දර්ගා නගරයේ ගිනි පුපුරු නිවී ඇත.ඒ මතු පිටින්ය.ඒත් මයිනහම සීරුවෙන් සිටියි.ඇවැසි වූ සැනින් යළිත් එය අවුලවන පිණිස අදින්නට පටන් ගන්නවා සැක නැත.
හුග දෙනෙක් සිංහල බෞද්ධයෝය.සරලම බසින් කියන්නේ නම් ඒ නිසා පොරවල් ඔවුන්ය.අනිත් අය හාල් පාරුවෝය.එසේනම් මේ හාල් පාරුවන්ගේ පැවත්ම තීරණය කිරීම පැවරෙන්නේ මේ පොරවල්වලට ය.නමුත් මේ අය කරන්නේ ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යය සාධක සැපයීම පසෙක ලා ඔවුන්ට බයේ කෑ ගැසීමය.වියරුවෙන් පහර දෙන්නට මං සෙවීමය.පොරක් එසේ වන්නේ ඒ පොරකම ඇතුළත ඇති හීනමානය නිසාම විය යුතුය.
මේ හීනමානයට හේතුව තමන් ඉන්නා මතය පිළිබදව ඇති අවිශ්වාසයය.නැතිනම් දෙගිඩියාවය.බුදු දහමේ හැටියට සියළු සත්වයෝ නිදුක් විය යුතුය.මිනිසා වසලයෙකු හො බමුණෙකු විය යුත්තේ ක්‍රියාවෙන්ය.මේ දර්ශනය තුළ බුදු හාමුදුරුවෝ "මේ දර්ශනය ගෙන හැර පාන්නේ ලෝකයටමය.බෞද්ධයන්ට පමණක් වලංගු විය යුතු බව හෝ සියල්ලෝම බෞද්ධයෝ විය යුතු බව වත් නොකියති.අවබෝධ කර ගැනීමේ ස්වභාවය නැණ පමණින් යැයි කියන්නේ ද ඒ නිසාය.
දැන් පැහැදිළි වන්නේ පොරවල් මේ දර්ශනය අවබෝධ කර ගෙන සිටින නැණ පමණමය.ඔවුන්ට අනුව සිංහල බෞද්ධයන්ට පළමු තැන හිමි විය යුතුය.නීතිය සහ සියල්ල සැකසිය යුත්තේ එලෙසය.සුදුස්සාට නිසි තැන ලැබීම සළකා බැලිය යුත්තේ ඉන් අනතුරුවය.බෞද්ධ හිමිනමක් ගමන් කරනා මගක ඔහුට ප්‍රථම කිසිවෙක් නොයා යුතුය.එය සිංහල බෞද්ධ නොවන්නේනම් තවත් බරපතලය.එවැනි අවස්ථාවක පහර දීමකට ලක් වූවේ නම්,ඉන් මිදීමට උත්සාහ නොකළ ගුටි කෑම සදහා ගැලපෙන ඉරියව්වකින් නොසැලී පිළිමයක් සේ සිටිය යුතුය.
මෙවැනි පහර දීම් අපට අනුව හිංසනය වුව,මේ දත් පමණින් ආගම තේරුම් ගත් අයට අනුව එය අයිතිවාසිකම් ය.සියල්ල අතහැර යන බව පදනම් කර ගත් අනිත්‍ය පිළිබදව මෙනෙහි කරන දහමක,අයිතිය ගැන කරන ප්‍රකාශ බහුලය.මෙම අයිතිය වෙනුවෙන් එනෙකා මරා හෝ කටයුතු කළ යුතුය යන්න පිළිබද කරන ප්‍රකාශ කොතෙකුත්ය.
මට බෞද්ධාගමේ තියෙන සියළු ගාථා මතක නැත.මතක තියා ගන්නට අවශ්‍යයද නැත.මා උදේ හවා බුදුන් වදින්නේ නැත.සිල් නොගනිමි.එහි වටිනාම දේ සියල්ලෝ නිදුකින් නිරෝගිව සුවයෙන් සිටිනු දැකීම වෙනුවෙන් කරන උත්තරීතර පැතුමය.එහිදී සියල්ල දෙස එසේ බලනු විනා අන් ජාතීන් දෙස සහ ආගමිකයන් දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් බැලීමට මම කැමති නැත.
මට මගේ දේවල් අත හරින්නට පුළුවන.මේ රටට මට වඩා සේවයක් වන්නේ යැයි කුමන හෝ මාධ්‍යයකින් වන්නේ නම් ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් මට ඒ පරිත්‍යාගය කළ හැකිය.එසේ කළ අවස්ථා ද ඇත.මම හිතන්නේ ඒ බෞද්ධකම කියාය.එය කුමන හෝ වෛරී සංවිධානයක ගැත්තෙක් හෝ ඉත්තෙක් වී සෝදා හරින්නට මා අකමැතිය.
ඒ නිසාම දර්ගා නගරයේ සිදුවීම හරහා මම කම්පාවට පත්වන්නේ බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස් කළ දේ පිළිබදවය.අනෙකාගේ වපසරිය කවරේද යන්න බෞද්ධයා විසින් සිංහලයා විසින් දමන සීමාවන් තුළ නිර්නය කරන්නට දීම සහ එසේ අදහස් වන ප්‍රකාශ කිරීමම හානිකරය.මෙය දේශපාලන කියවීමක් වන්නේ නම් එයින් ඇති වන ප්‍රතිපලයන්ට අනුව ලොව පුරා විසිරී සිටින ලාංකේය පිරිස් වලට ඒ රටවල වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේ අයිතිය අහිමි වුව හොත් කරන්නේ කුමක්ද යන්නත් ඒ දේශපාලනය තුළ ප්‍රකාශයට පත් විය යුතුය.දැනට ක්‍රියාත්මක සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාර කිසිවක් එය විග්රහ කරන්නේ නැත.
ධර්මය බඩ ගින්නේ අවබෝධ කර ගත නොහැකිය.නමුත් දැන් සිදු වන්නේ හිස් බඩවල් වලට වෛරය පිරිවීමය.සැබෑ ධර්මය අවබෝධ කර දීමට යාම මුනින් අත හැර වූ කළයකට වතුර වැක්කිරීමක් බදු වන්නේ එබැවින්ය.මිනිසුන්ට ඇති සමාජ දේශපාලන සහ ආර්ථික ගැටළු හමුවේ ඇති කළකිරීම නිසා ඇති වූ හිස් බව ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් පුරවා වෛරයේ ගිණි පුපුරු ඒ මත තබා මයිනහම ඇදිම මේ මොහොතේ ස්වභාවය වී ඇත.එවිට රත් දැල්ලේ යකඩය තැලී පණ ගැසී නිර්මාණය වන්නේ සැබෑ ගැටළුකාරී තත්ත්වයන් කපා දැමීමට අවශ්‍යය ආයුධ නොවේය.පවතින බඩජහරි දේශපාලනයට ඇවැසි අවිය.
මේ කොන්ත්‍රාත්තුව පිණිස ලොව අවිහිංසාවාදීම සහ ප්රජාතන්ත්රවාදීම ආගමික දර්ශනය බිලි වෙමින් තිබීම ඛේදයකි.එයින් ඈත් වීමට කළ හැකි දේ සැබෑ බෞද්ධයන් වීමම පමණි.උදේ හවහ බුදුන් වැදීමෙන්,දන්නා සියළු ගාථා එක හුස්මට කියැවීමෙන් හෝ මේ තත්ත්වය නිර්මාණය කළ නොහැකිය.සියළු සත්වයන්ට නිදුක්,නිරෝගි බව පතමින් සුවය ප්‍රාර්ථනා කිරීම ඒ සදහා ඇති එකම විකල්පය වන්නේය.
එහෙත් වරින් වර ඇදෙන මයිනහමට ගිනි පුපුරු ඇවිලී පණ ගැසී එන බව අපි දකිමු.ඇතැම් විට ඒ ගිණි පුපුරු වලින් අප ද දැවී අළු වි යා හැකිය.එහෙත් එකක් සහතික කර ලියා තැබිය යුතුය.මේ මයිනහම ඇද පණ පොවා ජාතිවාදී ආයුධයක් තැනීමට නම් මගේ හදවත නම්‍යශීලී නොවෙන බව සහතිකය.
එසේම මම සිංහලයා බෞද්ධ විය යුතුව ඇතැයි විශ්වාස නොකරමි.විශෙෂයෙන් ඕනෑම ජාතියක අයෙකුට බෞද්ධ වීමේ හැකියාව සහ අවස්ථාව ඇති බව මගේ විශ්වාසය වන්නේය.බුදුන් වහන්සේට ද ජාතියක් හෝ කුලයක් නොතිබිණ.බෙදීම් වලින් වන්නේ නිරනත්රයෙන් පාර්ශවයක් හෝ පාර්ශව ගණනාවක් පීඩාවට පත් වීමය.එහෙත් අද රටේ ක්‍රියාත්මක වන බෞද්ධාගම කුල මත පදනම් නිකාය වලට බෙදී ගිය ආගමක් වී ඇත.නිවැරදි බුද්ධාගම ස්ථාපිත කිරීමේ විප්ලවය එසේනම් ඊට පෙර ඇරඹිය යුතුය.සිංහල බෞද්ධයා රැකීමට පෙර කුල පදනම් නිකාය සහිත බුද්ධාගම බෞද්ධ නිකාය බවට පත් කිරීම පළමුවෙන් ඇරඹිය යුතුය.
හැකිනම් දර්ගා නගරයට පිවිසෙන්නට පෙර බෙදීම් වලින් තොර එක දර්ශනයක් සහිත ආගමක් ලෙස බෞද්ධාගම එහි සැබෑ ස්වරූපයට ගෙන එන්න. එය නුතණ බෞද්ධාගමේ සැබෑ අභියෝගය වන්නේය.