Tuesday, May 31, 2016

තාත්තා,මම සහ දුව


මට පොඩි කාලෙ පොඩි බෘස්ලි පිස්සුවක් තිබුණා.ඒක හැදුවෙ අපේ ගෙට පහළ හිටිය ප්‍රිති අයියලගෙ ගෙදර (ලොකු අම්මගෙ පුතා) හිටපු බයර් කියන ව්‍යාපාරිකයා.එයාගෙ නම මට හරියට මතක නැහැ.මුස්ලිම් ජාතිකයෙක් වුණ ඔහු විවාහ වෙලා හිටියෙ සිංහල තරුණියක් සමඟ.කොණ්ඩෙ කපලා තිබුණෙ බාස්ලි විදිහට.මැණික් ව්‍යපාරිකයෙක් වුණ ඔහුගෙ ගේ ඇතුලෙ තිබුණෙම මැණික්වල පිංතූරයි,බෘස්ලිගෙ පිංතූරයි.

මෙහෙ යන එන මට ටික දවසකින් බෘස්ලි අසනීපය හැදුණා.තනියෙන් ඇදට පැනලා වැටී වැටී ගහ ගත්තා.(තනිව) ප්‍රතිවාදියා හිතින් මවා ගෙන කරන මේ සටන්වලට අම්මගෙ යට සායවල් කටු ගහලා කකුල් දෙකක් කර ගෙන රබර් බෑන්ඩ් දාලා යටින් හීනි කරගෙන ඇන්දම ඒක බෘස්ලි අනුකරණය කිරිමක් වුණා.

මේ වැඩේ මගේ ඊ ළඟ අවධානය ගියේ  කොණ්ඩෙට.බෘස්ලි කට් කපන්න.මල්වල හන්දියෙ උඩ පාරෙ තියෙන පිටර් මාමගෙ සැලුන් එකට ගිහිං මම අම්මට හොරෙන් පීටර් මාමට කිව්වෙ බෘස්ලි කට් කපන්න කියලා.පීටර් මාම දන්න බෘස්ලි කෙනෙක් නැති බව කට ඇරුණු හැටියටම මට ඒ කාලෙත් තේරුණා.අන්තිමට ඉස්සරහෙන් පනාවට පොඩ්ඩක් ඉතුරුවෙන්න පීටර් මාමා හැමදාම කපන කට් එකම කැපුණා.

මේකට කරන්න තිබුණු එකම විසඳුම හැටියට මම දැක්කෙ තනියෙන්ම බෘස්ලි කට් එකට යන එක.කොණ්ඩෙ කපන්න ඔච්චර ඉගෙන ගන්න දෙයක් තියෙනවද,කතුරයි පනාවයි ගත්ත කැපුව කියන මතයෙ හිටිය මම ඉස්සරහෙන් හරහට ඉරක් ඇදලා ඒක දිගේ කැපුවා.පොඩි වෙනසක් තියෙනවා.ආයෙ කැපුවා.එහෙම අවස්ථා ගාණක් කැපෙනකොට මගේ හිස් මුදුණ ආසන්න වෙනකං ඉස්සරහ කෙස් නැහැ.(හැබැයි මම පස්සෙ ගාණට කොණ්ඩෙ කපන්න දැන ගත්තා.සුමිත් නිරිඇල්ලයි මමයි ස්කෝලෙ යන ලොකු කාලෙ කළේ කොණ්ඩෙ කපන්න දෙනස සල්ලි ඉතුරු කරගෙන පීල්ල ළඟට ගිහිං අපි දෙන්නම කොණඩය කපා ගන්නවා.තාත්තාත් නැති වෙන්න ඉස්සර අවුරුදු පහක් විතරම කොණ්ඩෙ කපා ගත්තෙ මට කියලා)

දැන් අඩසඳ වගේ තියෙන කොණ්ඩෙ දැක්කම අම්මා කුලප්පු වුණා.එයා එක්ක ගේ වටේ රවුම් දෙකක් විතර දුවලා ගුටි ගහන්න බැරි තරමට ඇයට හති වැටුණම ළඟට ගිහිං මමම අම්මගෙන් ඇහැව්වා දැන් අපි මොකද්ද කරන්නෙ කියලා.තාත්ත එන්න ඉස්සර කපා ගම්මු කියලා ආපහු පීටර් මාමා ළඟට අරං දිව්වෙ වලිප්පුව හැඳුන එකෙක් දොස්තර ළඟට දුවනව වගේ.කරන්න තිබුණු එකම දේ හිස මුඩු කිරීම පමණයි.පීටර් මාමට ඒ වැඩේ බාර දීල පහළ තිබුණු ආර්.පී.අප්පුහාමිගේ කඩේට බැහැල සුදු රවුම් තොප්පියක් අරං ආපු අම්ම ඒක හිසට පොරෝල ගෙදර අරං ආව.

රාත්‍රියෙ තාත්තා ගෙදර ආවම මේකට හම්බ වෙන දඬුවම ඇහැරිලා හිටියොත් වැඩි වෙයි කියලා මම ඉක්මණට ඇඳට වැටිලා නිදි රංගනයක් ආරම්භ කළා.තාත්තා මට අම්ම වගේ හැම වෙලේම තට්ටු නොදැම්මට ඊට වසරකට උඩදි පාසල් ගිහිං එන්න පරක්කු වුණා කියලා කේන්ති ගිහිං කෝපි කෝටුවකින් කළ නෙලිමෙන් මගේ කලව ප්‍රදේශය පුපුරලා ගියා.මාව බේරගන්න ඉදිරිපත් වුණු පතල්වල කට්ටියත් දවස් ගාණක් බෙහෙත් කළා.

මාව දැක්ක තාත්තා එදා වගේම ආවේශ වුණා.එයා ගොඩක් කැමති මගේ හිසකෙස් ටික අහිමි වෙලා තියෙන කොන්ඩෙ වෙනුවට තියෙන තට්ටෙට ඒ පාර වැදුණනම් මම පරලෝ සැපත්.ඒත් ඒක පාත් වුණේ පිට මැද්දට.මට හුස්ම ඔක්කොම ගියා වගේ දැණුනා.මගේ ඇඟ ඉස්සිලා ආපහු ඇදටම කඩා වැටුණා.අම්මා තාත්තව ඇඳ ගෙන ගියා.මම පිට අල්ලල බැලුව.ඇඟිලි පාරවල් ටික ඇඟිලි වෙන් කරල කියන්න පුළුවන් තරම් පැහැදිලිව අහු වෙනව.පුපුරු ගහන පිටේ වේදනාවට එන හැඬුම හිර කරං මම හිටියෙ.තව පැය කිහිපයකින් තාත්තා ආයෙ කාමරයට ආවා.මගේ තට්ට හිස අතගෑවා.කෝපි කෝට්ටෙන් ගහපු දවසෙ වගේම මගේ පිටේ තියෙන ඇඟිලි පහරවල් අත ගාමින් හැඬුවා.අම්මත් කුප්පි ලාම්පුව අල්ලගෙන තාත්තට අඬන්න එපා කියමින් හැඬුවා.

මේ ඉතිහාසය පෙරේදා (මැයි 30) මට ආයෙත් මතක් වුණා.ඒ මගේ දුව නිසා.ඇයට කවදාවත් නොගහපු මගේ අතින් පාරක් වැදුණා.කකුලෙ පාර හිටියා.

එදා හවස ඇය මට කඳුළු එන තරම් සතුටක් දුන්නා.ඒ භාතිය අර්ථනායකගෙ වැඩේ වෙලාවෙ එයාට ලැබුණු පොත් අවට ගෙවල්වල දරුවන්ට බෙදන්න දිල සහ ඒ ගැන එයා දරපු අදහස් අහලා.
https://www.facebook.com/photo.php?fbid=1090119344378218&set=a.101531749903654.1674.100001404876474&type=3&theater&notif_t=like&notif_id=1464677326823419
ඊට ඉස්සර දවසෙ මම කසුන් සමරකෝන් සහ වෛද්‍ය බෝධිනි සමරතුංග හරහා ඒ මිනිස්සු වෙනුවෙන් සංවිධානය කරපු වෛද්‍ය සායනය වෙලාවෙත් එයා එතන දැවටිලා ඒ අයට කරන්න පුළුවන් සහයෝගය දුන්නා.

එහෙම හිටපු දුව ගංවතුර නිසා සීමිත කරපු සම්පත් හේතුවෙන් සහ නහයට තවමත් දැනෙන අපුල හේතුවෙන් පාසල් වැඩ කරන්න තෝර ගන්නෙ ඇද.(ඒකත් රාජවිවේකල.ජනාල නෙතූල ඇතුළු ෆේස්බුක් යාළුවන් රැසක් එකතු වෙලා ගෙනත් දුන්නු එකක්)මමත් මේසෙ හැටියට ඒක යොදා ගෙන දෙපැත්තෙ ඉදං වැඩ කළා.ඒ එයාගෙ ස්කෝලෙට ස්තූති කරල ලියුමක්  ලියන්න.ඒ වෙලාවෙ කකුල දික් කරල එක පාරක් මම ලියපු ලියුම ඇද කරා.

සොරි මට අමතක වුණා

කට අද කරන් එහෙම කිව්වම මම නිශ්ශබ්ද වුණා.කල්පනාවෙන් ඉන්න මේක ඔයාලගෙ ස්කෝලෙටනෙ ලියන්නෙ කියන දේ කියලා මම ආයෙත් ලියන්න පටන් ගත්තා.ඊ ළඟ පාර ඇය කකුල ඊටත් වඩා වේගයෙන් දික්කරාම ලියුම දිගේ දිග ඉරක් ගියා.මේ දවස්වල පීඩනය නිසා වෙන්න ඇති මට පාලනය කර ගන්න බැරි කේන්තියක් ආවා.මගේ අත නිකංම ඉස්සුණා.ඇයගෙ කකුලෙ මගේ ඇඟිලි පාර.

ඇය හඬන්නෙ ශබ්ද නොනඟා.ඒ බය වුණාම හැටි.ඇයගෙ කොන්ද ඉස්සෙනව පහත් වෙනවා.මට බදා ගෙන හඩන්න හිතුනෙ නැහැ.අත හයියෙන් මොකකට හරි ගහ ගන්න හිතුණා.මම මාව රිද්දගන්නෙ කොහොමද?මට ගැටළුව තිබුණෙ එතැන.

රාත්‍රි 10 පහුවෙලා.මම පාරට බැස්සා.බොන්න තැනක් නැහැ.මට වියදම් කරන්න පුළුවන් සීමිත මුදලක්.මම ඒත් කොටිකාවත්ත හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන පිටකොටුවට ආවා.පිටකොටුවෙ ඉදලා ගාලු පාරෙ ගෝල් ෆේස් හරහා පයින් ආවා.

90 දශකයෙ මේ විදිහට අනන්තවත් බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඇවිත් ඇති.මම ඒ උපක්‍රමය යළිත් පිටකොටුවෙ ඉදල බම්බලපිටියට යොදා ගත්තා.පොලිසිය ළඟ ඇරල තියෙන කඩේ ඉදල සිගරට් ගන්න පුළුවන් තැන් වලින් සිගරට් ගත්තා.බිව්වා.අඳුරෙ ඇස්වලට තෙත්වෙන්න ඇරියා.නැවත බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඒ දේ ම කළා.කකුල උස්සන් ඉන්න බැරි තරමට රිදෙනවා.මේ දිනවල සෑහෙන්න විවේකයක් නොලබාම අැඟ වගෙම හිතත් වෙහෙසන නිසා වෙන්න ඇති මේ තරම් මහන්සියක්.දැන් දුව වෙනුවෙන් නෙමෙයි මගේ ශරීරයේ කොටස්වලින් නැඟෙන වේදනාවටත් මට හැඬෙන තරම්.

මම දන්නවා දුවට මෙච්චර රිදුනෙ නැහැ කියලා.ඒත් ඇයගේ හිතනම් ජීවිතේ පළමුවරට මගෙන් පහරක් එල්ල වීම නිසා වෙච්චි රිදිල්ලෙන් දහස් ගුණයක් වේදනා විදින්න ඇති.හැමෝ එක්කම මට තාත්තානම් කවදාවත් ගහලා නැහැ කියන එකේ ආඩම්බරය ඇයට අහිමි වෙලා.ඇත්තටම ගැහැව්වනම් ඒක හිතල කරන දෙයක්.ඒත් මේක එහෙම නෙමෙයි.එක පාරට වූ ක්ෂණික ක්‍රියාවක්.ඒක ගැස්සුණා.ඒත් ගැහැව්වා සහ ගැස්සුණා කියන එක තේරුම් අරං කෙල්ල ආයෙමත් හෙට කා එක්ක හරි කතා කරද්දි....

 ‘තාත්තනම් මට කවදාවත් ගහල නැහැ‘ කියල කියයිද‘?

තාත්තනම් මට ගහල තියෙන්නෙ එක පාරයි කියල මම ඉස්සරහ කිව්වොත්..... ඒක මට කොච්චර රිදෙන පාරක් වෙයිද?ඇයගෙ කකුලෙ හිටපු ඇඟිලි පහර වගේ නෙමෙයි ඒක මගේ හදවතේ ජීවිතකාලය පුරාවටම ලොකු කැළලක් ඇති කරාවි.

ඒක බම්බපිටිය සහ පිටකොටුව අතර තියෙන දුර වගේ ගෙවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ගංවතුර විසින් ඇති කළ පීඩනයේ දරුණුම ප්‍රතිපලය මේක.මට හිතෙන්නෙ එහෙමයි.


Friday, May 27, 2016

ගල් සහ ග්‍රීන් ලේබල්

දැන් සැඩ දිය බැස අවසන්ය.ඉන් අනතුරුව ඇදක්වත් නැති ගෙ‘බිම කොල්ලා ඉතුරු වූ සුන්බුන් ටිකත් සමඟ නිදා සිටිනා‘යුරු ඡායාරූපයේ දැක්වෙන්නේය.

වැස්සට ගසා ගෙන නොගිය එකම දේ මනුස්සකමය.සාමාන්‍ය ජීවිතයේ අප විසින් ඉන්දුවන බිජු වලින් හට ගැනෙන පල කෙතරම් රසවත්ද තිත්තද කියා දැනෙන්නේ මේ අවස්ථාවේ අපට ලෙංගතුවන මනුස්සකමේ ආශිර්වාදයත් සමඟය.

නමුත් මේ බොර දියේ ද අමන වැඩ කරන යකුන් හිඟ නැත.ඒ හොරුන් මංකොල්ලකාරයන් නොව.උන්ට වඩා වැදගත් විදිහට ආතල් ගන්න පිරිසක් ද මේ ගං වතුරේදී දැක ගන්නට හැකි විය.ගංවතුර බලන්න ඇවිත් සෙල්ෆි ගහන පිරිස ගංවතුරට අසු වී සිටින පිරිසට යක්ෂාවේශය කැදවීය.මා කොළොන්නාවේ පෙර සිටි පෙදෙසට යන විට එහි වැව් බැම්ම මත සිටි අනාත වූ පිරිස් සිටින තාවකාලික කූඩාරම් ඇතුළට ඔළු ඔබාගෙන සෙල්ෆි ගහන පිරිස ගැන එම කූඩාරම් වල සිටි අය මා සමඟ කිසිත් කීවේ නැත.නමුත් ජාතක කර හැදූ වැඩූ දෙමව්පියන් ගැන අපූරු කතා කියමින් ඔවුන් සිව්පාවුන්ට සම කළේය.

චේන්ජ් එකකටත් එක්ක රස බලන්න කූඩාරම් වෙත පැමිණි බත් පැකට්වලට පොර ඇල්ලූ පිරිසකට බඩ ගින්නේ සිටි පිරිසගේ කෝපාග්නියේ නොදැවී බේරි ඇත්තේ අනූ නවයෙන්ය.මේ ආකාරයටම ෆන් එකට ඒ තැන්වලට ගොස් ඒ බෙදන බඩු මලුත් ඔසවා ගෙන ගෙදර යන පිරිස් ද හිඟ නොවිණ.මේ සියල්ල සිදුවෙද්දී මා සිටින රදන්වත්ත වැනි ප්‍රදේශවල මිනිසුන්ට තේ උගුරක් හෝ නොලැබුණු අවස්ථා එමටය.මන්ද අවසානයේ ජල රකුසා කඩා වැටි එම ප්‍රදේශවල් වටෙන්ම ජලයෙන් වට වී තිබූ බැවින් ප්‍රවේශ මාර්ග හිඟ විය.

මා ද සිසිර යාපා පැමිණ ලබා දුන් ටෙන්ට් එක යටට වී දින එක හමාරක්ම දිය උගුරක් හෝ නැතිව විසීම ඊට හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය.

කැළඹෙමින් ගලන ජල කඳ දිගේ ඇදී එන දේ අතර මා සිත් ගත්තේ අරක්කු බෝතල්ය.ඒවායේ ගමන් ලතාවන් හරි හැඩය.බෝතලයේ අනුව ඒවා ජලය මත ගමන් කරන අඩි වල බර ද වෙනස්වන්නා සේ ය.ඊටත් වඩා වටින්නේ ඒවා කියා දෙන ස්වභාව ධර්මය පිළිබඳ අපූරු පාඩමය.ගල් අරක්කු බෝතල් මෙන්ම ග්‍රීන් ලේබල් ද දුසිම් ගණනෙන් පාවී ආවේ ප්‍රදේශය අවට ඇති ආර්ථික විෂමතාවයන් නැතිනම් බෙදීම් පැහැදිළි කරමින්ය.

ගල වටා රොක්වන්නට මෙන්ම ග්‍රීන් ලේබල් වටා රොක් වෙන්නට ද ආ ගිය පිරිස් වෙනුවෙන් විවර වන්නට දොරවල් අවට තිබී ඇත.එහෙත් ඒ දොරවල් හැමෝටම ආරාධනා කළේ නැත.කතා කළ හෝ ඇරයුම් ලැබුණු පිරිස් එහි ආ ගිය ඈයෝ වෙති.නමුත් ස්වභාව ධර්මය කිසිඳු වෙනසක් පෙන්වා නැත.හැම ගෙයකටම එක හැන්දෙන් බෙදා ඇත.

මේ තත්ත්වයනම් මිනිසුන් ආදර්ශයට ගන්නේ අඩුවෙන්ය.දැනට ද සියල්ලට සමානව පහසුකම් හිමි නොවීමම මීට උදාහරණයකි.පන නැති බඩු භාණ්ඩ ස්වභාව ධර්මය සමඟ එක් වී අප වෙතින් පලා ගිය අයුරු කේන්තිය අවුස්සන සුළුය.විශේෂයෙන් මෙසේ කේන්තිය ඇවිස්සූ භාණඩ අතර හැලි වලංවලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.ඒව සැඩ පහරේ අපට ඔලොක්කුවට මෙන් දමන රංගනය කේන්ති අවුස්සන සුළුය.

හූ... හූ.... අල්ලන්නට බෑනේ වගේ කුඩා කළ ඔට්ටු සෙල්ලමක මෙන් මේවා හැසිරෙන විට දියට පැන අල්ලා ගන්නට සිතුනද,ජීවිතය අල්ලා ගන්නට එවැනි අවස්ථාවකදී නොහැකි වන්නේය.

තමුසෙට අල්මාරියක්ම තිබිලත් මදි නෙ.

බිරින්දෑ ගේ ගෝරනාඩුව දැන් නම් කාලෙකට නොඇසී සිටිය හැකි වනු ඇත.අල්මාරිය පිරෙන්නට නොව දැන් වැඩට යන්නටවත් ඇඳුමක් නැති තැනටම මා පහත වැටී ඇත.ගෙදර තිබුණු බඩු මුට්ටු අඩු වී වෙනදාට වඩා අත පය දිග හැර ඇවිදින්නට හැකියාවක් සැකසී ඇත.ඒ ස්වභාව ධර්මයේ හැටිය.

ස්වභාව ධර්මය එබඳු වුව අනෙකුත් සියලු ධර්ම මිනිසුන්ගේ අවශ්‍යයතාවය අනුව පාලනය වන්නේය.අප ඉකුත් මාර්තුවේ කුලී නිවසෙන් නික්ම ආවේ ඔවුන්ගේ පිං කමක් සාර්ථක කර දෙන්නටය.තව මාස දෙකක් කල් දෙන ලෙස ඉල්ලුවද ඒ කාලය ධාතු කරඩුව සකසා ගනිමින් අවශ්‍යය පිංකම කර ගැනීමට පමාවෙන බව ඔවුන්ගේ අදහස විය.නිවස මිල දී ගත්තේ ඔවුන්ගේ ඥාති අසල්වැසියන්මය.ඔවුන් ද අප සමඟ ඉතා සමීප ඇසුරක් පැවත් වූ අය විය.වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ සහ ඉංජිනේරුවරයෙක් වූ දෙමහල්ලන්ට ද අපට මාස දෙකක් රැදී ඉන්නට කල් දෙන්නට තිබුණ ද ඔවුන් පිං කැමති කරඩුලාභිණියට අප සිටින තාක් නිවස මිල දි ගත නොහැකි බව පැවසූවෙන් ඔවුන්ගේ පිංකම වෙනුවෙන් අපි එම නිවස අත හැර පැමිණියේය.

එසේ නොවිණිනම් තාවකාලිකව හෝ අප උඩු මහල සාදා ගෙන පැමිණෙන්නේය.එසේ වූවා නම් මේ අනතුරෙන් අඩක්වත් පියවා ගන්නට තිබිණ.නමුත් බුදු දහමට අනුව මිනිහෙක් අනතුරට පත් කිරීමට වඩා ධාතු කරඩුවක් සැකසීම පිංකමකි.සුනාමියට ගසා ගෙන ගිය තරුණයෙක් වෙනුවෙන් අහළ පහළ ඉඩම් වලින් ද අල්ලා ගෙන නඩු හබ වල පැටලෙමින් තිබෙන ගොතටුව චන්දන විහාරයට වැඩමවා වදාළීමට නියමිත ධාතු කරඩුවට දැන් ඉතිං අපිත් අනියමින් හෝ ඒ නිවසට ගෙවූ ලක්ෂ ගණනක කුලියට අමතරව ගංවතුර විසින් අහිමි කළ ලක්ෂ පහකට ආසන්න චංචල දේපළ වටිනාකමද එක් වී ඇත.එයට ද අමතක නොකොට සාධුකාරයක් දෙන්නේ නම් යහපත්ය.

සථීරම ධර්මය බුදු දහම ද දේව දහමක්ද යන්න මා තර්කයට නොගන්නේය.මේ කිසිවක් සැබෑවට පිළිපදින්නේද යන ගැටළුව සහ එය එකිනෙකා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා බව පමණක් හැඟෙන්නේය.ඒ නිසාම සකල ලෝක වාසීන්ට සෙත පිණිස සැකසි බව කියන බොහෝ ධර්මයන්ගේ හැසිරීම සමාජ ගත වන්නේ විශාල වෙනස්කම් සහිතවය.ජාතිය,කුලය,ආගම මෙන්ම ආර්ථිකය ද ඇතැම් විට සමාජ පිළිගැනීමට අනුව කෙතරම් උගත් ද යන කරුණ ද මේ පහසුකම් සහ පිළිගැනීම් බෙදී යාමේදී සැළකිල්ලට ගන්නේය.ඛේදවාචකය එය ය.සොබාදහම ඛේදවාචකයක් වුව නිර්මාණය කරන්නේනම් එහිදි ඒ කිසිවක් අදාළ කර නොගන්නේය.ස්වභාව ධර්මයේ අගය එබඳු වන්නේය.

එහෙත් මට දේවල් අහිමි කරනු හැර මා සිතන හැටි වෙනස් කරන්නට සොබා දහමේ ශක්තියට ද පහසු නැත.මා අහිමි වූ දේවල් හැකි පරිදි ගෙන නිවසේ හිස් බව මකා ගැනීමට වෙර දරන අතරේම මා දැඩි කල්පනාවෙන් හිස් තැන් පුරවන්නට මිනිසුන්ගේ ආදරය එකතු කරන්නට තව තවත් වෙහෙසෙන්නට තීරණය කළෙමි. එහිදි මට වටින්නේ ගල් ද,ග්‍රීන් ලේබල් ද යන්න නොවේය.මිනිසුන් ආදරයට අවංක වන ප්‍රමාණයේ වර්ගපලය ය.


Sunday, May 15, 2016

තෙවරප්පෙරුම අරුමයක් ද?

http://adaderana.lk/news_images/1552915888palitha5.jpg
පාලිත තෙවරප්පෙරුමගේ දේශපාලනය මට දිරවන්නේ නැත.නමුත් ඒ පාලිතගේ දේශපාලනය නොවේය.පවතින සමස්ත දේශපාලනයම එබඳුය.වෙනස පාලිත හැංගී හැංගී වෙස් නොබැදීමය.මෙහි අවාසිය පාලිතටය.

පාලිත තෙවරප්පරෙුම කළු කොට විකිණීම පහසුය.ඔහු කළු පාටින් දැකීමට හුරු පුරුදු කළ ප්‍රෙක්ෂකයන් රූපවාහිණියට සිටියි.පුවත්පත්වලට එවැනිම පාඨකයන් සිටියි.මේ නිසා පාලිත තෙවරප්පෙරුම සුදු කර විකුණන්නට පහසු නැත.ඒ නිසාම මානුෂික ඇගයීමක් ඔහුට මාධ්‍ය හරහා ලැබෙන්නේම නැත.

ඔහු පාරේ නිදා ගන්නේද ඉල්ලීමක් දිනා ගන්නටය.විමල් වීරවංශ නිදා ගන්නා ඉල්ලීමට මහත්මා පෙණුමක් ලැබී ඊට වඩා අවංකව පාලිත කරන නිදා ගැනීම රස්තියාදු මොඩලයක් කරන්නේ මාධ්‍ය ඇසය.ඔහු පොදු පෙරමුණේ දේශපාලනඥයෙක්ට පහර දෙන්නේය.දේශපාලනඥයා දෙමළය.පාලිතට ඇත්තේ ඔහු සමඟ ජාතිවාදී දේශපාලන ඇරියස් එකක් නොවේය.ගමේ පක්ෂ දේශපාලනයේ මෝඩ ස්වරූපය පමණි.එය පට්ට ගසන මාධ්‍යය විමල් වීරවංශ ගෝඨාභය ආරක්ෂක ලේකම් සමයේ පිරිසක් සමඟ පැමිණ සිය බලය යොදා නීතිය සිය අතට ගන්නා අයුරු,එහි සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට තිත්ත කුණු හරුපයෙන් කතා කරන්නට ජනතාව පොළඹවා.නිල ඇඳුමේ තොප්පියට ද පහර දීමට සැළස්වීම පාලිතගේ හැසිරීමට වඩා භයානකය.

නමුත් භයානක මැර ක්‍රියාව අදටත් කර තිබෙන්නේ පාලිත තෙවරප්පෙරුමය.ඒ මාධ්‍ය සමාජය මත කර තිබෙන බලපෑමය.ඇමතිවරයෙක් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරිපිට රටේ නීතියට අපහාස වන අයුරෙන්,එය ක්‍රියාත්මක කරන ඉහළම රාජ්‍ය නිලධාරියාගේ (ආරක්ෂක ලේකම්) ආශිර්වාදය ද ඇතිව මහජන සාමය පිළිබඳ ආයතනය වන පොලීසිය මහජනයා ඉදිරියේ බලු කිරීම පාලිතගේ වැඩේට වඩා මටනම් බලුය.

මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පාලිත ජාතිවාදියෙක් නොවන බව ලෝකයටම ප්‍රදර්ශනය කර තිබුණු බැවින් ප්‍රාදේශීය දේශපාලනඥයාට පහරදීම ජාතිවාදී තැනෙකට තල්ලු කර ගන්නට නොහැකි වුව ද,ඇතැම් තැන් හී එවැනි උත්සාහයන් දකින්නට ලැබිණ.එදා ඒ වෙනුවෙන් සිංහල ජාතිකයෙක් ලෙස මෙන්ම හිටපු හමුදා සෙබළෙක් ලෙස ද,මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තෙවරප්පෙරුම කළ දේ මේ රටේ කීර්තිය පිණිස විශාල ලෙස ඉවහල් විය.සිංහල බෞද්ධ විරෝධයක් නොවන සහ හමුදාවන් හී මානසිකත්වය වියරු සිංහල බෞද්ධ ආවේගයක් නොවන බව පාලිතගේ ක්‍රියාවෙන් ලෝකයට විශාල පණිවිඩයක් ගියේය.

ආසන්නම සිදුවීම කළුතර විද්‍යාලයේ සිදුවීමය.පාලිතගේ මැර හැසිරීම ගැන දොඩන කිසිවෙක්ට එම දරුවාට අසාධාරණයක් සිදු වී තිබෙන බව එම ප්‍රවෘත්තිය පුරාම දකින්නට ලැබුණ ද,නොහැඟෙන්නේය.විදුහල්පතිවරයා ගේ ප්‍රකාශ හරහා මතුවන කරුණු වලින් ද,ඒ බව පැහැදිළි වන්නේය.

මේ තත්ත්වය නිවැරදි කරන්නට තිබුණු හොඳම දේ ඉසුරුපායෙන් විසඳුමක් ලබා ගැනීමය.අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හරහා සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දෙන එවැනි විසඳුම් ඇත්තටම හරිය.පාලිත වැරදිය.නමුත් ඔහු කළුතර විද්‍යාලයට නොගොස් මේ විසඳුම් සොයා ගියේනම් දරුවාට තවත් වසරක් පමණ ඉක්ම ගොස් පාසලක් ලැබෙන්නට හැකිය. මා ඉසුරුපායේ කාර්යක්ෂමතාවය සහ මානුෂිකත්වය හොඳින්ම අත් විද ඇත.ඉසුරුපායේ ප්‍රමාදය නිසා අසාධාරණයකට ලක් වූ දෑස් නොපෙනෙන මවකගේ දරුවෙක් දැන් සිටින්නේ දෙක වසරේය.අමාත්‍යවරයාද මෙහි අසාධාරණයක් වී තිබෙන බව පිළිගත්තේය.

නමුත් හිටපු ලේකම් උපාලි මාරසිංහ මෙන්ම වර්ථමාන ජාතික පාසල් අධ්‍යක්ෂ අයිලප්පෙරුම වෙත ඊට සාධාරණය ඉටු කරන ලෙස යොමු කළ විට ලැබුණු පිළිතුරු නිසාම එම දරුවාගේ පියා තමන් අතින් මිණීමැරුමක් වුවහොත් සිය අඳ බිරිඳට සහ දරුවාට සිදු විය හැකි හානිය ගැන සළකා දරුවාට සාධාරණය ඉටු කරවා ගැනීමට උත්සාහ ගන්නේ නැත.

මේ සිඳුවීම අත්දැක ඇති මටනම් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පළමු කොට දරුවා රකින්නේ ද,සිය නිලධාරියා රකින්නේද යන තීරණය තුළ දෝලනය වෙමින් සිය කුලකය දිනවිය හැකි උපක්‍රම සියල්ල සළකා බලන්නේය.ඒ නිලධාරිවාදයේ සහ වත්මන් දේශපාලනයේ ගති ලක්ෂණවලට අනුව පාලිත තෙවරප්පෙරුම ගත් තීරණය ප්‍රායෝගිකය.ඔහු මහජන නියෝජිතයෙක් ලෙස බලය මහජන සුබ සිද්ධිය උදෙසා යොදවා ඇත.ඒ ක්‍රමය වැරදිය.නමුත් දරුවාට වැරදෙන විදිහට සකස් වී ඇති වැරදි ක්‍රමෝපායන් දහසක් හමුවේ පාලිත අපි අනුමත කරන ක්‍රමවේදයේ ගමන් කළා නම් දරුවාට පාසල ලැබෙන්නේ තුන වසරේදී පමණය.නැතිනම් තැනින් තැනට ඇවිඳ ගොස් එපා වී දෙමව්පියන් සිය උත්සාහය අත් හැර දමන්නේය.

කුලියාපිටියේ දරුවාගේ මෙන්ම කළුතර දරුවාගේ අධ්‍යාපන අයිතිය ද කප්පාදු වි ඇත.ලකුණු 91 ක් ලබා ගත් දරුවෙක් ගෙදර සිටිය දී ඊට වඩා අඩු ලකුණු ලැබූ දරුවන් පාසලට ඇතුළත් කර ගෙන ඇත.ඒ සම්බන්ධයෙන් විදුහල්පති දෙන පිළිතුරුවලින් පැහැදිළි වන්නේ ද ඒ දරුවා ඇතුළත් කිරිම පාසල විසින් නොසළකා හරින ලද ක්‍රියාවක් බවය.එහෙත් අපේ ඔළුවේ හදා ඇති පිංතූරයට අනුව දරුවා වෙනුවෙන් පෙනී සිටි පාලිත තෙවරප්පෙරුමට වඩා විදුහල්පති මරු ය.

අපිට වීරයෝ අමතක වී බොහෝ කල් ය.දැන් අකුරුවලින් රුපවලින් වැඩ කරන අයගේ න්‍යායපත්‍රවලට අහුවෙන රුචිවෙන පිරිසට හැර මිනිසුන්ගේ හදවත්වලට දැනෙන මිනිසුන් කියා කොටසක් නැති තරම්ය.

මේ සිස්ටම් එක ආතල් කියා විසිල් ගසන්නට නොහැකිය.තියෙන සිස්ටම් එකේ දේශපාලනඥයන් බොහෝ පිරිසක් දානපතියන් මෙන් හැසිරෙන සූරා කන්නන්ය.ලොකු ගොඩක් තමන්ට බෙදා ගෙන අනුන්ට කට කට කවන ඉන් ප්‍රචාරය ලබා ගෙන විරයන් වෙන සමාජශීලී,පරිත්‍යාගශීලි දේශපාලකයන්ය.පාලිත ඒ ගණයට වැටෙන්නේ ද නැත.ඔහු අනුන් වෙනුවෙන් කළ දෙයක් මිස තමන් වෙනුවෙන් කරගත් දෙයක් ගැන ඇසෙන්නේද අඬුවෙන්ය.නමුත් කරන දෙය කරනාකාරය අවුල්ය.ඒ අවුල් ආකාරය නිර්මාණය කර ඇත්තේ මේ දේශපාලන ක්‍රමයමය.එය නිවැරදි කීමට නොහැකි වුවත් මටනම් හෘද සාක්ෂියට අනුව පාලිත තෙවරප්පෙරුම වැරදි බව කියන්නට ද දිව නොනැමෙන්නේය.

කෙල්ලක් බෙදා ගන්නට නොහැකිව වැදගත් පුරවැසියන්ගේ දත් උගුල්ලන හෝ ජීවිත අළු කර දමන දේශපාලනඥයෙකුට වඩා, මහජන සේවයක් පමා කරන හෝ මඟ හැර සිටින සමාජයට වගකිව යුතු රාජ්‍ය සේවකයෙක් හෝ ආයතනයකට බලපෑමක් කිරීමට මේ ක්‍රමවේදය විසින් දේශපාලනඥයාට දි තිබෙන තකතීරු බලය යොදා ගැනීම වරදක් නැත.

ඒ මට සිතෙන හැටිය.