Saturday, November 21, 2015

අලුත් ගමණට පාර කැපුණා


මිනිහෙක් වැරදි කරන්නෙ විනෝදයටද?
විනෝදයෙන් ජීවත්වීම පිණිස හෝ කරදරයකින් තොරව ජීවත් වීමටය.

වැරදිකරුවන් ලෙස නිතියෙන් නම් කරන ලද බොහෝ දෙනෙක් සමඟ කතා කළ විට මට දැණුනු දේ ඒ ආකාරයට කෙටි කළ හැකිය.වෙනස ඇත්තේ,සමහර විට ඒ විනෝදය පිණිස වන අවශ්‍යයතාවය මෙන්ම කරදරයකින් තොරව ජීවත්වීම සඳහා ඇති උවමනාව වෙනුවෙන් අප ගන්නා ක්‍රියා මාර්ග සහ ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග අතරේය.

ඒ කෙසේ වෙතත් රටේ පිළිගත් නීතියට අනුව මොවුන් වරදකරුවෝය.රජය වසර 50 - 60 දක්වාම නීතියෙන් දඩුවම් පැනවෙන ඔවුන්ට එරෙහිව සිදු කරන්නේ වියදම් කිරීමය.නැතහොත් අපරාධකරුවන් හෝ වරදකරුවන් නඩත්තු කරන්නට රටේ ජාතික ධනයෙන් විශාල කොටසක් විනාශ කිරීමය.රජයේ පිළිගත් නීති පද්ධතිය උල්ලංඝනය කරන ලද අයෙක් වෙනුවෙන් රටේ ජාතික ධනයෙන් විශාල මුදලක් වැය කිරීමෙන් රටේ සාධාරණ ලෙස උපයන ජනතාවගේ බදු මුදල් වැය කිරීමේ අවුලක් තිබෙන බව මට හැඟෙන්නේය.

මේ හැඟීම සිරකරුවා අමනුෂ්‍යයෙක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය යන පදනමේ පිහිටා නැඟෙන්නක් නොවන්නේය.

රැඳවියා රටේ නිෂ්පාදන කාර්යයට වඩා පලදායි අයුරෙන් යොදා ගත යුතුය.බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලාබ උපයන ආයතනයක් බවට පත් කළ යුතුය.රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පෝෂණය කරන ආයතනයක් කරන්නට වෙහෙසිය යුතුය.ඒ හරහා ලැබෙන ප්‍රතිලාබ පදනම් කර ගනිමින් නිදහස්ව යන සිරකරුවාට යම් ස්වාධීන නැඟී සිටීමකට අත හිත ලැබෙන ආකාරයට ඔහුගේ ගිණුම පොහොසත් කර ගැනීමටද අවසර දිය හැකිය.

එසේම හැඟිමෙන් ඔහු රසවත් හා නැණවත් පුද්ගලයෙක් කිරීමට හැකි වටපිටාවකට ඇතුළත් කළ යුතුය.නාට්‍ය නිර්මාණ සඳහා ඔහු ශිල්පීය දැණුමෙන් පෝෂණය කර නිර්මාණ සදහා දායක කර ගැනීමේ වැදගත්කම ඔහු ඊට අදාළ වෘත්තියමය පදනමක් සහිතව රසවන්තයෙක් වීමය.

ඔහුට හොඳින් පොත පත පරිශිලනය කිරීමට සැළැස්වීමෙන් වන්නේ ඔහු රසවතෙක් මෙන්ම නැනවතෙක් වීමය.මේ ඉහත කරුණු දෙක හරහාම සිදු වන්නේ යහපත් මනසක් සහිත පුද්ගලයෙක් නිර්මණය කිරීමට අවශ්‍යය පසුබිම සැකසීමය.

මා බන්ධනාගාර රැදවියන් සමඟ වැඩ කිරීමෙන් ඒ ස්වයං තෘප්තිය විදින්නේය.මා මගේ කෘතිය බන්ධනාගාර භූමියට රැගෙන ගොස් සහෘදයන්ට රැඳවියන් වෙනුවෙන් පොතක් රැගෙන එන්නට යෝජනා කළේද එබැවින්ය.ඒ වෑයමේ ප්‍රතිපලය වූයේ ඔවුන් වෙනුවෙන් පොත් 179 ක් ලැබීමය.එපමණක් නොව ලලිතා ද සොයිසා ජයවර්ධන මහත්මිය ඇතුළු පිරිස් එම කටයුත්ත තව දුරටත් පෝෂණය කරන්නට සෑදී පැහැදි සිටින්නේය.ප්‍රදීප් චන්දන ගුණරත්න වැනි සහෝදරයන්ද මේ වෙනුවෙන් සමාජ උත්තේජනයක් ඇති කළ යුතු බවට සිය බ්ලොග් අඩවි හරහා උත්තේජනයක් ලබා දෙමින් සිටියි.( http://hithenahati.blogspot.com/2015/11/prisonbookdonation.html)

මා මියුණ දිනයක මගේ දරුවන් හිස්ව තිබි මගේ බැංකු පොත ගැන දොස් පැවරුවාට කම් නැත.මගේ නම කී විට ඔවුන්ට කිසිවෙක් දොස් නොපවරන්නේනම්..........

 මට අවශ්‍යය වන්නේ එපමණය.

අලුත් ගමණට කැපුණු පාර ඔස්සේ ඔබේ නගරයට ගමට බන්ධනාගාර රැදවියන් රඟන ‘ වීරයෝ මරන්න බැහැ‘ වේදිකා නාට්‍යය ප්‍රදර්ශණය හරහා ගෙන්වා ගත හැකිනම් එය මහත් උදාර ක්‍රියාවකි.ඔබට ඔවුන් වෙනුවෙන් පොතක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකිනම් එයද එවැනිම ක්‍රියාවකි.මේ කාර්යයන් දෙකටම අදාළව වැලිකඩ බන්ධනාගාරයේ සුබ සාධන අංශය අමතා තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

මේ එහි දුරකතන අංකය ය- 0114 677277

අන්තිමට වෙළද දැන්වීමක් වගේ පහත කවි දෙකත් මේ සටහනට අමුණා තබන්නට සිතුණි.එය මගේ පොත එළි දැක්වීම ගැන රැඳවියෙක් ගෙතූ කවි වැලක මා හිතේ අලවා ගත් කවි දෙකකි.මා ගැන නොව ඔවුන් නාට්‍යය රඟදැක්වීමෙන් විඳින වින්දනය ගැන ඔබට දැනෙන හැටි පහසු කරනු පිණිසය.

නාටකවලින් වැලිකඩ රැඳවියන් හට
දැණුමක් ලබා දී ගෙන ගිය කරළියට
වීරයො මරන්නට බැහැ පෙන්වා හැමට
හොද අඩිතාලමක් දැමුවනෙ සිර ගෙයට

වයි.එම්.බී.බොරැල්ලේ රඟ දක්වාලා
ටවර් රඟහලින් ජනපති සතුටු කළා
මාතර බාලිකා විදුහලකත් රඟලා
රැඳවියෝ සතුටු වුණි කවුරුත් කඳුළු සලා