Saturday, October 6, 2018

හෙළුවෙන් සිට අනුන්ගේ හෙළුවට හූ කීම

  මේ සටහන සම්බන්ධයෙන් බොහෝ දේ වාර්තා වෙයි.ඒ අතර වෛද්‍යවරියගේ යට ඇඳුම සහ මෝටර් රථයේ වේගය ධාවනයේ නොසැළකිල්ල සම්බන්ධවන ආකාරය පිළිබඳවද සොයා බැලෙයි.
මෙම අනතුරේ දෙපැත්ත මරුය.එක පැත්තක වෛද්‍යවරියකි.ඇය සම්බන්ධයෙන් වෛද්‍යවරු හැසිරෙන ආකාරය ගැන කියන දේ වලින් ඇයගේ පමණක් නොව එම බොහෝ දොස්තරවරුන්ගේ රෙදි ගැලවෙන අතර පාදෙනිය ප්‍රමුඛ රටේ හැම දේටම ලෙඩුන්ට තලන වෘතීත්ය සමිතියේ රෙදි ද ඈත්ව මෑත්ව ඇත.
අනෙක් පැත්තේ සිටින පොලිසිය ද හොඳ චරිත සහතිකයක් සහිත පිරිසක්ය.අවශ්‍යයතාවය අනුව දඩමස් ද ගොරකා කරන්නටත්,ගොරකා දඩමස් කරන්නටත් සමත් ඔවුන් ද තමන්ගේ අතේ ඇති නීතියෙන් දොස්තරවරුන්ගේ නලාවට තට්ටු කරමින් ඇත.බැටන් පොල්ල සහ නලාව අතර විශාල සමාජ වපසරියක් තුළ සිදුවන අනතුරක් බවට පත් ව ඇති පැපිලියාන අනතුර ගැන අනුන්ගේ රෙදි ඈත් වි ඇති සිටි පෙන්වා දෙන මාධ්‍ය නිරුවත්ව ඇවිඳින බව පෙන්වන්නට සමාජයට සිදුවීම දරුණු ඛේදවාචකයකි.
වෘත්තිමය වශයෙන් ගත් විට ජනමාධ්‍යකරුවාට ඇති වගකීම වෛද්‍යවරියට සහ පොලිසියට ඇති වගකීමට වැඩිය.
මේ ලිපිය පුරා වාර්තාවන සිදුවීමට අනුව වෛද්‍යවරිය යනු ඉතාම කළු චරිතයක් වන අතර පොලිසියේ අජන්ත ඉතාමත් සුදු චරිතයක්ය.පාතාල නායිකාවක විසින් සැදැහැවත් සුද්ධවන්තයෙකු ඝාතනය කර ඇත.පිරිත් අහන බෞද්ධ වත් පිළිවෙත් ඉටු කරන මව්පියන්ට ගරු කරන අජන්තව වනචාරි දිවියක් ගත කරන බීමත්වීම අනාචාරයේ හැසිරිම ජිවිතය කරගත් වෛද්‍යවරියක විසින් ඝාතනය කර ඇත.
මේ ලිපිය නැවත නැවතත් කියවා බැලුවද පත්තරකරු හදන චිත්‍රය එබඳුය.
මේ ලියුම්කරුට දරුණු අපරාධකරුවෙක් පොලිස් පරික්ෂකයෙක් ඝාතනය කර ඇති බව කියන්නට ඇති අවශ්‍යයතාවයේදි නොසළකා හරින පාර්ශවයන් පිළිබඳව වග කියන්නේ කවුද?
වෛද්‍යවරියගේ දරුවා තව දුරටත් වැදගත් රාජකාරියක් කළ මවකගේ දරුවෙක් නොවනු ඇත.ජීවීත  බේරා ගැනීම සඳහා විශේෂඥ හැකියාවක් ඇති තැනත්තිියක ලෙසු කටයුතු කරන වෛද්‍යවරිය නැතිනම් ඇයගේ දරුවාගේ මව දරුණු විෂමාචාර ක්‍රියාවන්ම ජීවිතය කරගත් තැනත්තියක වනු ඇත.
ඇය බීමත්ව පිරිසත් සමඟ යමින් සිට ඇත්තේ සිය නිවසටය.ඒ අනියම් පෙම්වතායැයි සැක කරන අයෙක් සමඟය.අනෙක් සිටි අය පච්ච කොටා ඇත.එය විලාසිතාවක් නොව දරුණු අපරාධකරුවන්ගේ ලක්ෂණයක් ලෙස හුවා දක්වන්නට සහ නොහොබිනා දෙයක් ලෙස මතු කරමින් වෛද්‍යවරියගේ චරිතය කළ කරන්නට පසුබිම සහ පදනම දමන හැටි අපූරුය.
සැමියා සහ දරුවා සිටින නිවසට යමින් සිට ඇති බව මෙහි ඇතුළතින් කියවෙන විට පසුව මේ පෙම්වතා නොවන බව හෙළි වුවහොත් පුවත්පත ඒ කරුණ නිවැරදි කර වෛද්‍යවරියගේ චරිතයට සිදු වූ හානියට කුමක් කරනු ඇද්ද?
එවැනි සිදුවීම් දෙකක් ලියා තැබිය යුතුය.
පළමු සිදුවීම වත්තල ප්‍රදේශයේදී ගුවන් හමුදා සෙබළුන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරය ය.එහිදි පොලීසීය සහ මාධ්‍ය අපූරුවට හැමුණින.කත් බැදන් පැමිණෙන මොරටුවේ වැල්ලබඩ සහෝදරයෙක් මිනිස් බෝම්බය ගෙන ආ පුද්ගලයා කළේය.තව පොඩ්ඩෙන් ඔහුගේ ජීවත් වූ පවුලේ සාමාජිකයන්ටද ගමේ මිනිසුන්ගේ අඩන්තේට්ටම් විඳින්නට සිදුවන්නට තිබිණ.නමුත් සිදු වි තිබුණේ ඔහු පුටු කද බැදන් පැමිණ ඊට පෙර දින රෑ වූ නිසා අසළ කඩයක එම කද තබා ගොස් තිබීමය.එය ගැනීමට පාර මාරුවීමේදී බෝම්බයට හසුවීමය.
එය හෙළිදරව් වූ පසුව එම මිනිසා බෝම්බකරු කළ පුවත්පත් කිසිවක් එම ප්‍රවෘත්තිය නිවැරදි කළේ නැත.සමාව ඉල්ලුවේ නැත.එම බොරු ප්‍රවෘත්තිය උඩින් සැබෑ ප්‍රවෘත්තිය පළ කළා පමණි.
දෙවන සිදුවීම අපූරුය.එහි කොටස් දෙකකි.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය වූ සිදුවීමේ කථන කටයුතු සිදු කළේ මා විසින්ය.එම බෝම්බ පිපුරුමෙන් පසු පොලිසිය එම අවස්ථාවේ කියා සිටියේ මෙය ක්‍රීඩකයන් අතර සිට කරන ලද පිපිරීමක් විය හැකි බවය.මම එවිට එසේනම් සිරුර ක්‍රීඩකයන් පිටුපසට වීසි වූයේ මන්දැයි විමසූ විට නිලධාරින් විසිර ගිය අතර එහි සිටි කිසිඳු මාධ්‍යවේදියෙකු මා නැඟූ ප්‍රශ්නය නොනැඟූ අතර ඇතැම් පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයකට එය අතුළත් කර තිබුණේ එම තරඟයට ඉදිරිපත් වී සිටි එකම දෙමළ තරඟකරු චූදිතයා කරමින්ය.
ලංකාවේ නැඟී එන මැරතන් තරඟකරුවෙක් වූ (විග්නේෂ්වරන්) ඔහුට එම තත්ත්වය නිසා යුධ හමුදාවේ සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර ඔහුට සිදු වු අසාධාරණය කොතැනකවත් වාර්තා නොවිණ.
එහ දෙවන සිදුවීම මා සිටි පත්තර කාර්යාලයට ද අදාළය.ඒ ලක්බිමය.
එහි පොලිස් වාර්තාකරුවා අපූරු සොයා ගැනීමක් කර තිබිණ.ඒ මාධ්‍යවේදින් සිටින තැන සිට එම පිපිරීමට සංඥාව දී තිබෙන බවය.ඔහු කියන තොරතුරු අනුව මාධ්‍යවේදියා තරංග වික්‍රමධාරය.ඔහුගේ දුරකථනය නිතර ඇමතුම් පැමිණෙන එකකි.එයට නිතර ඇමතුම් පැමිණෙන අතර පිපුරුම ආසන්නයේ පැමිණෙන ඇමතුමට පිළිතුරු දි ඔහු අත ඇති දම්වැල සකසා ගන්නට අත ඔසවන්නේය.
මා එය පැහැදිළි කර දුන්නද ඔහු පොලිසියේ ඉහළ නිලධාරියෙක් තමන්ටම පමණක් රහසේ කියූ දෙයක් බවත් එම ලීඩ් ස්ටෝරි එක යන්නේ ලක්බිමේ පමණක් බවත් කියමින් උදම් ඇනුවේය.අවසානයේ රන්ජන් පරණවිතාන මහතා මැදිහත්ව මා එම ස්ථානයේ නිවේදකයා බව ඔහුට කී පසු සම්පත් දේශප්‍රිය මා කැඳවා පසු දින ලීඩ් ස්ටෝරියේ කොටසක් මට ද පැවරුවේය.
එපමණක් නොව එම ඝාතනය වෙනුවෙන් අත් අඩංගුවට ගත් තරුණියක් සිය දිවි නසාගත් බවට වාර්තාවිය.එය ජෙයරාජ් ඝාතනයට හවුල් කොටි තරුණිය සිය දිවි නසා ගනියි පමණක් විය.ඒ නිසා ග්‍රාමසේවකවරයෙක්ට රැකියාව අහිමි විය.අත් අඩංගුවට පත් විය.ඒ දෙහිවල ප්‍රදේශයේය.නමුත් ඒ කිසිවක් නොවන බවට පසුව සාක්ෂි හමු වුව ද,කිසිඳු මාධ්‍යයක් අර අසාධාරණ ලෙස චෝදනා එල්ල කළ මිනිසුන්ගේ හඩට ඉඩක් දුන්නේ නැත.අදටද එයට ඉඩ ඇත.
මේ  වෛද්‍යවරිය සම්බන්ධ කතාබහද එබඳුය.හෙට කුමකින් කුමක් වුව ද ඇය අතින් වු වරදට මුළු පවුලම වගකිවයුතු තත්ත්වයක් මාධ්‍ය මේ වන විට නිර්මාණය කර අවසන්ය.ඇය වේසියෙකි.බේබද්දියකි.පච්ච ගැසූ මිනිසුන් ඇසුරු කරන නොසණ්ඩාල චරිතයකි.එැවැනි චරිතයක් ඇති ඇය පොලිසියේ සිටින රහත්පල ලබන්නට තරම් ආසන්න පිං දහම් බොහෝ කරන පොලිස් පරීක්ෂකවරයෙක් හප්පා මරා ඇත.
ඇය අතින් මේ ආකාරයට සිදුවන කී වැනි රිය අනතුරද?සොයා නැත.එහෙත් මේ ස්වභාවය යන්න සහතික කොට ලියා ඇත.(සහතික කරන්නට කරුණු නැත)
පළමු අනතුරද දෙවැන්නද යන්න අදාළ නැත.දඩුවම් ලැබිය යුතුය.බීමත්ව රිය පැදවීම වරදකි.එම වරද නිසා මෙය සිදු වි ඇත.එහෙත් වේසාවියක බේබද්දියක ලෙස හංවඩු නොගසා ඇය විසින් බේරා ඇති ජීවිත ගැන විශේෂඥ වෛද්‍යවරියක ලෙස ඇය කර ඇති සේවය මෙම ඇයගේ වැරදිකාරි හැසිරීම් නිසා සමාජයට අහිමිවන බව ලී වේනම් ලිපිය කියන අයෙකුට මොනතරම් හොඳ කළත් මිනිසෙකුට එක වරදක් ඇති ඒ සියලු හොඳ නැති කරගන්නට යන හැඟීමක් පහළ වන්නට තිබිණ.
එම කම්පනය දැනවිමට වඩා අපරාධකරුවෙක් විසින් නිරපරාදේ යහපත් සමාජ ආරක්ෂකයෙක් මරා දමා ඇති බව කියන්නට බීපු හැටි බීපු ප්‍රමාණය.ජංගිය නැති වීම වැනි කරුණු උපුටා දක්වා ලිවීම අලුත්ම වාර්තාකරණයේ ස්වභාවය වි ඇත.
පොලිස් නිලධාරියා එම තත්ත්වයට එන්නට කර ඇති කැපවීම සාධනීය ලෙස විග්‍රහ කරන අතරේම වෛද්‍යවරිය විශේෂඥ වෛද්‍යවරියක වීමේ කතාව වචන කිහිපයකින් ලිස්සා හැර ඇත.කළුබෝවිල රෝහලේ අම්මා දැරූ තනතුර,ඇයගේ වාසග තිබෙන අයෙක් එහි ප්‍රධානියා වීම හැර ඇය විශේෂඥ වෛද්‍යවරියක වීමට කළ කැපවීම සහ එම තනතුරේ සිට කළ කී දේ සොයා බැලුවේනම් මේ ප්‍රවෘත්තියෙන් සමාජයට මීට වඩා සේවයක් වන්නට තිබිණ.
කෙතරම් දේ කළ ද බීමත්ව රිය පැදවීමෙන් ඒ සියල්ල අහිමිවන බවට ඇති කරන කම්පනය ඇයගේ ජංගිය සෙවීම,අනියම් පෙම්වතා සෙවීම සිටිය අයගේ පච්ච ගැන කීම වැනි කරුණුවලට වඩා වැදගත් වන්නට තිබිණ.දොර හිල ළඟට පාඨකයාගේ ඇස අල්ලා පාත් කිරීම නොව හිස ඔසවා තබාගෙන සිතන්නට යමක් දීම පත්තරකාරයාගේ රස්සාවය.
මිත්‍යා දෘෂ්ඨීන් ගණින්නට බැරි තරමෙන් පතල ඉන්දියාව මානව සබඳතාවයන් දෙවියන්ගෙන් ඈත් මෑත් කර වඩා මානුෂින නීතිමය වටපිටාවක තැන්පත් කරන්නට දරන මොහොතක සමරිසි විවාහයන් ගැන අනියම් සම්බන්ධයන් පිළිබද නිර්වචනය ආදියෙන් පියවරක් ඉදිරියට යන්නේ එරට මාධ්‍ය ඊටත් පියවර ගණනාවක් ඉදිරියේ සිට සමාජය ඒ වෙත ඇඳගෙන ඒමට දුන් රුකුල නිසාය.එහෙත් අපේ රටේ ඇත්තේ මිනිසුන් සූදානම් කරන මාධ්‍යයකට වඩා මිනිසුන්ට අවශ්‍යය පරිදි සූදානම්වන මාධ්‍යයකි.

3 comments:

  1. මේ සිද්දිය ගැන පොස්ට්, ලිපි දැන් විසිතිස් ගානක් කියවන්න ඇති.

    එත් "මාධ්‍යවේදියෙක්" ලියපු ලිපියක් විදියට කියවන්න ලැබුනේ මේ ලිපිය විතරයි...

    අඩු ගානේ එකෙක්වත් ඉන්නවා නේද කියලා අපිට හිත හදා ගන්න පුළුවන්.

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete