Saturday, October 6, 2018

හෙළුවෙන් සිට අනුන්ගේ හෙළුවට හූ කීම

  මේ සටහන සම්බන්ධයෙන් බොහෝ දේ වාර්තා වෙයි.ඒ අතර වෛද්‍යවරියගේ යට ඇඳුම සහ මෝටර් රථයේ වේගය ධාවනයේ නොසැළකිල්ල සම්බන්ධවන ආකාරය පිළිබඳවද සොයා බැලෙයි.
මෙම අනතුරේ දෙපැත්ත මරුය.එක පැත්තක වෛද්‍යවරියකි.ඇය සම්බන්ධයෙන් වෛද්‍යවරු හැසිරෙන ආකාරය ගැන කියන දේ වලින් ඇයගේ පමණක් නොව එම බොහෝ දොස්තරවරුන්ගේ රෙදි ගැලවෙන අතර පාදෙනිය ප්‍රමුඛ රටේ හැම දේටම ලෙඩුන්ට තලන වෘතීත්ය සමිතියේ රෙදි ද ඈත්ව මෑත්ව ඇත.
අනෙක් පැත්තේ සිටින පොලිසිය ද හොඳ චරිත සහතිකයක් සහිත පිරිසක්ය.අවශ්‍යයතාවය අනුව දඩමස් ද ගොරකා කරන්නටත්,ගොරකා දඩමස් කරන්නටත් සමත් ඔවුන් ද තමන්ගේ අතේ ඇති නීතියෙන් දොස්තරවරුන්ගේ නලාවට තට්ටු කරමින් ඇත.බැටන් පොල්ල සහ නලාව අතර විශාල සමාජ වපසරියක් තුළ සිදුවන අනතුරක් බවට පත් ව ඇති පැපිලියාන අනතුර ගැන අනුන්ගේ රෙදි ඈත් වි ඇති සිටි පෙන්වා දෙන මාධ්‍ය නිරුවත්ව ඇවිඳින බව පෙන්වන්නට සමාජයට සිදුවීම දරුණු ඛේදවාචකයකි.
වෘත්තිමය වශයෙන් ගත් විට ජනමාධ්‍යකරුවාට ඇති වගකීම වෛද්‍යවරියට සහ පොලිසියට ඇති වගකීමට වැඩිය.
මේ ලිපිය පුරා වාර්තාවන සිදුවීමට අනුව වෛද්‍යවරිය යනු ඉතාම කළු චරිතයක් වන අතර පොලිසියේ අජන්ත ඉතාමත් සුදු චරිතයක්ය.පාතාල නායිකාවක විසින් සැදැහැවත් සුද්ධවන්තයෙකු ඝාතනය කර ඇත.පිරිත් අහන බෞද්ධ වත් පිළිවෙත් ඉටු කරන මව්පියන්ට ගරු කරන අජන්තව වනචාරි දිවියක් ගත කරන බීමත්වීම අනාචාරයේ හැසිරිම ජිවිතය කරගත් වෛද්‍යවරියක විසින් ඝාතනය කර ඇත.
මේ ලිපිය නැවත නැවතත් කියවා බැලුවද පත්තරකරු හදන චිත්‍රය එබඳුය.
මේ ලියුම්කරුට දරුණු අපරාධකරුවෙක් පොලිස් පරික්ෂකයෙක් ඝාතනය කර ඇති බව කියන්නට ඇති අවශ්‍යයතාවයේදි නොසළකා හරින පාර්ශවයන් පිළිබඳව වග කියන්නේ කවුද?
වෛද්‍යවරියගේ දරුවා තව දුරටත් වැදගත් රාජකාරියක් කළ මවකගේ දරුවෙක් නොවනු ඇත.ජීවීත  බේරා ගැනීම සඳහා විශේෂඥ හැකියාවක් ඇති තැනත්තිියක ලෙසු කටයුතු කරන වෛද්‍යවරිය නැතිනම් ඇයගේ දරුවාගේ මව දරුණු විෂමාචාර ක්‍රියාවන්ම ජීවිතය කරගත් තැනත්තියක වනු ඇත.
ඇය බීමත්ව පිරිසත් සමඟ යමින් සිට ඇත්තේ සිය නිවසටය.ඒ අනියම් පෙම්වතායැයි සැක කරන අයෙක් සමඟය.අනෙක් සිටි අය පච්ච කොටා ඇත.එය විලාසිතාවක් නොව දරුණු අපරාධකරුවන්ගේ ලක්ෂණයක් ලෙස හුවා දක්වන්නට සහ නොහොබිනා දෙයක් ලෙස මතු කරමින් වෛද්‍යවරියගේ චරිතය කළ කරන්නට පසුබිම සහ පදනම දමන හැටි අපූරුය.
සැමියා සහ දරුවා සිටින නිවසට යමින් සිට ඇති බව මෙහි ඇතුළතින් කියවෙන විට පසුව මේ පෙම්වතා නොවන බව හෙළි වුවහොත් පුවත්පත ඒ කරුණ නිවැරදි කර වෛද්‍යවරියගේ චරිතයට සිදු වූ හානියට කුමක් කරනු ඇද්ද?
එවැනි සිදුවීම් දෙකක් ලියා තැබිය යුතුය.
පළමු සිදුවීම වත්තල ප්‍රදේශයේදී ගුවන් හමුදා සෙබළුන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරය ය.එහිදි පොලීසීය සහ මාධ්‍ය අපූරුවට හැමුණින.කත් බැදන් පැමිණෙන මොරටුවේ වැල්ලබඩ සහෝදරයෙක් මිනිස් බෝම්බය ගෙන ආ පුද්ගලයා කළේය.තව පොඩ්ඩෙන් ඔහුගේ ජීවත් වූ පවුලේ සාමාජිකයන්ටද ගමේ මිනිසුන්ගේ අඩන්තේට්ටම් විඳින්නට සිදුවන්නට තිබිණ.නමුත් සිදු වි තිබුණේ ඔහු පුටු කද බැදන් පැමිණ ඊට පෙර දින රෑ වූ නිසා අසළ කඩයක එම කද තබා ගොස් තිබීමය.එය ගැනීමට පාර මාරුවීමේදී බෝම්බයට හසුවීමය.
එය හෙළිදරව් වූ පසුව එම මිනිසා බෝම්බකරු කළ පුවත්පත් කිසිවක් එම ප්‍රවෘත්තිය නිවැරදි කළේ නැත.සමාව ඉල්ලුවේ නැත.එම බොරු ප්‍රවෘත්තිය උඩින් සැබෑ ප්‍රවෘත්තිය පළ කළා පමණි.
දෙවන සිදුවීම අපූරුය.එහි කොටස් දෙකකි.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය වූ සිදුවීමේ කථන කටයුතු සිදු කළේ මා විසින්ය.එම බෝම්බ පිපුරුමෙන් පසු පොලිසිය එම අවස්ථාවේ කියා සිටියේ මෙය ක්‍රීඩකයන් අතර සිට කරන ලද පිපිරීමක් විය හැකි බවය.මම එවිට එසේනම් සිරුර ක්‍රීඩකයන් පිටුපසට වීසි වූයේ මන්දැයි විමසූ විට නිලධාරින් විසිර ගිය අතර එහි සිටි කිසිඳු මාධ්‍යවේදියෙකු මා නැඟූ ප්‍රශ්නය නොනැඟූ අතර ඇතැම් පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයකට එය අතුළත් කර තිබුණේ එම තරඟයට ඉදිරිපත් වී සිටි එකම දෙමළ තරඟකරු චූදිතයා කරමින්ය.
ලංකාවේ නැඟී එන මැරතන් තරඟකරුවෙක් වූ (විග්නේෂ්වරන්) ඔහුට එම තත්ත්වය නිසා යුධ හමුදාවේ සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර ඔහුට සිදු වු අසාධාරණය කොතැනකවත් වාර්තා නොවිණ.
එහ දෙවන සිදුවීම මා සිටි පත්තර කාර්යාලයට ද අදාළය.ඒ ලක්බිමය.
එහි පොලිස් වාර්තාකරුවා අපූරු සොයා ගැනීමක් කර තිබිණ.ඒ මාධ්‍යවේදින් සිටින තැන සිට එම පිපිරීමට සංඥාව දී තිබෙන බවය.ඔහු කියන තොරතුරු අනුව මාධ්‍යවේදියා තරංග වික්‍රමධාරය.ඔහුගේ දුරකථනය නිතර ඇමතුම් පැමිණෙන එකකි.එයට නිතර ඇමතුම් පැමිණෙන අතර පිපුරුම ආසන්නයේ පැමිණෙන ඇමතුමට පිළිතුරු දි ඔහු අත ඇති දම්වැල සකසා ගන්නට අත ඔසවන්නේය.
මා එය පැහැදිළි කර දුන්නද ඔහු පොලිසියේ ඉහළ නිලධාරියෙක් තමන්ටම පමණක් රහසේ කියූ දෙයක් බවත් එම ලීඩ් ස්ටෝරි එක යන්නේ ලක්බිමේ පමණක් බවත් කියමින් උදම් ඇනුවේය.අවසානයේ රන්ජන් පරණවිතාන මහතා මැදිහත්ව මා එම ස්ථානයේ නිවේදකයා බව ඔහුට කී පසු සම්පත් දේශප්‍රිය මා කැඳවා පසු දින ලීඩ් ස්ටෝරියේ කොටසක් මට ද පැවරුවේය.
එපමණක් නොව එම ඝාතනය වෙනුවෙන් අත් අඩංගුවට ගත් තරුණියක් සිය දිවි නසාගත් බවට වාර්තාවිය.එය ජෙයරාජ් ඝාතනයට හවුල් කොටි තරුණිය සිය දිවි නසා ගනියි පමණක් විය.ඒ නිසා ග්‍රාමසේවකවරයෙක්ට රැකියාව අහිමි විය.අත් අඩංගුවට පත් විය.ඒ දෙහිවල ප්‍රදේශයේය.නමුත් ඒ කිසිවක් නොවන බවට පසුව සාක්ෂි හමු වුව ද,කිසිඳු මාධ්‍යයක් අර අසාධාරණ ලෙස චෝදනා එල්ල කළ මිනිසුන්ගේ හඩට ඉඩක් දුන්නේ නැත.අදටද එයට ඉඩ ඇත.
මේ  වෛද්‍යවරිය සම්බන්ධ කතාබහද එබඳුය.හෙට කුමකින් කුමක් වුව ද ඇය අතින් වු වරදට මුළු පවුලම වගකිවයුතු තත්ත්වයක් මාධ්‍ය මේ වන විට නිර්මාණය කර අවසන්ය.ඇය වේසියෙකි.බේබද්දියකි.පච්ච ගැසූ මිනිසුන් ඇසුරු කරන නොසණ්ඩාල චරිතයකි.එැවැනි චරිතයක් ඇති ඇය පොලිසියේ සිටින රහත්පල ලබන්නට තරම් ආසන්න පිං දහම් බොහෝ කරන පොලිස් පරීක්ෂකවරයෙක් හප්පා මරා ඇත.
ඇය අතින් මේ ආකාරයට සිදුවන කී වැනි රිය අනතුරද?සොයා නැත.එහෙත් මේ ස්වභාවය යන්න සහතික කොට ලියා ඇත.(සහතික කරන්නට කරුණු නැත)
පළමු අනතුරද දෙවැන්නද යන්න අදාළ නැත.දඩුවම් ලැබිය යුතුය.බීමත්ව රිය පැදවීම වරදකි.එම වරද නිසා මෙය සිදු වි ඇත.එහෙත් වේසාවියක බේබද්දියක ලෙස හංවඩු නොගසා ඇය විසින් බේරා ඇති ජීවිත ගැන විශේෂඥ වෛද්‍යවරියක ලෙස ඇය කර ඇති සේවය මෙම ඇයගේ වැරදිකාරි හැසිරීම් නිසා සමාජයට අහිමිවන බව ලී වේනම් ලිපිය කියන අයෙකුට මොනතරම් හොඳ කළත් මිනිසෙකුට එක වරදක් ඇති ඒ සියලු හොඳ නැති කරගන්නට යන හැඟීමක් පහළ වන්නට තිබිණ.
එම කම්පනය දැනවිමට වඩා අපරාධකරුවෙක් විසින් නිරපරාදේ යහපත් සමාජ ආරක්ෂකයෙක් මරා දමා ඇති බව කියන්නට බීපු හැටි බීපු ප්‍රමාණය.ජංගිය නැති වීම වැනි කරුණු උපුටා දක්වා ලිවීම අලුත්ම වාර්තාකරණයේ ස්වභාවය වි ඇත.
පොලිස් නිලධාරියා එම තත්ත්වයට එන්නට කර ඇති කැපවීම සාධනීය ලෙස විග්‍රහ කරන අතරේම වෛද්‍යවරිය විශේෂඥ වෛද්‍යවරියක වීමේ කතාව වචන කිහිපයකින් ලිස්සා හැර ඇත.කළුබෝවිල රෝහලේ අම්මා දැරූ තනතුර,ඇයගේ වාසග තිබෙන අයෙක් එහි ප්‍රධානියා වීම හැර ඇය විශේෂඥ වෛද්‍යවරියක වීමට කළ කැපවීම සහ එම තනතුරේ සිට කළ කී දේ සොයා බැලුවේනම් මේ ප්‍රවෘත්තියෙන් සමාජයට මීට වඩා සේවයක් වන්නට තිබිණ.
කෙතරම් දේ කළ ද බීමත්ව රිය පැදවීමෙන් ඒ සියල්ල අහිමිවන බවට ඇති කරන කම්පනය ඇයගේ ජංගිය සෙවීම,අනියම් පෙම්වතා සෙවීම සිටිය අයගේ පච්ච ගැන කීම වැනි කරුණුවලට වඩා වැදගත් වන්නට තිබිණ.දොර හිල ළඟට පාඨකයාගේ ඇස අල්ලා පාත් කිරීම නොව හිස ඔසවා තබාගෙන සිතන්නට යමක් දීම පත්තරකාරයාගේ රස්සාවය.
මිත්‍යා දෘෂ්ඨීන් ගණින්නට බැරි තරමෙන් පතල ඉන්දියාව මානව සබඳතාවයන් දෙවියන්ගෙන් ඈත් මෑත් කර වඩා මානුෂින නීතිමය වටපිටාවක තැන්පත් කරන්නට දරන මොහොතක සමරිසි විවාහයන් ගැන අනියම් සම්බන්ධයන් පිළිබද නිර්වචනය ආදියෙන් පියවරක් ඉදිරියට යන්නේ එරට මාධ්‍ය ඊටත් පියවර ගණනාවක් ඉදිරියේ සිට සමාජය ඒ වෙත ඇඳගෙන ඒමට දුන් රුකුල නිසාය.එහෙත් අපේ රටේ ඇත්තේ මිනිසුන් සූදානම් කරන මාධ්‍යයකට වඩා මිනිසුන්ට අවශ්‍යය පරිදි සූදානම්වන මාධ්‍යයකි.

Sunday, November 19, 2017

සිරකුටි සහ සිකුරටි

Image result for jail
අප පැවති රජයට එල්ල කළ චෝදනා කිසිවක් අහෝසි වී නැත,එහෙත් ඒවා සුරංගනා කතාවල පරිච්ඡේද ලෙස ආනන්දය බෙදා දෙමින් තිබෙයි.
ඔප්පු නැති හිමිකරුවන් නැත නිවෙස්
ඩේසි ආච්චිට ලැබෙන මැණික් මල්ල සල්ලි මල්ල
....................
මේ කතා අතරට ඇතැම් විට ගඟනගාමී සිහිනයෙන් සිටි රෝහිත රාජපක්ෂ අභ්‍යවකාශයට යන අතර දුටු අපූරු ගසකින් සිතූ සිතූ සම්පත් ලැබීමට හැකි වන පරිදි ගෙනා ශාඛාවකින් සල්ලි මවා ගත්තා ද විය හැකිය.මේ අතාර්තික කරුණු විශ්වාසයට ගෙන කටයුතු කරන පිරිසක් මහින්ද රාජපක්ෂ වටා නොසැලී තබා ගැනීමට ඔහු සතුව ඇති හැකියාව රැදී තිබෙන්නේද,තවත් විෂකුරු සත්‍යයකට යටත්වය.ඒ ජාතිවාදි සහ ආගම්වාදී මතවාදයට ඔහු විසින් ලබා දෙන පුළුල් ඉඩ - කඩය.
නමුත් මහින්ද එවැන්නෙක් යැයි කිව නොහැකිය.ඔහුට යුද්ධ කිරීමට ද උවමනාවක් නොතිබි බව ඉතිහාසය කියවන්නෙකුට පැහැදිළි කර ගැනීම අපහසු නැත.නමුත් මේ සියල්ලට වඩා ඔහු බලයට ගිජුය.ඒ නිසා අන්තිම තක්කඩි ජාතිවාදය සහ ආගම්වාදයෙන් සමාජයට වන විනාශයට වඩා මහින්දට බලය වටින්නේය.ඔහු ගේ හදවතේ සැබවින්ම ඇති ජාතිවාදි නොවන ආගම්වාදි නොවන ස්වාධීන පුද්ගලයා යට කොට වැඩි බරක් "අපෙ හාමුදරුවනේ' යන තේරුමක් නැති වචනයට දෙන්නේම එය තේරුමක් නැති ව ජීවත්වන බහුතරයකගේ හුස්ම තරමටම ප්‍රබල දැනවීමක් ඇති කරන වචන බව ඔහු හැදෑරීමෙන් දන්නා බැවින්ය.
මහින්ද මේ හැදෑරීම සමඟ පැවත්මට අවශ්‍යය වටපිටාව ශක්තිමත් කළ හැකි පිරිසක් ද සොයා ගත්තේය.ඒ මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලනයේ හෝඩියේ සිට සිටිය අය නොවේය.අවශ්‍යයතාවය ශාක්ෂාත් කර දිය හැකි පිරිසක්ය.බලය සමඟ සමීපතමයෝ වෙනස් වූහ.බලය රැක ගැනීමට අවශ්‍යය අය සමීප කර ගත්හ.ඒ සියල්ල විසින් රැක දුන් කදවුරට පහර දෙන්නට ආ පිරිස් මේ ආණ්ඩුව සමඟ කොන්දේසි විරහිතව එකඟ වූහ.
එය තමන්ගේ අවශ්‍යයතාවයන් වෙනුවෙන් පෙනී සිටීමක් නොවිණ.එය ජීවිතය දෙවැනි කොට කළ කැපවීමක් විය.මහා ප්‍රාකාරයට එරෙහිව මත ප්‍රකාශ කර විපක්ෂ මන්ත්‍රීවරයෙකුට අඩුම තරමේ එක ආරක්ෂකයෙක් හෝ සිටියේය.නමුත් එසේ නොවන විශාල පිරිසක් මරණයත් සමඟ එක පෙළට අනාරක්ෂිතව ගමන් කළේය.ඔව්හූ දිවා රෑ නොමැතිව තමන් වටේ මරණය හොල්මන් කරන බව දැන දැනම පෙරළා දැමිය යුතු අශුද්ධ ප්‍රාකාරය බර යොදා තල්ලු කළහ.
ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද?
යහපාලනය ඇරඹින.කප්පරක් බර හොරකම් පිළිබදව කතා චෝදනා ලෙස තැණුන විශේෂ ඒකක වෙත භාරවිණ.ඒවා ක්‍රියාත්මක වීම ක්‍රමයෙන් ඉබිගමණට වැටිණ.ඒ අතර නන්නාදුණ අයගේ සල්ලි මලු ප්‍රදාන,මැණික් මලු ප්‍රදාන,හිමිකරුවන් නැති නිවාස පහළවීම වැනි කරුණු ඒවා විශ්වාසයට ගැනෙමින් නැවතුණු බවක් දැක්විණ.ග්‍රීක් බොන්ඩ්,සේවක අර්ථ සාධක අරමුදලට අයත් ලාභ කොටස් විකිණීම,පෞද්ගලික බැදුම්කර ප්‍රදානයන් රාජ්‍ය බැංකුවලට ලබා දෙමින් ව්‍යාජ පොලී අනුපාත සකස් කරමින් වැරදි ආර්ථික දත්ත සමාජගත කිරීම වැනි කාරණා සැඟවිණ.
ඒ අනුව අද මහා ගැටළුව බවට පත් වී තිබෙන බැඳුම්කර සිද්ධියද ඒ දක්වා කරගෙන ආ පෞද්ගලික බැඳුම්කර නිකුත් කිරීම නිවැරදිව වෙන්දේසි ක්‍රමයට ගෙන ඒම නසා ඇති වූවක් බවට හෝ සමාජගත කිරීම ආණ්ඩුව අතපසු කරන්නේය.
ආණ්ඩුව මේ ආකාරයට වරද්දාගන්නේ ඇයිද යන්න දැන්වත් සිතා බැලිය යුතුය.ඒ ආණ්ඩුව බලයත් සමඟ පරිපලන ක්‍රියාවලිය ගැන සිතුවා විනා දේශපාලන ක්‍රයාවලිය අමතක කර දමන්නේය.පැවති ආණ්ඩුවේ දේශපාලනය විවේචනය කළ හෝ එය ප්‍රායෝගිකව හදාරා සිටි අයට ඊට පිළිතුරු දෙන්නට වන්නේ යම් පරිපාලනමය සිද්ධාන්ත පමණක් දැන සිටින ඉහළ ස්ථරයකට යටත්ව වන තරමට ආණ්ඩුවේ දේශපාලනය උදාසීන විය.අදටත් මේ තත්ත්වය එසේම පවතින්නේය.
බලයට පැමිණි වහාම ඇති කළ අලුත් ක්‍රමවේදය තුළ වැරදිකරුවන් සෙවීමට අවශ්‍යය වටපිටාව සැකසීම සහ එය ඉක්මන් කිරීමට අවශ්‍යය පෙළඹවීම නොකරන තත්ත්වයක පත්වන රජයට එල්ලවන චෝදනා පිළිබදව සොයා බැලීම කඩිනම් වන්නේය.මේ මොහොතේ සිදුවන්නේද එයය.දේශපාලනයෙන් තොරව සිතන විට පැවති රජයට එරෙහිව අභියෝගය භාරගත් පිරිස් ඒ ගැන හදවතින්ම සතුටු වන්නේය.නමුත් ඊට පෙරාතුව තිබෙන ෆයිල් වැසෙන්නට මෙම බර තබා ඒවා දිග නොහැරීම ඛේදයකි.ඊට හේතුව ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රය දුර්වල සහ උදාසීන එකක් වීමය.දේශපාලන මෙහෙයුමේ සිට එහි තිත්ත සහ අවලස්සන දන්නා අයට ඒ අනුව ක්‍රියාත්මක වන්නට නොහැකිය.බලපෑම් කරන්නට නොහැකිය.ඒවා දේශපාලනය ද්වීතියික කොටගත් පරිපාලනමය ව්‍යහුයකින් වැසී ඇත.
ආණ්ඩුව දේශපාලනය නොකරන තාක් ඔවුන් දඟගෙට දක්කා පරණ වැරදිවලට ශුද්ධාත්මයක් ලැබීම වළක්වනු නොහැකිය.දේශපාලනය යනු ආණ්ඩු විරෝධීන් රොතු පිටින් බොරු චෝදනා එල්ල කොට හිරගෙයි දැමීම නොවේය.වැරදිකරුවන් පිළිබඳ එල්ල වී ඇති චෝදනා පිළිබඳව නිවැරදි නීතිමය පරික්ෂාවන් සිදු කොට ඊට අදාළ දඩුවම් ලබා දීමය.මේ කාරණය සම්බන්ධයෙන් කාරණා ඉක්මන් වෙන්නේනම් වැලිකඩ සිරගෙචර ඝාතනයේ වැරදිකරුවන් හඳුනාගන්නට අපහසු නැත.අනේක වූ අවිශ්වසනීය ගණුදෙනු ඉපැයීම් පිළිබදව එල්ලවන චෝදනා සම්බන්ධ වගඋත්තරකරුවන්ට දඩුවම් ලැබීම ඉක්මන් වෙනවා ඇත.මේ දේශපාලනය පක්ෂයක් නොව රටක් වෙනුවෙන් අවශ්‍යය වී ඇත.ඊට දේශපාලකයෝ දේශපාලනය කළ එයින් පීඩාවට පත් වූ අයගේ ක්‍රියාත්මකවීමට ශක්තියක් වෙනු පිණිස වූ ව්‍යහුයමය වෙනසක් ගැන දැන්වත් සිතිය යුතුය.
තවමත් සිරකුටි හිස්ය.ඒවායේ ලැඟිය යුත්තෝ සිකුරටි සමඟ ජීවත්වන්නේය.

Thursday, November 16, 2017

ඉල් සහ හිල්

An article image
කාලයකට පසුව බ්ලොග් එකට අකුරු පුරවන්නට සිතක් පහළ විය.ඒ ඉල් මහ සමරුව ගැනය.නොවැම්බරය සීතලය.ඒත් ඉල් උණුසුම් කරන සමරුවක් වන්නේ රටට නොව සුළුතරයකටය.ඒ රෙසපි එක පෙන්නා වෙනත් අඩුම කුඩුම යොදවා හදන කේක් එකක් මෙන් දේශපාලනයකට මේ ක්‍රියාවලිය යටත් වන බැවිනි.ඒ නිසාම එහි එක දිගට රැදෙන දේශපාලන සාමාජිකයන් අඩුය.

මේ කණ්ඩායම සමඟ එක්වන්නේ දීර්ඝ ලෙස සමාජයෙන් කොන් වීමේ අසාධාරණයට ලක්වන අත්දැකීම් ඇත්තවුන් හෝ එවැනි එක් අත්දැකීමක් නිසා හෝ අසාධාරණයට ලක් වීමෙන් ඇති වූ කම්පනයෙන් රිදවා ගත්තවුන්ය.එසේ නොවන සුළු පිරිසක් ඒ අසාධාරණය දැක මීට එක්වන්නේ සාධාරණ සමාජයක් ගොඩ නැංවීමේ සිහිනයෙන් යුතුවය.

මගේ අතිශයින් සමීපතම මිතුරා ජවිපෙ සමඟ රොඳ බදින්නට ගත් තීරණයේ ඇත්තේ ඔහුට පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වන්නට තිබුණ ඉඩ වසා දැමීමට ගමේ පාසලේ විදුහල්පතිවරයා සහ වරප්‍රසාදිත පන්තිය ගන්නා ලද තීරණයක්ය.ඒ බැට කෑම එක මොහොතකට සීමා නොවී ඔහුට ඇති කළ ගැහැට අවසානයේ නිමා වන්නේ විශාල ඛේදවාචකයකින්ය.

ඇයි ඔහු ශිෂ්‍යත්වයට හිර වන්නෙ?

වෙනත් විකල්පයක් නොමැති නිසාය.විකල්ප සහිත නැතිනම් අවසාන පලය නෙලා ගැනීමට ප්‍රමතිගත මාර්ග බහුල වේ නම්;තත්ත්වය තව වෙනස් වන්නට තිබිණ.ඒ අවශ්‍යයතාවය පල දරන්නේනම්...........

මෙවැනි කම්පාවන් සහිත පුද්ගලයන් සීමා වෙනවා මෙන්ම ඒ දේශපාලනය වටා රොද බඳින්නන් සීමා වෙනවා නේද?

මේ නිසාම සකසාගත් රාමුවක සිර වූ දේශපාලනයක ප්‍රතිපල ලෙස මේ රටට 71 දී සහ 89 දී ජීවිත විශාල ගණනාවක් අහිමි විය.ධනවාදයේ උවමනාවට අනුව හැසිරීමට යෝජනා කරනවාද....?ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබ මගෙන් අසන්නට හැකිය.ඉන් පසු සංවාදය තිත්ත රස වචන වලින් උතුරා යනු ඇත.

නමුත් යෝජනාව හකුලනු වෙනුවට ඒ යෝජනාවේ ඇති පලය ලබා ගැනීම සඳහා අවශ්‍යය ක්‍රමවේදය සකස් කිරීමට යම් කිසි ධනාත්මක මැදිහත්වීමක් කළ හැකි නොවේද?

අද අපේ විශ්ව විද්‍යාල ප්‍රජාව රටේ අධ්‍යාපනය,සෞඛ්‍යය ආදි එකි මෙකී නොකී සම්පත් රැක ගැනීම වෙනුවෙන් වැඩි කාලයක් ගෙවන්නේ පාරවල්වලය.මේ රැක ගන්න හදන අධ්‍යාපනය ගන්න.

පරණ දේ ය.අලුත් වීමක් නැත.සමාජයට අලුතින් යමක් එකතු කරන පර්යේෂන සිද්ධ වෙන්නේම නැති තරම්ය.ඒවා වෙනස් කරන්නට අරගල කිරීම හෝ ඒවා වෙනස් කරන්නට මේ අරගල කරන ශීෂ්‍ය සංගම් සාමාජිකයන් සිය ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවමින් කරන ලද අලුත් පර්යේෂණ කෘති කවරේද?නිර්මාණය කළ යන්ත්‍ර සූත්‍ර හෝ වෙනත් සමාජ හිතකාමී ක්‍රියාවලියක් වේද?

යාන්ත්‍රික නඟුල්,අඩු වියදම් යතුරු පැදි,පොල් කඩන යන්ත්‍ර,කෘතිම පාද.....මෙසේ නිපදවන බොහෝ කරන්නේ සරසවි උගතුන් නොවේය.ඒවාට හේතුපාඨ සැපයීම සහ ඇගයීම පමණක් කරන්නට ඔවුන් සෑදී පැහැදී සිටින්නේය.අතිශයින් ප්‍රායෝගික පලදායි ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලවල පර්යේෂණ පහසුකම් සැපයිය යුතුය යනුවෙන් විකල්ප දේශපාලන ධාරාවකට අරගලයක් කළ හැකිය.මන්ද සමාන අවස්ථාවන් නැති,සම්පත් බෙදී යාමේ අසමානතාවයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් නිසා මේ නිර්මාණ කරන ගම්වල අහිංසක දරුවන්ට රට ලෝකයට රැගෙන යාමට අවශ්‍යය ආයතනික කුසලතා සහතික කරන කිසිවක් නොලැබෙන නිසාය.

නමුත් ලංකාවේ පවතින මේ දේශපාලනය අරගල දෙකකට පසු ජීවිත දහස් ගණනක් අහිමි වීමෙන් පසුවද තවත් ජීවිත බිලිදෙමින් අරගලයකට යනු ඇත්තේ පවතින රජයක් මේ නිර්මාණකරුවන් න්‍යායාත්මක අධ්‍යාපන සුදුසුකම් දෙවැනි කොට සරසවිවලට ඇතුළත් කරගන්නට ගියහොත්ය.තිත්ත වුව ඇත්ත මෙබඳු නොවේද?

එයින් අදහස් කරන්නේ පවතින අධ්‍යාපනික රටාව සහ පිළිවෙල උගතුන් නිර්මාණය කිරීමට සුදුසු බව මේ දේශපාලනය පිළිගැනීමද? සම්පත් බෙදී යාමේ අසමානතාවයෙන් ගොඩ එන්නට ඇති පෞද්ගලික අධ්‍යාපන උපකාරක පංති සංස්කෘතිය පිළිගන්නා බවද?එසේ පෞද්ගලික පංති වන්දනාවේ යාමට නොහැකි හෝ ඊට ප්‍රතිපත්තිමය වශයෙන් අකමැති නමුත් සම්පත් දුබලතාවයෙන් යුත් දරුවෙක්ට ඇති විකල්පය කුමක්ද?

" වැඩේ පහේ ශිෂ්‍යත්වයම තමයි,ඒක පාස් වෙන්න තියෙන එක නැවත්තුවොත් මරාගෙන මැරෙන්න ඕනි"

මෙවැනි හැඟීමක් නඩත්තු කරමින් ජීවිත අගාධයට ඇද දැමීම දේශපාලනික යුතුකමක්ද?

නැත ශිෂ්‍යත්වය බල්ලට දාන්න මෙන්න පාරවල් කියා අලුත් මාවත් සකසා පෙන්වා දීම වැදගත් ද?

තව ජීවිත සමඟ සෙල්ලම් කිරීමට පෙර මෙය විසඳාගත යුතු නොවේද?

සයිටම් අර්බූදය තුළ ද මේ හිල් එලෙසින්ම තිබිණ.එම අවස්ථාව හකුලා දමා ධනවාදයේ අධ්‍යාපනය බෞතීස්ම කිරීම එම අරගලයේ ද අවසාන ඉලක්කය විය.

එහිදී විදේශ විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා ගන්නා පිරිස කෙතරම් ද?එයින් රටේ මුදල් කොපමණ ප්‍රමානයක් විදේශයට ඇදී යනවාද? මේ කාරණයට විසඳුම් මොනවාද?

රටේ පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල ඇති කිරීම සුදුසුය.ඒ නිසා විදේශයන්ට ඇදී යන මුදල් රටේ රඳවා ගන්නට ලැබෙයි.තවත් විදේශ මුදල් රටට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙයි.

සයිටම් හී උගන්නන්නේ දැන් සිටින වෛද්‍යවරුන්ටද උගන්වන සහ ඉගැන්නූ පිරිස්ය.ඒ නිසා එහි වෙනසක් නැත.දැණුම ලබා ගන්නට සහ දැණුම බෙදා දෙන්නට ඇති සම්පත්වල ගැටළුව සහ එයින් ලැබෙන ආදායම රජයේ අධ්‍යාපනයට යොදා ගත හැකි මාර්ගයක් පෙන්වා දීම යන කරුණු මුල් කරගෙන සටන සිදු වූවානම් එය වැදගත් නැද්ද?

අද අපිට විශාල සේවයක් ලබා දුන් රුසියාවේ ලුමුම්බා වට එම නමත් නැත.එහි ශිෂ්‍යත්ව වෙනුවට මුදල් දී ඉගෙන ගත යුතුය.චීනයේ තත්ත්යද එබඳුය.ඇත්තේ විවෘත ආර්ථිකයයි.කියුබාව පෞද්ගලික ආයෝජනයට ඇති අවස්ථා 80% න් ඉහළ දමන්නට කථිකා කරමින් සිටියි.ඒ ධනවාදය රටට වැද්දා ගන්නට නොව.සමාජවාදය තුළ එය පාලනය කරන්නේ කෙසේද සහ එයට ස්වීය දේශපාලනයට අනුව සමාජ හැඩයක් ලබා දෙන්නේ කෙසේද යන්න තර්කයට අදාළවය.එසේ වෙනස්වන්නට සිතන්නේ නැති කොට සා දුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිටියව් යන සටන් පාඨය අලුත් වෙන්නේ නැතුවා පමණක් නොව,ඒ සටන් පාඨය ට පවතින්නට ඇති ඉඩ අඩු වන්නේද නැත.සටන් වැකි නොව සටන් ක්‍රම ද අලුත් විය යුතු තැනෙක එය නොතකා කටයුතු කරන දේශපාලනයකට එක් විය හැක්කේ ජයග්‍රහණ නොව තවත් පරාජයන් සහ සමරන්නට සොහොන් කොත්ය.

දැනටද රැක ගන්නට යැයි අරගල කරන ලැබූ සමාජ ජයග්‍රහණ බොහොමයක් හදුන්වා දෙන අවස්ථාවේදී විරෝධයට ලක් වූ ඒවාය.එසේ නොමැතිනම් අරගලයකින් තොරව ලැබුණු දේ ය.


Friday, April 21, 2017

ලංකාවේ දේශපාලනයට සතුන් ඕනෑකර තිබේ


මම මුහුණු පොතේ සැරිසරන විට අද මුහුණු පොත බක්මහ උළෙලේදී අතට අත දී සුබ නොපතන ලෙස දුන් වැදගත් උපදෙසක් දුටිමි.ඒ සමඟ එම මුහුණු පොතේ පහළට යද්දී දුටුවේ රනිල් වික්‍රමසිංහට මුකවාඩමක් නැතිව පැය භාගයක් සිටින්නට නොහැකි වීම ගැන ඒ උපදේශකගේ විවේචනයක්ය.
එයින් ද කෙනෙකුට යමක් දැන ගන්නට හැකි බව මට හැඟේ.එසේනම් ඒ නිර්වචනයෙන් පැහැදිළිවන්නේ විෂබීජයක බලපෑමක් එල්ල නොවී පැය භාගයක් සිටිය හැකි බවය.
සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නට සමාජයට ඉඟැන්වීම නායකත්වයක් බව මට හැඟේ.නිරෝගීකම වෙනුවෙන් එම හැසිරීම වැදගත්ය.නමුත් බොහෝ අයට ඇත්තේ නායකයෙක් යනු සිය සෞඛ්‍යය ගැන නොසිතා කටයුතු කළ යුතු අයෙක් බව හැඟීමක්ය.ඉහත මුහුණු පොතේ සටහන් දෙක පැහැදිළි කරන්නේද එයම නොවේද?හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම හෝ ඒ අනුව කටයුතු කිරීම දේශපාලන නායකයෙක්නම් අනුචිතය.
එසේනම් දේශපාලුවා ශික්ෂණයක් හෝ සංවරයක් නැති සතෙක් වැනි එකෙක් විය යුතුය.ඔහු බුද්ධිමත්ව කටයුතු නොකරන සිතා වැඩ කිරීමේ හැකියාවෙන් තොර සතෙක් වැනි එකෙක් විය යුතුය.
අතැම් දේශපාලනයන්ගේ හැසිරීම සතුන් පරිදිය.ඒ දේශපාලනඥයන් තෝරාගන්නේ මිනිසුන්ය.ඒ ගැන පුදුම වන්නට දෙයක් නැත්තේ මෙවැනි සටහන්වලින් සතුන් ඉල්ලන පිරිස් සිටින බව පැහැදිළි වන නිසාය.
රනිල්ගේ කට හරියෙන්ම වැඩේ නැවතිණ.මුකවාඩම නොදැම්මේනම් පිංතූරයේ පහළට එන්නට සිඳුවනු ඇත.එහිදී සපත්තුව හසුවිය හැකිය.ඒ වර්ගය සහ වන්දියක් ලෙස පොට වරද්දාගෙන කෑගහන රක්ෂණාවරණයේ ලක්ෂය සහ සපත්තුවෙ ගාණත්,සපත්තු දෙකක් නොදා ඇවිදින්නට නොහැකි එකෙක් ලෙස අවමානයත් අලවා විවේචන අරඹනු ඇත.
ඕනෑම කුණු ගොඩක වසන කපුටෙක්,කුණක් ඇඳ කන සහ එහි රිංගන කබරයෙක් හෝ බල්ලෙක් මෙවැනි අදහස් දරණ පිරිස වෙනුවෙන් පත් කර ගැනීමට හැකි වන පරිදි සත්තුන්ටද ඡන්දය ඉල්ලීමේ අයිතිය ලබා දිය යුතුව ඇත.
රනිල් හෝ ඔහුගේ දේශපාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නැත.තමන් දරණ දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමට ද,ඊට විරුද්ධමත විවේචනය කිරීමට ඇති අයිතිය ද අගය කරමි.එහෙත් විද්‍යාත්මකව පිළිගත් සෞඛ්‍ය පුරුදු ප්‍රදර්ශනය කරන විට ඊට අගයක් දීම වෙනුවට සහ එය සමාජ ආදර්ශයක් ලෙස නොගෙන දේශපාලකයා ඌරෙක් බල්ලෙක් හෝ කපුටෙක් ලෙස හැසිරිය යුතුය යන්න සමාජ මතයක් කරන්නට වෙර දැරීමනම් නින්දිතය.
දීර්ඝ සංචාරයකින් පසුව,වෙහෙසකාරි තත්ත්වයක තිබෙන සිරුර වෙනුවෙන් ගත් සෞඛ්‍යමය තීන්දුව එබඳු වුව ද,මිනිසුන් රැඳී සිටින තැන්වලදී ඔහු සමීපව හැසිරිණ.මෙය විනාඩි කිහිපයක වෙනස් වීමකි.එය කාටවත් නොපෙනී මුකවාඩමම ගිල දමන්නට බලන මානසිකත්වය සහ එවැනි මත සමාජයට බෝ කරන්නට යාම අශ්ලීලකමකි.
නායකයා හොඳ පුරුදු ඇත්තෙකි.නායකත්වය ලැබෙන්නේ හොඳ පුරුදු ඇත්තෙක්ටය කියන ආදර්ශය දරුවන්ට කියා දෙනු වෙනුවට නායකයා කියන්නේ සහ හොඳ පුරුදු කියන්නේ ඕනෑම අනාරක්ෂිත තැනෙක (කුණු ගොඩක) සෞඛ්‍ය පිළිබඳව කිසිම සැළකිල්ලක් නැතිව රිංගන ඌරෙක්,බල්ලෙක් හෝ කබරයෙක් වැනි අයෙක් බව ද මේ පහදමින් සිටින්නේ.

Sunday, April 16, 2017

මීතොටමුල්ලෙ කුණු

මම තැන් කිහිපයක කුණු කන්ද ගැන ලිව්වා.ඒත් මේ කන්දෙ ඇත්ත හැංගිලා තිබුණු ඒ වටා හිටිය බොහෝ දෙනෙක්ගෙ ජීවිතවල ඇත්ත හෙළිකෙරෙන සමාජ දේශපාලන කතාව තේරුම්ගන්න පුළුවන් අත්දැකීමක් මා සතුව තියෙනවා.
මම අනුරුද්ධ බාලිකාවේ යම් යම් කලා කටයුතුවලට සම්බන්ධ වුණාම ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන අම්ම කෙනෙක් හිටියා.
"මුන්ට මොනව හරි දෙයක් ඉගෙන ගන්න එක තමයි ස්ර් තියෙන එකම ගැලවීම"
ඒ අම්ම තමන්ගෙ දරුවෙිතරක් නෙමෙයි අනිත් දරුවොත් පත්වෙලා ඉන්න ඉරණමෙන් ගොඩ එන්න මොනව හරි ඉගෙන ගන්න ඕනි කියන එක නිතරම විශ්වාස කළා.දරුවන්ගෙ විනය ගැන ඕනවටත් වඩා උනන්දු වීම නිසා ඇතැම් කෙල්ලො ඇය සමඟ උරණවත් සිටියා.ඒත් ඇය අවංකවම එහි සිටින බොහෝ දැරියන් ජීවත්වෙන පරිසරය වෙනස් විය යුතුයි.ඒ සඳහා එම දියණිවරු වෙනස් විය යුතුයි කියලා කල්පනා කළා.
ඔය අතරෙ තමයි 2011 විතර ඉදලා කුණු කන්ද ගොඩ ගැහෙන්න පටන් ගන්නෙ.ඒකට විරුද්ධවත් ඇය පෙරට පැමිණියා.ඒ් අරගල නිසා ඇය රක්ෂිත බන්ධනාගාරයට පවා යොමු වුණා.අතමිට හිඟ වුවත් තමන් ජීවත්වෙන පරිසරය භෞතිකවත්,ඒ මිනිසුන් අධ්‍යාත්මිකවත් වෙනස් විය යුතු බව සිතූ ඒ සටනෙ හිටියෙ අවංකවම.
නමුත් සියල්ල දෙදරා යන මොහොතක් එනවා.ඇයගේ වැඩිමහල් දියණියම ඇය සමජය දකින හීනයෙන් පැන යනවා.ඒ සාමාන්‍ය පෙළවත් කරන්න පෙර කොළොන්නාව නගර සභාවෙ සේවකයෙක් එක්ක හොර රහසේම දීග කන්නට යාම නිසා.
ඇය පාසලෙන් ඈත් වෙනවා.පාසලේම දියණිවරුන්ගෙ විනය ගැන සිතූ අම්මාගේ දියණිය රැක ගන්නට අපොහොසත්වීම නිසා ඇය ආත්මීය වශයෙන් දැඩි පසුබෑමකට ලක් වෙනවා.ඇය සමාජමය වශයෙන් පැතූ අපේක්ෂාවන් වෙනුවෙන් කළ සමාජ මැදිහත්වීම්වලින් ඈත් වී ගෙදර හුදෙකලා වෙන්න යන කොට ඇයට වෙනදට වඩා භෞතික ගැටළු ටික දැනෙන්න ගන්නවා.ඇය මේ දක්වා විඳි ඒ දේවල් දරා ගන්න අපහසු විදිහට ඇය කඩා වැටෙනවා.
කුණුකන්ද වෙනුවෙන් ඇයගේ හඩ නිහඬ කරන්නට ඒ සමඟ බැදුණු දේශපාලනය අවස්ථාවක් හොයා ගන්නවා.ඇයට කුණු වලේම රැකියාවක් ලැබෙනවා.කුණු අදින්න හෝ තෝරන්න නෙමෙයි එන ලොරිවලට ප්‍රවේශපත් නිකුත් කිරීම වගේ රැකියාවක්.කුණු වලට එරෙහි වූ ඇයට රැකියාව ලෙස කුණුවල රකින්න වෙනවා.
මේ සිදුවීමෙන් පසුව ඇය ගැන තොරතුරක් ගන්න මම සෑහෙන්න වෙහෙසුණා.ඒ දරුවො ගැන ඇය ගැන කිසිවක්ම මේ වන විටත් සොයා ගන්න නැහැ..ඒත් මේ පරිසරය මිනිසුන්ගෙ අරගලවලට සළකන හැටි,ඒවයෙ ඉරණම තීරණය කරන හැටි ඇයගේ ජීවිතය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. කුණු කින තත්ත්වයට මිනිසුන්ගෙ ඔළු හදන සමාජමය තත්ත්වය වෙනස් වෙන්න ඕනි.මීතොටමුල්ලෙ ඇය වගේ පරාජය කර කුණු ගොඩට ඇද දැමූ ගැහැණුන් නොව විශාල වශයෙන් කුණු ගොඩ ජයග්‍රහණයක් කර සිතූ අයත් සිටියා.ඒව පිටුපස දේශපාලනය විතරක් නෙමෙයි මහා යකඩ මාෆියාවේ සෙවණැලිත් තිබුණා.කුඩු,ගංජ ව්‍යාපාරයන්ගෙ අවශ්‍යයතාවයත් තිබුණා.
මම කාපු ටොෆි කොළෙත් ඔතන ඇති අපිත් වැරදියි කියලා පසුතැවෙන අයත් මේ මොහොතෙ ඉන්නවා.ඒව හරි සංවේදීයි.ඒත් සමහරු යෝජනා කරන විදිහට තමන්ගෙම ගෙවත්තෙ කුණු පොහොරබවට පත් කරන ව්‍යාපෘති හදන්නනම් මිනිසුන්ට ගෙවල් අයින් කරගෙන කොම්පෝස්ට් වළක ජීවත්වෙන්න වෙනවා.හුඟ දෙනෙක්ගෙ උරුමය පර්චස් දෙකයි තුනයි.මටත් එහෙමයි.මගෙ අවට තත්ත්වයත් බොහෝ විට එහෙමයි.
ඒ නිසා මේ කුණු දාන එක නවත්තන එකම නෙමෙයි වැඩේ.දැනට ජීවත්වෙන අයගෙ ජීවිත බේරගන්න ආණ්ඩුව බලහත්කාරයෙන් හරි මැදිහත් වෙන්න ඕනි.වතුර බහින ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න ඕනි.දැනටත් කුණු කන්ද හේදිල එන වතුර අවට පහත්බිම් ජලයෙන් යට කරමින් තියෙන්නෙ.සමාජ ප්‍රශ්න ගොඩක් මැද්දෙ සංවේදීවෙමින් ඔවුන්ගෙ කඳුළු ඉදිරියෙ මුදු වෙන්න යාමට වඩා රළු විදිහට මේ ප්‍රශ්නයට යොමුවෙන්න ඕනි.
ජනපති මැදිහත් වෙයි කියලා අඩන අයව නලවන්න,විරෝධයපාන්නන් සනසවන්න යන කාලයක් නැහැ.ස්ථීර නිවාස නැතව මේ ඉඩම්වලට අත තියන්න එපා කියලා චීවරධාරීන් කෑගහන්න සූදානම් වෙයි.මේ නැති කරන්නෙ බෞද්ධයන්ගෙ අයිතිය කියයි.ඒත් දානෙ ටිකක් දෙන්න නිරෝගි මිනිහෙක් ජීවත් කරන්නනම් මේ අය පළමුව තාවකාලික තැනකට ගාල් කරන්නම වෙනවා.හැබැයි හැකි ඉක්මණින් ඔවුන්ට සිය දේපළවල වටිනාකම දෙන්න.ස්ථීර පදිංචිය දෙන්න.සුනාමියට හසු වූ අයගේ ඉරණම අත් නොකරන්නත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා.

Saturday, March 25, 2017

තාත්තයි - පුතයි අතර



රත්නපුර ගල්ලෑල්ල මහා විද්‍යාලය ගැන යූ ටියුබ් එකෙන් මේ වීඩියෝව දැක්කම ලොකු ආසාවක් දැණුනා.මේ මම එකේ ඉදල පහ දක්වා ඉගෙනගත් පාසල.ප්‍රධාන ශාලාවට පසෙකින් පේන ගොඩනැඟිල්ල ඉදිකරන්න පටන් ගත්තු කාලෙ මම හිටියෙ තුනේ පංතියෙ.ඒ ගොඩනැඟිල්ල දෙමහල් එකක් විදිහට ඉදි කරන්න අවශ්‍යය සියළුම ගඩොල් කහවත්ත හුසේන්ස් මැණික් ආයතනය හරහා මම අරං දුන්නා.ඒත් ඒක කාලයක් යනකංම ඉදි වුණේ නැහැ.දැං ඒක ඉදි වෙලා.

මට තුනේ පංතියෙදි ඒ තරම් දෙයක් හොයා දෙන්න පුළුවන් මට්ටමට තාත්තා මාව ගොඩ නඟා තිබීම ගත්තම මම සෑහෙන්න අසාර්ථකයි කියල හිතුණා.ඒ මගේ පුතා ගැන හිතෙද්දි.එයාට දැන් 19 ක්.මම 19 දි ආයතනයක විධායක නිලධාරියෙක්.ඔහු මානසිකව යම් අර්බූදයක ඉන්නවා.ඒත් ඔහු සමාජය එක්ක සුහදව ගණු දෙනු කරනවා.මම එතනට එයා ගේන කොට එයා වගෙ තව දරුවො වෙනුවෙන් වැඩ කරන්න වගකීම් ගොඩක් මම අර ගන්නවා.
ඒ එක වගකීමක් මේ.
https://www.facebook.com/supiri.krida/posts/1346282198761930?pnref=story
ඒවත් තාත්තගෙන් ආපු දේවල්ම වෙන්න ඇති.එයාටත් මම වෙනුවෙන් මගේ මිතුරන් සතුටු කරන්නත් ඕනි වුණා.රත්නපුරේ දුරෙක්කන්දෙ ගෙදර වැඩිම වියදමක් ගියේ පස් කන්ද කපල ගේ පිටිපස්ස මට සහ මගේ යහළුවන්ට සෙල්ලම් කරන මට්ටමට විශාල කරල දෙන්න.හවසට ඇමරේජන් ටිකක් බීලා කෑ ගහන තරුණ සංස්කෘතිය වෙනුවට පතලෙ ඉදන් ඇවිත් ක්‍රිකට් ගහන සංස්කෘතියක් ඒ ගමේ හැදුණා.
ඒ ආසාව නිසා ක්‍රිකට් කියවන්න පත්තර පිටු පෙරලන්න පිිරිසක් පුරුදු වුණා.ඒක රටේ ලෝකෙ ගැන කියවන තරමට පසුව දියුණු වුණා.

ඒ අතින් බලනකොටත් මම තාත්තට පිටුපසින්.මගේ දරුවගෙ සහ ඔවුන්ගෙ යහළුවන්ගෙ අවුරුදු උත්සවය වෙනුවෙන් මම දරන මහන්සිය වගේ සියයට එකක් මහන්සි වෙද්දි තාත්තට මීට වඩා භෞතික ජයක් ලබන්න පුළුවන්කම තිබුණ බව මම දැක්කම මම අසරණ වෙනවා.ඒත් මම ආඩම්බර වෙනවා.හඟක් පුතාලට බැරි තරම් සතුටක් කියන්න පුළුවන් විදිහෙ මතකයක් මට මගේ තාත්තා දීල ගියා කියන එක නිසා.

ඒ ඉතරු කරල ගිය දේ ලබා දුන්නු ආදර්ශ නිසා මගේ පුතා මාව එයාගෙ තාත්තට සුදුසුයි කියල හිතන්න ඇති.මේ තේරීම එහෙම එකක් වෙන්න ඇති.එයාගෙ යාළුවන්ගෙ ගොඩක් තාත්තලට කරන්න බැරි දේවල් මුල් වෙලා මට කරන්න පුළුවන් වෙලා තියෙනවා.යහළුවො අතරෙදි මම තාත්තා කියල හඳුන්වද්දි එයාගෙ මුහුණෙ ඇදෙන හිනාව මට ඒක තේරුම් කරල දෙනවා.ඒ දරුවො වැඩි දෙනෙක් කැමති මගේ උණුසුමට තුරුල් වෙන්න.එහෙම එයාල ඇවිත් මාව බදා ගනිද්දි අයිතිය ගැන ප්‍රශ්න ඇති කර ගන්නව වෙනුවට පුතාට පුළුවන් වෙලා තියෙනවා ඒ ගැන ආඩම්බරෙන් සතුටෙන් ඉන්න.

ඒක පුහුණු වුණේ කොහොමද?මගේ තාත්තත් එහෙමයි.සමහර තැන්වලදි මට වඩා අවධානය මගේ මිතුරෙකුට යොමු කළ යුතු විණිනම් ඔහු එයට පැකිළුණේ නැහැ.සමහර අවස්ථාවල ගෙදර අවශ්‍යයතාවයට වඩා ඔහු කාට හරි පිහිටක් ඇවැසි වූ විට ඒ දේ කැප කළා.

මමත් පුතාත් යම් දෙයක් අද ලබන්නෙ ඒ ජානමය ආශිර්වාදය ඇතිව විය යුතුයි.

පුතේ මම නෙමෙයි පොර...සීයා....

මට එහෙම කියන්න හිතෙනවා.තාත්තා මැරුණෙ පුතාට අවුරුදු දෙකක් වෙන්නත් ඉස්සර.ඒ කාලෙ පුරාම පුතා,තාත්තා ඉන්න වෙලාවට ඒ තුරුළට අපේ තුරුළට වඩා සමීප වුණා.
උඹත් මමත් ලබන යම් දෙයක් වේනම් ඒ නුඹේ සීයාමයි..
මට දුක පුතාට මේක ගැඹුරින් තේරුම් කරල දෙන්න නොහැකි වීම.හැබැයි කොල්ල තාත්ත වගේම මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් හදවත උණු වෙන.දැනට ඉන්න පැත්තෙත් අපිට වඩා එයාව මිනිස්සු දන්න තත්ත්වයට පත් වෙලා ඉද්දිත් උඹ තාත්තටත් වඩා සීයට සමීපවෙලා කියල මට හැඟෙනවා


Thursday, February 2, 2017

සයිටම් අයිටම් එක

මේ දිනවල තලු මරන්නට ලැබී ඇති අයිටමය සයිටමය වන්නේය.සයිටමයෙන් එන ඩෙකාලා අවුල් වන්නේ ප්‍රමිතියෙන්නම් ඒ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුය.ඒ සඳහා රජයේ රෝහල්වල සායන පහසුකම් ලබා දිම වැළක්වීමෙන් ප්‍රමිතිය ඉහළ නැංවීමට බාධා ඇති වන්නේය.ඒ සඳහා ඇති බාධා ඉවත් කර සායනික පහසුකම් වෙනුවෙන් රජයෙන් සයිටමයෙන් අය කරන මුදල ඉහළ දමා එය රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ මෙන්ම  රජයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවල තත්ත්වය ඉහළ නැංවීමට සහ වැඩි සිසුන් පිරිසක් වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කර ගත හැකි අන්දමට පහසුකම් සැපයීමට යොදා ගන්නට හැකිය.

ගැටුමේ ස්වභාවය ඒ ආකාරයෙන් වූවා නම් හාමුදුරුවන්ට කඳුළු ගෑස් පූජා ඉදිරියේ බැමි වලින් පැන වැඩමවන්නට වන්නේ නැත.අධ්‍යාපන කටයුතුවලට බාධා වන්නේද නැත.මේසයක ඉදගෙන රජයේ වියදමෙන්ම තේ එකක් බ කේක් කෑල්ලක් ද කා වැඩේ නිමා කර ගන්නට තිබිණ.

තව දුරටත් සොයා බැලිය යුත්තේ සයිටමයේ වෛද්‍ය අයිටමයට බඳවා ගන්නා සුදුසුකම් ය.එය එස් බී උන්නැහේ කියනා හැටියට වැඩ 3 යි සම්මාන 2 යි යන ප්‍රමිතියෙන් යුක්තනම් අවුලක් නැත.එය රටටම පොදු ප්‍රමිතියකි.

ආණ්ඩුවේ බඳවා ගැනීම දිස්ත්‍රික් මට්ටමට යද්දී වෙනස් වෙයි.එකම ප්‍රතිපල සීමාවේ නොරැදෙයි.ඒ පළාතෙන් පළාතට ඇති පහසුකම් සළකා ඇති කළ තත්ත්වයක්ය.කෙසේ හෝ දුෂ්කර පළාත්වල ඉහළ ප්‍රතිපල ගන්නා අය ද සොයා බලන විට කොළඹට,මහනුවරට,කුරුණාගලට හෝ ගම්පහ වැනි තැනෙක පංති ආ උදවිය ය.නමුත් පෙනී සිටින දිසාව මිස පෞද්ගලික පංතිවලට ආ දිශාව ගණනයට අදාළ නැත.

වටේම කැරකී බලන විට ලක්ෂ 120 ක් දී දොස්තර වීම මෙහි ප්‍රධාන ගැටළුවය. වෛද්‍යවරුන්ට තව දේවල් තිබිය හැකිය. එකක් වෘත්තීය තරඟකාරීත්වය වැඩි වීමය.එවිට සැර බාල කරන්නට වීම ද එක්තරා අන්දමක ගැටළුවකි. එහෙත් පොදු විශ්ව විද්‍යාල ප්‍රජාව පෙන්වන්නේ අධ්‍යාපනය විකිණීමනම් වන ප්‍රාථමික ගැටළුවකි. ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරු ද ඇතැමෙක් තමන්ගේ වියදමෙන්ද තවෙකෙක් රජයේ ශිෂ්‍යත්ව මඟින් ද ගෙවා සිය සුදුසුකම් වැඩි කර ගෙන තිබෙන බව ඔවුන් දන්නේ නැත.ඒ ලෝකයේ දැණුමට මිලක් තිබෙන බැවින්ය.
එසේනම් දැන් මේ මැදිහත්වීම කරන්නේ කා වෙනුවෙන් ද යන්න නැවත සළකා බැලිය යුතුය. රටේ බඳු මුදලෙන් ඉගෙන රජයේ බදු නිදහසෙන් ලක්ෂ 120 ක කාර් ද ගන්නට හැකියාව ඇති පිරිසක් ලක්ෂ 120 ක් ගෙවා සිය වෘත්තියටම පිවිසෙන්නට සූදානම් පිරිසකට එරෙහිව කරන අරගලයකට අනෙකුත් විශ්ව විද්‍යාල ප්‍රජාව දායක වී ඇත.ඊට අමතරව ඔවුන්ට පෞද්ගලිකව ලක්ෂ ගණනක් හම්බ කර ගන්නට අවස්ථාව ඇත.එවැනි තත්ත්වයක සිට කරන සටනක සාධාරණය අපේක්ෂා කරන්නට නම්,අඩුම තරමේ රජයේ වෛද්‍යවරු කිසිවෙක් ඒ සටන වෙනුවෙන් වෘත්තියට පිවිසීමෙන් පසුව ලැබෙන බදු සහන භුක්ති නොවිද තමන්ට ඉගෙන ගැනීමට වියදම් කළ ජනතා මුදලට කෘතවේදී වන බව කිව යුතුය.එසේත් නැතිනම් පෞද්ගලික සායනවල ප්‍රතිකාරවලින් වැළකී සිටින බව කිව යුතු වන අතර එසේ යෙදෙන්නේනම් තමන් රජයේ රෝහලක හෝ සායනයකට සහභාගී නොවී පෞද්ගලික අංශයේම සේවය කළ යුතුය යනුවෙන් වෛද්‍ය සංගම් විසින් වෛද්‍යවරුන් වෙත බලපෑමක් කළ යුතුය.

එසේම රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීම සඳහා සයිටමය මෙන් පොදු ලකුණු මට්ටමක් රටටම අදාළ කර ගත යුතුය යනුවෙන් තර්ක කිරීමද එම සංගමයට කළ හැකි ධනාත්මක මැදිහත් වීමකි.දැන් සිඳුවන්නේ තිබෙන තත්ත්වයන් යටතේ සයිටමය කපා ඉවත් කර දැමිය යුතුය යන සටන් පාඨයට අමතරව අප ඒ වෙනුවෙන් ජනතා බදු මුදලෙන් වෛද්‍යවරුන් වීමෙන් පසු ලැබෙන මෙන්න මේ දේවල් ප්‍රතික්ෂේප කර එය රටේ සුබ සිද්ධියට යොදවන්න සූදානම් යනුවෙන් නොපැවසීමය.

අපට තියෙන ඔක්කොමත් දීලා තවත් දේ ඕනෑ කියා ද වර්ජනය කරන සංගමයක් තවත් කෙනෙක් ලබා ගන්නා දෙයක් ඔහුට ලබා නොදෙන ලෙස කීමේ දී පුංචි හිරිකිතයක් ඇති වන්නේය.ඒ හිරිකිතය ඉවත් කර ගැනීම සඳහා කළ හැකි මැදිහත්වීම නම් ඒ දේ දිය යුත්තේ මෙසේය කියා ප්‍රමිතියක් සැකසීමය.ඒ සඳහා රජයේ රෝහල් ලබා නොදෙන්නයැයි කීමට වඩා වැදගත් ඒ සඳහා රජයට කරන ගෙවීම වැඩි කරන ලෙස පවසා එයින් රජයේ වෛද්‍ය විද්‍යාලය පෝෂණය කළ හැකි මඟක් යෝජනා කිරීමය.

එසේ නොවනතාක් සටන්පාඨ වලට හිර කර තිබෙන ඔළුවලට නොදැනෙන හිරිකිතයක් විවෘතව මේ දෙස බලා සිටින්නෙකුට දැණෙනු වළක්වන්නට නොහැකිය.තියෙන දේ වලට අමතරව තවත් දේ ඉල්ලා ද වර්ජනය කරන  වෛද්‍යවරු වෙනෙකෙක්ගේ අයිතිය සහ හිමිකම කප්පාදුකිරීමට දැඟළීම යම් ම්ලේච්ඡ තත්ත්වයකි.සටන අනෙකාගේ මස් රාත්තල ගැනනම් එය ලබා දෙන පිළිවෙල සකස් කිරීමකට හෝ ඒ සටන රට වෙනුවෙන් වන අවංක හැඟීමකින් නම් ඒ හැඟීම මත ක්‍රියා කර සටන වෙනුවෙන්  තමන්  අත් හරින්නට සූදානම් වරප්‍රසාද පිලිබඳව ප්‍රකාශයක් තිබිය යුතුය.

ඒ කිසිවක් නැත. දැන් ඇත්තේ හඳ ඉල්ලා හඬන පොඩි ළමයෙක්ගේ හැඩීමක්ය.එසේත් නොවන්නේනම් අනෙකාට ඉරිසියාව දැක්වීම ජාතික මට්ටමට ගෙනා බොළඳ වැඩ පිළිවෙළක්ය.