Saturday, November 8, 2014

රටක් වටින දරුවො


මේ සටහන බ්ලොග් එක වෙනුවෙන් ලියූ ‍දෙයක් නොවන බව කිව යුතුයි.මෙය නොවැම්බර් -8 නිකුත්වන 'සිළුමිණ'පුවත්පතේ පළවන ලිපියක්.මේ දරුවන් තිදෙනා ගැන බ්ලොග්වාසීන්ගේද අවධානය යොමු කළ යුතු බව සිතුණ නිසා මේ සටහන ඒ ආකාරයෙන්ම බ්ලොග් එකට කැදවා ඒමට තීරණය කළා.කියවා බලන්න.කැමති අයට මේ දරුවන්ට කතා කර තමන්ට හැකි විදිහට උපකාරයක් කරන්නත් පුළුවන්.                                                                                             

»
»
»
»
»
»
»



ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ
නෙත්මි නිසංසා ද සිල්වා විජේසිංහ ලකුණු 193 - 2009 වසරේ දිවයිනේ දෙවන ස්ථානය
රිසිනු පේෂ්ර ද සිල්වා විජේසිංහ ලකුණු 189 - 2011 වසරේ දිවයිනේ සත්වන ස්ථානය
නිහිදු නේෂර ද සිල්වා විජේසිංහ ලකුණු 196 - 2014 වසරේ දිවයිනේ සිව්වන ස්ථානය

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව තරගය ලංකාවේ විශාලතම අධ්‍යාපනික තරගය වී ඇති වට පිටාවක එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් මෙසේ ප්‍රතිපල ලැබීම අසිරිමත් සිදුවීමකි.එය වඩාත් අපූරු සිදුවීම් පෙළකින් වූ ජයග්‍රහණ බවට පත් වෙන්නේ ඒ පවුලේ යථාර්තයට එබී බැලීමේදීය.

රත්මලානේ පිහිටි ලංකාවේ ප්‍රධානතම බිස්කට් නිෂ්පාදනායතනයක සේවය කළ මේ දරු තිදෙනාගේ පියා වන සුසන්ත ද සිල්වා විජේසිංහ රැකියාව තිබියදී සිය දරුවන්ට උපරිම සැප සම්පත් ලබා දෙන්නට සිහින මැව්වේය.ඒ නිසාම නිසංසා සහ රිසිනු ට ඉංග්‍රිසියෙන් අධ්‍යාපනය ලබා දීමට සිතූ සුසන්ත මේ දෙදෙනාව පළමු වරට ඇතුළත් කරන්නේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලටය.නමුත් වැඩ වර්ජනයක් හේතුවෙන් රැකියාව අහිමි වීමත් සමග සුසන්තගේ ඒ සිහින සියල්ල බිදී වැටෙන්නේය.විශේෂයෙන් නිසංසා ගේ හිත අහළකවත් නොතිබි ශිෂ්‍යත්ව කඩ ඉම ඇය ඉදිරියට වැටෙන විට ශිෂ්‍යත්වයට මුහුණ දීමට තිබුණේ වසරකටත් අඩු කාලයකි.

ලීඩ්ස් හී ඉංග්‍රිසි අධ්‍යාපනය ද සමග ජීවිතයෙ එතෙක් විදි සුඛ විහරණ අහිමිව යන නිසංසාගේ අලුත් විද්‍යාස්ථානය වූයේ ඒ වන විට වැසී යාමේ තර්ජනයකට මුහුණ දී සිටි කුළුපන තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලය විය.දෙමව්පියන්ගේ දිරියත් සමග පාසල රැක ගැනීම උදෙසා යහපත් ප්‍රතිපල ලබා දීමට තිබූ ගුරු උනන්දුවත් සමග නිසංසා ඒ වසරේ මහා විප්ලවයක් කළේ ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි තැනට පත් වෙමින්ය.එහි වැඩි බරක් සිය උර මතට ගත් අනෝමා ශිරානි,මවක් ලෙස නිසංසාගේ සෙවණැල්ල සේ රැදී උන්නාය.

‘ස්කෝලෙන් මහන්සි වෙලා ඉගැන්නුවා.ඒත් දරුවො තුන් දෙනාම පිටි පස්සෙ හිටිය ලොකුම හයිය අම්මා තමයි.’

දරුවන් තිදෙනා මවුපියන් සමඟින්
සුසන්තගේ දෙඇස කදුළෙන් තෙත් වන්නේ සිය දරුවන්ගේ ශක්තිය පිළිබදව උපන් ගෞරවයෙන් වගේම සිය බිරිද පිළිබදව ඇති වූ මහත් ගෞරවය ද හේතු කර ගෙනය.

‘මට විද්‍යා - ගණිත ගුරු පත්වීමක් ලැබෙන්න නියමිතව තිබුණා.නමත් ලිස්ට් එකේ තිබිලා දේශපාලන හේතු මත කැපිලා ගියා.’

අනෝමා ද 80 දශකයේ ඛේදණීය මතකය අවදි කළේ කදුළින් තෙතැති ඇස් සමගය.

‘මමත් බලපිටියෙ ඉදලා කොළඹ ආනන්ද බාලිකාවට ආවෙ ශිෂ්‍යත්වය සමත් වෙලා.මගේ දරුවොත් කවද හරි එහෙම කරයි කියලා මම හීන දැක්කා.ඒත් මහත්තයට ඕනෑ වුණේ ළමයින්ට ඉංග්‍රිසි අධ්‍යාපනය ලබා දෙන්න.කොහොම හරි අන්තිමට දෛවය විසින් කරපු සරදමකින් හරි මගේ හීනයට උපරිම ආශිර්වාදය ලැබුණා.තුන් දෙනාම ඉහළම ප්‍රතිපල පෙන්නලා ලංකාවෙ තියෙන හොදම කාන්තා සහ පිරිමි පාසල් වලට කරදරයකින් තොරව ඇතුල් වෙන්න සුදුසුකම් ලබා ගත්තා.’

එහෙත් එම සිහින වලට තවත් සිහින එකතු වෙමින් ඇත.ඒ දරුවන්ගේ සිහින ද සමගය.වෛද්‍යවරියක් වීම නිසංසාගේ සිහිනය ය.රිසිනු ට අවශ්‍යය මෘදුකාංග ඉංජිනේරුවෙක් වන්නටය.මෙවර ශිෂ්‍යත්ව කඩඉම පැන්න නිහිදු ගේ අධ්‍යාපනයේ අවසන් පිම්ම වෛද්‍යවරයෙක් වීමෙන් නිමා කරන්නට සිහින දකින්නේය.
‘ලොකු දරුවො දෙන්න දවසට පැය හතරක් බස් වල.එක්කෙනෙක්ට දවසට බස් ගාස්තුව රුපියල් සීයක් වෙනවා.’
සුසන්ත දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් විදින දුක් ගැහැට පවසන්නේ වර්ථමානයේ පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිය දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා අසීරු උත්සාහය ද පෙන්වා දෙමින්ය.

‘අම්මා නැගිටින්නෙ උදේ දෙකට විතර.’

එ වෙනුවෙන් දෙමව්පියන් දරන මහන්සිය පිටවෙන්නේ රිසිනුගේ වචන වලින්ය.

‘මම ගණිතය,විද්‍යාව සහ සෞඛ්‍ය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නෙ.මුල් කාලයෙ ලීඩ්ස් වලදී ඉංග්‍රිසි දැණුමේ මූලික දේවල් ඉගෙන ගත්තු එක මට ලොකු ශක්තියක් ඒකට.නමුත් මේ විෂයන් වලට හොද පොත පත සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් උපකාරක පංති වගෙ දේවල් හොයා ගැනීමත් අසීරුයි.’
නිසංසා පැහැදිලි කරන්නීය.

‘ඒවට ලොකු වියදමක් යනවා.දුව මහන්සි වෙලා ඉංග්‍රිසියට පෙරළා ගන්නවා.ඉංග්‍රිසියෙන් ඉගෙන ගන්න දේ වලටත් අපි එයාව පංති අරින්නෙ සිංහල මාධ්‍යයෙන් උගන්නන තැනකට.’

නිසංසාගේ අසීරුතාවය පැහැදිළි කරන්නී අනෝමා ය.

මේ වන විට දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් කුළුපන තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලයට ආසන්නව වන කුලී නිවෙසකට වී මේ දුෂ්කරතා විදින සුසන්තලාගේ පවුලට දැන් තව දුරටත් තක්ෂිලාවෙන් දරුවන්ට ලැබෙන ඥානාලෝකය වෙනුවෙන් එහි රැදෙන්නට අනවැසිය.ඒ තිදෙනාම එයින් ශිෂ්‍යත්වය සමත්ව අවසන් බැවින්ය.

‘අයියා හෙම ගොඩක් මහන්සිවෙලා එන්නෙ.ඒ නිසා මට රෝයල් යන්න බයයි.මට ගොඩක් මහන්සි වෙලා ඉගැන්නුව ස්කොලෙ චන්ද්‍රලාල් පෙරේරා ස්රුත් කියන්නෙ අයිය වගේ රෝයල් යන්න කියලා.මාත් ආසයි.ඒත්....’

පුංචි නිහිදුගේ ඇස් වල ප්‍රශ්නාර්ථයකි.

‘ස්කෝලෙ කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න තියෙනවනම් අයියටයි අක්කටයි මටයි තුන් දෙනාටම එකට ඉගෙන ගන්න පුළුවන්’

පවුලේ බඩ පිස්සා වන නිහිදු, පවුල සමගම රැදී ඉන්නට ඇති උවමනාවද පැහැදිළි කරමින් පවසන්නේය.

‘බාහිර කිසි දෙයක් කරන්න අමාරුයි.ආෆ්ටර් ස්කූල් ඉන්න බැහැනෙ.’

දැනටත් පාරට පැය හතරක් ගෙවෙන ජීවිතයේ දුෂ්කරතාවය සිහියට නගමින් පවසන්නේ රිසිනුය.

‘ඒත් කොහොම හරි ටෙනිස් ප්ලේ කරන්න තියෙනවනම් කියලා හිතෙනවා.ඒත් රැකට් එකක් වුණත් හරි ගණන්නෙ.’

රිසිනු තමන් දකින සිහිනය සැබෑ කර ගන්නට ඇවැසි බාධකය පෙන්වා දෙන්නේය.

‘ඔහොම කිව්වට මේ අය ඒවා ඉල්ලල කරදර කරන්නෙ නැහැ.පුදුම දරා ගැනීමේ ශක්තියක් තියෙන දරුවො.බිස්කට් එකක් කාලා දවසක් ඉදියි.බඩගිණියි කියලවත් අඩන කරදර කරන අය නෙමෙයි.’

සිය දරුවන් කෙරෙහි උපන් ගෞරවය සහ සෙනෙහස සුසන්තගෙ දෙනෙත් යළි යළිත් තෙත් කරන්නේය.

‘ගොඩක් පහසුකම් තියෙන අය ඉන්නවා.ඒත් ඒව නැහැ කියලා මම මොකටද පසුතැවෙන්නෙ.මම ඉගෙන ගත්තොත් හොදට ඒව ලැබෙයි.’

රාජකීය විද්‍යාලය සහ විශාඛා විද්‍යාලය වටා බැදෙන සමාජ පරිසරය තුළ සිය භෞතික අඩු පාඩු ගැටළුවක් කර නොගන්නා බව රසිනු මෙන්ම නිසංසා ද පෙන්වා දෙන්නේ සුසන්තගේ වචන යථාර්තයක් කරමින්ය..

‘අපේ හැකියාවට ගුරු මණ්ඩලයෙන් වගේම යාළුවන්ගෙනුත් හොද සැළකිල්ලක් ලැබෙනවා.’

්ඔවුන්ට ඇති'. ‘හැකි කම’ ගැන මහත් විශ්වාසයෙන් සහ ප්‍රමෝදයෙන් යුතුව ඔව්හූ පවසති.

‘අපේ උපන්ගම හොරණවත් කළුතරවත් නෙවෙන නිසා ද දන්නෙ නැහැ.කවුරුවත් දේශපාලනඥයො මේ දරුවන්ගෙ ජයග්‍රහණ ගැන උනන්දුවෙන් බැලුවෙ නැහැ.’

මේ හැකියාව රටම ආලෝක කළ හැකි අනාගතයක පෙරමග ලකුණුව තිබියදීත් කළුතර දිස්ත්‍රික්කයේ සිටින ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේත් දැවැන්ත දේශපාලන චරිත කිසිවක් මේ දරුවන්ගේ අනාගතය ගැන වගකීමට ඉදිරිපත් නොවීම පිලිබදව සුසන්තලා එසේ පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ජයග්‍රහණ වලදී දේශපාලනඥයන් කරළියට ඒම සාමාන්‍ය සිරිතක්ව තිබෙන බැවින් විය යුතුය.

‘ප්‍රශ්න දිහා මේ දරුවො බලන්නෙ වෙන විදිහකට.’

අනෝමා සිය දරුවන් පිළිබද ආඩම්බරය යළිත් වචන වලට පෙරලන්නේය.

‘මහත්තයාගේ රස්සාව නැති වුණාට පස්සෙ දරුවො බෙහෙත් ගන්න අරං ගිහිං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ පෝලිමේ පැය ගාණක් තියං ඉන්නවා.එතකොට දුව අහනවා අම්මෙ මමත් දොස්තර කෙනෙක් වුනොත් මෙහෙම අමාරු අයට ගොඩක් උදව් කරන්න පුළුවන් නේද කියලා.’

අනෝමාගේ වචනවල රැදී ඇති ආඩම්බරය සහ වේදනාව...

‘මේ ළමයින්ට කැපකරු මාපිය ක්‍රමයට හරි කවුරුහරි උදව් කරනවනම්; මගෙ දරුවො තුන්දෙනා රටට ආද‍රේ කරන දරුවො.එයාලා අනාගතයෙ රටට වැඩදායක දෙයක් කරයි.’

එය කා අතින් හෝ විය යුතු වගකීමක් කොට අනෝමා නොසිතන්නීය.

‘අපේ දරුවන්ගෙ වගකීම අපි දරන්න ඕනි.ඒක කාගෙවත් වැඩක් නෙමෙයි.ඒත් මේ දරුවො රටට වැඩක් කරන දක්ෂ දරුවො.ඒ ගැන හිතල එක්කෙනෙක්ට හරි කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් වෙනවනම් අපිට පහසු නිසයි එහෙම කිව්වෙ.’

අනෝමා ඉකිගැසීම ආසන්නයේ සිය වචන ගිල ගන්නේය.

‘මට ගොඩක් සංතෝශයි.මම නිසා තමයි මල්ලිලා විභාගයට ඔය තරම් හොදින් මුහුණ දෙන්න සූදානම් වුණේ.ලොකු මල්ලි ශිෂ්‍යත්වය කරන කාලෙ මම හිටියෙ හොස්ටල්.පොඩි එක්කෙනාටනම් මම පාඩම් හෙම කියා දීලා උදව් කළා.ඒ අය හරි හොදයි.රණ්ඩු වෙන්නෙ නැතිව මම කියන දේවල් අහගෙන ඉන්නවා.’

රට කතා කරන මාතෘකාවක් බවට සිය පවුල පත් කිරීමට පුරෝගාමීත්වය ගත් නිසංසා පවසන්නීය.වචනයකින් වචනයකට පිවිසීමට පවා බොහෝ වෙලාවක් ගන්නා නිසංසාගේ මුවින් අනවශ්‍යය වචනයක් හෝ පිට නොවන්නීය.

‘අමාරුකම් තියෙනවා.ඒ වුණාට අපි තියෙන විදිහට ඉගෙන ගන්නවා.භාහිර දේවල් කරන්න ගිහිං අම්මටයි තාත්තටයි කරදර කරන්න යන්නෙ නැහැ.එයාලගෙ හැම දෙයක්ම අපි වෙනුවෙන් කැප කරනවා.අපිට ඕනි ඒකට හරි යන්න හොදට ඉගෙන ගෙන අම්මටයි තාත්තටයි සළකන්න.’

රිසිනු තමන්ගේ අවසාන අධ්‍යාපන ඉලක්කය ජය ගැනීමෙන් පසුව කරන්නට සිතා සිටින දේ පැහැදිළි කරයි.ඒ තිදෙනාගේම සිහිනය බව නිහිදු සහ නිසංසා ද අවධාරණය කරන්නේය.

‘රටක් වටින දරුවො තුන් දෙනෙක්!’

පිටත් වන්නට වාහනයට ගොඩ වී මද වේලාවකට පසුව ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මමත් එකිනෙකාට කියා ගතිමු.ඒ වටිනාකම ආලෝකමත් කළ හැකි ශක්තියක් ඇත්තෙකුට, මේ වටිනා දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට සරණක් වන්නට හැකිය.කුළුපන තක්ෂිලා කණිෂ්ඨයට හූවක දුරින් ඇති මේ දරුවන්ගෙ කුලී කැදැල්ලේ යොමුව ‘පාලි සෙවණ'.කුළුපන, හොරණ ය.දුරකථනයෙන් සුසන්තව සම්බන්ධ කර ගන්නේනම් 0713 429252 දුරකථන අංකය හරහා තොරතොරු දැන ගැනීමට හැකිය.

Monday, November 3, 2014

ඊ ළග නායකයා කවුද?


මේ මොහොතේ රටේ ඊ ළග ජනාධිපතිවරණය ජය ගන්නේ කවුරුන්ද යන්න සාකච්ඡාවට බදුන් වී තිබෙන මොහොතයි.මහින්ද රාජපක්ෂ ද,රනිල් වික්‍රමසිංහ ද යන්න තීරණය කිරීම පිණිස දැනටත් ගමේ කඩ පොළේ සිට නගරය සුපර් මාර්කට් දක්වා සංවාද කරන මිනිසුන් දැකිය හැකිය.

රාජපක්ෂට ඇති ප්‍රධාන සුදුසුකම ලෙස බොහෝ අය දක්වන දේ අතර ඔහුගේ රැවුල ද සාධකයක් ලෙස කතා බහට ගැනෙයි.එය හොද සාධකයකි.ඔනෑම ජරාවක් පිස දැමීමට එය මුඩුවක් කොට හෝ භාවිතා කළ හැකිය.රනිල්ට සිදු වන්නේ ඒ නිසා ජරාවට බියෙන් සිටින්නටය.නොගා ගෙන සිටින්නටය.එසේම මහින්දගේ පුරුෂකම පැහැදිළි කරන්නට පුතුන්ද සිටින්නේය.ඒ නිසා දැනට ද සිදුවන ආකාරයට රජ පුතුන් ලෙස තාත්තාගෙ ඇවෑමෙන් ඉහළ සැප සම්පත් භුක්ති විදින්නට ද,රටේ සම්පත් බෙදා හදා ගෙන පරිහරණය කරන්නට ද එවැනි දරුවන් සිටීම ගැන ඔහුට පක්ෂපාති ජනතාව ඉන්නේ මහත් සතුටින්ය.හැමදාම කාගේ හෝ බැලයෙක් ලෙස ජීවත්වීමෙන් සංතෘප්තියට පත් වීමට හුරු අපේ වැඩවසම් මානසිකත්වය එය අපහසුවකින් තොරව විදිමින් නැතිකම සහ ඇති කම කරුමය ලෙස අරුත් ගන්වන්නට සමත්තුය.රනිල්ට එසේ බෙදා හදා ගන්නට කිසිවෙක් නැති නිසා එය ඒ වැඩවසම් ක්‍රමයට පට්ටම අවුලක් වන්නේය.

මේ මේ දෙදෙනා ගැන කතා බහය.ඒත් ඊළග යන්නෙන් අදහස් කළේ සැබවින්ම මේ දෙනොගෙන් පසුව මේ පක්ෂ දෙකට හෝ නායකයෙක් සිටීද යන්නය.පේන තෙක් මානයක නැත.ලොකුම අවුල තියෙන්නේ එතැනය.නායකයෙක් නිරුමාණය විය යුතුය.එවැන්නෝ නිර්මාණය කිරීම කළ නොහැකි අතර එවිට බිහි වන්නේ රටට හිතකර අයෙක් විය නොහැකිය.

මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව එවැන්නෙක් නිර්මාණය කරමින් සිටින්නේය.එතුමාගේ නෑ සනුහරේම දැන් දේශපාලනයේ සිටිති.ඒ අය කැබිනට් ඇමතිවරුන්ටත් වඩා බලවත්ය.එය අමුතුවෙන් හංගන්නට දෙයක් නැත.ඇමතියෙක් පමණක් නොව ජීඑල් වගේ ප්‍රාඥයෙක් සිටියද ජනාධිපති නාව උත්සවයක ප්‍රධාන තැන ගන්නේ නාමල් සිටී නම් ඔහුය.ඇමතිවරු විවිධ දේශපාලන ව්‍යාපෘති කර මහ හඩවල් දෙමින් ලකුණු දා ගන්නට කැස ගසා සිටියදී,එතැනට පාත් වෙන නාමල් පීත්ත පටිය කැපීමේ වගකීම දරද්දී,මහා කැබිනට් අමාත්‍යවරයාට සිදුවන්නේ අත්ල ලෙලි යනතුරු මහ හඩින් අත්පොළසන් දීමටය.මේක ඇත්ත ද නැද්ද යන්න තීරණය කිරීම අත්දැකීම් මතම සිදු කර ගැනීමට හැකිය.

රනිල්ගේ යූඇන්පී යේ එහෙම වැඩක් නැත.සජිත් වරෙක නියෝජ්‍ය නායක වන්නේ සහ තවත් වරෙක උප නායක වන්නේ ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොමැති බව පහදමින්ය.එය තුළ තිබෙන්නේ නිර්මාණය විය හැකි අවකාශයක්ය.එය බලය සහ වැඩ ක්‍රියාවෙන් සිදු විය යුතුය.එකක් තුළ එකෙක් හදන්නට හදමින් සිටින අතර එකක් තුළ එකෙක්ට හැදෙන්නට ඉඩ ඇත.මේ අවස්ථාවන් දෙක බුද්ධිමත්ව පරිශිලනය කිරීම වැදගත්ය.

අවසානයේ ඊළග නායකත්වය ගැන කතා කිරීමට ප්‍රථම ඊළග නායකයා කවුරුන් ද යන්න තීරණය කිරීමට ඇති අපට ලැබෙන බලය ද.කලපනාකාරීව භාවිතයට ගත යුතු වන්නේය.බෙදා ගෙන කෑමද බදා ගෙන කෑමද යන්න එහි දී කලපනාවට ගැනීම  නායකයාගේ කවුරුන්ද යන්න තීරණය කිරීම  පිළිබදව සැළකිල්ල යොමු කිරීමේදී අතිශයින් වැදගත්ය.


Thursday, October 30, 2014

කොස්ලන්දෙන් පායන සද?



හීනියට හඩන ඇස්
කූඩයට ඔබා ගෙන
 කහට ගෑ ‍තොල් අතර
සිරික්කිය පුරෝගෙන
පාට වියැකුණු රෙද්ද
හිසේ සිට එලාගෙන
කාටවත් නොපෙනෙනා
අදුරේම පිටව යන

ලැයිම් කාමර වලට
ඉර එළිය වඩින කොට
අඩු කෝප්පෙක තරම
දාඩියත් පුරෝ ගෙන
පීප්පෙක තරම් උස
කූඩයට පිරී ගිය
දල්ලෙ කහටක් මිසක්
හිතේ කහටක් නැතිය

පිළිවෙලට ඇමිනෙන්න
අකුරු දැණුමක් නැතිව
හඩන පොඩි වුන් දිහා
නොදත් කම දරා ගෙන
වත්තෙ රස්සාවෙ ගුණ
හැමදාම කියා දෙන
ලෙච්චමී පස් ගොඩක
හැංගුණේ කිමද නුඹ

තොණ්ඩමන් කියන තුරු
අයිතියක් නොදැන සිටි
වත්තෙ මහතුන් තෙමේ
රහතුන්ව සිතා සිටි
රටේ කාගෙත් බතට
ලුණු ඇටක් තරම හෝ
මුසු කරන්නට ඔබේ
අතේ සවි හේතු විය

පවුකාරයන් මඩිය
තර කරන්නට හෙළුව
දාඩියේ සාපයද
කන්දකට යට වුණේ
අව් කණ්නාඩියෙන්
නුඹ නොදුටු පාපයද
ඇස් අගට කදුළු වී
අපෙ ඇසේ මතු වුණේ

පිංතාලියක් වී
හැම කහට උගුරටම
නුඹේ රස මුසු වුණේ
පව්කාරියක් යැයි
ඉතිං කොහොමද නුඹව
කන්දකට වැරදුණේ

තව වාරයක් යැයි
බලය ඇති අය නිබද
සටනකට අර ඇදේ
උන්ගෙ අත පසු වීම්
වළලද්දී මිනිසුන්ව
නින්දෙන්ම නිදි ඇදේ

නුඹේ හුස්මත් එක්ක
අලුත් හුස්මක් ගන්න
මිනිසුන්ගෙ පෙරහැරේ
වතු අයිති මහත්තුරු
නුඹේ ලේ බිව් නඩේ
වැලලේවී සිව් අතේ

අලුත් අකුරක් අරං
දෙගුරුන් ගෙ මල බතේ
හැගුම් පොකුරක් තබා
පිට වෙන්න දරුවනේ
නුඹේ දාඩිය එක්ක
කෙළි කවට වතු කරේ
හෙටින් අවසන් කරන
සටන එයි පෙර මගේ









Sunday, October 19, 2014

බලු කම


මනුස්සයට හිතවත්ම සත්වයා බල්ලා කියලා අපි අහලා තියෙන්නෙ පොඩිම කාලෙ.මේ දවස්වල බල්ලො ගැන විතරක් නෙමෙයි පූසො ගැනත් ලොකු අර්බූද ගාණකට හිත වද විදිනවා.පූසො කතාවටනම් මුල පහු ගිය කාලෙ අපේ ගෙදරට ආව ගිය අයට මතකනම් හුරතල් වෙවී හිටිය පූස් පැටව් ටික.දැන් හතර දෙනාම සූරයො වගෙ ගෙදර අනිත් පැත්ත පෙරලනවා.කවුරු හරි ඇහැව්වම දෙන්න හා කිව්වත් ඒක නිකං අර වැල මිට පස්සෙන් අල්ලල තේ බොන්න කතා කරනවා වගේ වැඩක්.දෙන්න හිතක් නැහැ.

මුන්ගෙ දැගලිල්ල කොච්චර ද කියනවනම් මේ වෙන කොට එකෙක් ඇහැකට කෙළව ගෙන.ඒක කවදාවත් පේන්නෙ නැති වෙයිද දන්නෙ නැහැ.දැන් බෙහෙත් කරන් යනවා පශු වෛද්‍ය උපදෙස් මත.තව එකෙක් අණ්ඩක් කඩා ගෙන.සමහර විට උට ඔපරේෂන් එකක් කරන්න වෙයිද දන්නෙ නැහැ.ඒ තරම් අමාරුයි.මේ සුමානෙ බලල ඒක ඉක්මණට කරල දාන්න වෙනවා.

දැන් ආයෙත් බලු කතාවට.බල්ලො හරිම හිතවත්.ඒ නිසා උන් හරිම මිත්‍රශීලීයි.තමන්ගෙ හිතවත්කම වෙනුවෙන් ඕනි දෙයක් කරනවා.අපේ ගෙදර ආව ගිය අය දන්නවා පාරෙ හිටිය බලු රෑන.උන් ඒ පාරෙ සිකුරටි එක වගේ.දන්නෙ නැති කෙනෙක් පාරට ඇතුල් වුනොත්,ඒ පාරෙ ගෙදරක කෙනෙක් බලල ඕකේ එක දෙනකං බල්ලො ටික පස්සෙන් බුරා ගෙන වැටෙනවා.ඒ වගෙම තමයි කුඩු සෙට් එකට පත්තර,බෝතල් එකතු කරන්න පාරට ඇතුල් වෙනවනම් ඒ දේ කර ගන්න වෙන්නෙ අරුන් විසින් නොනවත්වා පවත්වන බලු ඝෝෂාව මැද්දෙ.

මේකෙ ලීඩර් හිටියෙ බැල්ලියෙක්.උා තමයි මේ ආරක්ෂක වැඩ පිළිවෙලේ ප්‍රධානියා.එන්න එන්න වයසත් එක්ක මෙයා දිරලා ගියා.විශේෂයෙන්ම හැව මාරු වෙන්න වගෙ තියෙන ලොම් ටික හැලිල ඇගේ හමේ පාට ප්‍රසිද්ධියෙ ප්‍රදර්ශනය වෙන්න ගත්තා.කන බොන එක සීමා වුණා.වේදනාව වැඩි වුණා.උා ටික ටික මේ පෙණුම නිසා මිනිස් ඇසුරෙන් ඈත් වුණා.නමුත් මම ගේ ළගට ආවම කන්න දෙයක් තිබුනොත් ගේට්ටුව අස්සෙන් දැම්මා.මොකද ළගට ගියොත් මූ උගේ තත්ත්වය ගැන තේරුම් ගන්න බුද්ධියක් තියෙන සතෙක් නොවන නිසා උගේ අපිරිසිදු කම සහ ඒකෙන් මට සෞඛ්‍යමය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටළු ගැන උෟ නොදන්න නිසා හැම වෙලේම බැලුවෙ ඇගේ එල්ලෙන්න.

බුද්ධිය ගැන කිව්වම මතක් වුණේ බල්ලට මම හිතන්නෙ බුද්ධිය නැහැ.ඉව තියෙනවා.පුරුද්ද තියෙනවා.ඒ වුනාට හිතල තීරණ ගන්න කල්පනා ශක්තියක්.තාර්කික බුද්ධියක් උට ඇති වෙන්නෙ නැහැ.සමහර බල්ලො කන්න පුරුදු වුනාම හොද නරක පෙණුම අදාළ නැහැ.උෟ කවුරු වුණත් හපා කනවා.උට කන්න දෙන කෙනා කවුද කියන එක විතරයි වැදගත්.ඒ හොරෙක්,බොරුකාරයෙක්,මංකොල්ලකාරයෙක් වුණත් බල්ලට වැදගත් නැහැ.ඒ වෙනුවෙන් ඕනෑම හොද කෙනෙක්ව නිරපරාදෙ හපා දාන්න බල්ල ඉදිරිපත් වෙනවා.

මේ වගෙ මේ බැල්ලිට මෑත කාලෙ සියල්ල අමතක වෙනවා.මම හිතන්නෙ වේදනාවට.ඒ වගේම උෟව සෙක්සුවල් අතින් දිරා යාමත් බලපාන්න ඇති.හම ගිය උෟව රැලේ කාලෙට පූට්ටු වෙලා ඉන්නවා දැක්කෙ නැහැ වගේම වාර ගණනකින් පැටව් ලැබුණෙත් නැහැ.ඒ නිසා වෙන්න ඇති එයාගෙන් පැවත එන පරපුරේ කාන්තා පාර්ශවය එක්ක එයා නිතර පැටළුණා.දුවල මිණිපිරියො එක්ක.

මේ තත්ත්වය දරුණු වුණේ වේදනාව දරා ගන්න බැරිව ඒ පාරෙ කිහිප දෙනෙක්වම කෑවට පසුවයි.ඒ සමගම බුද්ධිමත් මිනිස්සු බැල්ලි ගැන අතීතය සම්පූර්නයෙන් වළලා දැම්මා.ඌ කැලේට පැනල වගේ හිටියෙ.දකින්නම නැහැ.ඉද හිට හෝ කොහේ හරි හැංගෙන තැනකින් කෑමක් හොයා ගන්න ආපු වෙලාවටත් මූ මිනිස්සු හපාකාලා යන්න පටන් ගත්තා.

දවසක් උදේ මාත් එක්ක බැල්ලිගෙ සපා කෑමට ලක් වුනු කෙනෙක් කතා කර කර හිටියා.ඔයා වුණත් පරිස්සම් වෙන්න.දැක්කත් ළගට යන්න එපා.කොච්චර කන්න බොන්න දුන්නත් ෂුවර් නැහැ කියලා ඒ මනුස්සය කිය කියා ඉද්දි මම කිව්වෙ මට නම් එහෙම කරන එකක් නැහැ කියලා.මට බල්ලො පශ්චාත්තාප වෙන වැඩ කරන්නෙ නැහැ කියලමයි හිතුණෙ.

බන්ධනාගාරෙ නාට්‍යයෙ කොල්ලෙක් දවසක් මට අමුතු ටෝක් එකක් දුන්නා.නාට්‍ය ගැන ලොකු ලොකු කතා කිය කිය හිටියට වේදිකාවෙ හැරෙන හැටි ඉද ගන්න හැටිවත් නොදැන සිටිය මනුස්සය ඒ වැඩෙන් පස්සෙ විනය හේතු මත නාට්‍යයෙන් ඉවත් කෙරුණා.ඒත් මනුස්සය මේ ළගදි බලපත්‍ර මණ්ඩලයෙන් නිදහස ලබලා.ඒකට ගිය ගමන්ම නාට්‍ය දැකලා තිබුණු නිලධාරි ඒ ගැනලු කතා කලේ.මනුස්සය නිදහස් වෙන්න මග නාට්‍යය කියලා දැන් මා එක්ක කතා කරන්න අවස්ථාවක් අරං දෙන්න කියලා අඩනවලු.ඉතිං මම කිව්වා නොදන්න දේ ඉගෙන ගන්න ඕනි.උගන්නපු කෙනා නෙමෙයි ඉගෙන ගත්තු දේ අමතක නොකිරීමයි වැදගත් හරියට දෙයක් කරන්න අපිට බලං ඉදල සතුටු වෙන්න පුළුවන් කියලා.සමහර මාර වැඩකාරයො කියලා පෙනී සිටින සහ ඇතැමුන් විශ්වාස කරන අයත් අපිට වැඩ වලදි හම්බ වෙලා තියෙනවා.ඒ අයත් වේදිකාවෙ හැරෙන්න ඉද ගන්න දැනං හිටිය අය නෙමෙයි.පස්සෙ කාලෙක ඒ අයගෙන් අපි ඉගෙන ගත්තා වගේ කතා කරලා පුළුවන්නම් මූණට කෙළත් ගහල යන්නෙ.හිර ගෙදර නෙමෙයි පිටත් ඒ විදිහෙ පුනරුත්ථාපන අවශ්‍යය අය ඉන්නවා. ඒ වගේ වෙලාවක පුනරුත්ථාපනය වෙමින් ඉන්න කෙනෙක් එහෙම කියපු එක සුළු දෙයක් කියලා මම මග ඇරියා.

මම බැල්ලි එහෙම කරන එකක් නෑ කියන එක හිතුවට ඒකිත් වේදනාවට ඒ ජාතියෙම වැඩක් කළා.අර මනුස්සය සමග කතාව අස්සෙ ගේ ළග නවත්තලා තිබුණ කාර් එකක් අස්සෙන් බඩ ගා ගෙන ආපු බැල්ලි මට කන්න පැන්නා.මම හතර වරක් උගෙ ඉලක්කයෙන් බේරුණා.ගේට්ටුව හදිස්සියට ඇර ගන්නත් බැහැ.ගහන්න හිත දෙන්නෙත් නැහැ.කතා කර හිටපු මනුස්සය අලි ගල් ගෙඩියක් අරං මා පස්සෙන් එහාට මෙහාට පනින බැල්ලිට කුරුමාණම් අල්ලනවා.ඒක බැල්ලිට නොවැදි මට වැදුණත් බඩු බනිස්.

බේරෙන්න බැරි තැන මම පැත්කට පැනලා පයින් පහරක් ගැහැව්වා.ඒකි මීටර් 3 ක් විතර වීසි වෙලා ගිහිං වැටුණා.නැගිට ගන්න බැරිව කෑ ගැහැව්වා.කෙදිරි ගෑවා.ඊට පස්සෙ අමාරුවෙන් නැගිටලා එතන තියෙන හදන ගේ අස්සට රිග ගත්තා.මම හවස බන්ධනාගාරෙ ඉදල ගෙදර එනකොට ඌ මැරිලා.නගර සභාවෙන් ඇවිත් අරං ගිහිං.ඒත් ඌ මගේ හිතේ ඉන්නවා.ඒකෙන් එලව දාන්න බැහැ.කොහේ හරි දවස් කිහිපයක ගමණක් ගිහිං එනවනම් ගෙදරට හැරෙන පාර ගාව ඉදල ඇගේ එල්ලෙමින් එන අැගේ දැවටුන බැල්ලිගෙ මතකය උගේ ගුණය මම කොහොමද බල්ලෙක් වගේ අමතක කරල දාන්නෙ.

'මම මනුස්සකමට දරා ගෙන හිටිය දේ උගේ බලුකමට තේරුණෙ නැති නිසා තමයි මග හරින්න මග හරින්න පැන්නෙ' කියල මට ජයන්ත අයියා කියන අසල්වාසියා කිව්වෙ. මනුස්සකමට දරාගෙන  ඉන්න ඉන්න නිරපරාදෙ බුරාගෙන පනිනවනම් බල්ලො මරන්න ඕනි මම මටම කියා ගත්තට මනුස්සෙක් නිසා ම මගේ හිතට බැල්ලිව මතක් වෙනවා.

පව් නොදන්න කම, බලු කම!
මනුස්සයො වුණහම ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න ඕනි.


Tuesday, October 7, 2014

බට්ටි වෙන්දේසියේ සිට.....

මම නිතරම හිතන්නේ සංවාදය තරමටම සංවාසය ද වැදගත් බවය.ඒ සංවාසය බොහොම ආදරණීය එකක් කර ගනු විනා මරා ගෙන කෑමක් කර ගන්න මට උවමනා නැත.හිත ගිය තැන මාලිගාව කී ආකාරයට හිත නොගිය මාළිගාවකට ඇතුල් වන්නට සිතෙන්නේද නැත.‍එසේම බොහෝ අයට බඩු වන ආකාරයට ගැහැණු ගැන පහළට දමා කතා කරන්නට මගේ දිව නැමෙන්නේද නැත.සාමාන්‍යයෙන් හිත ගිය මාළිගාවල් වල සිට ඇතැම් විට එළියට පනින ඇතැමෙක්  යක්ෂාවේශ වූ යකින්නියන් මෙන් දරුණු ලෙස පහුරු ගාද්දී ද, මා නිහඩව සිටින්නේ ගැහැණිය පිළිබද සියලු අර්ථනිරූපනයන් රදා පවත්නා පිරිමි සමාජ භාවිතාව තුළ යන්න දන්නා නිසාය.එවැනි වට පිටාවක බොහෝ විට තවත් පිරිමියෙක්ට වරද පටවා සිය හෘද සාක්ෂිය නිදහස් කර ගැනීමේ පිරිමි උවමනාවක් ද මට නැත.ලිංගික අවයවය හිතේ එල්ලා ගෙන සමාජය දෙස නොබලන බැවින් මා සමාජය දෙස බලන්නේ ලිංගිකත්වය මත අවස්ථා සහ අයිතීන් තීරණය වෙන දෙයක් ලෙස ද නොවේය.

බට්ටි ගැන දැන් බොහෝ දෙනෙක් ලියා අවසන්ය.බට්ටි වෙනුවෙන් බොහෝ දේ කරන්නට සහ පෙනී සිටීමට ඉදිරිපත් වූවෝද දැන් බොහෝ සිටිති.එය යහපත්ය.ගණිකාවක් කියා ගැහැණියක් ප්‍රතික්ෂේප කරන්නට ඇයගේ සමාජ අයිතිවාදිකම් උදුරා දමන්නට කාටවත් ඉඩ නැත.ආගම්වල එල්ලී සිටින්නන්නටද ඊට ඉඩක් නොමැත.බුදු රජාණන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේද එය රසේ නොවිය යුතු බව ආදර්ශයෙන්ම පෙන්වා දී ඇත.

නමුත් පවතින නීතිමය රාමුවත් සදාචාරයත් ඇතුළත සිදු නොවිය යුතු ආකාරයේ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ පොලිස්කාරයෙක් වෙනුවෙන් ස්වීය ආත්මය පාවා දුන්නෝ ද මෙහිදී බොහෝ සේ රොද බැද සිටිති.සමාජජාලා වෙබ් අඩවි තුළ බට්ටි පිරිමියෙක් ගේ පහසක් හෝ නොලද ගණිකාවක් බවට පත් කළ ඇතැම් පිරිමි ඔළු ඇය පිරිමි දෙස බලාගෙන ප්‍රසිද්ධීයේ ස්වයං වින්දනය කරමින් පිරිමි සිත් දූෂණය කිරීමේ හේතුවෙන් ගණිකාවක් වූ සේ හැසිරිණ.ඒ කිසිම පිරිමියෙක්ට ඇය පිරිමින් සංතර්පනය කිරීමේ කාර්යයේ නොනිල ලෙස හැසිරීම නිසා ගණිකාවක් වූ බව අමතක විණි.

ලංකාවේ ලිංගික කාර්යේදී බොහෝ විට පිරිමි ආධිපත්‍යය පැතිරී තිබෙන බව සත්‍යයකි.ගැහැණු ශරීර පිරිමි අවශ්‍යයතාවයන් දරා සිටින්නට හුරු කළ යන්ත්‍ර සේ විය යුතු බව බොහෝ පිරිමි විශ්වාසය වන්නේය.එය සමාජ පැවැත්ම වන නිසාම බොහෝ ගැහැණුන්ද සයනයේ පසුගාමීව හැසිරෙන ලැජ්ජාව,සහ ඇතැම් කරුණු සදහා පැිලෙන මනස් සහිත වන්නන් වීම ද සාමාන්‍යය.මේ කාර්ය නිසා ඇතිවන පිරිමි අවශ්‍යයතාවයේ රික්තකය පුරවන කොටස බවට පත් වන්නේ බට්ටිලාය.

දාහක් විතර එක්ක ඉදල ඇති තවම එකෙක් මට ඕනි විදිහට ඉදලා නැහැ බං.

එවැනි ක්‍රියාවකින් පසුව පුංචි ෂොට් එකක් තොල ගාන අතරේ ඇති වූ හදිසි මිතුරු කමක සංවාදය ඇතුළෙ ඇසුණු එවැනි බසකින් කියැවෙන්නේ ලංකාවේ ගණිකාවගේ ක්‍රියා කළාපයය.ඇය මෙය කැමැත්තෙන් වෘත්තියක් ලෙස තෝරා නොගන්නීය.අසරණ වීම කරන්නට වෙනත් කිසි දෙයක් නොමැති වීම ගණිකාවක් නිර්මාණය වන්නට සාධක බව බොහෝ විට පැහැදිළි කර ගැනීමට හැකිය.ඒ නිසාම ඇය වෘත්තීය තුළ දන්නා එකම කාරණය සිය ස්ත්‍රී නිමිත්ත පිරිමියාගේ ශුක්‍රානු පහ කිරීම සදහා භාවිතා කරන්නට ඉඩ දීමය.ඉද හිට  ඕනෑවට එපාවට කරන සහ කාර්යෙන් ඉක්මණින් ගැලවීමට කරන සිප ගැනීමක් ඇරෙන්නට ලැබෙන වෙනත් උත්තේජනයක් නැත.එය ආදරණීය සොදුරු මතක සටහනක් ලෙස ජීවිතයට එකතු වන යළි යළිත් පෙළඹවීම් සහිත ක්‍රියාවක් බවට පත් වන්නේ ඉතාමත් කළාතුරකින්ය.

පිරිමි ද එබදුය.සල්ලි වලට ගත් බඩුව රිසි ලෙස හසුරුවන්නට යන්නේ යාන්ත්‍රික මනසින් වන නිසා,ඇට මස් සහිත හදවතක සහ සිරුරක එකතුවෙන් සෑදෙන මිහිරක් ඒ තාවකාලික ආස්වාදයට එකතු කර ගන්නට ඔවුන්ට හැකි වන්නේද නැත.ඒ නිසාම ගණිකාවක් සමග වන ඇසුර බොහෝ විට හැගීම් විරහිත සුළු කාලයක් ලෙස පිරිමි සිත් තුළ කළකිරීම ඇති කරන්නක් වුව ද,යළි යළිත් සිය සිතේ අවශ්‍යයතාවය නිසාම තැනින් තැන ස්පර්ශ කරන සිත බිදී නොයන්නේය.ඒ නිසාම ස්ත්‍රී ලෝලයා ද,දිනෙන් දින සමාජයට ඒ පිරිමි අවශ්‍යයතාවයන් වෙනුවෙන් සේවය සබයන්නට එකතු වන ගණිකාවෝද හිග නොවෙති.

බට්ටි ද එවැනි මස් වැදැල්ලක්ය.බොහෝ විට පිරිමින් හැසිරෙන්නේ සිය අවයවය යොමාලන්නට මස් වැදැල්ලක් සොයන අය ලෙස ය.එවැනි පිරිමින් වෙනුවෙන් සේවය සම්පාදනය කළ බට්ටි ගේ සේවය ගැන සංතර්පනයට පත් නොවූ පිරිස් ද බට්ටිට ගල් ගසන්නට ඉදිරිපත් වූවන් අතරේ සිටින බව නිසැකය.ඒ අතරම බට්ටි ගොඩ වුණ ත්‍රී රෝද රථ වලින් බට්ටිගේ රුපියල් ශත සිය ආදායම කර ගත් පිරිසට බට්ටි හෝ බට්ටිගේ සාමාන්‍ය මිනිස් අයිතවාසිකම් වැදගත් වූයේ නැත.ඔවුන්ගේ හිත කිව්වේ පාරතොටේ නිමක් නැතිව රථවාහන නීති කැඩීම වෙනුවෙන් දඩ ගෙවන්නට සිදු වීමේ අවධානමින් මිදීමේ උවමනාවය.අනිත් කාරණය පාරටම බැස ගනිකාවක්ට පහර දීම පිළිබද විරෝධය පළ කළ විට සමාජයේ  සාධු චරිතයක් ලෙස කැපී පෙනෙන්නට ලැබෙන ඉඩ කඩය.

'බඩුකාරයෙක්' නෙමෙයි යනුවෙන් සටහන් කර ගැනීමෙන් සමාජ අවකාශය තුළ ක්‍රියාත්මක වීමට ලැබෙන ඉඩ තුළ වෙනත් ගැහැණු අවධානයක් දිනා ගැනීමට ඇති හැකියාව ද මෙහිදි ඇතැමෙක්ගේ අවධානයට ලක් වූ වාට සැක නැත.ඒ නිසා බොහෝ දෙනෙක් බට්ටි විරෝධීන් වීම හරහා පෙන්වීමට උත්සාහ කළේ සිය හෘද සාක්ෂියට සැගවී තමන් පිළිබද යථාර්තය සගවාගෙන ලෝකයට වෙස් මුහුණකින් පෙනී සිටීමේ උවමනාව බව පැහැදිළිය.ඒ වෙස් මුහුණ ගැලවීමට ඇතැමෙක්ට උවමනා වන්නේ ද බට්ටිව පමණි.වෛශ්‍යා වෘත්තීය නීතිමය රාමුවක් ඇතළේ නීතිමය සහනයක් ලැබෙනාකාරයට සහ පිළිගත් සෞඛ්‍යමය නීති පද්ධතියක් ඇතුළෙ ක්‍රියාත්මක කිරිමට අවශ්‍යය සමාජ පරිසරය සැකසීමට ඊනියා සමාජ සදාචාරවාදීන්ගේ ගුබ්බෑයම් වලට පහර ගැසීමට භාවිතා කරන්නේ නැත.

ඉහත සමාජ වටපිටාව ගණිකා වෘත්තීය වෙනුවෙන් නිර්මාණය වීම අත්‍යවශ්‍යය වන්නේ ගණිකාව නිර්මාණය වීමට අවශ්‍යය වට පිටාව මේ සමාජය තුළ ඕනෑවටත් වඩා පැතිර තිබෙන නිසාය. එය පවතින ව්‍යහුය ශක්තිමත් කිරීමට දර දිය අදින බොහෝ සමාජ ක්‍රියාකාරීන් මුල තිබියදී අතු කපන්න යෝජනා කරන්නේ සිය බඩ කටට මුල් තැන දී බව පැහැදිළිය.ඒ නිසා බට්ටි යනු හුදෙකලා අසාධාරණයකට ලක් වූ චරිතයක් ලෙස ගණන් නොගෙන පවතින සමාජ ව්‍යහුය විසින් නිර්මාණය කරන සහ එම ව්‍යහුයේ සදාචාර ගල් පහරට ලක් කරන අවමානයට සහ අසාධාරණයට පත් කරන වෘත්තියක් ලෙස සැළකිය යුතුය.

පොලිසිවල නිලධාරීන්ගේ නඩු ගණන බැලැන්ස් කරන්නට මාස කිහිපයකට වරක් දගගෙයි ලැග එන්නටත්,දිනපතා කිසියම් මුදලක් සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට වැය කරන්නටත්,ඇතැම් විට ඒ වෙනුවෙන් ලිංගික අල්ලස් සැපයීමටත් සිදුවන සහ රැකවරණයට සොයා ගන්නා පිංපියාට කුඩු සම්පාදනයේ සිට කායික තෘප්තිය සැපයීමේත් පීතෘත්තවය නැති දරුවන් ජාතකයේත් ඛේදණීය ඉරණමට ගොදුරුවන බට්ටිගේ වෘත්තිය පිළිබද මේ සියල්ල සාකච්ඡා කිරීමට වේදිකාවක් තනා දීමට බට්ටි කෑ වේවැල් පහර වලින් ලැබුණු පන්නරය,සිය දේශපාලන ව්‍යාපාරවල උවමනාවන් වෙනුවෙන් දියකර දැමීම වෙනුවට ගණිකා වෘත්තීය පිළිබද සමාජ කියැවීමක් උදෙසා භාවිතා කරන්නට අවශ්‍යය බව සැබෑය.එසේ නොවන තැන් හී වීඩියෝ පෝන් වලට සැග වී මේ කාකි කෝට් කාරයින් බොහෝ දෙනෙක් ගණිකාවන් සිය නීතිමය අවයවයෙන් දූෂනය කරන්නට,මර්ධනය කරන්නට ඉදිරිපත් වන බවනම් සැක නැත.

දැනුවත්ව හෝ නොදැනුවත් ව හෝ අප විසින් පෝෂණය කරන සහ පවත්වා ගෙන යන ක්‍රමවේදයේ පලයක් ලෙස ලැබෙන බට්ටි නිර්මාණය කිරීමේ අයිතියෙන් ගැලවෙන්නට කාටවත් නොහැකිය.මම යන්න නොසිතා වඩා පුළුල් ආකාරයකින් මේ කාරණය පිළිබදව හිතා බලන විට අපි කියන සමූහය ඇතුළේ තමන් සිටින බව කෙනෙකුට පැහැදිළි කර ගැනීමට අපහසු නොවන බව මගේ විශ්වාසය.ඒ නිසා බට්ටිට ගල් ගසන්නට ඔබ ගල් ඇහිදින්නේ මඩ ගොහොරුවකින් බව සිතිය යුතුය.ඒ නිසා ඔබ ගැසූ ගල්වල තිබුණු මඩ ලකුණු සහ දුර්ගණ්ධය දැන් ඔබට ඔ‍බේ හදවතෙන්ද දැණෙනු නිසැකය.

ඒ නිසා මම යළි කියමි.මම සංවාදයට තරමට ම සංවාසයට ද කැමැතිය.ඔබ ඉදිරියේ ඇති ගොහොරුවේ ඊට විරුද්ධව ගසන්නට ගල් තිබෙන බව ද මම දනිමි.

Thursday, September 11, 2014

ජීවිතය අන් තැනෙකට

මේවා එක අතකින් අදෝනාය.සමහර විට මට පමණක් වැදගත් කතාය.ඒත් පිටාර දාන කොට වැවක් වුණත් නවත්තන්න බැහැ.මේකත් එ වගේ.පුතාගෙ පාසල් ගමණ නවත්තන්න වුණා.ඇත්තම කිව්වොත් නැවත්තුවා.

ඒකට කාරණා දෙකක් බලපෑවා.පළමු එක විශේෂ අධ්‍යාපන අවශ්‍යයතා ඇති දරුවෙක් විදිහට ඔහුගේ ජීවිතයට සම්ප්‍රදායික පංති කාමරය ඇතුළෙන් ලැබෙන ශක්තිය මදිකම.එහෙම සාමාන්‍යකරණය කිරීමේ විධිමත්බවක් නැති වීම.සමායෝජනය ලෙස ඔහුට ලැබෙන සහයෝගය වැදගත් නමුත් ඒ සදහා වෙනත් අවස්ථා ඇති සහ කුඩා කළ සිටම හොදින් මානව සබදතා පවත්වා ගෙන යාමට ඔහුට ඇති හැකියාව සහ උනන්දුව නිසා ඒ සදහාම පාසල් යැවීම අනවශ්‍යය බව හැගිණ.

දෙවන කාරණය ආර්ථිකය විය.ඔහු විශේෂ අධ්‍යාපනය ලැබූ පාසල බොරැල්ල සීවලිය ය.තවත් ආකාරයකට කියන්නේ නම් වනාතෙ සීවලිය විය.එයට පාසල් වෑන් රථ වලින් දරුවන් නොඑයි.වැඩි දෙනෙක් ඒ අවට පැල්පත්වාසී දරුවන්ය.කීර්ති කේ රත්නායක ජීවත් වූයේ මේ පාසල අසළින් වැටී ඇති මගෙහිය.දැන් ඔහු එහි නැත.අදටක් ප්‍රේම ජයන්ත කපුගේ ගේ නිවස ඒ ආසන්නයේ වෙයි.මේ වර්ථමාන නාට්‍ය කලාව සමග රැදී සිටින හොද යැයි සම්මත නිර්මාණ සදහා දායකත්වය දක්වන ගැඹුරක් ඇතැයි සිතන දෙදෙනෙක්ය.එසේම ගාමිණි වියන්ගොඩයන් වනාතේය.ජ්‍යෙෂ්ඨ සහ දක්ෂ පරිපාලකයෙක් ලෙස ප්‍රකට ජාත්‍යන්තර සබදතා ඇති හේමසිරි ප්‍රනාන්දු හැදී වැඩෙන්නේද මේ ගමේය.හේමසිරි ප්‍රනාන්දුගේ පියා මේ පාසලේ ආරම්භක විදුහල්පති මෙන්ම හේමසිරි මෙහි ආදි ශිෂයයෙක් ද වන්නේය.

එහෙත් ලෝකය දන්නේ මේ අය නොවේය.විහේෂයෙන් මාධ්‍ය විසින් වනාත අනාත කළ පසු ඇති වී තිබෙන පීඩනය නිසා එහි සිටින්නේ කචල්කාරයෝ පමණක් යන චිත්‍රය එහි සිටින මිනිසුන්ගේ නැගිටීමට එරෙහිව නැගෙන බව මා අවබෝධ කර ගත් සත්‍යය වන්නේය.වනාතේ වූ ගමන් පොලිසියට ඊළග ආමන්ත්‍රණය හැදෙන්නේ කුණුහරුප සමගය.මේවා වෛරය බවට පත් වී එහි බහුලව දැකිය හැකි සමාජ විරෝධින්ගේ රැලි තුළම ඊ ළග පරපුර ගිලී යන්නේ ගොඩ ඒමක් නැති බවට සමාජයෙන් කරන බපපෑම මතම බව මට හැගෙන්නේය.

දෙවන කාරණයට පිවිස වටේ යන්නට සිදු වීම කණගාටුවට කරුණකි.එහෙත් එසේ නොයා බැරිය.මේ සමාජමය චිත්‍රය නිසා පාසල් වෑන් රථ හෝ දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීවිල් මේ පාසලට නොයන්නේය.එකක් ඒ පිළිබදව ඇති කර තිබෙන හුඹස් බියය.දෙක එම වාහනයේ යන දරුවන්ගේ දෙමව්පියෝ සිය දරුවන් වනාතේ සීවලිය ළගින් දරුවෙක් ගන්නා වාහනයක සිය දරුවා යැවීමට මනාප නැත.ඊට මගේ දරුවා විශේෂ දරුවෙක් වීම සහ ඔහු පෙළෙන්නේ මන්ද මානසික තත්ත්වයක යන්නද එක් වූ විට එම දෙමව්පියන්ගේ ඔළු ගෙඩි ඇතුලෙ හැදෙන්නේ වනාතෙ අපරාධකාරයන්ගෙ තිප්පලේ තියෙන පාසලෙන් අපේ දරුවන් එක්ක එන්න පිස්සු කොල්ලෙක් නග්ග ගන්නව නම් අපි කොහොමද ඒ වාහනේ අපේ ළමයි අරින්නෙ යන ප්‍රශ්නයය.

මේ නිසා දුව මසකට රුපියල් 2100 ට වාහනයේ ගමන් කරද්දී,පුතාට දවසකට රුපියල් 300 ක් වියදම් කරන්නටත් ඔහු රැගෙන එන්නට මට එහි යාමටත් සිදු වන්නේය.ඒ ප්‍රදේශය බස් පාරකට අත වනන දුරින් නැති නිසා පුතාව සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවයක රැගෙන ඒමත් දුෂ්කර වැඩකි.හැමදාම අතේ 300 ක් තියාගෙන සිටීම අනිවාර්ය කාර්යයක් වුවත් බන්ධනාගාර නාට්‍යය ඇසුරේ වෙහෙසෙද්දී ඒ තත්ත්වය වෙනස් විය.පොරොන්දු පරිදි සුළු මුදල ගෙවා ගන්නට හෝ මුදල් සොයා ගැනීමට එහි සුබසාධන අංශයට නොතිබි හැකියාව මත පුතාගේ පාසල් ගමණ මාස එක හමාරක පමණ කාලයකට සම්පූර්ණයෙන් නැවතී ගියේ  වෘත්තිමය වශයෙන් සුබසාධන ක්‍රියාවලියක් සමග බැදුණු වෘත්තිකයන් පිරිසක් මගේ සුබසාධනය හා බැදි කාරණා සදහා අල්ප මාත්‍රයක වටිනාකමක් හෝ නොදීම නිසාය.ලංකාවේ රාජ්‍ය සේවයේ නි්මාණශීලී චින්තකයන් දැඩිව හිගය යන මතයේ පිහිටා මමම තනියෙන් තෙත් කර ගත් ඇසින් එය ඉවසුවෙමි.

අනතුරුව මේ වාරය ඇරඹෙන විට මා තීරණයකට එළැමුනෙමි.ඒ ඉහත කී කාරණා දෙක පදනම් කර ගනිමින්ය. පළමු ඉලක්කය ඔහුට වෘත්තීය පුහුණුවක් ලබා දීමය.වසරක කාලයක් ඔහු ඒ සදහා නිවසින් බැහැරව සිටිය යුතුය.එය දරා ගැනීමට අපහසුම කරුණකි.වයස 16 ක් වුවත් මා පිටබැලිව නිදි
කොට එය සයනය කොට මා වැළද ගෙන නිදන්නට පුරුදු වී සිටින පුතා ට ඇති එකම ප්‍රශ්නය ද එයය.

මං කොහොමද තාත්ගෙ පිටේ ඉන්නෙ...?

එහෙත් ඔහු ජීවත්වීම සදහා යමක් කළ යුතුය.ඒ සදහා ඒ වේදනාව හැඩූ කදුළින් ඉවසන්නට මට ද සිදු වී ඇත.මා පවුල කියන ඒකකය තුළ සියළු විදීම් සහ විදවීම් සමග රන්දා තැබුවේ මපුතුය.මා ඉහත සටහන තුළ කියූ පරිදිම ඔහු වෙනස් එකෙක් ලෙස අගය කරන සිස්ටම් එකක් වෙනුවට ඔහු සාමාන්‍ය ජනයා ප්‍රතික්සේප කරන්නට ඇති ඉඩ වැඩිය.එය අවම කර ගත හැක්කේ ඔහු සතු වෘත්තීයමය දැණුමකින් යන්න මා විශ්වාස කරයි.ඒ අනුව මේ වන විට ඉලෙක්ට්‍රොනික් සහ ආහාර තාක්ෂනය ඉගෙන ගැනීමට ඉල්ලුම් කර ඇති අතර ඉදිරි දිනෙක ඔහු වඩාත් ගැලපෙන දෙයකට ඇතුළත් කරගෙන සීදුවේ රදවාගනු ඇත.ජීවිතය රදවා ගන්නට මතු දිනෙක ඔහුට එය අත්වැලක් වනු ඇතයි මම විශ්වාස කරමි.

පුතුගේ උපත වෙනුවෙන් මා ලියූ සටහනක් මෙසේ සටහන් කර තබමි.එය ගීතයක් කර ගන්නට ඇරයුම් කිහිපයක් ලැබුණද මට ඒමොහොතේ එවැනි උවමනාවක් නොතිබිණ.නමුත් අද එ් සදහා අකමැත්තක් නැත.නමුත් එයට සැළකිය යුතු ආර්ථික වටිනාකමක් දී පුතුගේ ගිණුමේම එය තැන්පත් කළ යුතුය.

හීනවැට මායිමේ
හීතලට තුරුළු වී
දුරුතු හද පිපුණා
ඈත යන මාරුතේ
ඈතටම තල්ලු කර
මං හදට එබුණා

පාට මල් කුඩ පොකුරු
පාමුලේ සුවද දී
බඹර විය ගෙවුණා
සාගරේ තරමටම
ආදරේ රැලි දිගේ
කිරි සුවද ගැලුවා

පෑල දොර අද්දරින්
සනුහරේ නෝක්කඩු
ගොළුවෙලා මැකුණා
දෑත පා හුරතලෙන්
රෝස පෙති අත ගගා
හෙමි හෙමින් ඉම්බා

මෙය එකල දිණමිණ පුවත්පතේ මෙත්ලාල් සංස්කරණය කරන ලද කවි පිටුවෙහි පළ විය. 

Saturday, August 30, 2014

වාරියපොලෙන් කොළඹට

පහු ගිය කාලයෙ හරියට වැඩ තිබුණා.නාට්‍යය මාව හිර කරලා තිබ්බා.ඒ බරෙන් සම්පූර්නයෙන් නිදහස් නැහැ.මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස එකතු කරලා මගේ වේදිකා නාට්‍ය්‍ය හීනයක් නොවී වේදිකාව මත පණ ලැබුවා.දැන් තව බරක්.මේ ඉපදෙච්චි එකා නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට වැඩ පිළිවෙලක් කතා කරන අතරෙ මට අමතක කරන්න බැරි උදව් කරපු බ්ලොග් මිතුරන්ට ශීර්ෂ ප්‍රනාමය දක්වමින් අතපසු වූ දෙයක් ලියන්න හිතුවා.

පසුගිය දවස් වල කාගෙත් බයිට් එක වුණේ සෙල්වා සහ ඉමල්කා.ඉමල්කා සමහරුන්ට වීරයෙක් වුණා.ඒකට සෙල්වා දෙමළෙක් වීමත් බලපෑවා.තව සමහරුන්ට සෙල්වා ආරක්ෂා කරන්න අකුරු ආවෙ ඉමල්කා ගැහැණියෙක් වීම නිසා.

මේ ලිංග බේදය සහ ජාති බේදය විසින් සෙල්වා සහ ඉමල්කා අතර ඇති වූ සිද්ධිය බයිට් එකට ගන්න පුළුවන් වෙන අතරෙ 48 න් පස්සෙ අපි ගැහැණු පිරිමි ජාති කුල කියන සංකල්ප වලින් මිදිලා රටක් හැටියට නොහිතපු එකේ සහ නොහිතන එකේ ඛේදවාචකය.

ඔය යෝනියයි පුරුෂයගෙ ශිෂ්නයයි පැත්තකට දැම්මම මේ දෙන්නම මිනිස්සු.මිනිස්සුන්ගෙ හැකියාවල් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මේ ලිංගේන්ද්‍ර දෙකේ ඔතල ඒවෑ හැඩේට මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් සිදු විය යුතු හැටි තීරණය කරන්න යන එක නිසා ඇති වන කලබැගෑනිය මේ දෙන්නගෙ සිදු වීම් එක්ක එළියට පැන්නා.මේ නිරුවත තමන්ගෙ නිරුවතේ කැත පෙන්වන කැටපතක් කියලා නොදැන හුග දෙනෙක් තමන්ගෙ හැදුණුම්පත ප්‍රසිද්ධියෙ එලියට දැම්මා.

රටටත් වෙන පොදු ක්‍රියාවකටවත් කිසිසේත්ම සම්බන්ධ නැති සෙල්වා සහ ඉමල්කා අතර සිදු වූ පෞද්ගලික ආරෝව ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් කර ගත්තු අය අපේ සංස්කාතියෙ අපූරු කලා අංගයක් හැටියට දීර්ඝ කාලයක් තිස්සෙ පවතින කලාංගයක් ජීවත් කරවන්න හදන මේ කෙල්ලො ටික පේන්නෙ නැහැ.මම කියන්නෙ ඉමල්කට ලැබුණු ප්‍රසිද්ධයට වඩා මේ කෙල්ලො හතර දෙනා මේ සමාජය පිලිගත යුතුයි.

පර්සිගෙ සහ සරත් ගෙ වාද බයිලා කලාවෙ හෙට දවස පමණක් නොව ලාංකේය වාද බයිලා කලාවෙ හෙට දවසටත් බොහොම වැදගත් මේ කෙල්ලො හතර දෙනා ඉමල්කට වඩා බොහොම වටිනවා.හැබැයි හුග දෙනෙක්ට ඉමල්කව තමන්ගෙ නිරුවත හෝ ඇදිවත කර ගන්න පුළුවන්.ඒ කියන්නෙ නිරුවත පේන විදිහට කතා කරන්න වගේම නිරුවත වහ ගෙන සමාජය මුලා කරන ප්‍රලාප ටිකක් ඇද බාන්නත් ඉමල්කා හොද මාතෘකාවක්.

ඒත් මේ කෙල්ලො ගැන එහෙම කරන්න බැහැ.කතා කරන්න වෙන්නෙ වාද බයිලා ගැනමයි.හොද හෝ නරක ලෙස කලාවක ඉදිරියට බලපාන කරුණු වල සාධනීය නිශේධනීය කාරණා කතා බහ කරනවා ඇරෙන්න සිය පැවත්මේ න්‍යාය පත්‍රයකට මේ කෙල්ලන්ව දා ගන්න බැහැ.ඒ නිසාම උන් ගැන කතා වෙන්නෙම නැහැ.

බලන්න කතා කරන්නම ඕනි ද කියලා මම කියනවට මේ ලින්කුවෙ
https://www.youtube.com/watch?v=ANC62YL9vJk තියෙන වාද බයිලා ටික අහලා.ඒ වගේම බලමු මේ කලාව රැක ගෙන උන්ට ඉදිරියට යන්න මොනවද කරන්න පුළුවන් කියලා.