Thursday, November 15, 2018

යුතුකම


තමන් කාට පක්ෂ වන්නේද යන්න අදාළ නැත.ඊයේ පාර්ලිමේන්තුවේ අප පත් කර යවන නියෝජිතයා කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ඔවුන් රටටම පේන්නට පෙන්නා දුන්නේය.ආයුධ අරං ආ අය මෙන්ම අපේ වියදමින් නඩත්තු කරන පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කළ අය ද,එම ආයතනයේ ගෞරවය කෙළෙසමින් හැසිරුණ අය ද හොඳින්ම හදුනාගන්නට හැකි ලෙස දර්ශන සමාජ ගත වී අවසන්ය.
මේ මොහොතේ දේශපාලනය යනු එසේ අපේ නියෝජිතයන් ලෙස උත්තරිතර තත්ත්වයක් ලබා දීමට නුසුදුසු සියලු දෙනා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කිරීම විනා තෝරා බේරාගෙන සිය පක්ෂයේ එකාට මහා වටිනාකමක් ලැබෙන අන්දමේ ප්‍රචාරයන් කිරීම මේ මොහොතේ හෝ නවතා දැමිය යුතුය.අඩුම තරමේ වරද වරදක් හැටියට කියන්නට තමන්ගේ පාක්ෂිකත්වයේ ලේ කැක්කුමක් ඇත්නම් පුරවැසියෙක් හැටියට පක්ෂයට එහා ගිය රට ගැන හැඟිමෙන් කිසිවක් නොකියා සිටීමට හෝ ක්‍රියා කළ යුතුය.
නමුත් තකට තක ලෙස දේශපාලනඥයා හැසිරෙන්නේ සිය පාක්ෂිකයාගේ තරාතිරමට අනුව බව පෙන්වමින් මේ මොහොතේ බොහෝ අය තමන්ගේ පක්ෂයේ මහජන නියෝජිතයාගේ අවනිතික හැසිරීම්වලට වීරත්වය ආරෝපනය කරමින් සිටින්නේය.
මේ කාරණා ලංකාවේ ආගමික සංස්ථාවටද අදාළය.රටම රූපවාහිණි තිර ඉදිරියේ බලා සිටි සිදුවීමෙන් සිදු වූ දේවල් පැහැදිලිව දැක ගන්නට තිබියදී එවැනි හැසිරීම් කළ අයට ආශිර්වාද කරමින් සහ සාමාන්‍ය පාක්ෂිකත්වය ප්‍රදර්ශනය කරමින් ව්‍යාජ කරුණු වැපිරිමට නොයාම ආගමට ගරු කොට වන්දනාමාන කරන පාට පක්ෂ නොවන සියලු බැතිමතුන් වෙනුවෙන් කරන යුතුකමකි.බෙදෙන දානයේ හෝ පිදෙන පූජාවේ තිබෙන භෞතික වටිනාකම් කිසිවක් භක්තිය මිස පාට දේශපාලනය නොවන බව අපේ ආගමික නායකයන් තෝරා බේරාගත යුතු මොහොතට එළැඹ සිටින්නේය.
තමන් විශ්වාස කරන දර්ශනය සහ ආගමික නැමියාවන් වෙනුවෙන් පෙනී සිටීම ආගමික නායකයෙකුටත් අදාළ බව පිළිගත යුතුය.එහෙත් එහි මිත්‍යාව නොතිබිය යුතුය.
ඒ නිසා මේ රූපවාහිණි දර්ශන රට පුරා ප්‍රදර්ශනය කිරිමට දේශපාලන පක්ෂවලට අදාළ නොවන නිර්පාක්ෂික එකතුවීමක් අවශ්‍යය වි ඇත.එය දේශපාලන පක්ෂ නියෝජනය කළ ද තමන්ගේ නියෝජිතයා ගෞවරණීය පුද්ගලයෙක් විය යුතුය යන හැඟීම ඇති පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කළ යුතුව ඇති බව මගේ හැඟීමය.
තමන්ගේ නියෝජිතයා දරුවන් බය කරන්නට යොදා ගත හැකි යක්ෂයෙකුගේ හැඩය ගන්නවාද,සැබවින්ම තමන්ගේ දරුවන්ට ලැජ්ජාවක් නැතිව මහත්මයා යැයි ආමන්ත්‍රණය කළ හැකි මහජන නියෝජිතයෙක් අනාගතයේදී තෝරා ගන්නට අවශ්‍යය පදනම සහ පසුබිම සකස් කරනවාද යන්න එතැන් සිට පොදු මහජනතාව තිරණය කරනු ඇත.
හිරේට යන විට මාංචුවලින් බැඳුණු දෑත් ඉහළට ඔසවන්නාට එල්ල වි ඇති චෝදනාව රටේ දේශපාලනයට අදාළ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයක්නම් ඔහු ඇගයීම සහ ඔහුට ගරු කිරීම ගැටළුවක් නොවේය.නමුත් ඔහුට ඇති චෝදනාව දූෂණයක්නම්,වංචාවක්නම්,සාපරාධි ක්‍රියාවක්නම් ඒත් ඔහු වීරයෙක් කොට සළකමින් පිදුම් දෙන්නෝ ගරු කරන්නෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරන්නේ චෞර රාජ්‍යයක අභිමානය ය.
හොරෙකුට,පිස්සෙකුට කෙටියෙන් කිවහොත් අමනයෙකුට තමන්ගේ දරුවාගේ නායකත්වය ලැබෙන ආකාරයට රට සැකසිම තමන්ගේ යුතුකම සහ වගකීම ද යන්න සිතා බැලීමට විවෘත වේදිකාවක් මේ මොහොතේ සමාජය තුළ සකස් වී තිබෙන්නේය.
හුණුවටයේ රාජ්‍ය පාලනයේ නඩුකාරයාට වඩා අසඩක් සාධාරණ විය.සම්ප්‍රදායික නීතිය මත පදනම්ව ගෙනෙන තාර්කික කරුණු සාධාරණය නොවිය හැකි බව ද එයින් හැඟවෙන්නේය.හෘද සාක්ෂිය ඇති මිනිසුන් ලෙස රටේ සමස්ත සිදුවීම් දෙස අපි මෙහිදි විමසිලිමතු විය යුත්තේ එබැවින්ය.ඒ විමසිලිමත් බව අපට මහත්මයා යැයි කිව හැකි සාධනීය කරුණු සහිත මහත්මයෙක් අපේ නියෝජිතයා ලෙස තෝරා පත් කර ගන්නට පාර පෙන්නවා ඇත.එය අඩුම තරමේ සාපේක්ෂව සමාජයට ධනාත්මක ප්‍රවේශයක් ලබා දිය හැකි කාරණා විශාල ප්‍රමානයක් සහිත පුද්ගලයෙකුගේ තේරිමක් වනු ඇත.
ඒ නිසා මේ අර්බූදයේ මුලට අප පැමිණිය යුතුය.එහිදි අර්බූදය නිර්මාණය කිරීමේ වගකිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් වෙන කිසිවෙක්ට පැවරිය නොහැකිය.ඔහු කළ හැකි බොහෝ දේ තිබියදී සාමූහික කතා බහකට නොගොස්,ජනවරමට පිටු පා මෙම තීරණය එළැඹීම මෙයට හේතුවය.ජනවරම යනු ලක්ෂ 62 ජනවරම පමණක් නොවේය.පාර්ලිමේන්තුවේ සෑම නියෝජිතයෙක්ම එම අසුන්වල අසුන් ගෙන සිටින්නේ මේ රටේ ජනතාව විසින් ගනු ලැබූ තීරණයකට අනුකූලවය.ඒ නිසා ඒ සියල්ල සමඟ සාකච්ඡා නොකිරිම යනු ජනතා කැමැත්තට පිටු පෑමය.එහිදි මා කැමති පක්ෂය හෝ පුද්ගලයා යන්න නොසළකා මා කැමති පුද්ගලයා නායකත්වය ගෙන ඒමට ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනසම්මතවාදි ක්‍රමය සොයා නොගැනීම ගැන සමාජයේ ඉදිරි පැවත්ම වෙනුවෙන් කල්පනා කිරීම අපේ යුතුකම විය යුතුය.
අවාසනාවකට මේ වන විට ජනමාධ්‍ය පවා පාර්ශවිකව කටයුතු කරන තත්ත්වයකදි පුරවැසියාට කිසිම ආකාරයකින් සාධාරණව තොරතුරු ලබා ගැනීමට තිබෙන ඉඩ ඇහිරි තිබීම වැරදි පූර්වා දර්ශයක් වන්නේ අදටත් වඩා හෙටටය.
වැව් බැම්මේ කුඩා ඉරි තැලීම නොසළකා සිටින අපට සිදුවන්නේ කෙදිනක හෝ එය කැඩි එන මහා ජල ප්‍රවාහයේ ගොදුරු වන්නටය.දරුවන් ඇති දරුවන් තැනිමට බලාපොරොත්තු වන සියලු දෙනා මේ මොහොතේ සිතාගත යුතු වන්නේ මේ බැම්ම බිදි එන මහා සැඩ පහරේ අපේ දරුවන් ගසාගෙන යන්නට ඇති බරපතල අවදානමක් ඇති බවය.
මේ ඇති වූ තත්ත්වය තුළ දැන් පාර්ලිමේන්තුව රැස්විමට වඩා මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අවශ්‍යය බව පැහැදිළිය.දෙකම එකවර පවත්වන්නට ඇති හැකියාව සැළකිල්ලට ගෙන ජනතා මුදල් පාර්ලිමේන්තුවේ මේ ආකාරයෙන් හැසිරෙන බහුතරයක් තෝරා එවීමට අපේ මුදල් නාස්ති කිරිමට ඇති ඉඩ වැළකීමට ද මැතිවරණ කොමිසමට නෛතික හැකියාවක් ඇත්නම් එයද අවධානයට ගත යුතුය.
නමුත් ප්‍රශ්නය පැන නැඟුණු තැන සිදු වූ අසාධාරණය නිවැරදි විය යුතුය.පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුව භාර දිය යුතුය.එසේ භාර ගැනීමෙන් ඉදිරි සුළු කාලය තුළ මේ රටට වැඩක් කිරිමට හැකි ඉඩක් විධායකය සහ ව්‍යවස්ථාදායකයා තුළ තිබෙන කඹ ඇදිම සමඟ මෙන්ම දෙකට බෙදී සිටින ජනතා නැඟි සිටීම් සමඟ ද කරන්නට යාම මහා සැඩ පහරක් තරණය කරගන්නට කෙසෙල් කොට ඔරුවක් යොදා ගැනීමක් වනු ඇත.ඒ නිසා ජයග්‍රහණය කවරෙකුට හිමි වුව ද කම් නැත.පාර්ලිමේන්තුවේ යුක්තිය අනුව බලය හිමිවන පාර්ශවය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිතව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්නට යැයි ඉල්ලිමක් කළ යුතුය.
ඒ මේ රට අපේ දරුවන්ට අපට වඩා හොඳ රටක් ලෙස ඉතුරු කිරීම අපේ යුතුකම වන බැවිනි.

Monday, November 12, 2018

බඹරකන්දේ රාමා

Image may contain: 3 people, including Srimath Rama, text

රාමා කියන සංගිතවේදියගේ මේ සංගීත ජිවිතයෙ බඹරෙ වැල්ලෙ ගහල කැරකැව්වෙ ලුම්බිණිය.එතනට මේ බඹරෙ අත අරින වැඩේ කරන්න මුල් වෙන්නෙ මම කියන එක බඹරකන්දෙ සංගීත සැදැවේ ඔක්කොම ඉස්සරහ රාමා අත ඇරල දැම්ම නිසා මේ ටික ලියන්න මට හිතුණා.
රාමා හම්බවෙන්නෙ මට 98 විතර.ඒ දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේදි.ඒ අවුුරුද්දෙ මම ඒ පාසල් දැරියන් සමඟ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට නාට්‍යයක් කළා.ඒ සඳහා පාසල තෝරාගෙන ඉදිරිපත් වෙන විට මම දැනං හිටියා පාසලේ තත්ත්වය.විශාල වේදිකා පසුතල සහ ඇඳුම්වලට යන්න හැකියාවක් නැති ආර්ථික වටපිටාවක රංගනයට විශාල තැනක් හිමි වන ලොකු වැඩ කෑලි නැති වැඩක් කරන්න ඕනි.
මගෙ ආච්චි පුංචි කාලෙ හරි අපූරු කතා කියා දෙනවා.ඒ කතාවක තිබුණා මීයෙක්,පූසෙක්,බල්ලෙක් සහ තමන්ගෙ ගම හාමිනේ දෙවියො කියලා හිතාගෙන වැඩ කරන ගමරාළ කෙනෙක්ගෙ කතාවක්.මේක තමයි මම තෝරා ගත්තෙ.නම වුණේ ගමරාලගෙ දේවාලය.
මේකට සංගිතය කරන්න පාසලේ ගුරුවරයෙක් නැහැ.සංගීත භාණ්ඩ වාදනය කරන්න දන්න දියණිවරුත් නැහැ.ගුරු නිවාසෙ හිටිය අශෝක විද්‍යාලයට ගිය මල්ලි මගේ හැඳුණුම් කමට වයලින් එක ගහන්න එන්නම් කිව්වා.එකම විසඳුම ඉස්සරහ ඉස්කෝලෙ සංගිත මිස්.
"ඒ මිස් හරි හොඳයි,කතා කරමුකො ස්ර්"
පුංචි කෙලි පැටව් ටික මාව වට කරගෙන මිස් ගැන හොයා ගත්තු චරිත සහතිකය දිග අරින්න ගත්තා.අන්තිමට මිස් ආවා.ඒ කොණ්ඩෙ රැලි ගැහුණු හීන්දෑරි කොල්ලෙකුත් එක්ක.මුල් දවස්වල මම උට ගෙදර යන්න අතේ ගාණක් මිට මෙලෙව්වත් දවසක කතා බහක් නැති මේ කොල්ල සල්ලි මගේ පැත්තට තල්ලු කරල ඇහැව්ව 'ස්ර් මේ සල්ලි දෙන්නෙ ස්ර්ගෙ අතින් නේද කියලා"
ඒ සංවාදය කෙළවර වෙන්නෙ මූගේ ජීවිතය මා ඉස්සරහ දිග අරින්නත් මගේ ජීවිතය ඌ ඉස්සරහ දිග අරින්නත් තරමට සමීප වෙලා.ඊට පස්සෙ හුඟක් හවස් වෙනකං රිහසල් තිබුණු දවසක මේ හින්දෑරි ගැටය මගේ ගෙදර නවාතැන් ගත්තා.ස්ර් කෑල්ල අයිය කියන සමීපත්වයට මාරු වුණා.
ඒ නාට්‍යයෙ හිටිය චමන්ති,ශර්මි,යශෝධරා වගේම නාට්‍යය නිසාම හමුවුණ ෆාතිමා ශ්‍යාමා කියල පොඩි කෙල්ලො හතර දෙනෙක්.මරු හඩවල්.
අනේ මංජුල මං මේ කෙල්ලන්ගෙ කටහඩවල්වලට හරිම ලෝභයි සංගීතය උගන්නන්න ආව පුෂ්පා රංජනී මිස් එහෙම කියලා මට කිව්වෙ මේ මා එක්ක එන්න රාමනායක ඒලෙවල් කරන්න ඉන්නෙ මියුසික් එක්කනෙ,නැත්තං මට කළාපයට කතා කරලා මේ ළමයින්ට දවසක් දෙකක් හරි උගන්නන් එන්න පුළුවන් මෙහාට.
මං වැඩේ භාරගත්තා.එතකොට රොජර් පොල්හේන්ගොඩ හිටියෙ.ඒ ගෙදර ඇඩ්ඩ්‍රස් එකෙන් රොජර්ම ඇවිත් මගේ ඉල්ලීමට අද මේ රාමාව ලුම්බිණියට භාර දුන්නා.ඒ භාර දෙන්න ඉස්සරම මම ලුම්බිණියට ඇවිත් සංජකව හමු වුණා.එතකොට ඒලෙවල් කරාට ඌ පැහිච්ච මිනිස්සු ආස්සරය කරන එකෙක් වෙලා හිටියෙ ජීවත් වුණේ ලුම්බිණියෙම නිසා.
මම සංජකට කිව්වා මේ එන කොල්ල අමුතු එකෙක් ඌව ට්‍රැක් එකට දාගනිං කියලා.ඒ නිසා දන්න තරමින් රාමා ට රැග් එක හැටියට ලැබුණෙ උට පුළුවන්ම දේ සිංදු කියන්න.ඒ වගෙම ස්කෝලෙ ගැන කියන්න ආව රාමාගෙන් දැනගත්ත පරිදි ඒකෙ මියුසික්වලින් කැටයම් දාන මරු වැඩ කාරයෙක් හිටියා.ඒ අමිල ඉන්ද්‍රජිත්.(දැනට සරලව කිව්වොත් ඔබ මුහුණු පොතේ දකින විවිධ ගායකයන්ගෙ හඩින් එකම පදවැල ගයන ගායකයා)
මේ අතර ඉස්සර (දැන් තියෙනවද දන්නෙ නැහැ) ලුම්බිණියෙ තිබුණා කෙටි නාට්‍ය තරඟයක්.ඒකෙදි රාමාට ඕන වුණා ඩ්‍රාමා එකක් කරන්න.කට්ටිය හොයාගෙන වැඩේට අත ගහන්න රාමා එතකොට අලුත්.ඒ නිසා මම ඇන්ටන් චෙකොව්ගෙ දුම්කොළය පිටපත දිලා උපදෙස් ටිකක් දුන්නා.රාමා හොදම නාට්‍යය වගේම හොදම නළුවත් වෙලා තිබුණා.මතක හැටියට අමිල තමයි සංගීතය කරල තිබුණෙ.ඒ රාමා සහ අමිල එකතු වෙන තැන. ඊට පස්සෙ කතා ගොඩක් තිබුණත් ඒක ඇති.දැන් බඹරකන්ද තරණය කරමු!
බටහිර සංගිතය කිව්වම ඇහෙන සහ දැනෙන ඝෝෂාව නො'ඇසෙන අපූරු ගීත සන්ධ්‍යාවකින් බඹරකන්ද පිරිලා තිබුණා.ඒ නිසා ඒක මරු.හැබැයි රාමාගේ අනන්‍යතාවයන් එක්ක ඒ ප්‍රසංගය මදි.ප්‍රාසාංගික අතින් ඒක ඊට වඩා පොහොසත් කරන්න තිබුණා.
මට මතක් වුණා රාමා සහ අමිල තමන්ගෙ වචන හරඹවලින් යහපත් යැයි කියන්න පුළුවන් මනුස්ස ස්ථාවරයක් හදා ගන්න බැරි වුණ නුවන් නිරෝධ කියන අද වන විට අනන්‍යතාවය වේගයෙන් අහිමි කර ගනිමින් ඉන්න මනුස්සය (රාමාලගෙ පංතිවල) එකතු වෙලා පාසල වෙනුවෙන් කරපු සංගීත සන්දර්ශනය.ඒකෙ සෙට් එක කරල දුන්නෙ මම.මේ නුවන් සහ බඹරකන්ද ප්‍රසංගයේ පූරක වුණ දිනූප එදා මේ ප්‍රසංගයේ පූරකයන් හැටියට වැඩ කළා.ඒකෙ තිබුණු ප්‍රාසාංගික බව මීට ඉහළයි.නමුත් ගායනාමය වශයෙන් ගත්තම බඹරකන්දේ ඊට ඉස්සරහින් තිබුණා.ඒත් රාමාගේ අනන්‍යතාවයත් එක්ක අරගෙන මාර කැරකිල්ලක් කැරකෙන්න බඹරකන්දෙට ආකෘතිමය වශයෙන් වෙනස්කමක් දෙන්න පුළුවන් කියලා මට දැණුනා.හැම තැනම මිහිරි ගි බඹර පැණි වැගිරෙන විදිහට අලුත් ප්‍රාසාංගික අත්දැකිමක් කරන්න මේ වැඩේ පෝෂණය කරන්න පුළුවන්.
මම රාමාට කිව්වා.ඉඩක් ලැබුණොත් එදා රාමාව ලුම්බිණියෙන් තිබ්බ වගේම බඹරකන්දේ කියන සංගිත අත්දැකීමත් ප්‍රසාංගික වේදිකාව තුළ හරියටම කරකවන්න පුළුවන් බඹරයක් කරන්න මටත් දායක වෙන්න පුළුවන් වෙයි.
මේක ගැන මරු කියනව වගේම තව ටිකක් එහාට ගිහිං මරේ මරු වැඩක් කරන්නත් පුළුවන්.ඒක මා එක්ක නොකළට කමක් නැහැ.වෙන අලුත් පරම්පරාවෙ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් එක්ක හරි කරපං.සංගීතයට ආසා කරන බහුතරය වෙනුවට ආදරය කරන බහුතරයක් හදන්නට සංගිත රසිකත්වයට වන්දනා කරන්න හොඳ වන්දනීය තැනක් බවට බඹරකන්දේ සංගීතය ආශ්‍රමයක් කළ හැකියි.
රාමා ට වගේම රාමාගේ ශ්‍රීමත් කොල්ලො ඔක්කොම ටිකටත් සුබ පැතුම්!

Sunday, November 11, 2018

නහය පරිස්සම් කර ගන්න


                                 

මේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම දරුවන් වෙනුවෙන් වගකීමෙන් වැඩ කළ අවස්ථාවක දර්ශන පෙළකි. කෑ ගහන දරුවා ඉන්නේ එතුමාගේ පුතාගේ පිටේය.ඒ පුතාට ඒ තාත්තා දුන් නිදහස අනුව මේක නිවැරදි වන්නත්,ඒ පුතාලා තාත්තාලා කියන ඕනෑම දෙයක් දෙවි හිමියෙන් අදහන අයට මේක දේවකාරියක් වන්නටත් හැකි බව මම දනිමි.
මේ පළමු එක නොවේය.දෙවැන්නය.මීට ප්‍රථම ඔවුන් ජනාධිපතිවරණයේදි පොඩි දරුවෙක් යොදා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දොර හිලට ඇහැ තැබුවේය.ඊට එරෙහිව කතා කළ පිරිස අතර මුල් තැන සිටි රනිල් වික්‍රමසිංහගේ දොර හිලට ඇහැ තබමින් ජනාධිපතිවරයා තමන්ගේ දොර හිලට ඇහැ තැබූ එකා දැන් බලවත් පුද්ගලයෙක් කර ඇත.ස්වාධින රූපවාහිණියේ නිසි බලධාරියා සේ හැසිරෙන්නට බලය දි ඇත.
පළිගන්නට කොන් කරන්නට යෝජනා නොකළද,සදාචාරමය වශයෙන් වෙනසකට බඳුන් වූ බව නොපෙනෙන ක්‍රමයකට ආශිර්වාද කරන්නට ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී ඇති බව සිදුවීම් වලින් පැහැදිලි වෙමින් තිබේ.එහි විපාක විඳින්නට වන්නේ සමස්ත රට වැසියාටමය.
මීට හේතුවන්නට ඇත්තේ කුමක්ද යන්න ජනාධිපතිවරයා පැහැදිළි කළේය.ඒ පැහැදිළි කිරීම පුරාම තිබුණේ තමන්ට රනිල් නො'දිරවන බවමෙීට වසර තුනකට පෙර රනිල්ගේ දේශපාලනය ගැන මහත් අභිමානයෙන් ඔහු කතා ක‍ළේය.ඒ කරුණුම ඔහුගේ හීනමානයට ඔරොත්තු නොදෙන බව දැන් කතාවලින් මෛත්‍රීපාල සිරිසේන පැහැදිළි කරමින් සිටින්නේය.ඒ වෙනුවෙන් තමන්ට ලැබි ඇති බලය රටට,ජනතාවට පමණක් නොව වසර හතළිහක් තමා වටිනා මිනිසෙකු බවට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හානි කරන්නට යොදා ගන්නට ඔහු පසුබට නොවන බව මේ වන විට ඒත්තු ගන්වමින් සිටින්නේය.
ජනාධිපති පුටුව දිනා ගත් සැනින් ඔහු වටා එකතු වූ රට වෙනුවට පක්ෂය වැදගත් කර ගන්නට සිරිසේන  ගත් පියවරේ සිට ඔහුගේ බල උන්මාදය වෙනම ආකාරයකට කියවිය යුතුව තිබේ.ජනාධිපති වීමෙන් පසුව ඔහුට පක්ෂයේ බලය අවශ්‍යය විය.ඒ සඳහා ඔහු ජනාධිපතිකම පාවිච්චි කළේය.
අනතුරුව පැවති මැතිවරණයේදි තමා වේදිකාවේ සිට දැඩි ලෙස විවේචනය කළ මහින්ද ඇතුළු සියලු පිරිසට ඔහු නාම යෝජනා දුන්නේ තමන්ව බලයට පත් කළේ බහුතර එක්සත් ජාතික පක්ෂය බැවින් මහින්දගේ ලක්ෂ 58 න් තමන්ට බලයක් ලබා ගැනිමටය.ඒ නිසා ඔහු සමග පැමිණි සමහර අපේක්ෂකයන්ට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනිමට අවස්ථාව දෙමින් මහින්දගේ පිරිසට අපේක්ෂකත්වය ලබා දීමට ඔහු කටයුතු කළේය.මහින්ද රාජපක්ෂ පෙරටු කර ගනිමින් දේශපාලනය කළ පිරිසට වැඩි බලයක් හිමි වෙද්දි ඒ මොහොතේත් මෛත්‍රීපාල සිරිසේන මූලික කර ගනිමින් දේශපාලනය කළ පිරිස පැත්තකට විසි විය.
අනතුරුව ආණ්ඩුව කරගෙන යාමට තමන්ගේ පක්ෂයේ සුළු පිරිසක් එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂයට සහය දුන්නද පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසගේ නායකයා යන උද්දාමය කිසිවිට මෛත්‍රීපාල සිරිසේනගේ හිතෙන් බැහැර වූයේ නැත.ඒ නිසා තමන්ගේ පක්ෂයේ පිරිස් නිතර නිතර අල්ලස් හා දූෂණ කොමිසම් සභාව තුළට කැදවමින් කටයුතු කළ දිල්රුක්ෂි වික්‍රමසිංහ කෙරෙහි මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්තක් තිබුණේ නැත.ඒ අනුව ඇයට එහි මුල් පුටුව අහිමි විය.
දිගින් දිගටම තමන් සමඟ සිටින මහින්ද රාජපක්ෂගේ දිවෙන් කතා කරන පිරිස් ආණ්ඩුවේ සාමූහිකත්වය නොතකා රනිල් වික්‍රමසිංහ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද විවේචනයට ලක් කළේය.ඊට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන සහ ආණ්ඩුවේ අනෙක් පාර්ශවය විවේචනය කරන්නට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ නැත.එසේ කරන අයටද අවවාද කළේය.නායකයෙක් ලෙස එහිදි රනිල්ට තිබුණු පාලනය මෛත්‍රීට නොතිබුණේ ද,නැතිනම් මෛත්‍රීපාල සිරිසේනයන් ඒ සියල්ල දැන දැන ඔහුගේ ආශිර්වාදය ඇතුව සිදු වූ දේ ද යන්න දැන් පැහැදිළි වෙමින් තිබෙන්නේය.
මේ සියල්ල සිදු වෙද්දි රජය කරන දේ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ සෑම අවස්ථාවකම ඒ විරෝධය සඳහා නිදහස් පොළවක් සැකසි තිබිණ.ඒ 2015 ලැබූ නිදහසේ කොටසකි.පැවති රජයේ නඩු ගොඩ ගැහෙද්දි පවතින රජයේ වැරදිවලට නිතිය ක්‍රියාත්මක වෙමින් අත් අඩංගුවට ගැනිම් ආදිය සිදු වෙමින් පවතින්නේය.බැදුම්කර සිද්ධියට අදාළව එක දිගට අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පළිහේන බන්ධනාගාරයේ සිටිම ඊට එක් උදාහරණයකි.ඒ වගේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාද අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට පත් විය.ඒ නඩුවද විබාග වෙමින් පවතින්නේය.
මේ සිදුවීම් දෙකේදී ආණ්ඩුවේ එකඟතාවයන් සහ සදාචාරයන් කදිමට පැහැදිළි විය.බැඳුම්කරයට එජාපය දෙසට ඇඟිල්ල දිගු කර කරන චෝදනාවලට ශ්‍රී ලංකා නිදිහස් පක්ෂයේ පිරිසට තිබූ නිදහස රනිල් වික්‍රමසිංහගෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට චෝදනා කරන්නට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ට අවස්ථාව නොලැබිණ.අදටද එය එසේමය.එය නිතිමය තත්ත්වයෙන් විසඳෙන්නට ඉඩ හැර සිටිම විනා රනිල් එය මෛත්‍රිපාලට පහර එල්ල කරන්නට කාරණයක් බවට අද වන තුරුම පත් කරගෙන නැත.
නමුත් මේ මොහොතේ වැදගත් රනිල් නොවේය.ඇති වී තිබෙන තත්ත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තැබිය හැකි පිරිසක්ය.2015 දි එවැනි රැල්ලකින් පිහිට වූ ආණ්ඩුව ජනතා සිතුම් පැතුම් ලෙස පෞද්ගලික අවශ්‍යයතාවන් යම යම් අයගේ සපුරන්නට නැත.නමුත් දැනටමත් මේ දින කිහිපය තුළ විඳි අත්දැකිම්වලට වඩා යහපත් නිදහසක් අත් වින්දෙමු.
ඕනෑම දෙයක් කියන හැඩයෙන්ම දැක් එය වර්ණනා කරන වන්දිබට්ටයෙකුට වඩා වැඩි දෙයක් කරන්නට මාධ්‍යයට අවස්ථාව ලැබිණ.රජයේ හොරණෑ බවට පත් වීම වෙනුවට රජයට ප්‍රහාර එල්ල කරන්නට තමන්ට ලැබුණු නිදහස උපරිම ලෙස භාවිතා කළ මාධ්‍ය අවම තරමේ මීට වසර දෙකකට පෙර ආණ්ඩුවට එරෙහිව වැඩ කරන්නට තමන්ට නොතිබි නිදහස නිර්මාණය කිරීම වෙනුවෙන් හෝ සාධරණයක් රජය වෙනුවෙන් කරන්නට ඉදිරිපත් නොවීය.
සැබවින්ම එය මාධ්‍යකරුවා යටත් කරගෙන සිටින හිමිකරුවාගේ සපත්තුවේ බලය මිස ඔහුගේ හෘදය සාක්ෂිය නොවන බව සහතිකය.මේ මොහොතේ එවැනිම හෘද සාක්ෂීන් වසාගෙන ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන විශාල පිරිසක් සිටියි.ඔවුන්ට ජීවත්ීම අතහැර ජීවනෝපිය අතහැරි අරගල කරන්නට යැයි අභියෝගයකට ආරාධනා කරන්නට මේ ආර්ථික සමාජ වටපිටාව තුළ ඉඩක් ලබා දි නැත.ඒ නිසා මේ කතා කරන්නේ ඔවුන්මද ඔවුන්ගේ ජීවත්වීමේ අපේක්ෂාවන්ද යන උභතෝකොිටිකය තුළ හිද සුබවාදිව ඔවුන් දෙස බලා සිටින්නට සිදු වි ඇත.
එකතුවීම යනු සාමාන්‍යයෙන් ඡන්දයක් ආසන්නයේ ලංකා ඉතිහාසය පුරාම සිදු වි අති දෙයකි.එම සිදුවීම 2016 වෙනදාට වඩා බරපතල මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක විය.එ මැදිහත්වීම නිසා ඒ දක්වා නොදුට සහ නොවිඳි නිදහසක වසර තුනක කාලයක් ගෙවා දමන්නට ලැබිණ.පාක්ෂිකව සිටියේ වුව ද හෘද්‍ය සාක්ෂියට නොදැනෙන දෙයකට වැරදි යැයි කියන්නට බය නැති පාලනයක කොටස්කරුවෝ වන්නට පුරවැසියන්ට අවස්ථාව ලැබිණ.අද ද එයට දායකවීම සම්බන්ධයෙන් මට ඇත්තේ  සොම්නසකි.
නමුත් ඒ බලවේග ජයග්‍රහණය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට භාර දි පල්ලම් බැස්සේය.අපේක්ෂා කළ වෙනස වෙනුවෙන් රජය ගෙන යාම සඳහා සුක්කානමට අත තබන්නට ඔවුන් පසුබැසීම සමහර විට ඔවුන් දේශපාලනඥයන් ලෙස හංවඩු ගැසිමට අකමැත්ත නිසා සිදු කළ එකක් විය හැකිය.
අවසානයේ නිදහස පමණක් විඳි රටක එයද එක රැයකින් පැහැර ගන්නට අශුද්ධ බලවේගවලට හැකි වි ඇත.දැන් ඇත්තේ 2015 දුටු රටය.අවිනිශ්චිත භාවය සහිතව වැඩ කිරීම,බිමට කළුවර වැටෙන විට ගෙදරින් දුරකථන ඇමතුම් දෙමින් නිරන්තර විමසීම දක්වා තව නොබෝ දිනකින් මේ තත්ත්වයන් අපේ ජීවිතවලට එබි බය සමඟ ජීවත්වීමේ අප්‍රසන්න අත්දැකීම ඉතිරි කරනවා ඇත.ඒ ක්‍රමය තුළ වචනයකින් හෝ පාලනයට නතු නොවන මොහොතක අත්විය හැකි ඉරණම තවමත් වන්දිබට්ටයන් වීම මහත් ගෞරවයෙන් සමරන කිසිවෙකුට නොදැණෙනු ඇත.
විශේෂයෙන් ඊ ළඟ පරම්පරාවට නිදහසේ අදහස් දැරීම වෙනුවට පාලන යාන්ත්‍රණය තුළ දනින් වැටි හෝ තුන්වේල කා ගේ දොරක්  හදාගෙන ඉදපං කියා උපදෙස් දෙන මව් පියන්ට හැරෙන්නට මේ තත්ත්වයට එකඟ වීම කළ නොහැකිය.ඒ නිසා වහලෙක් වුණත් කම් නැහැ යස ඉසුරු ලැබ කියන උපදේශනය සිය දරුවන්ට දීමට හිත එකඟ කරවාගත් මව් පියන්ට නොදැණෙන ඇත්ත ඊට වඩා වෙනස්ය.
මේ අනාගතයට බලපාන පූර්වාදර්ශයක්ය.මේ තත්ත්වය නිත්‍යාණුකූලව සාධාරණ කර ගැනීම සඳහා බලය යොදා ක්‍රියාත්මක විය හැකිනම් ඊට පසුව එන පරිච්ඡේදයේදි එම සියලු කාරනා එක්සත් ජාතික පක්ෂයටද මේ රටේ අනෙකුත් දේශපාලන පක්ෂයන්ට ද අදාළය.ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාවට හිමි බලය ඕනෑම වේලාවක දූෂණයට ලක් විය හැකි අනාගතයකට මෙමඟින් පාර කැපෙනු ඇත.එය අපේ මතු පරපුරට අපි උරුම කරදෙන දෙයක්ය.
මුත්තාගේ හිටවන අඹ ඇටය ගැන කියවා කප් රුක කපා ලිවලට විකුණන පිරිසකගේ අනුගාමිකයන් ලෙස හැඳුණු වැඩුණු අපිට මේ මොහොත වැදගත් කප්රුක පැල කරන්නට නොවේය.අඩුම තරමෙන් මුත්තාගේ වගකීමවත් ඉටු කර තැබීමට කල්පනා කළ යුතුය.ඒ නිසා මෛත්‍රීපාලගේ හීනමානයට සහ මහින්දගේ බල උන්මාදයට එරෙහිව පොදු සන්ධානයක් නිර්මාණය කිරීමේදි කතිරයට වඩා දායකත්වයක් දැරීම යනු දරුවන් වෙනුවෙන් කරන කැපවීමකි.සදාචාරසම්පන්න බව නිදහසවත් අඩුම තරමේ දායාද කර දෙන්නට දරුවන් වෙනුවෙන් කල්පනා කරන අයෙක් ඔබේ දරුවා කරමත තබා ගෙන මෙහි ඉහළ ඇති සටන් පාඨ කියවන්නට පොළඹවන පිරිසකට සහ ඊට අනුබල දෙන නායකයෙකුට කැමතිද අකමැතිද යන්න තීරණය කර බැලිය යුතුය.
අම්මාගේ අනුබලය ඇතිව හොරකමට ඇබ්බැහි වූ පුතෙක් හිර ගෙදර සිටියදි අම්මාව ඉඹින්නට අවශ්‍යය බව කියා කූඩුවෙන් මුහුණ ඔබා අම්මාගේ නහය කඩාගෙන කෑ කතාවක් අප අසා ඇත.ඒ නිවැරදි උපදේශනයන් දෙමින් තමන්ට හරි වැරද්ද පෙන්වා දෙන්නට අම්මා කටයුතු නොකළ බැවින් තමන්ට අත් වූ ඉරණම ගැන පුතා විරෝධය පළ කළ හැටිය.
නහය පරිස්සම් කරගන්නා අම්මෙක්,තාත්තෙක් වීමට අප සිතිය යුතුව ඇත.



Monday, November 5, 2018

ලැජ්ජා නැති අයට පමණයි


Image result for joker and dracula

ජනාධිපති සිරිසේන මහා ජන ගංගාවක් ඉදිරියේ ඔහු ලැජ්ජා නැති අයෙක් බවට ප්‍රදර්ශනය කළේ ද,නැතිනම් ඒ මහා ජනගඟ ලැජ්ජා නැති පිරිසක් බවට පත් කළේද යන්න හැර ජන මහිමය තුළ අවසානයට ඉතුරු වූ දෙයක් නැත.එහිදී ඔහු මේ දක්වා ලංකාවේ දේශපාලනය තුළ හීන් නූල් ගේම්කාරයන් ලෙස හඳුනාගෙන සිටි සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහින්ද රාජපක්ෂට වඩා ජනසම්මතවාදයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන්ම,මහින්ද තරමට බලලෝභීන් නොවන බවද ඔහු තරම් අශිලාචාර නොවන බවද පැහැදිළි කළේය.
රනිල් විෂය ප්‍රවීන සමාජයක් සමඟ ගණුදෙනු කරනු වෙනුවට මහනායක හාමුදුරුවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ ගණුදෙනු නොකිරීම,වෙනත් ආගමික නායකයන්ගෙන් උපදෙස් ලබා නොගැනීම මෙන්ම තීන්දු තීරණ ගැනීමේදී සම ලිංගිකයන් හා එක්ව කටයුතු කිරීම යන කරුණු ජනාධිපතිවරයාට විශාල අර්බූදයක් ලෙස හැඟිණ.
ලෝකය සමඟ පෙරට ගමන් කරන රටකට මේවා නොතිබිය යුතුම ප්‍රශ්නය.ජනාධිපතිවරයා මේ කරුණු අනාවරණය කරන තෙක්ම මහින්දට ජයවේවා කියමින් වමේ නායකයන් ආගමික නායකයන්ගේ අවසරය සඳහා තමන්ගේ හැම සැළසුමම ඉදිරිපත් කිරීමට විරෝධය පෑ වමේ යැයි කියා ගන්නා පිරිසට රනිල් සහ  මෛත්‍රී මහින්ද සුසංයෝගය ගැන හිතා ගන්නට ඉඩ සැකසෙන්නට ඇත.ප්‍රගතිශීලී සමාජයට ආගමික පවුරු පදනම්වලින් ගලවා මේ රට පෙරට යාමට සුදුසු බලකොටුව මෛත්‍රී මහින්ද කඳවුර නොවන බව පැහැදිළි විය.එය රනිල් නොවුණද  මෛත්‍රී - මහින්ද ප්‍රතිපත්තිවලින් තොර ගමණක් බව ඒත්තු ගන්වන්නට මෛත්‍රී සමත්වීම අගය කළ යුතුය.
රටේ නායකයෙක් සමනළයන් යන පර්යාය පදය පාදක කරගෙනම රටක් අමතමින් සම ලිංගිකත්වයට අපහාස කිරීම ලෝකය කුමන ආකාරයෙන් පිළගනු ඇද්ද යන්න විමසිල්ලෙන් බලා සිටිය යුතුය.ග්‍රෝත්‍රික සමාජීය ලක්ෂණ වැපිරුණු ඉන්දියාව වැනි රටක නායකත්වය නූතණ සමාජය විද්‍යාත්මකව කියවමින් සමලිංගික විවාහයන් ප්‍රේමයන් පවා පිළිගැනීම කෙරෙහි අවධානය යොමු කරද්දී අපේ රටට ඔවුන්ගේ ලිංගිකත්වයට පරිභව කරන නායකයෙක් සිටීම ගැන ඊයේ ඒ වෙනුවෙන් අත්පොළසන් දුන් සහ විසිල් ගැසූ අය පවා යළිත් සිතිය යුතුව ඇත.
සමාජය බෙදීම් අවම කරගෙන කටයුතු කළ යුතු තත්ත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණය විය යුතුය.ඒ අනුව මෛත්‍රීට රනිල් නුසුදුසු වී ඇත්තේ එම බෙදීම නොකළ නිසා බව ඔහු ඊයේ පැහැදිළි කළේය.ඒ අනුව කුමන අවුලක් තිබුණ ද රනිල් බෙදීම් නොසළකා සියල්ල ආගමික සමාජය හමුවේ භෞතීස්ම නොකර තීරණ ගැනීම දියුණු ලක්ෂණයක් මිස මෛත්‍රී කියනා ආකාරයේ පහත් ගතියක් නොවන බව පැහැදිළිය.
මේ තත්ත්වයන් හමුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ ඔහුගේ නායකත්වය යටතේ සමාජය තුළ විවිධත්වයට ඇති අවම ඉඩය.ඔහු සහ ඉන් පසුව මහින්ද රාජපක්ෂ විශ්වාස කරන ආකාරයට රටේම මිනිසුන්ගේ අභිමානයන් ගරුත්වයන් හැඩ ගැසිය යුතු බවට ඔහු අනතුරු හැඟවීමක් කළේය.ඉන් ඔබ්බේ වූ අදහස් සහ ක්‍රියාකාරකම් ගත කළ යුත්තේ රාජ්‍ය මර්ධනය අපේක්ෂාවෙන් බව ට ඔහු දුන් ඉඟිය ඉතාමත් දරුණුය.සාහසිකය.
මේ සියල්ල රනිල් රැක ගැනිම නොව යූඇන්පීය රැක ගැනීම නොව ඊට වඩා ගිය මෛත්‍රී විරෝධි සමාජ සන්ධානයක අවශ්‍යයතාවය තහවුරු කරන්නක් බව පැහැදිළිය.එය අලුතින් රෝපනය කරන්නට රනිල් බාධාවක් යැයි සිතා සිටි කොටස්වලට ඔහු ඊට හවුල්කරුවෙක් කරගත හැකි වටපිටාව ඊයේ මෛත්‍රීපාලයන්ම සකසා දුන්නේය.
සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය ප්‍රතිපත්තිමය වශයෙන් ශිලාචාර වෙමින් අගමැතිවරයා ඉවත් කිර තමන්ට ලබා දෙන බලය ලබා ගැනිමට අකමැති වෙන මොහොතක එම සාධකය පෙරළා දමන්නට හැකි බලයක් ලෙස මහින්ද සොයාගත් බව මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ මහින්ද රාජපක්ෂයන්ටම 2015 දී තමන්ව පෙරළා දැමීමට තමන් රනිල්ව තෝරාගත් බව මතකයට නඟා ගැනීමට අවශ්‍යය කරුණු සිහි ගන්වමින්ය.
මහින්දට 2015 චෝදනා එල්ලවන්නට බල පෑ කරුණු නිසාම අද මෛත්‍රී ඔහු සහ ඔහුගේ ප්‍රතික්ෂේප කළ කරුණු වැළඳගෙන තිබෙන බව පැහැදිළි කරන්නේය.ඒ තත්ත්වය මත මහින්ද රාජපක්ෂයන්ට ජාත්‍යන්තරය ඉදිරියේ විඳින්නට වු නොපිළිගැනීම සහ රට කොන් වෙමින් අප හුදෙකලා ජාතියක් ලෙස ලෝකයෙන් කොන් වෙන්නට පටන් ගෙන තිබිණ.එහෙත් ඒ තත්ත්වය ලෝකයෙන් සඟවා ගන්නට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ගති ලක්ෂණ විදහා පෙන්වන කතා කළා විනා ඒවා තමන්ගේ අඩු-පාඩු ලෝකයට පෙනෙන්නට කතා නොකරන්නට මහින්ද පරිස්සම් විය.ඒ බලය රැක ගැනීම වෙනුවෙන්ය.
නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ කතාවෙන් මහින්ද සඟවා ගත් දෙය ලෝකයට තියා පෑවේය.ඒ බලය වෙනුවෙන් මත්වීම නිසා උපක්‍රම තෝරා ගැනීමේ අවස්ථාව අමතක වීමෙන්ය.එසේත් නැතිනම් මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර දං ගෙඩියට රට ගෙන යාම වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වන මොහොතක මහින්ද හෝ ඔහුගේ නියෝජිතයෙක් රට බේරා ගැනීම සඳහා මෛත්‍රී වෙනුවට ඒ පුටුවේ ඉන්දිමට ඇති අවස්ථාව සළකා මහින්ද රාජපක්ෂ පාර්ශවයම ලබා දුන් උත්තේජනයක් වන්නටත් හැකිය.
නමුත් අපිට ඕනි අපේ හැඩේ රටක් යන මිත්‍යාවෙන් දුරස්ව අපිට ඕන ලෝකයට අභියෝග කළ හැකි රටක් යනුවෙන් සිතන පිරිසට  මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය තව දුරටත් අදාළ කර ගැනීමට නොහැකි බව ඔහු ඊයේ පාර්ලිමේන්තුව පෙනි පෙනී කළ කතාවෙන් පැහැදිළි කර දුන්නේය.එසේම රට ගැන ආදරයෙන්,ලෝකයේ ඉහළ රටක් බවට පත් කළ යුතුය සිතන හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කිසිවෙක් තුල ලැජ්ජාවක් ඉතිරිව ඇත්නම් මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනි නොසිටිය හැකි තත්ත්වයක් ඔහු ඊයේ පැහැදිළිව පෙන්වා දි අවසන්ය.
රනිල් වික්‍රමසිංහ කල සැබෑ වැරදි වෙනුවට ජාතිවාදී,ආගම්වාදී සහ ලිංගිකත්වය පදනම් කරගත් ග්‍රෝතික තත්ත්වයන් තුළ ඔහු ප්‍රතික්ෂේප කරමින් රටේ නායකයා ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් කෙළ පැමිණ ඇති බව ඔහු ලෝකයට පෙන්වා දුන්නේය.ලෝකයට පිටු පා ජීවත්වන්නට ආර්ථික ශක්තියක් නැති රටක ස්වාමීන් වහන්සේ කෙනෙක් වදාළ ආකාරයට රට හදන්නට නොව, උන් වහන්සේලා මෙන්ම වේලක් කා ජීවත්වන්නට මේ රටේ ජනතාවට සිදුවිය හැකි අවධානමකට මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වීමට ඉඩ ඇති බව මෛත්‍රීපාල සිරිසේනයන් ඊයේ පැහැදිළි කර දුන්නේය.
දැන් මේ රටට රනිල්ගෙන් වැඩක් නැත.නමුත් රනිල් ද ඇතුළත් වෙනම දේශපාලන සංධානයකින් රට පෙරට ගෙන යා හැකි පෙරමුණක් තනන්නට අවශ්‍යය වි තිබෙන බව පැහැදිළිය.ඒ සංධානය සම්බන්ධයට රනිල් වික්‍රමසිංහ ද තමන්ගේ සියල්ල නොව ගැලපෙන ප්‍රතිපත්තිමය කාරණා සමඟ දායක වීමට හිත හදා ගැනිම අවශ්‍යය වන්නේය.ෂයිලොක්ලා වෙනුවට බෙදා ගැනිමෙන් සියල්ලට අගයක් එන බදා ගැනිමක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙයවිය යුතුව ඇත.මන්ද එවැනි වචන කියන අයට ලැජ්ජාවක් ඇතිව තව දුරටත් රට වෙනුවෙන් යන වචනය යොදා ගනිමින් මෛත්‍රීපාල සිරිසේනයන් සමඟ රැදෙන්නට නොහැකි බව ඔහු සිය අපූරු අදහස් දැක්විම හරහා ඔප්පු කර පෙන්වා අවසන් බැවිනි.
ඒ කතාව මහින්ද රාජපක්ෂගේ අනුදැණුම අනුව මෛත්‍රීගේ දේශාපාලනය විනාශ කිරිමටම සැළසුම් කළ එකක් නොවේනම් ඔහුට සිතෙනවා ඇත්තේ "මං කොහොමද මේ යකා එක්ක ආණ්ඩු කරන්නේ" යනුවෙන්ය.රනිල් වික්‍රමසිංහට ද ඒ ආකාරයෙන්ම එම කතාව ඇසුවේනම් මෙසේ සිතෙන්නට පුළුවන.
" මං අවුරුදු තුනක් මේ යකා එක්ක හිටිය එකත් ඇති"
කෙසේ හෝ ලැජ්ජා නැති අයට තව දුරටත් මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ගැලවුම්කාරයා ලෙස සිතන්නට ඉඩ ඇත.ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඇති ප්‍රජාතන්ත්‍රවාදි අයිතියට කිසිවෙක් බාධා කරන්නට අවශ්‍යය නැත.

Thursday, November 1, 2018

ශාන්තගෙන් නාමල්ට


Image result for shantha dodangoda
මේ ශාන්ත දොඩම්ගොඩගේ පවුලයි.ශාන්ත දොඩම්ගොඩ දැන් බොහෝ දෙනෙක්ට අමතකව ඇතත්,ඔහුගේ ඝාතනය සම්බන්ධ නඩුව තවමත් ඇසෙමින් පවතියි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශාන්තගේ පවුල මේ ආකාරයට මුණ ගැසෙන්නේ ශාන්ත මියගියේ තමන්ගේ රැස්වීම වෙනුවෙන් සැරසිලි කරමින් සිටියදී වීම නිසා ඊට කෘතෝපාර දැක්වීමටයි.
ශාන්තව මරා දැමීම ගැන චෝදනා එල්ල වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ මැතිවරණයේදී ලක්ෂ 58 ක් ඡන්දය ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නියෝජිතයන්ටයි.එසේනම් මේ මොහොතේ ලක්ෂ 58 ක් පිරිසගේ වෛරයට ලක් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔවුන්ගේ නායකයා ජනාධිපතිවරයා ලෙස පිළිගන්නට ඔවුන් සෑදී පැහැදී සිටියි.
එහිම අනෙක් පස ඊට වඩා අපූරුය.ශාන්ත වැටෙන්නේ ලක්ෂ 62 නියෝජනය කළ පිරිසටය.එම පිරිසේ සිටි පිරිස් මරණ තර්ජන මැද ජීවිතය දෙවැනි කොට ජයග්‍රහණය කරවන්නට කැප වුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද සිය අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිලිගෙන සිටියි.
මේ දෙපසටම ඡන්දය භාවිතා කළ අය තමන්ගේ විරුද්ධවාදියා ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ පක්ෂපාතීත්වය දැක් වූ අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අයය.දැන් ඒ ලක්ෂ 110 ම බලාපොරොත්තු නොවුණ පිළිතුරක් ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය වෙමින් ඇත.ලක්ෂ 62 ට හො ලක්ෂ 58 හෝ මේ සැබඳියාව අපේක්ෂා නොකළ බව අපි දනිමු.ඒ නිසාම එය ජනතා මතයට විරුද්ධව යාමක්ය.
ශාන්තගේ ජීවිතය පමණක් අහිමි වී තව පිරිසකට මිනී මැරුම් චෝදනා එල්ලවීම පමණක් 2015 ගැටුමේ ප්‍රතිපල ලෙස ඉතුරු වි ඇත.ශාන්තගේ පාර්ශවය සහ ඔහුව ඝාතනය කළ පාර්ශවය තනිකරම ප්‍රතිපත්ති දෙකක් මත කළ අරගලයක් නිසා එකිනෙකා නොරත රත මෙන් විය.
නමුත් එය එසේ නොවන බව දැන් සහතික වී ඇත.රොද බඳින පිරිස අදාළ වන්නේ ඔළු ගණනය කිරීමටය.ඒ ඔළුවල වටිනාකම බලයත් සමඟ ශුන්‍ය වන්නේය.ඒ නිසා මේ සිදුවීම කොයි ආකාරයකින් ගත්තත් ප්‍රජාතන්ත්‍රවාදී පොළවක අපේක්ෂා නොකළ හැකි තත්ත්වයකි.
අවසානයේ ශාන්තගේ ජීවිතයට වඩා හතර වරම් ඩීල් කාරයෙක් ලෙස තමන්ගේ සහ මහින්දගේ සම්ප්‍රාප්තියේ අනුහසින් මෙන් රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එළියට පැමිණි අමිත් වීරසිංහම හඳුන්වන නාමල් කුමාර මෛත්‍රීගේ ඉෂ්ට දේවතාවා වි ඇත.
ලක්ෂ 110 ක් සමානයි නාමල් කුමාරවීමේ ප්‍රතිවිපාක විඳින රටකට පුද්ගලබද්ධ වන්දනාවෙන් ආශිර්වාද කරන ගොසිප් දෙවිවරුන්ගේ දූ පුතුනට මේ වචන සමඟ අපේ ජාතකය අවුල් වි දැණීම ගැන පුදුම නොවුණ ද තමන් ජාතක කළ දරුවන්ගේ අනාගතය ඉදිරියේ ඇති අවනීතිය සහ අවිචාරය සහ භාෂිතයේ සහ ලේඛණයේ නිදහස ගැන අවදියෙන් පසුවන්නට සිදුවෙනු ඇත.එය මගේ දරුවන්ටද හැමෝගෙම දරුවන්ටද පොදු අනතුරක් පමණි.
මේ මොහොතේ සටන මහින්දට එරෙහිව හෝ මෛත්‍රීට එරෙහිව හෝ රනිල්ට පක්ෂව නොව ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂවය.එය පසුගිය වසර තුන තුළ ද පැවති රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් නොගැළපෙන දේ සඳහා එරෙහි වෙමින් ප්‍රසිද්ධියේ තැබූ සටහන් ඇස නොගැටුණු අයට කළහැකි දෙයක් නැත.පක්ෂ දේශපාලනයේ සටන එන්නේ වෙන තැනෙකය.එවිට එයා පාක්ෂිකභාවය ලෙස නොසළකා විවේචනය කිරීම ගැන අවුලක් නැත.නමුත් දැන් ඇත්තේ පක්ෂය ගැන සටනක් නොවන රටේ අනාගතයට අදාළ වන අවිචාරවත් ක්‍රමයක් ස්ථාපිත කිරිමට දරණ උත්සාහය පරාජය කිරීමේ උවමනාවය.
රනිල් සහ මෛත්‍රී දීගය ස්ථාවර එකක් නොවුණා සේම මෛත්‍රී සහ මහින්ද දීගයද ස්ථාවර එකක් නොවිය හැකිය.රනිල් නොසිටියද එවැනි මොහොතක එජාපයට ද මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදි නොවන ක්‍රියාදාමයකට ඉඩ ඇත.
එදාට හඩන ගොන්නට වැටෙන්නේ අපේ දරුවන්ය.ගැටන්නේ තැලෙන්නේ ඔවුන්ය.අපි රස විඳින අද කෙතරම් අමිහිරි රසවලින් සෑඳුණ එකක්ද යන්න වටහාගන්නට ඒ දක්වා පසුබසින්නේ ද?

Image may contain: 3 people, people standing and outdoor

නව රජයේ නිර්මාතෘට ලැබෙන හරසර දකින්න....නාමල් කුමාර