Friday, October 26, 2018

සද්දෙ තේරුම් නොගැනීම

Image result for mahinda rajapaksaවෙනසක් කියන දේ මේ පොළව මත සිදුවෙන්නෙ රූපමය වශයෙන් විතරයි.2015 ජනවාරි 08 දා සිදු වූ වෙනස ඒ අතින් සාධනීය එකක්.මොකද දෙපැත්තක් එකතු වෙලා වුණ දෙයක් නිසා තැලෙන්න ගුටිකන්න පැත්තක් හිටියෙ නැහැ.
හැබැයි ඒ තත්ත්වය රැකගන්න මොනවද කළේ කියන ප්‍රශ්නය ආවම ආයෙමත් ගල් වෙනවා.රූප රාමු වෙනස් වුණාට පිටපත වෙනස් කරගන්න බැරි වුණා.විද්‍යා ගුරුතුමිය යකැඳුරාට කියල නූල් බන්දගන්න රටක අධ්‍යාපනය කියන්නෙ ජීවිතයට අදාළ කරගන්න දෙයක් නෙමෙයි.යැපුම් මාධ්‍යයක්.ඒ යැපීම මත දේශපාලනය කරන පිරිසකට රට වෙනස් කරන්න බැහැ.ඒ නිසා මේ පොළවෙ වෙනසක් අපේක්ෂා කරන දේශපාලනයක් සියයට සියයකින් බලාපොරොත්තු වෙන්න බැහැ.
හැබැයි ඒ පෑහීමයි මහින්ද අගමැතිවීමේ පෑහීමයි එකට පුරුද්දන්න බැරි බව පැහැදිළියි.ජනාධිපතිවරයාට වගකියන රාජ්‍ය ආයතන තමයි හැමතැනම තියෙන්නෙ.එතකොට ඒවයෙ පත්වීම් ලබා සිටින පිරිසි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා.ඊයෙ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත්වීමත් සමඟ ජනාධිපතිවරයාට ඇති එම වගකීම අහෝසි බව පැහැදිළියි.
රජයේ ඇමතිවරයෙක්ට අවශ්‍යය පරිදි ප්‍රවෘත්තියක් පළ කරන්න බැරි තරමට රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරින් භුක්තිවිදි නිදහසට රාජකාරිමය වශයෙන් මුහුණ දෙන්න වෙන ගැටළු එක්ක අකමැත්තක් තිබුණත්,ඇඟේ දුවන මාධ්‍යකරුවාගේ ලේ ඒකට ආදරය කළා.නමුත් තව දුරටත් ඒක එහෙම නොවන බව පැහැදිලි කරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ වන හැසිරීම පැහැදිළි කළා.
හැබැයි ඇමතිවරුන්ගෙ පෞද්ගලික ප්‍රවෘත්ති ප්‍රචාරය නොවුණත්,රට තුළ සිදු වෙමින් පැවති භෞතික වෙනස්කම් ජනතාවට දනවන්න කියන්න රාජ්‍ය මාධ්‍ය ආයතනවලට මීට වඩා වගකීමක් තිබුණා.ඒකට උදව් කරන්න අමාත්‍යංශවලින් සිදු වුණ දෙයක් නැහැ.හුඟක් තැන්වල මාධ්‍ය ලේකම්වරු පුටු වුණා.පුටු කරා.ඒ නිසා නිර්මාණශිලීත්වය සහ මාධ්‍ය භාවිතය කියන කාරණා අතර සංවාසයක් වුණේම නැහැ.
රාජ්‍ය නිලධාරියා ශක්තිමත් වුණා.ඒ ශක්තිය අනවශ්‍යය විදිහට වැඩවලට පීඩනයක් වෙන තැන්වලදි බොහෝ අමාත්‍ය කාර්ය මණ්ඩලවල ඊට එරෙහිව හඬනඟන පුද්ගලයාව යටපත් කරලා රාජ්‍ය නිලධාරියාගේ සිවිල් බලය සමඟ පෑහී එකට හිටගත්තා.මේකෙන් හුදෙකලා වුණේ අමාත්‍යවරයාගේ වැඩ කටයුතු සහ දේශපාලනය.
කඩං වැටෙන බව දැනෙන් නැති තරමට අසංවේදී දේශපාලනයක් කරපු ආණ්ඩුවක් වුණේ ඇයි කියන එක මහින්දගෙන් අගමැතිකම ආපහු ගලවගන්න පුළුවන් වුණත් මැති ඇමතිවරු හිතන්න ඕනි.ඇමතිවරයාව මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගෙන හංගන එක වෙනුවට මිනිස්සුන්ට දේශපාලකයා විවෘත කරන ක්‍රියාවක් සිදුවෙන්නනම් බිම දේශපාලනය දන්න මිනිස්සු ඇමතිවරු ළඟ රැදෙන්න ඕනි.
කඩේට බඩු ගන්න එන පාරිභෝගිකයාව සනසන හැටියට දේශපාලනඥයා හමුවෙන්න එන පාක්ෂිකයා සනසන්න බැහැ.ව්‍යාපාර කියන එකට වඩා දේශපාලන ව්‍යාපාර වෙනස් බව දැන්වත් කියවගන්න වෙනවා.
වඩාම වැදගත් දේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් ව්‍යවස්ථානූකූලව ඇති ගැටළු සම්පූර්ණයෙන් ලිහා නොගෙන දිව්රුම් දෙන මොහොතින් පසුව මේ රටේ හැසිරිම සිදුවන ආකාරය විමසා බැලිමයි.මේක නැවත 2015 ට පෙර බලය හුවමාරුවන විට සිදුවන ගහමරා ගැනීම් වලින් පෝෂණය වන දේශපාලන සංස්කෘතියට පය ඔසවන්න සමාජය සූදානම් කිරීමක්.
මේ ගහගැනීම්වල අවසාන ඉලක්කය කවුරුද?සරලව එජාප පාක්ෂිකයා.
දැන් පොඩ්ඩක් පක්ෂපාති වගේ කියල දැණුනට 2015 වෙනස තුළ වැඩිම බරක් ඇද්ද පුද්ගලයො හිටියෙ එජාපය තුළ.මහින්ද තුළ තිබූ අසාමාන්‍ය ආකර්ශණය සහ අසීමාන්තික ජනප්‍රියතාවය පරාජය කරන්න වෙනස් කරන්න දශමයෙන් දශමය හිටිය එජාප පාක්ෂිකයො තුළ හිටපු නිර්මාණශිලී මිනිස්සු ටිකට ඊට පස්සෙ මොකද වුණේ?
වෙනසට නායකත්වය දුන්න පිරිසට රට වෙනස් කරන වැඩේ දි වගකීම් හරියට ලැබුණද?අභිතව නිර්මාණශීලීව අරගලය තුළ සිටිය අය 2015 දී කළ දේ අසීරු අභියෝගාත්මක ජීවිතය පරදුවට තියලා කළ එකක්.ඒ දේ කරපු අය වෙනුවට බොහෝ තැන්වල තෝරාගැනිම් අතරෙ හිටියෙ ආගන්තුකයො.
ඒ ආගන්තුකබව බලපෑවේ කොතැනටද?
මහා කැපවිම කළ මිනිසුන්ගේ වැඩ අගයන්න අවශ්‍යය මානසිකත්වය සහ අගය කරන්න අවශ්‍යය වචනවත් බොහෝ විට මේ ආගන්තුකයන් දැන සිටියේ නැහැ.ආගන්තුක සම්ප්‍රාප්තින් සිදු වුණේ මල් මතින්.ඒ මල් සමඟ තිබෙන කටුවල වේදනාව දැනුණේ කටු මතින් ඔසවා මේ ආණ්ඩුව ඉහළින් තැබීමට ලේ හලාගත් කඳුළු දහදිය වගුරවපු මිනිස්සුන්ට.සැනසෙන්න වචනයක් හෝ නැතිව හුදෙකලා වූ මිනිසුන් විශාල පිරිසක් වැඩ කරන කුලකයෙන් ඉවත් කළ දේශපාලනයක ප්‍රතිපල මහින්දගේ කඩා පැනීමට වඩා භයානක වෙන්න තිබුණා.
දැන් මේ භයානකකමට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා.ආණ්ඩුව 2020 වෙනකං රැගෙන යාම සඳහා පාර්ලිමේන්තු බහුතරයගේ කැමැත්ත දිනා ගැනීම මෙහි පළමුවැන්නයි.එය සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේනම් ඊ ළඟට ඉතිරි කාලය සඳහා නිවැරදි මිනිසුන් සොයා ගැනීම ද කළ යුතු වෙනවා.
හැඩ බලන්නනම් වැඩ කරන්න ඉඩ දෙන්න.
බොහෝ අයගේ හඩට එවැනි හඩවල් යට වුණා.අවසානයේ හැඩ වැඩ නැතිව ඉතිරි වු හඩවල් වල බොල් බව දැනෙන්න ගත්තා.
සද්දෙ තමයි.ඒක හැබැයි බොල්.
පිරුණු දේවල්වල හඩක් නැඟෙන් නැහැ.ඒවට කණ තියලා වැඩක් නැහැ කියපු අය සද්දෙට රැවටුණා.මේ රැවටීමෙන් රටම මිදෙන්න ඕනි.
පැරදුනොත් මහින්ද තමන්ව මිහිදන් කරයි කියලා කියපුු මෛත්‍රී මහින්ද තමන්ගෙ අගමැති කරගන්න එකත් ඊ ළඟ පියවරේදි මිනිස්සු තමන් හමුවේ තියෙන්නෙ රැවටීමක්ද නැද්ද කියලා වඩාත් බුද්ධිමත්ව හිතන්න පොළඹවවාවි.ඒ අතින් හිතන මිනිසුන් සිටිනවානම් රැවටීම නවතන්න මේකත් හොද හැරුම් ලක්ෂයක්.


No comments:

Post a Comment