Saturday, May 16, 2026

අරගලයටයි මල්වානටයි නීතිය සමාන විය යුතුය.

 


(ජනතා අරගලයට සහභාගි වූ අරගලකරුවන් වෙනුවෙන් සහ මල්වාන නිවස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විම දෙයාකාරයිද?ඒ ගැන දැණුන සහ හිතුන නිසා තැබූ සටහනකි.)

අරගලය ගැන තවම මතකය.පවතින ආණ්ඩුවට සියයට 3 සිට බලය ලබා ගැනීම දක්වා වූ මාවත සකස් වුණේ අරගලය හරහාය.ඒ මහජන අරගලයකි.ආණ්ඩුවේ ඉහළ නායකයන් නොදන්නවා වුණාට එරංග ගුණසේකරලා,ලක්මාලිලා මේ වැඩේ තිබුණ නිර්ප්‍රචණ්ඩත්වය ගැන හොඳින්ම දන්නේය.ඔළු පුපුරන්න ගහද්දිත් එහි සිටිය අය කළේ හිංසනය එපා කීමය.දරාගන්න බැරි තැන ඉන් මිදෙන්නට ගැලවෙන්නට ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතික්‍රියා දැක්වීමය.

මිනිස්සු අරගලයේ තිබුණ ඒ නිවුණු ඉවසීමට කෙතරම් ආදරය කළා ද යන්න දැන ගන්නට පමණක් නොව දැක ගන්නට ද අවස්ථාව උදා වූයේ අරලියග මන්දිරයේ සිට පැමිණ අරගලයට පහර දුන් මැරයන්ගේ ප්‍රහාරයට එරෙහිවීමත් සමඟය.සාමාන්‍ය මිනිස්සු අරගලයට පහරදීම ගැන කෙතරම් කිපුණේ ද යන්න හොඳම උදාහරණය වත්මන් පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන්ගෙන්ම දැන ගන්නට හැකියාව ඇත.

ඔහු අරගලයට පහර දෙන මොහොතේ සිටියේ වෙනත් ගමණක් යමින්ය.එම ආරංචිය නිසා ඔහු ගමන නවතා අරගලය දෙසට දිව ගියේය.ඒ වන විටත් ගංගාරාමයෙන් හැරී යන පාරේ පැමිණි අරගලයට විරුද්ධ අය බේරේ නාමින් සිටිනු ප්‍රියාන් දැක ඇත.ඔහු ද ඒ කාලයේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටිය නිසා නිතර අරගලයට පැමිණියේ නැත.ඒ නුහුරු මුහුණ නිසා ඔහුවද සැක කර පහරක් ගසද්දී ප්‍රියාන් තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කර සහතික කර එතැනින් මිදී ඇත.නැත්නම් ඔහුට ද වන්නේ බේරේ නාන්නටය.

මේ ඇත්ත කතාවය.මිනිස්සු පාට පක්ෂ නැතුව අරගලයේ සාමාජිකත්වය ස්වෙච්ඡාවෙන් පවරාගෙන සිටිය බව එදා රටම පෙන්වීය.අරගලයේ තිබුණ ආදරය සහ සංවේදී බව ගැන එදා යට ඇඳුම පිටින් පාරේ වැටී සිටි කහදගමගේලාට ඊට පෙරත් අත්දැකීම් තිබිණ.ඔහු ද මුල් වි සංවිධානය කරන ලද විරෝධයක් අරගලයට සටන්පාඨ කියමින් ආ අතර කහදගමගේ එහි නොවීය.ඒ මොහොතේ ඔවුන්ට කිසිඳු ප්‍රති විරෝධයක් දක්වන්නට අරගල ‍කරුවෝ ඉදිරිපත් නොවූහ.වැටුණු වැස්සෙන් ආරක්ෂා වෙන්නට විරෝධතාකරුවන්ට තිබුණු කූඩාරම් ඇතුළේ ඉඩ සැදිණ.සීතලට තේ සහ කෝපි ද ලැබිණ.

මේ සාමකාමි නිර්ප්‍රචණඩ අරගලයේ දී බලහත්කාරකමක් සිඳු විණිනම් ඒ රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීමේදී ය.වෙඩි පහරවලටත් නිරායුධව මුහුණ දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය,අරලිය ගහ මැදුර,ජනාධිපති නිල නිවස වැනි තැන් අරගලකරුවෝ අත්පත් කර ගත්හ.එසේම ඔව්හූ ජාතික රූපවාහිණියටද කඩා වැදුණහ.ඒ අරගලයක් තුළ සිඳු විය හැකි ක්‍රියාකාරකම්ය.

මේ සිඳුවීම් අළලා යම් යම් අයට තවමත් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඇත.කාලයත් සමඟ ඔවුන්ගේ කැපකීරීම් සමාජයට අකමැති වෙමින් ඇත.ඒවා සාමාන්‍ය සමාජ ක්‍රියාකාරකම්වල සිඳු නොවන සහ සිඳු නොවිය යුතු දේ ය.ඒත් රාජ්‍ය නායකයාට පවතින ගැටළුවලට විසඳුමක් දි ගත නොහැකිව,ඊට එරෙහිව පැමිණි මහජන විරෝධයට ඉඩ දී තනතුර හැර දමා යන්නේනම් රාජ්‍ය අසමත් වූ බවට නිසි පාලනයක් නොමැතිව රට අයාලයේ යමින් තිබුණ බවට ඒවා සාක්ෂි වන්නේය.එවැනි වාතානරණයක පාලනයෙන් ගිලිහුණ රාජ්‍යයක රාජ්‍ය දේපළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් කැරලි කණ්ඩායම් අත්පත් කර ගැනීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේය.නැවත පාලනයක් ඇති වී රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා සෘජුව හෝ වෙනත් පාර්ශව හරහා එවැනි අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීම අලුත් පාලනයන් විසින් සිඳු කරන එක්තරා විදිහක් බව අමතක කළ නොහැකිය.

ඒත් එසේ නොවී මේ පාලනය යටතේ ද එම අරගලය අවස්ථාවේ සිඳු වූ රාජ්‍ය ආයතනවලට ඇතුළ්වීම වැනි කරුණු පදනම් කරගෙන පවත්වාගෙන යන නඩු තවමත් විභාග වෙමින් පවතින්නේය.රාජ්‍ය පාලනය සඳහා වත්මන් ආණ්ඩුවට බල පෑ එම අරගලකරුවන්ගේ භාවිතාවන් වැරදිනම් මේ ආණ්ඩුව බලයට ඒම සඳහා ලැබුණු අරගලයේ සහයද නීත්‍යාණුකූල නොවන එකකි.අද වන විට අරගලකරුවන්ව ප්‍රචණ්ඩකාරීන් ලෙස හංවඩු ගසන බලවේග මෙන්ම ආණ්ඩුවද අරගලකරුවන්ගේ සිඳුවීම් නීතිමය නොවන තත්ත්වයක් සේ සළකා දඬුවම් කිරීමට කටයුතු කරමින් සහ අනුබල දෙමින් සිටීම කැකිල්ලේ වැඩක්ය.

තත්ත්වය එසේ තිබියදී මල්වානේ ගෙට පිරිසක් අයථා ලෙස ඇතුල් වි ඇත.රටේ අරගලයක් නැත.එවැනි මොහොතක මේ ආකාරයෙන් දේවල් වන්නේ ආණ්ඩුවට හිතවත් ශිෂ්‍ය සංගම්වලින්මය.ඒවාට නඩු වැටෙන බවක් හෝ පොලීසිය පැමිණෙන බවක් පෙනෙන්නට නැත.එසේනම් ඊට වඩා සංකීරණ තත්ත්වයක රටේ හැම අංශුවකටම බලපෑමක් ඇති කළ අරගලකාරී මොහොතක රාජ්‍ය දේපළවලට අබැටක තරම් හානියක් නොකර ඒවා අත්පත් කර ගැනීමට ගත් උත්සාහයන්,අත්ලත් කර ගැනීම් සහ එම දේපළවලට ඇතුළත්වීම් වරදක් වන්නේ කොහොමද?

නීතිය සමානනම් මේ ආණ්ඩුවට හිතවත් වුව ද,නැති වුව ද,බලයට පත්වීම සඳහා හේතු වූ අරගලයේ ක්‍රියාකාරීත්වයට අයත් කොටස් සහ පිරිස් නීතියෙන් වරදකරුවන් කරන්නට ඉඩ දී බලා සිටීම සහ මල්වානට නීතිය ක්‍රියාත්මක නොවීම අතර ඇත්තේ එක දෙයකි.නීතිය සමානයි කියා තව දුරටත් විශ්වාස කිරීම තේරුමක් නැත.නීතිය ගැනත් නීතිය කරවන අයගේ නිර්වචනයම ජනතාව ගිරව් සේ කියවිය යුතු බවට නීතියෙන් බලපෑම් කරන්නට නොහැකිය.කරන දේ දැනෙන හැටියට නිර්වචනය කිරිමට මිනිස්සුන්ට අයිතිය නැත්නම් එය ප්‍රජාතන්ත්‍රවාදී නොවන තීරණයකි.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ අරගලයට පහරදෙන මොහොතේත් පහරකමින් අරගලකරුවන් විසින් ප්‍රදර්ශනය කරමින් අල්ලාගෙන සිටි බැනරයකි.

No comments:

Post a Comment