Wednesday, October 17, 2018

ඇජෙන්ඩාවලින් බේරෙන්න ෂෙලින්ඩා


ෂෙලීනා ජැන්සන් මේ මොහොතේ යොවුන් ඔලිම්පික් උළෙලේ පදක්කම්ලාභී පාරමී තරමටම කාගෙත් අවධානයට ලක් වෙලා.ලෝකෙන් නවවෙනියා වුණ ෂෙලීනා  ලෝකයෙන්ම උස පැනීමෙන් සිව් වෙනියා වු සෙනිරු අමරසිංහටත් වඩා අවධානය දිනාගෙන.
ඒකට හේතුව මොකක්ද?
මම හිතන්නෙ කෙට ධාවනයක තියෙන රිද්මය.ඒ වගෙම ඒ සම්බන්ධයෙන් අපේ ආකර්ශණය වැඩියි.අපේ ඉතිහාසය බලපුවම වැඩිපුරම ලෝකයේ අවධානය දිනාගෙන තියෙන්නෙ අපේ කෙටි දුර දුවන්නො.
ඊ ළඟ සුසන්තිකා ද එහෙම නැත්නම් දර්ශා ද යන කාරණය මෙහිදී අවධානයට ලක් කළ යුතු වෙනවා.මොකද එහෙම තමයි බොහෝ සිරස්තලවල දකින්නෙ.
නමුත් ෂෙලීන්ඩා කියන්නෙ ෂෙලින්ඩාමයි..
ඒ රටාව හරිම ආකර්ශණීයයි.ඒ වගේම ජයග්‍රාහී දිවීමක්.
මෑත කාලයේ ඇය තරම් සිය දෑත්වල ශක්තිය අපූරු විදිහට ධාවනයේ වේගය වෙනුවෙන් එකතු කරගන්න දුවන්නියක මා දැක නැහැ.මේ වීඩියෝව බැලුවොත් ඔබට තේරෙයි ඇය දෑතින් උපයා ගන්නා ශක්තිය වේගයට කෙතරම් දුරට උකහා ගන්නවාද යන්න.
ඒ වගේම අවසන් රේඛාව පසු කිරීමත් එක්ක ඇය සිය කටින් සිර කරගෙන සිටි හුස්ම පිට කරන අයුරුත් ඔබේ අවධානයට ලක් වන්නට ඇතැයි සිතනවා.ඒක මෙහෙම කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි.
ෂෙලීන්ඩා එක හුස්මට දිව්වා.
මම හිතන්නෙ කෙටි දුර ධාවනයෙදි හුස්ම අල්ලාගෙන සිටීම කියන කාරණය වැදගත්.එක ළග හුස්ම වැටෙන කෙනෙක්ගෙ වේගයට,එය බලපෑමක් කරන්න පුළුවන්.
මේ කරුණු සළකා බලනවිට ෂෙලීන්ඩා විශිෂ්ඨයි.ඇය අනන්‍යතාවයක්  සහිත ක්‍රීඩිකාවක්.
ඊ ළඟට තවත් වැදගත්ම කරුණක් පැවසිය යුතුව තිබෙනවා.ෂෙලීන්ඩාගේ දක්ෂතා බලද්දි ඒ පොකුරෙ සම දක්ෂතා ඇති පිරිසක් ඉන්නවා.ඒ ඇය අතරෙන් යොවුන් ඔලිමිපික් තරගාවලියට සුදුසුකම් ලැබිය හැකි වයසෙ හිටියෙ ෂෙලීන්ඩා.ඒ අලුත් වේග පවුලේ බඩ පිස්සිය ෂෙලීන්ඩා නිසයි.
බොහෝ විට සිදු විය හැකි පරිදි ෂෙලීන්ඩාගේ හෙට දවස වෙනුවෙන් ඇති විය හැකි ලොකුම අරගලය මේ වන විට පුහුණුකරු අරගලය විය හැකියි.ෂෙලීනාගේ සුලු අඩු-පාඩු සකස් කරන්නට යැයි කියමින් ඇයව තමන් යටතට පත් කරන ලෙස ඉල්ලන පුහුණුකරුවෝ මෙන්ම ඔවුන්ට උඩගෙඩි දෙන අමාත්‍යංශ නිලධාරීන්ද ෂෙලීන්ඩාගේ අනාගතයේ සැළසුම සිය අවශ්‍යයතා එක්ක අවශ්‍යය පරිදි සම්බන්ධ කරගනියි.
නමුත් ඇය වෙනම කියවිය යුතු බව මට හැඟේ.ඇය වේගවත් කිරීමේ කලාවේ බොහෝ දුරක් පසුකර අවසන්ය.
ක්‍රීඩිකාවක ලෙස ඇයට තරඟකාරීත්වය තුළ ඉක්මණින් හැඩ ගැසෙන්නට ඇති හැකියාව අපූරුය.තත්පර 24.07 දක්වා ඉතා සුළු කාල පරාසයකදී ඇයට පැමිණෙන්නට ඇති හැකියාව පැහැදිළි කරන්නේ යම් තත්ත්වයන්ට පරිවර්ථනය වන්නට සහ වර්ධනය වන්නට හැකි බවය.
මේ තත්ත්වය රැක ගන්නට ඇය සම්බන්ධයෙන් පහසු ක්‍රියාමාර්ගවලට ඇති ඉඩ පළල් එකකි.ඇය ඉංග්‍රිසි බස හොඳින් හසුරුවන ජාත්‍යන්තර පාසලක ක්‍රීඩිකාවක්ය.ඒ නිසා ඇයට මේ කොදෙව්වෙන් එපිටට විහිදුණු පොළවක හැසිරෙන්නට ඇති පහසුව ඇයගේ ධාවන ජීවිතයේ අභිවෘද්ධිය සඳහා වැදගත්ය.එය පුහුණුකරු වෙනස් වීමකට වඩා වැදගත් වන්නේ නිරන්තරයෙන් කෙටි ධාවන තරඟ පැවත්වෙන පරිසරයකට ඇය සමීපව රැඳවීමය.
සුසන්තිකා ජයසිංහ මීට හොඳම උදාහරණයකි.ඇය විදේශීය තරඟකාරීත්වය සමඟ හොඳටම තෙම්පරාදු වූ ක්‍රීඩිකාවක්ය.ඇයගේ දක්ෂතා ලෝකයට අභියෝගයක් වීමේ පන්නරය ඇය ලෝකයේ තරඟකාරීම බිම්වල හැප්පෙමින් උපයා ගත් එකකි.ලෝකයේ සම වයස් ක්‍රීඩිකාවන් අතර දහවන ස්ථානයේ පසුවීම කියන කාරණය දූපතකට සීමා නොවුණ මානසිකත්වයකින් ලෝකය දකින කෙනෙකුට ෂෙලින්ඩා යෝධයෙකු සේ පෙනෙන්නට ප්‍රමානවත්ය.
මෙවැනි යෝධ බලාපොරොත්තු අපේ ඇස් ඉදිරිපටම සිහින ලෙස මතුව යථාර්තයේදී හිමකඳු වී ක්ෂයව ගිය මතක අහුරකි.සැළසුම් ප්‍රාර්ථනා සියල්ල මේ පොළව මත තිබෙන බලවතුන්ගේ හැසිරීම් මත,සමාජ ආකල්ප මත අසික්කිත සැළසුම් මත සමනළ කන්ද තරම් පූජණීය විදිහට ඉහළට ඔසවන එහෙත් පින්නෙන් තණන ඒවාය.
ෂෙලින්ඩා පිනි බිඳුවක් නොවිය යුතුය.ඇයගේ බාහු යුග්මයේ වේගය,හුස්ම රඳවා ගැනීම මේ සියල්ල සමඟ ජාත්‍යන්තර පොළවක ගණු දෙනු කරන්නට හැකි භාෂාමය ඥාණය      ......මේ සියල්ල පිනි බිදුවකට වඩා දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නට ප්‍රමානවත්ය.
ෂෙලින්ඩා දුවමු! තව ටිකයි.10 අටට ගේන්න අට පදක්කමකට ගේන්න ඔබට පුළුවන්.
ඔබට පුළුවන් වෙනවානම් මේ ජයග්‍රහණයෙන් අනතුරුව මේ පොළවේ සිටින සුළුපටු ජයග්‍රහණවලින් තමන්ගේ වපසරිය පුළුල් කර ගැනීම ජාතික වැදගත්කමක් බව සිතන පිරිස්,සහ ඔබව ආදරණීය වචනවලින් වෙලා ගෙන සිය බල ව්‍යාපෘතියේ  පරාසය පුළුල් කරන්නට යොදා ගන්නා පිරිස්වල ක්‍රියාදාමයන්ගේ ගැලවී ඒ න්‍යායපත්‍රවලින් බැහැර ඔබේම න්‍යායපත්‍රයකට එන්න.ඒ න්‍යායපත්‍රය ඔබට සහ රටට වටිනාම න්‍යායපත්‍රය කරන්න..........................................................
ඔබට පුළුවන් ෂෙලින්ඩා දිනන්න




No comments:

Post a Comment