Saturday, February 27, 2016

අයිතිය සහ විනය

මේකෙ මේ කෙල්ලො දෙන්න ලසන්තියි ශ්‍රියාලතයි.පාරට බයිසිකලෙත් එක්ක දියවෙච්චි කෙල්ලො.අදත් තරුණ කෙල්ලන්ට මුන් දෙන්න එක්ක බයිසිකල් පැදිලිනම් පහසු නැහැ,
ඒත් මෙයාලා කණ්ඩායමක් විදිහට දිනපු මෙඩල් එකක් තනියෙන් අයිති කර ගන්න හදන සහෝදර ක්‍රීඩිකාවක් නිසා මුං දෙන්න ඉන්නෙ බොහොම අසරණ වෙලා.

ලසන්තිගෙ ගමේ මිනිස්සු ඒ කෙල්ල වෙනුවෙන් කටවුට් එකක් ගහල එකටම ආය බොරුවක් කියල ගොමත් ගහල.අපේම සහෝදර මාධ්‍යෙව්දියො පුවත්පත්වලින් මේ ප්‍රවාත්තියට තටු දෙමින් කරපු විගඩමෙන් රටට රන් පදක්කම් පවා දිනා දීපු ශ්‍රියාලතාලගෙ අභිමානයට හැකියාවට වි ඇති අගෞරවයට කවුද වග කියන්නෙ.
අඩුම තරමෙන් මේ කතාව වැරදි විදිහට පළ කළ මාධ්‍ය ආයතනයක්වත් මේක නිවැරදි කරන්නෙ නැහැ.මාධ්‍යයට ඇති බලය කෙනෙක් ගැන සමාජ අවධානය යොමු කරන්න යොදා ගත්තට කමක් නැහැ.ඒත් ඒකෙන් තව කෙනෙක්ට හානියක් කරන්න යොදා ගැනීම වැරදියි.

එහෙම අදහසකින් නොලිව්වනම් ඒක දැන්වත් නිවැරදි කරන්න කාලය ඇවිත්,මේ ක්‍රිඩිකාවන් ගැනත් ලියන්න ඕනි.මුං දරුමල්ලො පැත්තක දාලා අවුරුදු ගාණක් තාර පොළව උණුවෙන තරමට මහපාරට දහඩිය හලපු ඒවයෙන් රටට කීර්තියක් ගෙනාපු කෙල්ලො,

අලුත් කෙනෙක් එනවනම්..ඇය දිගු ගමණක් යනවනම් මේ කෙල්ලො වපුරපු බිමේ අස්වැන්න අතරින්,ඒකයි ඇත්ත.ඒක වහං කරල ගුණමකු විදිහට පලයං කඩාගෙන කියල කවුරුහරි කියනවනම් හෝ මාධ්‍යයක් එයට උදව් කරනවනම් ඒක වැරදියි.

මම ශ්‍රියා රන් පදක්කම ගත්තු වෙලේ ලිව්ව ආටිකල් මතක් වුණා.අනුරාධපුරයට ගිහිං උන් දවසේ වේල සරිකර ගන්න කඩේට ගොඩ වෙලා ප්ලේන්ටියක් ගහල කරපු ඒ ආටිකල් එක 2006 ට අයිති එකක්.
එතකොට ශ්‍රියා සාග් රන් පදක්කම්ලාභිනියක්.

ඒ රන් පදක්කමට ලැබුණු දෙයක් තිබුණෙ නැහැ ඇයට.ඒ වෙන කොටත් වෑල්ඩින් කරල පැදපු රන් පදක්කම් ගෙනාපු බයිසිකලය තේ කඩේ අයිනෙ හේත්තු කරල තිබුණා.ඇය බයික් එක පෙන්නමින් කතා කරන කොට ඇස්වලින් වැටුණු කදුළු බර දෙයක් වුණානම් ඒ පාපැදිය ආයෙත් වෑල්ඩින් කරන්න වෙන්න තරමට පුපුරලා කෑලි වෙනවා.

එහෙම රටට දුක් විදල කීර්තිය ගෙනත් දීපු කෙල්ලන්ගෙ නම්වලට ගොම ගස්සන මාධ්‍යවාර්තාකරනයක් වෙනවනම් මටනම් මාධ්‍යවේදියෙක් විදිහට ලැජ්ජයි.

මේ වගෙම ක්‍රීඩාව ගැන වගකිමට නොහැකි අයගෙ වාර්තාවලින් ක්‍රීඩකයන්ගෙ ජීවිතය විනාශවෙලා තියෙනවා.හොදම උදාහරණය.වැලිවේරියෙ බෝම්බ සිදුවීම.ලංකාවට බිහිවෙමින් තිබුණු සුපිරිම මැරතන් ධාවකයෙක් වෙච්චි විග්නේෂ්වරන් ඒ බෝම්බය ගෙන ඒම ගැන සැකයි කියලා ගිය පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තිය නිසා ඔහුට මැරතන් නෙමෙයි යුධ හමුදාවෙ රස්සාවත් දාලා යන තැන වැඩ සිද්ධ වුණා.ඒක කවදාවත් යළි ප්‍රවෘත්තියකින් නිවරදි කළෙත් නැහැ.

මාධ්‍යවේදින්ගෙ නම් අගමැති කිව්වම කෑ ගහන කවුරුත් මේ වගේ මාධ්‍ය භාවිතාවන් ගැන කතා කරන්නෙ නැහැ.ඒක සුජාත අයිතියක්ද?ඕනිම දෙයක් තමන්ට ඕනි පරිදි ලියා පළ කිරීම.....
ප්‍රාදේශිය කතුවරයා අඩුම තරමේ ක්‍රීඩා අංශයෙන් මේ ගැන ඇහැව්වද?ක්‍රීඩා පිටුවක පළ වුණානනම් අඩුම තරමෙ දකුණු ආසියාතික නිල වෙබ් අඩවියෙන් ප්‍රතිපල පරික්ෂා තළාද,තමන්ගෙ ආයතනය නියෝජනය කරමින් දකුණු ආසියාතික තරඟාවලිය ආවරනය කළ මාධ්‍ය සඟයාගෙන් අසා බැලුවාද?රටම මේ තරඟාවලියට සියලු දේ රජය දුන් බව කියන අවස්ථාවක එක ක්‍රීඩිකාවක් ගෙයක් උකස් කළේ ඇයි?ඇය දිනූ රිදී පදක්කම තනි ඉසව්වකට නොවන බව සොයා නොබැලුවේ ඇයි?

මේ ක්‍රීඩිකාවන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන්.මාධ්‍යකරුවාත් මේ රටට අයිති එකෙක්.එසේනම් රට වෙනුවෙන් දහදිය වඟුරන මේ කෙල්ලන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න මේ රටේ පුරවැසියෙක් ලෙස මාධ්‍යකරුවාටද අයිතියක් නැහැ.ඒ්
ලැජ්ජයි!ලැජ්ජයි!ලැජ්ජයි!

Tuesday, February 23, 2016

සතුටුයි දුකයි

අවුරුදු 28 ට පස්සෙ අනුන්ගෙ නොවන උළුවහුවකින් ඇතුල් වෙන්න ලැබෙනවා.ඒකත් මගේ ආර්ථික කළමණාකරනයේ හැකියාව නිසා නෙමෙයි බිරින්දෑගෙ වැඩක්.මාර්තු 11 දා ඒ දේ සිද්ධ වෙද්දි මගේ කණ ගාවා හයි වෙන නලාව ටික ටික සද්දෙ වැඩි වෙනවා.

කරපු හෝ කරන නරක වැඩවලට එන සද්දයක් නෙමෙයි ඒක.මට හිතෙන හැටියට මම කළ හොද නිසා ලැබෙන ප්‍රතිචාර.

අවුුරුදු 28 පුරාම මම කුලියට ඉන්නව කියන එක අදාළ වුණේ නැහැ.දන්න කියන හැමෝටම එහි දොර හැරුණා.තියෙන විදිහට බත ඉඳුනා ඒ හැමෝම වෙනුවෙන්.කෑවා බිව්වා එක ගොඩේ වැටිලා නිදා ගත්තා.පුටු උඩ පැදුරු උඩ ඇඳවල් උඩ ඉස්සෙල්ල තැන අල්ලගත්ත එකාට වාසිය.

කලා කේෂ්ත්‍රයේ වගේම සාහිත්‍ය කේෂ්ත්‍රයේ වගේම ක්‍රීඩා කේෂ්ත්‍රයේ හැමෝටමත් ඒක පොදු වුණා.මම එහෙම හිටපු අයගෙ නම් කිසිවක් මේකේ නොලියන්නෙ කාලයත් එක්ක සමහර අය ඉන්න ස්ථාවරයන් එක්ක ඒ අයට මදිකමක් පොඩි කමක් වෙයි කියල හිතලයි.

මට මම කුලියට ඉන්න එක අවුලක් නොවුණට අනුන් කුලියට ඉන්න එක මට අවුලක් වුණා.දැන් මේ නලා සද්දෙ එන්නෙ ඒකෙ ප්‍රතිපල හැටියට.විශේෂයෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රයෙ හුඟ දෙනෙක්ගෙ ගෙවල් ප්‍රශ්න සහ ඉඩම් ප්‍රශ්න නිරාකරනය කර දෙන්න මගේ මැදිහත්වීම සිදු වුණා.

මම හිතන්නෙ ඒ ගැන හොඳටම දන්න කෙනා රන්ජන් පරණවිතාන.වරක් මට ගෙයක් කුලියට ගන්න කී මනි හොයා ගන්න තියෙද්දි ඒක දෙවන තැනට දාලා වත්මන් ජනාධිපති,එවකට මහවැලි ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දුරකථනයට වද දෙමින් ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධ සහෝදරියන් දෙදෙනෙක් වෙනුවෙන් මහවැලි ඉඩම් ලබා දෙන්න වෙහෙසුණා.වැඩේ සිදු වෙද්දි මගේ පිස්සුව දිහා බලං හිටපු රන්ජන් අයියා...බැංකු කාඩ් එක දික් කළා රහස් අංකයත් එක්ක.ඒ සල්ලි දුන්නට පස්සෙ තවමත් නොදුන් සහ දෙන්න වෙයිද කියලා කියන්න බැරි ගාණකුත් ඉතුරු වෙලා තියෙනවා.(රන්ජන් අයිය මේකට කමෙන්ට් කළොත් ඒ ක්‍රීඩිකාවන්ගෙ නම් කියන්න එපා)

මේ වගේ ගෙවල් ඉඩම් ගණනාවක්.ඒ වගෙම ක්‍රීඩා මගේ කුලී ගෙදර නවාතැන්....මේ ඔක්කොම අල්ලං හැඩවෙන නලාවෙ වැයෙන ගීතයේ පදමාලාව මම පහතින් ලියන්නම්..

කී දෙනෙක්ට ගෙවල් ඉඩම් අරං දීල ඇද්ද?
දැන් මම මහන්සියෙන් කරන දේට අඩු ගාණෙ ටයිල් ටික අරං දෙන්න බැරිද?
ඔය උදව් කළ කාට හරි කියනවකො.
අඩු ගාණෙ පස්සෙ සල්ලි දෙන්න හරි න්‍යායට ඉල්ලනවකො..

ඔය සංක්ෂිප්තය ඇතුලෙ තමයි මුළු ගීත සියල්ලේම පදමාලා හැදිල තියෙන්නෙ.

හැම වෙලේම දූවිලි එක්ක හැප්පෙන්න තියෙන ආසාවට දූවිලි අවුස්සන කොල්ල එක්කයි දූවිල්ල නිසා ආසාත්මකතාවයන්ට නිතර ගොදුරු වෙන දුවත් එක්කයි ටයිල් නැති පොළවකට අඩිය තියන එක අවුලක්.හරියට උඩ තට්ටුව ඉවර නැති නිසා පර්චස් 4 ට ආසන්න අලුත් ගෙදරට යන විට මට දමා යන්න විය හැකි පොත් ගොන්න ගැනයි මට දුක තියෙන්නෙ.ඒව කොච්චර ප්‍රයෝජනවත්ද සහ ඒවාට මම කොච්චර ලව්ද කියන එක ගෙදර හිටපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.

තව දුකක් තියෙනවා ළමයින්ට දුකක් වීම ගැන දුකක් නැතුව නෙමෙයි.ඒත් ඒ දුක කවද හරි උඩ තට්ටුව දා ගන්නකම් කිසිවෙක්ට මේ ගෙදරට එන්න කියලා හදිසියකට නවාතැන් දෙන්න බැරි දුක. හැබැයි ඉතිං අසතුටක් නැහැ එක අතකින්.බිරිඳගේ දේවල් මගේ නොවුණත් මගේ ළමයින්ගේ අනාගතයට දැනෙන සුරක්ෂිතභාවය වගේම උන් මගේ වීමෙන් මටත් පොඩියට හරි අයිතියක් දැනෙන නිසා සතුටුයි.

11 වෙනිදා යන්නෙ එක අතකට අවදානම් ගමණක්.පොඩි එව්වන්ගෙ සෞඛ්‍යයට හිතකර නොවන ගමණක්.ඒත් ඒක අපේ.ඒ ආඩම්බරය බෙදා ගන්න තව එකෙක්ට උඩ කෑල්ල හදා ගන්නකම්,ටයිල් ටික වැටෙනකම් මම ඉන්න ගෙදරක නිතර හැමෝටම විවෘත වෙන දොර වැහිල තියෙයි.ඒ ගැන දුකයි.සමාවෙන්න.

මේකත් එක්ක තියෙන්නෙ සුමිය ඇදපු ප්ලෑන.ඒකම නෙමෙයි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා හැදෙන්නෙ.මේකම හදා ගන්න තිබුණනම් පට්ට.ඒත් පර්චස් 4 ට ත් අඩු ඉඩක මොන පට්ට ද?හැදෙන හැටි ලැබෙන හැටි හොඳයි.කරපු දේවලට ලෝන් දෙන බැංකුවක් තිබුණනම් උදව් කළ අයගෙන් ලියුම් ටිකක් එකතු කරගෙන ගිහිං ලෝන් එකක් අරං මේක එක පාරට ඉවර කරනවා.....ඒත් බැංකුවලින් මාසික ආදායම ඔප්පු කරන්න ලියවිලිමයි ඉල්ලන්නෙ.

මම මිත්‍ර බැංකු කළමණාකරුවෙක්ට කිව්වා ඔය කියන දේ වගේම මාසිකව සිද්ධ වෙන තවත් දේවල් අයිතිත් බිරිඳට කියලා.වෙන මක් කොරන්නද?

කොහොමහරි 11 ඉදන් කුලී නොවන ගෙයක..ඒක මැදෑ.




Saturday, January 16, 2016

අවුල පොලිස් කොමිසමේද.....?

රට පුරා පොලිසියේ හැසිරීම නරක අතට හැරී ඇත.එය පිළිගත යුතුය.මිනිසුන් රැක ගන්නා පොලිසියක් මිස මිනිසුන් මරාදාන පොලිසියක් කිසිවෙක් පැතුවේ නැත.පතන්නේද නැත.

පොලිසියට ඕනෑම දෙයක් කර අත පිස දා ගැනීමට හැකි පරිදි තිබුණු ව්‍යහුය වෙනස් කිරීම සඳහා සමාජ සංශෝධන අපේක්ෂා කළ සියල්ල ‘ස්වාධින පොලිස් කොමිසමක්‘පැතුවේය.දැන් එය පැමිණ ඇත.එවැනි වටපිටාවක පොලිසියේ හැසිරීම සඳහා බලපානු ඇත්තේ කුමන සාධකද?

කුමක් වුව දේශපාලන පදවලට නැටීමට තිබුණු ඉඩ යම් දුරකට හෝ අඩු වී තිබෙන බව පැහැදිළිය.එය 100% ක් නොවුණ ද යහපත් වර්ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන්නකි.ඇතැම් තැන්වල පුරුද්ද අත හැරීමට නොහැකි කම නිසා මෙන්ම තවමත් දේශපාලන ඉජුක් ගෑමට  වැනෙන්න බලා සිටින පොලිස් වලිග ඇති බව පිළිගත යුතු සත්‍යයකි.

ඇතැමෙක් දේශපාලනඥ පීඩනයෙන් ගැලවීමේ ආතල් එක විඳින්නේ දේශපාලනය හරහා තමන්ට එල්ල වූ පීඩාව ඔස්සේ දියත් කළ ජඩ වැඩ ස්වීය ආධිපත්‍යය යටතේ විදහාලමින්ය.ඔවුන්පොලිස් කොමිසම ගැන  හිතන්නේ කාගෙවත් අතකොළු නොවී තමන්ට රිසි පරිදි පිණුම් ගසන්නට තනා දුන් සර්කස් එකක් ලෙසය.එවැනි සිතුවිලි ඇතිවන්නේ සහ ක්‍රියාත්මක කරන්නේද තමන් තුළ ඇති ත්‍රාඩ සිතුවිලි මඟින්ය.

නමුත් පොලිස් කොමිසම යනු පොලිස් නිලධාරීන්ට සිය නොපනත්කම් ක්‍රියාත්මක කිරීමට සහ ඒවායෙන් ආරක්ෂා කිරීමට තැනූ ආරක්ෂක කුටියක් නොවන්නේය.එය දියුණු සමාජ අවශ්‍යයතාවයකි.සිවිල් සමාජයේ ආරක්ෂාවට සහ අයිතිවාසිකම්වලට අවශ්‍යය පසුබිම සහ පදනම රැක ගැනීමට ස්ථාපිත වූ ආයතනයකි.

අද වන විට පොලිසියේ මේ ක්‍රියාකාරීත්වයන් මතුවීම පොලිස් කොමිසම පිහිටුවීමෙන් පලක් නැති වීම බව උදාහරණයකට ගන්නා ඇතැම් දේශපාලනඥයන් කරන ප්‍රකාශ පැහැදිළි කරන්නේ නැවත පොලිසිය දේශපාලන අවශ්‍යයතාවයන් සඳහා නතු කර ගැනීමට ඇති උවමනාවය.එය ජඩ දේශපාලන අවශ්‍යයතාවයන් වෙනුවෙන් පොලිසිය යොදා ගැනීමට ඇති අවශ්‍යයතාවය වෙනුවෙන් හඬ නැඟීමකි.ඒ නිසා පොලිස් කොමිසමට එරෙහිව ජනතා මතයක් ඇති කිරීමට දරණ උත්සාහය හැදින්විය හැක්කේ ජනතාව කැමත්තෙන් ආගාධයට තල්ලු කිරීමට පෙළඹවීමක් ලෙසය.

මේ කිසිවක් පොලිස් කොමිසම 100% නිවැරදි බව කියන්නට හෝ පොලිසියට එරෙහිව නැඟෙන ජනතා විරෝධයන් අසාධාරණ බව කියන්නට දරණ උත්සාහයක් නොවන බව කිව යුතුය.නමුත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවශ්‍යයතාවයක් වන පොලිස් කොමිසමට එරෙහිව ජනතා මතයක් ගොඩ නැඟීමට ඇතැම් දේශපාලනඥයන් දරණ මතය මිත්‍යාවක් බව පැහැදිළි කිරිමට දරණ උත්සාහයකි.එයට නොරැවටී ජනතාව අපේක්ෂා කළ යුත්තේ පොලිස් කොමිසමෙන් වඩා සාධාරණ අවශ්‍යතාවයක් ඉටු කරවා ගැනීමය.ඒ වෙනුවෙන් පෙළ ගැසීමය.ඒ නිසා විරෝධ පොලිසිය දෙසට හරවන ජනතාව සාධාරණය වෙනුවෙන් පොලිස් කොමිසමේ පැවත්මට ආශිර්වාද කළ යුතුය.

අප පැහැදිළිව මේ වන විටත් අත්විදිමින් සිටින්නේ පැවති  දේශපාලන ක්‍රියාකාරීත්වයට අදාළ සිදුවීම්ය.එය ඉතිහාසයේ පැවති ක්‍රමවේදය නිසා එක්වර උගුල්ලා ගලවා දැමිය නොහැකි තත්ත්වයකි.සෙමින් සොලවමින් මුල් බුරුල් කොට ඇද වැටෙන තෙක් බලා සිටීමේ ඉවසිල්ල අප දැරිය යුතුය.

අවශ්‍යය වෙනස අපේක්ෂාවේන් ඡන්දය දුන් ප්‍රමාණය ලක්ෂ හැට දෙකක් වුව ඒ වෙනුවෙන් ජනතා පෙළගැස්ම සකස්කිරීම වෙනුවෙන් අටවා ගත් සංවිධාන ප්‍රමාණය සුළුය.ඒ ඒ සංවිධාන වටා දහස් ගණන් ලක්ෂ ගණන් පෙළ ගැසුනද,එහිදී පත්වන රජය  මේ සංවිධාන ලෙස හදුනාගත්තේ එහි ඉහළින් සිටි පුද්ගලයන්ය.ඔවුන් බොහෝ පිරිසක් පැවති ගොහොරුවේම මඩවලට ප්‍රිය සූඛර චරිත මිස එහි පිපුණු නෙළුම් නොවන බව දැන් පැහැදිළි කරමින් සිටින්නේය.

කතා කළ පරමාදර්ශ වෙනුවට ආත්මාර්ථකාමී හැසිරීම් ප්‍රදර්ශනය කරන, සහෘදයන් වෙනුවට භෞතික සම්පත් තෝරාගන්නා බොරුකාරයන් බව පැහිදිළි කරමින් සිටින ඔවුන් සිය අවස්ථාව,බලය සහ ධනය රැක ගැනීම වෙනුවෙන් කරට දැමූ අත්වලින් ගෙල මිරිකමින් සිටින්නේය.මේ තත්ත්වය අමුත්තක් නොවේය.එය පැවති ක්‍රමයේම දිගුවකි.

පොලිස් කොමිසම මේ ක්‍රමයට පිටතින් ගෙන අලවා දැමූවකි.නමුත් එය ලක්ෂ 62 ක ඡන්දලාභින්ගේ නොව ලක්ෂ 58 ක් ඡන්දය දුන් පිරිසගෙන් වැඩි පිරිසකටද සාධාරණය ලබා දීම පිණිස අවශ්‍යය ප්‍රතිසංස්කරණයකි.දේශපාලනඥයන්,ඔවුන්ගේ එහෙයියන් සහ ප්‍රභූ චරිතවලින් නීතිය සහ සාධාරණය හෙම්බත්ව තිබෙන මොහොතක ඒ හෙම්බත්වීම සහ පීඩනය දැණෙන්නේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවටය.ලක්ෂ 62 ට සහ 58 ට අයත් වූවෝ බහුතරයක් මේ ඝණයට වැටෙන්නෝය.ඒ පිළිබඳ එළැඹි සිහියෙන් කටයුතු නොකළහොත් පොලිස් කොමිසමත් සමඟ සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරන නීතියේ ස්වාධිපත්‍යය සහ සාධාරණයද කුණු කූඩයට වැටෙනු ඇත.

එය වීසි කර දමා තිබූ කුණු කූඩයේ පියන හැරියා පමණි.නැවත එය දේශපාලන අවශ්‍යයතාවයන් වෙනුවෙන් මුලාවේ වැටී පිටතට ගන්නටවත් නොදි වසා දමන්නට කරන පෙළඹවීම්වලින් අප පරිස්සම් විය යුතුය.ස්වාධින කොමිසම් සභා ලක්ෂ 62 ක බහුතරයට පමණක් නොව ලක්ෂ 58 ක බහුතරයගේද ආරක්ෂාව සහ ස්වාධීනත්වය වෙනුවෙන් අවශ්‍යය සමාජ මෙවලම් බව තේරුම් ගැනීමට අප බුද්ධිමත් විය යුතුය.දේශපාලනයෝ කිසිදාක අපේ වල කැපුවේ නැත.කතිරයේ සිටම අපේ වල අපට කපා ගැනීම වෙනුවෙන් ඔවුන් උදළුතල ප්‍රදානය කළෝය.උදැල්ලෙන් අප අපගේම වල කපා ගන්නේද,වල්කපා සමාජය නිවැරදි දෙසට ගමන් කරවිය හැකි මඟක් තනන්නට  මාවතක් සකස් කරන්නේද යන්න තිරණය කිරීමට ජනතාව කල්පනාකාරි විය යුතුය.


Wednesday, January 6, 2016

විජේ අයියා

thecolombopost.net වෙබ් අඩවියෙන් එළියට බැස්සෙ හිත රිදෙන අත්දැකීම් පොකුරකුත් එක්ක.ඒකට පාර කපපු පුද්ගලය ඒ අතරෙ කියපු අපූරු කතාවක් තියෙනවා.
මේක මම නැතත් උඹ නැතත් කෙරෙනවා.එහෙම ප්‍රතිපත්ති නැහැ.සල්ලිවලට කවුරු හරි ගන්න පුළුවන්
ඕක තමයි ලංකාවේ මීඩියා කියන්නෙ.එහෙම නෙමෙයි කියල පූර්වාදර්ශ කතා කරල හෝ ඒව ස්ථාපිත කිරීම කතා කර පලක් නැහැ.මම බැහැල ආපු හේතුව ජනමාිා ධ්‍යයට හෝ පුද්ගල ගෞරවයට කෙතරම් අදාළද පොදු ද කියන එක මගෙ පුටුවෙ ඉද ගන්න කෙනාට අදාළ වෙන්නෙ නැහැ.එහෙම එළියට බැහැල යන්න පෙර මා කළ දේ අදාළ වන්නෙත් නැහැ.
නමුත් මා කළ කී දෑ අදාළ කර ගත්තු මිනිහෙක් හිටියා.ඒ ආයතනය ළඟ,ආයතනය පිටත.
විජේ අයියා
කවුරුත් නොදන්න ඒ මනුස්සය මේ රටේ හැදුණු බොහෝ ක්‍රිකට් වීරයන්ගේ මුල් කාලයෙ බත්පත දුන්නු මනුස්සය.ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජුය නියෝජනය කළ ක්‍රීඩකයො මුල් කාලයෙ කන්නෙ විජේ අයියගෙ බත් එක.ඒකට ගෙවන්නෙ ක්‍රීඩා සමාජයෙන්.සමහර වෙලාවට සල්ලි පරක්කු වුණාම විජේ අයියා ණයක් වෙලා හරි ගෙනත් උයනවා.
මහත්තුරු සල්ලි පරක්කු කරාට කරන්න දෙයක් නැහැ.මහන්සි වෙන කොල්ලොනෙ මහත්තයො....
විජේ අයියා හේතු කියනවා.
දැන් ඉතිං නවත්තල ඔළුව දාලා යන්නම් කියලවත් යන්නෙ සුරංග ලක්මාල් විතරයි....
එහෙම කන්න දීපු අය ගැන විජේ අයිය විස්සෝපයෙන් කොඳුරනවා.ඒත් කහටක් නැති බව දැනෙන්නෙ ‘මම සල්ලි ගත්තනෙ.මගෙ හිත දන්නව සල්ලිවලටම නෙමෙයි කළේ කියලා.වටින මින්ස්සුනෙ.මම දැන ගත්තම ඇති‘ විජේ අයියා තමන් වෙතින් මතුව එන පසුතැවීම හෙමින් සීරුවෙ සතපා ගන්නව.
අන්තිමකාලෙ මම හිටියෙ ලොකු පසුතැවීමක.ඒ ඔය පුද්ගලය එන්නත් ඉස්සර මම මහන්සි වෙලා උවමනාවෙන් ලියූ ඇතැම් දේ ගැන මතුවුණු වැරදි නිර්වචන ගැන.ඒවා නිවැරදිව නොවිසදීම ගැන හිතේ ඇති වූ කළකිරීමට සහ පසුතැවීමට කළ හැකිව තිබූ දේ දුම් උගුරු දිහා බලා සිටීමම පමණයි.
සිගරට් නැහැනෙ.අර කඩවලත් නැහැ.මොකක් හරි හින්ද ඇවිල්ල නැහැ
දවසක් මට විජේ අයියගෙන් ලැබෙන පිළිතුර ඒකයි.නමුත් පිළිතුරෙන් පැය භාගයක් ගෙවෙන තැන මා හමුවන්නට එන මිත්‍රයා මා වෙනුවෙන් මිලදී ගත් සිගරට් දෙකක් ද රැගෙනයි පැමිණෙන්නෙ.
බොරැල්ලෙන්ද ගත්තෙ......?
නැහැ පහළ කඩෙන්...
මේ සංවාදයට පැයකට පමණ පසුව මට නැවත විජේ අයියාගෙන් ලැබෙන්නේ මීට පෙර ලැබුණු පිළිතුරමයි.
එහෙනම් අර යාළුවා මේකෙන් සිගරට් අරං ආවෙ......?
මගේ පිළිතුරෙන් විජේ අයියා ගල් ගැහෙනවා.ඇස්වලට කඳුළු පුරව ගන්නවා.
සිගරට් බොනව වැඩි මේ දවස්වල.ප්‍රශ්නයක් ඇති.මට ඒක මොකද්ද කියල අහන්න අයිතියක් නැහැනෙ.ඒත් සිගරට් වැඩි.අපි බීල මැරිල ගියාට මහත්තය වගෙ අය ඉන්න ඕනි.කඩේට කන්න එන සීවලි එකේ පොඩි කොල්ලො මහත්තය උන්ට නිකං උගන්නන්න මහන්සි වුණ හැටි මට කිව්වා...එහෙම අය අද අඩුයි.
හොදට සිගරට් බොන විජේ මගේ සිගරට් එක ගැන හිතන හැටි දැනිලා මටත් ඇඩුණා.
විජේ අයියටත් දිල බීලා ඉතිරි වුණ විස්කි කාලකට කිට්ටු ප්‍රමාණයක් අදත් ඒ කාර්යාලයේ තියෙනවා.
විජේ අයියෙ පොඩි කොටයක් තියෙනවා.හවසට අපි ගහමුද...?
නැහැ නැහැ...ඔය ප්‍රශ්න තියෙන කාලෙ ඉවර කරල බොමු.අද බැහැ.මට සතුටින් ඉන්නකොට තේරෙනවා.එතකොට මම බෝතලයක් දෙන්නම්.....
ට මිරිකුවා.
මම ආයෙ ඔෆිස් එන්නෙ නැහැ.විජේ අයියා බලන්න එනවා.....
මම අන්තිම දවසෙ පහළට ඇවිත් කිව්වා.
එදා වගේම විජේ අයියගෙ ඇස් තෙත් වුණා.කරගැට පිරුණු අත මගේ අත රදෙන තරමට මිරිකුවා.
මේක ඔයාගෙ තැනක් විදිහටනෙ ඔයා බලා ගත්තෙ.ඇයි එහෙම වුණේ?
ඒක විජේ අයියට දැනිල වැඩක් නැහැනෙ අයියෙ.මට ඔයාව අමතක වෙන්නෙ නැහැ කියල මම එතනින් පිට වුණේ විජේ අයියගෙ කඳුළු මගේ ඇස්වලට බෝ වෙන්න ඉස්සර...
ගිය අවුරුද්දෙ කොල්ලගෙ උපන් දිනයට පන්සලකට අරං යන්නෙ නැහැ කියල බනිද්දි කිරිබත් බාල්දියක දාගෙන පොඩි එව්වො දෙන්නත් අරං ඔෆිස් ආව මම මේ ගමණත් පළමුවෙනිද ඔෆිස් එක ළඟට ආව.ඒ විජේ අයිය බලන්න.
කඩේ එක දොරක් ඇරල තිබුණ.විජේ අයිය කැෂියර් කූඩුව ළඟ පැදුරක් එලාගෙන නිදි.උණ හැදිලා.මාව දැක්කම ඇස්වලට ආයෙමත් කඳුළු ආව.මාව අමතක කළේ නැහැ නේද?ඒ කදුළු එක්ක විජේ අයිය මගෙන් ඇහැව්වා.පැදුරෙ නිදාගෙනම මට අත්දෙක එකතු කරල වැන්දා.මෙච්චර දවස් කඳුළු පිරිලා විතරක් දැකපු ඒ ඇස්වලින් කඳුළු බේරුණා.
මට ඒ පැත්ත බලන්නවත් හිතෙන්නෙ නැහැ මහත්තයො.මහත්තය නැතුව හරි පාළුයි.
මිනිහෙක් එක්ක හිනාවෙලා කතා කරාම.ඔවුන්ගෙ ප්‍රශ්නයකට ඇහුංකං දුන්නම,ඇත්තටම ඔවුන්ට ලෙංගතු වුණාම.මනුස්සයෙක් එක්ක මනුස්සයෙක් විදිහට ඇසුරු කරාම මෙච්චර බර ආදරයක් ලැබෙනවද?මම මගෙන්ම ප්‍රශ්න කළා.
ඔව් මනුස්සකම් ගැන ලියන කතා කරන ලෝකෙට කියා දෙන්න යන මිනිස්සන්ට ඒවා විකිණිම සඳහා සහ පැවත්ම සඳහා වටිනව වුණාට තවත් මිනිස්සු කට්ටියකට ඒව වැදගත් වෙන්නෙ මිනිස්සු විදිහට ජීවත්වෙන්න.ඒත් ඒ මිනිස්සුන්ට වැඩිකල් ජීවත්වෙන්න දෙන්නෙ නැහැ.විජේ අයියටත් ඒ දේම වෙලා අද උදේ එයා අපිව දාලා යන්නම ගිහිං.
මම සතුටු වෙච්චි දවසක බෝතලය අරං දීල ගියානම්.......
මට එහෙම හිතෙන්නෙ මම දුකෙන් ඉන්න එක ගැන දුකෙන් හිටිය උඹ ඒ දුකත් දරාගෙනම මරණයට ගිය නිසා.මට සමාවෙයන් උඹ මාත් එක්ක ගොඩ නගාගත්තු මානව සබඳතාවයට උඹ නික්ම යද්දි මට ඒ වෙනුවෙන් උඹට සතුටවත් දීල තියන්න බැරි වුණා.
තමන්ගෙ වැටුප සහ පැවත්ම වෙනුවෙන් අනුන්ගේ දරු පවුල් සහ ඔවුන්ගේ විනෝදය දඩයම් කරන ගහලයන් පොරවල් වෙන සමාජයක....උඹ වගේ මනුස්සෙක් අඩුවීම......
ඇත්තටම විජේ අයියෙ උඹ හැදුවෙ හිස්තැනක්!

Tuesday, January 5, 2016

තවමත් හෝ ගානවා මගේ හිත



හෝ ගාන පොකුණ බැලුවෙමි.හෝ ගා ඇස්වලින් කදුළු වැටිණ.ඊට හේතු ගණනාවක් තිබිණ.ඒ හේතු ෆර්ඩිට කෙතරම් බලපෑවේදැයි මම නොදනිමි.ඇතැම් විට මා ඔහු තුළ ද අඩු වැඩි ලෙස ජිවත්වනු ඇත.

ඔහු රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේය.මම සීවලි මැදි විදුහලේය.ඔහු මට වඩා පහළ පංතියකය.නමුත් ඔහු නාගරික පරිසරය මත විසු අතර මගේ ප්‍රාථමික අධ්‍යාපනය ගෙවුණේ රත්නපුර ගල්ලෑල්ල මහා විදුහලේය.මම සිටියේ රත්නපුරයට සැතපුම් හයක් දුරය.ගල්ලෑල්ල සැතපුම් 10 ක් දුරය.එවකට රත්නපුර සහ කොළඹ අතර දුරටත් වඩා දුරක් රත්නපුර සහ ගල්ලෑල්ල අතර තිබිණ.

මම එවකටත් මසකට දින කිහිපයක් කොළඹ ආමි.ඒ මගේ පියා බොරැල්ලේ බැවින්ය.ඒ ආ විට මම හෝ ගානා පොකුණ දකිමි.රැල්ල පාගමි.බෙල්ලන් ඇහිදමි.ඒ සියල්ල මට ගමේදී අනෙකුන් අතර විශාල වටිනාකමක් ඇති කළේය.රැල්ල හඩ නඟා එන හැටි එයට මා තෙමෙන හැටි රැල්ල ඉහටත් උඩින් ගොස් මා ද ඇද ගෙන නැවත යන්නට තතනද්දී මා එයින් වැළකෙන්නට දැරූ හැටි කියද්දී ඔවුන්ගේ ඇස් තිබුණේ නළලේ ඉහළම කොටසේය.

මා මුහුද ගැන කියද්දී විමතියෙන්ම අසා සිටි අය අතර උන් අයෙක් ප්‍රියන්ත විය.ඔහුගේ මව සැවොම  හැදින්වූයේ සොට්ටා ලෙසය.අපටද කොස් කඩා දුන්නෙ සොට්ටා අක්කාය.ඇයට
 ගස් යෑම යනු කජු කනවා වගේ වැඩක්ය.ඔවුන් වැසිකිළි භාවිතා කළේ නැත.ඒ සඳහා තෝරාගෙන තිබුණේ අප පදිංචිව සිටි නිවස උඩ වත්තේ උඩ කොටසය.ඒ සඳහා ඔවුන්ට විරෝධය එල්ල කළ ද නොනැවතී සිදු විය.තාත්තා ඔවුන්ට වැසිකිළියක් හදා දෙන්නට වුව සූදානම් වුව ඔවුන්ට අවශ්‍ය වූයේ පදුරු අස්සේ නිදහසේ රෙද්ද උස්සාගෙන වාඩි වෙන්නටය.

මේ තත්ත්වය තිබියදීත් ප්‍රියන්ත නිතර හොරගල් අහුලමින් මා පස්සේ වැටිණ.ඔහු මගේ කතා අසන ප්‍රධාන රසිකයා විය.ඉහළට නැඟෙන රළ සමඟ පිහිනන අය ගැන කියද්දී ඔහු නිතරම ඉල්ලා සිටියේ එසේ පිහිනන්නට ඔහුවද රැගෙන යන ලෙසය.මා කවදා හෝ ඔහු එහි රැගෙන යන බව ප්‍රියන්තට පැවසීය.ඔහු ඒ බලාපොරොත්තුවෙන් පොලිස් අධිකාරිවරයෙක්ව සිටි ප්‍රියංක පෙරේරා ගේ නිවස අසළ පිහිටි දෙනවක ගඟේ විශාල දියවල තරණය කළ බව මා දැන ගත්තේ දියේ ගිලී ඔහුගේ නිසල දෙන පැදුරු කඩමාල්ලක නිදිකරවා තිබෙන විටය.

මගේ ඇස් ඒ මතක විසින් වරින් වර තෙත් කළ ‘හෝ ගානා පොකුණ‘ නරඹා මා එළියට පැමිණියේ විශාල බරක් පපු කුහර තුළ රන්දාගෙනය.ඒ බරේ ප්‍රියන්ත එල්ලී සිටියේය.එසේම ෆර්ඩිද තදින් මගේ හදවතේ දැඩිව පැටලී තිබිණ.සමහර විට රත්නපුර නාගරික පරිසරය තුළ ජීවත් වුව ද,මෙවැනි ග්‍රාමීය අත්දැකීම් සහ සිහින ඔහුද අත් විද තිබුණා විය හැකිය.එහෙත් දන්නා දේ වුව ඔහු කියූ අපූරුව ඔහු මගේ හදේ එල්ලීමට බෙහෙවින්ම හේතු විය.

ඔහු චරිත සම්බන්ධයෙන් කළ තෝරා ගැනීම් ගැන කියන්නට ඇති හොඳම වචනය ‘පට්ටය‘.ඒ චරිත මෙහෙයවීමට ඔහු දක්වන හපන්කම අවතක්සේරු කරන්නට නොවේය.මෙහෙයවන්නට පහසු පුද්ගලයන් තෝරා ගැනීම ද හොද අධ්‍යක්ෂණයක ලක්ෂනයක්ය.

යම් පමණකට ඉතා සියුම්ව අධි රංගයක නළුවන් මෙහෙයවීමට ෆර්ඩි ගෙන ඇති උත්සාහය සාර්ථකය.දරුවන්ගේ රංගය පොදු සාධකය කර ගැනීම නිසා ඔහු ඒ ගැන විශ්වාස තබන්නට හැකිය.මෙහිදී ප්‍රදාන භූමිකාව කරන අනුප්‍රියා සිය චරිතයට සාධාරණය ඉටු කළද,ජයලත් මනෝරත්න,ලූෂන් බුලත්සිංහල,දයාදේව එදිරිසිංහ සහ ජයනි සේනානායක දක්වන රංග ප්‍රතිභාව සුවිශේෂ ලෙස මතු වී පෙනෙයි.

චිත්‍රපටය පුරාවට නාට්‍යමය ගති ලක්ෂණ රදවා ගැනීමට ෆර්ඩි දරන උත්සාහය පලදායි එකකි.විශේෂයෙන් චිත්‍රපටය සඳහා යොදා ගන්නා සංගීත නිර්මාණයේ සියලු දේවල් නාට්‍යමය ලක්ෂණවලින් පිරි ඇත.එය සංගීතයට පමණක් එබ්බූ දෙයක් නොවන්නේ සමස්තය තුළ එම රීතිය සුරැක ගැනීමට නිර්මාණකරුවාට හැකි වී තිබෙන බැවින්ය.ඒ නිසාම තිරයක් මත දිග හැරෙන රූප රාමුවල මිනිස්සු අපට වේදිකාවක් ඉදිරිපිට සිට කරන රඟපෑමක් තරමටම සමීපව දැනෙන්නේය.

බ්‍රෙසියර් එකක් රටක් කරගෙන සිටින නායකයන් සිටින රටක ඒ දේශපාලන ඇරියස් වල ඛේදවාචක සහ ග්‍රෝත්‍රික කුහකකම් ද පුංචි එව්වන්ගේ හීනවලට නොදැනෙන්නට හප්පන්නට අධ්‍යක්ෂණයේදී දක්වා ඇති සියුම් බව අගය කළ යුතුය.මුහුද දැක නැති ගමකට මුහුදට එහා තිබෙන සුඛෝපභෝගී පියානෝවක් වඩින ආකාරය ඊට හොඳම උදාහරණයකි.ස්වේච්ඡා ගුරුවරයෙක්ට වසරකට පඩි දිය හැකි මුදල යොදවා ඒ එන පියානෝව මකරෙක්මය.

ඒ නිසාම ගමට වඩා නගරය අතපත ගා පැමිණෙන ඇයට ගමේ ඇති දුෂ්කරතා මෙන්ම මීයන්ද අවුලක් වුව ගමේ සීමා සහිත දැණුමෙන් ගසන ගැටනම් අවුලක් වන්නේ නැත.භාවිත කරන ලෝකයේ පරිමාව අනුව ජයග්‍රහණයේ ස්වභාවය සහ ප්‍රමාණය තීරණය වන්නේය.හැකියාවන්ගේ විශාලත්වය මත ජයග්‍රහණය තීරණය වන බව ද එහිදි පැහැදිළි වන්නේය.

දැණුම සහ සමාජ භාවිතාවන් පුළුල්වීම නිසා සමාජය පුළුල් ලෙස දකින්නට පෙළඹිම සහ දැණුම සමාජ භාවිතාවන් අවම වීමත් සමඟ කුහකත්වය දෙසට නැඹුරුවන ආකාරයත් ගුරුවරිය විදුහල්පතිවරයා සහ ග්‍රාම සේවක හරහා කියා පායි.නමුත් ග්‍රාමසේවකට ඇත්තේ පෙළපතින් එන නිල නාමයට අදාළ කරුණු පමණක් වන බැවින් ඔහු එය භාවිතා කරන්නේ සේවයකට අවශ්‍යය මෙවලමක් ලෙස නොව තමා විසින් දිනා ගත් වරප්‍රසාදයකට සෙස්සන් යටත් කර ගැනීමේ උවමනාවෙන්ය.නමුත් විදුහල්පතිවරයාට ඇත්තේ ඊට වඩා පුළුල් දැණුමක් නිසා ඔහු එකඟ කරවා ගැනීමට හැකිය.

පාලකයා එකඟ කරවා ගත හැකි තරමට උගත් නොවූ විට ඔහුව වෙනත් උපක්‍රමවලින් යටත් කරවා ගැනීමට සිදුවේ.ග්‍රාමසේවකගේ බිරිඳ උපක්‍රමයක් ලෙස යොදා ගනිමින් ඔහුගේ නූගත්කමේ සීමාවේ  ඇති විශ්වාස සහ ඇදහීම් ඒ යටත් කිරිම වෙනුවෙන් භාවිතා කරන්නේය.

සමස්තයක් වශයෙන් හෝ ගානා පොකුණ කාලයක් තිස්සේ හදවතේ හෝ ගානු ඇත.එය සිනමා නිර්මාණයක් ලෙස ළමා සිනමාවට වස්තු වන විෂයක් ගෙන වැඩිහිටියන්ට උගන්නන සිනමා පටයක් කර ගෙන ඇත.

Saturday, November 21, 2015

අලුත් ගමණට පාර කැපුණා


මිනිහෙක් වැරදි කරන්නෙ විනෝදයටද?
විනෝදයෙන් ජීවත්වීම පිණිස හෝ කරදරයකින් තොරව ජීවත් වීමටය.

වැරදිකරුවන් ලෙස නිතියෙන් නම් කරන ලද බොහෝ දෙනෙක් සමඟ කතා කළ විට මට දැණුනු දේ ඒ ආකාරයට කෙටි කළ හැකිය.වෙනස ඇත්තේ,සමහර විට ඒ විනෝදය පිණිස වන අවශ්‍යයතාවය මෙන්ම කරදරයකින් තොරව ජීවත්වීම සඳහා ඇති උවමනාව වෙනුවෙන් අප ගන්නා ක්‍රියා මාර්ග සහ ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග අතරේය.

ඒ කෙසේ වෙතත් රටේ පිළිගත් නීතියට අනුව මොවුන් වරදකරුවෝය.රජය වසර 50 - 60 දක්වාම නීතියෙන් දඩුවම් පැනවෙන ඔවුන්ට එරෙහිව සිදු කරන්නේ වියදම් කිරීමය.නැතහොත් අපරාධකරුවන් හෝ වරදකරුවන් නඩත්තු කරන්නට රටේ ජාතික ධනයෙන් විශාල කොටසක් විනාශ කිරීමය.රජයේ පිළිගත් නීති පද්ධතිය උල්ලංඝනය කරන ලද අයෙක් වෙනුවෙන් රටේ ජාතික ධනයෙන් විශාල මුදලක් වැය කිරීමෙන් රටේ සාධාරණ ලෙස උපයන ජනතාවගේ බදු මුදල් වැය කිරීමේ අවුලක් තිබෙන බව මට හැඟෙන්නේය.

මේ හැඟීම සිරකරුවා අමනුෂ්‍යයෙක් ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය යන පදනමේ පිහිටා නැඟෙන්නක් නොවන්නේය.

රැඳවියා රටේ නිෂ්පාදන කාර්යයට වඩා පලදායි අයුරෙන් යොදා ගත යුතුය.බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලාබ උපයන ආයතනයක් බවට පත් කළ යුතුය.රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පෝෂණය කරන ආයතනයක් කරන්නට වෙහෙසිය යුතුය.ඒ හරහා ලැබෙන ප්‍රතිලාබ පදනම් කර ගනිමින් නිදහස්ව යන සිරකරුවාට යම් ස්වාධීන නැඟී සිටීමකට අත හිත ලැබෙන ආකාරයට ඔහුගේ ගිණුම පොහොසත් කර ගැනීමටද අවසර දිය හැකිය.

එසේම හැඟිමෙන් ඔහු රසවත් හා නැණවත් පුද්ගලයෙක් කිරීමට හැකි වටපිටාවකට ඇතුළත් කළ යුතුය.නාට්‍ය නිර්මාණ සඳහා ඔහු ශිල්පීය දැණුමෙන් පෝෂණය කර නිර්මාණ සදහා දායක කර ගැනීමේ වැදගත්කම ඔහු ඊට අදාළ වෘත්තියමය පදනමක් සහිතව රසවන්තයෙක් වීමය.

ඔහුට හොඳින් පොත පත පරිශිලනය කිරීමට සැළැස්වීමෙන් වන්නේ ඔහු රසවතෙක් මෙන්ම නැනවතෙක් වීමය.මේ ඉහත කරුණු දෙක හරහාම සිදු වන්නේ යහපත් මනසක් සහිත පුද්ගලයෙක් නිර්මණය කිරීමට අවශ්‍යය පසුබිම සැකසීමය.

මා බන්ධනාගාර රැදවියන් සමඟ වැඩ කිරීමෙන් ඒ ස්වයං තෘප්තිය විදින්නේය.මා මගේ කෘතිය බන්ධනාගාර භූමියට රැගෙන ගොස් සහෘදයන්ට රැඳවියන් වෙනුවෙන් පොතක් රැගෙන එන්නට යෝජනා කළේද එබැවින්ය.ඒ වෑයමේ ප්‍රතිපලය වූයේ ඔවුන් වෙනුවෙන් පොත් 179 ක් ලැබීමය.එපමණක් නොව ලලිතා ද සොයිසා ජයවර්ධන මහත්මිය ඇතුළු පිරිස් එම කටයුත්ත තව දුරටත් පෝෂණය කරන්නට සෑදී පැහැදි සිටින්නේය.ප්‍රදීප් චන්දන ගුණරත්න වැනි සහෝදරයන්ද මේ වෙනුවෙන් සමාජ උත්තේජනයක් ඇති කළ යුතු බවට සිය බ්ලොග් අඩවි හරහා උත්තේජනයක් ලබා දෙමින් සිටියි.( http://hithenahati.blogspot.com/2015/11/prisonbookdonation.html)

මා මියුණ දිනයක මගේ දරුවන් හිස්ව තිබි මගේ බැංකු පොත ගැන දොස් පැවරුවාට කම් නැත.මගේ නම කී විට ඔවුන්ට කිසිවෙක් දොස් නොපවරන්නේනම්..........

 මට අවශ්‍යය වන්නේ එපමණය.

අලුත් ගමණට කැපුණු පාර ඔස්සේ ඔබේ නගරයට ගමට බන්ධනාගාර රැදවියන් රඟන ‘ වීරයෝ මරන්න බැහැ‘ වේදිකා නාට්‍යය ප්‍රදර්ශණය හරහා ගෙන්වා ගත හැකිනම් එය මහත් උදාර ක්‍රියාවකි.ඔබට ඔවුන් වෙනුවෙන් පොතක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකිනම් එයද එවැනිම ක්‍රියාවකි.මේ කාර්යයන් දෙකටම අදාළව වැලිකඩ බන්ධනාගාරයේ සුබ සාධන අංශය අමතා තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

මේ එහි දුරකතන අංකය ය- 0114 677277

අන්තිමට වෙළද දැන්වීමක් වගේ පහත කවි දෙකත් මේ සටහනට අමුණා තබන්නට සිතුණි.එය මගේ පොත එළි දැක්වීම ගැන රැඳවියෙක් ගෙතූ කවි වැලක මා හිතේ අලවා ගත් කවි දෙකකි.මා ගැන නොව ඔවුන් නාට්‍යය රඟදැක්වීමෙන් විඳින වින්දනය ගැන ඔබට දැනෙන හැටි පහසු කරනු පිණිසය.

නාටකවලින් වැලිකඩ රැඳවියන් හට
දැණුමක් ලබා දී ගෙන ගිය කරළියට
වීරයො මරන්නට බැහැ පෙන්වා හැමට
හොද අඩිතාලමක් දැමුවනෙ සිර ගෙයට

වයි.එම්.බී.බොරැල්ලේ රඟ දක්වාලා
ටවර් රඟහලින් ජනපති සතුටු කළා
මාතර බාලිකා විදුහලකත් රඟලා
රැඳවියෝ සතුටු වුණි කවුරුත් කඳුළු සලා





Tuesday, October 20, 2015

රේල් පීලි සමඟ අලුත් ගමණක්

මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාවට යන බව මම අසා ඇත්තෙමි.තැන තැන මමද ඒ බව වමාරා ඇත්තෙමි.නමුත් ජීවිතයේ මිනිස්සු ආනන්දය සහ ප්‍රඥාව විසින් වඩා යහපත් දිශාවකට හැරවිය හැකි බව මම වැලිකඩ සිරකවුළු තුළදී අත් විඳින්නට භාග්‍යවන්ත විමි.

මගේ යොවුන් නව කතාවට යම් තරමකට එයට ආසන්නම යන එන පුරවැසි කණ්ඩායමක් සිටින පරිසරයක් පාදක විය.රේල් පීලී තුළ මා කතා කරන ප්‍රේමය ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වන සමාජ විපර්යාසයකට මඟ පෙන්වන සංයුතියක අගය කියාපාන්නකි.එය කෙතරම් සාහිත්‍යමය වශයෙන් පොහොසත්දැයි මම නොදනිමි.එහෙත් ඒ මා විඳි ජීවිතවල හුස්ම ගෙන කළ ප්‍රබන්ධයකි.

මා නැවතත් දෙවන ඡේදය අතහැර පළමු ජේදයට යමි.

මගේ නව කතාව ගැන නිකම්ම කතා බහකින් නොනැවතී මා පළමු ජේදය තුළ ලියූ වෙනස් කළ හැකි මිනිසුන්ට ආනන්දය සහ ප්‍රඥාව ලැබෙන ගමණකට ද මගේ රේල්පීලි මතට සහෘදයන් පිරිසක් එක් කර ගන්නට සිතුවෙමි.

නුදුරු දිනෙක රේල්පීලි ගැන අදහස් දැක්වීමක් සිදුවන්නේය.ඒ අදහස් දැක්වීමට එක් වන්නේ වර්ථමානයේ යොවුන් මාධ්‍ය කලාවේ ජනප්‍රිය සහ අරුත්බර භාවිතාවක නියැලී සිටින සංජක ප්‍රසාද් දොලේවත්ත සහ විමල් කැටිපේආරච්චිය.ඒ හඪට සවන් දෙන්නට මෙන්ම මගේ පොත රැගෙන යන්නටද මගේ සහෘදයන් එතැනට වඩින බව මම විශ්වාස කරමි.

නමුත් මගේ පොත ගැන කතාබහ එම රාමුවෙන් පිටතට එන්නේය.එහි පළමු පියවර වශයෙන් පොත ගැන මේ කතා අසන්නට වන්නේ වැලිකඩ බන්ධනාගාර භූමියට අයත් බිමකය.ඒ බිමට එන ඔබට සහෘදත්වයෙන් කරන ඊ ළඟ ඉල්ලීම වැලිකඩ බන්ධනාගාරයට පොතක් ලබා දෙන්නටය.ඒ පොත මගේ පොතක් විය යුතු නැත.කුමන හෝ පොතක් විය හැකිය.

පොත් ලියන මගේ මිතුරන්ටත් පොත් ප්‍රකාශක හිතවතුන්ටත් මා කියන්නේ එයමය.ඔබ ලියූ එක පොතක්...එසේත් නැතිනම් ඔබ විසින් ප්‍රකාශනයට පත් කරන ලද පොත් අතරින් එක පොතක්.. මේ දායකත්වය වුව මහා විශාල සෙනෙහසකි.ඒ සෙනෙහස සමඟ ඔබ ලබා දෙන පොත කියවන්නේ වැරදි පාරෙන් හරි පාරට එන්නට සිහින දකින්නෝය.එසේත් නැත්නම් ඒ පොතක් එසේ සිතකවත් නොතිබි කෙනෙකුට අඳුරෙන් මිදී ආලෝකයට යන්නට පහනක් වන්නට ද පුළුවන.

එසේනම් මා දිනය කියන්නම්.එදාට අනිවාර්යෙන් එන්න.මගේ පොත ගැන සංවාදයේ සාමාජිකයෙක් වන අතරම රැදවි සොයුරන් වෙනුවෙන් සෙනෙහසේ දායකත්වය දෙන්න.

අලුත් ගමණකට “රේල්පීලි“ මතට ගොඩ වෙන්න ඔබ සැමට සහෘද ඇරයුම්.ඒ  ගොඩවෙන මොහොතෙ ඔවුන් වෙනුවෙන් ඔබේ අතේ තියෙන්න ඕනි කෙටි  කතාවක්,නව කතාවක්,කවි පොතක් කියන සාහිත්‍යමය සීමාව අදාළ නැහැ.සමහර වි කලාවක් ගැන හෝ කලාව ගැන ලියැවි ශාස්ත්‍රීය පොතක් නැතිනම් කුමන හෝ විශයකට අදාළ පොතක් වෙන්නත් පුළුවන්.ඒ වගේම භාෂාව ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.ඒකත් මතක තියා ගන්න.

මේ ගැන මා සමඟ කතා කළ යුතුනම් මගේ අංකය - 0773 815 999