Tuesday, May 31, 2016

තාත්තා,මම සහ දුව


මට පොඩි කාලෙ පොඩි බෘස්ලි පිස්සුවක් තිබුණා.ඒක හැදුවෙ අපේ ගෙට පහළ හිටිය ප්‍රිති අයියලගෙ ගෙදර (ලොකු අම්මගෙ පුතා) හිටපු බයර් කියන ව්‍යාපාරිකයා.එයාගෙ නම මට හරියට මතක නැහැ.මුස්ලිම් ජාතිකයෙක් වුණ ඔහු විවාහ වෙලා හිටියෙ සිංහල තරුණියක් සමඟ.කොණ්ඩෙ කපලා තිබුණෙ බාස්ලි විදිහට.මැණික් ව්‍යපාරිකයෙක් වුණ ඔහුගෙ ගේ ඇතුලෙ තිබුණෙම මැණික්වල පිංතූරයි,බෘස්ලිගෙ පිංතූරයි.

මෙහෙ යන එන මට ටික දවසකින් බෘස්ලි අසනීපය හැදුණා.තනියෙන් ඇදට පැනලා වැටී වැටී ගහ ගත්තා.(තනිව) ප්‍රතිවාදියා හිතින් මවා ගෙන කරන මේ සටන්වලට අම්මගෙ යට සායවල් කටු ගහලා කකුල් දෙකක් කර ගෙන රබර් බෑන්ඩ් දාලා යටින් හීනි කරගෙන ඇන්දම ඒක බෘස්ලි අනුකරණය කිරිමක් වුණා.

මේ වැඩේ මගේ ඊ ළඟ අවධානය ගියේ  කොණ්ඩෙට.බෘස්ලි කට් කපන්න.මල්වල හන්දියෙ උඩ පාරෙ තියෙන පිටර් මාමගෙ සැලුන් එකට ගිහිං මම අම්මට හොරෙන් පීටර් මාමට කිව්වෙ බෘස්ලි කට් කපන්න කියලා.පීටර් මාම දන්න බෘස්ලි කෙනෙක් නැති බව කට ඇරුණු හැටියටම මට ඒ කාලෙත් තේරුණා.අන්තිමට ඉස්සරහෙන් පනාවට පොඩ්ඩක් ඉතුරුවෙන්න පීටර් මාමා හැමදාම කපන කට් එකම කැපුණා.

මේකට කරන්න තිබුණු එකම විසඳුම හැටියට මම දැක්කෙ තනියෙන්ම බෘස්ලි කට් එකට යන එක.කොණ්ඩෙ කපන්න ඔච්චර ඉගෙන ගන්න දෙයක් තියෙනවද,කතුරයි පනාවයි ගත්ත කැපුව කියන මතයෙ හිටිය මම ඉස්සරහෙන් හරහට ඉරක් ඇදලා ඒක දිගේ කැපුවා.පොඩි වෙනසක් තියෙනවා.ආයෙ කැපුවා.එහෙම අවස්ථා ගාණක් කැපෙනකොට මගේ හිස් මුදුණ ආසන්න වෙනකං ඉස්සරහ කෙස් නැහැ.(හැබැයි මම පස්සෙ ගාණට කොණ්ඩෙ කපන්න දැන ගත්තා.සුමිත් නිරිඇල්ලයි මමයි ස්කෝලෙ යන ලොකු කාලෙ කළේ කොණ්ඩෙ කපන්න දෙනස සල්ලි ඉතුරු කරගෙන පීල්ල ළඟට ගිහිං අපි දෙන්නම කොණඩය කපා ගන්නවා.තාත්තාත් නැති වෙන්න ඉස්සර අවුරුදු පහක් විතරම කොණ්ඩෙ කපා ගත්තෙ මට කියලා)

දැන් අඩසඳ වගේ තියෙන කොණ්ඩෙ දැක්කම අම්මා කුලප්පු වුණා.එයා එක්ක ගේ වටේ රවුම් දෙකක් විතර දුවලා ගුටි ගහන්න බැරි තරමට ඇයට හති වැටුණම ළඟට ගිහිං මමම අම්මගෙන් ඇහැව්වා දැන් අපි මොකද්ද කරන්නෙ කියලා.තාත්ත එන්න ඉස්සර කපා ගම්මු කියලා ආපහු පීටර් මාමා ළඟට අරං දිව්වෙ වලිප්පුව හැඳුන එකෙක් දොස්තර ළඟට දුවනව වගේ.කරන්න තිබුණු එකම දේ හිස මුඩු කිරීම පමණයි.පීටර් මාමට ඒ වැඩේ බාර දීල පහළ තිබුණු ආර්.පී.අප්පුහාමිගේ කඩේට බැහැල සුදු රවුම් තොප්පියක් අරං ආපු අම්ම ඒක හිසට පොරෝල ගෙදර අරං ආව.

රාත්‍රියෙ තාත්තා ගෙදර ආවම මේකට හම්බ වෙන දඬුවම ඇහැරිලා හිටියොත් වැඩි වෙයි කියලා මම ඉක්මණට ඇඳට වැටිලා නිදි රංගනයක් ආරම්භ කළා.තාත්තා මට අම්ම වගේ හැම වෙලේම තට්ටු නොදැම්මට ඊට වසරකට උඩදි පාසල් ගිහිං එන්න පරක්කු වුණා කියලා කේන්ති ගිහිං කෝපි කෝටුවකින් කළ නෙලිමෙන් මගේ කලව ප්‍රදේශය පුපුරලා ගියා.මාව බේරගන්න ඉදිරිපත් වුණු පතල්වල කට්ටියත් දවස් ගාණක් බෙහෙත් කළා.

මාව දැක්ක තාත්තා එදා වගේම ආවේශ වුණා.එයා ගොඩක් කැමති මගේ හිසකෙස් ටික අහිමි වෙලා තියෙන කොන්ඩෙ වෙනුවට තියෙන තට්ටෙට ඒ පාර වැදුණනම් මම පරලෝ සැපත්.ඒත් ඒක පාත් වුණේ පිට මැද්දට.මට හුස්ම ඔක්කොම ගියා වගේ දැණුනා.මගේ ඇඟ ඉස්සිලා ආපහු ඇදටම කඩා වැටුණා.අම්මා තාත්තව ඇඳ ගෙන ගියා.මම පිට අල්ලල බැලුව.ඇඟිලි පාරවල් ටික ඇඟිලි වෙන් කරල කියන්න පුළුවන් තරම් පැහැදිලිව අහු වෙනව.පුපුරු ගහන පිටේ වේදනාවට එන හැඬුම හිර කරං මම හිටියෙ.තව පැය කිහිපයකින් තාත්තා ආයෙ කාමරයට ආවා.මගේ තට්ට හිස අතගෑවා.කෝපි කෝට්ටෙන් ගහපු දවසෙ වගේම මගේ පිටේ තියෙන ඇඟිලි පහරවල් අත ගාමින් හැඬුවා.අම්මත් කුප්පි ලාම්පුව අල්ලගෙන තාත්තට අඬන්න එපා කියමින් හැඬුවා.

මේ ඉතිහාසය පෙරේදා (මැයි 30) මට ආයෙත් මතක් වුණා.ඒ මගේ දුව නිසා.ඇයට කවදාවත් නොගහපු මගේ අතින් පාරක් වැදුණා.කකුලෙ පාර හිටියා.

එදා හවස ඇය මට කඳුළු එන තරම් සතුටක් දුන්නා.ඒ භාතිය අර්ථනායකගෙ වැඩේ වෙලාවෙ එයාට ලැබුණු පොත් අවට ගෙවල්වල දරුවන්ට බෙදන්න දිල සහ ඒ ගැන එයා දරපු අදහස් අහලා.
https://www.facebook.com/photo.php?fbid=1090119344378218&set=a.101531749903654.1674.100001404876474&type=3&theater&notif_t=like&notif_id=1464677326823419
ඊට ඉස්සර දවසෙ මම කසුන් සමරකෝන් සහ වෛද්‍ය බෝධිනි සමරතුංග හරහා ඒ මිනිස්සු වෙනුවෙන් සංවිධානය කරපු වෛද්‍ය සායනය වෙලාවෙත් එයා එතන දැවටිලා ඒ අයට කරන්න පුළුවන් සහයෝගය දුන්නා.

එහෙම හිටපු දුව ගංවතුර නිසා සීමිත කරපු සම්පත් හේතුවෙන් සහ නහයට තවමත් දැනෙන අපුල හේතුවෙන් පාසල් වැඩ කරන්න තෝර ගන්නෙ ඇද.(ඒකත් රාජවිවේකල.ජනාල නෙතූල ඇතුළු ෆේස්බුක් යාළුවන් රැසක් එකතු වෙලා ගෙනත් දුන්නු එකක්)මමත් මේසෙ හැටියට ඒක යොදා ගෙන දෙපැත්තෙ ඉදං වැඩ කළා.ඒ එයාගෙ ස්කෝලෙට ස්තූති කරල ලියුමක්  ලියන්න.ඒ වෙලාවෙ කකුල දික් කරල එක පාරක් මම ලියපු ලියුම ඇද කරා.

සොරි මට අමතක වුණා

කට අද කරන් එහෙම කිව්වම මම නිශ්ශබ්ද වුණා.කල්පනාවෙන් ඉන්න මේක ඔයාලගෙ ස්කෝලෙටනෙ ලියන්නෙ කියන දේ කියලා මම ආයෙත් ලියන්න පටන් ගත්තා.ඊ ළඟ පාර ඇය කකුල ඊටත් වඩා වේගයෙන් දික්කරාම ලියුම දිගේ දිග ඉරක් ගියා.මේ දවස්වල පීඩනය නිසා වෙන්න ඇති මට පාලනය කර ගන්න බැරි කේන්තියක් ආවා.මගේ අත නිකංම ඉස්සුණා.ඇයගෙ කකුලෙ මගේ ඇඟිලි පාර.

ඇය හඬන්නෙ ශබ්ද නොනඟා.ඒ බය වුණාම හැටි.ඇයගෙ කොන්ද ඉස්සෙනව පහත් වෙනවා.මට බදා ගෙන හඩන්න හිතුනෙ නැහැ.අත හයියෙන් මොකකට හරි ගහ ගන්න හිතුණා.මම මාව රිද්දගන්නෙ කොහොමද?මට ගැටළුව තිබුණෙ එතැන.

රාත්‍රි 10 පහුවෙලා.මම පාරට බැස්සා.බොන්න තැනක් නැහැ.මට වියදම් කරන්න පුළුවන් සීමිත මුදලක්.මම ඒත් කොටිකාවත්ත හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන පිටකොටුවට ආවා.පිටකොටුවෙ ඉදලා ගාලු පාරෙ ගෝල් ෆේස් හරහා පයින් ආවා.

90 දශකයෙ මේ විදිහට අනන්තවත් බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඇවිත් ඇති.මම ඒ උපක්‍රමය යළිත් පිටකොටුවෙ ඉදල බම්බලපිටියට යොදා ගත්තා.පොලිසිය ළඟ ඇරල තියෙන කඩේ ඉදල සිගරට් ගන්න පුළුවන් තැන් වලින් සිගරට් ගත්තා.බිව්වා.අඳුරෙ ඇස්වලට තෙත්වෙන්න ඇරියා.නැවත බම්බලපිටියෙ ඉදල පිටකොටුවට ඒ දේ ම කළා.කකුල උස්සන් ඉන්න බැරි තරමට රිදෙනවා.මේ දිනවල සෑහෙන්න විවේකයක් නොලබාම අැඟ වගෙම හිතත් වෙහෙසන නිසා වෙන්න ඇති මේ තරම් මහන්සියක්.දැන් දුව වෙනුවෙන් නෙමෙයි මගේ ශරීරයේ කොටස්වලින් නැඟෙන වේදනාවටත් මට හැඬෙන තරම්.

මම දන්නවා දුවට මෙච්චර රිදුනෙ නැහැ කියලා.ඒත් ඇයගේ හිතනම් ජීවිතේ පළමුවරට මගෙන් පහරක් එල්ල වීම නිසා වෙච්චි රිදිල්ලෙන් දහස් ගුණයක් වේදනා විදින්න ඇති.හැමෝ එක්කම මට තාත්තානම් කවදාවත් ගහලා නැහැ කියන එකේ ආඩම්බරය ඇයට අහිමි වෙලා.ඇත්තටම ගැහැව්වනම් ඒක හිතල කරන දෙයක්.ඒත් මේක එහෙම නෙමෙයි.එක පාරට වූ ක්ෂණික ක්‍රියාවක්.ඒක ගැස්සුණා.ඒත් ගැහැව්වා සහ ගැස්සුණා කියන එක තේරුම් අරං කෙල්ල ආයෙමත් හෙට කා එක්ක හරි කතා කරද්දි....

 ‘තාත්තනම් මට කවදාවත් ගහල නැහැ‘ කියල කියයිද‘?

තාත්තනම් මට ගහල තියෙන්නෙ එක පාරයි කියල මම ඉස්සරහ කිව්වොත්..... ඒක මට කොච්චර රිදෙන පාරක් වෙයිද?ඇයගෙ කකුලෙ හිටපු ඇඟිලි පහර වගේ නෙමෙයි ඒක මගේ හදවතේ ජීවිතකාලය පුරාවටම ලොකු කැළලක් ඇති කරාවි.

ඒක බම්බපිටිය සහ පිටකොටුව අතර තියෙන දුර වගේ ගෙවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ගංවතුර විසින් ඇති කළ පීඩනයේ දරුණුම ප්‍රතිපලය මේක.මට හිතෙන්නෙ එහෙමයි.


9 comments:

  1. මට පුදුමෙනුත් පුදුම තට්ටෙ දැකල තාත්ත ගැහුව කියන කතාවට. මගේ තාත්තත් මට ගහල තියනව. නමුත් ඒ මීට වඩා ගොඩාක් සාධාරණ හේතුවලට කියල කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තාත්ත ගහන කෙනෙක් නෙමෙයි මට පූර්ණ නිදහස දීපු මගේ හොඳම මිතුරා.අවුරුදු 10 දී බෘස්ලි කට් ගහන්න ගිහිං තට්ටය ගාන්න වුණහම හිතහංකො...

      Delete
  2. ඔයවගේ දේවල්වලට මටත් මලපනිනව. හැබැයි ඉවසගෙන ඉන්න පුරුදු වෙන්න ඕන.

    ReplyDelete
  3. එක වෙලාවකට කේන්තිය පිටවෙන්නේ අපි නොහිතන මානයකින්, වේගයකින්. දවස් ගානක් යනකම් ඒ අප්සට් එකෙන් මිදෙන්න බැහැ. ජීවිත කාලයටම ඒක අමතක කරන්න බැහැ. ඒ නිසා තමයි ඒවා මෙහෙම අකුරු වෙන්නේ.උඹ දුවත් එක්ක පොඩි රවුමක් ගහන්න පලයන් නිදහසේ කතා කර කර. එයා ඒකට ආස වෙයි.

    ReplyDelete
  4. වෙලාවක කතා කරපං.මට රෑ යද්දි උඹවත් මතක් වුණා.අපි දෙන්නම ඔය වැඩේ කරපු එව්වොනෙ

    ReplyDelete
  5. මේ හිතලා කරපු පහරදිමක් නොවේනේ.දුවට ඒ ගැන කියන්න තිබුනා.

    ReplyDelete
  6. ඒක කියල ඉවර කරන්න බැහැ මචං

    ReplyDelete