Friday, February 13, 2015

කිණිතුල්ලන්ගේ වේදිකාව

ආණ්ඩුව පත් වුණා.දින 100 විදිමින් නිදියනවා නැගිටිනවා.ඒ අතරෙ පුංචි පුංචි හීන දකිනවා.මේ දින 100 වෙනුවෙන් සමාජයම අවදියෙන් තබපු පිරිස දැකපු සොදුරු හීන සියල්ල සැබෑ නොවුණත් හැබැහින් වින්ද නපුරු යථාර්තය ආයෙමත් මේ සමාජය මැද්දෙන් දක්කන් යන්න පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා.

මොන ජාතියක හරි ගොනෙක් හොයා ගෙන ඒ ගොනාගේ ඇගේ වහන කිනිතුල්ලන්ගෙන් එහා දෙයක් මේ එකතු වී සිටින පිරිසගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.හරකට යන හැටියට යන්න දීලා හරකගෙ ඇගේම රැදිලා උගෙ ලේ වලින් බඩ පුරවාගන්න එක හැරෙන්න කිනිතුල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ.

මේ අය විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන වුණත් ගිය ආණ්ඩුවෙ ඉන්නකං කිනිතුල්ලගෙ භූමිකාව තමයි රග දැක්වූවේ.ගොනාගෙ ඇගේ නැගල යනවා මිස වෙන දෙයක් කරන්නවත්,හිතන්නවත් ඒ අයට හැකි වුණේ නැහැ.ඒත් මෛත්‍රීට ගැලවෙන්න පුළුවන් වුණා.එක කරත්තයක් වෙනුවට කරත්ත කිහිපයක අයිතිකාරයෙක් වෙන්නත් පාරවල් කිහිපයක කරත්ත එක පාරකට සේන්දු කර ගන්නත් පුළුවන් වුණා.

එතකොට මේ කිනිතුල්ලන් එහෙම නැහැ.උන්ට හොද හරකෙක් නැතිව ගමන යන්නම බැරි නිසා කිනිතුල්ලාගේ ආත්මය වෙනස් කර ගන්නෙ නැහැ.තව කිණිතුල්ලො ටිකක් ඉන්නවා ලේ බීපුවට අමතරව ගොනා කාපුවත් කාපු.ඒ අය දන්නව ගොනා කරපු වතුපාලු වලට ගොනාට තලන කොට තමන්වත් ඉතිරි වෙන්නෙ නැහැ කියලා.ඒ අයත් පරණ ගොනාගෙ පිටේම නගින්න බලා ඉන්නවා.

18 දා හවස නුගේගොඩ දි මේ ගොනා සහ කිනිතුල්ලන් ප්‍රදර්ශනයක් පවත්වනවා.ඒ ප්‍රදර්ශනය වෙනුවෙන් කිණිතුල්ලන් නාදුණන මිනිස්සුත් මහන්සි වෙනවා.හුගක් අය දින 100 ගැන කලකිරිලා ඒ විදිහට හිතන බවත් මම දන්නවා.අවුරුදු ගාණක් ඇදං ගිහිල්ල දාපු තැනින් රට ආපස්සට අදින්න පහසු නැහැ.හැබැයි ඒක අදින්න පොරොන්දු වෙලා ගත්තනම් ඒක අදින්න ඕනි.අනිත් දේ දරාගෙන ඉන්න බැරි පීඩනයකින් තමයි මිනිස්සු නිදහස් වෙන්න උත්සාහ කළේ. කතිර හැටියට පුපුරා ගියේ ඒ පීඩනය.

ඉතිං ඒ පුපුරා යාමෙන් පස්සෙ අලුතින් හුස්ම ගද්දිත් අර පල් ගදම ගොම ගදම දැනෙනවනම් ඒක දරා ඉන්න බැහැ.ජවය ඉපැද්දුව වගේම ඒ ජවයට අර්ථවත් හෙටක් දෙන්න බැරි වුනොත් මිනිස්සු පරණ ගොනයි,ඌ එක්ක ඉන්න කිණිතුල්ලොයි හොදයි කිව්වොත්......

දැන් සමාජය ඉදිරියේ තියෙන ලොකුම අවදානම මේක.මේ අවදානමෙන් මිදෙන්න එන්න එන්න අමාරු වෙන බව තේරුම් ගන්නෙ නැතිව කාලෙකට පස්සෙ හම්බවෙච්ච බලෙත් එක්ක ආතල් එකේ ඉන්න අය දැන් අමාත්‍යංශ පරිපාලනය වගේම තමන්ගෙ දේශපාලන ව්‍යාපාරය සහ සමාජය ඉදිරියේ ඇති අභියෝග පරාජය කිරීමට ජනතාව අතරට ගිහිං කතා කරන්නත් ඕනි.

සමාජය වෙනස් කිරිම වෙනුවෙන් කරන බලපෑම එක තැනෙක නැවතිලා.ආපහු දරුණු නිහැඩියාවක් ඇති වෙලා.අල්ලස් කොමිසමට ෆයිල් උස්සාගෙන යාම කිහිප දෙනෙක්ගෙ කටයුත්තක් වෙලා.මේවා ශක්තිමත් කරන්න සමාජය වෙනස් කරන්න ආපු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙ මැදිහත් වීම වෙනුවට පේන්නෙ දේශපාලන පක්ෂ මුහුණු.උදාහරණයකට දෙමුහුන් වාහන වල බදු සහනය ලබා දීමට සිවිල් සංවිධාන රජයට කරුණු පෙන්වා දි ඒ අවස්ථාව වඩාත් අසාධාරණයට ලක් වී සිටින පිරිස වෙනුවෙන් දිනා දුන්නානම්......

ඇති වූ පිබිදීම එතැනට ගෙන යා යුතුයි.මේවට උරදෙන දේශපාලන චරිතත් සාමාන්‍ය මිනිසුන් අතරට බලාපොරොත්තු ඇති කරන්න නිර්පාක්ෂික සාධනීය සමාජ මැදිහත් විමක් සමාජය යහපාලනයකට කැදවා යාම පිණිස අවශ්‍යය බව තේරුම් ගෙන පටු ජයග්‍රහණවලින් එහාට ගොස් කටයුතු කළ යුතුයි.අතිශයින් පෞද්ගලික දේශපාලන උවමනාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස දේශපාලන වේදිකා තනා ගන්නන් පිණුම් ගසන භූමියක් වීම භයානක තත්ත්වයක්.

උදාහරණයකට හිරුණිකා ගන්න.ඇය දුමින්ද සිල්වා ගැන ආණ්ඩුවට පෙළඹවීම් කරන්නේ නැති තරමට තමයි සමාජය දුමින්ද වරදකරුවෙක් වූ දවසට ඒක පිලි ගන්නෙ.ඒක හිරුණිකාට පවරලා මේ සමාජය වෙනස් කරන්න මෛත්‍රීව බලයට ගෙනා සිවිල් ක්‍රියාකාරින් තමන්ගෙ කටු අස්සට රිංගගෙන බලා ඉන්නවා.කරන්න ඕනි දේ කියා දෙන්න, වෙලාවකට විතරක් එලියට ආවම හැමදාම මිනිස්සුන්ට නැගිටින්න කිහිලිකරු ඕනි වෙනවා.එහෙම කළ යුතු දේ කියා දිය යුතු සමාජයක් වෙනුවට කළයුතු දේ කරන්න බුද්ධියක් ඇති සමාජයක් කරන්න මැදිහත් වීමටනම් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය හැම මොහොතෙම සිය හඩ මේ යාන්ත්‍රණයෙ ඉහළින්ම තැබිය යුතුයි.ඒක සර්වකාලීන අවශ්‍යයතාවයක් මිස ඡන්දකාලේ අවශ්‍යයතාවයක් නොවන බව අප තේරුම් ගත යුතුයි.

එසේ නොවන තාක් හරක්ගෙ යැපෙන කිණිතුල්ලන්ට මේ සමාජය තුළ විශාල ඉඩක් ඇති වෙන බව සහතිකයි.

Tuesday, February 3, 2015

පැණි සහ ලුණු මිරිස්

මොකද වෙන්නෙ?

හුග දෙනෙක් මේ විදිහට අහනවා.දින 100 ඉවර වෙලා 101 වෙනකං උත්තරයක් දෙන්න බැහැ මේකට.මේ වැඩේ අලුත් වීම එකක්.බහුතර ඔළු ගාණට බලය තීරණය විය යුතු නැහැ කියන එක නම් මම විශ්වාස කරනවා.ඒ ඔළු ගාණ නැත්නම් වැඩිම මනාප කියන දේවල් වලින් මේ රටට හොදක් වෙලා නැහැ.වැඩි දෙනා කැමති දේ වැඩි දෙනාට සේවය නොකරයි කියන එකට හොද උදාහරනයක් හැටියට මේ ඡන්ද ක්‍රමය ගන්න පුළුවන්.
කතිරය කියන්නෙ වැරද්දම තමයි..හරි ලකුණ දාන්න පුළුවන් දේවල් කතිරයෙන් ලැබෙන්නෙ නැහැ.අවසානයෙ ඒ වගෙ නිගමනයකට අවා.දැන් පාර්ගිමේන්තුව ගන්න තීරණ සාපේක්ෂව හරි වගේ දැනෙනවා.ඒ අය කතිර අඩු කට්ටිය නිසා වෙන්න පුළුවන්.මේ විදිහට සැනින් වෙනස් විය හැකි බලයක සහිත ව්‍යවස්ථාදායකයක් තියෙනවනම් මේ වගෙ වැඩ කරයි නේද කියලා හිතෙනවා.

කෙහොම නමුත් ඇමතිවරු ලෙස තීරණ ගැනීමේ බලය පැවරි තියෙන පිරිස සිටි පිරිසට වඩා බුද්ධිමත් පිරිසක් වීම සතුටුදායකයි.එ වගේම බලය රැක ගැනීම උදෙසා ඉන්න හැම කෙනෙක්ම ඇමතිවරු කිරීමක් දකින්නට නොලැබීමත් සතුටුදායකයි.ඒත්ඔළු ගෙඩි ගණනින් බලය තීරණය කරන සම්ප්‍රදාය ඇතුළෙ මේ ගමනට යා හැකි දුර කෙටි විය හැකියි.ඒකට හොදම උදාහරණය සපයමින් විමල් වීරවංශ,දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව ඇතුළු පිරිස සූදානම් වෙන්නෙ මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට කැදවාගෙන ඒමට.

සටහන ආරම්භයේ නිවැරදි දේ ඔළු ගෙඩි ගාණෙන් මනින්න බැහැ කිව්වට විමල්,වාසු,දිනේෂ් මෙන්ම ඒ පිරිස සමග ඉන්න සියල්ල තනිව බලය සදහා අවශ්‍යය ප්‍රමාණයට ඔළු ගෙඩි සොයා ගන්නට බැරි පිරිසයි.ඒ නිසා ඔළු ගොඩකට හේත්තු වී මහජන නියෝජිතයෙක් වෙනු හැර තනිව පක්ෂයක් හැටියට පැමිණ බලපෑම් කිරීමට මේ පිරිසට හැකියාවක් නැහැ.ඒ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග තවත ව්‍යාකූල වුණා.

විමල්ගෙ පක්ෂයෙ අචල චාගොඩ ඇතුළු පිරිසක් කැඩී ගියා.දිනේෂ්ගෙ පක්ෂයත් දෙකඩ වුණා.වාසුගෙ පක්සයෙ කැඩෙන්න තරම් පිරිසක් කොහොමත් නැහැ.කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂවල ද දෙකඩ වීමක් වුණා.ඒ නිසා මේ අයට පක්ෂයක් හැටියට මහජන නියෝජතයෙක් හෝ වී පාර්ලිමේන්තුවට ඒම පහසු නැහැ.ඒකට විකල්පය හැටියට ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්ෂ යි.ඔහු හරහා ශ්‍රී ලංනිපය දෙකඩ කර වෙනම බලවේගයක් ලෙස මැතිවරණයට පිවිස යම්කිසි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පත් වීම ඒ පිරිසගේ උත්සාහයයි.

ඉන් එහා ගිය ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඔවුන් සතුව නැහැ.විමල් සහ දිනේෂ් අන්ත ජාතිවාදි ආගම්වාදි ස්ථාවරයක කටයුතු කරද්දී වාසු,තිස්ස විතාරණ සහ ඩීව් සිටින්නේ ජාතිකත්වය පිළිබදව කතා කරමින්.නමුත් බලය වෙනුවෙන් තිස්සල,ඩීව්ල මෙන්ම වාසුත් සිය මැතිවරණ ව්‍යාපාරයම ජාතිවාදී ආගම්වාදී ග්‍රෝත්‍රිත ස්වභාවයකට ලක් කළ මහින්ද එක්ක රැදෙන්න සූදානම්.මේක හරියට පැණි එක්ක ලුණු මිරිස් කනව වගෙ වැඩක්.ඒත් මේ මිශ්‍රණයට කැමති පිරිසක් සමාජයේ ඉන්න බව අමතක කරන්න බැහැ. 

සංයුතිය නිරීක්ෂණයේදී එය කෙතරම් අතාර්කිකද,නොගැලපේද සහ විශ්වසනීයත්වයෙන් තොර ද යන කාරණය මෙහිදී ලිහා ගත යුතුයි.මිනිස්සු එහෙම ගැටළු ලිහා ගන්න යන්නෙ නැහැ.පුද්ගලයා මත යැපෙනවා පමණයි.එතැනදි අපි නැවත බ්‍රෙස්ට් ළග නවතිනවා.නායකයන් නොව වෙනස් කළ යුත්ත‍ේ මිනිසුන්.මිනිසුන් වෙනස් වන තෙක් මිනිසුන් අතරින් තේරී පත් වෙන නායකත්වය පැණි සහ ලුණු මිරිස් එකට වැළදීම ඉවසා වදාරන්නට මිනිසුන්ට සිදු වීම නියතයි.

ඒ නිසාම මේ මොහොත පක්ෂ දේශපාලනයෙන් එහා ගිය දැණුම කෙරෙහි වන රොද බැදීමකට සමාජය සූදානම් කළ යුතු අවධිය බව වගකිව යුතු සිවිල් සමාජය මැනවින් වටහාගත යුුතු වෙනවා.