Thursday, May 14, 2026

අනේ සාදු

 

හුඟ කාලෙකට පස්සෙ ලියන්න හිතුවෙ.ආගමකට රටක් පාලනය කරන්න දුන්නම කොහොම හිටියිද කියන එකට උත්තරය ඉරානය දිහා බැලුවම හිතාගන්න පුළුවන්.ඉරානයෙ ඉන්නෙ තම්බි බුද්ධාගම්කාරයො එහෙම නැහැ කියලා අපේ සැදැහැවතෙක් මැරිච්ච අම්ම මතක් කරන්නත් පුළුවන්.ඒත් ලංකාවෙත රාජ්‍යය කරන්නෙ පන්සලේ උදවියම කියලා හොඳටම පැහැදිළි වෙන්නෙ පල්ලේගම හාමුදුරුවො ඉන්න උඩ දැක්කම.

ලංකාවෙ නීතියට අනුව මේ ටික මේ විදිහට ගම්මු.

Sri Lanka හි නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම, එම දරුවාගේ “consent” (කැමැත්ත) තිබුණත්, අපරාධයක් ලෙස සැලකේ. මෙය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) “statutory rape” සංකල්පයට අදාළ වේ.

මූලික නීතිමය තත්ත්වය

  • වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු නීතිමය වශයෙන් පූර්ණ කැමැත්ත ලබා දිය හැකි පුද්ගලයෙකු ලෙස නොසැලකේ.
  • ඒ නිසා:
    • “එයා කැමැත්තෙන් හිටියා”
    • “දෙන්නම ආදරේ කළා”
    • “පැනලා ගියා”

වැනි කරුණු සාමාන්‍යයෙන් සම්පූර්ණ නීතිමය ආරක්ෂාවක් නොදේ.දිය හැකි දඬුවම්

අපරාධයේ ස්වභාවය, වයස් පරතරය, බලහත්කාරය තිබුණාද, තුවාල සිදු වුණාද, නැවත නැවත සිදුවුණාද වැනි කරුණු මත දඬුවම් වෙනස් විය හැකිය.

සාමාන්‍යයෙන්:

  • දීර්ඝකාලීන සිරදඬුවම්
  • බරපතළ වැඩ සහිත සිරදඬුවම්
  • දඩ
  • වින්දිතයාට වන්දි ගෙවීම වැනි දඬුවම් ලැබිය හැකිය.
බරපතල ලිංගික අපරාධයක් ලෙස සළකා දඬවම් වැඩි විය හැකි අවස්ථා ද මේ කරුණු යටතේ දක්වා ඇත.ඒ ටිකත් බැලුවම අපේ ස්වාමීන් වහන්සේ නවලෝකයේ විඳින බරපතල වධය ගැන අනිත් පැත්තෙන් හිනා යාම නවත්වා ගැනීමට වෙනම වෙහෙසක් දැරිය යුතු වන්නේය. 

දරුවා ඉතා කුඩා වීම
ගුරුවරයෙකු / භාරකරු / ආගමික නායකයෙකු / ඥාතියෙකු වීම
බලහත්කාරය
තර්ජන
ශාරීරික හානි
ගැබ් ගැනීම
කණ්ඩායම් අපරාධ
ඡායාරූප හෝ වීඩියෝ ගැනීම   
                                                                                                                   
මේ කාරණා සළකා බලද්දි ආගමික නායකයෙකු වීමේ බරපතල තත්ත්වය වගේම කණ්ඩායම් අපරාධ කාණ්ඩයට ද මෙය ඇතුළත් කර ගැනීමට හැකිය.අම්මා සහ තාත්තාගේ දායකත්වය ඇතුව සංවිධානාත්මකව කණ්ඩායමක් ලෙස ක්‍රියා කර තිබීම ඊට හේතුවය.     

සමහර විට මේ ක්‍රියාත්මක යාන්ත්‍රණය දෙස බලන විට දැරිය මානසික ව්‍යාධියක් ඇත්තෙකු වීමට ඉඩ ඇත.ඒ මානසික ව්‍යාධිය නිසා ඇය හාමුදුරුවන් ගැන කිමට පෙළඹී තිබෙන්නට ඉඩ ඇත.අධිකරණය මේ කාරණයේදි සෙමින් හෝ නිවැරදි තීරණය ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට පල්ලේගම හිමිව ඇතුළත් කරන ලෙස නියෝග ලබා දි ඇත.එහෙත් මහා සංවාදයක් බවට සමාජය තුළ පත්ව තිබියදී ද එය ක්‍රියාත්මක වන්නේ නැත.

කවුරුන් හෝ සිතනවානම් ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ බොදු බැතිය කියා එය විහිළුවක්ය.අධිකරණයට ඉහළින් ඇති විය හැකි බලපෑමක් නිසා නිලධාරීන්ට විලංගු වැටී තිබෙනවා විය යුුතුය.කාලයක සිටම වාතයක් ගියහම දුරට ගොස් ගද දැනීම වළක්වා ගත හැකි දේ රෙද්දේ පහ වී ලෝකයටම ප්‍රදර්ශනය වෙනතුරු දරා සිටීමේ ප්‍රවනතාවයක් ඇත.ඊට පසු ද ඒ රෙද්ද කෑල්ලක්වත් නොසිටින්න හෝදන්න ඉදිරිපත්වන අය ද හිඟ නැත.ඒත් නොතේරෙන්නේ කෑල්ල යන්නේ රෙද්දේද කෑලි ඉරෙමින්ය.ඊට පසු වටිනාකමක් නැත.

මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ ආගම විසින් වැරදි සහ නිවැරදි යැයි පුද්ගලයෙක්ව සමාජය මත පිහිටුවාලන්නට ගෙන ඇති බලය ලංකාවේද ඉරානයට බොහෝ සේ සමාන බවය.ගලබඩඅත්තේ වැනි චරිත හැසිරුණ ආකාරය මතකනම් කළ තර්ජන ගර්ජන නිවුණු ඒවා ද නැද්ද යන්න සිතා බලන්නට හැකිය.බුද්ධ ශාසනය සිංහල බෞද්ධ ලෙස දරුණු සහ නරක බලපෑමක් සමාජය මත ඇති කරන බවට රාජපක්ෂ සමයේදී අපි දුටුවෙමු.ඒ නිසාම අපි ඒ බුද්ධාගම රාජපක්ෂාගම ලෙස ද හැඳින් වූවේය.තවමත් ක්‍රියාත්මක වන්නේ ඒකමය.

ඒකට රාජපක්ෂලා කරපු දේවල්වල ප්‍රතිපල කියා කියන්නට බැරිය.අද රාජ්‍ය යාන්ත්‍රණයේ මිනිස්සු අනුර දිසානායක කියන දේ නොකර රාජපක්ෂ කරන දේ කරනවා යැයි සිතා සියළු වැරදි පරණ ගිණුම්වලට දමනවානම් සහ ඒවා විශ්වාස කරනවානම් එවැනි අය මොළය පරික්ෂා කර ගත යුතුය.එසේ නැත්නම් පාලකයා මහින්ද ලෙස සළකා ඔහුටම කර ගන්න දී බැස යා යුතුය.

පල්ලේගමලා පෙන්වන්නේ තමන්ගේ ආගම රාජපක්ෂාගමෙන් දිසානායකාගමට මාරු වී ඇති බවය.අධිකරණයට ඉහළින් ඇත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණි.ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ දෙකෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතුය.

නීතිඥතුමන්ලා ද මේ රටේ මැති ඇමතිවරු පවා හිරේ දමා අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පෙරට ආවේය.ඒත් පල්ලේගම සිද්ධියේදී අධිකරණ තීන්දු පවා නොසළකා නවලෝකයේ සැතපෙන්නට හාමුදුරුවන්ට හැකිවන්නේ කෙසේද?

මං හිතන්නෙ පින විය යුතුය.කොච්චර වුණත් සාදු කෙනෙක්ට එහෙම කරන්න පුළුවන්ද කියා නෝනා කෙනෙකුත් බස් එකේ කතා කර කර ගියා ඇසිණ.ඇත්තටම හාමුදුරුවරු එවැනි පූජාවට ලැදි පිංවන්ත නෝනාවරු සහ ඔවුන්ගේ දූවරු ගැන විමසිල්ලෙන් සිටිනවානම් තමන්ගේ අමාරුව පහසුවෙන් සනීප කර ගන්න පුළුවන්ය.එවැනි අය කැමත්තෙන්ම අනේ සාදු කියා පිං පුරවා ගන්නට ඉදිරිපත් වනු ඇත.එහෙම තාත්තාලද ඇත.ඒ අයගේ දුවලා ද පූජා කරන්න හැදුව පූජා භාණ්ඩය.ඒත් අහුවුණොත් වයස අනුව උඩ කියා තිබෙන විදිහට දඬුවම් ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොවන පිංබිමක අපි ඉපිද සිටින්නෙමු.අරූ කරයි මූ කරයි කියා රැවටෙමින් සිටින්නෙමු.අපිට කියන්න තියෙන්නෙත් වෙන අදහසකින් වුව අනේ සාදු කියා ය.