Thursday, February 20, 2020

තට්ටු දෙකේ ඉස්කෝලේ තුට්ටු දෙකේ වැඩක් නෙමෙයි

No photo description available.තට්ටු දෙකේ ඉස්කෝලේ බැලුවා.ලස්සනයි.තව කෙනෙක්ට බලන්න කියන්න පුළුවන්.ඒත් මේක මාරම මාරයි,කියන්න බැහැ.එහෙම පුම්බලා අත අරිනවට වැඩිය චිත්‍රපටයෙ ඇතුළෙ පේන අධ්‍යක්ෂණයෙ නිවුණුකම එක්ක කහට පැල්ලම් ටික අයින් කරල ගත්තොත් මනුස්සය දිගටම ඉදියි.චිත්‍රපට කරයි.

චිත්‍රපටයක් හොඳ වුණාම ඒක එක්ක බැඳෙනවා ඒක වගේ කරනවා මිස ඒ බැඳුණු දේ අස්සෙන් අලුත් පාරක් කපා ගන්න හුඟක් අයට හුරු නැහැ.මේ චිත්‍රපටය ඇතුළෙත් එහෙම මහන්සි වුණ බවක් පේන්නෙ නැහැ.දැන් මාරයි කියලා අලුත් කියලා අපි බලාගෙන යන චිත්‍රපට ලෝකෙ කොහේ හරි කරපු ආකෘතියක් පදනම් කරගෙන කරපු වැඩක් කියලා හොයාගන්න අමාරු නැහැ.දැන් ලෝකය ඒ තරම් අපිට සමීපයි.

අන්න ඒ කරුණ නිසයි මං කිව්වෙ අධ්‍යක්ෂවරයාට තමන් හොයාගන්න ඉඩ දෙන්න අවශ්‍යය නිසා චිත්‍රපටය විශ්වකර්ම වැඩක් විදිහට වනන එක නොකළ යුතු බව.හැබැයි ඒක ඇතුළෙ රහකි තියෙන මිනිහෙක් පේන්න ඉන්නවා.ඒක තමයි වඩා වටින්නෙ.

පිටපතත් එක්ක කොයිතරම් දුරට චරිත ගොඩ නඟද්දි සාධාරණයක් කරල තියෙනවද කියන තැනට පාලගේ චරිතය කරන ජගත් චමිල උදාහරණයකට ගත හැකියි.ඔහු ගැන වටපිටාව මැලේරියාව නිසා ගම අත ඇරලා යන ගුරුවරියගෙ කටින් කියැවෙනවා.ඔහු උසස්  පෙළ සමත් මීගමුව වැනි ප්‍රදේශයකින් ඒ ගමට ආව බව තමයි කියවෙන්නෙ.නමුත් ඔහුගේ දැණුම දරුවන්ට ලබා දෙන තැන් හැරෙන්න ඔහුව හසුරුවන්නේ ඒ ගමේ කෙනෙක්වත් කතා නොකරන අන්දමේ ග්‍රාමීය භාෂා හැසිරීමකින්.මෝඩකමකුත් ඒ චරිතය මතුපිටට පේන විදිහට අලවලා.

ඒ වගෙම දරුවන්ව අධ්‍යක්ෂණය වෙලා නැති බවක් දැනෙනවා.ඔවුන්ගෙන් ප්‍රකාශ වෙන්නෙ ඔවුන් නියෝග මත හැසිරෙන බවක්.ඒ වෙනුවට දරුවව තව ටිකක් පිරෙව්වනම් ඔහුගෙන් හෝ ඇයගෙන් ඒ චරිතය තේරුම් ගන්න තැනට මීට වඩා සාර්ථක වෙන්න තිබුණා.

ඒ වගෙම චිත්‍රපටයෙ රේවත නැවත ගමට එන තැන ඔහුටත් දරුවන්ටත් මව් වූ සියඹලා ගස ගිනි ගනිමින් දැකීමට වඩා එතන ගොඩනැඟිල්ලක් තිබුණානම් තාර්කික බව වැඩි වනු ඇත.ගස් කැපීමට වඩා ගස් කපන සංවර්ධනය පොළවේ ඇත්තය.නමුත් එය සිනමාකරුගේ පෞද්ගලික කැමත්ත පරිදි නිර්මාණය වීම අවුලක් නැත.එය ඔහුගේ කැමැත්තය.නමුත් සිනමාව විඳින විට ඔහුගේ කැමැත්තට වඩා සිනමාරූපී වීම සමාජ යථාර්තය බලාපොරොත්තුවෙන් නරඹන්නෙක් නඟන තර්කය ද වැරදියි කියන්නට සිනමාකරුවාට නොහැකිය.

ශබ්ද පරිපාලනය වැනි දේ සිනමාපටය සිනමාශාලා වෙත නිකුත් කරන්නට කළියෙන් යළි සකසා ගැනීමට අවධානය යොමු කරන්නේ නම් යහපත්ය.තැනෙක හෝ දෙකක රූපරාමුවේ කතා කරනු පෙනෙන්නට තිබුණ ද ප්‍රෙක්ෂකයාට එය ඇසෙන්නේ නැත.ඊට හේතුව සංස්කරණයේදී කැපී යාමට තිබුණු රූප කොටසක් ඉතිරි වී තිබීම විය යුතුය.එය ද සිනමාශාලා වෙත පැමිණෙන්නට පෙර සකසා ගත හැකි කොටසක්ය.

වඩාත්ම වැදගත් දේ අධ්‍යක්ෂවරයා බැලුම් පුම්බන්නන්ගෙන් ප්‍රවේශම් වීමය.හුළං යන තැන් පෙන්නන අයගේ දේවල් අරගෙන තමන්ගේ භාවිතාවේ සිදුරුවලට පැලැස්තර අලවා ගැනීමය.මෙය වෘත්තීය විචාරයක් යැයි සිතා මා ද විශාලයට ගැනීම අවශ්‍යය නැත.ඔහු ඉවසීමෙන් යළි ඔහුව කියවාගන්න අවශ්‍යය වේ.මහා දැවන්ත ප්‍රචාරන යාන්ත්‍රනයන්ගේ බල මහිමයෙන්  මාර නිර්මාණ කොට ඇඟේ ගසන දේවල්වලට වඩා නම් තට්ටු දෙකේ ඉස්කෝලේ හොඳය.තට්ටු ගණනක් උඩින් තබා මාරයි කියනවාට වඩා මේක බලන්න හැකි වැඩක් කීම සාධාරණය.තුට්ටු දෙකේ වැඩක් නොවේය.ඒ නිසා චිත්‍රපටය ආ දවසක එය විඳින්න යෝජනා කිරීම අසාධාරණ නැත.

අධ්‍යක්ෂවරයාගේ හෝ නිෂ්පාදකගේ නම නොලිව්වේ මෙයට අමුණා ඇති පිංතූරයේ එය විශාලෙට දකින්නට ලැබෙන නිසාය.
නිශ්මං රණසිංහ

No comments:

Post a Comment