තියන්න හිතං හිටියෙ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙ.ඒකෙ ප්රධානියා මධු මාධවත් වැඩේට උදව් කරන්න ඉදිරිපත් වුණත් රංග ශාලාවෙ තියෙන පහසුකම් එක්ක ඒ ගණන් වලට නාට්යයක් කරනවට වඩා ටවර් එකට එන එක ලාබයි.හැබැයි ඒක හොද හෝල් එකක්.තැනත් නියමයි.කොළඹ විශ්ව විද්යාලය ළග.කොළඹ 7.වෘත්තීයවේදීන්ගේ සමාජය අල්ලපු වැටේ.හොද දේවල් අඩු ගණණට පෙන්නුවොත් මේක හොද වටිනා කියන තැනක් හැටියට තීරණය වෙයි.ගැලවිජ්ජා ඒ විජ්ජාව කරන්න ඉදිරිපත් වුණාට හෝල් එකට තියෙන නීති අණ පනත් එක්ක ගණන් මිණුම් අඩු කරල මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන් සීමාවෙ දිග පළල අපිට දැනෙන විදිහට වෙනස් කරන්න ඒ අයට නම්යශීලී වෙන්න විදිහක් නැහැ.
ඉතිං අපි ටවර් එකට යනවා.වායු සමූකරණය කරන ලද හෝල් එකක් වීම වගෙම නාට්ය ප්රේක්ෂකයන්ට අමුතුවෙන් හදුන්වා දිය යුතු තැනක් නොවීමත් මේ වැඩේ දී ලොකු ගැම්මක්.අපි 26 හෝ 27 හෝ ඒ දින දෙකේදිම හෝ මුණ ගැසෙමු ටවර් එකේදි.ප්රවේශපත්ර ගැන තීරණය කරන්න ගියහම පට්ට ගැටළුවක් ආවා.මගේ සාක්කුවට ඔරොත්තු දෙන්නෙ නැති ගණන් තමයි දාන්න වෙන්නෙ.ඒත් ටිකට් එකක සාමාන්ය මිල දැන් එහෙමයි කියලා කට්ටිය උදාහරණ ගොඩක් ගෙනාවා.
හැමෝගෙම උදව්වෙන් කරන නාට්යය තව දුවවන්නත් සල්ලි ඕනි.ඒකයි ඇත්ත.කට්ටිය කියපු කතාවෙ වරදක් නැහැ.හොදයි එහෙනම් ටිකට් පතක් රුපියල් 1000 සහ 500 වෙනවා.මේක අවුල් නම් කියන්න.තවම ප්රින්ට් කරලා නැහැ.ඔබත් එක්ක මේ ගැන එකගතාවයකට එන්න වෙනවා.ඔබ හුගදෙනෙක්ට මේ නාට්යය අයිතියි.බහුතර කැමැත්ත අනුව ඒක කරන්න අප්රමාදව මෙහි ඔබේ අදහස ලියන්න.නැත්නම් මගේ මේල් එකට එවන්න.nismansinghe@gmail.com
ඒත් මේක අතුරු කතාවක් විතරයි.මේ හෝල් වල ප්රශ්නෙ හිතට මෙච්චර වදයක් වුණේ අපි වගේ නාට්ය කරුවන්ට නාට්ය කරන්න තිබුණු ජෝන් ද සිල්වා සමරු රගහල බිමට සමතලා කරපු නිසයි.මම ඊයෙ උදේනි අල්විස්ගෙ ආරාධනාවෙන් ඡායාරූප සංගමයෙ ඡායාරූප ප්රදර්ශනය බලන්න කලාගාරයට ගියා.කඩල හදනවා වගෙ දැනෙන්න කලාගාරයෙ සීමාවෙ උසට තහඩු ගහලා ජෝන් ද සිල්වා එක තිබුණු බිම වහලා තිබුණා.
මම එහා පැත්තට ගිහිං එබිලා බැලුවා.බිමට සමතලා කරපු ජෝන් ද සිල්වා එක පස් ගොඩක් විතරයි.ඇස් වලට කදුළක් ආවා.ඒ කදුළට හිනා වෙන්න වගේ නෙළුම් පොකුණ බලං ඉන්නවා.නෙළුම් පොකුණෙ කව්ළු වලින් එබිලා ජැක්සන්ල,රන්දෙණියලා වගේම ඇතුගලත් පුළුවන්නම් උමල නාට්ය කරපං කියන්න වගේ බලා ඉන්නවා.
රාජ්ය නාට්ය උළෙලට මරාසාද් පෙන්නපු වෙලාවෙ කර්ට්න් කෝල් එකට මරා ට අසුනෙන් නැගිටලා අත්පුඩි ගහපු හැටි මතක් වෙනවා.කොට්ට උරයක් මෙන් සිරුර කණ පිට පෙරළා අළුත් ඇහැකින් ලෝකය බලන්න කියන එක තේමා පාඨයක් කර ගත්තට එහෙම මිනිස්සු දිහා අළුත් ඇහැකින් බලන්න බැරි වෙලා තියෙනවා කියලා මට තේරෙන්න ගන්නවා.
ජෝන් ද සිල්වා කියන්නෙ හැම අතින්ම සම්පූර්ණ රංග ශාලාවක් නෙමෙයි.ඒත් පැනඩෝල් පෙත්තක් වගේ.හිතේ නිර්මාණයක් වෙනුවෙන් ඇතිවන ප්රසව වේදනාව සමනය කර ගන්න තිබුණෙ ජෝන් ද සිල්වා.එහෙම නැත්නම් ලුම්බිණි රගහල.රජයෙන් ආශිර්වාදයක් කියලා ලැබුණු එක තමයි ජෝන් ද සිල්වා රගහල.මේ සමතලා කරල තියෙන්නෙ ඒ භූමිය.
එතකොට කලාකාරයො කියලා දෑත ශක්තිමත් කරන්න ඉන්න කට්ටිය සිය දෑත ශක්තිමත් කර ගෙන නෙළුම් පොකුණෙ නාට්යය කරනවා.අලුත් පරම්පරාව හිස් අතින් බලා ඉන්නවා.හදනවා කියලා කඩපු රගහල හරහා කඩා දැම්මෙ අලුත් දේශපාලන අදහස් වලට ගොඩ වෙන්න තිබුණු වේදිකාව.පුංචි හරි කම්පනයකින් තමයි නාට්යයක් කරන්න මනුස්සෙක් පෙළඹෙන්නෙ.ඒ කම්පනය නිර්මාණශීලීව ප්රකාශ කරන කොට එහි තියෙන සෞන්දර්යාත්මක වටපිටාවත් එක්ක තියෙන අර්බූදය විදින්න වගේම ඒක තේරුම් ගන්නත් පිරිසට ඇති ඉඩ ඇහිරෙනවා.
කලාව වාරණය වෙන්නෙ ඒ විදිහට.වක්රාකාරයෙන් ජොන් ද සිල්වා කඩා වැටීම හරහා මේ කරමින් තියෙන්නෙ ඒ දේ. ඒත් කලාකාරයො කියලා ලයිසන් අරං රාජ්ය යාන්ත්රණයෙ නියෝජිතයො විදිහට ඉන්න අය නිශ්ශබ්ද කරලා තියෙන්නෙ මෙන්න මේ දේශපාලනික අනන්යතාවය.ඒ අයගෙ දේශපාලනය කෙසේ වෙතත් ඒ අයගේ වරප්රසාද සහ අනෙකුත් භෞතික සම්පත් වෙනුවෙන් මේ අය නිහඩ වෙනවා.
ජෝන් ද සිල්වා තිබුණු බිම පස් ගොඩක් හැටියට අලුත් බීජ ඉන්දන්න තියෙන ඉඩ මුඩු බිමක් බවට පත් වෙනවා.කලාකාරයො විදිහට පෙනී සිටිමින් නලා පිඹින කිසි කෙනෙක්ට මේකෙන් කප්පාදු වෙන පරම්පරාවෙ අයිතිය හෝ ඔවුන්ගෙ ආදරණිය හැගීම් තේරෙන්නෙ නැහැ.කුමාරි මුණසිංහ ගේ ගීත සමුච්ඡය එළි දක්වපු රූපවාහිනි ප්රසංගය තිබුණෙත් ජෝන් ද සිල්වා සමරු රගහලේ.එකේ ප්රසංග කලමනාකරනයට මම සම්බන්ධ වෙන්නෙ දුකා නිසා.එදා රැ දුටුව කුමාරි මුණසිංහගේ සැමියා අද රගපාන චරිතය ඊට වඩා කොච්චර වෙනස්ද?
වරෙං මෙහෙ පලයන් කඩේ.ප්රතිපත්ති බල්ලට දාලා වැඩ කළොත් උඹලටත් දොර ඇර ගන්න පුළුවන් නෙළුම් පොකුණෙ.
වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණෙනි
අවසර උඹ පිළිගන්නට මේ කීකරු බලු කුක්කට
අපි තේරුම් නොගත් ඇත්ත හිත තුළ දෝංකාර දෙනවා.ඒ බිරුම් හඩට එකතු වෙලා බුරනවද?මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න හදලා බල්ලෙක් වගේ මැරුම් කනවද වගේ අදහසක් මගේ හෘද සාක්ෂියෙන් මතුව ඇවිත් මගෙන් ප්රශ්න කරනවා.
තෝරා ගැනීම සදහා බලු චරිතයක් සහ මිනිස් චරිතයක් ඇත.මම ජෝන් ද සිල්වා කියන කිර්තිමත් කලාකාරයා සහ අදීන මිනිසාගේ නාමය පස් ගොඩක් බවට පත් කල සමයමට දෑතම ඔසවා අනුමැතිය දී නිහඩ වුණු කලාකාරයන්ගේ මහා සමයම බලන්න එන්න නෙළුම් පොකුණට කරන ආරාධනාව ඇතුලෙ තියෙන කුහක දේශපාලනය ගැන කතා කරන්න මේ රටේ වේදිකාවක් හැදෙන්න කියලා බිමට නැමිලා පස් වෙච්චි ජෝන් ද සිල්වා රගහල් භූමියෙ පස් රොදක් හිිමිහිට අතට ගත්තා .
පස් පෙරළෙනවා.ඉවසපං.අලුත් බිජ ඊට පස්සෙ ඉන්දන්න පුළුවන්.
ඒ පස් අහුර බොහොම ගෞරව සම්ප්රයුක්තව මම ආයෙමත් බිමින් තිබ්බා.




