Friday, October 12, 2018

කලාබර වීම



මේ දවස්වල කලාව අ‍‍පේ ගෙදරට උච්චවෙලා.සිංහයා සහ වහලා ගැන කතා කරන අතරෙ දුවටයි පුතාටයි කලාවට සම්බන්ධ තව වැඩ පැටවිලා.
සමස්ත ලංකා පාසල් ඉංග්‍රිසි නාට්‍ය උළෙලෙ මෙවර බස්නාහිර පළාතෙන් ජාතික මට්ටමට තේරුණු නාට්‍ය ඉදිරිපත් කළ කොළඹ දේවි බාලිකා නාට්‍යයේ දෝනි රඟපානවා.වැඩේ පොඩි වුණාට රංග උපකරණ හසුරවමින් ඇය සිටින රංගයට අවශ්‍යය පසුතල සකස් කරන්නට වෙලාවක් ගනිමින් ඇය එම චරිතය තුළ කළ පොඩ්ඩ රංගනයට අවශ්‍යය සංයමය සහිත එකක්.නිහඩව චරිතය තුළ සිටීම කියන එකේ අසීරුකම මම තදින් ඉගෙනගත්තෙ බුද්ධික දමයන්තගෙ (Buddhika Damayantha)පළමු නාට්‍ය වුණ අධිපතියාගේ මරණ මංචකයෙන්.නාට්‍යයක් වෙනුවෙන් මහන්සිවීම සහ කැපවීම කෙතරම් වැදගත් ද කියන කාරණයත් මම එහිදි ඉගෙන ගත්තා.වරක් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිට දොස්තරවරුන්ගේ අවවාදවත් නොතකා මම එහි රඟපෑවා.නාට්‍ය පටන්ගන්න පැය කිහිපයක් තිබියදී ලුම්බිණිය ගාව බහින මට ඇවිදගන්න ශක්තිය නැතිව පාරෙ වාඩි වුණා.
Jude Amaraguru හිටියෙ ඒ වෙලාවෙ ලුම්බිණිය දෙසට කොළඹ සිට එමින්.ඔහු පාරෙ පේව්මන්ට් එකේ වාඩි වී සිටින මම දුටු සැණින් බසයෙන් බැස පැමිණ මා වාරු කරගෙන ලුම්බිණියට රැගෙන ගියා.එහිදී එම පැය කිහිපය තුළ මාව වෙස් ගන්වන අතරේම නාට්‍යයට සුදුසු ලෙස ශරීර ශක්තිය ලබා දීමේ වගකීම පැවරුණේ charuka suraweera වෙත.බුද්ධිකගෙ උපදෙස් පිට ඉතා සීමිත කාලයක් තුළ මා කිරි පැකට් 10 ක් පමණ පානය කර ඊට ආසන්න ගණනක යෝගට් ද කෑවා.ඉන් අනතුරුව පැයකට වැඩි කාලයක් තිස්සෙ බැරල් එකක් ඇතුළත කෙරෙන රංගය නිමාවෙද්දීම මම ක්ලාන්ත ගතියකින් ඒ තුළ සිර වෙනවා.මට මතකයි නාට්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් මාව එයින් එළියට ගත් හැටි.
කියන්න ගිය කතාවට එහා ගිය අමතර කතාවක්.ඒත් කැපවීම ඉතාම වැදගත්.කෙල්ල මට ඇහුං කං දෙන්නෙ නැහැ.එයා මම වැඩ කරන දිහා බලාගෙන ගන්න දේවල් එයාට අවශ්‍යය විදිහට හැඩ ගහගන්නයි කැමති.විශේෂයෙන් පාසලේ වැඩවලදි.අනිත් අයට අසාධාරණයක් වෙනවා කියන එක එයාගෙ හිතේ තියෙනවා.තනිවෙන්න ලැබෙන කාලය තුළ ඇය තනිව රංගනවා.හිතනවා.ඒක මරු.මටත් ඔය වැඩේම තියෙනවා නාට්‍ය කරනකොට.ඒ කැපවීම නිසා මිස මම නිසා ලැබුණු දෙයක් නොවන වගකීමක් ඇයට පසුගිය දිනවල ලැබිලා තියෙනවා.ඒ ඇයගේ නිවාසෙ කණිෂ්ඨ අංශයෙ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න.
මේක කිව්වට එතනින් එහාට මගෙන් දෙයක් ගන්න එයාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ.
තාත්තා එක්ක වැඩ කරල ඉගෙනගත්තු දේවල් මේ නාට්‍යයට ඕනි විදිහට මම අර ගන්නවා.
ඒ ගැන මා එක්ක කතා නොකරන එක ගැන කේන්තියෙන් කතා කරාම ඉදහිට ඔවැනි දෙයක් පාදක කරගෙන දුව හෝදන්න එන අම්මා කාමරය ළඟට වෙලා කියෝනවා.
අනිත් ළමයිත් ළමයිනෙ කරන්නෙ කියන්නෙ....
මට ඒ වචනයටනම් ආදරය හිතුණා.මොනව හරි ඇතිනෙ ජානවලින් ආපුවා වැඩේ ඉවර වුණාම කතා කරනව කියල මම හිත හදාගත්තා.
ඊයේ (2018 - 10 - 11) නාට්‍ය තරඟ තිබ්බා.ප්‍රතිපල දෙන්න පරක්කුයි.නංගිට එන්න කියන්නද?ඒ ඔවිනි.අපේ තිලක සිත ලියන සහෘදයගෙ පොඩි දුව.එයා තමයි මම දේවි එකේ කරපු වැඩෙන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙ හොඳම සහය නිළිය වුණෙ.
එයා එන්නෙ නැහැ.කුලී වාහනයෙ නඟින බිල ගැන නොතකා මම එයාට අවස්ථාව දුන්නා.ඇත්තම කිව්වොත් මේ පණ්ඩිත කෙල්ලගෙ වැඩේට වෙලා තියෙන දේ බලන්නත් මට ඕනි වෙලා තිබුණා.ඒක මගේ පිපාසාවක්.ඒත් ඉතිං අර හාමුදුරුවන්ට බෙදන්න න්‍යායෙන් මම ඔවිනිගෙන් කොලේ වහගත්තා.
ප්‍රතිපලය ආවා.කෙල්ලගෙ නාට්‍යය දෙක.ඒත් හොදම නළුවා,නිළිය වගේම හොඳම සහය නිළිය සහ නළුවා ද ඒ නාට්‍යයට හිමි වී තිබුණා.හොඳම සහය නිළිය දුව.එයා විසින් අධ්‍යක්ෂණය කරපු අක්ක කෙනෙක් හොඳම නිළිය.
ඒ සතුට අරං ගෙදර එන කොට රුපියල් හයසියයක් තියාගෙන පුතා කකුලත් පුටුව උඩට අරං රාජලීලාවෙන්....
කොහෙන්ද සල්ලි...
දුවගෙ සුබ පණිවිඩය උඩින් පල්ලෙන් කියන අතරෙම මම ඇහැව්වෙ මගේ සාක්කුවක අමතක වුණ එකක් වෙන්න ඇති කියන බලාපොරොත්තුවෙන්.
නැහැ දිනුවට හම්බ වුණා.
බලනකොට අංගොඩ මානසික රෝහලේ මානසික සෞඛය සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්න අයගෙ විවිධ ප්‍රසංගයක් තිබුණා.ඒකෙ වෙස්සන්තර නාට්‍යයේ කොටසක් ඉදිරිපත් කළා.ඒ සඳහා පුත්‍රයාත් අරං තිබුණා.ඒ අංගයලු එක.ලැබුණු ත්‍යාගයෙන් එයාගෙ කොටස හයසීයක්.
ඒ හයසීයෙන් කෝච්චියක් සහ ගුවන් යානයක් විතරයි නොගන්නෙ.ලැයිස්තුව කියවන කොට මඟදි අරං ආපු ප්‍රයිඩ්රයිස් භාගයට සීමා වුණු නංගිගෙ දක්ෂතාවයේ ඇගයීම ගැන එයාට තද වෙලා හොඳටම.
මම ඩිරෙක්ට් කරල සපෝර්ටින් ඇක්ට්‍රස් වෙලා මට ප්‍රයිඩ් රයිස් එකෙන් භාගයයි.ඒකෙනුත් භාගයක් අයියට.එයාට නාට්‍යය කෑල්ලක ඉදල සල්ලිත් ලැබිලා.මේක අසාධාරණ නැද්ද?
හරියට මේවට මම සම්බන්ධ වගේ කතාවක් දැන් එන්නෙ.ඒත් දක්ෂතා ඇගයීම 25 න් පසුව වෙන බවට පොරොන්දුවිමෙන් පස්සෙ විරෝධතාවය හමාර කරලා එකඟ වෙන්න තීරණය වුණා.
කෙහොම හරි සතුටක් දැණුන හැන්දෑවක ඒ ගැන හිතන්න ඉඩක් නොතියා අමිල කොඩිතුවක්කු සාමාන්‍ය පෙළ කරන ළමයි වෙනුවෙන් මල්වල මහා විද්‍යාලයේ සූදානම් කරපු වැඩමුළුවට සූදානම් වෙන්න සිදු වුණා.
දැන් ඒකෙ වැඩේ ඉවර කරලා මේක හදිසියෙ ලිව්වෙ ජීවිතය මරලදාලා වගේ හුස්ම වැටෙන් නැති වෙලාවක.ඇවිත් ආයෙමත් හිතේ දැවටුණ සිසිල් සුළඟක් වගේ හැඟුමක ආධාරයෙන්.

3 comments: