Monday, October 22, 2018

මුතුයි රතුයි

මුතු තියෙන්නෙ හැංගිලා.හොයාගන්න මහන්සි වෙන්න වෙනවා.එතකොට තමයි වටිනා දේ ලැබෙන්නෙ.ස්වභාව ධර්මය හැඩ ගස්සලා තියෙන ඒ ක්‍රමයට සැබෑ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වෙනවා.
මේ රතු පලස් එලන්නනම් බන්ධනාගාර රැදවියෙක් යොදා ගන්න ඉඩ තියෙනවා.ඒ ඔවුන් භාහිර වැඩවලට යොදාගන්න අවස්ථා තියෙන නිසා.ඒත් වෙනසක් නොවී ඔවුන්ටත් මැති ඇමතිවරු ප්‍රභූවරු ඇවිදින ඒ පලස මතින් ඒ විදිහටම සමාන සැළකුම් ලබමින් යන්න ලැබෙනවනම් කොයිතරම් දෙයක්ද?
ඒක ටිකක් අමුතුයි.සමහර විට පුදුමයි කියන අයත් ඉන්නවා.
ඒ අමුතු දේවල් පුදුම දේවල් පොඩි මිනිස්සුන්ට කරන්න පුළුවන්.මගේ හදවතට තියෙන සතුට ඒකයි.ඒක ආඩම්බරයක්නම් නෙමෙයි.මට පොඩි කාලෙ ඉදල තිබුණ උවමනාවක්.සමහරු ඒකට පිස්සුවක් කියලත් කියනවා.
හැම දේටම වගේ මේකටත් මගෙ තාත්තා ඈදෙනවා.
අපි දුරෙක්කන්දෙ ගේ ගන්න වෙලාවෙ ඒ ගමේ නම කියල රත්නපුරෙන් මිනිස්සු ටිකට් ගන්නෙ නැහැ.ටිකට් එකේ ගාන කියන්නෙ.ඒ මුලු රත්නපුර නගරයෙම ඒ වෙනකොට හිටපු ගණිකාවන්,පික්පොකට් කරුවන් වැනි සමාජ විරෝධීන්ගේ නවාතැන් පොළ වෙලා තිබුණෙ දුරෙක්කන්ද.එහි හිමිකාරීත්වය දැරුවෙ ධර්මදාස කියල කෙනෙක්.සක්කොල ධර්මදාස කිව්වම ඉස්සර රත්නපුරේම හෙල්ලෙනවා.
ධර්මදාසගෙ ගෙදර අරක්කු විකිණීමත් තිබුණා.ඒත් ගමේ අය ගොඩ වුණේ නැහැ.හේතුව බයට.ඒත් ලොකු තැන්වල අයත් අරක්කු බොන්න වගේම වෙනත් උවමනාවන් වෙනුවෙන් මඟ ලකුණු අහන්නත් මෙතැනට ගොඩ වෙනවා.දුරෙක්කන්දෙ ගේ ගන්න ආපු තාත්තාත් ධර්මදාසගේ තැනට බොන්න ගිහිං.
මහත්තය මෙහාට එනව කියල ආරංචියි.ඕනම දෙයක් කියන්න ඕන ප්‍රශ්නයකට මමයි මගෙ කොල්ලො ටිකයි ඉන්නවා.
බොන්න ආපු ධර්මදාස තාත්තට එහෙම කිව්වම තාත්තා දීල තියෙන උත්තරය හරි අපූරුයි.
ප්‍රශ්නයක් වෙන්නෙ නැතිව ඉන්නයි මම එන්නෙ.ප්‍රශ්නයක් වුණොත් තමුසෙ එන්න ඕනිත් නැහැ,කොල්ලො එන්න ඕනිත් නැහැ.මම එනවා මෙතනට.ඒ නිසා පරිස්සමින්.
*******************************************************************************
ඊට පස්සෙ අපි පදිංචියට ඇවිත් මාසයක් විතර යද්දි තාත්තා පතල් පොළට බඩු අරං යද්දි රුපියල් නවසීයක් තාත්තගෙ සාක්කුවෙන් අර ගන්නෙ එතැනට ආව ගිය නමගිය පොකැට් කාරයෙක්.තාත්තා අර පළමු මොහොතෙ කිව්ව වගෙම ධර්මදාසගෙ ගෙදරට ගිහිං අර මනුස්සය අරං ඇවිත් සුමිත් නිරිඇල්ලගෙ ලොකු තාත්තලගෙ ගෙට ඉස්සරහ තියාගෙන ගහනවා.
ඒ වෙන කොට ඒ ගමේ විශාල පිරිසක් අපේ පතල්වල වැඩ.හැබැයි කිසි කෙනෙක් ළඟට ආවෙ නැහැ.තාත්තා තනියෙන්.(ඒ නිර්භිතකමනම් මට තියෙනවද දන්නෙ නැහැ.)එතනදි තමයි දෙවන අවවාදය ධර්මදාසට දෙන්නෙ.මීට පස්සෙ මේ ගමේ කාටවත් කිසි දෙයක් වෙන්න බැහැ.
ඒ අවවාදය දෙන්න හේතුව තමයි බිම කළුවර තියෙද්දිම අළුයම වත්තෙ පෙරෙට්ටුවට දුවන ගැහැණුන්ගෙ කෑම එකත් මේකෙ හිටිය මිනිස්සු කඩා ගැනීම.එහෙම ගැහැණු අය අදටත් වඩා පසුගාමි සාමාජයක සිටි නිසා නොකිව්වද දන්නෙ නැහැ.හීරීම් හෙම සිදු වී තිබුණෙ බත් එක බේරගන්න සටන් කරද්දි කියලා කිව්වට ඊට වඩා නරක අත්දැකීම් ඒ අය විඳින්න ඇති.
නමුත් දෙවන අවවාදයට මාසයකට පසුව තාත්තා නැති වෙලානවක අපේ ගෙදරට පනින්න ඇවිත් අපේ බාප්පගෙ දුවවයි,මාමගෙ දුවවයි එළියට අදින්න හදනවා.ඒ ධර්මදාසලට ් ගමේ අවුරුදු ගාණක් දරන් හිටපු බලය අහිමි වෙන තැන.සියලු දේ විකුණා ගමෙන් යන්න වෙනවා.
පොලිසිය ඉස්සරත් ඉතිං අදට සාපේක්ෂව හොද වුණාට අපරාධකාරයා අල්ලලම දෙන්න ඕනි තත්ත්වයෙ තිබුණෙ.ගෙදරට පනින්න ආපු කෙනෙක් හෙළිදරව් වෙලා මුරුතංඇල කියන පැත්තෙ ගෙදරක හැංගිලා ඉන්නවා කිව්වම තාත්තා ගියා මනුස්සයව ගේන්න.දැන් ගමේ තත්ත්වය වෙනස්.පළමු දවසෙ අත්බැදන් හිටපු මිනිස්සු එක පෙළට තාත්තා පිටුපස.
මනුස්සය මතුවෙන්නෙ ඇසිඩ් බල්බ් දෙකක් අතින් අරං.ඒත් ඒවට ඉස්සර තාත්තා ඉස්සර වෙලා තිබුණා.පුද්ගලයව කුදලං ඇවිත් පොලිසිය එනකං සුමිත් ලගේ ලොකු තාත්තලගෙ ගේ ඉස්සරහ ගහක බැදල තිබුණා.තාත්තා හරක් මස් එක්ක බත් අරං ගිහිං කවන්න හැදුවා.මනුස්සය බැහැ කිව්වා.
ඇයි හරක් මස් කන්නෙ නැද්ද?
එහෙම චරිත ගොඩක් ලෝකෙට පේන් පිංවන්තයො කියල දැගෙන තාත්තා ඒක අහන්න ඇති.මනුස්සය හරක්මස් කන බව කිව්වා.ඊට පස්සෙ තාත්තා කටවල් දෙකක් කාලා අර මනුස්සයට කැව්වම කෑවා.
මේ ගැන අපේ ගෙදර ඇති වුණ සංවාදය මට තාම මතකයි.
අරූට මස් උයල ගිහිං කවන්නෙ පිස්සුද?
අම්මගෙ ගෝරනාඩුව එක දිගට.තාත්තා ඒ වෙලාවට නිශ්ශබ්දයි.එදානම් මාත් අම්මගෙ පැත්තෙ.මාත් දන්න තරමින් තාත්තව විවේචනය කළා.
අක්කල අරං ගියානම්...
අරං ගිහි මොනව කරනවද කියලවත් හැඟීමක් නැති වුණාට මම එහෙම කිව්වා..මාස තුනකට විතර පස්සෙ තාත්තා මට පෑන් දුසිමක් ගෙනත් දුන්නා.
කොහෙන්ද
තාත්තා උත්තර දුන්නෙ මට නෙමෙයි අම්මට.
.............. දැන් බිස්නස් කරනවා.ඉස්සෙල්ලම පෑන් ටික කියලා මට ගෙනත් දුන්නා.මම ඉතිං දුසිමක්ම ගත්තා.මට දැන් ගොඩක් දේවල් තේරෙනව මහත්තයො මම ආයෙනම් එහෙම ජීවිතයකට යන්නෙ නැහැ.
මනුස්සය කිව්ව කතාව අම්මට කියලා මට කිව්ව දේ තමයි මගේ වෙනස ඇති කළේ.
ඒ මනුස්සයගෙ ඔය වගේ තව කොච්චර හොද දේවල් ඇද්ද?තියෙන එකම නරක වෙන්න ඇති අපි දැක්කෙ.
ලොකුවට තේරෙන්නෙ නැති වුණාට තීරණාත්මක අවස්ථාවල තාත්තා කියන දේවල් කොච්චර ලොකු ද කියල කාලයත් එක්ක තීරණය වෙනවා.
ඒ නිසා මම බන්ධනාගාරය ඇතුළෙ හමුවන වැරදිකරුවගෙ නොපෙනෙන හොද ගැන හැම වෙලේම විමසිලිමත් වුණා.අපිට වඩා හොද දේවල් කොච්චර ඇද්ද කියලා හිතුවා.මනුස්සයෙක් කියන්නෙම හොද සහ නරක අතර සංයෝජනයක්.ඒ හැඟිම නිසා මට ඔවුන්ට සමීප වෙන්න හැකි වුණා.ඔවුන් මාව සමීප කරගත්තා.
අපි අතහැරපු දේවල් කොච්චර ඇද්ද ඒ වැරදිවලට හේතු වුණ කියලා මාව රිද්දමින් මට දැනෙව්වා.ඒ මේ නාට්‍යයෙ ප්‍රධාන භූමිකාව කළේ මාත් එක්ක අවුරුදු හතරක් එකටම එක පංතියෙ අකුරු කරපු එකෙක් වීම නිසා.
ඌ මහා ආඩම්බරෙන් මට ස්ර් කියනවා.
මම ඒකට විරුද්ධ වුණාම ඔහු කියන්නෙ වෙනම කතාවක්.
මගෙ පංතියෙ මාත් එක්ක හිටපු කෙනෙක් මේ වගේ තැනෙක ඉන්න එක ගැන මේ වෙන කාටවත් වඩා සතුටු වෙන්න පුළුවන් මට.ඒ නිසා හදවතින්ම සතුටෙන් කැමැත්තෙන් මං ස්ර් කියන්නෙ.ඒක මට ආඩම්බරයක්.
ඒ වචනෙ ඇහෙද්දි මගේ පපුව තුවාල වුණාට උගේ හදවත සුවපත්වීම හොදයි.ඒත් එහෙම වෙන්න අපිට උගේ ජීවිතයෙ මඟ හැරුණු තැනක් ඇත්තෙම නැද්ද?ඒක තවම කකියන දෙයක්.
කොහොම වුණත් මට උන්ව රතු පලස උඩට ගන්න පුළුවන් වුණා.පුංචිම පුංචි ජයග්‍රහණ කිහිපයක් එක්ක.ඒක ගැන මට සතුටුයි සතුටුයි.
තාත්තා හිටියනම් එයා ඇස් දෙකේ නලියන කඳුළුත් එක්ක මාව බදාගන්නවා.කොයිම වෙලාවකවත් මගේ නිදහස අහුරන්නෙ නැතිව මම යන ගමන දිහා බලං හිටිය තාත්තා ගැන "හිටියනම්" කියල තවත් දැනෙන දවසක් මේක.

1 comment: