය හැකි ඉරණම තවමත් වන්දිබට්ටයන් වීම මහත් ගෞරවයෙන් සමරන කිසිවෙකුට නොදැණෙනු ඇත.
විශේෂයෙන් ඊ ළඟ පරම්පරාවට නිදහසේ අදහස් දැරීම වෙනුවට පාලන යාන්ත්‍රණය තුළ දනින් වැටි හෝ තුන්වේල කා ගේ දොරක්  හදාගෙන ඉදපං කියා උපදෙස් දෙන මව් පියන්ට හැරෙන්නට මේ තත්ත්වයට එකඟ වීම කළ නොහැකිය.ඒ නිසා වහලෙක් වුණත් කම් නැහැ යස ඉසුරු ලැබ කියන උපදේශනය සිය දරුවන්ට දීමට හිත එකඟ කරවාගත් මව් පියන්ට නොදැණෙන ඇත්ත ඊට වඩා වෙනස්ය.
මේ අනාගතයට බලපාන පූර්වාදර්ශයක්ය.මේ තත්ත්වය නිත්‍යාණුකූලව සාධාරණ කර ගැනීම සඳහා බලය යොදා ක්‍රියාත්මක විය හැකිනම් ඊට පසුව එන පරිච්ඡේදයේදි එම සියලු කාරනා එක්සත් ජාතික පක්ෂයටද මේ රටේ අනෙකුත් දේශපාලන පක්ෂයන්ට ද අදාළය.ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාවට හිමි බලය ඕනෑම වේලාවක දූෂණයට ලක් විය හැකි අනාගතයකට මෙමඟින් පාර කැපෙනු ඇත.එය අපේ මතු පරපුරට අපි උරුම කරදෙන දෙයක්ය.
මුත්තාගේ හිටවන අඹ ඇටය ගැන කියවා කප් රුක කපා ලිවලට විකුණන පිරිසකගේ අනුගාමිකයන් ලෙස හැඳුණු වැඩුණු අපිට මේ මොහොත වැදගත් කප්රුක පැල කරන්නට නොවේය.අඩුම තරමෙන් මුත්තාගේ වගකීමවත් ඉටු කර තැබීමට කල්පනා කළ යුතුය.ඒ නිසා මෛත්‍රීපාලගේ හීනමානයට සහ මහින්දගේ බල උන්මාදයට එරෙහිව පොදු සන්ධානයක් නිර්මාණය කිරීමේදි කතිරයට වඩා දායකත්වයක් දැරීම යනු දරුවන් වෙනුවෙන් කරන කැපවීමකි.සදාචාරසම්පන්න බව නිදහසවත් අඩුම තරමේ දායාද කර දෙන්නට දරුවන් වෙනුවෙන් කල්පනා කරන අයෙක් ඔබේ දරුවා කරමත තබා ගෙන මෙහි ඉහළ ඇති සටන් පාඨ කියවන්නට පොළඹවන පිරිසකට සහ ඊට අනුබල දෙන නායකයෙකුට කැමතිද අකමැතිද යන්න තීරණය කර බැලිය යුතුය.
අම්මාගේ අනුබලය ඇතිව හොරකමට ඇබ්බැහි වූ පුතෙක් හිර ගෙදර සිටියදි අම්මාව ඉඹින්නට අවශ්‍යය බව කියා කූඩුවෙන් මුහුණ ඔබා අම්මාගේ නහය කඩාගෙන කෑ කතාවක් අප අසා ඇත.ඒ නිවැරදි උපදේශනයන් දෙමින් තමන්ට හරි වැරද්ද පෙන්වා දෙන්නට අම්මා කටයුතු නොකළ බැවින් තමන්ට අත් වූ ඉරණම ගැන පුතා විරෝධය පළ කළ හැටිය.
නහය පරිස්සම් කරගන්නා අම්මෙක්,තාත්තෙක් වීමට අප සිතිය යුතුව ඇත.



Monday, November 5, 2018

ලැජ්ජා නැති අයට පමණයි


Image result for joker and dracula

ජනාධිපති සිරිසේන මහා ජන ගංගාවක් ඉදිරියේ ඔහු ලැජ්ජා නැති අයෙක් බවට ප්‍රදර්ශනය කළේ ද,නැතිනම් ඒ මහා ජනගඟ ලැජ්ජා නැති පිරිසක් බවට පත් කළේද යන්න හැර ජන මහිමය තුළ අවසානයට ඉතුරු වූ දෙයක් නැත.එහිදී ඔහු මේ දක්වා ලංකාවේ දේශපාලනය තුළ හීන් නූල් ගේම්කාරයන් ලෙස හඳුනාගෙන සිටි සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහින්ද රාජපක්ෂට වඩා ජනසම්මතවාදයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන්ම,මහින්ද තරමට බලලෝභීන් නොවන බවද ඔහු තරම් අශිලාචාර නොවන බවද පැහැදිළි කළේය.
රනිල් විෂය ප්‍රවීන සමාජයක් සමඟ ගණුදෙනු කරනු වෙනුවට මහනායක හාමුදුරුවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ ගණුදෙනු නොකිරීම,වෙනත් ආගමික නායකයන්ගෙන් උපදෙස් ලබා නොගැනීම මෙන්ම තීන්දු තීරණ ගැනීමේදී සම ලිංගිකයන් හා එක්ව කටයුතු කිරීම යන කරුණු ජනාධිපතිවරයාට විශාල අර්බූදයක් ලෙස හැඟිණ.
ලෝකය සමඟ පෙරට ගමන් කරන රටකට මේවා නොතිබිය යුතුම ප්‍රශ්නය.ජනාධිපතිවරයා මේ කරුණු අනාවරණය කරන තෙක්ම මහින්දට ජයවේවා කියමින් වමේ නායකයන් ආගමික නායකයන්ගේ අවසරය සඳහා තමන්ගේ හැම සැළසුමම ඉදිරිපත් කිරීමට විරෝධය පෑ වමේ යැයි කියා ගන්නා පිරිසට රනිල් සහ  මෛත්‍රී මහින්ද සුසංයෝගය ගැන හිතා ගන්නට ඉඩ සැකසෙන්නට ඇත.ප්‍රගතිශීලී සමාජයට ආගමික පවුරු පදනම්වලින් ගලවා මේ රට පෙරට යාමට සුදුසු බලකොටුව මෛත්‍රී මහින්ද කඳවුර නොවන බව පැහැදිළි විය.එය රනිල් නොවුණද  මෛත්‍රී - මහින්ද ප්‍රතිපත්තිවලින් තොර ගමණක් බව ඒත්තු ගන්වන්නට මෛත්‍රී සමත්වීම අගය කළ යුතුය.
රටේ නායකයෙක් සමනළයන් යන පර්යාය පදය පාදක කරගෙනම රටක් අමතමින් සම ලිංගිකත්වයට අපහාස කිරීම ලෝකය කුමන ආකාරයෙන් පිළගනු ඇද්ද යන්න විමසිල්ලෙන් බලා සිටිය යුතුය.ග්‍රෝත්‍රික සමාජීය ලක්ෂණ වැපිරුණු ඉන්දියාව වැනි රටක නායකත්වය නූතණ සමාජය විද්‍යාත්මකව කියවමින් සමලිංගික විවාහයන් ප්‍රේමයන් පවා පිළිගැනීම කෙරෙහි අවධානය යොමු කරද්දී අපේ රටට ඔවුන්ගේ ලිංගිකත්වයට පරිභව කරන නායකයෙක් සිටීම ගැන ඊයේ ඒ වෙනුවෙන් අත්පොළසන් දුන් සහ විසිල් ගැසූ අය පවා යළිත් සිතිය යුතුව ඇත.
සමාජය බෙදීම් අවම කරගෙන කටයුතු කළ යුතු තත්ත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණය විය යුතුය.ඒ අනුව මෛත්‍රීට රනිල් නුසුදුසු වී ඇත්තේ එම බෙදීම නොකළ නිසා බව ඔහු ඊයේ පැහැදිළි කළේය.ඒ අනුව කුමන අවුලක් තිබුණ ද රනිල් බෙදීම් නොසළකා සියල්ල ආගමික සමාජය හමුවේ භෞතීස්ම නොකර තීරණ ගැනීම දියුණු ලක්ෂණයක් මිස මෛත්‍රී කියනා ආකාරයේ පහත් ගතියක් නොවන බව පැහැදිළිය.
මේ තත්ත්වයන් හමුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ ඔහුගේ නායකත්වය යටතේ සමාජය තුළ විවිධත්වයට ඇති අවම ඉඩය.ඔහු සහ ඉන් පසුව මහින්ද රාජපක්ෂ විශ්වාස කරන ආකාරයට රටේම මිනිසුන්ගේ අභිමානයන් ගරුත්වයන් හැඩ ගැසිය යුතු බවට ඔහු අනතුරු හැඟවීමක් කළේය.ඉන් ඔබ්බේ වූ අදහස් සහ ක්‍රියාකාරකම් ගත කළ යුත්තේ රාජ්‍ය මර්ධනය අපේක්ෂාවෙන් බව ට ඔහු දුන් ඉඟිය ඉතාමත් දරුණුය.සාහසිකය.
මේ සියල්ල රනිල් රැක ගැනිම නොව යූඇන්පීය රැක ගැනීම නොව ඊට වඩා ගිය මෛත්‍රී විරෝධි සමාජ සන්ධානයක අවශ්‍යයතාවය තහවුරු කරන්නක් බව පැහැදිළිය.එය අලුතින් රෝපනය කරන්නට රනිල් බාධාවක් යැයි සිතා සිටි කොටස්වලට ඔහු ඊට හවුල්කරුවෙක් කරගත හැකි වටපිටාව ඊයේ මෛත්‍රීපාලයන්ම සකසා දුන්නේය.
සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය ප්‍රතිපත්තිමය වශයෙන් ශිලාචාර වෙමින් අගමැතිවරයා ඉවත් කිර තමන්ට ලබා දෙන බලය ලබා ගැනිමට අකමැති වෙන මොහොතක එම සාධකය පෙරළා දමන්නට හැකි බලයක් ලෙස මහින්ද සොයාගත් බව මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ මහින්ද රාජපක්ෂයන්ටම 2015 දී තමන්ව පෙරළා දැමීමට තමන් රනිල්ව තෝරාගත් බව මතකයට නඟා ගැනීමට අවශ්‍යය කරුණු සිහි ගන්වමින්ය.
මහින්දට 2015 චෝදනා එල්ලවන්නට බල පෑ කරුණු නිසාම අද මෛත්‍රී ඔහු සහ ඔහුගේ ප්‍රතික්ෂේප කළ කරුණු වැළඳගෙන තිබෙන බව පැහැදිළි කරන්නේය.ඒ තත්ත්වය මත මහින්ද රාජපක්ෂයන්ට ජාත්‍යන්තරය ඉදිරියේ විඳින්නට වු නොපිළිගැනීම සහ රට කොන් වෙමින් අප හුදෙකලා ජාතියක් ලෙස ලෝකයෙන් කොන් වෙන්නට පටන් ගෙන තිබිණ.එහෙත් ඒ තත්ත්වය ලෝකයෙන් සඟවා ගන්නට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ගති ලක්ෂණ විදහා පෙන්වන කතා කළා විනා ඒවා තමන්ගේ අඩු-පාඩු ලෝකයට පෙනෙන්නට කතා නොකරන්නට මහින්ද පරිස්සම් විය.ඒ බලය රැක ගැනීම වෙනුවෙන්ය.
නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ කතාවෙන් මහින්ද සඟවා ගත් දෙය ලෝකයට තියා පෑවේය.ඒ බලය වෙනුවෙන් මත්වීම නිසා උපක්‍රම තෝරා ගැනීමේ අවස්ථාව අමතක වීමෙන්ය.එසේත් නැතිනම් මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර දං ගෙඩියට රට ගෙන යාම වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වන මොහොතක මහින්ද හෝ ඔහුගේ නියෝජිතයෙක් රට බේරා ගැනීම සඳහා මෛත්‍රී වෙනුවට ඒ පුටුවේ ඉන්දිමට ඇති අවස්ථාව සළකා මහින්ද රාජපක්ෂ පාර්ශවයම ලබා දුන් උත්තේජනයක් වන්නටත් හැකිය.
නමුත් අපිට ඕනි අපේ හැඩේ රටක් යන මිත්‍යාවෙන් දුරස්ව අපිට ඕන ලෝකයට අභියෝග කළ හැකි රටක් යනුවෙන් සිතන පිරිසට  මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය තව දුරටත් අදාළ කර ගැනීමට නොහැකි බව ඔහු ඊයේ පාර්ලිමේන්තුව පෙනි පෙනී කළ කතාවෙන් පැහැදිළි කර දුන්නේය.එසේම රට ගැන ආදරයෙන්,ලෝකයේ ඉහළ රටක් බවට පත් කළ යුතුය සිතන හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කිසිවෙක් තුල ලැජ්ජාවක් ඉතිරිව ඇත්නම් මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනි නොසිටිය හැකි තත්ත්වයක් ඔහු ඊයේ පැහැදිළිව පෙන්වා දි අවසන්ය.
රනිල් වික්‍රමසිංහ කල සැබෑ වැරදි වෙනුවට ජාතිවාදී,ආගම්වාදී සහ ලිංගිකත්වය පදනම් කරගත් ග්‍රෝතික තත්ත්වයන් තුළ ඔහු ප්‍රතික්ෂේප කරමින් රටේ නායකයා ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් කෙළ පැමිණ ඇති බව ඔහු ලෝකයට පෙන්වා දුන්නේය.ලෝකයට පිටු පා ජීවත්වන්නට ආර්ථික ශක්තියක් නැති රටක ස්වාමීන් වහන්සේ කෙනෙක් වදාළ ආකාරයට රට හදන්නට නොව, උන් වහන්සේලා මෙන්ම වේලක් කා ජීවත්වන්නට මේ රටේ ජනතාවට සිදුවිය හැකි අවධානමකට මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වීමට ඉඩ ඇති බව මෛත්‍රීපාල සිරිසේනයන් ඊයේ පැහැදිළි කර දුන්නේය.
දැන් මේ රටට රනිල්ගෙන් වැඩක් නැත.නමුත් රනිල් ද ඇතුළත් වෙනම දේශපාලන සංධානයකින් රට පෙරට ගෙන යා හැකි පෙරමුණක් තනන්නට අවශ්‍යය වි තිබෙන බව පැහැදිළිය.ඒ සංධානය සම්බන්ධයට රනිල් වික්‍රමසිංහ ද තමන්ගේ සියල්ල නොව ගැලපෙන ප්‍රතිපත්තිමය කාරණා සමඟ දායක වීමට හිත හදා ගැනිම අවශ්‍යය වන්නේය.ෂයිලොක්ලා වෙනුවට බෙදා ගැනිමෙන් සියල්ලට අගයක් එන බදා ගැනිමක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙයවිය යුතුව ඇත.මන්ද එවැනි වචන කියන අයට ලැජ්ජාවක් ඇතිව තව දුරටත් රට වෙනුවෙන් යන වචනය යොදා ගනිමින් මෛත්‍රීපාල සිරිසේනයන් සමඟ රැදෙන්නට නොහැකි බව ඔහු සිය අපූරු අදහස් දැක්විම හරහා ඔප්පු කර පෙන්වා අවසන් බැවිනි.
ඒ කතාව මහින්ද රාජපක්ෂගේ අනුදැණුම අනුව මෛත්‍රීගේ දේශාපාලනය විනාශ කිරිමටම සැළසුම් කළ එකක් නොවේනම් ඔහුට සිතෙනවා ඇත්තේ "මං කොහොමද මේ යකා එක්ක ආණ්ඩු කරන්නේ" යනුවෙන්ය.රනිල් වික්‍රමසිංහට ද ඒ ආකාරයෙන්ම එම කතාව ඇසුවේනම් මෙසේ සිතෙන්නට පුළුවන.
" මං අවුරුදු තුනක් මේ යකා එක්ක හිටිය එකත් ඇති"
කෙසේ හෝ ලැජ්ජා නැති අයට තව දුරටත් මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ගැලවුම්කාරයා ලෙස සිතන්නට ඉඩ ඇත.ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඇති ප්‍රජාතන්ත්‍රවාදි අයිතියට කිසිවෙක් බාධා කරන්නට අවශ්‍යය නැත.

Thursday, November 1, 2018

ශාන්තගෙන් නාමල්ට


Image result for shantha dodangoda
මේ ශාන්ත දොඩම්ගොඩගේ පවුලයි.ශාන්ත දොඩම්ගොඩ දැන් බොහෝ දෙනෙක්ට අමතකව ඇතත්,ඔහුගේ ඝාතනය සම්බන්ධ නඩුව තවමත් ඇසෙමින් පවතියි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශාන්තගේ පවුල මේ ආකාරයට මුණ ගැසෙන්නේ ශාන්ත මියගියේ තමන්ගේ රැස්වීම වෙනුවෙන් සැරසිලි කරමින් සිටියදී වීම නිසා ඊට කෘතෝපාර දැක්වීමටයි.
ශාන්තව මරා දැමීම ගැන චෝදනා එල්ල වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ මැතිවරණයේදී ලක්ෂ 58 ක් ඡන්දය ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නියෝජිතයන්ටයි.එසේනම් මේ මොහොතේ ලක්ෂ 58 ක් පිරිසගේ වෛරයට ලක් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔවුන්ගේ නායකයා ජනාධිපතිවරයා ලෙස පිළිගන්නට ඔවුන් සෑදී පැහැදී සිටියි.
එහිම අනෙක් පස ඊට වඩා අපූරුය.ශාන්ත වැටෙන්නේ ලක්ෂ 62 නියෝජනය කළ පිරිසටය.එම පිරිසේ සිටි පිරිස් මරණ තර්ජන මැද ජීවිතය දෙවැනි කොට ජයග්‍රහණය කරවන්නට කැප වුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද සිය අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිලිගෙන සිටියි.
මේ දෙපසටම ඡන්දය භාවිතා කළ අය තමන්ගේ විරුද්ධවාදියා ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ පක්ෂපාතීත්වය දැක් වූ අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අයය.දැන් ඒ ලක්ෂ 110 ම බලාපොරොත්තු නොවුණ පිළිතුරක් ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය වෙමින් ඇත.ලක්ෂ 62 ට හො ලක්ෂ 58 හෝ මේ සැබඳියාව අපේක්ෂා නොකළ බව අපි දනිමු.ඒ නිසාම එය ජනතා මතයට විරුද්ධව යාමක්ය.
ශාන්තගේ ජීවිතය පමණක් අහිමි වී තව පිරිසකට මිනී මැරුම් චෝදනා එල්ලවීම පමණක් 2015 ගැටුමේ ප්‍රතිපල ලෙස ඉතුරු වි ඇත.ශාන්තගේ පාර්ශවය සහ ඔහුව ඝාතනය කළ පාර්ශවය තනිකරම ප්‍රතිපත්ති දෙකක් මත කළ අරගලයක් නිසා එකිනෙකා නොරත රත මෙන් විය.
නමුත් එය එසේ නොවන බව දැන් සහතික වී ඇත.රොද බඳින පිරිස අදාළ වන්නේ ඔළු ගණනය කිරීමටය.ඒ ඔළුවල වටිනාකම බලයත් සමඟ ශුන්‍ය වන්නේය.ඒ නිසා මේ සිදුවීම කොයි ආකාරයකින් ගත්තත් ප්‍රජාතන්ත්‍රවාදී පොළවක අපේක්ෂා නොකළ හැකි තත්ත්වයකි.
අවසානයේ ශාන්තගේ ජීවිතයට වඩා හතර වරම් ඩීල් කාරයෙක් ලෙස තමන්ගේ සහ මහින්දගේ සම්ප්‍රාප්තියේ අනුහසින් මෙන් රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එළියට පැමිණි අමිත් වීරසිංහම හඳුන්වන නාමල් කුමාර මෛත්‍රීගේ ඉෂ්ට දේවතාවා වි ඇත.
ලක්ෂ 110 ක් සමානයි නාමල් කුමාරවීමේ ප්‍රතිවිපාක විඳින රටකට පුද්ගලබද්ධ වන්දනාවෙන් ආශිර්වාද කරන ගොසිප් දෙවිවරුන්ගේ දූ පුතුනට මේ වචන සමඟ අපේ ජාතකය අවුල් වි දැණීම ගැන පුදුම නොවුණ ද තමන් ජාතක කළ දරුවන්ගේ අනාගතය ඉදිරියේ ඇති අවනීතිය සහ අවිචාරය සහ භාෂිතයේ සහ ලේඛණයේ නිදහස ගැන අවදියෙන් පසුවන්නට සිදුවෙනු ඇත.එය මගේ දරුවන්ටද හැමෝගෙම දරුවන්ටද පොදු අනතුරක් පමණි.
මේ මොහොතේ සටන මහින්දට එරෙහිව හෝ මෛත්‍රීට එරෙහිව හෝ රනිල්ට පක්ෂව නොව ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂවය.එය පසුගිය වසර තුන තුළ ද පැවති රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් නොගැළපෙන දේ සඳහා එරෙහි වෙමින් ප්‍රසිද්ධියේ තැබූ සටහන් ඇස නොගැටුණු අයට කළහැකි දෙයක් නැත.පක්ෂ දේශපාලනයේ සටන එන්නේ වෙන තැනෙකය.එවිට එයා පාක්ෂිකභාවය ලෙස නොසළකා විවේචනය කිරීම ගැන අවුලක් නැත.නමුත් දැන් ඇත්තේ පක්ෂය ගැන සටනක් නොවන රටේ අනාගතයට අදාළ වන අවිචාරවත් ක්‍රමයක් ස්ථාපිත කිරිමට දරණ උත්සාහය පරාජය කිරීමේ උවමනාවය.
රනිල් සහ මෛත්‍රී දීගය ස්ථාවර එකක් නොවුණා සේම මෛත්‍රී සහ මහින්ද දීගයද ස්ථාවර එකක් නොවිය හැකිය.රනිල් නොසිටියද එවැනි මොහොතක එජාපයට ද මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදි නොවන ක්‍රියාදාමයකට ඉඩ ඇත.
එදාට හඩන ගොන්නට වැටෙන්නේ අපේ දරුවන්ය.ගැටන්නේ තැලෙන්නේ ඔවුන්ය.අපි රස විඳින අද කෙතරම් අමිහිරි රසවලින් සෑඳුණ එකක්ද යන්න වටහාගන්නට ඒ දක්වා පසුබසින්නේ ද?

Image may contain: 3 people, people standing and outdoor

නව රජයේ නිර්මාතෘට ලැබෙන හරසර දකින්න....නාමල් කුමාර


Wednesday, October 31, 2018

නාලකගෙන් අමිත්ට කියන්නෙ මෛත්‍රීගෙන් මහින්දට ද?

Namal Kumara summoned to Govt. Analyst’s Dept.

නාලක කුමාර රටක ව්‍යවස්ථාවම ප්‍රශ්නාර්ථයක් කර ලෝකය හමුවේ ශ්‍රී ලංකාව නාඩගමක් බවට පත් කළේය.මේ සිදුවීමට පාදක වන්නේ එය බව අප කවුරු කෙසේ කීවත් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කී දේ අනුව පැහැදිළිය.
නමුත් මේ සිදුවීමත් සමඟ ඇති වූ මෛත්‍රී - මහින්ද එකඟතාවය අනුව රිමාන්ඩ් භාරයෙන් විස්මිත ලෙස එළියට එන අමිත් වීරසිංහ කරන හෙළිදරව්වත් සමඟ මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන භාවිතාව අර්බූදයේ පතුළටම වැටිණ.
දැන් මේ කතාවල්වලට අනුව අමිත් මහින්ද පාර්ශවයේ සිට නාලක රනිල් පාර්ශවයේ කරන්නට දරණ වෑයම අතාර්කිකය.මන්ද නාලක කුමාර ජනාධිපතිවරයාගේ යටතේ වැටුප් ලබන සේවකයෙක් බැවිනි.
මේ තත්ත්වය නිසා අමිත් වීරසිංහ කරන ප්‍රකාශයට පදනම වූ රනිල් හිර කිරීම වෙනුවට මෛත්‍රී හිරවෙන තත්ත්වයක් උද්ගත වී ඇත.ඒ මෛත්‍රීගේ මිනිහා වන නාලකට වඩා දක්ෂ ලෙස නාලක කුමාර මහින්ද ගේ මිනිහා වන අමිත් ට පරාජය වීමෙන්ය.එය වක්‍ර ආකාරයෙන් දේශපාලනිකව මහින්ද මෛත්‍රි යටත් කර ගැනීමක්ය.
අවසානයේ නාලක කුමාරගේ ප්‍රකාශය පදනම් කරගෙන ආණ්ඩුව වෙනස් කළ බව මෛත්‍රීපාල විසින් අවධාරණය කරන්න යෙදුණ ද,සිදු වී ඇත්තේ එය පිටුපස ඇත්තේ අමිත් වීරසිංහ කියූ බොරුවක් මේ සිදුවීමට මුල් වූ බවය.එසේම අමිත් පවසන ආකාරයට නාලක පාවා දෙන්නෙක්ය.
දැන් වැඩේ පැහැදිළිය.ඔළුගෙඩි ගණනෙන් මහින්දට බලය ලබා දී කදේ දාගෙන ආණ්ඩු කරන්න පුළුවන් වුණත් ආරම්භක මොහොතේම මෛත්‍රීගේ නාලක මහින්දගේ අමිත්ට පරාජය වී ඇත.ඊ ළඟ පියවරේ දී තත්ත්වය තවත් වෙනස් වන්නට පුළුවන.ඒ මෛත්‍රී ද මහින්දට පරාජය වීමෙන්ය.එවැනි අවස්ථාවක එන විශ්වාසභංගයකට එජාපය වුව ද උපරිම බර දරා මහින්දට සිය සහයෝගය දෙනු ඇත.
ඒ නිසා මේ අමිත් පරාජය කරන්නේ නාලක ද නැතිනම් මෛත්‍රීව මහින්ද පරාජය කිරීමක්ද යන්න සිහි නුවණින් විමසා බැලිය යුතුව ඇත.මේ සියලු දෙනාගෙන්ම රටවැසියනට කළ හැකි ඉල්ලීම වන්නේ මෙපමණය........................................
Image may contain: one or more people, text and close-up

Friday, October 26, 2018

සද්දෙ තේරුම් නොගැනීම

Image result for mahinda rajapaksaවෙනසක් කියන දේ මේ පොළව මත සිදුවෙන්නෙ රූපමය වශයෙන් විතරයි.2015 ජනවාරි 08 දා සිදු වූ වෙනස ඒ අතින් සාධනීය එකක්.මොකද දෙපැත්තක් එකතු වෙලා වුණ දෙයක් නිසා තැලෙන්න ගුටිකන්න පැත්තක් හිටියෙ නැහැ.
හැබැයි ඒ තත්ත්වය රැකගන්න මොනවද කළේ කියන ප්‍රශ්නය ආවම ආයෙමත් ගල් වෙනවා.රූප රාමු වෙනස් වුණාට පිටපත වෙනස් කරගන්න බැරි වුණා.විද්‍යා ගුරුතුමිය යකැඳුරාට කියල නූල් බන්දගන්න රටක අධ්‍යාපනය කියන්නෙ ජීවිතයට අදාළ කරගන්න දෙයක් නෙමෙයි.යැපුම් මාධ්‍යයක්.ඒ යැපීම මත දේශපාලනය කරන පිරිසකට රට වෙනස් කරන්න බැහැ.ඒ නිසා මේ පොළවෙ වෙනසක් අපේක්ෂා කරන දේශපාලනයක් සියයට සියයකින් බලාපොරොත්තු වෙන්න බැහැ.
හැබැයි ඒ පෑහීමයි මහින්ද අගමැතිවීමේ පෑහීමයි එකට පුරුද්දන්න බැරි බව පැහැදිළියි.ජනාධිපතිවරයාට වගකියන රාජ්‍ය ආයතන තමයි හැමතැනම තියෙන්නෙ.එතකොට ඒවයෙ පත්වීම් ලබා සිටින පිරිසි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා.ඊයෙ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත්වීමත් සමඟ ජනාධිපතිවරයාට ඇති එම වගකීම අහෝසි බව පැහැදිළියි.
රජයේ ඇමතිවරයෙක්ට අවශ්‍යය පරිදි ප්‍රවෘත්තියක් පළ කරන්න බැරි තරමට රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරින් භුක්තිවිදි නිදහසට රාජකාරිමය වශයෙන් මුහුණ දෙන්න වෙන ගැටළු එක්ක අකමැත්තක් තිබුණත්,ඇඟේ දුවන මාධ්‍යකරුවාගේ ලේ ඒකට ආදරය කළා.නමුත් තව දුරටත් ඒක එහෙම නොවන බව පැහැදිලි කරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ වන හැසිරීම පැහැදිළි කළා.
හැබැයි ඇමතිවරුන්ගෙ පෞද්ගලික ප්‍රවෘත්ති ප්‍රචාරය නොවුණත්,රට තුළ සිදු වෙමින් පැවති භෞතික වෙනස්කම් ජනතාවට දනවන්න කියන්න රාජ්‍ය මාධ්‍ය ආයතනවලට මීට වඩා වගකීමක් තිබුණා.ඒකට උදව් කරන්න අමාත්‍යංශවලින් සිදු වුණ දෙයක් නැහැ.හුඟක් තැන්වල මාධ්‍ය ලේකම්වරු පුටු වුණා.පුටු කරා.ඒ නිසා නිර්මාණශිලීත්වය සහ මාධ්‍ය භාවිතය කියන කාරණා අතර සංවාසයක් වුණේම නැහැ.
රාජ්‍ය නිලධාරියා ශක්තිමත් වුණා.ඒ ශක්තිය අනවශ්‍යය විදිහට වැඩවලට පීඩනයක් වෙන තැන්වලදි බොහෝ අමාත්‍ය කාර්ය මණ්ඩලවල ඊට එරෙහිව හඬනඟන පුද්ගලයාව යටපත් කරලා රාජ්‍ය නිලධාරියාගේ සිවිල් බලය සමඟ පෑහී එකට හිටගත්තා.මේකෙන් හුදෙකලා වුණේ අමාත්‍යවරයාගේ වැඩ කටයුතු සහ දේශපාලනය.
කඩං වැටෙන බව දැනෙන් නැති තරමට අසංවේදී දේශපාලනයක් කරපු ආණ්ඩුවක් වුණේ ඇයි කියන එක මහින්දගෙන් අගමැතිකම ආපහු ගලවගන්න පුළුවන් වුණත් මැති ඇමතිවරු හිතන්න ඕනි.ඇමතිවරයාව මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගෙන හංගන එක වෙනුවට මිනිස්සුන්ට දේශපාලකයා විවෘත කරන ක්‍රියාවක් සිදුවෙන්නනම් බිම දේශපාලනය දන්න මිනිස්සු ඇමතිවරු ළඟ රැදෙන්න ඕනි.
කඩේට බඩු ගන්න එන පාරිභෝගිකයාව සනසන හැටියට දේශපාලනඥයා හමුවෙන්න එන පාක්ෂිකයා සනසන්න බැහැ.ව්‍යාපාර කියන එකට වඩා දේශපාලන ව්‍යාපාර වෙනස් බව දැන්වත් කියවගන්න වෙනවා.
වඩාම වැදගත් දේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් ව්‍යවස්ථානූකූලව ඇති ගැටළු සම්පූර්ණයෙන් ලිහා නොගෙන දිව්රුම් දෙන මොහොතින් පසුව මේ රටේ හැසිරිම සිදුවන ආකාරය විමසා බැලිමයි.මේක නැවත 2015 ට පෙර බලය හුවමාරුවන විට සිදුවන ගහමරා ගැනීම් වලින් පෝෂණය වන දේශපාලන සංස්කෘතියට පය ඔසවන්න සමාජය සූදානම් කිරීමක්.
මේ ගහගැනීම්වල අවසාන ඉලක්කය කවුරුද?සරලව එජාප පාක්ෂිකයා.
දැන් පොඩ්ඩක් පක්ෂපාති වගේ කියල දැණුනට 2015 වෙනස තුළ වැඩිම බරක් ඇද්ද පුද්ගලයො හිටියෙ එජාපය තුළ.මහින්ද තුළ තිබූ අසාමාන්‍ය ආකර්ශණය සහ අසීමාන්තික ජනප්‍රියතාවය පරාජය කරන්න වෙනස් කරන්න දශමයෙන් දශමය හිටිය එජාප පාක්ෂිකයො තුළ හිටපු නිර්මාණශිලී මිනිස්සු ටිකට ඊට පස්සෙ මොකද වුණේ?
වෙනසට නායකත්වය දුන්න පිරිසට රට වෙනස් කරන වැඩේ දි වගකීම් හරියට ලැබුණද?අභිතව නිර්මාණශීලීව අරගලය තුළ සිටිය අය 2015 දී කළ දේ අසීරු අභියෝගාත්මක ජීවිතය පරදුවට තියලා කළ එකක්.ඒ දේ කරපු අය වෙනුවට බොහෝ තැන්වල තෝරාගැනිම් අතරෙ හිටියෙ ආගන්තුකයො.
ඒ ආගන්තුකබව බලපෑවේ කොතැනටද?
මහා කැපවිම කළ මිනිසුන්ගේ වැඩ අගයන්න අවශ්‍යය මානසිකත්වය සහ අගය කරන්න අවශ්‍යය වචනවත් බොහෝ විට මේ ආගන්තුකයන් දැන සිටියේ නැහැ.ආගන්තුක සම්ප්‍රාප්තින් සිදු වුණේ මල් මතින්.ඒ මල් සමඟ තිබෙන කටුවල වේදනාව දැනුණේ කටු මතින් ඔසවා මේ ආණ්ඩුව ඉහළින් තැබීමට ලේ හලාගත් කඳුළු දහදිය වගුරවපු මිනිස්සුන්ට.සැනසෙන්න වචනයක් හෝ නැතිව හුදෙකලා වූ මිනිසුන් විශාල පිරිසක් වැඩ කරන කුලකයෙන් ඉවත් කළ දේශපාලනයක ප්‍රතිපල මහින්දගේ කඩා පැනීමට වඩා භයානක වෙන්න තිබුණා.
දැන් මේ භයානකකමට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා.ආණ්ඩුව 2020 වෙනකං රැගෙන යාම සඳහා පාර්ලිමේන්තු බහුතරයගේ කැමැත්ත දිනා ගැනීම මෙහි පළමුවැන්නයි.එය සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේනම් ඊ ළඟට ඉතිරි කාලය සඳහා නිවැරදි මිනිසුන් සොයා ගැනීම ද කළ යුතු වෙනවා.
හැඩ බලන්නනම් වැඩ කරන්න ඉඩ දෙන්න.
බොහෝ අයගේ හඩට එවැනි හඩවල් යට වුණා.අවසානයේ හැඩ වැඩ නැතිව ඉතිරි වු හඩවල් වල බොල් බව දැනෙන්න ගත්තා.
සද්දෙ තමයි.ඒක හැබැයි බොල්.
පිරුණු දේවල්වල හඩක් නැඟෙන් නැහැ.ඒවට කණ තියලා වැඩක් නැහැ කියපු අය සද්දෙට රැවටුණා.මේ රැවටීමෙන් රටම මිදෙන්න ඕනි.
පැරදුනොත් මහින්ද තමන්ව මිහිදන් කරයි කියලා කියපුු මෛත්‍රී මහින්ද තමන්ගෙ අගමැති කරගන්න එකත් ඊ ළඟ පියවරේදි මිනිස්සු තමන් හමුවේ තියෙන්නෙ රැවටීමක්ද නැද්ද කියලා වඩාත් බුද්ධිමත්ව හිතන්න පොළඹවවාවි.ඒ අතින් හිතන මිනිසුන් සිටිනවානම් රැවටීම නවතන්න මේකත් හොද හැරුම් ලක්ෂයක්.


Monday, October 22, 2018

මුතුයි රතුයි

මුතු තියෙන්නෙ හැංගිලා.හොයාගන්න මහන්සි වෙන්න වෙනවා.එතකොට තමයි වටිනා දේ ලැබෙන්නෙ.ස්වභාව ධර්මය හැඩ ගස්සලා තියෙන ඒ ක්‍රමයට සැබෑ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වෙනවා.
මේ රතු පලස් එලන්නනම් බන්ධනාගාර රැදවියෙක් යොදා ගන්න ඉඩ තියෙනවා.ඒ ඔවුන් භාහිර වැඩවලට යොදාගන්න අවස්ථා තියෙන නිසා.ඒත් වෙනසක් නොවී ඔවුන්ටත් මැති ඇමතිවරු ප්‍රභූවරු ඇවිදින ඒ පලස මතින් ඒ විදිහටම සමාන සැළකුම් ලබමින් යන්න ලැබෙනවනම් කොයිතරම් දෙයක්ද?
ඒක ටිකක් අමුතුයි.සමහර විට පුදුමයි කියන අයත් ඉන්නවා.
ඒ අමුතු දේවල් පුදුම දේවල් පොඩි මිනිස්සුන්ට කරන්න පුළුවන්.මගේ හදවතට තියෙන සතුට ඒකයි.ඒක ආඩම්බරයක්නම් නෙමෙයි.මට පොඩි කාලෙ ඉදල තිබුණ උවමනාවක්.සමහරු ඒකට පිස්සුවක් කියලත් කියනවා.
හැම දේටම වගේ මේකටත් මගෙ තාත්තා ඈදෙනවා.
අපි දුරෙක්කන්දෙ ගේ ගන්න වෙලාවෙ ඒ ගමේ නම කියල රත්නපුරෙන් මිනිස්සු ටිකට් ගන්නෙ නැහැ.ටිකට් එකේ ගාන කියන්නෙ.ඒ මුලු රත්නපුර නගරයෙම ඒ වෙනකොට හිටපු ගණිකාවන්,පික්පොකට් කරුවන් වැනි සමාජ විරෝධීන්ගේ නවාතැන් පොළ වෙලා තිබුණෙ දුරෙක්කන්ද.එහි හිමිකාරීත්වය දැරුවෙ ධර්මදාස කියල කෙනෙක්.සක්කොල ධර්මදාස කිව්වම ඉස්සර රත්නපුරේම හෙල්ලෙනවා.
ධර්මදාසගෙ ගෙදර අරක්කු විකිණීමත් තිබුණා.ඒත් ගමේ අය ගොඩ වුණේ නැහැ.හේතුව බයට.ඒත් ලොකු තැන්වල අයත් අරක්කු බොන්න වගේම වෙනත් උවමනාවන් වෙනුවෙන් මඟ ලකුණු අහන්නත් මෙතැනට ගොඩ වෙනවා.දුරෙක්කන්දෙ ගේ ගන්න ආපු තාත්තාත් ධර්මදාසගේ තැනට බොන්න ගිහිං.
මහත්තය මෙහාට එනව කියල ආරංචියි.ඕනම දෙයක් කියන්න ඕන ප්‍රශ්නයකට මමයි මගෙ කොල්ලො ටිකයි ඉන්නවා.
බොන්න ආපු ධර්මදාස තාත්තට එහෙම කිව්වම තාත්තා දීල තියෙන උත්තරය හරි අපූරුයි.
ප්‍රශ්නයක් වෙන්නෙ නැතිව ඉන්නයි මම එන්නෙ.ප්‍රශ්නයක් වුණොත් තමුසෙ එන්න ඕනිත් නැහැ,කොල්ලො එන්න ඕනිත් නැහැ.මම එනවා මෙතනට.ඒ නිසා පරිස්සමින්.
*******************************************************************************
ඊට පස්සෙ අපි පදිංචියට ඇවිත් මාසයක් විතර යද්දි තාත්තා පතල් පොළට බඩු අරං යද්දි රුපියල් නවසීයක් තාත්තගෙ සාක්කුවෙන් අර ගන්නෙ එතැනට ආව ගිය නමගිය පොකැට් කාරයෙක්.තාත්තා අර පළමු මොහොතෙ කිව්ව වගෙම ධර්මදාසගෙ ගෙදරට ගිහිං අර මනුස්සය අරං ඇවිත් සුමිත් නිරිඇල්ලගෙ ලොකු තාත්තලගෙ ගෙට ඉස්සරහ තියාගෙන ගහනවා.
ඒ වෙන කොට ඒ ගමේ විශාල පිරිසක් අපේ පතල්වල වැඩ.හැබැයි කිසි කෙනෙක් ළඟට ආවෙ නැහැ.තාත්තා තනියෙන්.(ඒ නිර්භිතකමනම් මට තියෙනවද දන්නෙ නැහැ.)එතනදි තමයි දෙවන අවවාදය ධර්මදාසට දෙන්නෙ.මීට පස්සෙ මේ ගමේ කාටවත් කිසි දෙයක් වෙන්න බැහැ.
ඒ අවවාදය දෙන්න හේතුව තමයි බිම කළුවර තියෙද්දිම අළුයම වත්තෙ පෙරෙට්ටුවට දුවන ගැහැණුන්ගෙ කෑම එකත් මේකෙ හිටිය මිනිස්සු කඩා ගැනීම.එහෙම ගැහැණු අය අදටත් වඩා පසුගාමි සාමාජයක සිටි නිසා නොකිව්වද දන්නෙ නැහැ.හීරීම් හෙම සිදු වී තිබුණෙ බත් එක බේරගන්න සටන් කරද්දි කියලා කිව්වට ඊට වඩා නරක අත්දැකීම් ඒ අය විඳින්න ඇති.
නමුත් දෙවන අවවාදයට මාසයකට පසුව තාත්තා නැති වෙලානවක අපේ ගෙදරට පනින්න ඇවිත් අපේ බාප්පගෙ දුවවයි,මාමගෙ දුවවයි එළියට අදින්න හදනවා.ඒ ධර්මදාසලට ් ගමේ අවුරුදු ගාණක් දරන් හිටපු බලය අහිමි වෙන තැන.සියලු දේ විකුණා ගමෙන් යන්න වෙනවා.
පොලිසිය ඉස්සරත් ඉතිං අදට සාපේක්ෂව හොද වුණාට අපරාධකාරයා අල්ලලම දෙන්න ඕනි තත්ත්වයෙ තිබුණෙ.ගෙදරට පනින්න ආපු කෙනෙක් හෙළිදරව් වෙලා මුරුතංඇල කියන පැත්තෙ ගෙදරක හැංගිලා ඉන්නවා කිව්වම තාත්තා ගියා මනුස්සයව ගේන්න.දැන් ගමේ තත්ත්වය වෙනස්.පළමු දවසෙ අත්බැදන් හිටපු මිනිස්සු එක පෙළට තාත්තා පිටුපස.
මනුස්සය මතුවෙන්නෙ ඇසිඩ් බල්බ් දෙකක් අතින් අරං.ඒත් ඒවට ඉස්සර තාත්තා ඉස්සර වෙලා තිබුණා.පුද්ගලයව කුදලං ඇවිත් පොලිසිය එනකං සුමිත් ලගේ ලොකු තාත්තලගෙ ගේ ඉස්සරහ ගහක බැදල තිබුණා.තාත්තා හරක් මස් එක්ක බත් අරං ගිහිං කවන්න හැදුවා.මනුස්සය බැහැ කිව්වා.
ඇයි හරක් මස් කන්නෙ නැද්ද?
එහෙම චරිත ගොඩක් ලෝකෙට පේන් පිංවන්තයො කියල දැගෙන තාත්තා ඒක අහන්න ඇති.මනුස්සය හරක්මස් කන බව කිව්වා.ඊට පස්සෙ තාත්තා කටවල් දෙකක් කාලා අර මනුස්සයට කැව්වම කෑවා.
මේ ගැන අපේ ගෙදර ඇති වුණ සංවාදය මට තාම මතකයි.
අරූට මස් උයල ගිහිං කවන්නෙ පිස්සුද?
අම්මගෙ ගෝරනාඩුව එක දිගට.තාත්තා ඒ වෙලාවට නිශ්ශබ්දයි.එදානම් මාත් අම්මගෙ පැත්තෙ.මාත් දන්න තරමින් තාත්තව විවේචනය කළා.
අක්කල අරං ගියානම්...
අරං ගිහි මොනව කරනවද කියලවත් හැඟීමක් නැති වුණාට මම එහෙම කිව්වා..මාස තුනකට විතර පස්සෙ තාත්තා මට පෑන් දුසිමක් ගෙනත් දුන්නා.
කොහෙන්ද
තාත්තා උත්තර දුන්නෙ මට නෙමෙයි අම්මට.
.............. දැන් බිස්නස් කරනවා.ඉස්සෙල්ලම පෑන් ටික කියලා මට ගෙනත් දුන්නා.මම ඉතිං දුසිමක්ම ගත්තා.මට දැන් ගොඩක් දේවල් තේරෙනව මහත්තයො මම ආයෙනම් එහෙම ජීවිතයකට යන්නෙ නැහැ.
මනුස්සය කිව්ව කතාව අම්මට කියලා මට කිව්ව දේ තමයි මගේ වෙනස ඇති කළේ.
ඒ මනුස්සයගෙ ඔය වගේ තව කොච්චර හොද දේවල් ඇද්ද?තියෙන එකම නරක වෙන්න ඇති අපි දැක්කෙ.
ලොකුවට තේරෙන්නෙ නැති වුණාට තීරණාත්මක අවස්ථාවල තාත්තා කියන දේවල් කොච්චර ලොකු ද කියල කාලයත් එක්ක තීරණය වෙනවා.
ඒ නිසා මම බන්ධනාගාරය ඇතුළෙ හමුවන වැරදිකරුවගෙ නොපෙනෙන හොද ගැන හැම වෙලේම විමසිලිමත් වුණා.අපිට වඩා හොද දේවල් කොච්චර ඇද්ද කියලා හිතුවා.මනුස්සයෙක් කියන්නෙම හොද සහ නරක අතර සංයෝජනයක්.ඒ හැඟිම නිසා මට ඔවුන්ට සමීප වෙන්න හැකි වුණා.ඔවුන් මාව සමීප කරගත්තා.
අපි අතහැරපු දේවල් කොච්චර ඇද්ද ඒ වැරදිවලට හේතු වුණ කියලා මාව රිද්දමින් මට දැනෙව්වා.ඒ මේ නාට්‍යයෙ ප්‍රධාන භූමිකාව කළේ මාත් එක්ක අවුරුදු හතරක් එකටම එක පංතියෙ අකුරු කරපු එකෙක් වීම නිසා.
ඌ මහා ආඩම්බරෙන් මට ස්ර් කියනවා.
මම ඒකට විරුද්ධ වුණාම ඔහු කියන්නෙ වෙනම කතාවක්.
මගෙ පංතියෙ මාත් එක්ක හිටපු කෙනෙක් මේ වගේ තැනෙක ඉන්න එක ගැන මේ වෙන කාටවත් වඩා සතුටු වෙන්න පුළුවන් මට.ඒ නිසා හදවතින්ම සතුටෙන් කැමැත්තෙන් මං ස්ර් කියන්නෙ.ඒක මට ආඩම්බරයක්.
ඒ වචනෙ ඇහෙද්දි මගේ පපුව තුවාල වුණාට උගේ හදවත සුවපත්වීම හොදයි.ඒත් එහෙම වෙන්න අපිට උගේ ජීවිතයෙ මඟ හැරුණු තැනක් ඇත්තෙම නැද්ද?ඒක තවම කකියන දෙයක්.
කොහොම වුණත් මට උන්ව රතු පලස උඩට ගන්න පුළුවන් වුණා.පුංචිම පුංචි ජයග්‍රහණ කිහිපයක් එක්ක.ඒක ගැන මට සතුටුයි සතුටුයි.
තාත්තා හිටියනම් එයා ඇස් දෙකේ නලියන කඳුළුත් එක්ක මාව බදාගන්නවා.කොයිම වෙලාවකවත් මගේ නිදහස අහුරන්නෙ නැතිව මම යන ගමන දිහා බලං හිටිය තාත්තා ගැන "හිටියනම්" කියල තවත් දැනෙන දවසක් මේක.

Wednesday, October 17, 2018

ඇජෙන්ඩාවලින් බේරෙන්න ෂෙලින්ඩා


ෂෙලීනා ජැන්සන් මේ මොහොතේ යොවුන් ඔලිම්පික් උළෙලේ පදක්කම්ලාභී පාරමී තරමටම කාගෙත් අවධානයට ලක් වෙලා.ලෝකෙන් නවවෙනියා වුණ ෂෙලීනා  ලෝකයෙන්ම උස පැනීමෙන් සිව් වෙනියා වු සෙනිරු අමරසිංහටත් වඩා අවධානය දිනාගෙන.
ඒකට හේතුව මොකක්ද?
මම හිතන්නෙ කෙට ධාවනයක තියෙන රිද්මය.ඒ වගෙම ඒ සම්බන්ධයෙන් අපේ ආකර්ශණය වැඩියි.අපේ ඉතිහාසය බලපුවම වැඩිපුරම ලෝකයේ අවධානය දිනාගෙන තියෙන්නෙ අපේ කෙටි දුර දුවන්නො.
ඊ ළඟ සුසන්තිකා ද එහෙම නැත්නම් දර්ශා ද යන කාරණය මෙහිදී අවධානයට ලක් කළ යුතු වෙනවා.මොකද එහෙම තමයි බොහෝ සිරස්තලවල දකින්නෙ.
නමුත් ෂෙලීන්ඩා කියන්නෙ ෂෙලින්ඩාමයි..
ඒ රටාව හරිම ආකර්ශණීයයි.ඒ වගේම ජයග්‍රාහී දිවීමක්.
මෑත කාලයේ ඇය තරම් සිය දෑත්වල ශක්තිය අපූරු විදිහට ධාවනයේ වේගය වෙනුවෙන් එකතු කරගන්න දුවන්නියක මා දැක නැහැ.මේ වීඩියෝව බැලුවොත් ඔබට තේරෙයි ඇය දෑතින් උපයා ගන්නා ශක්තිය වේගයට කෙතරම් දුරට උකහා ගන්නවාද යන්න.
ඒ වගේම අවසන් රේඛාව පසු කිරීමත් එක්ක ඇය සිය කටින් සිර කරගෙන සිටි හුස්ම පිට කරන අයුරුත් ඔබේ අවධානයට ලක් වන්නට ඇතැයි සිතනවා.ඒක මෙහෙම කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි.
ෂෙලීන්ඩා එක හුස්මට දිව්වා.
මම හිතන්නෙ කෙටි දුර ධාවනයෙදි හුස්ම අල්ලාගෙන සිටීම කියන කාරණය වැදගත්.එක ළග හුස්ම වැටෙන කෙනෙක්ගෙ වේගයට,එය බලපෑමක් කරන්න පුළුවන්.
මේ කරුණු සළකා බලනවිට ෂෙලීන්ඩා විශිෂ්ඨයි.ඇය අනන්‍යතාවයක්  සහිත ක්‍රීඩිකාවක්.
ඊ ළඟට තවත් වැදගත්ම කරුණක් පැවසිය යුතුව තිබෙනවා.ෂෙලීන්ඩාගේ දක්ෂතා බලද්දි ඒ පොකුරෙ සම දක්ෂතා ඇති පිරිසක් ඉන්නවා.ඒ ඇය අතරෙන් යොවුන් ඔලිමිපික් තරගාවලියට සුදුසුකම් ලැබිය හැකි වයසෙ හිටියෙ ෂෙලීන්ඩා.ඒ අලුත් වේග පවුලේ බඩ පිස්සිය ෂෙලීන්ඩා නිසයි.
බොහෝ විට සිදු විය හැකි පරිදි ෂෙලීන්ඩාගේ හෙට දවස වෙනුවෙන් ඇති විය හැකි ලොකුම අරගලය මේ වන විට පුහුණුකරු අරගලය විය හැකියි.ෂෙලීනාගේ සුලු අඩු-පාඩු සකස් කරන්නට යැයි කියමින් ඇයව තමන් යටතට පත් කරන ලෙස ඉල්ලන පුහුණුකරුවෝ මෙන්ම ඔවුන්ට උඩගෙඩි දෙන අමාත්‍යංශ නිලධාරීන්ද ෂෙලීන්ඩාගේ අනාගතයේ සැළසුම සිය අවශ්‍යයතා එක්ක අවශ්‍යය පරිදි සම්බන්ධ කරගනියි.
නමුත් ඇය වෙනම කියවිය යුතු බව මට හැඟේ.ඇය වේගවත් කිරීමේ කලාවේ බොහෝ දුරක් පසුකර අවසන්ය.
ක්‍රීඩිකාවක ලෙස ඇයට තරඟකාරීත්වය තුළ ඉක්මණින් හැඩ ගැසෙන්නට ඇති හැකියාව අපූරුය.තත්පර 24.07 දක්වා ඉතා සුළු කාල පරාසයකදී ඇයට පැමිණෙන්නට ඇති හැකියාව පැහැදිළි කරන්නේ යම් තත්ත්වයන්ට පරිවර්ථනය වන්නට සහ වර්ධනය වන්නට හැකි බවය.
මේ තත්ත්වය රැක ගන්නට ඇය සම්බන්ධයෙන් පහසු ක්‍රියාමාර්ගවලට ඇති ඉඩ පළල් එකකි.ඇය ඉංග්‍රිසි බස හොඳින් හසුරුවන ජාත්‍යන්තර පාසලක ක්‍රීඩිකාවක්ය.ඒ නිසා ඇයට මේ කොදෙව්වෙන් එපිටට විහිදුණු පොළවක හැසිරෙන්නට ඇති පහසුව ඇයගේ ධාවන ජීවිතයේ අභිවෘද්ධිය සඳහා වැදගත්ය.එය පුහුණුකරු වෙනස් වීමකට වඩා වැදගත් වන්නේ නිරන්තරයෙන් කෙටි ධාවන තරඟ පැවත්වෙන පරිසරයකට ඇය සමීපව රැඳවීමය.
සුසන්තිකා ජයසිංහ මීට හොඳම උදාහරණයකි.ඇය විදේශීය තරඟකාරීත්වය සමඟ හොඳටම තෙම්පරාදු වූ ක්‍රීඩිකාවක්ය.ඇයගේ දක්ෂතා ලෝකයට අභියෝගයක් වීමේ පන්නරය ඇය ලෝකයේ තරඟකාරීම බිම්වල හැප්පෙමින් උපයා ගත් එකකි.ලෝකයේ සම වයස් ක්‍රීඩිකාවන් අතර දහවන ස්ථානයේ පසුවීම කියන කාරණය දූපතකට සීමා නොවුණ මානසිකත්වයකින් ලෝකය දකින කෙනෙකුට ෂෙලින්ඩා යෝධයෙකු සේ පෙනෙන්නට ප්‍රමානවත්ය.
මෙවැනි යෝධ බලාපොරොත්තු අපේ ඇස් ඉදිරිපටම සිහින ලෙස මතුව යථාර්තයේදී හිමකඳු වී ක්ෂයව ගිය මතක අහුරකි.සැළසුම් ප්‍රාර්ථනා සියල්ල මේ පොළව මත තිබෙන බලවතුන්ගේ හැසිරීම් මත,සමාජ ආකල්ප මත අසික්කිත සැළසුම් මත සමනළ කන්ද තරම් පූජණීය විදිහට ඉහළට ඔසවන එහෙත් පින්නෙන් තණන ඒවාය.
ෂෙලින්ඩා පිනි බිඳුවක් නොවිය යුතුය.ඇයගේ බාහු යුග්මයේ වේගය,හුස්ම රඳවා ගැනීම මේ සියල්ල සමඟ ජාත්‍යන්තර පොළවක ගණු දෙනු කරන්නට හැකි භාෂාමය ඥාණය      ......මේ සියල්ල පිනි බිදුවකට වඩා දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නට ප්‍රමානවත්ය.
ෂෙලින්ඩා දුවමු! තව ටිකයි.10 අටට ගේන්න අට පදක්කමකට ගේන්න ඔබට පුළුවන්.
ඔබට පුළුවන් වෙනවානම් මේ ජයග්‍රහණයෙන් අනතුරුව මේ පොළවේ සිටින සුළුපටු ජයග්‍රහණවලින් තමන්ගේ වපසරිය පුළුල් කර ගැනීම ජාතික වැදගත්කමක් බව සිතන පිරිස්,සහ ඔබව ආදරණීය වචනවලින් වෙලා ගෙන සිය බල ව්‍යාපෘතියේ  පරාසය පුළුල් කරන්නට යොදා ගන්නා පිරිස්වල ක්‍රියාදාමයන්ගේ ගැලවී ඒ න්‍යායපත්‍රවලින් බැහැර ඔබේම න්‍යායපත්‍රයකට එන්න.ඒ න්‍යායපත්‍රය ඔබට සහ රටට වටිනාම න්‍යායපත්‍රය කරන්න..........................................................
ඔබට පුළුවන් ෂෙලින්ඩා දිනන්න




Friday, October 12, 2018

කලාබර වීම



මේ දවස්වල කලාව අ‍‍පේ ගෙදරට උච්චවෙලා.සිංහයා සහ වහලා ගැන කතා කරන අතරෙ දුවටයි පුතාටයි කලාවට සම්බන්ධ තව වැඩ පැටවිලා.
සමස්ත ලංකා පාසල් ඉංග්‍රිසි නාට්‍ය උළෙලෙ මෙවර බස්නාහිර පළාතෙන් ජාතික මට්ටමට තේරුණු නාට්‍ය ඉදිරිපත් කළ කොළඹ දේවි බාලිකා නාට්‍යයේ දෝනි රඟපානවා.වැඩේ පොඩි වුණාට රංග උපකරණ හසුරවමින් ඇය සිටින රංගයට අවශ්‍යය පසුතල සකස් කරන්නට වෙලාවක් ගනිමින් ඇය එම චරිතය තුළ කළ පොඩ්ඩ රංගනයට අවශ්‍යය සංයමය සහිත එකක්.නිහඩව චරිතය තුළ සිටීම කියන එකේ අසීරුකම මම තදින් ඉගෙනගත්තෙ බුද්ධික දමයන්තගෙ (Buddhika Damayantha)පළමු නාට්‍ය වුණ අධිපතියාගේ මරණ මංචකයෙන්.නාට්‍යයක් වෙනුවෙන් මහන්සිවීම සහ කැපවීම කෙතරම් වැදගත් ද කියන කාරණයත් මම එහිදි ඉගෙන ගත්තා.වරක් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිට දොස්තරවරුන්ගේ අවවාදවත් නොතකා මම එහි රඟපෑවා.නාට්‍ය පටන්ගන්න පැය කිහිපයක් තිබියදී ලුම්බිණිය ගාව බහින මට ඇවිදගන්න ශක්තිය නැතිව පාරෙ වාඩි වුණා.
Jude Amaraguru හිටියෙ ඒ වෙලාවෙ ලුම්බිණිය දෙසට කොළඹ සිට එමින්.ඔහු පාරෙ පේව්මන්ට් එකේ වාඩි වී සිටින මම දුටු සැණින් බසයෙන් බැස පැමිණ මා වාරු කරගෙන ලුම්බිණියට රැගෙන ගියා.එහිදී එම පැය කිහිපය තුළ මාව වෙස් ගන්වන අතරේම නාට්‍යයට සුදුසු ලෙස ශරීර ශක්තිය ලබා දීමේ වගකීම පැවරුණේ charuka suraweera වෙත.බුද්ධිකගෙ උපදෙස් පිට ඉතා සීමිත කාලයක් තුළ මා කිරි පැකට් 10 ක් පමණ පානය කර ඊට ආසන්න ගණනක යෝගට් ද කෑවා.ඉන් අනතුරුව පැයකට වැඩි කාලයක් තිස්සෙ බැරල් එකක් ඇතුළත කෙරෙන රංගය නිමාවෙද්දීම මම ක්ලාන්ත ගතියකින් ඒ තුළ සිර වෙනවා.මට මතකයි නාට්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් මාව එයින් එළියට ගත් හැටි.
කියන්න ගිය කතාවට එහා ගිය අමතර කතාවක්.ඒත් කැපවීම ඉතාම වැදගත්.කෙල්ල මට ඇහුං කං දෙන්නෙ නැහැ.එයා මම වැඩ කරන දිහා බලාගෙන ගන්න දේවල් එයාට අවශ්‍යය විදිහට හැඩ ගහගන්නයි කැමති.විශේෂයෙන් පාසලේ වැඩවලදි.අනිත් අයට අසාධාරණයක් වෙනවා කියන එක එයාගෙ හිතේ තියෙනවා.තනිවෙන්න ලැබෙන කාලය තුළ ඇය තනිව රංගනවා.හිතනවා.ඒක මරු.මටත් ඔය වැඩේම තියෙනවා නාට්‍ය කරනකොට.ඒ කැපවීම නිසා මිස මම නිසා ලැබුණු දෙයක් නොවන වගකීමක් ඇයට පසුගිය දිනවල ලැබිලා තියෙනවා.ඒ ඇයගේ නිවාසෙ කණිෂ්ඨ අංශයෙ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න.
මේක කිව්වට එතනින් එහාට මගෙන් දෙයක් ගන්න එයාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ.
තාත්තා එක්ක වැඩ කරල ඉගෙනගත්තු දේවල් මේ නාට්‍යයට ඕනි විදිහට මම අර ගන්නවා.
ඒ ගැන මා එක්ක කතා නොකරන එක ගැන කේන්තියෙන් කතා කරාම ඉදහිට ඔවැනි දෙයක් පාදක කරගෙන දුව හෝදන්න එන අම්මා කාමරය ළඟට වෙලා කියෝනවා.
අනිත් ළමයිත් ළමයිනෙ කරන්නෙ කියන්නෙ....
මට ඒ වචනයටනම් ආදරය හිතුණා.මොනව හරි ඇතිනෙ ජානවලින් ආපුවා වැඩේ ඉවර වුණාම කතා කරනව කියල මම හිත හදාගත්තා.
ඊයේ (2018 - 10 - 11) නාට්‍ය තරඟ තිබ්බා.ප්‍රතිපල දෙන්න පරක්කුයි.නංගිට එන්න කියන්නද?ඒ ඔවිනි.අපේ තිලක සිත ලියන සහෘදයගෙ පොඩි දුව.එයා තමයි මම දේවි එකේ කරපු වැඩෙන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙ හොඳම සහය නිළිය වුණෙ.
එයා එන්නෙ නැහැ.කුලී වාහනයෙ නඟින බිල ගැන නොතකා මම එයාට අවස්ථාව දුන්නා.ඇත්තම කිව්වොත් මේ පණ්ඩිත කෙල්ලගෙ වැඩේට වෙලා තියෙන දේ බලන්නත් මට ඕනි වෙලා තිබුණා.ඒක මගේ පිපාසාවක්.ඒත් ඉතිං අර හාමුදුරුවන්ට බෙදන්න න්‍යායෙන් මම ඔවිනිගෙන් කොලේ වහගත්තා.
ප්‍රතිපලය ආවා.කෙල්ලගෙ නාට්‍යය දෙක.ඒත් හොදම නළුවා,නිළිය වගේම හොඳම සහය නිළිය සහ නළුවා ද ඒ නාට්‍යයට හිමි වී තිබුණා.හොඳම සහය නිළිය දුව.එයා විසින් අධ්‍යක්ෂණය කරපු අක්ක කෙනෙක් හොඳම නිළිය.
ඒ සතුට අරං ගෙදර එන කොට රුපියල් හයසියයක් තියාගෙන පුතා කකුලත් පුටුව උඩට අරං රාජලීලාවෙන්....
කොහෙන්ද සල්ලි...
දුවගෙ සුබ පණිවිඩය උඩින් පල්ලෙන් කියන අතරෙම මම ඇහැව්වෙ මගේ සාක්කුවක අමතක වුණ එකක් වෙන්න ඇති කියන බලාපොරොත්තුවෙන්.
නැහැ දිනුවට හම්බ වුණා.
බලනකොට අංගොඩ මානසික රෝහලේ මානසික සෞඛය සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්න අයගෙ විවිධ ප්‍රසංගයක් තිබුණා.ඒකෙ වෙස්සන්තර නාට්‍යයේ කොටසක් ඉදිරිපත් කළා.ඒ සඳහා පුත්‍රයාත් අරං තිබුණා.ඒ අංගයලු එක.ලැබුණු ත්‍යාගයෙන් එයාගෙ කොටස හයසීයක්.
ඒ හයසීයෙන් කෝච්චියක් සහ ගුවන් යානයක් විතරයි නොගන්නෙ.ලැයිස්තුව කියවන කොට මඟදි අරං ආපු ප්‍රයිඩ්රයිස් භාගයට සීමා වුණු නංගිගෙ දක්ෂතාවයේ ඇගයීම ගැන එයාට තද වෙලා හොඳටම.
මම ඩිරෙක්ට් කරල සපෝර්ටින් ඇක්ට්‍රස් වෙලා මට ප්‍රයිඩ් රයිස් එකෙන් භාගයයි.ඒකෙනුත් භාගයක් අයියට.එයාට නාට්‍යය කෑල්ලක ඉදල සල්ලිත් ලැබිලා.මේක අසාධාරණ නැද්ද?
හරියට මේවට මම සම්බන්ධ වගේ කතාවක් දැන් එන්නෙ.ඒත් දක්ෂතා ඇගයීම 25 න් පසුව වෙන බවට පොරොන්දුවිමෙන් පස්සෙ විරෝධතාවය හමාර කරලා එකඟ වෙන්න තීරණය වුණා.
කෙහොම හරි සතුටක් දැණුන හැන්දෑවක ඒ ගැන හිතන්න ඉඩක් නොතියා අමිල කොඩිතුවක්කු සාමාන්‍ය පෙළ කරන ළමයි වෙනුවෙන් මල්වල මහා විද්‍යාලයේ සූදානම් කරපු වැඩමුළුවට සූදානම් වෙන්න සිදු වුණා.
දැන් ඒකෙ වැඩේ ඉවර කරලා මේක හදිසියෙ ලිව්වෙ ජීවිතය මරලදාලා වගේ හුස්ම වැටෙන් නැති වෙලාවක.ඇවිත් ආයෙමත් හිතේ දැවටුණ සිසිල් සුළඟක් වගේ හැඟුමක ආධාරයෙන්.