Thursday, February 2, 2017

සයිටම් අයිටම් එක

මේ දිනවල තලු මරන්නට ලැබී ඇති අයිටමය සයිටමය වන්නේය.සයිටමයෙන් එන ඩෙකාලා අවුල් වන්නේ ප්‍රමිතියෙන්නම් ඒ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුය.ඒ සඳහා රජයේ රෝහල්වල සායන පහසුකම් ලබා දිම වැළක්වීමෙන් ප්‍රමිතිය ඉහළ නැංවීමට බාධා ඇති වන්නේය.ඒ සඳහා ඇති බාධා ඉවත් කර සායනික පහසුකම් වෙනුවෙන් රජයෙන් සයිටමයෙන් අය කරන මුදල ඉහළ දමා එය රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ මෙන්ම  රජයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවල තත්ත්වය ඉහළ නැංවීමට සහ වැඩි සිසුන් පිරිසක් වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කර ගත හැකි අන්දමට පහසුකම් සැපයීමට යොදා ගන්නට හැකිය.

ගැටුමේ ස්වභාවය ඒ ආකාරයෙන් වූවා නම් හාමුදුරුවන්ට කඳුළු ගෑස් පූජා ඉදිරියේ බැමි වලින් පැන වැඩමවන්නට වන්නේ නැත.අධ්‍යාපන කටයුතුවලට බාධා වන්නේද නැත.මේසයක ඉදගෙන රජයේ වියදමෙන්ම තේ එකක් බ කේක් කෑල්ලක් ද කා වැඩේ නිමා කර ගන්නට තිබිණ.

තව දුරටත් සොයා බැලිය යුත්තේ සයිටමයේ වෛද්‍ය අයිටමයට බඳවා ගන්නා සුදුසුකම් ය.එය එස් බී උන්නැහේ කියනා හැටියට වැඩ 3 යි සම්මාන 2 යි යන ප්‍රමිතියෙන් යුක්තනම් අවුලක් නැත.එය රටටම පොදු ප්‍රමිතියකි.

ආණ්ඩුවේ බඳවා ගැනීම දිස්ත්‍රික් මට්ටමට යද්දී වෙනස් වෙයි.එකම ප්‍රතිපල සීමාවේ නොරැදෙයි.ඒ පළාතෙන් පළාතට ඇති පහසුකම් සළකා ඇති කළ තත්ත්වයක්ය.කෙසේ හෝ දුෂ්කර පළාත්වල ඉහළ ප්‍රතිපල ගන්නා අය ද සොයා බලන විට කොළඹට,මහනුවරට,කුරුණාගලට හෝ ගම්පහ වැනි තැනෙක පංති ආ උදවිය ය.නමුත් පෙනී සිටින දිසාව මිස පෞද්ගලික පංතිවලට ආ දිශාව ගණනයට අදාළ නැත.

වටේම කැරකී බලන විට ලක්ෂ 120 ක් දී දොස්තර වීම මෙහි ප්‍රධාන ගැටළුවය. වෛද්‍යවරුන්ට තව දේවල් තිබිය හැකිය. එකක් වෘත්තීය තරඟකාරීත්වය වැඩි වීමය.එවිට සැර බාල කරන්නට වීම ද එක්තරා අන්දමක ගැටළුවකි. එහෙත් පොදු විශ්ව විද්‍යාල ප්‍රජාව පෙන්වන්නේ අධ්‍යාපනය විකිණීමනම් වන ප්‍රාථමික ගැටළුවකි. ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරු ද ඇතැමෙක් තමන්ගේ වියදමෙන්ද තවෙකෙක් රජයේ ශිෂ්‍යත්ව මඟින් ද ගෙවා සිය සුදුසුකම් වැඩි කර ගෙන තිබෙන බව ඔවුන් දන්නේ නැත.ඒ ලෝකයේ දැණුමට මිලක් තිබෙන බැවින්ය.
එසේනම් දැන් මේ මැදිහත්වීම කරන්නේ කා වෙනුවෙන් ද යන්න නැවත සළකා බැලිය යුතුය. රටේ බඳු මුදලෙන් ඉගෙන රජයේ බදු නිදහසෙන් ලක්ෂ 120 ක කාර් ද ගන්නට හැකියාව ඇති පිරිසක් ලක්ෂ 120 ක් ගෙවා සිය වෘත්තියටම පිවිසෙන්නට සූදානම් පිරිසකට එරෙහිව කරන අරගලයකට අනෙකුත් විශ්ව විද්‍යාල ප්‍රජාව දායක වී ඇත.ඊට අමතරව ඔවුන්ට පෞද්ගලිකව ලක්ෂ ගණනක් හම්බ කර ගන්නට අවස්ථාව ඇත.එවැනි තත්ත්වයක සිට කරන සටනක සාධාරණය අපේක්ෂා කරන්නට නම්,අඩුම තරමේ රජයේ වෛද්‍යවරු කිසිවෙක් ඒ සටන වෙනුවෙන් වෘත්තියට පිවිසීමෙන් පසුව ලැබෙන බදු සහන භුක්ති නොවිද තමන්ට ඉගෙන ගැනීමට වියදම් කළ ජනතා මුදලට කෘතවේදී වන බව කිව යුතුය.එසේත් නැතිනම් පෞද්ගලික සායනවල ප්‍රතිකාරවලින් වැළකී සිටින බව කිව යුතු වන අතර එසේ යෙදෙන්නේනම් තමන් රජයේ රෝහලක හෝ සායනයකට සහභාගී නොවී පෞද්ගලික අංශයේම සේවය කළ යුතුය යනුවෙන් වෛද්‍ය සංගම් විසින් වෛද්‍යවරුන් වෙත බලපෑමක් කළ යුතුය.

එසේම රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීම සඳහා සයිටමය මෙන් පොදු ලකුණු මට්ටමක් රටටම අදාළ කර ගත යුතුය යනුවෙන් තර්ක කිරීමද එම සංගමයට කළ හැකි ධනාත්මක මැදිහත් වීමකි.දැන් සිඳුවන්නේ තිබෙන තත්ත්වයන් යටතේ සයිටමය කපා ඉවත් කර දැමිය යුතුය යන සටන් පාඨයට අමතරව අප ඒ වෙනුවෙන් ජනතා බදු මුදලෙන් වෛද්‍යවරුන් වීමෙන් පසු ලැබෙන මෙන්න මේ දේවල් ප්‍රතික්ෂේප කර එය රටේ සුබ සිද්ධියට යොදවන්න සූදානම් යනුවෙන් නොපැවසීමය.

අපට තියෙන ඔක්කොමත් දීලා තවත් දේ ඕනෑ කියා ද වර්ජනය කරන සංගමයක් තවත් කෙනෙක් ලබා ගන්නා දෙයක් ඔහුට ලබා නොදෙන ලෙස කීමේ දී පුංචි හිරිකිතයක් ඇති වන්නේය.ඒ හිරිකිතය ඉවත් කර ගැනීම සඳහා කළ හැකි මැදිහත්වීම නම් ඒ දේ දිය යුත්තේ මෙසේය කියා ප්‍රමිතියක් සැකසීමය.ඒ සඳහා රජයේ රෝහල් ලබා නොදෙන්නයැයි කීමට වඩා වැදගත් ඒ සඳහා රජයට කරන ගෙවීම වැඩි කරන ලෙස පවසා එයින් රජයේ වෛද්‍ය විද්‍යාලය පෝෂණය කළ හැකි මඟක් යෝජනා කිරීමය.

එසේ නොවනතාක් සටන්පාඨ වලට හිර කර තිබෙන ඔළුවලට නොදැනෙන හිරිකිතයක් විවෘතව මේ දෙස බලා සිටින්නෙකුට දැණෙනු වළක්වන්නට නොහැකිය.තියෙන දේ වලට අමතරව තවත් දේ ඉල්ලා ද වර්ජනය කරන  වෛද්‍යවරු වෙනෙකෙක්ගේ අයිතිය සහ හිමිකම කප්පාදුකිරීමට දැඟළීම යම් ම්ලේච්ඡ තත්ත්වයකි.සටන අනෙකාගේ මස් රාත්තල ගැනනම් එය ලබා දෙන පිළිවෙල සකස් කිරීමකට හෝ ඒ සටන රට වෙනුවෙන් වන අවංක හැඟීමකින් නම් ඒ හැඟීම මත ක්‍රියා කර සටන වෙනුවෙන්  තමන්  අත් හරින්නට සූදානම් වරප්‍රසාද පිලිබඳව ප්‍රකාශයක් තිබිය යුතුය.

ඒ කිසිවක් නැත. දැන් ඇත්තේ හඳ ඉල්ලා හඬන පොඩි ළමයෙක්ගේ හැඩීමක්ය.එසේත් නොවන්නේනම් අනෙකාට ඉරිසියාව දැක්වීම ජාතික මට්ටමට ගෙනා බොළඳ වැඩ පිළිවෙළක්ය.

Saturday, January 21, 2017

අනුන් වෙනුවෙන් පස්ස රිද්දවා ගැනීම

මේ දවස්වල ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ සමරිසි සබදතාවයන් පිළිගැනීම ගැනය.රටේ පළමු අවශ්‍යයතාවය මෙය නොවන බව මම ද පිළිගනිමි.නමුත් එය ප්‍රධාන අවශ්‍යයතාවයක් ලෙස සළකමි.
පාරේ සාමාන්‍ය පිරිමියෙක් නලවමින් ගිය  ද ඔහු ට හෝ ඇයට පී යැයි කියා සිනාසෙන්නට උසුළු විසුළු කරන්නට යාම බොහෝ දෙනෙක් සිරිතක් කර ගෙන සිටියි.එය ඔහු ස්වභාවයෙන් සකසා ගත්තක් නොව ජෛව විද්‍යාත්මක කාරණයක් හේතුවෙන් උරුම වූවකි.ඒ තත්ත්වය ඔහු අවම ගණයේ පුරවැසියෙක් කර සිතන්නට හේතුවක් වන අතර ඔහුට සාමාන්‍ය පුරවැසි අයිතීන් ලැබෙන්නේ අඩුවෙන්ය.අධයාපනයේ සිට රැකියාව දක්වා මේ තත්ත්වය පොදුය.

මෙසේ පිටතට නොපෙන්වන එහෙත් සිය විරුද්ධ ලිංගිකයාට වඩා ස්වීය වර්ගයට ඇළුම් කරන පිරිසක් ද වේ.එය ද ජීව විද්‍යා්මක සාධක මත ඇතිවන්නක් බව පෙන්වා දුන්නද එසේ නොවන අවස්ථා බහුලය.

මේ සමලිංගික සබඳතා පාසල් මට්ටමෙන් සිදු වෙයි.විශේෂයෙන් බාලකයන්ට වෙන් වූ හෝ බාලිකාවන්ට වෙන් වූ පාසල්වල මේ තත්ත්වය බහුලය.ඒ ද්වීතීය ලිංගික ලක්ෂන පහළවීම මෙන්ම වයසත් එක්ක මුහුකුරා යාමේදී ඇති වන හැඟීම් සහ ශාරිරික අවශ්‍යයතා පිරිමසා ගැනිමට කාන්තාවකට තවත් කාන්තාවක් යොදා ගැනීමට සිදු විමේ තත්ත්වයකි.එයට පරිස්සම ද හේතුවන අතර කන්‍යාභාවය යනු අති පූජනීය වස්තුවක් කොට තකන සමාජයකට එය රැක ගැනීම වෙනුවෙන් සිය සිරුර මැස්සෙකුවත් වසා නැති බවට දහ අතේ ගොස් තමන්ව සහේට ගන්නා පිරිමියාට පෙන්වීමට යටත් ගැහැණු මනසේ හැදෙන දුබල සංස්කෘතික චිත්‍රයෙ තරමය.

කොල්ලන්ගේ තත්ත්වය ද එබඳුය.කෙල්ලන්ට සම වයසේ ඇතිවන හැඟීම පිට කරන්නට ස්වයං වින්දනය හැරුණු විට තියෙන හොඳම මාර්ගය සමහර විට ගුද මාර්ගය වන අතර තව් අයෙකුට අනෙකාගේ පාද විය හැකිය.මේ කරුණු දෙකම කාන්තා කණ්‍යාභාවය පූජණීයත්වයෙන් සුරකමින් විරුද්ධ ලිංගිකයන් අතර ද සිදුවන අතර සමලිංගිකයන් අතර සිදුවීමට වඩා එය සදාචාර වන සීමාව එකකට එකක් පරස්පර ලිංගයන් තිබීමය.

විරුද්ධ ලිංගිකයන් කෙරෙහි කැමැත්තක් ඇතිවන විද්‍යාත්මක සිරුරකට හිමිකම් කියන අයෙක්ට සමරිසියෙක් නොවී තමාගේ ගුද මාර්ගය සහ පාද පමණක් යොදා ගනිමින් සමාජ සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ ලිංගික ආශාවන් දන් දෙන්නට සූදානම් ගැහැණියෙක් වේද? එසේත් නැතිනම් එවැනි සමරිසි අවශ්‍යයතාවයක් ඇති අයෙක් සමඟ ජීවිත කාලයම ගැහැනියක් සේ හැසිරෙන්නට කැමති පිරිමියෙක් වේද?ඒ දෙකම සිදු නොකර කාට හෝ අපි කරන දේම කර අපි වගේම හිටපන් කියා බලපෑම් කරන්නට යාම සදාචාරාත්මකද?

තව දුරටත් මේ තත්ත්වයන් ප්‍රතික්ෂේප කරන්නට හේතු හැටියට දක්වන්නේ අපේ දියුණු සංස්කෘතික අනන්‍යතාවයට එයින් සිදුවන හානිය පිළිබදව හුවා දක්වමින්ය.අපේ සංස්කෘතික හැඩය කෙබඳුද?නිෂ්පාදන ආ්ථකයක් ඇති රටක නිෂ්පාදිත නවීන පන්නයේම කාර් එකක් ගෙන එයට දෙහි ගෙඩියක් සහ මිරිස් කරලක් බැද ධාවනය කිරීමය.
කාර් එක ගෙන්වන රටේ කාර් තනන්නට ඒ රටවල සමරිසි බව පිළිගැනීම බාධාවක් වී නැත.නමුත් අප තවමත් ඒ රථයේ මිරිස් සහ දෙහි එල්ලා අපේ සංස්කෘතියෙ දියුණුව ගැන පාරම්බාන්නෝ ය.
නෙට්බෝල් ලෝකයේ දියුණුම රට ඕස්ට්‍රේලියාවය.දියුණු සංස්කෘතියක් නැති එරටින් අපේ නෙට්බෝලය දියුණු කරන්නට ගෙනා පුහුණුකාරියකට ඉදිරිපත් කිරීමට අපේ පරිපාලනයට තිබුණු එක ගැටළුවක් වූයේ කණ්ඩායමේ සමලිංගික සහකාරියන් සිටීමය.ලංකාවේ නිලධාරීන්ට තිබුණු විහාලතම ගැටළුව එය වැළක්වීමය.

මෙවැනි තත්ත්වයක කණ්ඩායම දියුණු කරන්නේ කෙසේද යන්න විමසූ විට නොදියුණු ඕසට්‍රේලියානු පුහුණුකාරිය කීවේ එවැනි සබදකම් ඇති යුවලට එක කාමරයක් ලබා දීම උචිත බවය.මේ ආකාරයටම වරෙක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතා ඉහළ දක්ෂතා ක්වමින් ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වූ අවස්ථාවේ එහි සිටි ප්‍රබලම ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමලිංගික ඇසුරේ යෙදෙන බව ප්‍රසිද්ධව තිබිණ.අපේ දියුණු සංස්කාතික අනන්‍යතාවය මත පිහිටා නිලධාරීන් කළේ ඔවුන් දෙදෙනා ඉල්ලීම් කරද්දීම කාමර දෙකක් කොටු කිරීමය.දෙදෙනාම මානසිකව ඇඳ වැටිණ.උරුමය වූයේ අන්ත පරාජයන්ය.

මේ සම්බන්ධයෙන් අපේ දියුණු සංස්කෘතික සමාජයට ඇති පිළිතුර අස්වාභාවික ලිංගික සේවනයේ යෙදෙන්නන් වෙනුවෙන් එම පරිපාලන ගත් තීරණ රටේ පරාජයන්ට වඩා වටිනා බවය.

කෙනෙකුගේ සවභාවය තමන්ගේ වගේ නොවීම ඔහු නොසළකා හැරීමට හේතුවක් නොවන්නේය.තමන්ට අවශ්‍ය දේ ම ඔහුට ද අවශ්‍යය වන්නේනම් ගැටළුකාරී තත්ත්වය වැඩි වුව,මෙහිදී සිදුවන්නේ අපට නැති අවශ්‍යයතාවයක් ඇති අයගේ අවශ්‍යයතා නොසළකමින් ඔවුන්ව හෙළා දැකීමය.

https://www.google.com/search?q=indian+historical+homo+sex+art&rlz=1C1CHZL_enLK705LK717&espv=2&biw=1600&bih=794&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwizvPK2t9PRAhXLRiYKHTzRA1QQ_AUIBigB#imgrc=_

ඉහත සටහනෙන් ලෝකයේ ඉතා පැරණි තත්ත්වයේ සමලිංගික සබඳතා සහ බහු ලිංගික ක්‍රියාවන් පිළිබඳ නිර්මාණ දැක ගැනීමට හැකිය.එයට අපේ මහා සංස්කාතිය ඉන්දියාව ලෙස හැදින්විය හැකිනම් එරට ඒවා ද ඇත.අද ද ඉන්දියාව අප මෙන්ම සමරිසි තත්ත්වයන් නොසළකා හරිමින් සිට එය සමාජ අවශ්‍යයතාවයක් ලෙස පිළිගනිමින් සහ ලිංගික වශයෙන් සිදුවන අඩුපාඩුවක් හෝ ඒ සම්බන්ධ රුචිය රටේ ඉදිරි ගමණට අගතියක් ක නොගෙන,එය රටට පලදායී ලෙස යොදා ගැනීමේ ක්‍රියාවලියට උරදෙමින් සිටින්නේය.

ලංකාවේ ද සමලිංගික හෝ නපුංසක තත්ත්වයක් ඔහුගේ ඇයගේ හැකියාවට වඩා සැළකිල්ලට ගන්නා ජන විඥාණයක් ක්‍රියාත්මක වීම රටට අහිතකර තත්ත්වයක් බව පිළිගත යුතුය. කිසිවෙක් තමන්ට යමක් තෝරා ගැනීමට ඇති අයිතිය තවත් අයෙකුට තිබිය යුතු බව නොපිළිගැනීම මේ තත්ත්වයට තදින්ම හේතු වන්නේය.

තමන්ට සමලිංගික අවශ්‍යයතාවයක් නැතිනම් අනෙකාට ඇති ඒ අවශ්‍යයතාවය අශෝභනයි කියන්නේ කුමන හැඟිමෙන්ද? මට දිරවන්නෙ නැති කෙතරම් දේ මෙහි වේද?මා නොකන කෑම කෙතරම් නම් වේද?ඒවා අනුන්ගේ කැමැත්ත වීම ගැන මා සසැලෙන්නේ ඇයි?එසේ සසැලීමෙන් ඔළුවට නැති බරක් එකතු කර ගන්නේ් ඇයි?

සමරිසි වූවා යැයි කියා තමන්ගේ පස්සට පැලැස්තර දමා ගන්න අවශ්‍යය නැත.ලිංගික බලහත්කාරය සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වයන් බලවත් කිරීම ඊට හේතුවය.අද ද සමලිංගික කරුණු හේතුවෙන් බන්ධනාගාරගතව විශාල පිරිසක් ඇත.ඒ අතර පූජ්‍ය පක්ෂයේ බොහෝ පිරිසක් ද සිටිති.එයින් ඇතැමෙක් ගොදුරු වී ඇත්තේ තමන්ට වඩා ඉහළ තත්ත්වයක් තිබෙන අයෙකුගේ බොජුනක් වළදින්නට යාමෙන්ය.ඒ නිසා හිරේ වැටුණු එකා හිටපු චීවරධාරියෙක් වී උට කෙළවන්නට සැළසුම්  කර එකාට සමාජය වන්දනාමාන කරන්නේය.මේ බොරුව ඇතුළේ පැසවමින් සදාචාරය ලෙස තමන්ට හුරු කළ දේ තුළ ඇලෙන්නට යාම සහ එහිම ගැලී සිටීමට සූදානම් වීම පල රහිතය.

තමන් ඉස්පිරිතාලෙදි හෝ මාරු වී දෙමළෙක් වූවානම් කෙසේදැයි සිතා තැවෙන එකා අනිත් අතට තමන් එසේ මාරු වී සිංහල වීමටද හැකිය යන්න අමතක කරන්නේය.හදිසියකදී එකටම කා බී වැටෙන එකෙකු තුළවත් නැති ලේ පොදක් ඔහුට ජීවිතයට දැක නැති එකෙකුගෙන් ලැබෙන්නට පුළුවන.විද්‍යාව එතරම් අපූරුය.තේරුම් ගන්නේනම් විවිධත්වයේ සමානකම් තේරුම් ගන්නට ලේ ජාතිය හෝ ආගම මත වර්ග නොවීමම පටු කම අතහැර යන්නට හේතුවක් කර ගත හැකිය.

ලංකාවේ විවාහය,ඒ සම්බන්ධයෙන් පවතින චාරිත්‍ර වාරිත්‍ර නිසාම විරුද්ධ ලිංගික විවාහයන් ද බොහොමයක් එම සිරුරු සහ සිතුවිලි වලට වඩා වෙනත් සමාජ සාධක මත එල්ලෙමින් තිබෙන බව ඇත්තය.ඒ ගැලපෙන්නට ඇති හරි සබඳකම් ටික විවාහයට පෙර හඳුනාගෙන තීරණය කරන්නට පවතින සමාජ වපසරිය තුළ ඇති ඉඩ මදිකම නිසාය.

ඒ නිසාම අකමැති වුවද නැත ද වර්ථමාන සමාජය ඒවා දරා ගන්නා ප්‍රමානය අඩුය.ඒ ඉඩ තිබීම හොඳ වුව එය දියුණු මනසකින් නොව දරා ගන්නට බැරි නිසා හැර යාම දක්වා තල්ලුවීම ඛේදයකි.කෙසේ හෝ විරුද්ධ ලිංගිකයන්ගේ විවාහයන්ද දැන් සියයට 40 ක් ම දෙදරා යන්නේය.පන්සියයකින් 200 ක් ඩිවෝස් කියා එය තේරේන සිංහලට හවා දිය හැකිය.

අද ද සමරිසි සබඳතා විවාහ වන තරමටම මෝරා පවතින අවස්ථා ද සමාජයේ ඇත.ඒවා විරුද්ධ ලිංගික විවාහ තරමට වෙන්වීමක් නොදකියි.ඒ පවතින බාධක හමුවේ විවාහය දක්වා නැතිනම් එකට විසීම දක්වා ගමන් කරන්නේ ඊට ඒ සබදතාවයන් නථිමය පරික්ෂාවන්ට හේ සම්ප්‍රදායික චාරිත්‍රවලට යටත් නොවන නිසාය.එකට ජීවත්වන්නට පෙර එකෙකුගේ කන්‍යාභාවය ගැන සොයා බලන පුරුද්දක් එවැන සබඳතාවල නැත.ඒ නිසා සිතුවිලිවලින් සිහින දකින තරමටම එක තැනෙක ගාල් වන විට ඔව්හූ සිරුරුද ගලපා ගෙන සිටිති.ඒ නිසා නීතිමය නොවන තත්ත්වයක් පැවතීමට වඩා මේ තත්ත්වයේ පැවතීම නරකම නැත.

විවාහ චාරිත්‍රයේ සුදු රෙද්ද ඉවත් කර,කන්‍යාබාවය යනු විද්‍යාත්මකව සැළකුවද යම් ආකාරයකින් නොතිබිය ද හැකි නම් ඒවා තුළ එල්ලී බිද වැටෙන පවුල් රටට ඇති කරන බව සහ ගැටළු දැකීම පසෙකට දමා තමන්ට අරුචි සමරිසි අයගේ රුචිකත්වය විනාශ කරන්නට යාම අශෝභන පමණක් නොව අමානුෂික කාර්යයකි.

අහිමි කර ඇති මිනිසුන් පිරිසකට ඔවුන්ගේ සිතැඟි පරිදි ජීවත්වන්නට දීමෙන් කිසි කෙනෙකුට ප්‍රහ්නයක් වන්නේ නැත.අවශ්‍යයනම් කළ යුත්තේ ලිංගික බලහත්කාරය පිලිබඳව නීතිමය වශයෙන් ඇති කරන දඩුවම් පුළුල් කිරීමය.සටන එතැනට නොහරවා ප්‍රාථමික සහ ගෝත්‍රික මතවාද වලට ඇතුළත් වී මිනිස් කොට්ඨාශයකට අකුල් හෙලීම පහත් ක්‍රියාවකි.එය සම්මත වන විට හැදෙන ඉඩකඩ ඇතුළත නීතිමය රාමුව කෙසේ විය යුතුද යන්න පිළිබඳ විද්වත් කතිකාවක් ඇති විය යුතුය.ඒ බලහත්කාරකමට එරෙහිවය.

Saturday, January 14, 2017

සුදර්ශියේ නුග සෙවණ කොයිතරම් සිසිලස ද?

දීපාල් නික්ම ගිහිං.පොඩි ළමයා ආයෙ එන්නෙ නැහැ.මේ නික්ම යාම ගැන ඇසුණු වෙලේ සිට කෙතරම් සිත වෙනතක දිව්වද,යළිත් මතකය ඇස් පිහාටු සසල කරන්නේය.මට මා ගැනම කේන්තිය.අපි දුර්වලයන් වී ඇත්තෙමු.දීපාල් ගැන මතකය ලියා ගන්නට සුදර්ශිය ඇවැසිමය.එහි සිටි සියල්ල ගැන මතකය අවදි කරද්දී බොහොමයක් රූපමය මතකයන් පමණි.

දීපාල් සිටිය වුව ද මඟතොට දැක නොදුටු සේ ගියානම් මොනවා සිතනු ඇද්ද?ඒත් කාර්ය බහුලත්වය ද,එසේත් නැතිනම් ඔළුවට දරන්නට බැරි තරමට එකතු වෙන මිනිස්සුද අතරේ වඩා නැවුම් දේ රැදී පරණ දේ වියැකි යා හැකිය.

නමුත් කවුරුවත් සුදර්ශිය අමතක කරනු ඇත.දීපාල්ගේ ආනන්ද භවන් වෙනුවෙන් ඇතැම් පටු රසිකත්වයක් ඇත්තෝ දීපාල් හෙලා දැක්කේ දෙමළ ජාතිවාදියෙක් ලෙසය.ඒත් සුද්ර්ශිය ආනන්ද භවාන් මෙන්ය.ඊටත් වඩා පැහැදිලිව කිවහොත් තෝසේ මසල වඩේ සිංදුවේ එන පරිදි සියලු පංතියේ අය එකට ඉද කා බී ගිය තැනෙකි.

ඒ තරම් සිසිල දනවන කලා ආශ්‍රමයක් වෙනතක නොවනු ඇත.එය ආශ්‍රමයක් යැයි පැවසීම හවසට ඇතැම් විට වෑහෙන මල් සුවඳ ආඝ්‍රානය කළ අයෙකුට මල පනින කතාවක් විය හැකිය.නමුත් විදිමත් කලා භාවිතාවකට ඉඩ නැති රටක එය අපූරු අසංවිධානාත්මක සංවාද මණ්ඩපයකි.

දේශපාලනය,කලාව පමණක් නොව ඇතැමෙක් කලාව හා පෑහෙන තාක්ෂණය පිළිබඳවද ප්‍රායෝගික බුද්ධියකින් යුතුව කරුණු පහදන්නේය.සැළසුම් සකස් කරන්නේය.අදුරට කණාමැදිරියන් සේ සිගරට් හිස් දිලිසෙන තෙක් මුහුණු නොපෙණුනද සරුසාර සංවාද නිමා නොවන්නේය.කණාමැදිරි එළිය ඉහළට එසැවෙනු තුරු බොහෝ අයගේ මුව නිදහස් නැත.කියන්නේ අපූරු දේ ය.

ඒ අපූරු මා සබැඳි මතකයේ සිටි සොදුරුතමයෙක් ලෙස දීපාල් දැනෙන්නේය.මිතුරු තෙමේ එතරම් ගමණක් ගියේ එවැනිම සොදුරු මිතුරු සමාගමයන් නිසාමය.මා නිහාල් සිල්වා සිටින සමයේ සුදර්ශියට ගොඩ වූවේ නැති තරම්ය.නිහාල් සහ මා සබැඳි මතකය තිබෙන්නේ බඹරබොටුව ඟං ඉස්මත්තේය.ඒ හේමන්ත හෙට්ටිආරච්චි නම් වූ සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ රංගන ශිල්පියා හේතුවෙන්ය.ඊටත් වඩා කුඩා කාලයේ සිට 'හෙට පායනතරු සමග දන්නා නිමල් ලක්ෂපති ආරච්චි ද මා තුන්වන වර සුදර්ශියේදී හඳුනාගන්නටත් ප්‍රථම දෙවන වර හමුවන්නේද හේමන්තලාගේ ගෙදරදීය.

ඒ සෑම අවස්ථාවකම මේ සංවාද මණ්ඩපයේ කතා වූ මාර චරිතයක් සිටියේය.ඒ මංජු ය.මංජු ගේ නම සම්පූර්ණයෙන් මතක් කර ගන්නට අසීරුය.ඔහු වරක් හොදම පිටපතට රාජ්‍ය සම්මානය ගත්තේ රෝස මල් පාත්තයනම් වූ නාට්‍යය පිටප වෙනුවෙන්ය.මංජු නිහාල් මෙන්ම දීපාල් ද නිර්මාණය කරන ක්‍රියාවලියේ සැකිල්ල සකසා ඇණ බෝල්ට් තද කර බව මට දැනෙන්නේය.

නිහාල් කී නිසා ද,දිපාල් මංජු ඇසුරේ සිටි නිසාද මට එය හැඟෙන්නේය.දීපාල් මුලින්ම සුදර්ශියේ සිටි විජිත් ෆොන්සේකා ඇසුරේ සංගීතය උගත්තේය.එය මිත්‍රශීලි හැදෑරීමක් විය.ඊට වරින්වර අලුත් දේ බටහිරෙන් අරන් විත් එබුවේ හර්ෂ කුමාර ආරියසිංහය.හර්ශ ද මංජු මෙන්ම සියල්ල ඔසවා තැබිය හැකි අදහස් දන්න තමන් සම්බන්ධයෙන් පමණක් අසාර්ථක අය ය.(මා ද එවැනි ගති ඇත්තෙකි.හේතුව නොදන්නෙමි.)

මේ අතර තවත නාට්‍ය කාරයෙක් නොවන අපූරු එකෙක් විය.ඔහු රසවතෙකි.නමින් නලීන් ය.ඔහුට ගිටාර් ආසාවද තිබුණත් ඔහු වැඩි තෘප්තියක් ලැබුවේ ඇසුරේ වචන වල රසයේ වෙලී බව හැඟේ.තවෙකෙක්ට නොපෙනන්නට ඔහු අනෙකාට උදව් කළ ව්‍යාපාරි වශයෙන් ලොකු ශක්තියක් ඇතිව සිටි අයෙක්ය.දැන් ද ඉද හිට ඔහු හමුවන්නේ සම්පත් මුණසිංහ ක්‍රීඩා ගුරුවරයා වන කොළඹ ජාත්‍යන්තර පාසලේ නලීන්ගේ දියණියන් උගනින නිසාය.

දීපාල් සහ කණ්ඩායමක් එවකට විණි.සියල්ලම සිටියේ ඟඟ අසළය.එතෙරට පිහිණිම අරමුණ විය.එකෙක්වත් අධෛර්‍යවන්ත වූවෝ නොවුණෝය.සියල්ල ඟඟට පැන්නේය.අද එකෙක් ඉන් ගොඩ වී ඇත.තවෙකෙක් ඟඟ මැද ය.ඒ අතර දීපාල් ඟඟෙන් එතෙරව නිික්ම ගිය බව මට හැඟෙන්නේය.

අප අතර සිටි අජිත් මුරගේ ඟඟට බට සැනින් අපූරු රටාවකට පිහිනන්නට විය.වෙනත් තැන්වලින් ඟඟට බට අයට වඩා වේගයෙන් යන්නට හැකියාව තිබුණද ඔහු මද වේගයෙන් පිහිණුවේය.ඔහු නික්ම ගියේ ඟඟ මැද දී ය.

ටෝලා හැල්මේ පිහිනමින් සිටියි.ඩාන්සින් කළ රංජි කොහේදෝ නැත.පරණ දිගු හෝල් එකේ සිටි මැදි වියේ අයියා සහ ඔහුගේ පවුල අපට අපේ පවුලේම අය මෙන් විය.කාලකණ්නිකමක මහත ඒ අවශ්‍යයම නම මට මතක නැත.කාලයක් අප සුදර්ශියේ ක්‍රිකට් කණ්ඩායමක් තැනුවේය.එයට අර කාමරයේ අයියා ළඟ සිටි බණ්ඩාර  ද එක් ව සිටියේය.එවකට කලා කේෂ්ත්‍රයේ සිටි රටම දන්නා සාමාජිකයා ලෙස කණ්ඩායමේ සිටියේ පාලිත සිල්වා ය.

අපට කලා ප්ලෑන් අතරට ක්‍රිකට් ප්ලෑන් ද පැමිණ තිබිණ.ක්‍රීඩා තරග පවා සංවිධානය කරන්නට සාක්ච්ඡා විය.නමුත් බස් ගැන සිහියට නැඟුණේ අන්තිම මොහොතේය.ඒ සැතුපුම් පහ හය පයින් ඇද තිබීමේ මතකය විසින් හිත කොනිත්තන්නට ගන්නා විටදීය.ඒ වෙනකං කතා කරන්නට මාතෘකා තිබිණ.ඒවා පෙර දවසේ කොටයක් වන්නට තිබිණ.නැතිනම් අලුත්ම දෙයක් වන්නට තිබිණ.

ඒවා හරි අපූරුය.ඒ අපූර්වත්වය දීපාල් පෙන්නුවේය.ඔහුගේ ආර අලුත් එකක් විය.රූපය වෙනස් කරමින් ආකර්ශනයක් ඇති කර ගත්තේය.ඔහුට කොෆියක් නොවී ඔරිජිනල් වන්නට සුදර්ශියේ නුග සෙවණේ එතුණු අලුත් අදහස් සියයට සියයක්ම බලපෑවේය.

ඕනෑ තරම්  දේ මේ කතාවන් අතර බිහි  වි ඇත.ඒවාට පේටන්ට් නැත.සමහර විට එයින් වැඩ ගන්නේ වෙනකෙක්ය.කියන එකාට වඟක් නැත.ඔහු හෙට තවත් එකෙක්ට එවැනි දෙයක් කියනු ඇත.

දීපාල් පමණක් නොව තව බොහෝ අය වැඩුණේ මේ සුදර්ශිය තුළ ය.අද එයට වැඩිපුරම කියන්නට හදන්නේ සිංහල සංස්කෘත සභාව යනුවෙන් ය.එය පරණය.රනිල් චන්ද්‍රිකා පවා එහි උගෙන ඇත.දැන් වසන්නට තටමන්නේ එය ය. කලාකාරයෝ ඒ වෙනුවෙන් අරගල කරන්නේද මේ සමඟ වන සුපිරි මතකය හේතුවෙන්ය.

පොඩි ළමයා ලොකුවට දැණුන හේතුව වගේම බොහෝ ලොකු වැඩවල් පොඩියට පැල වුණේ මෙතැනය.අනතුරුව අද බසට බිඳ ගතහොත් පට්ටය.දීපාල් පමණක් නොව තවත් අය මතු කරන සුදර්ශිය ටැලන්ට් ෆැක්ටරියක්ය.කන්සෙප්ට් විමානයක්ය.ඒ නිසා දීපාල් වෙනුවෙන්,දීපාල් නිසා හිනා වූ දේශපාලක අධිකාරිය සුදර්ශියට අත නොතබා රැක දීමටත් හදවතට එකඟව කටයුතු කළ යුතුය.

දීපාල් ප්‍රසංග වේදිකාවට ගොඩ වූයේම ඔහු නැතිව බැරි කරමින්ය.ඒක පුරවන්නට බැරි ආදේශක හොයන්නට බැරි හැඩයක් විය.ඒ හැඩය මැකුණු පසු දීපාල්ට ගරු කරන්නන් කළ යුත්තේ දීපාල් ඇදි සරම ඇද බඩකුත් දමාගෙන වේදිකාවලට නැග තප්පුලෑමනම් නොවේය. ගායන ශෛලියට ගැලපෙන රූපමය හැඩයක් සොයා ගෙන දීපාල් මතක්වෙන්නෙවත් නැති අලුත් එකෙක් වීමය.එසේ නොකොට දීපාල් වෙන්නට ගොස් විය හැකි එකම දේ දීපාල් ද අමතක වී තමනුත් අමතක කරවා ගැනීමය.

දීපාල් වටන්නේ ඔහු පොඩි ළමයා වූ නිසාය.ඒක ලොකු වැඩක්ය.ප්‍රසංගයක මතක සිටින්නට ආකර්ශණය වන්නට රූපය අදාළම නැති බව ද දීපාල් පෙන්නා දුන්නේය.නිහාල් ගෙ කලෙකට ණයට ගත්තද,පොඩි ළමයා ගේ අච්චුව වෙනස්ම එකක් විය.

සුදර්ශිය තියන්න.තවත් එහිදී 'පරණ අච්චු අලුත් දේවලින් පුරවනු වෙනුවට' අලුත් අච්චුම තණනු ඇත.

Monday, January 9, 2017

අත - හිත රිදවීම

අත ඇඟිළි තුනක් අඩ පන වෙලා.අත පන නැති වේගෙන එනවා.ලියන අත.මට මතක් වුණා අනුර කේ.උගෙ ලියන අත කැපුවා කෝච්චියට අහු වෙලා.ඒත් අනිත් අත ලියන්න හුරු කර ගත්තු අනුර අද ලේක්හවුස් එකේ විශේෂාංග කතෘ.

ජීවත්වෙලා වැඩක් නැහැ බං...

අත නැති වුණාම අනුර, ළඟ හිටපු මට ඒ කතාව කී පාරක් කියල ඇද්ද?ඒ කියන වාරයක් ගාණෙ මම බැනල ඇති.හිත රිද්දල ආයෙ හදල ඇති.

ඒත් එහෙම කිව්ව කියල හිතකට දරා ගන්න පුළුවන්ද?මගේ අත ගැන හරියටම දැන ගන්නත් ඉස්සර මට ජීවිතය තිත්ත වෙලා තියෙන්නෙ.

අද කොම්පියුටරයෙන් එක අතින් හරි ලියන්න පුළුවන්....

කීප දෙනෙක් කිව්ව ඒ කතාව ඇත්ත.ඒත් මගේ දකුණු අතට අහු වුණු පෑන් තුඩ ඒ ෆෝ සයිස් එකට කැපුණු නිව්ස් ප්‍රින්ට් කොළවල අතුරපු දේවල්..ඒව ඉලක්කයකට ලියැවුණා.මට ඒ ඉලක්ක එක්ක ඉන්න පුළුවන්කම ලැබුණා...
ඒ අකුරුවලට විශ්වාසයක් දෙන්න මට පුළුවන් වුණ නිසා,ඒව රටක්  වටින මානව සම්පත් වුණා
ඒ දේවල් කරපු අත...මට රටට වටිනාකමක් හොයා දුන්න අත.. අඩුවන අතේ ක්‍රියාකාරීත්වය රැදී තිබෙන ප්‍රමානයෙන් මට මේ ටික හරි ලියා ගන්න හිතුණා.
ශ්‍යාමන් හේමකොඩිගේ අතේ ගැටවක් තියෙනවා.ඒත් ඒක උට බාධාවක් නැහැ.නමුත් හැඩට ලියන උගේ අත මගේ හිතට බාධාවක්...අපි යමු ජාලිය ගාවට..හම්බවෙන හැම වෙලේම මම කියනවා.

මං ගැන ජාලිය දන්නෙ නැහැ.දැන ගත්තොත් මාව හොයන් එයි..ඩොක්ටර් ලාල්..ඒ වගෙම මම මේ ගැන පෙන්නන්නවත් අකමැත්තෙන් ඉන්න කොට මාව එතනට යොමු කළ ඩොක්ටර් සුසන්ත..ඒත් මට අවිශ්වාසයි..දුකයි...මම අනුරට ශ්‍යාමන්ට වඩා දුර්වලයි...අසරණයි.දැනෙන්නෙ ආත්මානුකම්පාවක්.

ඒත් නැති වෙන එක ස්වභාවිකයි.වටින්නෙ තියෙද්දි කළ දේවල්...අතින් ලියැවි දේ වෙනුවෙන් හදාගත්තු විශ්වාසය නිසා ක්‍රීඩාවේ බොහෝ අඩු පාඩු අහිමි කළ අවස්ථා නිවැරදි කර ගන්න ලැබුණා.හැබැයි ඒ ලියලා නෙමෙයි.කතා කරලා.ඒක වුණේ කොහොමද...අත හිත දිනා ගත්තා.අද අත හිත රිදවන තරමටම එදා හිත සතුටු කළා.

අද හුඟක් අය මීඩියා වුණාම මොන කතාද?ඇරල දාන්න තියෙන්නෙ කියන ලෙවල් එකට ඇවිත්.ඒ ඇරල දාන්නෙ කාටද?තවත් මනුස්සෙක්ට.එයාගෙ ආත්ම  ගෞරවය,පෞරශ්‍යය...මම එහෙම කරන්න සීමාවක් තියෙනවා කියන්නෙ හේතු ගණනාවක් එක්ක.එතනට මෙහා කරන්න උත්සාහ කළ හැකි දේ තියෙනවා ඒ ඔබේ හඬට,ලිවීමට හෝ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දිනා ගෙන ඇති විශ්වාසය සහ ප්‍රශංසාව මත...

අපිට ඒක අමතක වෙනවා.ඒ නිසා අප පෙනී සිටින මිනිහා සහ අපේ විවේචනයට ගොදුරවන මිනිහා අතර විශාල දුරස්කමක් හැදෙනවා.ඇත්තටම අපිට මොකද්ද ඕනි.මේ දුරස් කම අඩු කරන්න සහ පෙනී සිටින එකාට සාධාරණය ඉටු කරන්නද?එහෙමනම් අපි අපේ භාවිතාව ඇතුළෙ ඒ දේ කරන සරල ක්‍රමය හිතන්න වෙනවා.ගැහුවම ගහන එකා අරූට ගැහැව්වා කියන මතයෙන් අපි පොරක් වෙනවා.ඇගයීම් ලැබෙනවා....හැබැයි වැඩේ නොවුණොත් අපි පොර වී අපි පෙනී සිටි මිනිහා කොර වෙනවා...

ඒ නිසා ගැහිල්ලට වඩා ඔබ උපයාගත් සම්බන්ධය සහ පිළිගැන්ම මිත්‍රශීලීව යොදා ගෙන කටයුතු කිරීමයි වැදගත්. නොවන කාරණය සාකච්ඡාවට ගන්න.එය කළ යුතු පුද්ගලයාගේ හොඳ සමඟ කළ කී දේ සමඟ එය කිරීමට පොළඹවන සටහනක් තබන්න...ඒ කරුණු හේතුවෙන් මෙය අතපසුවීමක් පමණක් විය හැකි බව පෙන්වා එය නිවැරදි කිරීමට අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටින්න.

භාෂාව හරිම වැදගත්.එය සිඹින්නත් - කපන්නත් - සිඹින සේ කපන්නත් - කපන සේ සිඹින්නත් පුළුවන් මෙවලමක්.මේවා කෙසේනම් භාවිතා කරන්නේද?කුමන තැනකට ගැලපේද? ඔබ කෝප නොගන්නා තරමට ඔබේ කෝපය දැනෙයි...විවේචනයේදී කෝපය වෙනුවට විෂයට ආදරය කරන්න.යහපත් විවේචනයක් සිදු වේවි.

අතයි හිතයි එකට තියා ගන්න.ඔබ ආදරණිය මිනිසෙක්නම් හිතෙන් එන ආදරණීය සංඥා එක්ක ඔබේ අත වැඩ කරයි.
ආදරණීය පත්තර මිතුරණි.....ගහන්න නෙමෙයි අපි දිනන්න වැඩ කළ යුතුයි.හෙට ආයෙ මේ අත හෝ මම නිහඩවම සැඟවී ගියත් මගේ හිතයි ගතයි නිදහස්...මේ ටික ලිව්වට පස්සේ තවත් නිදහස්.....

Friday, December 23, 2016

උදව් ඇඳ විය හැකි ලෝකයක්

https://www.facebook.com/prageethrathnayake.artpage/posts/1836581043298275

මේ ලින්ක් එකට අදාළ සටහන කියවන්න පුළුවන් ද දන්නෙ නැහැ හැමෝටම....මුහුණු පොතට එබිල බලන්න පුළුවන් අය ඒක දිගට කියවන්න.කමෙන්ට්ස් එක්කම..විවිධ දේ විවිධ අය කියා ඇති එහි තිබෙනවා.

ඒක පාදක කරගෙන මට මගේ කතාවක් ලියන්න හිතුණා.
මගේ තාත්තා නැති වුණේ මහපාරෙ සිදු වුණු අනතුරකින්.මේක මගේ හිතට වදයක් වුණේ තාත්තා මගේ ජීවිතේ මට තදින්ම දැණුන කෙනා නිසයි.මගේ ජීවිතයේ මට වඩාත්ම ආදරය කළ කෙනා ඔහු නොවන්නට ඇති...ඒත් මට තාත්තව දැනෙන්නෙ ඒ විදිහට.

ඒ මතකය මධ්‍යම රාත්‍රියෙ පිටකොටුවෙ මගේ ජීවිතයට එකතු කළ අත්දැකීම් කිහිපයක් තියෙනවා.මට පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ළඟින් ගෙදරට එන්න ත්‍රීවීලයකට යන්නෙ සුළු මුදලයි. අදටත් ඒ පහසුකම මට නැතිවෙලාම නැහැ.ඒත් ඉස්සර ඊටත් වඩා හොදයි.මගේ යාළුවන්ට වුණත් මගේ නම කියලා එහෙම පස්සෙ සල්ලි දෙන්න හරි යන්න පුළුවන්කම තිබුණා.මංජුල වෙඩිවර්ධන ඒකෙන් හොඳටම ප්‍රයෝජන ගත්තු කෙනෙක් නිසා ඌ දන්නවා මගේ ඒ බැදීම් ගැන.

එක දවසක් මම හඳුනන ත්‍රී රෝද රථයක් එනතුරු එතන හිටියෙ ඒ වෙනකොට මගේ මිතුරුන්ව සිටි පදික වෙළඳුන් සමඟ කතා බහක යෙදෙමින්.ඒ අතර උස මැදිවියේ කෙනෙක් බීමත්ව පැමිණ පදික වේදිකාව මත වැටෙනවා.ඔහුගේ හිසේ පිටුපසින් ලේ වැගිරෙනවා.මට සිහියට ආවෙ තාත්තා.

කවුරුත් නැද්ද මේ මනුස්සයව දාගෙන යන්න.මම ත්‍රීවීල් එකට සල්ලි දෙන්නම්...

ඒ සමඟම ඉදිරිපත් වුණේ නටබුන් තත්ත්වයක තිබුණු ත්‍රීරෝද රථයක දෙන්නෙක්.ඔවුන් තෙල් ගහන්න ඕනි කියලා 200 ක් අරං මනුස්සයත් දා ගෙන ඉගිළුණා.

ස්ර්ටනම් පිස්සු....

කඩේක හිටිය ප්‍රභා ත්‍රීවීල් එක ගියාට පස්සෙ මට කිව්වා....

ස්රට සල්ලිත් නැහැ,ඒ මනුස්සයත් මඟ කොහාට හරි දාල යනව පාරෙ මැරෙන්න..

කතාව යද්දිම නිහාල් අයිය ආවා.ඒ මගේ මිතුරු ත්‍රීරෝද රථ රියැදුරෙක්.මම ඔහුට කතාව කියමින් එන අතර ප්‍රභාගෙ කතාව ඇත්තක් වෙලා තිබුණා.මරදාන කාර්මික විද්‍යාලය ළඟ අර මනුස්සය දාලා ගිහිං.නිහාල් අයිය කිව්වෙ සිහිය නැති නිසා මේක ලෙඩක් කියලා..ඒත් මම මනුස්සයව දා ගත්තා.

රෝහලට රැගෙන ගියාම වැඩේ ලෙඩේ තමයි..මොනවත්ම කියන්න දන්නෙ නැති හිස පිටුපිසන් ලේ ගලන තුවාල සහිත මිනිසෙක් සමග කොණ්ඩය වවපු අපිළිවෙලට ඉන්න තරුණයෙක්..(තරුණයෙක් කිව්වෙ ඒ මොහොතට සාපෙක්ෂව)

මම රාවයට ලියන බව දැන ගත්තම, තව අය ඒ ගැන කතා කළාම මට නිදහසක් ලැබුණා.ඒ විශ්වාසය..පාරට ඇවිත් සිගරට් එකක් බීල යන්න..තේ නම් වරින්වර පොලිසියත් දුන්නා.නමුත් අර මනුස්සයට සිහි එනකං පොතේ ඇතුළත් කිරීම ගැන නම ලියපු මම ඉන්න ඕනි වුණා.නිහාල් අයිය යන්න කිව්වට යන්නෙම නැහැ.හොද මිනිස්සු.ඒත් මම කරුණු කියා දීල ප්‍රශ්නයක් වුණොත් මම කෝල් කරන්නම් ගෙදරට කියන්න කියලා ඔහුව පිටත් කළා.(එතකොට ගෙදරට දුරකථන පහසුකම් තිබුණේ නැහැ.)

මනුස්සයට උදේ 8 වෙන කොට විතර සිහිය ආවා විතරක් නෙමෙයි වැටෙන තැනකට එනකං මතකය අවදි කර ගන්නත් පුළුවන් වුණා.රෝහලේ ප්ලාස්ටික් පුටුවට ඇලිලා තිබුණ හිරිවැටුණු මගේ පස්සට නිදහස ආවා.ඒත් මනුස්සයට තව වෙලාවකට කන්න බොන්න හොද නැති නිසා මම මගේ නම්බරය ලියා තියල එතනින් පිට වුණා.

පොලසිය කිරුළපොන ප්‍රදේශයෙ හිටිය එයාගෙ ගෙදරට පණිවිඩය දෙන්න භාරගත්තෙ මට ලොකු ගෞරවයක් දෙමින්.ඊට පස්සෙ එක පාරක් මා ඔහුව බලන්නත් ගියා.ඊට පසුව මට අසනීපයක් වුණේ ඔහුගේ පුතා.මනුස්සය කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක්.ඔහු ඒ මනුස්සයගෙ දුක කියමින් දින කිහිපයක්ම රාවයට ඇවිත් මගෙන් සල්ලි ඉල්ලගෙන ගියා.වරක් මම සල්ලි ඉල්ල දුන්නෙ පීරිස් අයියගෙන්...(රාවයෙ පෙර මතක දන්න අය දන්නව ඔහු ගැන.එහෙම පහසුවෙන් සල්ලි දෙන්නෙත් නැහැ.)

මම පීරිස් අයියට කතාව කිව්වට පස්සෙ පීරිස් අයිය මට බැන්නා.ඒත් තාත්ත නිසා ද දන්නෙ නැහැ මට ඒ මනුස්සයට උදව් කරන්නමයි හිත.දවසක් මම නැති වෙලාවක පීරිස් අයිය අර පුතාට බැනල එලවල තිබුණා.ඌ කරන්නෙ බොරුවක් බවත් කිව්වා.මටත් මේක දැනිල මේකෙන් ගැලවෙන්න ඕනි කම තිබුණා.

දවසක් මම මනුස්සය ආපු වෙලාවක රාවයට අල්ලපු වැටේ තිබුණු කඩය ළඟට එක්ක ගිහිං තේ අරං දීල..බැම්ම අතරෙ තිබුණු පාරට අරං රුපියල් 100 ක් දීල අරූට හොඳවයින් දෙකක් ඇන්නා.ඒ අන්තිම දීම.ඒත් අදත් අර මනුස්සයට මොකක් වෙන්න ඇද්ද?

මගේ හිත කකියනවා.උදව් ඕනි.එහෙම තැනක් දාලා යන්න බැහැ.නමුත් අද දාලා යන මිනිස්සු වගේම වැරදි දේ කරන අය වැඩි නිසා උදව් කරන කෙනාටම බාල්දිය පෙරළෙන්න ඉඩ තියෙනවා.හැම වෙලාවෙම කරන උදව්වෙ ප්‍රශ්නයකුත් තියෙනවා.ඒ තරමට මේ ලෝකෙ පිරිහිලා.

මුල් ලින්ක් එකට අදාළ ප්‍රගීත්ගෙ උදව්ව මට වටින්නෙ ඒ නිසාමයි...ඒකෙ ඇද දකිනවට වඩා උදව් ඇද වෙන ලෝකයක් මේක...ජීවත්වෙන්න අමාරු මිනිස්සුන්ටමයි...මනුස්සකමටයි.

Tuesday, December 6, 2016

පටු කම පිටු දකිමු!

තුන්වන ලෝකයේ රටවල්වල දේශපාලනයේ සීමා මායිම් පටුය.ඒවා අතිශයින් හැඟීම්බර සීමාවලට නතුව තිබේ.හැගුම්බර යනු ජාතිය,ආගම වැනි සීමාය.ඒවා නිසා උස් කොට පහත් කොට සිතන දේශපාලනයේ ඛේදණිය තත්ත්වය ශ්‍රී ලංකාවට ද උරුමය.
අයෙක් ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වන බව බුදුහිමි දෙසුවද,බුද්ධාගම ආගම යැයි පාරම්බාන බොහෝ අය ද සිතන්නේ සිංහල වීම නැතිනම් සිංහල බෞද්ධවීම බ්‍රාහ්මණ තත්ත්වයේ තබාය.
එපමණක් අවශ්‍යය නැත.බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ද කටයුතු කරන්නේ නිකායන්ට යටත් වෙමින්ය.ඒ ඒ  නිකායන් ක්‍රියාත්මක වන්නේ පවතින කුල ක්‍රමයට අනුවය.ඒ ඒ අනුව බුද්ධ කාලයේ සැරියුත් මුගලන්ලාට මෙන්ම සැඩොල් කුලේ සෝපාකට ද මහන දම් පුරන්නට ලැබුණු සංඝ නිකාය අවිද්‍යාවෙන් වැසී ඇත.
සතුරාටත් මෛත්‍රී කරන තත්ත්වයක් අද නැත.අනෙකාට ගරු කිරීමක් නැත.උපාලි ගෘහපතියාට ජෛන ආගමට කළ උදව් නොනවත්වා කරන බව පොරොන්දුවන තෙක් බෞද්ධාගමට සම්බන්ධ වන්නට බුදු රජාණන්වහන්සේගෙන් නොලැබුණ බව කියැවී ඇතත්,දැන් වෙනත් ආගමක වීම ජාතියක වීම හැදි ගෑවී යන්න ලෙස ප්‍රාර්ථනා කිරීමට ප්‍රමාණවත්ය.
"උන්ට ගිය රට",
"උන්ට ඕන විදිහට ඉන්නද අපි"
ඒ අදහස් අනුව පෙන්වා දෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශණා කළ ධර්මය අනුව අනෙකුන් කටයුතු තළ යුතු බවය.බෞද්ධයන් සිටින්නේ අනෙක් ආගමිකයන් බුද්ධ වචනයට අනුව හැසිරවීමටය.ආගම් ජාති බදාගෙන ජීවත්වෙන රටවල මේ තත්ත්වය දකින්නට බුද්ධාගමම නිදසුන් ගෙස භාවිතා කරන්නට අවශ්‍යය නැත.කුමන පටු ආගම්වාදියෙක් වුව සිතන්නේ සියල්ල සිතිය යුත්තේ සිය ආගමට අනුව ලෙසය.නැතිනම් පහරදිය යුතුය.මරා දැමිය යුතුය.හැදි ගෑවී යා යුතුය.
මේ රටවල මේ උරුමයට ගැති වන්නෝ අතිශයින් දුප්පත්ය.නූගත්ය.මේ දෙකම ජීවත්වන්නට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදෙන තත්ත්වයකි.ඒ නිසා ඔවුන් ජීවත්වීම නිසා යැපෙන්නන් බවට පත් විය යුතුය.මේ යැපීමේදී ඔවුන් කුමන හෝ දේශපාලන ග්‍රෝත්‍රයක හුරතලුන් බවට පත් වන්නේය.ඒ අනුව ජාතිය ආගම සහ ක්‍රියාව තීරණය වන්නේය.
ඒ අය මෙහෙයවන අය ග්‍රෝත්‍රික නැත.ලෝකය හඳුනන්නෝය.ඔවුන්ගේ පැවත්මට මේ නූගත් සහ දුප්පත් ජනතාවගේ ශ්‍රමයේ ආශිර්වාදය අවශ්‍යය වන්නේය.එය දැන තමන් හඳුනාගෙන තිබෙන අවිද්‍යාව සහ මිත්‍යාව, විද්‍යාව ලෙස සහ යථාර්තය ලෙස වදාළන්නේය.කෙලෙස් ගොඩවල්වලට ලෝගු පුරවා ඇත.ඒවා පූජණිය වන්නේ ආගම් ලෝගුවලින්ය.නැතිනම් ඔවුන් කරන්නේද ග්‍රෝත්‍රික දේශපාලනයේම ලක්ෂණයක්ය.
ගැටුම් අවම රටවල්වල ආගම් සහ ජාති නොසළකා හැරීම අනුවන ගෝතයන්ගේ වැඩක්ය.උන්ට එහෙම හරි ජම්මයක් ජාතියක් නැත.
ඒ පටු මිනිසුන් ලොව දකින හැටිය.නමුත් හැම එකෙක්ම ඒ ජාතියක් ජම්මයක් නැති උන්ගේ ණය කාරයන්ය.ජීවත්වන්නේ ඒ රටවල්වලින් ලැබෙන ණයෙන්ය.පරම්පරා ගණනක් ඒ රටවලට ගෙවිය යුතුය.එසේ ගෙවන්නට වී ඇත්තේ පටුකම නිසා දියුණුවේ මාර්ගවලට ඇති ප්‍රවේශයන් පුළුල් කර ගන්නට නොහැකිවීම නිසාය.වර්ග 25000 ක සීමාවක මුතු අටයක් යැයි කියන රටක ඇත්තේ පාහර  ආගම්වාදී ජාතිවාදී දේශපාලනය විසින් තැන තැන පැහැරූ ගූ ගොඩවල්ය.
මේ තත්පරයේත් ඒ ගඳ වටේට විහිදෙන්නේ ජයලලිතා ජයරාම්ගේ මරණයත් සමඟය.දකුණු ඉන්දියාම මල ගෙයක්ව ඇත.එහෙත් අපට නොවටින නිසා ඇය හැදි ගෑවි යා යුතුය.කෙනෙක්ගේ මරණයට රතිඤ්ඤා පත්තු කරන කිරිබත් උයන අපේ බෞද්ධ සංස්කෘතියේ අයිතිකාරයන් එය තමන්ගේ කර ගත්තාට කමක් නැත.අපි ජාතියක් ජම්මයක් නැති එව්වන් ලෙසම හංවඩු ගැසුවාට ද කම් නැත.සීමාවක් නැතිව හොඳට හොඳ කියන්නට නරකට නරක කියන්නට මනුස්සකම් වැඳගන්නට ලැබී ඇති හැකියාව පටු සීමාවන් වලට වඩා පුළුල් ය.ඒ පටුකමට සාපේ්ක්ෂව සතුට හා ප්‍රීතිය ද පටු වන අතර...සතුටු වන්නට විවෘතව ඇති ලෝකය පටු කර ගැනීම අන්තවාදයේ උරුමය වන්නේය.

Friday, September 30, 2016

නිමාලි තව දුවමු අපි!

ඉකුත් වසරේ ළමා දිනය දවසේ මගේ ළමයි දෙදෙනාගෙන් මා සතුටු විය.අද මීට සුළු මොහොතකට පෙර ළමයෙක් යැයි නොකීවද මගේ සිතේ මගේ දරුවෙක් මෙන් ජීවත්වෙන නිමාලි ලියනාරච්චි මට සතුට ගෙන ආවාය.ඒ වසර විසි හතරක් පැරණි මීටර් 800 කාන්තා ශී ලංකා වාර්තාව බිඳ දමමින්ය.ගාල්ලෙන් පැමිණි ශ්‍රියාණි ධම්මිකා මැණිකේ 1992 දී මෙහි ශ්‍රී ලංකා වාර්තාව දිනා ගත්තේ විනාඩි 2:03.85 ක කාලයක් වාර්තා කරමින්ය.අද දකුණේ සූරියවැව සිට යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයට සපැමිණි නිමාලි ඒ වාර්තාව සිය නමට ලියා ගත්තේ විනාඩි 2:03.5 ක කාලයකින්ය.නිමාලි මෙන්ම සූරියවැවෙන්ම පැමිණි ගයන්තිකාගේ මලල ක්‍රීඩා ජීවිතයට ද මා බෙහෙවින් සමීපව සිටියාය.ලැබෙන තොරතුරු අනුව ඇය ද පැරණි වාර්තාව ඉක්මවා තිබිය යුතුය.
තරඟයට පෙර දින රාත්‍රියේ මම නිමාලි සමඟ කතා කළෙමි.ඇත්තටම ඇය මා සමඟ කතා කළාය.ඒ මතකය ඇය සතු දුර්ලභ මනුස්සකමකි.එහිදී දොරේ අප්පා පිටියේ තත්ත්වය මෙන්ම සුළඟ ගැන ද ඇය කතා කළේ කණස්සල්ලෙන්ය.නමුත් ඇයට මා කීවේ ඇය විඳ තිබෙන දුක් කම්කටොළු,වේදනා හා ගත් විට ඒ සියල්ල සුළඟක්ම පමණක් බවය.ඇය ඔව් මම දෙයක් අත අරින්නෙ නැහැ ලේසියෙන් යැයි කීවාය.ඇය අද එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමෙන් අනතුරුව ද මා අමතමින් එය ක්‍රියාවෙන් ඔප්පු කළ බව කියන්නට තරම් කෘතවේදී වූවාය.
ඇය ගුවන් හමුදාවට සම්බන්ධ කිරීමට මා එකඟ කර ගත්තේ මා මිත්‍ර දීපාල් මුණසිංහය.ඔහු ඇයව හොඳින් බලාගත්තේය.ඒ මුළු ගුවන් හමුදාවේම ආදරය,සහ කරුණාව මෙන්ම මිත්‍රශිලී සහයෝගය ඇයට ලබා දෙන්නට දායකත්වය දෙමින්ය.ඇය එළැඹෙන 6 වන දා ගුවන් හමුදාවේ සහය ඇතිව ඉදි කළ නිවසට ගෙවැදීමට නියමිතය.රටේ රජ්ජුරුවොත්,ක්‍රීඩාවේ නාමයෙන් පහළ වූ කුමාරයාණන් ලෙස වැජඹි නාමල් කුමාරයා ද රට වෙනුවෙන් දුවන මේ කෙල්ල දුටුවේ නැත.
නිමාලි,ගයන්තිකාලා පමණක් නොව එරංගා දුලක්ෂි,පීඑච් චමල්ලා ද රට වෙනුවෙන් දුවන හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් තියා සාමාන්‍ය ක්‍රීඩා පිටියක් නවිකරණය කර දීමටවත් නොනැවතුණු ඔව්හූ සූරියවැවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ගෙනාවේය.අල්ලක් තරම් ඉඩ ඇති නිමාලිගේ ගේ උළුවහු පළල් කර දෙන්නටවත් නොසිතුවේය.නමුත් ගුවන් හමුදාව මෙන්ම සිය ප්‍රදේශයේ ක්‍රීඩිකාව රටටත් දකුණටත් ගෙනෙන කීර්තිය ගැන සිතූ සජිත් ප්‍රේමදාසයන් නිමාලි ට පමණක් නොව ගයන්තිකාට ද කොළඹින් නිවාස ලබා දීමට මැදිහත් විය.මෙය යහපත් වෙනසකි.ක්‍රීඩාවට සතුටකි.
ගයන්තිකා වෙනුවෙන් මා මහවැලි ඉඩමක් ලබා දීම සඳහා ලක්බිමේ සිටියදී රන්ජන් පරණවිතානයන්ගේ ආශිර්වාදය ඇතිව කළ මැදිහත් වීම අනුව එවකට මහවැලි ඇමති වූ මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇයට ඉඩමක් ලබා දීමට මැදිහත් වුණාය.මහ රාත්‍රියේ ඒ කටයුත්තට අදාළ ලියවිල්ල අත්සන් තබා එවකට ඔහුගේ පෞද්ගලික ලේ්කම්ව සිටි ජයසිංහ මහතා ලවා මට මහ රෑම දුරකථන ඇමතුමක් ද ලබා දුන්නේය.
මම අකුරු වීසි කර නැත.පිළිවෙලකට අතුර ඇත.ඒවායෙ පලය රටට ලැබෙමින් තිබේ.මා වගකීමෙන් මෙසේ කියමි.2020 ඔලිම්පික් පදක්කමක් හෝ අවසාන 8 දෙනා අතරට හෝ ලංකාව ගෙන ඒමට නිමාලිට හැකිය.ඒ සඳහා කෙන්යාව වැනි දුර දිවීමේ රටක විශේෂිත පුහුණුවකට නිමාලි මෙන්ම ඇය මෙහෙයවීම පිළිබඳව මේ වසරේ දක්ෂතම පුහුණුකරු ලෙස ජනාධිපති සම්මාන ලත් පුහුණුකරු සුජිත් අබේසේකර ද යොමු කළ යුතුය.එය 2019 වසරේ අග භාගයේ කළ යුතු දෙයක් නොවේය.දැන්ම කළ යුතු දෙයක්ය.
මලල ක්‍රීඩා සංගමයට ඒ බුද්ධිය පහළවීමට තව බොහෝ කාලයක් ගත වෙනු ඇත.ඊට පසුව ක්‍රීඩා ඇමතිතුමා ළඟ ද එහි නිලධාරීන් ළඟ ද පල්වන විට පෙරහැර ගොස් අවසන්ය.ඒ නිසා මේ සඳහා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා පළමුව මැදිහත්වන්නේනම් අපූරුය.
නිමාලි කර්කශ ජීවිතය ද ඔසවා ගෙන පැමිණ පළමු වරට ජාතික ජයග්‍රහණයක් ලැබූ දිනය මට අද වගේ මතකය.එදා ඇය කැඳවා ගෙන පැමිණ සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.ගැබ්බරව සිටි ඇය නිමාලි වෙනුවට මම අසන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දෙමින් ජීවිතය කියෙව්වාය.
මම ඒ සටහනකට ගෙන වෙඩ්ඩාට කීවේ රාවයේදී නොවේය.එවකට අප පදිංචිව සිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලා නිල නිවසේදීය.
මචං මේකි තාවකාලික දිවීමක් වෙයිද දන්නෙ නැහැ.
වෙඩ්ඩා මට කීවේය.ඒ ඒ තරමටම ඇයට නොදුවන්නට තරමේ ආර්ථික පීඩාවන් තිබුණු බැවිණි.දිව්වොත් ඉන්ටර්නැෂනල් මෙඩල් ගොඩක් අපි සිගරට් උරන අතර දෙඩුවෙමු.
ඒ නිසාම ඇය වෙනුවෙන් ලී ඒ සටහනට හෙඩිම වූයේ නිමාලි ඇය කෙතරම් දුරක් දුවන්නී ද වැන්නක්ය.නමුත් ඒ සටහනට ඉහළ ප්‍රතිචාර ලැබිණ.උදව් කරන්නට බොහෝ අය ඉදිරිපත් විය.නමුත් එය වගකීමක් ලෙස කරට ගන්නට එවකට ඇය ඉගෙනුම ලැබූ විදුහල්පතිවරයාට නොහැකි විය.නමුත් ඒ ගුරුපියාගෙන් අත හැරුණු නිමාලිව මම මගේ පීතෘ වගකීමෙන් අත් නොහැරියෙමි.ඇය කළකිරීමෙන් ඉවත් වෙන්නට උත්සාහ දරද්දී වෛද්‍ය ලාල් ඒකනායකගේ පීතෘ සහයද ඇයට ලැබිණ.පෑනෙන් දුවන්නට බැරිය.දුවන්නට හැකිය.ඊට පෑනට අකුරු උනන්හට හදවතක් තිබිය යුතුය.
දිනෙක තරග ප්‍රතිපල ලියන්නට හෝ සංචාර යන්නට පමණක් සෑදි පැහැදී සිටින අයෙක් අතින් විනාශ නොවුණොත් මගේ දියණිය ගැන ජීවිත කතාව මමම ලියමි.එය නගරයක් දෙවණත් වන්නට කෑ ගසන තරමේ මහා හඬක් සහිත ක්‍රීඩාවට පිවිසෙන්නෙකුට උද්යෝගය සපයන්නක් වනු ඇත.
ළමා දිනය පමණක් නොව අද වැඩිහිටි දිනය ද වන්නේය.ඒ් නිසා මා තරුණ වියේදීම නිමාලිව හැදිණ ගත්තේ සහ වැඩ කළේ වැඩිහිටිෙයෙක් ලෙස යැයි හැඟෙන්නේය.ඒ් නිසා මෙය වැඩිහිටි දිනයට ද තෑග්ගකි.
පියවරු දරුවන් අමතක කරන්නේ නැත.මා දමා ගිය දූවරු පුතුන් ගැන වුව කියන්නට ඇත්තේ එපමණකි.නිමාලිට ද දිනෙක මා අමතක විය හැකිය.ඒත් හැම ජයග්‍රහණයකදීම උඹ කීවා ද නොකීවා ද මම ද රන් හදවතේ පැළදගමි.
නිමාලි දැන් මම පළමු සටහනේ උද්ධෘතය වෙනස් කර කියමි.නිමාලි දුවන්නීය.ඒ රටද රැගෙන බොහෝ ඈතටය.
ජයවේවා දුවේ!