මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන මරණ ගැන දැන් විවිධ හැඟීම්බර ප්‍රකාශ මතු වෙයි.ඒ අතර නිලධාරීන් බේරා ගැනීමට සියලුම හිරකරුවන් මරා දැම්මා වුව ද කම් නැත පන්නයේ ප්‍රකාශ ද මතු වේ.ඒ එහි සිටින්නේ දරුණු අපරාධකාරයන් නැත්නම් කුඩු ව්‍යාපාරිකයන් යන මතයේ සිටය.
මේවා නිතර සමාජයේ ඇසෙන කතාවලට පටහැනිව යම් සිඳුවීමක් වූ පසුව ඒ මොහොතට සීමා වී වැටෙන අදහස්ය.කුඩු පැකට් දමා,ගංජා දමා හෝ අයිස් දමා හිරේ යවන පොලිසි ගැන ද කතා කරමින් සිට එක්වරම මේ ආකාරයට පීල්ල මාරුවෙන අය හිඟ නැත.
ඒ සියල්ල පසෙකින් තබා හිරගෙදර මේ මොහොතේ ප්‍රකාශ කරන මට්ටමේ අපරාධකාරයන් නැත්තේ නොවේ.එහෙත් සියල්ල එසේ නොවන්නේය.එසේම හිරගෙදරට වැරද්දකට හෝ සැකයකට ගාල් කරන මනුස්සයා පීඩාවට පත් කිරීම හිරගෙවල්වල අපේක්ෂාව නොවන්නේය.ඔහු සමාජයට යහපත් පුරවැසියෙකු කිරීම එහි මුඛ්‍ය අරමුණය.ශ්‍රී ලංකාවේ එම කාරණය සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් හෝ ප්‍රමාණවත් නිලධාරි පිරිසක් නැති වීම එකම පුද්ගලයන් පුනරුත්ථාපනය නොවී නැවත හිර ගෙදරට ඒමට බලපාන බව මේ මොහොතේ හෝ කතා කළ යුතු ඇත්තය.
සිරගෙවල්වල මිනිසුන් වැඩි බව හැම විටම කියන්නේය.ඊට සමානව නිලධාරීන් මදි බව ඔවුන්ගේ වේතනයන් ප්‍රමානවත් නොවන බව හෝ පහසුකම් මදි බව නොකියන්නේය.ඔවුන්ට නිල රාජකාරී කාල සීමා නැත.සමහර විට නිලධාරි හිඟය නිසා දින ගණන් වැඩ කරන්නට වෙන අවස්ථා ද ඇත.වෙනත් රාජ්‍ය සේවකයෙකුට නැති වගකීමක් ඔහුට ඇත.වැරදිකරුවන් හෝ වැරද්දකට සැක කරන පිරිසක් රැක බලා ගැනීමේ වගකිම නිසා නිලධාරියා මත පැටවෙන පීඩනකාරී මානසිකත්වය සුළු පටු නැත.කෝපයට පත්වීම එහි එක ප්‍රතිපලයක් පමණි.
මම දවස් තුනකින් ගෙදර ගිහිං නැහැ.හරියට නින්දක් නැහැ.ඒ වෙලාවෙ මට මල පැන්නා.
රැඳවියෙකුට පහර දීම නිසා පරීක්ෂණවලට ලක් වූ නිලධාරියෙකුට නිදහසට හේතුවක් සේ එසේ පැවසිය හැක්කේ අපටය.ඒත් නීතියට එය අදාළ නැත.ඒත් ඇත්තටම ඒ තත්ත්වය බැහැර කළ හැකිද? මානුෂිකව සළකා බැලිය යුතු තත්ත්වයක් නොවේද?
සුබ සාධනය සම්බන්ධයෙන් ගත් විට ද ඊට අදාළ නිලධාරීන්ගේ දැණුම යාවත්කාලින කරන වැඩ පිළිවෙලක් හෝ අවශ්‍යය නිලධාරි ප්‍රමාණය ලබා දීම සිඳු වී නැත.මේ මොහොත වන විට ලෝකයට සාපේක්ෂව සුබ සාධනය සහ වෘත්තීය ආරක්ෂාව සිර දඩුවම විඳීමෙන් පසුව ලැබෙනාකාරයට සුබ සාධනය සම්බන්ධයෙන් වන නව දැණුමක් එම නිලධාරීන්ට ලබා දිය යුතුය.එවිට සිර ගෙදරින් එළියට යන පුද්ගලයාට නැවත ඒමට හේතු හැදෙන දේ එලීයේදි සිඳු නොවන්නට වෘත්තියක් හා බැඳෙන්නට අවස්ථාව ලැබෙනු ඇත.
වැදගත්ම දේ සිරකරුවන් ප්‍රමාණය සාපේක්ෂව වැඩි බව පිළිගැනීම,ඔවුන් පීඩනයට පත්වන බව පිළිගන්නා යහපත් සාමාජය ද,නිලධාරීන් එක දිගට වැඩ කරන ප්‍රමාණය සහ ඒ වෙහෙස නිවා ගැනීමට ඇති විවේකාගාරවල පහසුකම්වල තත්ත්වයද නොතකා හැරීමය.කිසිවෙකුත් මේ ස්ථාන නිරීක්ෂණය කර නැත.මේ මොහොත වන විට තත්ත්වය නොදන්නා නමුත් වැලිකඩ සිරගෙදර පන්සල් වාට්ටුව අවිවේකී වූ විට මා නාට්‍ය පුහුණුවීම් සඳහා යොමුවන කෝවිල් වාට්ටුව ගත හැකිය.රාත්‍රී කුස්සි පාටියේ බොහෝ දෙනෙක් අප පුහුණුවිම් කරන විට එහි නිදාගෙනය.පුහුණුවීම් නොකර බැරිය.ඒත් එයින් පසු දිනත් රාත්‍රී කුස්සි පාටියට යා යුතු අය එහි නිදා නොගෙන සිටීමෙන් ඇතිවන පීඩනය ද තේරුම් ගත යුතුය.
මේවා මීගමුව හා සම්බන්ධ වන ආකාරය සෘජුව ඉරි ගසා පෙන්නන්න අපහසුය.හිත වැඩ කරන හැටි හෝ හිතට බලපෑම් එන හැටි ගැන එවැනි ආකාරයේ දැන ගත හැකි විද්‍යාවක් ඇත්දැයි මම නොදනිමි.ඒත් ඔළුවට පීඩනය වැඩි වුණාම සිහිය ප්‍රකෘති තත්ත්වයේ නැති විය හැකි බව කිව හැකිය.
මේ මොහොත තුළ සිරගෙවල්වල ගහනය වැඩි නිසා සිරගෙවල් සැකසිය යුතුය කියන කාරණයටනම් එකඟ වෙන්නට නොහැකිය.පවතින තත්ත්වයට සාපේක්ෂව නිලධාරීන් වැඩි විය යුතුය.සිරගෙවල් වැඩි කිරීම සමාජයේ ශිෂ්ටත්වයේ ඛේදවාචකය පෙන්වන්නකි.පුනරුත්ථාපන ක්‍රියාවලියේ අර්බූදය විඳහා දක්වන්නකි.මෙයට සිරගෙවල් නොවන වෙනත් ආයතනික පද්ධතිවලට සුළු දඬුවම් ලබන පිරිස් යොමු කළ හැකි ආකාරයේ සමාජ ප්‍රවේශයක් සහ නීතිමය ප්‍රවේශයක් සකසා ගත යුතුය.දැනටත් ප්‍රජා සේවාවන්වලට යොමු කරන ආකාරයේ වැඩ පිළිවෙලකින් රජයට සම්බන්ධ ආයතන සහ වැඩබිම්වලට ඒ අය යම් වැටුපක්ද සමඟ යොමු කිරීම වැදගත්ය.මේ ආකාරයේ වැඩ පිළිවෙලකින් දඩුවම් ලබන්නාට දඬුවම් නිමා වී යද්දී ජීවත්වීම සඳහා යම් ආයෝජනයක් කිරීමට සුදුසු මුදලක් ලබා දීම මිස ව්‍යාපාරකයෙකුට දඬුවම් ලබන්නා සූරා කෑමට හැකි ආකාරයක් සැකසීමට එවැනි වැඩ කටයුත්තකදි ඉඩ නොලැබිය යුතුය.
එසේම මත්ද්‍රව්‍ය පානය කරන්නන් වෙනම පුනරුත්ථාපනය කිරීම සිඳු කළ යුතුය.මත්ද්‍රව්‍ය භාවිතා කරන්නා ඉන් ඉවත් කරන වැඩ සැළසුමක් සැකසෙන්නේනම් මත් ද්‍රව්‍ය භාවිතය අඩු වීම සමාජ ගතවීම අඩුවීම ද සිඳුුවනු ඇත.දැනට මේ තරම් කුඩු රටට එන්නේ ඒ තැම් බොන්න අය ඉන්න නිසා බැවිනි.එසේම දරුණු සමාජ පිළිල ඉතා ඉහළ ආර්ථික මට්ටමකින් සිය පවුල පවත්වාගෙන යන අතරේ ඔවුන්ගේ ආරක්ෂාවට යොදන නිලධාරි සොච්චම් වැටුපකට වැඩ කරන්නෝය.ඔවුන්ගේ රස්සාවේ ඇති අවිවේකීකම නිසා රැකියාවට අමතරව වෙන ව්‍යාපාරික කටයුත්තක් නොව විකුණන්නට නොව ගෙදර පරිභෝජනයට ගොටුකොළයක්වත් වවා ගන්නට වේලාව නැත.එහි වරදකර සිටින මිනිසා සහ ඔහුව ආරක්ෂා කරන්නට සිටින මිනිසා ගත් විට තිබෙන ආර්ථිකමය පසුබිම දෙවැන්නාගේ දුක්බර ජීවිත ඇතුළට අපරාධකරුවන්ට රිංගිය හැකි ඉඩක් හැදීම අසාමාන්‍ය මැජික් එකක් නොවේය.
වැඩි පිරිසක් සිරගෙදර සිරකරුවා හෝ නිලධාරියා ගැන ආදරණීය විදිහට බලන්නේ නැත.ඔවුන් වැරදිවලට හැඩ ගැහෙන කෝව සැකසීමට සමහර විට අපේ අත් වුව එකතු වි තිබෙන්නට හැතිය.ඇත්ත එසේය.මේ තත්ත්වය වෙනස් වෙන්නට මිනිසුන් මරා දැමීමේ නීතිය ගෙන ඒම සහ එය ශක්තිමත් කිරීම සැකකරුවා සහ වරදකරුවා වෙන කෙනෙකු විය හැකි බවට සාක්ෂි තිබෙන එසේ ඔප්පු වී තිබෙන ක්‍රමවේදයක,නීතිය තමන්ට ඉහළින්ම විසඳාගත හැකි තැනත්තා වෙනුවට කූණිස්සන් සූඩයන් මිය යනු ඇත.අවුරුදු 20 සම්පූර්ණ කරන ලද සහ අවුරුදු 75 පිරුණු අය මුදා හැරිය හැකිනම් එය නීිතිමය වශයෙන් ගත හැකි තීන්දුවකි.එවිට කොපමණ පිරිසක් ආණ්ඩුවේ නඩත්තුවෙන් ඉවත් වෙනවාද යන්න සොයා බැලිය යුතුය.
එසේම බන්ධනාගාර රැැඳවියන්ට නිවාස නිවාඩු සඳහා හිමිකම ලැබීම වගේම බලපත්‍ර නිදහසට නිර්දේශ කිරීමේ වැඩ පිළිවෙලට ඇති හිමිකම දැනට තිබෙනවාට වඩා කාලය අඩු කළ යුතුය.වැදගත්ම දේ මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් දෙන දඩුවම්වල කාලය දිගු කිරිම සහ බන්ධනාගාරයට,රජයට සම්බන්ධ වැඩ සටහන් සමඟ මෙන්ම පෞද්ගලික සහ රාජ්‍ය නොවන ආයතනවලින් සිඳු කරන මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමේ වැඩ සටහන්වලට බන්ධනාගාර අධික්ෂණය සහිතව වැරදිකරුවන් යොමු කිරීමට පියවර ගැනීමය.එසේ නොවි දැනට සිඳුවන ක්‍රීයාවලියේ ප්‍රතිපලය වන්නේ ගිය සැනින් නැවත ඒමය.
එසේම සුළු වැරදි සඳහා දඬුවම් ලබන පිරිස් රඳවා තබා ගැනීම ද එවැනි අධික්ෂණයකට යටත් කර යම් ආකාරයක වෘත්තියකට සහ වෘත්තීය පුහුණුවකට යොමු කිරීම වැදගත්ය.
එසේම දැනට තිබෙන පුනරුත්ථාපන ක්‍රියාවලිය පුළුල් කළ යුතුය.නිලධාරීන්ගේ සිටම දැණුම යාවත්කාලීන කරන වැඩ සටහන් ආරම්භ කළ යුතුය.එසේම අංශයෙන් අංශ්‍යට වැඩ කරන ක්‍රමවේද පරිගනක කළ යුතුය.ඒ හරහා ඉතිරි කර ගත හැකි කාලය විශාලය.අතින් අතට ලිපිගොනු යාම වෙනුවට සෑම ලිපි ගොනුවක්ම පරිගණක කරන වැඩ පිළිවෙලකට යොමු කළ යුතුය.
වෘත්තීය අංශ දැනට තිබෙනවාට වඩා කාලීන වටිනාකමක් සහිත විය යුතුය.එසේම වැරදිකරුවන් සේ සිරගත කරන අයට වැරදි කරුවන් නොවි සිටින ජනතාව ගෙවන බඳුවලින් නඩත්තු කරන්න කරන වියදම අවම කිරීමට බන්ධනාගාර නිෂ්පාදන ආයතන බවට පත් කළ යුතුය.එහිදී සිරකරුවාට ද දැනට ගෙවන ශත ගණන් වේතන හමාර කර හොඳ ගෙවීමක් කළ හැකිය.
නිතර ඔවුන් එකිනෙකා හඳුනාගන්නා වැඩ සටහන් සිඳු කිරීම වටියි.චිත්‍ර විෂය සඳහා මෙන්ම සංගීත විෂය සඳහා දක්ෂ අය යොදවා ගෙන බන්ධනාගාර නැටුම් කණ්ඩායම යොදවන ආකාරයෙන්ම භාහිරට ඔවුන්ගේ නිර්මාණ රැඟෙන ඒම සඳහා ක්‍රමයක් සකස් කළ යුතු වන්නේය.
මේවාට අමතරව තව ඒ ගැන කතා කරන්නට හැකිය.බන්ධනාගාර ගත නොවී රාත්‍රී ගණනාවක් එක දිගට එහි සිටින්නට සිඳු වූ අවස්ථා ද සහිතව ජීවිතයේ ඔවුන්ගේ පුනර්ත්ථාපන වැඩ ලෙස නාට්‍ය නිර්මාණයට වසර ගණනාවක් මම දායක වී ඇත්තෙමි.එහිදී ද සිරකරුවාගේ තත්ත්වය යම් ආකාරයකට සරල සහ හික්මීමක් සහිත අයෙකු බවට පරිවර්ථනය වන්නේය.වසර ගණනාවම නොමිලේ ඒ වෙනුවෙන් කැප වුණත් මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය මත වත්මන් පුනරුත්ථාපන අංශය භාර කොමසාරිස්වරයාගෙන් ලැබුණ ඇරයුම පිළි නොගෙන කල්පනා කරමින් සිටියි.ඔහු සේනක පල්ලෙතැන්න වන අතර ගෙවීමක් ද සූදානම් කර දෙන්නම් ලෙස ද පැවසීය.මේ සිඳුවීමත් සමඟ එය කල්පනා කර බැලිය යුතු බව මට සිතේ.
බන්ධනාගාරයට උපතාර කරන රාජ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් ඇතත් ඔවුන් නාට්‍ය වැනි විෂයකට අඩුම ගණනේ උපදේශන ගාස්තු හෝ ගෙවීමට සාකච්ඡා කරන්නේ නැත.ඒවාට වෙන් වූ වෙනම ව්‍යාපෘති සහ කලාව කිවහොත් මෙගා ව්‍යාපෘති හරහා පුළුල් ප්‍රචාරයක් ඇති අවකාශවලට ඉව ඇල්ලීම සිරිතය.
එසේම පුස්තකාල සහ පොත් කියවීමට රැඳවියන් යොමු කිරීමේ වැඩ පිළිවෙලද පළමුව ආරම්භ කලේ මා ය.ඒ මගේ පළමු යොවුන් නව කතාව දොරට වඩින මොහොතේ දී එය බන්ධනාගාර පුහුණු ආයතනයේ සංවිධානය කිරීමෙන්ය.මා කීවේ රයට මගේ පොත නොගත්තත් හැකිනම් භාවිතා කළ පොතක් හෝ රැඟෙන එන ලෙසය.ඒවා පසුව මහා ව්‍යාපෘති වී එකිනෙකාගේ නම් පිංතාරු වෙමින් ක්‍රියාවට නැඟිණ.නම නැතුවාට සතුට උපරිමයෙන් ලද්දේ මඟේ අරමුණ වූයේ එයම බැවිනි.
පසුවට සඳහන් කළ දේ මට මෙසේ කීමට ඇති අයිතිය හා තවත් දේ කියමින් විවේචනය කරන්නන් කඩා පනින විට අත්දැකීම් ඇති බව කියන්නටය.බන්ධනාගාර වැඩි කිරීම,මරා දැමීම නීතියට එකතු කිරීම නොව ශිෂ්ට සම්පන්න කිරීම,සහ විනය ගරුක හික්මුණු ආනන්දජනක ප්‍රඥාවක් පහළ කිරීම වෙනුවෙන් රැඳවියා විවෘත කරන සංස්කෘතියකට බන්ධනාගාරවල ක්‍රියාකාරී හැඩය මාරු විය යුතුය.එවැනි වැඩ කළ හැකි දෙදෙනෙකුම මා සමඟ වැඩෙහි යෙදුණේය.ඒ ගාමිණි ජයසිංහ සහ උඩුවර යන නිලධාරීන්ය.ඔවුන්ට ඕනෑ වුණේ සහ මට ඕනෑ වුණේ ද රැඳවියා පෝෂණය කිරීමය.
එක් වරක් ප්‍රසිද්ධ වේදිකාවට ගෙනා නාට්‍යයක් ගැන අපේම මාධ්‍ය සහෝදරියක් ලීවේ සටන් ශිල්පියෙකුගේ වැඩක් හැටියටය.මේ මෑත කාලයේ මා ඒ ගැන සටහනක් ලියන තුරුම ඇය සිතා සිටියේ ඒ වැඩේ ඔහු කළ බවය.මේවා අදාළ නොවන ගාමිණිලා උඩුවරලා වැනි අය අපට සමපාත වන නිසා වැඩ කළ හැකි ඉඩ පළල් විය.නිදහස උපරිමයටම තිබිණ.සේනක පල්ලෙතැන්න ද බන්ධනාගාරයට පිටතින් ද මගේ හොඳම මිතුරෙකුගේ හොඳම මිතුරෙකු වන හොඳ මනුස්සයෙක් නිසා සමහර විට ආයෙත් මම හිරේ යන්නට ඉඩ ඇත.මේ ඒ ගැන කල්පනා කරමින් සිටින කාලයය.
ඒත් නාට්‍යයක් කරාට මේ සමස්තය හැදෙන්නේ නැත.ඒ සඳහා මා කියූ මඟ ඔස්සේ තව දුරටත් කතා කිරිම වැදගත් වනු ඇත.මෙහිදී ගාමිණි සහ උඩුවර නම් විශ්‍රාමිකයන් ගැන කීවේ පුරෝගාමී මෙහෙවරක් හිර ගෙදර ඇතුළ කළ නිසාය.ඊට පිටින් මේ වැඩේ ආරම්භක මොහොතේ සිවිල් පුරවැසියෙකු ලෙස කොමසිරිස් ජෙනරාල් ධූරය දැරූ පල්ලේගමයන්ද අදටත් සහෝදරයෙකු මෙනි.ඔහු දුන් සහය අතර උදව් කරන්නට එන මගේ පසුමිබිය සහ දුරකතනය දවස පුරා මට අහිමි කර තබන නීතියෙන් මා මුදවාලීමට අණ දීමම වැදගත්ය.නැත්නම් දවස තිස්සේම මා හිරේය.දරුවෙකුට යම් කරදරයක් වුව ද මට පණිවිඩයක් දෙන්නට විදිහක් නැත.ඒකට එතුමාට ද ස්තූතිය.වැඩේ තේරුම් ගන්න පුළුවන් අයට මේ වැඩේ රහට ඉවර කරන්න හැකිය.හර්ෂණ තාත්තා මෙන් රස සාගරයක් ද වන්නේනම් ඔහුගේ නීති ප්‍රඥාවෙන් මීට වඩා වැඩක් ගන්නට හැකිය.