
පෙණුමෙන් එසේ යැයි සිතන්නට නොහැකි කොල්ලා දැන් හැඩ ගැටවරයෙකි.ඌ සතු හොදම ගුණාංගය මිනිසුන් කෙරෙහි දක්වන ඇල්මය.ඒ නිසාම මිනිසුන් පෙරළා ඔහුට ද දක්වන ලෙංගතු කම සෙනෙහස අපූරුය.විශේෂයෙන් මගේ මවගේ මරණය වු අවස්ථාවේ අහළ පහළ සිටි වැඩි ඇසුරක් නොමැති මුස්ලිම් අසල්වාසීන් මල ගෙදරට නොයෙකුත් ආධාර උපකාර සමග කඩා වැදුණේ පුතා නිසාය.මා සමග වචනයක් හෝ කතා කර නැති ඔවුන් පුතා නිවසේ ගේට්ටුව අසළ සිට ඔවුන්ට නෑකම් කියමින් අමතන අයුරු කියමින් ඔහුගේ සුහදතාවය වෙනුවෙන් මල ගෙදර වෙනුවෙන් බොහෝ උදව් කරන්නට විය.
දැනට ද ඔහු වරක් ඇසුරු කළ අයෙක් වේ නම් බොහෝ සේ ආදරය දක්වයි.උදාහරණයකට වැලිකඩ බන්ධනාගාරයට නාට්‍ය පුහුණුවන අවස්ථාවලදී මම ඔහු රැගෙන යන අවස්ථා ඇත.ඒ ඔහුව තනියෙන් තබා යාමට හැකියාවක් නොමැති විටකදී ය.දැන් වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් මෙන්ම රැදවියන් ද කෝ මාස්ටර් පුතා යැයි ඇසීම සාමාන්‍ය සිරිතය.දුට සැනින් ඕනෑම කෙනෙකුට අත වනා ආචාර කිරීම කට පුරවා පිරිනමන සිනහව ඇතැම් විට පදනමක් නැතිව ඔහුගෙන් ගලා එන කාරණා වුව,ඒ සියල්ල මිනිසුන් ආකර්ශණය කර ගැනීමට සමත් ය.ඒ දේ සමග මොහු සමග බැදෙන පිරිස් අනතුරුව රූපවාහිණියෙන් දුටු ක්‍රිකට් විස්තර සමග තව තවත් බැද ගන්නා කොල්ලා,යම් මානසික ව්‍යාකූලතාවයකින් යුතු බව දැන ගන්නට වන්නේ එකම දේ පුනා පුනා කියන අස්වාභාවික දේ නිසාය.
මෙවැනි දරුව්නට කිසිවක්ම බැරි යැයි කිසිවකට වැද්ද නොගන්නා සිස්ටම් එකක මගේ දරුවා වාසනාවන්තය.විශේෂයෙන් බෙරැල්ල සීවලිය තුළ ඔහු සුහදතාවයෙන් සහ මිත්‍රත්වයෙන් ආරක්ෂිතය.කොන් වන්නේ නැත.
ඔහුට කුඩා කාලයේ පටන්ම යමකට තාලයකට තට්ටු කරන්නට හැකියාව ඇත.එසේ වන්නට ඇත්තේ ඉතාම කුඩා අවධියේ සිට සංජක ප්‍රසාද් දොලේවත්ත,චමින්ද රාමනායක (රාමා) වැන්නන් අප නිවසේ බොහෝ විට නැවතී සිටි නිසා විය යුතුය.ඔවුන්ගේ භාන්ඩ වල හඩට මොහු කුඩා කාලයේ සිට දැක් වූ ඇල්ම එයට හේතු වන්නට ඇත.
ක්‍රීඩාව සම්බන්ධයෙන්ද කුඩා කාලයේ සිට ඔහු තුළ ඇති ආශාව අපූරුය.ඒ මා ක්‍රීඩා ලේඛකයෙක් වීම නිසා හට ගත්තක් වන්නට ඇත.එසේම චන්ද්‍රිකා සුභාෂිණී වැන්නියන් අප නිවසේම නැවතී සිටි නිසාත් ඒ නිසා ක්‍රීඩා උළෙල වලදී ඇයගේ ජයග්‍රහණත් පුතා ගේ ක්‍රීඩා රුචිය වැඩි කරන්නට හේතු වන්නට ඇත.මා කිසිවක අපේක්ෂා නොකරමින් මෙ'රටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිරිකර දීම සදහා කළ අරගල මෙන්ම පුතා ද තමන්ට කළ නොහැකි නමුත් ක්‍රීඩාවේ ජයගන්නා අය වෙනුවෙන් ඔල්වරසන් දෙන්නට සහ කොඩියක් ගෙන වනමින් ජයග්‍රාහකයන්ට සුබ පැතීමට කැමැත්තක් දක්වන්නේය.
මේ කැමැත්තන් හී ප්‍රතිපලයක් ලෙස වරක් ඔහු දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලෙයේ සිටියදී සමස්ත ලංකා තරග දක්වා ගිය නැටුම් කණ්ඩායමේ තාලම් පොට වයන්නා විය.සීවලියේ හේවිසි කණ්ඩායමේ ද දවුල වයන්නට ඔහු සිටියි.එසේම ඉකුත් වසරේ පැවති විශේෂිත දරුවන්ගේ කළා උළෙලේ මා විසින් ලියා විද්‍යාලයේ සංගීතාචාරිණී ප්‍රියංකා කුමාරසිංහයන් විිසින් සංගීත නිර්මාණය කළ මේ ගීතයට ද පුතා සම්බන්ධ විය.
මේ අහස යට - මේ පොළව මත
එක ඉර හදෙන් ගණ අදුර මැඩ
මදහාස මල් පිපි සුවද දෙන
එක සමානව ගෙන සිප ගන්න
නොකී වදනක අරුතක හදුනන
නොහැකි ගමණට වාරු සපයන
බිදි ගිය සිත් දමක් පාහන
අපේ ලෝකය ඔබේ සෙනෙහස
එපා වෙනසක් දෙන්න දිරියක්
සිනා සිය හැකි සොදුරු දවසක්
උදා වන මග පහන් එළියක්
වෙන්න අපි වෙමු ලොවට සවියක්
පාසල් කෙළි උළෙල දෙකකම ඔහු සරඹ සංදර්ශනයේ විය.වසර ගණනාවක් මා විසින් ජාතික තලයට ක්‍රීඩකයන් ගෙන ඒමට හා ඔවුන් රැක ගැනීමටත් කළ දේ ප්‍රසිද්ධියේ නොකිය වුණ ද,ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නා බව නිසැකය.ඒ ආශිර්වාදය හේතුවෙන් දෝ මෙවර විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙලේ බුද්ධිමය උානතා අංශයේ දුර පැනීම අවුරුදු 17 න් පහළ ඉසව්වේ පළමු තැනත්,යගුලිය ඉසව්වේ තෙවන තැනත් පුතාට හිමි විය.
මේ වාරේටම විවිධ හේතු නිසා පාසල් නොගොස් සිටි පුතා මේ සදුදා පාසලට ගිය අතර ඊයේ උදේ රැස්වීමේ දී පුතාට අදාළ ජයග්‍රහණ වෙනුවෙන් සහතික පිරිනැමීම විද්‍යාලයේ විදුහල්පති සිඩ්නි අශෝක ලොකුකුමාරයන් අතින් සිදු විය.ඒ අවස්ථාවේදී දරුවන් අතර ආදරයට පත් පුතා වෙනුවෙන් නැගුණු අත්පොළසම මට ඇස් දෙකට කදුළු නැංවීය.ඔහු ඉසව්වට වඩා මිනිසුන් ජයගැනීමේ සාර්ථකයෙකු වීම මට බෙහෙවින් සතුට උපදවන්නක් විය.ඒ මොහොතේ ඔහු ලැබූ සතුට මෙන්ම ආඩම්බරය ද කොහොමටත් ලස්සන ඔහුගේ අපූරු සිනහව තුළින් කදිමට පිළිඹිඹු විණි.
අද උදෑසනම නැගිට ඔහු පාසල් යන්නට සූදානම් වන්නේ ඒ ජයග්‍රහණයට ලැබුණු ප්‍රතිචාර මතය.මීට් එක තියෙනවා දිනන්න ඕනි යනුවෙන් ඔහු උදේම මට පවසන්නේය.ඒ සහතික හෝ ත්‍යාග ලබා ගැණීම පිණිස නොව උදේ රැස්වීමේ දී ලැබෙන පිළිගැනීම වෙනුවෙන් ය.
මෙය පුද්ගලික බැදීම් ගැන සටහනකි.ඇතැම් විට ඔබගේ කාලය කා දැමීමක් වන්නට ද පුළුවන.එහෙත් මේ මෙවැනි දරුවන් සිටින තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට පොදු විය නොහැකි ද?ඒ නිසා මෙය ලියන්නට සිත් විය.
බොහෝ දේ කාලය විසින් තීරණය කරනු ඇත.මගේ කාලය ඉපැයීම් වෙනුවට යොමු කිරීමට නිතැතින් සීමාවක් පැන නගින්නේ මෙතැනදී ය.එසේම මගේ දරුවා වෙනුවෙන් නොව දරුවා වෙනුවෙන් අන් දරුවන්ට යමක් කිරීම වෙනුවෙන් ද මට කාලය වැය කරන්නට සිදු වී ඇත.උදාහරණයකට විශේෂ නොවුණත් දැණුම අතින් අවස්ථා ලැබීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් අතින් පුතා ගේ අධ්‍යාපනික පරිසරය තුළ දරුවන්ට ඇති අඩු ඉඩ පුළුල් කිරීම සදහා ද මා යම් යම දේ සිදු කරමින් සිටින්නේය.මටම මේවා සදහා වැය වන්නට වී ඇත්තේ පුතා වඩාත් ඇළුම් කරන්නේ මට නිසාය.තවමත් මා හා සම මේ ගැටවරයා මා සිටින්නේනම් රාත්‍රී නින්දට පිවිසෙන්නේ මගේ පිට උඩය.ඕනෑම ප්‍රසිද්ධ තැනෙක මා කෙරෙහි ආදරය උතුරා ගිය විට උම්මා කියමින් සිප ගන්නට මුහුණ දිගු කිරීම ඔහුගේ සිරිතය.
ඒ ඔහු විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය.නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය.දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත.ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත.අමාරුම මිනිසුන් දිනා ගැනීමය.ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද,තිබෙන බව සහතිකය.
ඒ නිසාම මගේ පුතා දිණුම්
පුත්‍රයට සුභපැතුම් නිශ්මං. මේ දක්ෂතාවයන්ගෙන් දුර ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
ReplyDeleteස්තූතියි රාජ්
Deleteනෙතඟට කඳුලක් ද. මුවඟට මදහසක් ද් නංවන ලිපියකි.
ReplyDeleteකදුළු පිසලා මිනිස්සු සිනා සෙනවාට කැමති මිතුරෙක් බව මම දනිමි
Deleteකෙලින්ම අදාල නැති වුනත් - මට තියෙන තවත් ප්‍රශ්ණයක්.
ReplyDeleteමාලිංග.. ලක්මාල් වැනි ක්‍රිකටර්ස් ලා ගේ සිට අද විශාල තරුණ පිරිඩක් තමන් ගේ වාසගම අතැර දමා ඇති බව පේනවා. මේ සහතික දෙකත් එයට උදාහරණ.
ඒ ඇයි?
මම වාසගම පාවිච්චි කරනවා.රණසිංහ මුදියන්සෙලාගේ ජාරක නරේන්ද්‍ර පුතාගෙ නම.ඒත් නම විතරයි ලියා තිබෙන්නෙ.අගට රණසිංහ කැල්ලක් එල්ලුවෙ නැහැ.මම හිතන්නෙ එයාටම ගැලපෙන අනන්‍යතාවයක් එයා ගොඩ නගා ගන්න ඕනි කියලයි.දැනටත් සමහර ලොකු මිනිස්සු පවා එයාගෙ තාත්තා හැටියට තමයි මාව දන්නෙ.පොඩි කාලෙ අපෙ තාත්තා සතුටු වුණා අපේ ගෙදර හොයා ගන්න එන අය මගේ නම කියලා ගේ හොයා ගන්නවට.මම ඒ ස්වාධීනකම නමේ ඉදලම තියන්න හිතුවා අගට රණසිංහ එල්ලන්නෙ නැතිව
Deleteඇත්තෙන්ම ඔහු සුවිශේෂී දරුවෙක් , සුබ පැතුම් පුතුට ,
ReplyDeleteබොහොම තුති!
Deleteඔබටත් දරුවාටත් වාසනාවන්ත අනාගතයක් මචං...
ReplyDeleteස්තූති වේවා නලියා
Deleteඇස්වල කඳුලක්, හදවතේ තෙතමනයක් ඇති කළ සටහනක්... මේ අත්දැකීම බෙදා ගැනීමත් වැදගත්...
ReplyDeleteපුතාගේ ඉදිරි ජීවිතයට සුබ පතනවා.. අනික ඔබ වැනි පියෙක් ඉද්දි ඒ දරුවට කොහෙත්ම වරදින්න විදියක් නැහැ....
ස්තූතියි බෙහෙවින්ම
Deleteමානසික අර්බුධ තියෙන්නේ උඹේ පොඩි එකාට නෙමෙයි බන්. එහෙම නැතෙයි කියන මිනිස්සුන්ට. මම ඔය වගේ අය ඉන්න තැනක කාළයක් පොඩි පාට් ටයිම් ජොබ් එකක් කලා. ඒ අයත් සාමාන්‍ය අය වගේමයි. වෙලා තියෙන්නේ මේ අය විශේෂ පිරිසක් කියලා අනෙක් උන් තේරුම් නොගැනීමයි.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත මචං පුතාට වුණත් පාසල් පරිසරය තුළ වුව යම් ගැටළුකාරී තත්ත්වයන් ඇති වූවා ඉස්සර
Deleteමේවගේ සුළු ආබාධ තිබුණත් ඒවා ඒ තරම් ගනන් ගන්න දේවල් නෙවෙයි. අනෙක මොන ආබාධිත තත්වයක් තිබුණත් සමාජයත් එක්ක ගනුදෙනු කරන්න එහි කොටස් කරුවන් වන්න ඒවා ඒතරම් බාධා කරගන්න ඕන නෑ. ආබාධ ජීවිතයට බාධාවක් කර නොගැනීමම ලොකු ජයග්රහනයක් වෙනවා.
ReplyDeleteහරියටම හරි
Deleteඔහු ආබාධ ඇති දරුවෙක් නොවේ නිශ් ඔහු සුවිශේශී දක්ශතා ඇති දරුවෙක් , පුතාටත් පියාටත් සුබ පැතුම්!
ReplyDeleteස්තූතියි වෙනී
Deleteජය වේවා
ReplyDeleteඔබටත් ජය!
Deleteඔහුගේ හැකියාවන් ඉදිරියට තම වර්ධනය වේවි..
ReplyDeleteඔබේ හිතේ යම් ලතැවිල්ලක් ඇත්නම් එයත් දුරුවේවි...
ඔහු සැබෑ දක්ෂයෙක් වනු නොඅනු මානයි
ස්තූතියි
ReplyDeleteමම නිශ්මන් කියවන්නේ නම් කාලෙක ඉඳන්. ඒත් ඔබේ ලිවීම් දිහා බලන් ඉන්නවා මිසක් යමක් කියන්න හිතුනේ නෑ. ඔබේ ලියමන් අනිත් අය එක්ක බෙදාගත්ත එක හැර.
ReplyDeleteඒත් මේ පොඩි එකාගේ සහතික දැක්කම මට ආවේ මෙහෙම කුකුසක්.
අද වෙනකොට මේ අධ්‍යාපන සහතික වගේ ඒවටත් ඇඩ් එනවද? (මම දැක්කා ඔබේ සහතික දෙකේම ඉන්සුවරන්ස් මොකක්ද කතාවක්.) අපේ අද අධ්‍යාපනය කොයිතරම් නම් පහලට ගිහින්ද? මෙච්චර බදුගෙවන රටේ සහතිකයක් ගහන්නෙත් ඇඩ්වටයිසින් කැම්පේන් කරලා නම් අපි අපේ රට ගැන මොනවා හිතාගන්නද කියලා මට තේරෙන්නෙ නෑ.
සමාවෙන්න මේක මට ආව නිර්ව්‍යාජ අදහසක්....
පොඩි මෑන්ට ලොකු හග් එකක්.....
ඇත්තම තත්ත්වය තමයි මේක.මෙහෙම හරි සහතිකයක් ළමෙක්ට දෙන්න පුළුවන් විදිහෙ සංවිධාව හැකියාවක් මේ කළාප පරිපාලනයට තිබුණ නිසා තමයි මේ සහතිකය පුතාට ලැබෙන්නෙ.නිදහස් අධ්‍යාපනයේ ආශ්චර්යය මේ වන විට මෙබදුයි.
Deleteසැබෑවකි සැබෑවකි බුරු බබා....
ReplyDeleteඔහුව හදුනා ගන්න ඒ අහිංසක ඇස් දෙකයි නිර්ව්‍යාජ හිනාවයි ඇති.
ReplyDeleteඔහුගේ අනාගතයට හද පතුලෙන්ම සුබ පැතුම්… !!
ස්තූතියි
Deletenishmang..
ReplyDeleteUmba wagema umbe puthaa venas. Ee wenaskamata anaagathee loku dorak arenawa. Mata vishwaasayi
ස්තූතියි වජිර
Deleteහැම දරුවාම විශේෂ දරුවෙක් ! දරුවාට නෙවෙයි වැරදී ඇත්තේ වැඩි හිටි අපටයි.!! දරුවාගේ විශේෂත්වය සොයා ගන්න නොහැකි වුන වැඩිහිටි අපටයි !!! නිශ්මන් හිතවත හිතාබලන්නත් සොයාබලන්නත් ඇරයුම් කරනවා. ඇල්බට් අයින්ස්ටයින් දරුවා සම්බන්ධව වැඩිහිටියන් ගෙන තිබූ නිගමන මොනවාද ? අයින්සටයින් විතරක් නෙවෙයි තවත් බොහෝ අය දරුවන් ලෙස ගත කරද්දී මුහුණ දුන්නේ වැඩිහිටියන්ගේ වැරදි වැටහීම් වලටයි. වැඩිහිටයන් සිහිනෙන් වත් නොසිතූ තත්වයන් ඒ දරුවන් ලොවට උදා කළා. මේ දරුවා උදාවන අලුත් ලොවට නිවහල්ව මුහුණ දෙන පින්වන්තයෙක්. එය ඔබ වැනි සංවේදී පියකු ලබන්නට වාසනාවන්ත වීමෙන් පෙනීයන බව මගේ ඇදහීමයි. දරුවාට, දරුවාගේ අනාගතයට හදපත්ලෙන් සුබපතන්නෙක් ලෙස මාව ද එක් කරගන්න.
ReplyDeleteපැහැදිළිවම ඔබ එකතු වෙනවා
Deleteනිශ්මං.......උඹලා දෙන්නාගේ දරුවා හරිම ප්‍රියංකරයි. දක්ෂතාවයන් මතුවෙන්න දීපන්. ඒ ගැන හරිම ආඩම්බරයි!!!
ReplyDeleteමේ ඕටිස්ම් තත්වයක්ද? මගේ නංගි කෙනෙක්ටත් යම් කිසි මානසික අඩුපාඩුවක් තියෙනවා. ඇය දැන් මැදිවියේ. ඒත් බොහෝදේ ගැන වැටහීමක් තියෙනවා.සමහරක් තැන්වලදී අපිටත් වඩා.
ලර්නින් ඩිසේබල් කියලත් කියනවා.උපතින් සියල්ල සාමාන්‍ය විදිහට තිබුණා.තුන් මසෙ ෙඉහෙත විදීමෙන් දැඩිව උන ගත්තා.වැඩ වර්ජන අවස්ථාවක් නිසා නිවැරදිව ප්‍රතිකාර ලැබුණෙත් නැහැ.එතනින් පසුව තමයි මෙයා වෙනස් වුණේ
Deleteවිස්තර අසා ඉමහත් සතුටට පත් උනෙමි..
ReplyDeleteඔබටත් පුතාටත් මුළු පවුලටත් ජයෙන් ජය...
සමහර විට අපි කාටවත් නැති හැකියාවන් ඔබේ පුතාට පිහිටා තිබිය හැක...
Deleteඑයි ඔහු ලෝකය ජය ගනු ඇත...
සුබ පැතුම්..
සමහර විට ... ඒත් මේ රටේ අවස්ඛා අඩුයි
Deleteවෙනත් රටවල් ඔවැනි අය වෙනුවෙන් සිදුකරන යුක්තිසහගත මැදිහත් වීම් බොහෝයි. ඒ දක්ෂතා සහ හැකියාවන් මූලික කරගෙන. තම රටේ පුරවැසියන් වෙනුවෙන් නම් එය ජාතික වගකීමක් ලෙස ඔවුන් හිතනවා සහ එය පුරවැසි අයිතියක් සහ මානුෂීය අයිතියක්. විදේශීය දරුවන් වෙනුවෙන් ගැන වුනත් විමසීමක් කල හැකියි. එතැනදී තමයි ඒ එක්ස්ට්‍රා ස්කිල්ඩ් ගතිය තියෙන්න ඕන. මේ ගැන උඹ කියවපන්. මමත් කියවන්න උත්සාහ කරන්නම්. ඉඩක් ලැබුනු විටක එවැනි ආයතන ගැන ලින්ක් එවන්නම්. ඒ කෙසේ වෙතත් ඔහුට දිරිගැන්වීම් විනා අනවශ්‍ය පීඩනයක් ඇති නොකිරීම දමව්පියන්ගේ වගකීම බව මට වඩා උඹ දන්නවා.
Deleteඅරූ මාත් මේ සබ්ජෙක්ට් එක කරනවා. ඒත් මේ රටේ මොනම විදියකට හෝ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.
Deleteඅරූ සහ Il mondo di una povera pazza
Deleteපුතා වඩාත්ම දක්ෂ තාල භාණ්ඩ වාදනයට.නමුත් සම්ප්‍රදායික විදිහට සංගීතය උගන්වන්න බැහැ.ලියන්න දක්වන දුර්වලතාවය නිසා.දැනට ලංකාවෙ ඉන්න දක්ෂතම තාල භාණ්ඩ වාද්‍ය ශිල්පියෙක් පිටුපස ඔහු අවුරුදු 16 දී පමණ මා සෙවනැල්ල මෙන් සිටි හැටි මතකයි.එහෙත් මම වසර ගණනක සිට ඔහුට මම පුතාට උගන්වන්න යැයි කියනවා.පුතත් උෘට මාර ආදරෙයි.ඒත් උා ඒක මග අරිනවා.සමහර විට උගේ සාර්ථකත්වය ඒ මගහැර යාමම වෙන්න ඇති
Yahapathakama weewa
ReplyDeleteKOLU
ස්තූතියි
Deleteමේ දස්කම් එක්ක පුතණ්ඬියට තව හොද ගමනක් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDelete,subapathu,
ReplyDeleteස්තූතියි
Deleteසංවේදී ලිපියක්.... ඔහුගේ ගමන් ගම තරම දුරට ඔහුම සකසා ගන්න බවක් පෙනෙනවා. ඔබට කලහැකි ලොකුම දෙය ඔහුට ඔබව අවශ්‍ය අවස්ථා හඳුනාගෙන අනිවාර්යයෙන්ම ඒ තැන් වලදී ඔහු ලඟ සිටීමයි.
ReplyDeleteස්තූතියි
Deleteපුතාට සුබ පැතුම්....!
ReplyDeleteසමහරවිට අපි නොහිතන තැනකට පුතා එන්න ඉඩ තියෙනවා. එකම දේ පුන පුනා කීම හැරුණාම කියන්න තරම් වෙනත් ගැටළුවක් නෑනෙ.
(කාලෙකින් බං ආවෙ, ඩයලොග් වලට ආයුබෝවන් කිව්වා.)
උඹට උෘ ගැන කියන්න දෙයක් නෑනේ ගෙදර ආවොත් යනකං උඹ පස්සෙනෙ
Deleteඋඹට ග්‍රහණය නොවන අධ්‍යාපනික ප්‍රශ්න ගොඩක් උට තියෙනවා සුමිය.ඒක සිහි වෙද්දි තවත් අවුල්.මගේ හොදම යාළුවා හැටියට උඹ එක්ක ඉස්කෝලෙ යන කාලෙ වගෙම ..... ඕනි නැහැ ඒ හරිය....උඹේ ප්‍රහාරයම බලල තෝරා ගනියි
Deleteපුතා ගේ හිනාව හරිම සොඳුරු යි.
ReplyDeleteලෝකයට ලස්සන දෙයක් එකතු කරන්ඩ එයාට හැකි වේවා කියලා පතනවා!
ස්තූති වේවා!
Deleteඔබේ පුතා වෙනුවෙන් හැමෝම කරන මුදලින් ආධාර දීමට වඩා දෙයක් කිරීමට කැමැත්තෙමි. මගේ අදහස නම් මෙවැනි දරුවන් යම් එක දෙයකට දක්ෂ අතර බොහෝ විට වන්නේ අප ඒ දේ සොයා නොගැනීමය. (මා වැරදි විය හැක. නමුත් පරීක්ෂණයකින් තොරව බලාපොරොත්තු අත හැර ගැනීමට අකැමැත්තෙමි.) ළමා මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා නව වැනි ශ්‍රේණිය වනතුරු මෙසේ බුද්ධියෙන් අඩු දරුවකු සේ හංවඩු ගසා පාසල හා සමාජය විසින් කොන් කර තිබුණු කෙනෙකි. බලාපොරොත්තු අතහැර නොගන්න. හැකිනම් ඔබේ දුරකථන අංකය කොතැනක හෝ සඳහන් කරන්න. සමහරවිට මට මහා ලොකු දෙයක් කිරීමට නොහැකි වනු ඇත. ඒත් උත්සාහ නොකරන්නේ ඇයි?
ReplyDeleteඔබ මගේ විද්්‍යුත් ලිපිනයට කරුණු යොමු කරන්න
ReplyDeletenismansinghe@gmail.com
මගේ පුතාට අනියමින් යමක් ලැබෙන බව ඇත්තක් විය හැකියි.ඒත් මම උදව් ඉල්ලා සිටියේ නාට්‍යය කිරීම සදහායි.ඒත් මේ ලිපියෙන් නම් නොවේ.
ඔබ සඳහන් කල පරිදි ඔබේ වචනයෙන්ම කියනවානම් ඔහු විශේෂ දරුවෙකි. එය එසේය. ඔහු සුවිශේෂී දරුවෙකි. එසේ වන්නේ ඔහුගේ ඇති කථනයේ හෝ ලිවිමේ ගැටළු නිසා නොවේ. ඔහු නිර්ව්යාිජ නිසාය. අවංක නිසාය. ඔහු ඔබගේ පිටමත තාම නිදියන්නේ ඔහු තුල ඔබ කෙරෙහි ඇති සෙනෙහස ආදරය බැඳීම නිසාය. අනෙක් දරුවන්ට එසේ කිරීමට අවැසි උවත් ඔවුන් එසේ නොකරන්නේ ඔවුන්ගේ ඇති සෙනෙහස ආදරය වැනි හැඟීම් අද වෙළඳ උපක්‍රරම වලට සහ තරඟකාරී ජීවන රටාවනට හසුවී ඇති නිසාය. දහසක් මිනිසුන් අතරදී වුව ඔහු ඔබව සිප ගන්නේ ඔහුගේ ඇති විවෘත කෑම නිසාය.ඔහුගේ මෙම විශේෂත්වය පැහැදිලිව පිළිබිඹු වන්නේ ඔබේ අසල්වාසීන් සමගින් ඔහු දක්වන සුහදතාවයත් සමගින්ය. මෙතරම් බුද්ධිමත් පුද්ගලයකු වූ ඔබට කල නොහැකි දේ ඔබේ පුතා සිදුකර ඇත. ඔහු ජීවිතයේ මිනිසුන් දැන්ම දිනාගෙන ඇත. ඒ ඔහුගේ මුදලින් හෝ වෙනයම් දෙයකින් නොව මා මුලින් සඳහන් කලාක් මෙන් ඔහුගේ ඇති නිර්මල භාවයෙනි. ඔහු නොකිලිටි මලකි. ඔවුන් සුවිශේෂී දරුවන් වී ඉපදෙන්නේ අපේ ඇති දුර්වලතාවයන් අපට සංසන්දනාත්මකව පෙන්වන්නටය. ඔවුන් මේ සමාජයට ඉමහත් සේවයක් කරන්නේ නිහන්දවය. ඔහු දෙස බලා අපට ඉගෙන ගත හැකි දෑ අපමණය. මේ දුවන්න වූ තරඟයේදී අපි අතින් ගිලිහි ගිය මනුස්සකම සිනහව නිර්ව්යාෙජත්වය නිහතමානිත්වය ලද දෙයින් සතුටු වීම වෙනි එකී මෙකි නොකී දෑ බොහෝය.
ReplyDeleteමා නැවත නැවතත් කල්පනා කලේ මවිසින් දිනාගත් සහතික පත්රව පිලිබඳවය. ඇත්තෙන්ම එහි මතක විවිධාකාරය. නමුත් සිතන්න යහළුවන් ඉදිරියේ ඔබට මට අප්රලසන්න වූ උදැසන රැස්වීමේදී ඔහු ඔහුගේම විදුහල්පතිවරයාගේ අතින් ලබා ගන්නා ඒ සහතිකය ඔහුට තවත් ඒක කඩදාසියක් නොවන්නේය. එය ඔහුගේ සතුට සිනහව ගෙන ආ ජීවිතයේ පාට ඇතිරූ සැමරුමකි. මාහට හැඟෙන ලෙසනම් ඔබ ඉතා වාසනාවන්ත පියෙකි. ඔබට ලැබී ඇති මණික ඔප දැමීම ඔබ සතුය. නමුත් මේ ගෙන්දගම් පොලවේ නපුරු කුණාටු වලින් නොතැලී ආරක්ෂා කරගැනීමට ඔබට බොහෝ කැපකිරීම් කරන්නට වනු නොඅනුමානය.
“එක පුන්සදින් දුරුවෙයි ලොව ගන අදුරූ-නෙක තරු රැසින් එලසට නොම වේය දුරූ”
බොහොම ස්තූතියි පුතා ගැන සටහනට.ඔහු ඇත්තටම ලෝකයේ ආදරය දිනා ගන්න දරුවෙක් වීම ගැන මට බොහොම සතුටුයි
Deleteඔයාගේ පුතාගේ හිනාව හරි ලස්සනයි පේනවා එයාගේ අභ්‍යන්තරය .
ReplyDeleteස්තූතියි නගෝ
Delete