Tuesday, January 5, 2016

තවමත් හෝ ගානවා මගේ හිත



හෝ ගාන පොකුණ බැලුවෙමි.හෝ ගා ඇස්වලින් කදුළු වැටිණ.ඊට හේතු ගණනාවක් තිබිණ.ඒ හේතු ෆර්ඩිට කෙතරම් බලපෑවේදැයි මම නොදනිමි.ඇතැම් විට මා ඔහු තුළ ද අඩු වැඩි ලෙස ජිවත්වනු ඇත.

ඔහු රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේය.මම සීවලි මැදි විදුහලේය.ඔහු මට වඩා පහළ පංතියකය.නමුත් ඔහු නාගරික පරිසරය මත විසු අතර මගේ ප්‍රාථමික අධ්‍යාපනය ගෙවුණේ රත්නපුර ගල්ලෑල්ල මහා විදුහලේය.මම සිටියේ රත්නපුරයට සැතපුම් හයක් දුරය.ගල්ලෑල්ල සැතපුම් 10 ක් දුරය.එවකට රත්නපුර සහ කොළඹ අතර දුරටත් වඩා දුරක් රත්නපුර සහ ගල්ලෑල්ල අතර තිබිණ.

මම එවකටත් මසකට දින කිහිපයක් කොළඹ ආමි.ඒ මගේ පියා බොරැල්ලේ බැවින්ය.ඒ ආ විට මම හෝ ගානා පොකුණ දකිමි.රැල්ල පාගමි.බෙල්ලන් ඇහිදමි.ඒ සියල්ල මට ගමේදී අනෙකුන් අතර විශාල වටිනාකමක් ඇති කළේය.රැල්ල හඩ නඟා එන හැටි එයට මා තෙමෙන හැටි රැල්ල ඉහටත් උඩින් ගොස් මා ද ඇද ගෙන නැවත යන්නට තතනද්දී මා එයින් වැළකෙන්නට දැරූ හැටි කියද්දී ඔවුන්ගේ ඇස් තිබුණේ නළලේ ඉහළම කොටසේය.

මා මුහුද ගැන කියද්දී විමතියෙන්ම අසා සිටි අය අතර උන් අයෙක් ප්‍රියන්ත විය.ඔහුගේ මව සැවොම  හැදින්වූයේ සොට්ටා ලෙසය.අපටද කොස් කඩා දුන්නෙ සොට්ටා අක්කාය.ඇයට
 ගස් යෑම යනු කජු කනවා වගේ වැඩක්ය.ඔවුන් වැසිකිළි භාවිතා කළේ නැත.ඒ සඳහා තෝරාගෙන තිබුණේ අප පදිංචිව සිටි නිවස උඩ වත්තේ උඩ කොටසය.ඒ සඳහා ඔවුන්ට විරෝධය එල්ල කළ ද නොනැවතී සිදු විය.තාත්තා ඔවුන්ට වැසිකිළියක් හදා දෙන්නට වුව සූදානම් වුව ඔවුන්ට අවශ්‍ය වූයේ පදුරු අස්සේ නිදහසේ රෙද්ද උස්සාගෙන වාඩි වෙන්නටය.

මේ තත්ත්වය තිබියදීත් ප්‍රියන්ත නිතර හොරගල් අහුලමින් මා පස්සේ වැටිණ.ඔහු මගේ කතා අසන ප්‍රධාන රසිකයා විය.ඉහළට නැඟෙන රළ සමඟ පිහිනන අය ගැන කියද්දී ඔහු නිතරම ඉල්ලා සිටියේ එසේ පිහිනන්නට ඔහුවද රැගෙන යන ලෙසය.මා කවදා හෝ ඔහු එහි රැගෙන යන බව ප්‍රියන්තට පැවසීය.ඔහු ඒ බලාපොරොත්තුවෙන් පොලිස් අධිකාරිවරයෙක්ව සිටි ප්‍රියංක පෙරේරා ගේ නිවස අසළ පිහිටි දෙනවක ගඟේ විශාල දියවල තරණය කළ බව මා දැන ගත්තේ දියේ ගිලී ඔහුගේ නිසල දෙන පැදුරු කඩමාල්ලක නිදිකරවා තිබෙන විටය.

මගේ ඇස් ඒ මතක විසින් වරින් වර තෙත් කළ ‘හෝ ගානා පොකුණ‘ නරඹා මා එළියට පැමිණියේ විශාල බරක් පපු කුහර තුළ රන්දාගෙනය.ඒ බරේ ප්‍රියන්ත එල්ලී සිටියේය.එසේම ෆර්ඩිද තදින් මගේ හදවතේ දැඩිව පැටලී තිබිණ.සමහර විට රත්නපුර නාගරික පරිසරය තුළ ජීවත් වුව ද,මෙවැනි ග්‍රාමීය අත්දැකීම් සහ සිහින ඔහුද අත් විද තිබුණා විය හැකිය.එහෙත් දන්නා දේ වුව ඔහු කියූ අපූරුව ඔහු මගේ හදේ එල්ලීමට බෙහෙවින්ම හේතු විය.

ඔහු චරිත සම්බන්ධයෙන් කළ තෝරා ගැනීම් ගැන කියන්නට ඇති හොඳම වචනය ‘පට්ටය‘.ඒ චරිත මෙහෙයවීමට ඔහු දක්වන හපන්කම අවතක්සේරු කරන්නට නොවේය.මෙහෙයවන්නට පහසු පුද්ගලයන් තෝරා ගැනීම ද හොද අධ්‍යක්ෂණයක ලක්ෂනයක්ය.

යම් පමණකට ඉතා සියුම්ව අධි රංගයක නළුවන් මෙහෙයවීමට ෆර්ඩි ගෙන ඇති උත්සාහය සාර්ථකය.දරුවන්ගේ රංගය පොදු සාධකය කර ගැනීම නිසා ඔහු ඒ ගැන විශ්වාස තබන්නට හැකිය.මෙහිදී ප්‍රදාන භූමිකාව කරන අනුප්‍රියා සිය චරිතයට සාධාරණය ඉටු කළද,ජයලත් මනෝරත්න,ලූෂන් බුලත්සිංහල,දයාදේව එදිරිසිංහ සහ ජයනි සේනානායක දක්වන රංග ප්‍රතිභාව සුවිශේෂ ලෙස මතු වී පෙනෙයි.

චිත්‍රපටය පුරාවට නාට්‍යමය ගති ලක්ෂණ රදවා ගැනීමට ෆර්ඩි දරන උත්සාහය පලදායි එකකි.විශේෂයෙන් චිත්‍රපටය සඳහා යොදා ගන්නා සංගීත නිර්මාණයේ සියලු දේවල් නාට්‍යමය ලක්ෂණවලින් පිරි ඇත.එය සංගීතයට පමණක් එබ්බූ දෙයක් නොවන්නේ සමස්තය තුළ එම රීතිය සුරැක ගැනීමට නිර්මාණකරුවාට හැකි වී තිබෙන බැවින්ය.ඒ නිසාම තිරයක් මත දිග හැරෙන රූප රාමුවල මිනිස්සු අපට වේදිකාවක් ඉදිරිපිට සිට කරන රඟපෑමක් තරමටම සමීපව දැනෙන්නේය.

බ්‍රෙසියර් එකක් රටක් කරගෙන සිටින නායකයන් සිටින රටක ඒ දේශපාලන ඇරියස් වල ඛේදවාචක සහ ග්‍රෝත්‍රික කුහකකම් ද පුංචි එව්වන්ගේ හීනවලට නොදැනෙන්නට හප්පන්නට අධ්‍යක්ෂණයේදී දක්වා ඇති සියුම් බව අගය කළ යුතුය.මුහුද දැක නැති ගමකට මුහුදට එහා තිබෙන සුඛෝපභෝගී පියානෝවක් වඩින ආකාරය ඊට හොඳම උදාහරණයකි.ස්වේච්ඡා ගුරුවරයෙක්ට වසරකට පඩි දිය හැකි මුදල යොදවා ඒ එන පියානෝව මකරෙක්මය.

ඒ නිසාම ගමට වඩා නගරය අතපත ගා පැමිණෙන ඇයට ගමේ ඇති දුෂ්කරතා මෙන්ම මීයන්ද අවුලක් වුව ගමේ සීමා සහිත දැණුමෙන් ගසන ගැටනම් අවුලක් වන්නේ නැත.භාවිත කරන ලෝකයේ පරිමාව අනුව ජයග්‍රහණයේ ස්වභාවය සහ ප්‍රමාණය තීරණය වන්නේය.හැකියාවන්ගේ විශාලත්වය මත ජයග්‍රහණය තීරණය වන බව ද එහිදි පැහැදිළි වන්නේය.

දැණුම සහ සමාජ භාවිතාවන් පුළුල්වීම නිසා සමාජය පුළුල් ලෙස දකින්නට පෙළඹිම සහ දැණුම සමාජ භාවිතාවන් අවම වීමත් සමඟ කුහකත්වය දෙසට නැඹුරුවන ආකාරයත් ගුරුවරිය විදුහල්පතිවරයා සහ ග්‍රාම සේවක හරහා කියා පායි.නමුත් ග්‍රාමසේවකට ඇත්තේ පෙළපතින් එන නිල නාමයට අදාළ කරුණු පමණක් වන බැවින් ඔහු එය භාවිතා කරන්නේ සේවයකට අවශ්‍යය මෙවලමක් ලෙස නොව තමා විසින් දිනා ගත් වරප්‍රසාදයකට සෙස්සන් යටත් කර ගැනීමේ උවමනාවෙන්ය.නමුත් විදුහල්පතිවරයාට ඇත්තේ ඊට වඩා පුළුල් දැණුමක් නිසා ඔහු එකඟ කරවා ගැනීමට හැකිය.

පාලකයා එකඟ කරවා ගත හැකි තරමට උගත් නොවූ විට ඔහුව වෙනත් උපක්‍රමවලින් යටත් කරවා ගැනීමට සිදුවේ.ග්‍රාමසේවකගේ බිරිඳ උපක්‍රමයක් ලෙස යොදා ගනිමින් ඔහුගේ නූගත්කමේ සීමාවේ  ඇති විශ්වාස සහ ඇදහීම් ඒ යටත් කිරිම වෙනුවෙන් භාවිතා කරන්නේය.

සමස්තයක් වශයෙන් හෝ ගානා පොකුණ කාලයක් තිස්සේ හදවතේ හෝ ගානු ඇත.එය සිනමා නිර්මාණයක් ලෙස ළමා සිනමාවට වස්තු වන විෂයක් ගෙන වැඩිහිටියන්ට උගන්නන සිනමා පටයක් කර ගෙන ඇත.

12 comments:

  1. ප්‍රියන්ත ගිලී මියයාමට මොහොතකට පෙර මාත් එක්ක ගඟේ ගල් වලවල් ගොඩදාමින් හිටියෙ.මට තිප්පිලියෙක් අල්ලගන්නත් ඕන වුනා. ඔහු මට තිප්පිලියෙක් අල්ලලා දෙන්න පොරොන්දුවෙලා පහලට ගියා. ඒ මොහොතේ හදිසියේම මාව හොයාගෙන ආව අම්මා මාව කණෙන් ඇදගෙන එක්කගෙන ගියා.
    ඊට පැයකට විතර පස්සෙ ප්‍රියන්තගේ නිසල සිරුර පැදුරු කඩමාල්ලක බාවා තිබුණා. ඉන් ඇතිවුන තැතිගැන්ම බොහෝකාලයක් යනතුරු පහව ගියේ නෑ.

    චිත්‍රපටිය තාම බලන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. උඹට උෟ මතකද?ගමට කොළඹ ‍කොහොමද?කූටර් හෙම මාරම ආසයි මුහුද ගැන අහන්න.කෝච්චි ගැන අහන්න.දැන් වනුමැරේ ගැන අහනකොට මට හරි සතුටු ඒකයි මචං.

      සමහරු මම මැච්වලට කහවත්තට එක්ක ගියහම ඒක තමයි ගිහිං තිබුණ විශාලම දුර වුණේ.සොට්ට අක්ක හෙම ජීවිතේට තණ පටයක් ඇන්දෙ නැහැ.මීහිටියලගෙ ගේ ළඟ තිබුණු ප්‍රියන්තලගේ නෑ ගෙදර තමයි ප්‍රියන්තගෙ බොඩි එක තියලා තිබුණෙ.සොට්ට අක්ක එතන හිටියෙත් දිය රෙද්ද පිටින්

      බ්‍රෙසියර් කතාව මටනම් ජෝක් ඔ්‍ය අත්දැකීම් එක්ක.ෆිල්ම් එක බලපං.මටනම් දැණුන.

      Delete
  2. තාම බැලුවේ නෑ... ටී වී එකේ පෙන්නුවම බලනවා... හෝල එකකට ගිය කාලයක් මතක නෑ... කොඳ වෙලාවට ර මනුස්සයා එන්‍රිකේ බලන්න ආවේ නැත්තේ.. දිය රෙද්ද ගැලෙව්වනං හිටං......

    ReplyDelete
  3. බලන්න බැරි උනා ඒත් පුදුමාකාර පිපාසයක් ඔබේ ලිපියෙන් ඇති වුනා

    ReplyDelete
    Replies
    1. මම හිතන්ෙන බැලිය යුතුයි කියලා

      Delete
  4. බලන්න කැමත්තක් තිබුන චිත්‍රපටියක් නොවුනත් මේ ලිපියෙන් පස්සේ එකට හිතේ කැමැත්තක් ඇති වුනා.

    ReplyDelete
    Replies
    1. බැලුෙවාත් ෙහාදයි

      Delete
  5. lassana fil eka mama baluwa obe lipiya wisistai

    ReplyDelete