Friday, February 13, 2015

කිණිතුල්ලන්ගේ වේදිකාව

ආණ්ඩුව පත් වුණා.දින 100 විදිමින් නිදියනවා නැගිටිනවා.ඒ අතරෙ පුංචි පුංචි හීන දකිනවා.මේ දින 100 වෙනුවෙන් සමාජයම අවදියෙන් තබපු පිරිස දැකපු සොදුරු හීන සියල්ල සැබෑ නොවුණත් හැබැහින් වින්ද නපුරු යථාර්තය ආයෙමත් මේ සමාජය මැද්දෙන් දක්කන් යන්න පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා.

මොන ජාතියක හරි ගොනෙක් හොයා ගෙන ඒ ගොනාගේ ඇගේ වහන කිනිතුල්ලන්ගෙන් එහා දෙයක් මේ එකතු වී සිටින පිරිසගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.හරකට යන හැටියට යන්න දීලා හරකගෙ ඇගේම රැදිලා උගෙ ලේ වලින් බඩ පුරවාගන්න එක හැරෙන්න කිනිතුල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ.

මේ අය විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන වුණත් ගිය ආණ්ඩුවෙ ඉන්නකං කිනිතුල්ලගෙ භූමිකාව තමයි රග දැක්වූවේ.ගොනාගෙ ඇගේ නැගල යනවා මිස වෙන දෙයක් කරන්නවත්,හිතන්නවත් ඒ අයට හැකි වුණේ නැහැ.ඒත් මෛත්‍රීට ගැලවෙන්න පුළුවන් වුණා.එක කරත්තයක් වෙනුවට කරත්ත කිහිපයක අයිතිකාරයෙක් වෙන්නත් පාරවල් කිහිපයක කරත්ත එක පාරකට සේන්දු කර ගන්නත් පුළුවන් වුණා.

එතකොට මේ කිනිතුල්ලන් එහෙම නැහැ.උන්ට හොද හරකෙක් නැතිව ගමන යන්නම බැරි නිසා කිනිතුල්ලාගේ ආත්මය වෙනස් කර ගන්නෙ නැහැ.තව කිණිතුල්ලො ටිකක් ඉන්නවා ලේ බීපුවට අමතරව ගොනා කාපුවත් කාපු.ඒ අය දන්නව ගොනා කරපු වතුපාලු වලට ගොනාට තලන කොට තමන්වත් ඉතිරි වෙන්නෙ නැහැ කියලා.ඒ අයත් පරණ ගොනාගෙ පිටේම නගින්න බලා ඉන්නවා.

18 දා හවස නුගේගොඩ දි මේ ගොනා සහ කිනිතුල්ලන් ප්‍රදර්ශනයක් පවත්වනවා.ඒ ප්‍රදර්ශනය වෙනුවෙන් කිණිතුල්ලන් නාදුණන මිනිස්සුත් මහන්සි වෙනවා.හුගක් අය දින 100 ගැන කලකිරිලා ඒ විදිහට හිතන බවත් මම දන්නවා.අවුරුදු ගාණක් ඇදං ගිහිල්ල දාපු තැනින් රට ආපස්සට අදින්න පහසු නැහැ.හැබැයි ඒක අදින්න පොරොන්දු වෙලා ගත්තනම් ඒක අදින්න ඕනි.අනිත් දේ දරාගෙන ඉන්න බැරි පීඩනයකින් තමයි මිනිස්සු නිදහස් වෙන්න උත්සාහ කළේ. කතිර හැටියට පුපුරා ගියේ ඒ පීඩනය.

ඉතිං ඒ පුපුරා යාමෙන් පස්සෙ අලුතින් හුස්ම ගද්දිත් අර පල් ගදම ගොම ගදම දැනෙනවනම් ඒක දරා ඉන්න බැහැ.ජවය ඉපැද්දුව වගේම ඒ ජවයට අර්ථවත් හෙටක් දෙන්න බැරි වුනොත් මිනිස්සු පරණ ගොනයි,ඌ එක්ක ඉන්න කිණිතුල්ලොයි හොදයි කිව්වොත්......

දැන් සමාජය ඉදිරියේ තියෙන ලොකුම අවදානම මේක.මේ අවදානමෙන් මිදෙන්න එන්න එන්න අමාරු වෙන බව තේරුම් ගන්නෙ නැතිව කාලෙකට පස්සෙ හම්බවෙච්ච බලෙත් එක්ක ආතල් එකේ ඉන්න අය දැන් අමාත්‍යංශ පරිපාලනය වගේම තමන්ගෙ දේශපාලන ව්‍යාපාරය සහ සමාජය ඉදිරියේ ඇති අභියෝග පරාජය කිරීමට ජනතාව අතරට ගිහිං කතා කරන්නත් ඕනි.

සමාජය වෙනස් කිරිම වෙනුවෙන් කරන බලපෑම එක තැනෙක නැවතිලා.ආපහු දරුණු නිහැඩියාවක් ඇති වෙලා.අල්ලස් කොමිසමට ෆයිල් උස්සාගෙන යාම කිහිප දෙනෙක්ගෙ කටයුත්තක් වෙලා.මේවා ශක්තිමත් කරන්න සමාජය වෙනස් කරන්න ආපු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙ මැදිහත් වීම වෙනුවට පේන්නෙ දේශපාලන පක්ෂ මුහුණු.උදාහරණයකට දෙමුහුන් වාහන වල බදු සහනය ලබා දීමට සිවිල් සංවිධාන රජයට කරුණු පෙන්වා දි ඒ අවස්ථාව වඩාත් අසාධාරණයට ලක් වී සිටින පිරිස වෙනුවෙන් දිනා දුන්නානම්......

ඇති වූ පිබිදීම එතැනට ගෙන යා යුතුයි.මේවට උරදෙන දේශපාලන චරිතත් සාමාන්‍ය මිනිසුන් අතරට බලාපොරොත්තු ඇති කරන්න නිර්පාක්ෂික සාධනීය සමාජ මැදිහත් විමක් සමාජය යහපාලනයකට කැදවා යාම පිණිස අවශ්‍යය බව තේරුම් ගෙන පටු ජයග්‍රහණවලින් එහාට ගොස් කටයුතු කළ යුතුයි.අතිශයින් පෞද්ගලික දේශපාලන උවමනාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස දේශපාලන වේදිකා තනා ගන්නන් පිණුම් ගසන භූමියක් වීම භයානක තත්ත්වයක්.

උදාහරණයකට හිරුණිකා ගන්න.ඇය දුමින්ද සිල්වා ගැන ආණ්ඩුවට පෙළඹවීම් කරන්නේ නැති තරමට තමයි සමාජය දුමින්ද වරදකරුවෙක් වූ දවසට ඒක පිලි ගන්නෙ.ඒක හිරුණිකාට පවරලා මේ සමාජය වෙනස් කරන්න මෛත්‍රීව බලයට ගෙනා සිවිල් ක්‍රියාකාරින් තමන්ගෙ කටු අස්සට රිංගගෙන බලා ඉන්නවා.කරන්න ඕනි දේ කියා දෙන්න, වෙලාවකට විතරක් එලියට ආවම හැමදාම මිනිස්සුන්ට නැගිටින්න කිහිලිකරු ඕනි වෙනවා.එහෙම කළ යුතු දේ කියා දිය යුතු සමාජයක් වෙනුවට කළයුතු දේ කරන්න බුද්ධියක් ඇති සමාජයක් කරන්න මැදිහත් වීමටනම් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය හැම මොහොතෙම සිය හඩ මේ යාන්ත්‍රණයෙ ඉහළින්ම තැබිය යුතුයි.ඒක සර්වකාලීන අවශ්‍යයතාවයක් මිස ඡන්දකාලේ අවශ්‍යයතාවයක් නොවන බව අප තේරුම් ගත යුතුයි.

එසේ නොවන තාක් හරක්ගෙ යැපෙන කිණිතුල්ලන්ට මේ සමාජය තුළ විශාල ඉඩක් ඇති වෙන බව සහතිකයි.

Tuesday, February 3, 2015

පැණි සහ ලුණු මිරිස්

මොකද වෙන්නෙ?

හුග දෙනෙක් මේ විදිහට අහනවා.දින 100 ඉවර වෙලා 101 වෙනකං උත්තරයක් දෙන්න බැහැ මේකට.මේ වැඩේ අලුත් වීම එකක්.බහුතර ඔළු ගාණට බලය තීරණය විය යුතු නැහැ කියන එක නම් මම විශ්වාස කරනවා.ඒ ඔළු ගාණ නැත්නම් වැඩිම මනාප කියන දේවල් වලින් මේ රටට හොදක් වෙලා නැහැ.වැඩි දෙනා කැමති දේ වැඩි දෙනාට සේවය නොකරයි කියන එකට හොද උදාහරනයක් හැටියට මේ ඡන්ද ක්‍රමය ගන්න පුළුවන්.
කතිරය කියන්නෙ වැරද්දම තමයි..හරි ලකුණ දාන්න පුළුවන් දේවල් කතිරයෙන් ලැබෙන්නෙ නැහැ.අවසානයෙ ඒ වගෙ නිගමනයකට අවා.දැන් පාර්ගිමේන්තුව ගන්න තීරණ සාපේක්ෂව හරි වගේ දැනෙනවා.ඒ අය කතිර අඩු කට්ටිය නිසා වෙන්න පුළුවන්.මේ විදිහට සැනින් වෙනස් විය හැකි බලයක සහිත ව්‍යවස්ථාදායකයක් තියෙනවනම් මේ වගෙ වැඩ කරයි නේද කියලා හිතෙනවා.

කෙහොම නමුත් ඇමතිවරු ලෙස තීරණ ගැනීමේ බලය පැවරි තියෙන පිරිස සිටි පිරිසට වඩා බුද්ධිමත් පිරිසක් වීම සතුටුදායකයි.එ වගේම බලය රැක ගැනීම උදෙසා ඉන්න හැම කෙනෙක්ම ඇමතිවරු කිරීමක් දකින්නට නොලැබීමත් සතුටුදායකයි.ඒත්ඔළු ගෙඩි ගණනින් බලය තීරණය කරන සම්ප්‍රදාය ඇතුළෙ මේ ගමනට යා හැකි දුර කෙටි විය හැකියි.ඒකට හොදම උදාහරණය සපයමින් විමල් වීරවංශ,දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව ඇතුළු පිරිස සූදානම් වෙන්නෙ මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට කැදවාගෙන ඒමට.

සටහන ආරම්භයේ නිවැරදි දේ ඔළු ගෙඩි ගාණෙන් මනින්න බැහැ කිව්වට විමල්,වාසු,දිනේෂ් මෙන්ම ඒ පිරිස සමග ඉන්න සියල්ල තනිව බලය සදහා අවශ්‍යය ප්‍රමාණයට ඔළු ගෙඩි සොයා ගන්නට බැරි පිරිසයි.ඒ නිසා ඔළු ගොඩකට හේත්තු වී මහජන නියෝජිතයෙක් වෙනු හැර තනිව පක්ෂයක් හැටියට පැමිණ බලපෑම් කිරීමට මේ පිරිසට හැකියාවක් නැහැ.ඒ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග තවත ව්‍යාකූල වුණා.

විමල්ගෙ පක්ෂයෙ අචල චාගොඩ ඇතුළු පිරිසක් කැඩී ගියා.දිනේෂ්ගෙ පක්ෂයත් දෙකඩ වුණා.වාසුගෙ පක්සයෙ කැඩෙන්න තරම් පිරිසක් කොහොමත් නැහැ.කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂවල ද දෙකඩ වීමක් වුණා.ඒ නිසා මේ අයට පක්ෂයක් හැටියට මහජන නියෝජතයෙක් හෝ වී පාර්ලිමේන්තුවට ඒම පහසු නැහැ.ඒකට විකල්පය හැටියට ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්ෂ යි.ඔහු හරහා ශ්‍රී ලංනිපය දෙකඩ කර වෙනම බලවේගයක් ලෙස මැතිවරණයට පිවිස යම්කිසි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පත් වීම ඒ පිරිසගේ උත්සාහයයි.

ඉන් එහා ගිය ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඔවුන් සතුව නැහැ.විමල් සහ දිනේෂ් අන්ත ජාතිවාදි ආගම්වාදි ස්ථාවරයක කටයුතු කරද්දී වාසු,තිස්ස විතාරණ සහ ඩීව් සිටින්නේ ජාතිකත්වය පිළිබදව කතා කරමින්.නමුත් බලය වෙනුවෙන් තිස්සල,ඩීව්ල මෙන්ම වාසුත් සිය මැතිවරණ ව්‍යාපාරයම ජාතිවාදී ආගම්වාදී ග්‍රෝත්‍රිත ස්වභාවයකට ලක් කළ මහින්ද එක්ක රැදෙන්න සූදානම්.මේක හරියට පැණි එක්ක ලුණු මිරිස් කනව වගෙ වැඩක්.ඒත් මේ මිශ්‍රණයට කැමති පිරිසක් සමාජයේ ඉන්න බව අමතක කරන්න බැහැ. 

සංයුතිය නිරීක්ෂණයේදී එය කෙතරම් අතාර්කිකද,නොගැලපේද සහ විශ්වසනීයත්වයෙන් තොර ද යන කාරණය මෙහිදී ලිහා ගත යුතුයි.මිනිස්සු එහෙම ගැටළු ලිහා ගන්න යන්නෙ නැහැ.පුද්ගලයා මත යැපෙනවා පමණයි.එතැනදි අපි නැවත බ්‍රෙස්ට් ළග නවතිනවා.නායකයන් නොව වෙනස් කළ යුත්ත‍ේ මිනිසුන්.මිනිසුන් වෙනස් වන තෙක් මිනිසුන් අතරින් තේරී පත් වෙන නායකත්වය පැණි සහ ලුණු මිරිස් එකට වැළදීම ඉවසා වදාරන්නට මිනිසුන්ට සිදු වීම නියතයි.

ඒ නිසාම මේ මොහොත පක්ෂ දේශපාලනයෙන් එහා ගිය දැණුම කෙරෙහි වන රොද බැදීමකට සමාජය සූදානම් කළ යුතු අවධිය බව වගකිව යුතු සිවිල් සමාජය මැනවින් වටහාගත යුුතු වෙනවා.

Thursday, January 15, 2015

පුතුට

සීතලක් තිබුණේම නැති
දහවලක් වාගේ
ඉර රවා ගෙන
පහර දෙන
ජීවිතය ඉරි තැලුණු
නියං බිමකට සමව
ඇස් වලින් වැටෙන්නට
පොර බදින කදුළු හංගන
පිරිවර සපිැරුනද
තනි වුණු හැගුම් පොකුරක
මිය ගියපු පැතුම් රහසෙම
හිනා වෙන්නට දකින
හීන කප්පරක් පොදි බැද
උහුලන්න බැරි තරම
විදවනා ජීවිතය
ඇසිල්ලක පිපිරෙන
අකුණු සැරයක් වගේ
දෙතොල් පෙති මැද්දට
පනින පොඩි හිනාවට
කිති කවන්නට ඉතිං
පුතේ නුඹ නැති කමට
වාන් දහසක් බැදන්
ඇස් වලින් පිට දාන
කදුළු හංගපු බැම්ම
දෙදරලා ගියා අද
මහ හඩින් කෑ ගසා
සිප ගන්න නුඹේ මුව
ගව් ගණන් දුර ගිහින්
රාත්‍රිය දිගුය මට
මුනින් වැටි ම'පිට මත
බරක් නොව පැටවුණේ
නුඹේ ආදරයෙ රග
තුරුල්ලට තුරුළුවෙන
ඇසිල්ලක් නොවේ පුත
ජීවිතය හරි දිගයි
පළල නොමැනිය හැකියි
නැති කමට දිගු කරන
අතක් හරි හිරිකිතයි
ආදරේ විතරක්ම
එහි තබන අය අඩුයි
සරණ ඉල්ලන විටදි
මිතුරුකම් අසරණයි
සොදුරු හැගුමක් දිගේ
යනෙන දුර හරි කෙටියි
ඉතිං පොළවත් එක්ක
හැප්පෙන්න ඉගෙනගෙන
මගේ දිවි මාවතේ
මග හැරුණු ලකුණු ටික
ඉගෙන ගෙන නුඹ වරෙං
හිස්ම හිස් ඇස් වලට
බලාපොරොත්තුව එයයි....

කාලෙකින් ලියන්නෙ.ඡන්දෙට අහු වුණා.thecolombopost.net එකේ වැඩට ගියා.ඡන්දෙ කාලෙ වගේම ඉස්සරහටත් ඒකෙ අකුරු එක්ක මම පැටලිලා ඉන්නවා.ඒ අතරෙ හදා ගන්න විවේකයෙ මම බ්ලොග් එකත් එක්ක හාදකම තියා ගන්නවා.

මම පුතා ගැන ගොඩක් දේ ලිව්වා.මගේ බ්ලොග් හිතවතුන්ට පුතාව අමුත්තෙක් නෙමෙයි.මානසිකව අඩුපාඩුවක් තිබුණත් ආදරය ලෙංගතුකම පිරුණු ඒ හිතේ පිටාර ගලන කදුළු ගෙදර බිත්ති හතර අස්සෙ අද ඉදන් අහෙන් නැහැ.මහ හයියෙන් කෑ ගහලා උම්මාාාාා කියන්නවත් තාත්තගෙ රත්තරන් ජීවිතේ මම කියන්නවත් මේ උළුවහු ඇතුළෙන් පැන ගෙන හඩ අද ඉදන් අප්‍රේල් වෙනකං අහන්න ලැබෙන්නෙ නැහැ.
අද වීත්තීය පුහුණුව සදහා පුතා පිටත් වුණා.එයා වතුරුගම අමුණකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද ඉදලා නේවාසිකයි.

දරන්න අමාරුයි මේ තනිකම.විදින්න අමාරුයි තනිකම.අඩන්න අමාරුයි ඔක්කොටම වැඩිය.ඇයි අඩන්නෙ කියලා මගේ හිත අහනවා.ගේ ඇතුලෙ තියා ගන්න මගේ ජීවිතය පුරවා ගන්න ඒ අඩුව හිර කර ගන්න මට තියන උවමනාවට වඩා එයාට එයාගෙ අනාගතය වෙනුවෙන් දෙයක් ලැබෙන්න ඕනි.

සමහර වෙලාවට වඩු වෘත්තීය.පෙදරේරු වෘත්තිය,එමෙත් නැත්නම් කෘෂිකර්මය.පුතාගෙ සීමාවන් ඔය ටික අතරෙ සීමා වෙයි.එතනින් එහා අපිට වගේම එයාටත් හීන තියෙනවා.ඒත් එයාගෙ හීන සහ අපේ හීන වලට වඩා වැදගත් ආයතනයක් සාක්ෂාත් කර ගන්න බලාපොරොත්තු වෙන සුදුසුකම් වලින් පුතාට යන්න පුළුවන් දුරයි.

බලමු මට හදල තියන්න බැරිවෙච්ච ගෙයක් උඹවත් හදා ගන්න ඉගෙන ගනිං.මම බලා ඉන්නවා.මගෙ පුතාට මම ආදරෙයි.ඔක්කොම එකතු කළාම ඒ වචනෙට වඩා විශාල දෙයක් නැහැ.
ජයවේවා!

Saturday, November 8, 2014

රටක් වටින දරුවො


මේ සටහන බ්ලොග් එක වෙනුවෙන් ලියූ ‍දෙයක් නොවන බව කිව යුතුයි.මෙය නොවැම්බර් -8 නිකුත්වන 'සිළුමිණ'පුවත්පතේ පළවන ලිපියක්.මේ දරුවන් තිදෙනා ගැන බ්ලොග්වාසීන්ගේද අවධානය යොමු කළ යුතු බව සිතුණ නිසා මේ සටහන ඒ ආකාරයෙන්ම බ්ලොග් එකට කැදවා ඒමට තීරණය කළා.කියවා බලන්න.කැමති අයට මේ දරුවන්ට කතා කර තමන්ට හැකි විදිහට උපකාරයක් කරන්නත් පුළුවන්.                                                                                             

»
»
»
»
»
»
»



ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ
නෙත්මි නිසංසා ද සිල්වා විජේසිංහ ලකුණු 193 - 2009 වසරේ දිවයිනේ දෙවන ස්ථානය
රිසිනු පේෂ්ර ද සිල්වා විජේසිංහ ලකුණු 189 - 2011 වසරේ දිවයිනේ සත්වන ස්ථානය
නිහිදු නේෂර ද සිල්වා විජේසිංහ ලකුණු 196 - 2014 වසරේ දිවයිනේ සිව්වන ස්ථානය

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව තරගය ලංකාවේ විශාලතම අධ්‍යාපනික තරගය වී ඇති වට පිටාවක එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් මෙසේ ප්‍රතිපල ලැබීම අසිරිමත් සිදුවීමකි.එය වඩාත් අපූරු සිදුවීම් පෙළකින් වූ ජයග්‍රහණ බවට පත් වෙන්නේ ඒ පවුලේ යථාර්තයට එබී බැලීමේදීය.

රත්මලානේ පිහිටි ලංකාවේ ප්‍රධානතම බිස්කට් නිෂ්පාදනායතනයක සේවය කළ මේ දරු තිදෙනාගේ පියා වන සුසන්ත ද සිල්වා විජේසිංහ රැකියාව තිබියදී සිය දරුවන්ට උපරිම සැප සම්පත් ලබා දෙන්නට සිහින මැව්වේය.ඒ නිසාම නිසංසා සහ රිසිනු ට ඉංග්‍රිසියෙන් අධ්‍යාපනය ලබා දීමට සිතූ සුසන්ත මේ දෙදෙනාව පළමු වරට ඇතුළත් කරන්නේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලටය.නමුත් වැඩ වර්ජනයක් හේතුවෙන් රැකියාව අහිමි වීමත් සමග සුසන්තගේ ඒ සිහින සියල්ල බිදී වැටෙන්නේය.විශේෂයෙන් නිසංසා ගේ හිත අහළකවත් නොතිබි ශිෂ්‍යත්ව කඩ ඉම ඇය ඉදිරියට වැටෙන විට ශිෂ්‍යත්වයට මුහුණ දීමට තිබුණේ වසරකටත් අඩු කාලයකි.

ලීඩ්ස් හී ඉංග්‍රිසි අධ්‍යාපනය ද සමග ජීවිතයෙ එතෙක් විදි සුඛ විහරණ අහිමිව යන නිසංසාගේ අලුත් විද්‍යාස්ථානය වූයේ ඒ වන විට වැසී යාමේ තර්ජනයකට මුහුණ දී සිටි කුළුපන තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලය විය.දෙමව්පියන්ගේ දිරියත් සමග පාසල රැක ගැනීම උදෙසා යහපත් ප්‍රතිපල ලබා දීමට තිබූ ගුරු උනන්දුවත් සමග නිසංසා ඒ වසරේ මහා විප්ලවයක් කළේ ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි තැනට පත් වෙමින්ය.එහි වැඩි බරක් සිය උර මතට ගත් අනෝමා ශිරානි,මවක් ලෙස නිසංසාගේ සෙවණැල්ල සේ රැදී උන්නාය.

‘ස්කෝලෙන් මහන්සි වෙලා ඉගැන්නුවා.ඒත් දරුවො තුන් දෙනාම පිටි පස්සෙ හිටිය ලොකුම හයිය අම්මා තමයි.’

දරුවන් තිදෙනා මවුපියන් සමඟින්
සුසන්තගේ දෙඇස කදුළෙන් තෙත් වන්නේ සිය දරුවන්ගේ ශක්තිය පිළිබදව උපන් ගෞරවයෙන් වගේම සිය බිරිද පිළිබදව ඇති වූ මහත් ගෞරවය ද හේතු කර ගෙනය.

‘මට විද්‍යා - ගණිත ගුරු පත්වීමක් ලැබෙන්න නියමිතව තිබුණා.නමත් ලිස්ට් එකේ තිබිලා දේශපාලන හේතු මත කැපිලා ගියා.’

අනෝමා ද 80 දශකයේ ඛේදණීය මතකය අවදි කළේ කදුළින් තෙතැති ඇස් සමගය.

‘මමත් බලපිටියෙ ඉදලා කොළඹ ආනන්ද බාලිකාවට ආවෙ ශිෂ්‍යත්වය සමත් වෙලා.මගේ දරුවොත් කවද හරි එහෙම කරයි කියලා මම හීන දැක්කා.ඒත් මහත්තයට ඕනෑ වුණේ ළමයින්ට ඉංග්‍රිසි අධ්‍යාපනය ලබා දෙන්න.කොහොම හරි අන්තිමට දෛවය විසින් කරපු සරදමකින් හරි මගේ හීනයට උපරිම ආශිර්වාදය ලැබුණා.තුන් දෙනාම ඉහළම ප්‍රතිපල පෙන්නලා ලංකාවෙ තියෙන හොදම කාන්තා සහ පිරිමි පාසල් වලට කරදරයකින් තොරව ඇතුල් වෙන්න සුදුසුකම් ලබා ගත්තා.’

එහෙත් එම සිහින වලට තවත් සිහින එකතු වෙමින් ඇත.ඒ දරුවන්ගේ සිහින ද සමගය.වෛද්‍යවරියක් වීම නිසංසාගේ සිහිනය ය.රිසිනු ට අවශ්‍යය මෘදුකාංග ඉංජිනේරුවෙක් වන්නටය.මෙවර ශිෂ්‍යත්ව කඩඉම පැන්න නිහිදු ගේ අධ්‍යාපනයේ අවසන් පිම්ම වෛද්‍යවරයෙක් වීමෙන් නිමා කරන්නට සිහින දකින්නේය.
‘ලොකු දරුවො දෙන්න දවසට පැය හතරක් බස් වල.එක්කෙනෙක්ට දවසට බස් ගාස්තුව රුපියල් සීයක් වෙනවා.’
සුසන්ත දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් විදින දුක් ගැහැට පවසන්නේ වර්ථමානයේ පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිය දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා අසීරු උත්සාහය ද පෙන්වා දෙමින්ය.

‘අම්මා නැගිටින්නෙ උදේ දෙකට විතර.’

එ වෙනුවෙන් දෙමව්පියන් දරන මහන්සිය පිටවෙන්නේ රිසිනුගේ වචන වලින්ය.

‘මම ගණිතය,විද්‍යාව සහ සෞඛ්‍ය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නෙ.මුල් කාලයෙ ලීඩ්ස් වලදී ඉංග්‍රිසි දැණුමේ මූලික දේවල් ඉගෙන ගත්තු එක මට ලොකු ශක්තියක් ඒකට.නමුත් මේ විෂයන් වලට හොද පොත පත සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් උපකාරක පංති වගෙ දේවල් හොයා ගැනීමත් අසීරුයි.’
නිසංසා පැහැදිලි කරන්නීය.

‘ඒවට ලොකු වියදමක් යනවා.දුව මහන්සි වෙලා ඉංග්‍රිසියට පෙරළා ගන්නවා.ඉංග්‍රිසියෙන් ඉගෙන ගන්න දේ වලටත් අපි එයාව පංති අරින්නෙ සිංහල මාධ්‍යයෙන් උගන්නන තැනකට.’

නිසංසාගේ අසීරුතාවය පැහැදිළි කරන්නී අනෝමා ය.

මේ වන විට දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් කුළුපන තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලයට ආසන්නව වන කුලී නිවෙසකට වී මේ දුෂ්කරතා විදින සුසන්තලාගේ පවුලට දැන් තව දුරටත් තක්ෂිලාවෙන් දරුවන්ට ලැබෙන ඥානාලෝකය වෙනුවෙන් එහි රැදෙන්නට අනවැසිය.ඒ තිදෙනාම එයින් ශිෂ්‍යත්වය සමත්ව අවසන් බැවින්ය.

‘අයියා හෙම ගොඩක් මහන්සිවෙලා එන්නෙ.ඒ නිසා මට රෝයල් යන්න බයයි.මට ගොඩක් මහන්සි වෙලා ඉගැන්නුව ස්කොලෙ චන්ද්‍රලාල් පෙරේරා ස්රුත් කියන්නෙ අයිය වගේ රෝයල් යන්න කියලා.මාත් ආසයි.ඒත්....’

පුංචි නිහිදුගේ ඇස් වල ප්‍රශ්නාර්ථයකි.

‘ස්කෝලෙ කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න තියෙනවනම් අයියටයි අක්කටයි මටයි තුන් දෙනාටම එකට ඉගෙන ගන්න පුළුවන්’

පවුලේ බඩ පිස්සා වන නිහිදු, පවුල සමගම රැදී ඉන්නට ඇති උවමනාවද පැහැදිළි කරමින් පවසන්නේය.

‘බාහිර කිසි දෙයක් කරන්න අමාරුයි.ආෆ්ටර් ස්කූල් ඉන්න බැහැනෙ.’

දැනටත් පාරට පැය හතරක් ගෙවෙන ජීවිතයේ දුෂ්කරතාවය සිහියට නගමින් පවසන්නේ රිසිනුය.

‘ඒත් කොහොම හරි ටෙනිස් ප්ලේ කරන්න තියෙනවනම් කියලා හිතෙනවා.ඒත් රැකට් එකක් වුණත් හරි ගණන්නෙ.’

රිසිනු තමන් දකින සිහිනය සැබෑ කර ගන්නට ඇවැසි බාධකය පෙන්වා දෙන්නේය.

‘ඔහොම කිව්වට මේ අය ඒවා ඉල්ලල කරදර කරන්නෙ නැහැ.පුදුම දරා ගැනීමේ ශක්තියක් තියෙන දරුවො.බිස්කට් එකක් කාලා දවසක් ඉදියි.බඩගිණියි කියලවත් අඩන කරදර කරන අය නෙමෙයි.’

සිය දරුවන් කෙරෙහි උපන් ගෞරවය සහ සෙනෙහස සුසන්තගෙ දෙනෙත් යළි යළිත් තෙත් කරන්නේය.

‘ගොඩක් පහසුකම් තියෙන අය ඉන්නවා.ඒත් ඒව නැහැ කියලා මම මොකටද පසුතැවෙන්නෙ.මම ඉගෙන ගත්තොත් හොදට ඒව ලැබෙයි.’

රාජකීය විද්‍යාලය සහ විශාඛා විද්‍යාලය වටා බැදෙන සමාජ පරිසරය තුළ සිය භෞතික අඩු පාඩු ගැටළුවක් කර නොගන්නා බව රසිනු මෙන්ම නිසංසා ද පෙන්වා දෙන්නේ සුසන්තගේ වචන යථාර්තයක් කරමින්ය..

‘අපේ හැකියාවට ගුරු මණ්ඩලයෙන් වගේම යාළුවන්ගෙනුත් හොද සැළකිල්ලක් ලැබෙනවා.’

්ඔවුන්ට ඇති'. ‘හැකි කම’ ගැන මහත් විශ්වාසයෙන් සහ ප්‍රමෝදයෙන් යුතුව ඔව්හූ පවසති.

‘අපේ උපන්ගම හොරණවත් කළුතරවත් නෙවෙන නිසා ද දන්නෙ නැහැ.කවුරුවත් දේශපාලනඥයො මේ දරුවන්ගෙ ජයග්‍රහණ ගැන උනන්දුවෙන් බැලුවෙ නැහැ.’

මේ හැකියාව රටම ආලෝක කළ හැකි අනාගතයක පෙරමග ලකුණුව තිබියදීත් කළුතර දිස්ත්‍රික්කයේ සිටින ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේත් දැවැන්ත දේශපාලන චරිත කිසිවක් මේ දරුවන්ගේ අනාගතය ගැන වගකීමට ඉදිරිපත් නොවීම පිලිබදව සුසන්තලා එසේ පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ජයග්‍රහණ වලදී දේශපාලනඥයන් කරළියට ඒම සාමාන්‍ය සිරිතක්ව තිබෙන බැවින් විය යුතුය.

‘ප්‍රශ්න දිහා මේ දරුවො බලන්නෙ වෙන විදිහකට.’

අනෝමා සිය දරුවන් පිළිබද ආඩම්බරය යළිත් වචන වලට පෙරලන්නේය.

‘මහත්තයාගේ රස්සාව නැති වුණාට පස්සෙ දරුවො බෙහෙත් ගන්න අරං ගිහිං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ පෝලිමේ පැය ගාණක් තියං ඉන්නවා.එතකොට දුව අහනවා අම්මෙ මමත් දොස්තර කෙනෙක් වුනොත් මෙහෙම අමාරු අයට ගොඩක් උදව් කරන්න පුළුවන් නේද කියලා.’

අනෝමාගේ වචනවල රැදී ඇති ආඩම්බරය සහ වේදනාව...

‘මේ ළමයින්ට කැපකරු මාපිය ක්‍රමයට හරි කවුරුහරි උදව් කරනවනම්; මගෙ දරුවො තුන්දෙනා රටට ආද‍රේ කරන දරුවො.එයාලා අනාගතයෙ රටට වැඩදායක දෙයක් කරයි.’

එය කා අතින් හෝ විය යුතු වගකීමක් කොට අනෝමා නොසිතන්නීය.

‘අපේ දරුවන්ගෙ වගකීම අපි දරන්න ඕනි.ඒක කාගෙවත් වැඩක් නෙමෙයි.ඒත් මේ දරුවො රටට වැඩක් කරන දක්ෂ දරුවො.ඒ ගැන හිතල එක්කෙනෙක්ට හරි කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් වෙනවනම් අපිට පහසු නිසයි එහෙම කිව්වෙ.’

අනෝමා ඉකිගැසීම ආසන්නයේ සිය වචන ගිල ගන්නේය.

‘මට ගොඩක් සංතෝශයි.මම නිසා තමයි මල්ලිලා විභාගයට ඔය තරම් හොදින් මුහුණ දෙන්න සූදානම් වුණේ.ලොකු මල්ලි ශිෂ්‍යත්වය කරන කාලෙ මම හිටියෙ හොස්ටල්.පොඩි එක්කෙනාටනම් මම පාඩම් හෙම කියා දීලා උදව් කළා.ඒ අය හරි හොදයි.රණ්ඩු වෙන්නෙ නැතිව මම කියන දේවල් අහගෙන ඉන්නවා.’

රට කතා කරන මාතෘකාවක් බවට සිය පවුල පත් කිරීමට පුරෝගාමීත්වය ගත් නිසංසා පවසන්නීය.වචනයකින් වචනයකට පිවිසීමට පවා බොහෝ වෙලාවක් ගන්නා නිසංසාගේ මුවින් අනවශ්‍යය වචනයක් හෝ පිට නොවන්නීය.

‘අමාරුකම් තියෙනවා.ඒ වුණාට අපි තියෙන විදිහට ඉගෙන ගන්නවා.භාහිර දේවල් කරන්න ගිහිං අම්මටයි තාත්තටයි කරදර කරන්න යන්නෙ නැහැ.එයාලගෙ හැම දෙයක්ම අපි වෙනුවෙන් කැප කරනවා.අපිට ඕනි ඒකට හරි යන්න හොදට ඉගෙන ගෙන අම්මටයි තාත්තටයි සළකන්න.’

රිසිනු තමන්ගේ අවසාන අධ්‍යාපන ඉලක්කය ජය ගැනීමෙන් පසුව කරන්නට සිතා සිටින දේ පැහැදිළි කරයි.ඒ තිදෙනාගේම සිහිනය බව නිහිදු සහ නිසංසා ද අවධාරණය කරන්නේය.

‘රටක් වටින දරුවො තුන් දෙනෙක්!’

පිටත් වන්නට වාහනයට ගොඩ වී මද වේලාවකට පසුව ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මමත් එකිනෙකාට කියා ගතිමු.ඒ වටිනාකම ආලෝකමත් කළ හැකි ශක්තියක් ඇත්තෙකුට, මේ වටිනා දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට සරණක් වන්නට හැකිය.කුළුපන තක්ෂිලා කණිෂ්ඨයට හූවක දුරින් ඇති මේ දරුවන්ගෙ කුලී කැදැල්ලේ යොමුව ‘පාලි සෙවණ'.කුළුපන, හොරණ ය.දුරකථනයෙන් සුසන්තව සම්බන්ධ කර ගන්නේනම් 0713 429252 දුරකථන අංකය හරහා තොරතොරු දැන ගැනීමට හැකිය.

Monday, November 3, 2014

ඊ ළග නායකයා කවුද?


මේ මොහොතේ රටේ ඊ ළග ජනාධිපතිවරණය ජය ගන්නේ කවුරුන්ද යන්න සාකච්ඡාවට බදුන් වී තිබෙන මොහොතයි.මහින්ද රාජපක්ෂ ද,රනිල් වික්‍රමසිංහ ද යන්න තීරණය කිරීම පිණිස දැනටත් ගමේ කඩ පොළේ සිට නගරය සුපර් මාර්කට් දක්වා සංවාද කරන මිනිසුන් දැකිය හැකිය.

රාජපක්ෂට ඇති ප්‍රධාන සුදුසුකම ලෙස බොහෝ අය දක්වන දේ අතර ඔහුගේ රැවුල ද සාධකයක් ලෙස කතා බහට ගැනෙයි.එය හොද සාධකයකි.ඔනෑම ජරාවක් පිස දැමීමට එය මුඩුවක් කොට හෝ භාවිතා කළ හැකිය.රනිල්ට සිදු වන්නේ ඒ නිසා ජරාවට බියෙන් සිටින්නටය.නොගා ගෙන සිටින්නටය.එසේම මහින්දගේ පුරුෂකම පැහැදිළි කරන්නට පුතුන්ද සිටින්නේය.ඒ නිසා දැනට ද සිදුවන ආකාරයට රජ පුතුන් ලෙස තාත්තාගෙ ඇවෑමෙන් ඉහළ සැප සම්පත් භුක්ති විදින්නට ද,රටේ සම්පත් බෙදා හදා ගෙන පරිහරණය කරන්නට ද එවැනි දරුවන් සිටීම ගැන ඔහුට පක්ෂපාති ජනතාව ඉන්නේ මහත් සතුටින්ය.හැමදාම කාගේ හෝ බැලයෙක් ලෙස ජීවත්වීමෙන් සංතෘප්තියට පත් වීමට හුරු අපේ වැඩවසම් මානසිකත්වය එය අපහසුවකින් තොරව විදිමින් නැතිකම සහ ඇති කම කරුමය ලෙස අරුත් ගන්වන්නට සමත්තුය.රනිල්ට එසේ බෙදා හදා ගන්නට කිසිවෙක් නැති නිසා එය ඒ වැඩවසම් ක්‍රමයට පට්ටම අවුලක් වන්නේය.

මේ මේ දෙදෙනා ගැන කතා බහය.ඒත් ඊළග යන්නෙන් අදහස් කළේ සැබවින්ම මේ දෙනොගෙන් පසුව මේ පක්ෂ දෙකට හෝ නායකයෙක් සිටීද යන්නය.පේන තෙක් මානයක නැත.ලොකුම අවුල තියෙන්නේ එතැනය.නායකයෙක් නිරුමාණය විය යුතුය.එවැන්නෝ නිර්මාණය කිරීම කළ නොහැකි අතර එවිට බිහි වන්නේ රටට හිතකර අයෙක් විය නොහැකිය.

මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව එවැන්නෙක් නිර්මාණය කරමින් සිටින්නේය.එතුමාගේ නෑ සනුහරේම දැන් දේශපාලනයේ සිටිති.ඒ අය කැබිනට් ඇමතිවරුන්ටත් වඩා බලවත්ය.එය අමුතුවෙන් හංගන්නට දෙයක් නැත.ඇමතියෙක් පමණක් නොව ජීඑල් වගේ ප්‍රාඥයෙක් සිටියද ජනාධිපති නාව උත්සවයක ප්‍රධාන තැන ගන්නේ නාමල් සිටී නම් ඔහුය.ඇමතිවරු විවිධ දේශපාලන ව්‍යාපෘති කර මහ හඩවල් දෙමින් ලකුණු දා ගන්නට කැස ගසා සිටියදී,එතැනට පාත් වෙන නාමල් පීත්ත පටිය කැපීමේ වගකීම දරද්දී,මහා කැබිනට් අමාත්‍යවරයාට සිදුවන්නේ අත්ල ලෙලි යනතුරු මහ හඩින් අත්පොළසන් දීමටය.මේක ඇත්ත ද නැද්ද යන්න තීරණය කිරීම අත්දැකීම් මතම සිදු කර ගැනීමට හැකිය.

රනිල්ගේ යූඇන්පී යේ එහෙම වැඩක් නැත.සජිත් වරෙක නියෝජ්‍ය නායක වන්නේ සහ තවත් වරෙක උප නායක වන්නේ ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොමැති බව පහදමින්ය.එය තුළ තිබෙන්නේ නිර්මාණය විය හැකි අවකාශයක්ය.එය බලය සහ වැඩ ක්‍රියාවෙන් සිදු විය යුතුය.එකක් තුළ එකෙක් හදන්නට හදමින් සිටින අතර එකක් තුළ එකෙක්ට හැදෙන්නට ඉඩ ඇත.මේ අවස්ථාවන් දෙක බුද්ධිමත්ව පරිශිලනය කිරීම වැදගත්ය.

අවසානයේ ඊළග නායකත්වය ගැන කතා කිරීමට ප්‍රථම ඊළග නායකයා කවුරුන් ද යන්න තීරණය කිරීමට ඇති අපට ලැබෙන බලය ද.කලපනාකාරීව භාවිතයට ගත යුතු වන්නේය.බෙදා ගෙන කෑමද බදා ගෙන කෑමද යන්න එහි දී කලපනාවට ගැනීම  නායකයාගේ කවුරුන්ද යන්න තීරණය කිරීම  පිළිබදව සැළකිල්ල යොමු කිරීමේදී අතිශයින් වැදගත්ය.


Thursday, October 30, 2014

කොස්ලන්දෙන් පායන සද?



හීනියට හඩන ඇස්
කූඩයට ඔබා ගෙන
 කහට ගෑ ‍තොල් අතර
සිරික්කිය පුරෝගෙන
පාට වියැකුණු රෙද්ද
හිසේ සිට එලාගෙන
කාටවත් නොපෙනෙනා
අදුරේම පිටව යන

ලැයිම් කාමර වලට
ඉර එළිය වඩින කොට
අඩු කෝප්පෙක තරම
දාඩියත් පුරෝ ගෙන
පීප්පෙක තරම් උස
කූඩයට පිරී ගිය
දල්ලෙ කහටක් මිසක්
හිතේ කහටක් නැතිය

පිළිවෙලට ඇමිනෙන්න
අකුරු දැණුමක් නැතිව
හඩන පොඩි වුන් දිහා
නොදත් කම දරා ගෙන
වත්තෙ රස්සාවෙ ගුණ
හැමදාම කියා දෙන
ලෙච්චමී පස් ගොඩක
හැංගුණේ කිමද නුඹ

තොණ්ඩමන් කියන තුරු
අයිතියක් නොදැන සිටි
වත්තෙ මහතුන් තෙමේ
රහතුන්ව සිතා සිටි
රටේ කාගෙත් බතට
ලුණු ඇටක් තරම හෝ
මුසු කරන්නට ඔබේ
අතේ සවි හේතු විය

පවුකාරයන් මඩිය
තර කරන්නට හෙළුව
දාඩියේ සාපයද
කන්දකට යට වුණේ
අව් කණ්නාඩියෙන්
නුඹ නොදුටු පාපයද
ඇස් අගට කදුළු වී
අපෙ ඇසේ මතු වුණේ

පිංතාලියක් වී
හැම කහට උගුරටම
නුඹේ රස මුසු වුණේ
පව්කාරියක් යැයි
ඉතිං කොහොමද නුඹව
කන්දකට වැරදුණේ

තව වාරයක් යැයි
බලය ඇති අය නිබද
සටනකට අර ඇදේ
උන්ගෙ අත පසු වීම්
වළලද්දී මිනිසුන්ව
නින්දෙන්ම නිදි ඇදේ

නුඹේ හුස්මත් එක්ක
අලුත් හුස්මක් ගන්න
මිනිසුන්ගෙ පෙරහැරේ
වතු අයිති මහත්තුරු
නුඹේ ලේ බිව් නඩේ
වැලලේවී සිව් අතේ

අලුත් අකුරක් අරං
දෙගුරුන් ගෙ මල බතේ
හැගුම් පොකුරක් තබා
පිට වෙන්න දරුවනේ
නුඹේ දාඩිය එක්ක
කෙළි කවට වතු කරේ
හෙටින් අවසන් කරන
සටන එයි පෙර මගේ









Sunday, October 19, 2014

බලු කම


මනුස්සයට හිතවත්ම සත්වයා බල්ලා කියලා අපි අහලා තියෙන්නෙ පොඩිම කාලෙ.මේ දවස්වල බල්ලො ගැන විතරක් නෙමෙයි පූසො ගැනත් ලොකු අර්බූද ගාණකට හිත වද විදිනවා.පූසො කතාවටනම් මුල පහු ගිය කාලෙ අපේ ගෙදරට ආව ගිය අයට මතකනම් හුරතල් වෙවී හිටිය පූස් පැටව් ටික.දැන් හතර දෙනාම සූරයො වගෙ ගෙදර අනිත් පැත්ත පෙරලනවා.කවුරු හරි ඇහැව්වම දෙන්න හා කිව්වත් ඒක නිකං අර වැල මිට පස්සෙන් අල්ලල තේ බොන්න කතා කරනවා වගේ වැඩක්.දෙන්න හිතක් නැහැ.

මුන්ගෙ දැගලිල්ල කොච්චර ද කියනවනම් මේ වෙන කොට එකෙක් ඇහැකට කෙළව ගෙන.ඒක කවදාවත් පේන්නෙ නැති වෙයිද දන්නෙ නැහැ.දැන් බෙහෙත් කරන් යනවා පශු වෛද්‍ය උපදෙස් මත.තව එකෙක් අණ්ඩක් කඩා ගෙන.සමහර විට උට ඔපරේෂන් එකක් කරන්න වෙයිද දන්නෙ නැහැ.ඒ තරම් අමාරුයි.මේ සුමානෙ බලල ඒක ඉක්මණට කරල දාන්න වෙනවා.

දැන් ආයෙත් බලු කතාවට.බල්ලො හරිම හිතවත්.ඒ නිසා උන් හරිම මිත්‍රශීලීයි.තමන්ගෙ හිතවත්කම වෙනුවෙන් ඕනි දෙයක් කරනවා.අපේ ගෙදර ආව ගිය අය දන්නවා පාරෙ හිටිය බලු රෑන.උන් ඒ පාරෙ සිකුරටි එක වගේ.දන්නෙ නැති කෙනෙක් පාරට ඇතුල් වුනොත්,ඒ පාරෙ ගෙදරක කෙනෙක් බලල ඕකේ එක දෙනකං බල්ලො ටික පස්සෙන් බුරා ගෙන වැටෙනවා.ඒ වගෙම තමයි කුඩු සෙට් එකට පත්තර,බෝතල් එකතු කරන්න පාරට ඇතුල් වෙනවනම් ඒ දේ කර ගන්න වෙන්නෙ අරුන් විසින් නොනවත්වා පවත්වන බලු ඝෝෂාව මැද්දෙ.

මේකෙ ලීඩර් හිටියෙ බැල්ලියෙක්.උා තමයි මේ ආරක්ෂක වැඩ පිළිවෙලේ ප්‍රධානියා.එන්න එන්න වයසත් එක්ක මෙයා දිරලා ගියා.විශේෂයෙන්ම හැව මාරු වෙන්න වගෙ තියෙන ලොම් ටික හැලිල ඇගේ හමේ පාට ප්‍රසිද්ධියෙ ප්‍රදර්ශනය වෙන්න ගත්තා.කන බොන එක සීමා වුණා.වේදනාව වැඩි වුණා.උා ටික ටික මේ පෙණුම නිසා මිනිස් ඇසුරෙන් ඈත් වුණා.නමුත් මම ගේ ළගට ආවම කන්න දෙයක් තිබුනොත් ගේට්ටුව අස්සෙන් දැම්මා.මොකද ළගට ගියොත් මූ උගේ තත්ත්වය ගැන තේරුම් ගන්න බුද්ධියක් තියෙන සතෙක් නොවන නිසා උගේ අපිරිසිදු කම සහ ඒකෙන් මට සෞඛ්‍යමය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටළු ගැන උෟ නොදන්න නිසා හැම වෙලේම බැලුවෙ ඇගේ එල්ලෙන්න.

බුද්ධිය ගැන කිව්වම මතක් වුණේ බල්ලට මම හිතන්නෙ බුද්ධිය නැහැ.ඉව තියෙනවා.පුරුද්ද තියෙනවා.ඒ වුනාට හිතල තීරණ ගන්න කල්පනා ශක්තියක්.තාර්කික බුද්ධියක් උට ඇති වෙන්නෙ නැහැ.සමහර බල්ලො කන්න පුරුදු වුනාම හොද නරක පෙණුම අදාළ නැහැ.උෟ කවුරු වුණත් හපා කනවා.උට කන්න දෙන කෙනා කවුද කියන එක විතරයි වැදගත්.ඒ හොරෙක්,බොරුකාරයෙක්,මංකොල්ලකාරයෙක් වුණත් බල්ලට වැදගත් නැහැ.ඒ වෙනුවෙන් ඕනෑම හොද කෙනෙක්ව නිරපරාදෙ හපා දාන්න බල්ල ඉදිරිපත් වෙනවා.

මේ වගෙ මේ බැල්ලිට මෑත කාලෙ සියල්ල අමතක වෙනවා.මම හිතන්නෙ වේදනාවට.ඒ වගේම උෟව සෙක්සුවල් අතින් දිරා යාමත් බලපාන්න ඇති.හම ගිය උෟව රැලේ කාලෙට පූට්ටු වෙලා ඉන්නවා දැක්කෙ නැහැ වගේම වාර ගණනකින් පැටව් ලැබුණෙත් නැහැ.ඒ නිසා වෙන්න ඇති එයාගෙන් පැවත එන පරපුරේ කාන්තා පාර්ශවය එක්ක එයා නිතර පැටළුණා.දුවල මිණිපිරියො එක්ක.

මේ තත්ත්වය දරුණු වුණේ වේදනාව දරා ගන්න බැරිව ඒ පාරෙ කිහිප දෙනෙක්වම කෑවට පසුවයි.ඒ සමගම බුද්ධිමත් මිනිස්සු බැල්ලි ගැන අතීතය සම්පූර්නයෙන් වළලා දැම්මා.ඌ කැලේට පැනල වගේ හිටියෙ.දකින්නම නැහැ.ඉද හිට හෝ කොහේ හරි හැංගෙන තැනකින් කෑමක් හොයා ගන්න ආපු වෙලාවටත් මූ මිනිස්සු හපාකාලා යන්න පටන් ගත්තා.

දවසක් උදේ මාත් එක්ක බැල්ලිගෙ සපා කෑමට ලක් වුනු කෙනෙක් කතා කර කර හිටියා.ඔයා වුණත් පරිස්සම් වෙන්න.දැක්කත් ළගට යන්න එපා.කොච්චර කන්න බොන්න දුන්නත් ෂුවර් නැහැ කියලා ඒ මනුස්සය කිය කියා ඉද්දි මම කිව්වෙ මට නම් එහෙම කරන එකක් නැහැ කියලා.මට බල්ලො පශ්චාත්තාප වෙන වැඩ කරන්නෙ නැහැ කියලමයි හිතුණෙ.

බන්ධනාගාරෙ නාට්‍යයෙ කොල්ලෙක් දවසක් මට අමුතු ටෝක් එකක් දුන්නා.නාට්‍ය ගැන ලොකු ලොකු කතා කිය කිය හිටියට වේදිකාවෙ හැරෙන හැටි ඉද ගන්න හැටිවත් නොදැන සිටිය මනුස්සය ඒ වැඩෙන් පස්සෙ විනය හේතු මත නාට්‍යයෙන් ඉවත් කෙරුණා.ඒත් මනුස්සය මේ ළගදි බලපත්‍ර මණ්ඩලයෙන් නිදහස ලබලා.ඒකට ගිය ගමන්ම නාට්‍ය දැකලා තිබුණු නිලධාරි ඒ ගැනලු කතා කලේ.මනුස්සය නිදහස් වෙන්න මග නාට්‍යය කියලා දැන් මා එක්ක කතා කරන්න අවස්ථාවක් අරං දෙන්න කියලා අඩනවලු.ඉතිං මම කිව්වා නොදන්න දේ ඉගෙන ගන්න ඕනි.උගන්නපු කෙනා නෙමෙයි ඉගෙන ගත්තු දේ අමතක නොකිරීමයි වැදගත් හරියට දෙයක් කරන්න අපිට බලං ඉදල සතුටු වෙන්න පුළුවන් කියලා.සමහර මාර වැඩකාරයො කියලා පෙනී සිටින සහ ඇතැමුන් විශ්වාස කරන අයත් අපිට වැඩ වලදි හම්බ වෙලා තියෙනවා.ඒ අයත් වේදිකාවෙ හැරෙන්න ඉද ගන්න දැනං හිටිය අය නෙමෙයි.පස්සෙ කාලෙක ඒ අයගෙන් අපි ඉගෙන ගත්තා වගේ කතා කරලා පුළුවන්නම් මූණට කෙළත් ගහල යන්නෙ.හිර ගෙදර නෙමෙයි පිටත් ඒ විදිහෙ පුනරුත්ථාපන අවශ්‍යය අය ඉන්නවා. ඒ වගේ වෙලාවක පුනරුත්ථාපනය වෙමින් ඉන්න කෙනෙක් එහෙම කියපු එක සුළු දෙයක් කියලා මම මග ඇරියා.

මම බැල්ලි එහෙම කරන එකක් නෑ කියන එක හිතුවට ඒකිත් වේදනාවට ඒ ජාතියෙම වැඩක් කළා.අර මනුස්සය සමග කතාව අස්සෙ ගේ ළග නවත්තලා තිබුණ කාර් එකක් අස්සෙන් බඩ ගා ගෙන ආපු බැල්ලි මට කන්න පැන්නා.මම හතර වරක් උගෙ ඉලක්කයෙන් බේරුණා.ගේට්ටුව හදිස්සියට ඇර ගන්නත් බැහැ.ගහන්න හිත දෙන්නෙත් නැහැ.කතා කර හිටපු මනුස්සය අලි ගල් ගෙඩියක් අරං මා පස්සෙන් එහාට මෙහාට පනින බැල්ලිට කුරුමාණම් අල්ලනවා.ඒක බැල්ලිට නොවැදි මට වැදුණත් බඩු බනිස්.

බේරෙන්න බැරි තැන මම පැත්කට පැනලා පයින් පහරක් ගැහැව්වා.ඒකි මීටර් 3 ක් විතර වීසි වෙලා ගිහිං වැටුණා.නැගිට ගන්න බැරිව කෑ ගැහැව්වා.කෙදිරි ගෑවා.ඊට පස්සෙ අමාරුවෙන් නැගිටලා එතන තියෙන හදන ගේ අස්සට රිග ගත්තා.මම හවස බන්ධනාගාරෙ ඉදල ගෙදර එනකොට ඌ මැරිලා.නගර සභාවෙන් ඇවිත් අරං ගිහිං.ඒත් ඌ මගේ හිතේ ඉන්නවා.ඒකෙන් එලව දාන්න බැහැ.කොහේ හරි දවස් කිහිපයක ගමණක් ගිහිං එනවනම් ගෙදරට හැරෙන පාර ගාව ඉදල ඇගේ එල්ලෙමින් එන අැගේ දැවටුන බැල්ලිගෙ මතකය උගේ ගුණය මම කොහොමද බල්ලෙක් වගේ අමතක කරල දාන්නෙ.

'මම මනුස්සකමට දරා ගෙන හිටිය දේ උගේ බලුකමට තේරුණෙ නැති නිසා තමයි මග හරින්න මග හරින්න පැන්නෙ' කියල මට ජයන්ත අයියා කියන අසල්වාසියා කිව්වෙ. මනුස්සකමට දරාගෙන  ඉන්න ඉන්න නිරපරාදෙ බුරාගෙන පනිනවනම් බල්ලො මරන්න ඕනි මම මටම කියා ගත්තට මනුස්සෙක් නිසා ම මගේ හිතට බැල්ලිව මතක් වෙනවා.

පව් නොදන්න කම, බලු කම!
මනුස්සයො වුණහම ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න ඕනි.