
ජාතියට ආගමට නොව මිනිස්සුන්ට ගරු කළ යුතු බව මට කීවේ තාත්තාය.කතෝලික මවක් සහ බෞද්ධ පියෙකු අම්මා සහ තාත්තා වූ මගේ තාත්තා මගේ අම්මාගේ බැදීමත් එක්ක කතෝලික කම අත හැර තිබුණේය.එහෙත් ඔහු කවදාවත් කතෝලික කමවත් බෞද්ධකමවත් බැද ගෙන සිටියේ නැත.අම්මාගේ විවාහයෙන් පසුව රත්නපුරයට එන තාත්තා ට අප ජීවත් වූ ප්රදේශයේ කතෝලික ආගම් සංස්කෘතියක් නොතිබීම ද ඔහු බෞද්ධයෙක් ලෙස මතු වන්නට හේතු වන්නට ඇත.රත්නපුර ගල්ලෑල්ල පුරාණ විහාරයේ පෙරහැරේ ධාතු වැඩමවීම සදහා ද සහභාගි වූ තාත්තාට, මල්වල,දෙහෙනකන්ද,බානගොඩ වැනි ප්රදේශවල විහාරස්ථාන සමගත් ලොකු සම්බන්ධයක් තිබුණා.ඒ වගේම ගලබඩ,හපුගස්තැන්න වැනි ප්රදේශවල කෝවිල් වලටත් තාත්තා ගේ සහභාගීත්වය ලැබුණා.
මේ තාත්තාගේ සාමාන්ය තත්ත්වය වූ අතර හැම ආගමකම,ජාතියකම මිනිසුන් බෙහෙවින් ඔහුට ආදරය කළේ ඔහු මිනිසුන්ට දැක් වූ අසීමිත ආදරය නිසාමයි.ජීවිතයේ දෙවුන්දරතුඩුවේ ඉදල පේදුරුතුඩුව දක්වා මානව සබදතා තිබුණු තාත්තා හැම ජාතියකම ආගමකම මිනිසුන් ට බේදයකින් තොරව ආදරය කරන්නත් ඔවුන්ගේ මනුස්සකම්වලට ගරු කරන්නටත් පුරුදුව සිටියා.
ජූලි කළබලය ඇති වන මොහොතේ අප සිටි දුරෙක්කන්ද නම් වූ ගමට සිටියේ එකම දෙමළ පවුලයි.සුන්දරම් ඒ ගෙදර ගෘහ මූලිකයා වුණා.රට පුරා ඇති වූ මං පහරන ජාතිවාදි කොල්ලයේ උණුසුම අවට ප්රදේශ වල පැතිර තිබුණා.සමහර ලැයිම් වල කුකුළු කූඩු පවා ජාතියට දැක් වූ ආදරය වෙනුවෙන් සිංහලයන් අතින් හිස් වෙලා තිබෙන බවට තොරතොරු පැතිර ගියා.
රත්නපුර කහවත්තෙ පල්ලියකට ජීවිත ආරක්ෂාව පතා පැමිණි අහිංසක දෙමළ ජාතිකයන් මරා දමා තිබූ ම්ලේච්ඡ ආකාරය ඒ වෙන විටත් පැතිර ගියේ සිංහලකම ට, මංකොල්ල කන්නට සහ අහිංසකයන් මරා දමන්නට තටු අන්දවමින්.මේ සිද්ධිය වෙනකොට තාත්තා හිටියෙ කහවත්තෙ.ඒ වන විට හුසෙයින් මැණික් ආයතනයේ සේවය කරපු තාත්තාට මේ ම්ලේච්ඡ සිදුවීම සමග සිහියට නැගිල තියෙන්නෙ සුන්දරම්.
රටම ඇදිරි නීතියෙන් අදුරු වෙලා තියෙන මොහොතක තාත්තාට ගෙදර එන්න වාහන තිබිලා නැහැ.පොලීසිය දන්න කෙනෙක් වීමේ ආරක්ෂාවත් සමග පාරට බැස්ස තාත්තා පයින්ම එන්න පිටත් වෙලා.අතර මගදි පොලිස් වාහන වලින් පොඩි දුරකට ප්රවාහන පහසුකම් සළසා ගෙන.දෙමනගම්මන ගෝනකුඹුර හරහා සැතපුම් තිහක පමණයැයි සිතිය හැකි දුරක ගෙවා නිවසට පැමිණියා.ඇටිකෙහෙල්පොල සිට කම්බි පාලමෙන් අන්ධකාරයේ පැමිණි තාත්තාගෙ පය ලිස්සා සිදු වූ තුවාලයෙන්ද,කූඩැල්ලන් විසින් ඇති කරන ලද තුවාල වලින් ද ලේ වැගිරෙමින් තිබුණු අතර නිවසට පැමිණි වහා මාත් සමග සුන්දරම්ලාගේ නිවස බලා කන්ද තරණය කළා.
'අනතුරක ඉව' විසින් බිත්ති හතර ඉතිරි කළ සුන්දරම්ලා නිවෙසින් පලා ගොස් තිබිණ.සුන්දරම් සුන්දරම් යැයි තාත්තා හඩ තලන්නට විය.පිළිතුරක් නැත.රබර් යායත් ඊට උඩින් පිහිටි කැකිල්ල යායත් අදුරු හෙවනැලි ලෙසින් දිස් වුණා පමණි.
සුන්දරම් මම නෙවිල් මහත්තයා.......
ප්රකාශයෙන් ටික මොහොතකට පසු උඩ කැකිල්ල යාය සසැලින.පවුල් කිහිපයක එකතුවක් වූ ඒ ගෙදර සාමාජිකයන් අතර අවුරුදු දෙක තුන නොඉක්ම වූ අය ද වූහ.මතකයේ හැටියට උසම පුද්ගලයා වූ ගනේෂන් සුන්දරම්ගේ දියණිය වූ සත්යබාමා ගේ සැමියාය.අදුරු හෙවනැලි නැගිටි විට උස සහ මිටි වූ විවිධ ප්රමාණයේ සෙවනැලි දිස්වන්නට විණ.
ලොකු - පුංචි කම් නොසැළකු කූඩැල්ලන් සැමගේම සිරුර විද ලේ හැලීමෙන් ඇති වූ කැළල් සමග පිරිස තාත්තා වටා රොක් විය.අනතුරුව ජීවිතය ලබා දෙන්නට පැමිණි මිනිසා ඉදිරියෙ මහත් විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ දෙදණ නැවින.පිරිස ට නායකත්වය දෙමින් තාත්තා පෙරමුණ ගත්තේය.මා හා සම වයසේ සිටි සත්ය අජිත් සමග මම මිනිස් පෙරහැරේ පසුපසටම වැටිණ.
මොහොතකින් අපේ නිදන කාමරය ඒ සියළු දෙනා වෙනුවෙන් වෙන් කර දුන් අප සාලයේ පැදුරක් එලා ගත්තේය.ඒ අම්මාත් තාත්තාත් මමත්ය.
තවත් ටික වේලාවකින් අපේ නිවස පසු කර ඉහළට (සුන්දරම්ලාගේ නිවස දෙසට ) යන හඩවල් කිහිපයක් ඇසිණ.තාත්තා දොර ඇරගෙන එළියට බැස්සේය.
පිරිස අපේ පතල්වල සිටි සහ සිටින පිරිසකි.
...........
අද වන විට විදුහල්පතිවරයෙක් බවට තොරතොරු ඇති තාත්තාම මැදිහත්ව ගුරු පත්වීම ලබා ගැනීමට උපකාරි කළ අයෙක් ගේ නම අඩ ගැසිණ.ඊ ළග මොහොතේ සියල්ලෝම අප ස්තෝප්පුවේය.පුංචි මිනිසෙක් වුව ද ශක්තිවන්තයෙක් වූ තාත්තාගේ පරික්ෂාවෙන් කඩු වැනි ආයුධ කිහිපයක්ද ඒ සරම් යට සැගවී තිබි එලියට ආවේය.
සුන්දරම්ල මරන්නද ......?
නෑ මහත්තයා අපේ ජාතිය ආගම......
පාසල් ගුරුවරයාගේ දේශනයට ඉඩක් නොතැබිණ.
සුන්දරම්ලා අපේ ගේ ඇතුලෙ ඉන්නවා.එච්චර දුර යන්න ඕනි නැහැ.හැබැයි මාව මරල තමයි මරන්න වෙන්නෙ.
කඩුව ඔවුන් වෙත දිගු විය.ඒ පළමු මරණය ලෙස තාත්තා ඉදිරිපත් වෙමින්ය.
මොකද උඹලගේ අම්මලා තාත්තල අඹු දරුවො උඹලව බේරල දෙන්න කියලා තව ටික දවසකින් මෙහාට එන කොට මට දරං ඉන්න බැහැ.හරක් ලිහලා දැම්මම වතු වලට පනිනවා.ආපහු ලිහල දාපු එව්වොම අල්ලං ඇවිත් වතු පාලු කළා කියල ගහනවා.
තාත්තා එදා කියූ දේ මට තේරුණේ බොහෝ කල් ගොස් ය.අපරාධ කරන්නේද මෙහෙයවන්නේද දඩුවම් දෙන්නේද යන සියල්ල එකම මෙහෙයුම් මැදිරියක සිට සිදු වන්නේය.අප කරන්නේ ඒ මෙහෙයුම් මැදිරියේ විධානයන්ගෙන් අපේ රුචිකත්වය තෝරා ගෙන එයට ශක්තිය දෙන්නට කැප වීමය.කළු ජූලිය නොව මේ සෑම යුද්ධයකම ම්ලෙච්ඡත්වය පිටුපස හේතුපාඨය ලෙස මෙයම ලියැවි ඇති බව නිසැකය.
කළු ජූලිය සිහිකරන මොහොතේ මම ඒ අසුන්දර දේ ම සිහිපත් නොකොට එම අරගලයේ මැරකම් සහ හොරකම් නිසා අසළ ගම් හැම එකකම අත් අඩංගුවට පත් වෙද්දී දුරෙක්කන්දේ එකෙකු හෝ අත් අඩංගුවට පත් නොවීම ගැනත්,සුන්දරම්ලාගේ ජීවිතයට තබා ඔවුන්ගේ නිවසේ සිටි කුකුළන්ගේ පිහාටුවකටවත් හානියක් නොවන්නට තාත්තා කළ උදාර මානුෂික මාැදිහත් වීම ඇසට කදුළක් නංවන්නේය.ඒ දුකට නොව එයට දායක වූ ආත්ම සතුට හේතුවෙන්ය.ඒත් බොහොම ංවේදි මොහොතක් ගාණේ මගේ ඇසට කදුළු උනන්නේ නම් තාත්තා සිහි විම නිසාය.ඒ අඩුව ජීවිතයේ කවදාකවත් පියවන්නට නොහැකිය.
හැමදාම ඉන්න තිබුණා....
තාත්තා ගැන මට හිතෙන්නේම එහෙමය.හැමදාම මනුස්සකම් ක්ෂය වන ලෝකයේ තාත්තාගේ ආදරණීය මතකය ඇති මගේ මිතුරන් සහ තාත්තාගේ හිතවතුන්ට ද තාත්තා ගැන විවිධ අවස්ථාවල එවැනි හැගිම් ඇති වනවාට සැක නැත.