Friday, July 15, 2016

දුටු තැන අල්ලනු සහ අල්ලන්නට බැරි තරම් අවුල

පහුගිය කාලේ අපේ රටේ තිබුනේ පහුගිය කාලේ විතරක් නෙවෙයි අද සහ මේ යන විදිහට ඉදිරියේ තවත් අවුරුදු ගණනාවක්ම තියෙන්නේ පුදුම මජර දේශපාලන ක්‍රමයක්නේ. අපි මේක එපා කියල අරක හොඳයි කියනවා, ඒක නරකයි කියල ආයේ මේක තෝරාගන්නවා.
--- මිනිසා කියන කෙනා බලාපොරොත්තු අත් නොහරිනා නිසා මේක නැත්නම් ඊලඟ එක හරියයි කියකියා ජීවත් වෙනව. කුණුවෙලා තියෙන සමාජයක් එකපාරටම ගොඩදාන්නත් බැහැ. මේ කුණුගොඩෙන් ගොඩ එන්න අපිට සෑහෙන කාලයක් යයි. මොකද එකම කට්ටියනේ මේ කැරකෙන්නේ. ""දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්නේ.""
--- පොදු ජනයා විදිහට අපිට තමයි එළවළු ගණන්. අපිට තමයි පාරෙ යන්න වාහන තදබදය. අපිට තමයි පාරට බැස්සහම බස් කෝච්චි නැත්තේ. සාමාන්‍ය මිනිහට තමයි ලැබෙන සොච්චම් පඩියෙන් ජීවත් වීමේ අරගලය තියෙන්නේ.
--- සමහරු තාම කියනවනේ අයියෝ මේ 'වෝකිං පාත්', 'හයි වේ', 'පෝර්ට් සිටි' හද හදා හිටපු ආණ්ඩුව එළවල, මුන් මොනාද කරන්නේ කියල. අපිට ඒවා විතරද ඕනේ? මම විශ්ව විද්‍යාල තුනක උගන්නනව. දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගත්තොත් මම ඒ අයගෙන් අහනව මොකක්ද අවසානයට කියවපු පොත් කියල. පොත් තියා පොතක් දැකලවත් නැහැ.
- Kaushalya Fernando -
නොබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කාගේ ‘ඔපෙරා වොන්යෝසි’ නමැති නාට්‍ය පිටපත ඇසුරින් කෞශල්‍යයා ප්‍රනාන්දු නිර්මාණය කළ 'දුටු තැන අල්ලනු් නාට්‍යයට පේරාදෙණිය වලේ දී ගල් ප්‍රහාර එල්ල වන්නට ප්‍රථම ඇය මුහුණු පොතේ තැබූ සටහනක මේ බව කියා තිබිණ.
කෞශි ලාංකේය වේදිකාව,පුංචි තිරය සහ සිනමාව යන ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ හොඳම නිළිය වීමේ භාග්‍යය ලත් තැනත්තියකි.ඇය සෝමලතා සුබසිංහගේ දියණියය.ඒ නිසා ඇය ඉදිරිපත් කරන හෝ දායකවන නිර්මාණයක ගුණාත්මකභාවය පිළිබද ඇයගේ උගත්කමේ සාධක නොගෙනාවට ඇයගේ භාවිතය විසින්,පවුල් පසුබිම විසින් ඇති කර තිබෙන සාධක ප්‍රමාණවත්ය.
වොලී සොයින්කා 1986 සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සම්මානයට පාත්‍ර වෙන්න පෙර 1977 දී නයිජීරියාවේ බොකාසා පාලනය විවේචනයට ලක් කරන්නයි මේක ලියලා තියෙන්නෙ.ඒ ඇති වී තියෙන මිනීමරු ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රහසනාත්මක විවේචනයක් විදිහට වොලී අතින් ලියැවෙන මේ පිටපත ඇසුරෙන් අනුවාදිත නාට්‍යය පේරාදෙනිය සරසවිය ඇතුළත දී බොකාසා පරපුරේ විවේචනයට ලක් වුණා ද යන්න විමසා බැලිය යුතුයි.
තව කාලයකින් මේ සමාජය පෙරමුණට රැගෙන යන්නට වගකීම පැවරී තිබෙන පිරිසනම් මේ ආකාරයට හැසිරෙන්නෙ අපේ රට ලෝකය ඉදිරියේ පසුපසින් තැබෙනු ඇතැයි සිතිම අරුමයක් ද?
"අප‍්‍රිකාවේ සිටි වඩාත් කෲරතම ඒකාධිපතියෙකි. මිනීමස් කෑම ගැනත්, තම සතුරන්ව සතුන්ට කෑමට සැලසූ බවටත් චෝදනා ලැබූවෙකි. 1979 දී බලයෙන් පහ කෙරෙන තෙක්, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ අධිරාජයා වශයෙන් තමන් විසින්ම ඔටුනු පළඳාගෙන සිටියේය. ඔහු දරුවන් 62 කු ජාතක කෙළේය. නැපෝලියන් බොනපාට් කෙනෙකු මෙන් ඔටුනු පැළඳීම සඳහා ඔහු වැය කළ මුදල, මුළු රටේම වසරක දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ය.’’
සරළව කිවහොත්, බොකාසා යනු, තමාගේ පුද්ගලික මනදොළ සපුරා ගැනීමට ගැළපෙන පරිදි, ආණ්ඩුකරණයේ පිළිගත් සෑම ප‍්‍රතිපදාවක්ම ඉවතලූ, දේශපාලනික උන්මත්තකයෙකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, බොහෝ කාලයකට ගොඩ ඒමට නොහැකි වන පරිද්දෙන් ඔහුගේ රටට වින කෙරූ අයෙකි."
ලන්ඩන් ගාඩියන් පුවත්පත කියූ බවට මේ සටහන කළඹ්ඹු ගාර්ඩියන් පුවත්පතෙනි.එසේනම් මේ පිරිස පෙනී සිටින්නේ සමස්ත නාට්‍යයේ අරුතට අනුව බොකාසාගේ සිස්ටම් එක අපහාසයට සහ උපහාසයට ලක් කිරීමට එරෙහිවය.ඒ වොලී සහ කෞශල්‍යයා ගැන හැදෑරීමේ දුර්වල කමක් නිසා සිදු වූවක් විය යුතුය.
විශ්ව විද්‍යාල සිසුන් එවැනි හැදෑරීමකින් තොරව සහ මූලික පදනමකින් තොර වීමම මට සිතෙන්නේ ඛේදවාචකයක් බවය.සිප ගැනීම් සහ මෙහි වීඩියෝවෙ එන රංගන ශිල්පිණියගේ සුන්දර දෙපය විඳ ගැනීම බොකාසා විරෝධයට වඩා වැදගත් සංස්කෘතික ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස ඔවුන්ට සිතීමම ගැටළුවක් නොවන්නේද?
මේ රටේ දේශපාලන ඛේදවාචකයමය.මීනීමස් බුඳින්,සිය කිරුළු පැළඳීම වෙනුවෙන් රටේ ආදායමම විනාශ කරන පාලකයෙක් නිර්මාණය කරන ක්‍රමවේදයකට තල්ලුවීමේ අවදානමට වඩා වැදගත් වන්නේ මේ සංස්කෘතික ආගමික මිත්‍යාව රැකීමය.ඒ තරමට ජනතාවගේ ඔළු කුහර පුළුල් නොවීම තුළ පටු විනාශකාරී පාලකයාගේ පැවත්ම පහසුය.ඒ නිසා මේ පොළව බොකාසා ලා පැටව් ගසන්නට තරම් කොදු නාරටි බිදුණු පටු හැඟීම්වලින් යුත් නිල උගතුන්ගේ පාරාදීසයක් වීමේ අවධානමට මුහුණ පා සිටියි.
දුටු තැන අල්ලනු නාට්‍යයට ගල් ගැසීම නාට්‍යකට ගල් ගැසීමක් නොවන පුළුල් ලෙස අපේ රටේ විශ්ව විද්‍යාල සිසුවාගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේ එබැවින්ය.මේ රටේ විශ්ව විද්‍යාල පරපුර ලෝකයේ අලුත් ප්‍රවනතා වැළඳ ගැනීම පසෙකලා අතීත කාමය වළඳන එ් අනුව සමාජ රාමුවේ හතර කොන සටහන් කිරීමේ අරගලයට පැමිණ දැන් බොහෝ කල්ය.ඒ නිසාම මේ රටේ උගතුන් යනු කාලයක සිට නිර්මාණය වන්නේ සහ උත්පාදනය වන්නේ ලෝකයට අභියෝග කිරීමේ දැණුම,නව ප්‍රවනතා සහ තාක්ෂණය සමඟ එක පෙළට සිට ගැනීම පසෙකලා ගුහාගත වීමේ අරගලය තුළ සිටි සාමාජික සාමාජිකාවන්ගෙන් වීම විශාල ඛේදවාචකයකි.
ඒ නිසා දේශපාලකයාගේ තීරණවලට හැසිරෙන එහෙයි කියන පාලකයාගේ සුවච කීකරු ගෝලයන් මිස රටේ නැඟී සිටීම වෙනුවෙන් දේශපාලන නායකත්වය සමඟ ලෝකයේ නව ප්‍රවනතා පිළිබදව අදහස් ඉදිරිපත් කරන පරිපාලන නිලධාරි ව්‍යහුයක් අපට කලකින් ලැබෙනු නැත.
මේ සමඟ දුටු තැන අල්ලනු නාට්‍යයේ වීඩියෝ දර්ශනයක් සහ සොයිනකෝ ගේ සහ බොකාසාගේ තොරතුරුවලට අදාළ ලින්කු ද ඉදිරිපත් කරමි.


Friday, June 3, 2016

පුතාගේ ස්ට්කරය බොද වීම සහ අතුරු කතා

මගේ බ්ලොග් සටහන් කියවන බොහෝ දෙනෙක් මගේ පුතා ගැන දන්නවා.ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්.

මේ සටහනට යොදා තිබෙන පිංතූරය රවීන්ද්‍ර පුෂ්පකුමාර ගත්තු එකක්.ඒ පුතාට අවුරුදු තුනේදී.අපි ඒ කාලෙ හිටියෙ රජයේ කර්මාන්තශාලා සේවක නිවාස වල.රවිය මාත් එක්ක වැඩකට ගිහිං ඇවිත් යන්න හදද්දි චූ කෑල්ලත් එළියෙ දාගෙන ගිය කොල්ල රවිය රවිය කියලා කතා කළා.ගේට්ටුව අස්සෙන් එබිල ඉන්න හෙළුම කොටා රවිය කැමරාවේ අලෝ ගත්තා.


මේක ප්‍රසිද්ධ පිංතූරයක් වුණේ ලක්ජන පත්තරෙන්.ඒකෙ මංගල කළාපයට රවියගෙ මේ පිංතූරය තමයි යොදල තිබුණෙ.ඊට පස්සෙ මේක අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් 2002 පේරාදේණිය සරසවියෙ මාගේ දේශය අවධි කරනු මැන වැඩ සටහනට යොදා ගත්තෙ මුද්‍රණය කරල විකුණන ස්ටිකරයට.ඒ ස්ටිකර් එකට විකුණන කොටනම් මේ දරුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇති දෙමව්පියන්ගෙ දරුවෙක්ද කියන එක හෝ ලංකාවෙ අන්තරය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාර රකින්න දඟළන අධයාපන ක්‍රමය ඇතුළෙ කවදාවත් විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි විශේෂ ළමෙක්ද කියන එකවත් අහලවත් හොයලවත් තිබුණෙ නැහැ.

මම හිතන්නෙ ඒ අය ඒක හොයන්නෙ රැග් එක විවේචනය කරන කොට විතරක් වෙන්න ඇති.නැත්නම් ඔවුන්ගෙ සටන් කරගෙන යන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් කැට අල්ලනවනෙ.


කෙහොම හරි ඊට පස්සෙත් මේ පිංතූරය කොල්ලටවත් රවියටවත් පලක් ඇති දෙයක් වෙන්නෙ නැතුව තැන තැන පළ වුණා.එහෙම පළ කරපු තැනෙක කොල්ලගෙ පිංතූරය ජේසුගෙ උපතට අදාළ කර ලියූ ගීතිකාවකටත් යොදා තිබුණා.ඔය පොත මට ගෙනත් දුන්නෙ මංජුල වෙඩිවර්ධන.පියතුමෙක් ලියපු ගීතිකා පොතක්.

ඒක කොල්ලගෙ ජීවිතයට වඩා කන්‍යා සොහොයුරියකගෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවො ගැන තිබුණු දුර්මතය දුරු කරන්න සමත් වුණා.ඇය ඒ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් ඇති තැනත්තියක් බවට පෙරලන්නට ඒ පොත බලපෑවා.


මුලටම ගිහිං ඒ කතාව පටන් ගත්තම කොල්ල පාසල් ගියේ කොළොන්නාව ශාන්ත ජෝෂප් විද්‍යාලයට.ඒකට පල්ලියෙ පාසල කියලත් කියනවා.පුතාව ඇතුල් කරාම සමහර දෙමව්පියො ඒ අයගෙ දෙවොලට සතෙක් රිංගුව වගේ තමයි බැලුවෙ.මම වැඩිය සත්තු කෑ ගහන එක ගැන තකන්නෙ නැති නිසා මට ඒක අවුලක් වුණේ නැහැ.

හැබැයි අපි මේ දරුව ගැන ගුරුවරියට කියල තිබුණු දේ නිසා ඇය දෙමව්පියෝ දැනුවත් නොකරන්න හුඟ දෙනෙක් අපේ එකාව පෙණුමෙන් එහෙමයි කියල දැනං හිටියෙ නැහැ.අර දේවාලෙ කපුවො වගෙ හිටපු දෙමව්පියො කොල්ල දිහා බැලුවෙ පිස්සෙක් කියලම හිතලයි.ඒකෙ කොස්ස ඇති වුණේ ඒ අය සිය දරුවන්ගෙ හිත්වලට මේ සිතුවිල්ල ඇතුල් කිරීමෙනුයි.

ඒ අය පිස්සන්ට විහිළු කිරීමේ බුද්ධිමත් සම්ප්‍රදාය අකුරටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.ඒව ඇතැම් අවස්ථාවල ශරීර වධ දක්වාත් වර්ධනය වුණා.මේ වගේ අවස්ථාවක දරුවො තුන් දෙනෙක් පුතාව පංතියෙ හිර කරල එන්න දෙන්නෙ නැතිව දොර හිර කර ගෙන.ළමයි කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් අය එහා පැත්තෙන් පුතා දෙර තල්ලු කිරීමට සහ ඊට එරෙහිව විරුද්ධ පැත්තෙන් අර දරුවො තුන්දෙනා ඊට එරෙහිව දොර වසාගෙන සිටීමට ඔල්වරසන් නඟමින් ඉද්දි අපේ කොල්ලගෙ සිමාව පනිනවා.ඌ උපරිම ශක්තියෙන් කළ තල්ලු කිරීමෙදි දොර මදක් ඇරිලා ආයෙ වැහෙද්දි තුන් දෙනාගෙන් එකෙක්ගෙ අත අහු වෙනවා.ඇඟිල්ල තුන් පොළකින් කැඩෙනවා.

ඔන්න අර දේවාලෙ අයිති කපු මහත්තුරු ටික මාව වට කරගෙන කාර්යාලයට එන්නෙ පුතා අදම පාසලෙන් ඉවත් කර ගන්න කියමින්.ඒ අතර සමහරු මට ඒක කොලොන්නාව බව ද මතක් කරාම කීවාම මම කියන්නෙ මම රටටම අයිතියි.රටත් මටම අයිතියි.ඒ නිසා කොළොන්නාවට වඩා මගේ අයිතිය විශාලයි කියලා.ඒක තේරුණේ නැති නිසාද කොහෙද ඒ වචනය ආයෙ ආවෙ නැහැ.

විදුහල්පතිතුමත් දැන් අපේ දරුවා ළඟ තියාගෙන හිටගෙන ඉන්නවා.පාසලම කාර්යාලය ඉස්සරහා.විදුහල්පතිතුමා කිව්වා මට දරුවව පාසලෙන් අස් කර ගන්න වෙන්ව කියලා.ඒකට කමක් නැහැ කියපු මම ස්ර්ගෙන් ඇහැව්වා පංතියෙ ළමයින්ගෙන් මට මේ ගැන දැන ගන්න පුළුවන්ද කියලා.විදුහල්පතිතුමා පුතාට පිටුපසින් සිටින ළමයින්ව පෙන්නල මේ ළමයි ඔක්කොම කියනව අර ළමයගෙ (ඒ වෙනකොට ඒ දරුව රෝහලට රැගෙන ගිහිං) අත දොරට අහු කළේ ජාරක කියලා.විදුහල්පතිතුමා ඒ වන විට ඔහු සෑහීමකට පත් වී සිටි පරීක්ෂණයෙ ප්‍රතිපලය එළියට දැම්මා.


ඇයි පුතේ ජාරක එයාගෙ අත දොරට අහු කළේ?

පරික්ෂණය අරඹන විට පූර්ව නිගමනයක සිටීම නිසා අතපසු වන්නට ඇතැයි සිතූ ප්‍රශ්නය මම ළමයින්ගෙන් ඇහැව්වා.

එයාල ජාරකට විහිළු කරල පංතියට දාලා දොර වැහැව්වා....ළමයි ටික ගිරව් වගෙ කියවන්න ගත්තා.වහපු අනිත් ළමයි දෙන්නත් පෙන්නුවා.

විදුහල්පතිතුමා කතා නොකර කාර්යාලයට ගියා.දෙමව්පියෝ හුළඟකට අහු වුණු කොළ රොඩු වගේ විසිරෙන්න ගත්තා.

සර්ට කියන්න ඕනි.මොනව වුණත් පිස්සු ළමයි මේකෙ තියා ගන්න බැහැනෙ....අම්ම කෙනෙක් මට ඇහෙන්න කිව්වා.පංතිභාර ටීචර් කරුණාරත්න.එයා පුතාට හරි ආදරෙයි.අවුරුදු දෙකක් එයා සමහර දෙමව්පියන්ගෙ විවේචනයට ලක් වුණා.පුතාට දක්වන ආදරය නිසා.එයා අම්මට උත්තර දෙන්න හදපු මාව නැවත්තුවා.


මගේ පංතියෙ එක පිස්සු ළමයයි....පිස්සු තියෙන අම්මල තාත්තල ගොඩකගෙ හොඳ ළමයි ඉන්නවා.මට ඉන්න එක පිස්සු ළමයට උගන්නන්න පුළුවන්.ඒත් අම්මල තාත්තල ඉගෙනගන්න වයස පහු කරල ඒ කාලෙත් මොනවත් ඉගෙනගෙන නැහැ කිව්වා....

වැඩේ එතනින් ඉවර වුණා.තත්ත්වය යහපත් වෙද්දි එකා දෙන්න මා එක්ක කතා කරද්දි කොල්ල කෙල්ලෙක්ගෙ ඔළුව පැලුව.ඔවව කිව්වට නළල.ඇහැ ආසන්නයෙ.ආයෙ අපේ එකාව පාසල් එවනවට විරුද්ධ කට්ටිය සංවිධානය වුණා.එදත් මමයි පුතාව ගන්න ගියේ.

විදුහල්පතිතුමා පෙර පරිදිම අස්වීම දෙන්න සූදානම්.එදත් මම එයාල අහන්නෙ නැති ප්‍රශ්නය ඔළුව පැළුණු දියණියගෙන් ඇහැව්වා.

ඇයි පුතේ ජාරක ඔයාට ගැහැව්වෙ?

මට නෙමෙයි ගැහැව්වෙ අනිත් ළමයි ජාරකට වැලි ගැහැව්වා.එයා ඇස් අල්ලන් හිටිය අඩ අඩ බැරිම තැන ගලක් අරං ගැහැව්ව මට වැදුණෙ.

ආපහු  විදුහල්පතිතුමා කාර්යාලයට රිංගුවා.මම අපේ එකත් අරගෙන ඒ දුවයි ඒ අම්මයි එක්ක ඇස් වාට්ටුවට ආවා.ඇහැට ආබාධයක් නැහැ කිව්වා.

ඊට පස්සෙ කරුණාරත්ත ගුරුතුමියගෙන් මිදුණු පුතා කන්‍යා සොහොයුරියගේ පංතියට ආවා.ඇය තමයි පුතාට විරුද්ධ දෙමව්පියන්ගේ බලවේගය වුණේ.ඇය විදුහල්පතිතුමා සමඟ අරගල කළා පුතාව පංතියෙ තියා ගන්න බැහැ කියලා.

පසුව මම ඇය හමුවන්න ගියේ වෙඩ්ඩ දුන්න ගීතිකා පොතත් අරගෙන.මම කිව්ව මම දරුව අරං යන්න ආවෙ.එයා අස්කර ගන්න එක ගැටළුවක් නැහැ.හැබැයි ඔබතුමිය මේ පොත ලියපු ෆාදර්ට කියන්න වහාම මේක වෙනස් කරන්න කියලා මම පුතා ඉන්න පිංතූරය තියෙන ජේසු බිලින්දා ගැන ලියැ වි ගිතිකාව පෙන්නුවා.

කන්‍යා සොහොයුරියකටම දැනෙන පංතියක තියා ගන්න බැරි අපරාධකාරයෙක් වගෙ පිස්සෙක් ජේසු බිළින්දාට යොදා ගත්තම ඒක ඔබතුමියගේ ආගමට හානියක් කියල මම යන්න හැරුණම ඇය එම පොත ඉල්ලා සිටියා.

අනතුරුව ඇය විශේෂ අධ්‍යාපනය ගැන පාඨමාලාවක් පවා කළා.පුතාව සෙනසුරාදට පල්ලියට ගෙන්න ගෙන සිංදු කියන්න පුරුදු කළා.ඒ සියල්ල වුණේ මේ පිංතූරය නිසා.එහෙත් ගංවතුරට අසුවුණු මේ පිංතූරය දැන අබලන් වෙලා.කා අතේ හරි තියෙනවනම් මට දෙන්න.ඒ වගේම ලක්ජන පුවත්පතේ මුල් පිටපතත් සැඩදියේ සැඟවිලා.ඒකත් තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න.

ස්තූතියි බොහෙවින්ම එය ලබා දිය හැකිනම්

Tuesday, May 31, 2016

තාත්තා,මම සහ දුව


මට පොඩි කාලෙ පොඩි බෘස්ලි පිස්සුවක් තිබුණා.ඒක හැදුවෙ අපේ ගෙට පහළ හිටිය ප්‍රිති අයියලගෙ ගෙදර (ලොකු අම්මගෙ පුතා) හිටපු බයර් කියන ව්‍යාපාරිකයා.එයාගෙ නම මට හරියට මතක නැහැ.මුස්ලිම් ජාතිකයෙක් වුණ ඔහු විවාහ වෙලා හිටියෙ සිංහල තරුණියක් සමඟ.කොණ්ඩෙ කපලා තිබුණෙ බාස්ලි විදිහට.මැණික් ව්‍යපාරිකයෙක් වුණ ඔහුගෙ ගේ ඇතුලෙ තිබුණෙම මැණික්වල පිංතූරයි,බෘස්ලිගෙ පිංතූරයි.

මෙහෙ යන එන මට ටික දවසකින් බෘස්ලි අසනීපය හැදුණා.තනියෙන් ඇදට පැනලා වැටී වැටී ගහ ගත්තා.(තනිව) ප්‍රතිවාදියා හිතින් මවා ගෙන කරන මේ සටන්වලට අම්මගෙ යට සායවල් කටු ගහලා කකුල් දෙකක් කර ගෙන රබර් බෑන්ඩ් දාලා යටින් හීනි කරගෙන ඇන්දම ඒක බෘස්ලි අනුකරණය කිරිමක් වුණා.

මේ වැඩේ මගේ ඊ ළඟ අවධානය ගියේ  කොණ්ඩෙට.බෘස්ලි කට් කපන්න.මල්වල හන්දියෙ උඩ පාරෙ තියෙන පිටර් මාමගෙ සැලුන් එකට ගිහිං මම අම්මට හොරෙන් පීටර් මාමට කිව්වෙ බෘස්ලි කට් කපන්න කියලා.පීටර් මාම දන්න බෘස්ලි කෙනෙක් නැති බව කට ඇරුණු හැටියටම මට ඒ කාලෙත් තේරුණා.අන්තිමට ඉස්සරහෙන් පනාවට පොඩ්ඩක් ඉතුරුවෙන්න පීටර් මාමා හැමදාම කපන කට් එකම කැපුණා.

මේකට කරන්න තිබුණු එකම විසඳුම හැටියට මම දැක්කෙ තනියෙන්ම බෘස්ලි කට් එකට යන එක.කොණ්ඩෙ කපන්න ඔච්චර ඉගෙන ගන්න දෙයක් තියෙනවද,කතුරයි පනාවයි ගත්ත කැපුව කියන මතයෙ හිටිය මම ඉස්සරහෙන් හරහට ඉරක් ඇදලා ඒක දිගේ කැපුවා.පොඩි වෙනසක් තියෙනවා.ආයෙ කැපුවා.එහෙම අවස්ථා ගාණක් කැපෙනකොට මගේ හිස් මුදුණ ආසන්න වෙනකං ඉස්සරහ කෙස් නැහැ.(හැබැයි මම පස්සෙ ගාණට කොණ්ඩෙ කපන්න දැන ගත්තා.සුමිත් නිරිඇල්ලයි මමයි ස්කෝලෙ යන ලොකු කාලෙ කළේ කොණ්ඩෙ කපන්න දෙනස සල්ලි ඉතුරු කරගෙන පීල්ල ළඟට ගිහිං අපි දෙන්නම කොණඩය කපා ගන්නවා.තාත්තාත් නැති වෙන්න ඉස්සර අවුරුදු පහක් විතරම කොණ්ඩෙ කපා ගත්තෙ මට කියලා)

දැන් අඩසඳ වගේ තියෙන කොණ්ඩෙ දැක්කම අම්මා කුලප්පු වුණා.එයා එක්ක ගේ වටේ රවුම් දෙකක් විතර දුවලා ගුටි ගහන්න බැරි තරමට ඇයට හති වැටුණම ළඟට ගිහිං මමම අම්මගෙන් ඇහැව්වා දැන් අපි මොකද්ද කරන්නෙ කියලා.තාත්ත එන්න ඉස්සර කපා ගම්මු කියලා ආපහු පීටර් මාමා ළඟට අරං දිව්වෙ වලිප්පුව හැඳුන එකෙක් දොස්තර ළඟට දුවනව වගේ.කරන්න තිබුණු එකම දේ හිස මුඩු කිරීම පමණයි.පීටර් මාමට ඒ වැඩේ බාර දීල පහළ තිබුණු ආර්.පී.අප්පුහාමිගේ කඩේට බැහැල සුදු රවුම් තොප්පියක් අරං ආපු අම්ම ඒක හිසට පොරෝල ගෙදර අරං ආව.

රාත්‍රියෙ තාත්තා ගෙදර ආවම මේකට හම්බ වෙන දඬුවම ඇහැරිලා හිටියොත් වැඩි වෙයි කියලා මම ඉක්මණට ඇඳට වැටිලා නිදි රංගනයක් ආරම්භ කළා.තාත්තා මට අම්ම වගේ හැම වෙලේම තට්ටු නොදැම්මට ඊට වසරකට උඩදි පාසල් ගිහිං එන්න පරක්කු වුණා කියලා කේන්ති ගිහිං කෝපි කෝටුවකින් කළ නෙලිමෙන් මගේ කලව ප්‍රදේශය පුපුරලා ගියා.මාව බේරගන්න ඉදිරිපත් වුණු පතල්වල කට්ටියත් දවස් ගාණක් බෙහෙත් කළා.

මාව දැක්ක තාත්තා එදා වගේම ආවේශ වුණා.එයා ගොඩක් කැමති මගේ හිසකෙස් ටික අහිමි වෙලා තියෙන කොන්ඩෙ වෙනුවට තියෙන තට්ටෙට ඒ පාර වැදුණනම් මම පරලෝ සැපත්.ඒත් ඒක පාත් වුණේ පිට මැද්දට.මට හුස්ම ඔක්කොම ගියා වගේ දැණුනා.මගේ ඇඟ ඉස්සිලා ආපහු ඇදටම කඩා වැටුණා.අම්මා තාත්තව ඇඳ ගෙන ගියා.මම පිට අල්ලල බැලුව.ඇඟිලි පාරවල් ටික ඇඟිලි වෙන් කරල කියන්න පුළුවන් තරම් පැහැදිලිව අහු වෙනව.පුපුරු ගහන පිටේ වේදනාවට එන හැඬුම හිර කරං මම හිටියෙ.තව පැය කිහිපයකින් තාත්තා ආයෙ කාමරයට ආවා.මගේ තට්ට හිස අතගෑවා.කෝපි කෝට්ටෙන් ගහපු දවසෙ වගේම මගේ පිටේ තියෙන ඇඟිලි පහරවල් අත ගාමින් හැඬුවා.අම්මත් කුප්පි ලාම්පුව අල්ලගෙන තාත්තට අඬන්න එපා කියමින් හැඬුවා.

මේ ඉතිහාසය පෙරේදා (මැයි 30) මට ආයෙත් මතක් වුණා.ඒ මගේ දුව නිසා.ඇයට කවදාවත් නොගහපු මගේ අතින් පාරක් වැදුණා.කකුලෙ පාර හිටියා.

එදා හවස ඇය මට කඳුළු එන තරම් සතුටක් දුන්නා.ඒ භාතිය අර්ථනායකගෙ වැඩේ වෙලාවෙ එයාට ලැබුණු පොත් අවට ගෙවල්වල දරුවන්ට බෙදන්න දිල සහ ඒ ගැන එයා දරපු අදහස් අහලා.
https://www.facebook.com/photo.php?fbid=1090119344378218&set=a.101531749903654.1674.100001404876474&type=3&theater&notif_t=like&notif_id=1464677326823419
ඊට ඉස්සර දවසෙ මම කසුන් සමරකෝන් සහ වෛද්‍ය බෝධිනි සමරතුංග හරහා ඒ මිනිස්සු වෙනුවෙන් සංවිධානය කරපු වෛද්‍ය සායනය වෙලාවෙත් එයා එතන දැවටිලා ඒ අයට කරන්න පුළුවන් සහයෝගය දුන්නා.

එහෙම හිටපු දුව ගංවතුර නිසා සීමිත කරපු සම්පත් හේතුවෙන් සහ නහයට තවමත් දැනෙන අපුල හේතුවෙන් පාසල් වැඩ කරන්න තෝර ගන්නෙ ඇද.(ඒකත් රාජවිවේකල.ජනාල නෙතූල ඇතුළු ෆේස්බුක් යාළුවන් රැසක් එකතු වෙලා ගෙනත් දුන්නු එකක්)මමත් මේසෙ හැටියට ඒක යොදා ගෙන දෙපැත්තෙ ඉදං වැඩ කළා.ඒ එයාගෙ ස්කෝලෙට ස්තූති කරල ලියුමක්  ලියන්න.ඒ වෙලාවෙ කකුල දික් කරල එක පාරක් මම ලියපු ලියුම ඇද කරා.

සොරි මට අමතක වුණා

කට අද කරන් එහෙම කිව්වම මම නිශ්ශබ්ද වුණා.කල්පනාවෙන් ඉන්න මේක ඔයාලගෙ ස්කෝලෙටනෙ ලියන්නෙ කියන දේ කියලා මම ආයෙත් ලියන්න පටන් ගත්තා.ඊ ළඟ පාර ඇය කකුල ඊටත් වඩා වේගයෙන් දික්කරාම ලියුම දිගේ දිග ඉරක් ගියා.මේ දවස්වල පීඩනය නිසා වෙන්න ඇති මට පාලනය කර ගන්න බැරි කේන්තියක් ආවා.මගේ අත නිකංම ඉස්සුණා.ඇයගෙ කකුලෙ මගේ ඇඟිලි පාර.

ඇය හඬන්නෙ ශබ්ද නොනඟා.ඒ බය වුණාම හැටි.ඇයගෙ කොන්ද ඉස්සෙනව පහත් වෙනවා.මට බදා ගෙන හඩන්න හිතුනෙ නැහැ.අත හයියෙන් මොකකට හරි ගහ ගන්න හිතුණා.මම මාව රිද්දගන්නෙ කොහොමද?මට ගැටළුව තිබුණෙ එතැන.

රාත්‍රි 10 පහුවෙලා.මම පාරට බැස්සා.බොන්න තැනක් නැහැ.මට වියදම් කරන්න පුළුවන් සීමිත මුදලක්.මම ඒත් කොටිකාවත්ත හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන පිටකොටුවට ආවා.පිටකොටුවෙ ඉදලා ගාලු පාරෙ ගෝල් ෆේස් හරහා පයින් ආවා.

90 දශකයෙ මේ විදිහට අනන්තවත් බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඇවිත් ඇති.මම ඒ උපක්‍රමය යළිත් පිටකොටුවෙ ඉදල බම්බලපිටියට යොදා ගත්තා.පොලිසිය ළඟ ඇරල තියෙන කඩේ ඉදල සිගරට් ගන්න පුළුවන් තැන් වලින් සිගරට් ගත්තා.බිව්වා.අඳුරෙ ඇස්වලට තෙත්වෙන්න ඇරියා.නැවත බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඒ දේ ම කළා.කකුල උස්සන් ඉන්න බැරි තරමට රිදෙනවා.මේ දිනවල සෑහෙන්න විවේකයක් නොලබාම අැඟ වගෙම හිතත් වෙහෙසන නිසා වෙන්න ඇති මේ තරම් මහන්සියක්.දැන් දුව වෙනුවෙන් නෙමෙයි මගේ ශරීරයේ කොටස්වලින් නැඟෙන වේදනාවටත් මට හැඬෙන තරම්.

මම දන්නවා දුවට මෙච්චර රිදුනෙ නැහැ කියලා.ඒත් ඇයගේ හිතනම් ජීවිතේ පළමුවරට මගෙන් පහරක් එල්ල වීම නිසා වෙච්චි රිදිල්ලෙන් දහස් ගුණයක් වේදනා විදින්න ඇති.හැමෝ එක්කම මට තාත්තානම් කවදාවත් ගහලා නැහැ කියන එකේ ආඩම්බරය ඇයට අහිමි වෙලා.ඇත්තටම ගැහැව්වනම් ඒක හිතල කරන දෙයක්.ඒත් මේක එහෙම නෙමෙයි.එක පාරට වූ ක්ෂණික ක්‍රියාවක්.ඒක ගැස්සුණා.ඒත් ගැහැව්වා සහ ගැස්සුණා කියන එක තේරුම් අරං කෙල්ල ආයෙමත් හෙට කා එක්ක හරි කතා කරද්දි....

 ‘තාත්තනම් මට කවදාවත් ගහල නැහැ‘ කියල කියයිද‘?

තාත්තනම් මට ගහල තියෙන්නෙ එක පාරයි කියල මම ඉස්සරහ කිව්වොත්..... ඒක මට කොච්චර රිදෙන පාරක් වෙයිද?ඇයගෙ කකුලෙ හිටපු ඇඟිලි පහර වගේ නෙමෙයි ඒක මගේ හදවතේ ජීවිතකාලය පුරාවටම ලොකු කැළලක් ඇති කරාවි.

ඒක බම්බපිටිය සහ පිටකොටුව අතර තියෙන දුර වගේ ගෙවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ගංවතුර විසින් ඇති කළ පීඩනයේ දරුණුම ප්‍රතිපලය මේක.මට හිතෙන්නෙ එහෙමයි.


Friday, May 27, 2016

ගල් සහ ග්‍රීන් ලේබල්

දැන් සැඩ දිය බැස අවසන්ය.ඉන් අනතුරුව ඇදක්වත් නැති ගෙ‘බිම කොල්ලා ඉතුරු වූ සුන්බුන් ටිකත් සමඟ නිදා සිටිනා‘යුරු ඡායාරූපයේ දැක්වෙන්නේය.

වැස්සට ගසා ගෙන නොගිය එකම දේ මනුස්සකමය.සාමාන්‍ය ජීවිතයේ අප විසින් ඉන්දුවන බිජු වලින් හට ගැනෙන පල කෙතරම් රසවත්ද තිත්තද කියා දැනෙන්නේ මේ අවස්ථාවේ අපට ලෙංගතුවන මනුස්සකමේ ආශිර්වාදයත් සමඟය.

නමුත් මේ බොර දියේ ද අමන වැඩ කරන යකුන් හිඟ නැත.ඒ හොරුන් මංකොල්ලකාරයන් නොව.උන්ට වඩා වැදගත් විදිහට ආතල් ගන්න පිරිසක් ද මේ ගං වතුරේදී දැක ගන්නට හැකි විය.ගංවතුර බලන්න ඇවිත් සෙල්ෆි ගහන පිරිස ගංවතුරට අසු වී සිටින පිරිසට යක්ෂාවේශය කැදවීය.මා කොළොන්නාවේ පෙර සිටි පෙදෙසට යන විට එහි වැව් බැම්ම මත සිටි අනාත වූ පිරිස් සිටින තාවකාලික කූඩාරම් ඇතුළට ඔළු ඔබාගෙන සෙල්ෆි ගහන පිරිස ගැන එම කූඩාරම් වල සිටි අය මා සමඟ කිසිත් කීවේ නැත.නමුත් ජාතක කර හැදූ වැඩූ දෙමව්පියන් ගැන අපූරු කතා කියමින් ඔවුන් සිව්පාවුන්ට සම කළේය.

චේන්ජ් එකකටත් එක්ක රස බලන්න කූඩාරම් වෙත පැමිණි බත් පැකට්වලට පොර ඇල්ලූ පිරිසකට බඩ ගින්නේ සිටි පිරිසගේ කෝපාග්නියේ නොදැවී බේරි ඇත්තේ අනූ නවයෙන්ය.මේ ආකාරයටම ෆන් එකට ඒ තැන්වලට ගොස් ඒ බෙදන බඩු මලුත් ඔසවා ගෙන ගෙදර යන පිරිස් ද හිඟ නොවිණ.මේ සියල්ල සිදුවෙද්දී මා සිටින රදන්වත්ත වැනි ප්‍රදේශවල මිනිසුන්ට තේ උගුරක් හෝ නොලැබුණු අවස්ථා එමටය.මන්ද අවසානයේ ජල රකුසා කඩා වැටි එම ප්‍රදේශවල් වටෙන්ම ජලයෙන් වට වී තිබූ බැවින් ප්‍රවේශ මාර්ග හිඟ විය.

මා ද සිසිර යාපා පැමිණ ලබා දුන් ටෙන්ට් එක යටට වී දින එක හමාරක්ම දිය උගුරක් හෝ නැතිව විසීම ඊට හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය.

කැළඹෙමින් ගලන ජල කඳ දිගේ ඇදී එන දේ අතර මා සිත් ගත්තේ අරක්කු බෝතල්ය.ඒවායේ ගමන් ලතාවන් හරි හැඩය.බෝතලයේ අනුව ඒවා ජලය මත ගමන් කරන අඩි වල බර ද වෙනස්වන්නා සේ ය.ඊටත් වඩා වටින්නේ ඒවා කියා දෙන ස්වභාව ධර්මය පිළිබඳ අපූරු පාඩමය.ගල් අරක්කු බෝතල් මෙන්ම ග්‍රීන් ලේබල් ද දුසිම් ගණනෙන් පාවී ආවේ ප්‍රදේශය අවට ඇති ආර්ථික විෂමතාවයන් නැතිනම් බෙදීම් පැහැදිළි කරමින්ය.

ගල වටා රොක්වන්නට මෙන්ම ග්‍රීන් ලේබල් වටා රොක් වෙන්නට ද ආ ගිය පිරිස් වෙනුවෙන් විවර වන්නට දොරවල් අවට තිබී ඇත.එහෙත් ඒ දොරවල් හැමෝටම ආරාධනා කළේ නැත.කතා කළ හෝ ඇරයුම් ලැබුණු පිරිස් එහි ආ ගිය ඈයෝ වෙති.නමුත් ස්වභාව ධර්මය කිසිඳු වෙනසක් පෙන්වා නැත.හැම ගෙයකටම එක හැන්දෙන් බෙදා ඇත.

මේ තත්ත්වයනම් මිනිසුන් ආදර්ශයට ගන්නේ අඩුවෙන්ය.දැනට ද සියල්ලට සමානව පහසුකම් හිමි නොවීමම මීට උදාහරණයකි.පන නැති බඩු භාණ්ඩ ස්වභාව ධර්මය සමඟ එක් වී අප වෙතින් පලා ගිය අයුරු කේන්තිය අවුස්සන සුළුය.විශේෂයෙන් මෙසේ කේන්තිය ඇවිස්සූ භාණඩ අතර හැලි වලංවලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.ඒව සැඩ පහරේ අපට ඔලොක්කුවට මෙන් දමන රංගනය කේන්ති අවුස්සන සුළුය.

හූ... හූ.... අල්ලන්නට බෑනේ වගේ කුඩා කළ ඔට්ටු සෙල්ලමක මෙන් මේවා හැසිරෙන විට දියට පැන අල්ලා ගන්නට සිතුනද,ජීවිතය අල්ලා ගන්නට එවැනි අවස්ථාවකදී නොහැකි වන්නේය.

තමුසෙට අල්මාරියක්ම තිබිලත් මදි නෙ.

බිරින්දෑ ගේ ගෝරනාඩුව දැන් නම් කාලෙකට නොඇසී සිටිය හැකි වනු ඇත.අල්මාරිය පිරෙන්නට නොව දැන් වැඩට යන්නටවත් ඇඳුමක් නැති තැනටම මා පහත වැටී ඇත.ගෙදර තිබුණු බඩු මුට්ටු අඩු වී වෙනදාට වඩා අත පය දිග හැර ඇවිදින්නට හැකියාවක් සැකසී ඇත.ඒ ස්වභාව ධර්මයේ හැටිය.

ස්වභාව ධර්මය එබඳු වුව අනෙකුත් සියලු ධර්ම මිනිසුන්ගේ අවශ්‍යයතාවය අනුව පාලනය වන්නේය.අප ඉකුත් මාර්තුවේ කුලී නිවසෙන් නික්ම ආවේ ඔවුන්ගේ පිං කමක් සාර්ථක කර දෙන්නටය.තව මාස දෙකක් කල් දෙන ලෙස ඉල්ලුවද ඒ කාලය ධාතු කරඩුව සකසා ගනිමින් අවශ්‍යය පිංකම කර ගැනීමට පමාවෙන බව ඔවුන්ගේ අදහස විය.නිවස මිල දී ගත්තේ ඔවුන්ගේ ඥාති අසල්වැසියන්මය.ඔවුන් ද අප සමඟ ඉතා සමීප ඇසුරක් පැවත් වූ අය විය.වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ සහ ඉංජිනේරුවරයෙක් වූ දෙමහල්ලන්ට ද අපට මාස දෙකක් රැදී ඉන්නට කල් දෙන්නට තිබුණ ද ඔවුන් පිං කැමති කරඩුලාභිණියට අප සිටින තාක් නිවස මිල දි ගත නොහැකි බව පැවසූවෙන් ඔවුන්ගේ පිංකම වෙනුවෙන් අපි එම නිවස අත හැර පැමිණියේය.

එසේ නොවිණිනම් තාවකාලිකව හෝ අප උඩු මහල සාදා ගෙන පැමිණෙන්නේය.එසේ වූවා නම් මේ අනතුරෙන් අඩක්වත් පියවා ගන්නට තිබිණ.නමුත් බුදු දහමට අනුව මිනිහෙක් අනතුරට පත් කිරීමට වඩා ධාතු කරඩුවක් සැකසීම පිංකමකි.සුනාමියට ගසා ගෙන ගිය තරුණයෙක් වෙනුවෙන් අහළ පහළ ඉඩම් වලින් ද අල්ලා ගෙන නඩු හබ වල පැටලෙමින් තිබෙන ගොතටුව චන්දන විහාරයට වැඩමවා වදාළීමට නියමිත ධාතු කරඩුවට දැන් ඉතිං අපිත් අනියමින් හෝ ඒ නිවසට ගෙවූ ලක්ෂ ගණනක කුලියට අමතරව ගංවතුර විසින් අහිමි කළ ලක්ෂ පහකට ආසන්න චංචල දේපළ වටිනාකමද එක් වී ඇත.එයට ද අමතක නොකොට සාධුකාරයක් දෙන්නේ නම් යහපත්ය.

සථීරම ධර්මය බුදු දහම ද දේව දහමක්ද යන්න මා තර්කයට නොගන්නේය.මේ කිසිවක් සැබෑවට පිළිපදින්නේද යන ගැටළුව සහ එය එකිනෙකා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා බව පමණක් හැඟෙන්නේය.ඒ නිසාම සකල ලෝක වාසීන්ට සෙත පිණිස සැකසි බව කියන බොහෝ ධර්මයන්ගේ හැසිරීම සමාජ ගත වන්නේ විශාල වෙනස්කම් සහිතවය.ජාතිය,කුලය,ආගම මෙන්ම ආර්ථිකය ද ඇතැම් විට සමාජ පිළිගැනීමට අනුව කෙතරම් උගත් ද යන කරුණ ද මේ පහසුකම් සහ පිළිගැනීම් බෙදී යාමේදී සැළකිල්ලට ගන්නේය.ඛේදවාචකය එය ය.සොබාදහම ඛේදවාචකයක් වුව නිර්මාණය කරන්නේනම් එහිදි ඒ කිසිවක් අදාළ කර නොගන්නේය.ස්වභාව ධර්මයේ අගය එබඳු වන්නේය.

එහෙත් මට දේවල් අහිමි කරනු හැර මා සිතන හැටි වෙනස් කරන්නට සොබා දහමේ ශක්තියට ද පහසු නැත.මා අහිමි වූ දේවල් හැකි පරිදි ගෙන නිවසේ හිස් බව මකා ගැනීමට වෙර දරන අතරේම මා දැඩි කල්පනාවෙන් හිස් තැන් පුරවන්නට මිනිසුන්ගේ ආදරය එකතු කරන්නට තව තවත් වෙහෙසෙන්නට තීරණය කළෙමි. එහිදි මට වටින්නේ ගල් ද,ග්‍රීන් ලේබල් ද යන්න නොවේය.මිනිසුන් ආදරයට අවංක වන ප්‍රමාණයේ වර්ගපලය ය.


Sunday, May 15, 2016

තෙවරප්පෙරුම අරුමයක් ද?

http://adaderana.lk/news_images/1552915888palitha5.jpg
පාලිත තෙවරප්පෙරුමගේ දේශපාලනය මට දිරවන්නේ නැත.නමුත් ඒ පාලිතගේ දේශපාලනය නොවේය.පවතින සමස්ත දේශපාලනයම එබඳුය.වෙනස පාලිත හැංගී හැංගී වෙස් නොබැදීමය.මෙහි අවාසිය පාලිතටය.

පාලිත තෙවරප්පරෙුම කළු කොට විකිණීම පහසුය.ඔහු කළු පාටින් දැකීමට හුරු පුරුදු කළ ප්‍රෙක්ෂකයන් රූපවාහිණියට සිටියි.පුවත්පත්වලට එවැනිම පාඨකයන් සිටියි.මේ නිසා පාලිත තෙවරප්පෙරුම සුදු කර විකුණන්නට පහසු නැත.ඒ නිසාම මානුෂික ඇගයීමක් ඔහුට මාධ්‍ය හරහා ලැබෙන්නේම නැත.

ඔහු පාරේ නිදා ගන්නේද ඉල්ලීමක් දිනා ගන්නටය.විමල් වීරවංශ නිදා ගන්නා ඉල්ලීමට මහත්මා පෙණුමක් ලැබී ඊට වඩා අවංකව පාලිත කරන නිදා ගැනීම රස්තියාදු මොඩලයක් කරන්නේ මාධ්‍ය ඇසය.ඔහු පොදු පෙරමුණේ දේශපාලනඥයෙක්ට පහර දෙන්නේය.දේශපාලනඥයා දෙමළය.පාලිතට ඇත්තේ ඔහු සමඟ ජාතිවාදී දේශපාලන ඇරියස් එකක් නොවේය.ගමේ පක්ෂ දේශපාලනයේ මෝඩ ස්වරූපය පමණි.එය පට්ට ගසන මාධ්‍යය විමල් වීරවංශ ගෝඨාභය ආරක්ෂක ලේකම් සමයේ පිරිසක් සමඟ පැමිණ සිය බලය යොදා නීතිය සිය අතට ගන්නා අයුරු,එහි සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට තිත්ත කුණු හරුපයෙන් කතා කරන්නට ජනතාව පොළඹවා.නිල ඇඳුමේ තොප්පියට ද පහර දීමට සැළස්වීම පාලිතගේ හැසිරීමට වඩා භයානකය.

නමුත් භයානක මැර ක්‍රියාව අදටත් කර තිබෙන්නේ පාලිත තෙවරප්පෙරුමය.ඒ මාධ්‍ය සමාජය මත කර තිබෙන බලපෑමය.ඇමතිවරයෙක් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරිපිට රටේ නීතියට අපහාස වන අයුරෙන්,එය ක්‍රියාත්මක කරන ඉහළම රාජ්‍ය නිලධාරියාගේ (ආරක්ෂක ලේකම්) ආශිර්වාදය ද ඇතිව මහජන සාමය පිළිබඳ ආයතනය වන පොලීසිය මහජනයා ඉදිරියේ බලු කිරීම පාලිතගේ වැඩේට වඩා මටනම් බලුය.

මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පාලිත ජාතිවාදියෙක් නොවන බව ලෝකයටම ප්‍රදර්ශනය කර තිබුණු බැවින් ප්‍රාදේශීය දේශපාලනඥයාට පහරදීම ජාතිවාදී තැනෙකට තල්ලු කර ගන්නට නොහැකි වුව ද,ඇතැම් තැන් හී එවැනි උත්සාහයන් දකින්නට ලැබිණ.එදා ඒ වෙනුවෙන් සිංහල ජාතිකයෙක් ලෙස මෙන්ම හිටපු හමුදා සෙබළෙක් ලෙස ද,මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තෙවරප්පෙරුම කළ දේ මේ රටේ කීර්තිය පිණිස විශාල ලෙස ඉවහල් විය.සිංහල බෞද්ධ විරෝධයක් නොවන සහ හමුදාවන් හී මානසිකත්වය වියරු සිංහල බෞද්ධ ආවේගයක් නොවන බව පාලිතගේ ක්‍රියාවෙන් ලෝකයට විශාල පණිවිඩයක් ගියේය.

ආසන්නම සිදුවීම කළුතර විද්‍යාලයේ සිදුවීමය.පාලිතගේ මැර හැසිරීම ගැන දොඩන කිසිවෙක්ට එම දරුවාට අසාධාරණයක් සිදු වී තිබෙන බව එම ප්‍රවෘත්තිය පුරාම දකින්නට ලැබුණ ද,නොහැඟෙන්නේය.විදුහල්පතිවරයා ගේ ප්‍රකාශ හරහා මතුවන කරුණු වලින් ද,ඒ බව පැහැදිළි වන්නේය.

මේ තත්ත්වය නිවැරදි කරන්නට තිබුණු හොඳම දේ ඉසුරුපායෙන් විසඳුමක් ලබා ගැනීමය.අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හරහා සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දෙන එවැනි විසඳුම් ඇත්තටම හරිය.පාලිත වැරදිය.නමුත් ඔහු කළුතර විද්‍යාලයට නොගොස් මේ විසඳුම් සොයා ගියේනම් දරුවාට තවත් වසරක් පමණ ඉක්ම ගොස් පාසලක් ලැබෙන්නට හැකිය. මා ඉසුරුපායේ කාර්යක්ෂමතාවය සහ මානුෂිකත්වය හොඳින්ම අත් විද ඇත.ඉසුරුපායේ ප්‍රමාදය නිසා අසාධාරණයකට ලක් වූ දෑස් නොපෙනෙන මවකගේ දරුවෙක් දැන් සිටින්නේ දෙක වසරේය.අමාත්‍යවරයාද මෙහි අසාධාරණයක් වී තිබෙන බව පිළිගත්තේය.

නමුත් හිටපු ලේකම් උපාලි මාරසිංහ මෙන්ම වර්ථමාන ජාතික පාසල් අධ්‍යක්ෂ අයිලප්පෙරුම වෙත ඊට සාධාරණය ඉටු කරන ලෙස යොමු කළ විට ලැබුණු පිළිතුරු නිසාම එම දරුවාගේ පියා තමන් අතින් මිණීමැරුමක් වුවහොත් සිය අඳ බිරිඳට සහ දරුවාට සිදු විය හැකි හානිය ගැන සළකා දරුවාට සාධාරණය ඉටු කරවා ගැනීමට උත්සාහ ගන්නේ නැත.

මේ සිඳුවීම අත්දැක ඇති මටනම් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පළමු කොට දරුවා රකින්නේ ද,සිය නිලධාරියා රකින්නේද යන තීරණය තුළ දෝලනය වෙමින් සිය කුලකය දිනවිය හැකි උපක්‍රම සියල්ල සළකා බලන්නේය.ඒ නිලධාරිවාදයේ සහ වත්මන් දේශපාලනයේ ගති ලක්ෂණවලට අනුව පාලිත තෙවරප්පෙරුම ගත් තීරණය ප්‍රායෝගිකය.ඔහු මහජන නියෝජිතයෙක් ලෙස බලය මහජන සුබ සිද්ධිය උදෙසා යොදවා ඇත.ඒ ක්‍රමය වැරදිය.නමුත් දරුවාට වැරදෙන විදිහට සකස් වී ඇති වැරදි ක්‍රමෝපායන් දහසක් හමුවේ පාලිත අපි අනුමත කරන ක්‍රමවේදයේ ගමන් කළා නම් දරුවාට පාසල ලැබෙන්නේ තුන වසරේදී පමණය.නැතිනම් තැනින් තැනට ඇවිඳ ගොස් එපා වී දෙමව්පියන් සිය උත්සාහය අත් හැර දමන්නේය.

කුලියාපිටියේ දරුවාගේ මෙන්ම කළුතර දරුවාගේ අධ්‍යාපන අයිතිය ද කප්පාදු වි ඇත.ලකුණු 91 ක් ලබා ගත් දරුවෙක් ගෙදර සිටිය දී ඊට වඩා අඩු ලකුණු ලැබූ දරුවන් පාසලට ඇතුළත් කර ගෙන ඇත.ඒ සම්බන්ධයෙන් විදුහල්පති දෙන පිළිතුරුවලින් පැහැදිළි වන්නේ ද ඒ දරුවා ඇතුළත් කිරිම පාසල විසින් නොසළකා හරින ලද ක්‍රියාවක් බවය.එහෙත් අපේ ඔළුවේ හදා ඇති පිංතූරයට අනුව දරුවා වෙනුවෙන් පෙනී සිටි පාලිත තෙවරප්පෙරුමට වඩා විදුහල්පති මරු ය.

අපිට වීරයෝ අමතක වී බොහෝ කල් ය.දැන් අකුරුවලින් රුපවලින් වැඩ කරන අයගේ න්‍යායපත්‍රවලට අහුවෙන රුචිවෙන පිරිසට හැර මිනිසුන්ගේ හදවත්වලට දැනෙන මිනිසුන් කියා කොටසක් නැති තරම්ය.

මේ සිස්ටම් එක ආතල් කියා විසිල් ගසන්නට නොහැකිය.තියෙන සිස්ටම් එකේ දේශපාලනඥයන් බොහෝ පිරිසක් දානපතියන් මෙන් හැසිරෙන සූරා කන්නන්ය.ලොකු ගොඩක් තමන්ට බෙදා ගෙන අනුන්ට කට කට කවන ඉන් ප්‍රචාරය ලබා ගෙන විරයන් වෙන සමාජශීලී,පරිත්‍යාගශීලි දේශපාලකයන්ය.පාලිත ඒ ගණයට වැටෙන්නේ ද නැත.ඔහු අනුන් වෙනුවෙන් කළ දෙයක් මිස තමන් වෙනුවෙන් කරගත් දෙයක් ගැන ඇසෙන්නේද අඬුවෙන්ය.නමුත් කරන දෙය කරනාකාරය අවුල්ය.ඒ අවුල් ආකාරය නිර්මාණය කර ඇත්තේ මේ දේශපාලන ක්‍රමයමය.එය නිවැරදි කීමට නොහැකි වුවත් මටනම් හෘද සාක්ෂියට අනුව පාලිත තෙවරප්පෙරුම වැරදි බව කියන්නට ද දිව නොනැමෙන්නේය.

කෙල්ලක් බෙදා ගන්නට නොහැකිව වැදගත් පුරවැසියන්ගේ දත් උගුල්ලන හෝ ජීවිත අළු කර දමන දේශපාලනඥයෙකුට වඩා, මහජන සේවයක් පමා කරන හෝ මඟ හැර සිටින සමාජයට වගකිව යුතු රාජ්‍ය සේවකයෙක් හෝ ආයතනයකට බලපෑමක් කිරීමට මේ ක්‍රමවේදය විසින් දේශපාලනඥයාට දි තිබෙන තකතීරු බලය යොදා ගැනීම වරදක් නැත.

ඒ මට සිතෙන හැටිය.

Friday, March 4, 2016

පැමෙලා! අම්මට කියන්න කුලියාපිටියට කතා කරන්න

http://s1.reutersmedia.net/resources/r/?m=02&d=20120222&t=2&i=573896969&w=644&fh=&fw=&ll=&pl=&sq=&r=CDEE81L10X300
මේ ඡායාරුපයේ දකුණෙන් සිටින්නී පැමෙලා ජෙලිමෝය.වම්පස සිටින්නි ඇගේ මව එස්තර් චෙප්ටූය.

මෙහි පැමෙලා කෙන්යානු ඉතිහාසයේ කිසිදාක මැකිය නොහැකි නමකි.ඒ ඇය එරටට පළමු ඔලිම්පික් පදක්කම දිනා දුන් ක්‍රිඩිකාව වන බැවිනි.2008 චිනයේ බිජිං නුවර පැවති තරඟාවලියේදි මිටර් 800 කාන්තා ඉසව්ව ජය ගනිමින් මේ ක්‍රීඩිකාව දැක් වූ දක්ෂතාවයට කෙන්යානු රජය මහත් පුද සත්කාර ගරු බුහුමන් පුදන්නේය.

නයිරෝබි සිට නාන්දි දිස්ත්‍රික්කය දක්වා වැටෙන මාර්ගය නම් වි ඇත්තේ පැමෙලා නමින්ය.ඒ තරමට ගරු බුහුමන් දක්වන පැමෙලාගේ පවුලේ ඇයට සහෝදරයන් තිදෙනෙකි.සහෝදරයන් හය දෙනෙකි.මේ දරුවන් සියල්ලටම එස්තර් අම්මා වුව ද මේ දරුවන්ට පියවරු සිටින්නේ එක දරුවාට එකෙකු බැඟින්ය.ඒ පියාද කවුරුන්ද යන්න ඇය නොදන්නේය.කිරි ගෙවිලියක කීවද ඇය ජීවත්වීම පිණිස දැරූ වෙහෙසේදී ඇයගේ වෙහෙසින් කුස පුරවන්නට එකතු වූ කටවල් ගණන වැඩි වී ඇත.

පැමෙලා ද එවැන්නියකි.ඇය ලොව දිනන තෙක් පියෙකුගේ රැකවරණය ගැන කිසිවක්ම නොදැන උන්නාය.එහෙත් පැමෙලාගේ ජයෙන් පසු එස්තර් ගැන පැවසෙද්දී ඇයගේ වයස,උපන් දිනය යනාදිය සැළකිල්ලට ගත් කිහිප දෙනෙකුම ඩී.එන්.ඒ.පරීක්ෂණයක් හරහා පැමෙලා ගේ පියා තමන් බව සහතික කළ හැකි බව කියන්නට වූවේය.නමුත් පැමෙලා සිය මව පමණක් ජීවිතයට ප්‍රමාණවත් බව කීවාය.

මේ සියල්ල හරහා එස්තර් කවුරුන්ද යන්න එළියට පැමිණියේය.ඇය නිදා ගත් මිනිසුන් ගණන ඇයවත් නොදන්නා තරම් විය හැකිය.ඒත් සිය මව වෛශ්‍යා වෘත්තියේ යෙදුණද ඇය සමඟ නිදා ගත් බව ලෝකයට කියන්නට පසු නොබාන පිරිමින්ගේ ආඩම්බරයට හේතුවක් බවට සිය මව පත් කරන්නට පැමෙලාට හැකි වූවාය.කෙන්යාවට එස්තර් ආඩම්බර මාතාවක් මිස පැමෙලා අවජාතක දියණියක් නොවූවාය.ඒ ආකාරයටම නන්දි දිස්ත්‍රික්කයට යන පාර එස්තර්ගේ නමින් පවතින්නේය.සියළු වරප්‍රසාද සහිත විශේෂ පුරවැසිණියක ලෙස ඇය ඇගයෙන්නේය.

මේ සියල්ල කියන්නට හේතුව අදෘශ්‍යමාන හේතුවක් මත ගමක් හැටියට එකතු වී දරුවෙක්ගේ අධ්‍යාපනය වලලන්නට හදන පිරිසකගේ අමනෝඥ ක්‍රියාවන් හමුවේ අසරණව සිටින මව සහ පුතුය.

නමුත් සියල්ල අයහපත් නොවන්නේය.ඔවුන්ට එල්ල වූ පීඩනය පුපුරා පිටතට පැමිණෙන්නේ අතිශයින් සුබදායි ප්‍රතිපලයක් ලෙසය.පුතුට දොර වැසූ ගමේ දරුවන්ට සිහිනයක් බඳු වූ ත්‍රිත්ව විද්‍යාලයේ දොර මේ පුතුට විවර වන්නේය.බෞද්ධ ගමක බෞද්ධ බහුතරයක් අශිෂ්ඨ ලෙස හැසිරෙන විට බෞද්ධකම මෙයයැයි කියන්නට පසුබා සිටි ලංකාවේ ආණ්ඩුත්,ප්‍රභූ බෞද්ධයෝත් බුදු හාමුදුරුවන්ගේ නියෝජිතයා ලෙස සළකන මහනායක හිමිවරු වැඩ වෙසෙන විහාර අභියසම පිහිටි අන්‍යාගාමික පාසලක් මේ දරුවාට අධ්‍යාපනය දානය කරන්නට ඉදිරිපත් වීම අපූරු සිදුවීමක්ය.

එය පැමෙලාට ද යම් තරමක සමාන කමක් දක්වන්නේය.ඇය ද කතෝලික පාසලක අනුග්‍රහය සහ වරප්‍රසාද නොලැබෙන්නට ලෝකය ජයගත් ක්‍රීඩිකාවක් නොවන්නීය.ඇයගේ මව දෙස සෙනෙහසින් බැලුවෝ මානුෂික සිතුවිල්ලකින් එසේ නොකළෝය.මේ දුප්පත් ගැහැණිය සහ  අැයගෙන් යැපෙන්නට නියමිත දරු පැටව්ගේ කුසවල් වෙනුවෙන් අවශ්‍යය පෝෂණය සම්බන්ධයෙන් ඇය සතු උවමනාව කේවල් කර සිය කාමාශාවන් සංතර්පනය කර ගන්නට අවශ්‍යය වූවෝ පමණක් ඇයව ඇමතූහ.අනෙකුන්ට එස්තර් සමාජ පිළිලයක් පමණක් විය.

ඒ අතරින් බලන විට කුලියාපිටියේ මිනිසුන් සැකයක් පමණක් ඇතිව කරන මේ විරෝධය අතින් කෙන්යාවේ නයිරෝබි වලට සැතපුම් දහස් ගණනක් දුරින් ඇති නන්දි දිස්ත්‍රික්කයේ මිනිසුන්ට වඩා අමානුෂික අතින් ඉදිරියෙන් සිටින්නේය.එහෙත් මේ දරුවා සහ මව එස්තර් සහ පැමෙලා තරම්ම දුංඛිත තත්ත්වයට පත්ව නැති බව පිළිගත යුතුය.

දැන් තත්ත්වය තවත් හොඳය.ඉතිං එස්තර් ඔබ දරාගත් හැටි මේ මවට වැදගත්ය.දරුවන් 10 ක් පියවරු නැතිව ඔබ ඇති දැඩි කළ අතර ඒ දුක් කන්දරා මැදින් ඔබ එකියක් ලොවක් වටිනා දැරියක් කළාය.ඉතිං එක පුතෙක් ඇති කුලියාපිටියේ මවට ඔහු රටක් වටින පුතෙක් කළ නොහැකිද?

ඒ ක්‍රීඩාවෙන් විය යුතු නැත.වෙනත් කුමන කේෂ්ත්‍රයකින් හෝ දරුවාව පෙරටම ගෙන යන්නට ඒ ගමේ දරුවන්ට නොමැති ආරම්භයක් මේ පුතුට සිය අධ්‍යාපනය වෙනුවෙන් විවර වි ඇත.යමක් පරාජය කිරීමට උවමනානම් පරාජය කළ යුතු දෙයට වෛර කිරීමෙන් කළ නොහැකිය.සිය උවමනාව වෙනුවෙන් කැපවිය යුතුය.

දැනටමත් පුතුට ලැබි ඇති පාසල අනුවම කුලියාපිටියේ දරුවන් අභිබවා ඔබේ පුතු ගොස් ඇත.මෙයම ජයකි.සමස්තයක් ලෙස ගත් විට කුලියාපිටිය පමණක් නොව සමස්ත ඊනියා සිංහල බෞද්ධ සමාජීය ශ්‍රද්ධාවම සුණු-විසුණු වි ඇත.දියුණු මනසක් ඇති සියල්ලෝම මිනිසුන් ලෙස පිළිගන්නා සමාජ වටපිටාවක දැණුම,රැකවරනය හිමි වූ පුතු සමඟ,දිනෙක ඔබේ මාතෘත්වයට එස්තර්ට වඩා ඉහළ පිළිගැනිමක් ලැබෙනු ඇත.එතෙක් සන්සුන්ව ඉලක්කය කරා පුතු රැගෙන යන්නට ඔබට දිරිය ශක්තිය ලැබෙනු නිසැකය.


එහෙත් අපට කණගාටුවන්නට දෙයක් ඇත.මේ ඡායාරූපයේ දැක්වෙන දේ අප හඳුන්වන්නේ ග්‍රෝත්‍රික අංගයක් ලෙසය.මේ පැමෙලාගේ උපන් බිම වන නන්දි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ග්‍රෝත්‍රික නැටුමක්ය.අපි මේ ග්‍රෝත්‍රිකත්වයටත් පසුපසින් සිටීම ඒ කණගාටුවය.

Saturday, February 27, 2016

අයිතිය සහ විනය

මේකෙ මේ කෙල්ලො දෙන්න ලසන්තියි ශ්‍රියාලතයි.පාරට බයිසිකලෙත් එක්ක දියවෙච්චි කෙල්ලො.අදත් තරුණ කෙල්ලන්ට මුන් දෙන්න එක්ක බයිසිකල් පැදිලිනම් පහසු නැහැ,
ඒත් මෙයාලා කණ්ඩායමක් විදිහට දිනපු මෙඩල් එකක් තනියෙන් අයිති කර ගන්න හදන සහෝදර ක්‍රීඩිකාවක් නිසා මුං දෙන්න ඉන්නෙ බොහොම අසරණ වෙලා.

ලසන්තිගෙ ගමේ මිනිස්සු ඒ කෙල්ල වෙනුවෙන් කටවුට් එකක් ගහල එකටම ආය බොරුවක් කියල ගොමත් ගහල.අපේම සහෝදර මාධ්‍යෙව්දියො පුවත්පත්වලින් මේ ප්‍රවාත්තියට තටු දෙමින් කරපු විගඩමෙන් රටට රන් පදක්කම් පවා දිනා දීපු ශ්‍රියාලතාලගෙ අභිමානයට හැකියාවට වි ඇති අගෞරවයට කවුද වග කියන්නෙ.
අඩුම තරමෙන් මේ කතාව වැරදි විදිහට පළ කළ මාධ්‍ය ආයතනයක්වත් මේක නිවැරදි කරන්නෙ නැහැ.මාධ්‍යයට ඇති බලය කෙනෙක් ගැන සමාජ අවධානය යොමු කරන්න යොදා ගත්තට කමක් නැහැ.ඒත් ඒකෙන් තව කෙනෙක්ට හානියක් කරන්න යොදා ගැනීම වැරදියි.

එහෙම අදහසකින් නොලිව්වනම් ඒක දැන්වත් නිවැරදි කරන්න කාලය ඇවිත්,මේ ක්‍රිඩිකාවන් ගැනත් ලියන්න ඕනි.මුං දරුමල්ලො පැත්තක දාලා අවුරුදු ගාණක් තාර පොළව උණුවෙන තරමට මහපාරට දහඩිය හලපු ඒවයෙන් රටට කීර්තියක් ගෙනාපු කෙල්ලො,

අලුත් කෙනෙක් එනවනම්..ඇය දිගු ගමණක් යනවනම් මේ කෙල්ලො වපුරපු බිමේ අස්වැන්න අතරින්,ඒකයි ඇත්ත.ඒක වහං කරල ගුණමකු විදිහට පලයං කඩාගෙන කියල කවුරුහරි කියනවනම් හෝ මාධ්‍යයක් එයට උදව් කරනවනම් ඒක වැරදියි.

මම ශ්‍රියා රන් පදක්කම ගත්තු වෙලේ ලිව්ව ආටිකල් මතක් වුණා.අනුරාධපුරයට ගිහිං උන් දවසේ වේල සරිකර ගන්න කඩේට ගොඩ වෙලා ප්ලේන්ටියක් ගහල කරපු ඒ ආටිකල් එක 2006 ට අයිති එකක්.
එතකොට ශ්‍රියා සාග් රන් පදක්කම්ලාභිනියක්.

ඒ රන් පදක්කමට ලැබුණු දෙයක් තිබුණෙ නැහැ ඇයට.ඒ වෙන කොටත් වෑල්ඩින් කරල පැදපු රන් පදක්කම් ගෙනාපු බයිසිකලය තේ කඩේ අයිනෙ හේත්තු කරල තිබුණා.ඇය බයික් එක පෙන්නමින් කතා කරන කොට ඇස්වලින් වැටුණු කදුළු බර දෙයක් වුණානම් ඒ පාපැදිය ආයෙත් වෑල්ඩින් කරන්න වෙන්න තරමට පුපුරලා කෑලි වෙනවා.

එහෙම රටට දුක් විදල කීර්තිය ගෙනත් දීපු කෙල්ලන්ගෙ නම්වලට ගොම ගස්සන මාධ්‍යවාර්තාකරනයක් වෙනවනම් මටනම් මාධ්‍යවේදියෙක් විදිහට ලැජ්ජයි.

මේ වගෙම ක්‍රීඩාව ගැන වගකිමට නොහැකි අයගෙ වාර්තාවලින් ක්‍රීඩකයන්ගෙ ජීවිතය විනාශවෙලා තියෙනවා.හොදම උදාහරණය.වැලිවේරියෙ බෝම්බ සිදුවීම.ලංකාවට බිහිවෙමින් තිබුණු සුපිරිම මැරතන් ධාවකයෙක් වෙච්චි විග්නේෂ්වරන් ඒ බෝම්බය ගෙන ඒම ගැන සැකයි කියලා ගිය පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තිය නිසා ඔහුට මැරතන් නෙමෙයි යුධ හමුදාවෙ රස්සාවත් දාලා යන තැන වැඩ සිද්ධ වුණා.ඒක කවදාවත් යළි ප්‍රවෘත්තියකින් නිවරදි කළෙත් නැහැ.

මාධ්‍යවේදින්ගෙ නම් අගමැති කිව්වම කෑ ගහන කවුරුත් මේ වගේ මාධ්‍ය භාවිතාවන් ගැන කතා කරන්නෙ නැහැ.ඒක සුජාත අයිතියක්ද?ඕනිම දෙයක් තමන්ට ඕනි පරිදි ලියා පළ කිරීම.....
ප්‍රාදේශිය කතුවරයා අඩුම තරමේ ක්‍රීඩා අංශයෙන් මේ ගැන ඇහැව්වද?ක්‍රීඩා පිටුවක පළ වුණානනම් අඩුම තරමෙ දකුණු ආසියාතික නිල වෙබ් අඩවියෙන් ප්‍රතිපල පරික්ෂා තළාද,තමන්ගෙ ආයතනය නියෝජනය කරමින් දකුණු ආසියාතික තරඟාවලිය ආවරනය කළ මාධ්‍ය සඟයාගෙන් අසා බැලුවාද?රටම මේ තරඟාවලියට සියලු දේ රජය දුන් බව කියන අවස්ථාවක එක ක්‍රීඩිකාවක් ගෙයක් උකස් කළේ ඇයි?ඇය දිනූ රිදී පදක්කම තනි ඉසව්වකට නොවන බව සොයා නොබැලුවේ ඇයි?

මේ ක්‍රීඩිකාවන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන්.මාධ්‍යකරුවාත් මේ රටට අයිති එකෙක්.එසේනම් රට වෙනුවෙන් දහදිය වඟුරන මේ කෙල්ලන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න මේ රටේ පුරවැසියෙක් ලෙස මාධ්‍යකරුවාටද අයිතියක් නැහැ.ඒ්
ලැජ්ජයි!ලැජ්ජයි!ලැජ්ජයි!