Friday, February 10, 2023

සුජිත්ගෙ අර්බූදය සහ අරගලය ඔබේ එකක් ය






බොහෝ කාලයකින් බ්ලොග් එකට අකුරු කෙටුවෙ නැහැ.අලුතින් බ්ලොග්කරුවො එකතු වෙන ඉඩක් දැක්කම කුලප්පුවක් ඇති වුණා.ඒ වගෙම ලියන් ඉඩක් නැතුව පුපුරන්න හදන තැන් ආයෙ අතුරන්න ඉඩක් තියෙනවනම් කියලා හිතුණා.ඊට පස්සෙ තමයි මේ ආදරණිය මනුස්සයගේ වැඩේ ගැන ලියන්න හිතුවෙ,ඒ ආදරේ පිටුපස ඉන්න සෙවණැළි මඟ නොහැර සිපගන්න ගමන්.නමින් නම දිගින් දිග නොලියා ඒ හැම වෙනුවෙන් මෙහි ප්‍රධාන ඡායාරූපය බවට පත්ව ඉන්න (වමේ සිට) චාරුක,සුමේධ සහ ජයවික්‍රමව ඊට නමින් එකතු කරමින් ඒ සටහන අලවන්න තීරණය කළා.

 

අරගලය සහ අර්බූදය ඓතිහාසික දෘශ්‍ය කලා මංගල්ලය මේ මොහොතේ ලයනල් වෙන්ඩ්ට් හි ප්‍රදර්ශනය වෙමින් තිබේ.එය සුජිත් රත්නායකගේ ය.තවත් විදිහකට කියනවානම් අරගලයේ සිත්තරාගේය.ගෝල්ෆේස් අරගල භූමියේ අමුතු හැඩයක් ගත්තු චිත්‍රාගාරයසංකල්පීය වශයෙන් ගත් විට වැදගත් වුණේ, එහි එන වැඩිහිටියාගේ සිට දරුවා දක්වා සැමට වර්ණයෙන් තමන්ගේ හැඟීම ඇඳ සිත්තම් කර යන්නට තිබුණ ඉඩ නිසාය.

විටෙක චිත්‍රාගාරය සාක්ච්ඡා මණ්ඩපයක් විය.සමහර විට ඒ චිත්‍ර ගැනය.නැත්නම් වෙනත් කලා කටයුත්තක් ගැනය.නැත්නම් අරගලයට අදාළ ඉසව්වක මූලික කෙටුම්පත සකසන තැනක් හැටියටය.නැත්නම් සාහිත්‍යමය සහ දේශපාලනමය වූ හරවත් කතිකාවකටය.සියල්ලටම වඩා බොහෝ සුමිතුරු හදවත් මෙහි පැමිණ රාත්‍රිය ගෙවා දමා පසුදින උදෑසනම අවදි වි යළිත් අරගලයේ වැඩ පටන් ගත්තේය.සමහර විට කාර්යාලයේ සිට අරගලයට ජීවය දෙන්නට එන පිරිස් උදේ නැඟිට යළි කාර්යාලයට යන්නේ මෙතැන සිටය.

ඒ ඉන්න අතරේ අරගය කඩාකප්පල් කරන්නට හෝ එසේත් නැතිනම් ලුම්පන් සංස්කෘතික රූකඩ විසින් හෝ එහි සිටින්නන්ගේ බොහෝ දේ සොරා ගෙන ගියහ.මෙසේ වැඩිම වරක් එකම දේවල් අහිමි කර ගත්තේ අපේ අරගලයේ සිත්තරාය.ජංගම දුරකථන ගණනාවක්,උපැස් යුවළ ගණනාවක් ඒ අතර විය.රෙදි සෙරෙප්පු ආදියනම් ගණන් තැබීමට නොහැකි තරමේය.එහෙත් ඒවා අස්සේ තිබුණු මතක සහ සබඳතා ගැන කම්පා වූවා මිස නැතිවිම යනු සාමාන්‍ය දෙයක් බව ඔහු චීවරධාරීන්ට වඩා හොඳින් දැන සිටි නිසා භෞතිකව අහිමි වී යාම් පිළිබඳව අප තරම් හෝ කම්පා නොවී සිටියේය.

මැයි 9 දා අශික්කිත ප්‍රහාරයෙන් ඉනික්බිති ද චිත්‍රාගාරයට ඇවසි වූයේ සිඳු වූ දේ සම්බන්ධයෙන් හඬා වැටෙන්නට නොවේය.එය රැක ගැනීම උදෙසා මහත් වෙහෙසක් දැරූ අයට සාගරය තරම් හඬන්නට දේ තිබිණ.නමුත් අරගලය ඇතුළේ හඬනවාට වඩා ප්‍රතිවාදියාට මුහුණ දීමට ඇති ශක්තිය ප්‍රගුණ කළ යුතුව තිබිණ.ඒ වෙනුවෙන් නැවත ගොඬ නැඟුණු,තිබුණාට වඩා පුළුල් චිත්‍රාගාරය සැකසුණේ මහා ආදරයක් එක්තැන්වීමෙන්ය.

මේ දිනවල සමාජ මාධ්‍යයන්හී නිතර තූර්කි සහ සිරියානු භූමිකම්පාව ගැන හද සසල කරවන කතා ඇසේ.ඒ අතරින් තැනෙක කෙනෙක් ශ්‍රී ලංකාව වැනි රටකට බිය වන්නට දෙයක් නැති බවත්,එය බුද්ධාගම පවතින රටක් බවත් සඳහන් කරයි.ලෝ වැසියන්ටම මහා කරුණාවක් බෙදා දුන් මහා කාරුණිකයා සේ ගැනෙන බුදුරජාණන් වහන්සේ ගේ ලෝකයට තූර්කිය සහ සිරියාව අයත් නොවූ බව කියන්නේ ඒ මහා බෞද්ධයෝය.මේ ආකාරයට තමන් විශ්වාස කරන දේ මහා දර්ශනයක් සේ කාගේ හෝ නම් ගසා ප්‍රවර්ථනය කර සම්පූර්ණ කර ගන්නට වෙර දරන්නෝද නැතිව නොවේ.

 


නැවත ගොඩ නැඟෙන අරගල භූමියට විශාලම ප්‍රශ්නය වූයේ ඒ වෙනුවෙන් පැමිණ පරිත්‍යාගවල යම් හිඟයක් ඇති වීමය.සමහර විට චිත්‍රාගාරයේ සිටියෝද වේල් කිහිපයක් මඟ හැර සිටියෝය.මේ සඳහා විසඳුම් සෙවීමේ දී සුජිව සෙනරත් ඇතුළු ආදරණීයයන් කණ්ඩායමක්ම චිත්‍රාගාරය බඩගින්නේ නොතැබීමට පියවර ගත්තේය.එය චිත්‍රාගාර කමිටුවක් විසින් සම්බන්ධීකරණය කිරීම පවරා ගත් අතර චිත්‍රාගාරය එතැනින් ඉවත්වන තුරුම සමහර බෞද්ධයන් තූර්කිය සහ සිරියාව නොතකා හරින ආකාරයෙන් නොකොට හැකි සෑම විටම අරගලයට එන සහ රැඳෙන අය වෙනුවෙන් චිත්‍රාගාරයේ සෙනෙහස විවර කර තැබිණ.

තමන්ගේ ජීවිකාව කරගෙන යන ස්ථානය අතේ දුරින් තිබියදී එහි නොගොස් චිත්‍රාගාරයටම වි එය රැකි මිනිසුන් වූහ.අධික ගමනා ගමන වියදම දරා ගෙන පයින්ම සැතපුම් ගණන් දිවා රෑ පැමිණ ගිය අය ද එහි වූහ.ගෙදර යම් බෝවන අසනීප තත්ත්වයක් ඇති වූ විට ගෙදරින් එය චිත්‍රාගාරයට ඒ යැයි සැකෙන් අසනීපයට පත් නිවැසියන් සමඟ සම්බන්ධය දුරකතනයට සීමා කර චිත්‍රාගාරය රැකගත් පිරිස් එහි වූහ.විවිධ හේතු නිසා පවුලම ආණ්ඩුවේ හිරවිමකට ලක් විය හැකි බව දැනෙන මොහොතක වුව චිත්‍රාගාරය හැර නොගොස් තමන්ගේ රථ වාහන අංක සඟවාගෙන එය පසෙකින් තබා චිත්‍රාගාරයේ පැලට් මත ශරිරයට දුක් දෙමින් ගත කර අය වූහ.තමන්ගේ දරුවා විවිධ නීතිමය හේතු නිසා දකින්නට සහ ඔවුන් හා ගත කරන්නට ලැබෙන සීමිත කාලය දුරකතන තිරයකින් වන කතා බහකට සිමා කර දරාගෙන සිටි මිනිස්සු ද එහි වූහ.ඉහළ රැකියා කරන අය සමහර විට පාරට තිබෙන වතුර පයිප්පයකින් මුහුණ කට දෝවාගෙන චිත්‍රාගාරයේ සිට වැඩට ගියහ.එසේ නොවී තමන්ගේ රාජකාරිය වෙනුවෙන් යම් පහසු මඟක් දෛනික පහසුකම් සමඟ ලබා ගත හැකි නිසා චිත්‍රාගාර වැසියෝ වූ අය ද වූහ.



ඒ නිසා චිත්‍රාගාරය අටවා ගැනීම සඳහා පැමිණි සුජිත්ට කිරීමට අවශ්‍යය වූ සමාජ මැදිහත්වීම ඔහු තුළ පෞද්ගලිකව ඇති වූවක් වුව ද,ඔහු අරගල බිමෙන් නික්ම යන්නේ පොදු සංඛේතයක් හැටියට ය.ඔහු පිරිසකගේ නියෝජනයක් සහ ආදරයක් සහිත බලාපොරොත්තුවක් විය.

කවදත් සුජිත් සිය දෘශ්‍ය කලා කටයුතු වෙනුවෙන් අතිශයින් බරපතල ඉවසීමක් සහ සංයමයක් දරන්නෙක්ය.ඒ නිසාම ඔහු කෘතියට සමීප වෙනු විනා තමන්ගේ පෞද්ගලිකත්වයට හෝ සමීප නොවන්නේය.අරගලයෙන් පසු භුමිකාව තව දුරටත් සුජිත්ව සුජිත්ගෙන් ඛණ්ඩනය කර තිබිණ.නිර්මාණ දරා ගැනීම වෙනුවෙන් සුජිත්ගේ චර්යා පද්ධතියේ ඔහුට සිඳුවන අමතකවීම්,අතපසුවීම්,බොහෝමය.සමහර විට දරන්නට අමාරු තරම් අකාරුණික විදිහේ මඟ හැරීම් ද සිඳු වන්නේය.බොහෝ විට අරගලය ඇතුළේ දි එවැනි තත්ත්වයන්ට සංවේදි වෙමින් සමහර අවස්ථාවන් හි ච්‍රිතාගාරය සම්බන්ධ තීරණ ගැනීම වෙනත් කණ්ඩායමකට පැවරූ අයුරෙන්ම අරගලය සහ අර්බූදයඇතුළේ ද කණ්ඩායමකට ප්‍රදර්ශන කමිටුව ලෙස සුජිත් නිර්මාණ එකතුව බෙදා දෙන්නට නොමසුරු වන්නේ ඒ නිසා විය යුතුය.නොමසුරු යන්නෙන් අදහස් කරන්නේ මේ ඉතිහාසය පුද්ගලයෙකුට තනියම පවරාගත හැකිව තිබූ අති විශිෂ්ට අවස්ථාවක් බෙදා ගැනීමට සුජිත් තුළ තිබූ පළල අදහස හේතුවෙන්ය.






නිර්මාණ කිරීමට වඩා නිර්මාණ දරා ගැනීම යන්න මෙහිදි සිතා මතාම යොදන්නේ අරගලයේ පීඩාව දරා ගැනීම මේ නිර්මාණාවේශයේ පසුබිමෙන් දිවෙන නිසාය.ඒ දරා ගැනීමේ දී ඔහුට ඇතුළාන්තයට එල්ල වන පිඩනයට දක්වන ප්‍රති ප්‍රහාරය සඳහා සුජිත් යොදා ගන්නේ සිය දෘශ්‍යමය නිර්මාණකරණයේ ඇති හැකියාවය.එය ඇති කරන පීඩනයට වඩා විශාල එකක් බවට පත්වන්නේ ඒ ප්‍රහාරයේ ඇති අවි ඔබ භාවිතයට යොදා ගන්නා දේශපාලනික දෘශ්ඨියට සාපේක්ෂවය.”අර්බූදය සහ අරගලය” නැරඹිය යුතු ඓතිහාසික වැඩක් වන්නේ එතැනදී ය.

සුජිත් කෘතියක් වෙනුවෙන් කරන බරපතල ඉවසීම සහ සංයමය දැරීම, ඔහු ඇසුරේ වෙසෙන්නන්ටද අතිශය ඉවසීමකින් සහ සංයමයකින් දරන්නට වන්නේය.ඒ සුජිත් ගේ චර්යාව හේතුවෙන්ය.ඒ නිසා දශක තුනකට එහා ගිය සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ දැවන්තම දරා ගැනීමේ ප්‍රශස්ති සියල්ල පළමු කොට ජානකි වෙනුවෙන් තැබිය යුතුය.ඔහු සමාජය මත මුදා හැරි හැම ඉරක්ම ඒ ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව කළ ඒවාය.ඒ වෙනුවෙන් ඔහු මනස වෙහෙසෙන විට දී සිය දරුවාගේ හඬ ද නොනැඟෙන්නට සුජිත්ගේ සිතුවිලි පවුර නිසොල්මනේ තබා රහසේ ඇවිඳින ගැහැණියක් ගැන මට මැවෙන්නේය.ඒ ජානකි ය.ඇය විසින් පාලනය කර ගන්නා දරුවා නිම්සඳු ය.

නිම්සඳු,සුජිත් සහ ජානකී

අරගල භූමියෙන් නික්ම වෙන්වීම එහි උන් බොහෝ දෙනෙක්ට සාංකාව හඳන සුළු එකක් විය.ඒ අතර ප්‍රකට අංග රචනා ශිල්පියෙක් වූ සුමේධ හේවාවිතාරණ විය.දින කිහිපයකට වරක් අමතා හුදෙකලාව දරන්නට නොහැකි තරම ගැන ඔහු තැවුල් බස් දෙඬුවේය.මීගොඩ කේන්ද්‍රීයව සුජිත් නවතා ඔහු වටා දුරකථන තරංග සමඟ ගැවසෙන එක බොහෝ දෙනෙක්ගේ තීරණය විය.

මචං මං අදිනවා

දවසක ඒ තරංග ඔස්සේ පූර්ව හැඳින්වීමකින් තොරව ගලා ආ ඒ වචන සුජිත්ගේ ය.බරපතල රාජ්‍යමය වූ  දේශපාලන ප්‍රහාරයකට සහ අරගලය ඇතුළේ ගිණිබත් කිරීමකට යටත් කර තිබූ සුජිත්ගේ ජිවිතය අලුත් ආකාරයකින් ඇවිලෙමින් තිබෙන බව දැන ගන්නට එය හොඳ පෙර නිමිත්තකි.සුජිත් සම්ප්‍රදායික දෘශ්‍යමය ආකෘති අස්සේ හිරවෙන එකෙක් නොවේය.ඔහුට මිනිස්සු ආදරය කරන්නේ ද එබැවින්ය.අලුතෙන් ඇති වි තිබුණ හැඟීමේ සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වර්ණ හෝ චිත්‍රකලාව කී විට හිතේ ඇඳෙන අමු ද්‍රව්‍ය නොවේය.වැඩි කොටස ලෝහමය විය.

යකඩ සේ මිනිස් හැඟීම් තේරෙන්නෙ නැති කාලකණ්නි දේශපාලන සංස්කෘතියක මුග්ධත්වය,කුරිරුකම සහ ඒ වපසරිය අස්සේ අපව තබා තිබෙන තැන කියන ඒ ලෝහමය වූ දෘශ්‍ය ප්‍රකාශන එක්ක හැප්පෙන්න වානේ මෙන් සවිමත් සහ අචල සුජිත්ගේ හිතට උදව්වට චලනය වෙන මිනිස්සු අවශ්‍යය විය.නැතිනම් සහෘදත්වයක් අවශ්‍යය විය.ගෝල්ෆේස්මය නොවුණ අවකාශයක මීපේට හදා තිබෙන දුර හරියටම අපට වැටහෙන්නට ගන්නේ එතැනදී ය.ඉද හිටක ගොඩ වෙන මිස සුජිත්ගේ යකඩ බර අපිට බොහෝ දුර විය.හදවත් අතර තිබෙන සමීපකමට වඩා ඒවා පොළවට ඇත්තටම බද්ධ කරන්න යාමේ දී මතුවන ගැටළුවේ තිත්තම කොටසට උර දෙන්නට තිදෙනෙක් නොපැකිළිව ඉදිරියට පැමිණියේය.චාරුක සුරවීර,ගාමිණි ජයවික්‍රම සමඟ ගෝල්ෆේස් සමූහ විඳිම අහිමි වීමෙන් තෝන්තු වි සිටි සුමේධ හේවාවිතාරන ඒ තිදෙනාය.අවශ්‍යය කාර්මික වැඩ ශිල්පීන්ගේ සහය ඇතිව මලකඩ කැඩීම පමණක් නොව මලකඩ බැන්දවීමත්,මහා බර යකඩ ගොඩවල් ඒ මේ අතට සෙලවීමත් සිදු කළෝ මේ තිදෙනා ය.

ඒ නිසා සුජිත්ගේ මේ ඓතිහාසික දෘශමය දැක්ම පිටුපස අනේක වූ වදයන්ට කැප වෙමින් ඒවා ඉවසා දරා ගනිමින් චාරුක,ජයවික්‍රම සහ සුමේධ කළ හරියට අද  ගෝල්ෆේස් අරගල මතක එක්ක පැමිණ සුජිත්ව වැළඳගන්න හැමෝම අර තිදෙනාටද පිටට තට්ටුවක් හෝ දමා යන්නට අමතක නොකළ යුතුය.

මිනිහෙක්ට හිතෙන මහා දැවන්ත දේවල් මිනිස්සුන්ගෙ ආදරය එක්ක යථාර්තයක් කරන්න පුළුවන් කියා අරගලයේ සිටම ඔප්පු කරමින් සිටිය සුජිත්, අරගලය සහ අර්බූදය දෘශ්‍යමය ප්‍රති ප්‍රහාරය එල්ල කරන්නේ කාටද යන්න අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත්ය.ඔබේ හෘද සාක්ෂියට ගැලවෙන්නට අපහසු ඒ ප්‍රහාරය විඳ නොබැලුවොත් ඔබට මිය යන්නට වන්නේ ඒ කෘතිවල ඇති මලකඩ මෙන් මල බැදුණු හදවත්වලින්ය.

මීපේ සුජිත්ගේ වැඩ බිමේ දී නොදැණුන හැඟීමක් ඒවා වෙන්ඩ්ට් හි දි දකින කොට ඇත්වන්නේ ඇයි ද යන්න හිතා ගන්න අපහසුය.ඒ නිසාම මීපේ දී දකින සුජිත්ගේ පුංචි සිරුර වුව වෙන්ඩ්ට් කලාගාරයේදි ඇහැට පේන තරමට වඩා හිතට පේන්නේ විශාලෙටය.

අරගලය සහ අර්බූදය දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය නම් වූ මේ විචිත්‍රවත් ආකාරයට ඉදිරිපත් කරන්නේ මේ සමාජ ආඛ්‍යානය තුළ අප විසින් වැරදියට ලියාගෙන සිටින ජීවිතයේ හැඩයය.විටෙක ඔබ මේ ප්‍රදර්ශන බිමේ හිටගන්නා තෙක්ම ඒ හැඩයේ දැලි කුණු ඔබේ තැවරී ඇති බවවත්,ඔබේ දැලි කුණු ඒ හැඩේ තැවරි ඇති බවවත් නොසිතෙන්නට ඉඩ ඇත.වඩාත් ප්‍රචාරන සහ ප්‍රදර්ශනවාදී දේශපාලන ගුබ්බෑයම්වල නායක නායිකාවන් වෙන්ඩ්ට් මඟ හැර යනු ඇත.ඒවා දකුණ වම ද යන්න කිව නොහැකිය.බොහෝ දෙනෙක්ට කැඩපත සහ ලොක්අප් නම් වූ සිත්තම ඉදිරියේ සිටගත් විට ආයෙමත් එළියට ඇවිත් ගැලවුම්කාරයා යන වචනය කියා ගන්නට හිත හදාගන්න නොහැකි වනු ඇති බව මගේ විශ්වාසයය.

අමු ත්‍රාඩ හෝ මුග්ධ අයෙකුට මම ඔබේ ගැලවුම්කරු සේ හඟවන්න හැකි වුව ට,යම් ප්‍රමාණයකට හෝ හෘද සාක්ෂීයේ සහෘද කොටසේ ඉතිරියක් ඇති අයෙකුට අර්බූදය සහ අරගලය ගැන සිතන්නට හැක්කේ මම යන පදය මුල් කරගෙන නොවේය.අපි යන පදයේද සීමාසහිත සීමාවක් ඇතුළේ නොවේය.ඊට වඩා පළල්ව පැතිර ගිය වගකීමක් ඇති පුළුල් හදවතකින්ය.

සුජිත් කියවා ගැනීමටත් වඩා සුජිත්ගේ චිත්‍ර කියවා ගැනීම අපහසුය.මෙහි දී වැඩේ ඇත්තේ ඇන්දේ මොකද්ද කියා විස්තර කිරිම පසෙකලා සුජිත් එම සිතුවම හෝ දෘශ්‍යමය ප්‍රහාරය අප වෙත අල්ලාගෙන පපුව හාර හාර චිත්‍රය ගැන අවබෝධ කරගන්න අපට කරන බලපෑමය.ඒ බලපෑම වෙන්ඩ්ට් එකේ බිත්තිවලින් වෙන කවරදාකටවත් වඩා මේ මොහොතේ අපට කරන්නේ සුජිත් නොවේය.ඔබ හිටගෙන චිත්‍රය දිහා බලන්න.කැඩපත පමණක් නොවේය.නැත්නම් පොලිස් ජිප් රථයේ දෙර සහිත මෙය පොලීසිය නොවේයන නිර්මාණයේද නොවේය. අනිත් චිත්‍රවලද ඔබට ඔබව පෙනෙනවා නේද? මම හිතන්නෙ කාට හරි තමන්ටත් වඩා හොඳට තමන්ව ප්‍රතිනිර්මාණය කළ හැකිනම් අභ්‍යන්තරයෙන් අරගලය සහ අර්බූදය තුළ එය සිඳුවන බව කිව යුතුය.

මහත්තයො අපි ඔක්කොම හිර වෙලා.

 ඒක පාරෙ හිඟන්නට පමණක් නොවේ වලව්වේ දේශපාලනය කරන හාමු මහත්තයට ද අදාළය.රජකම දෙපළු වන්නේ හාමුලා මෙය බැලුවොත්ය.හරිම නිදහස් රජ කෙනෙක් විදිහට සිතා කරන හැසිරීම තව එකෙක්ගේ හිර කෙරුණු දම්වැල් අස්සේ සිට කරන එකක් බව හාමු ට ද වැටහෙනවා ඇත.මේ මොහොත වන විට රටේම සදළුතල ප්ලැට් ය.ඒ ප්ලැට් අස්සේ හුස්ම ගන්න තියෙන පුංචි නිදහස ආතල් එකක් කරගෙන විවිධ පැතිවලට බෙදෙන,මැරකම් චණ්ඩිකම් කරන ඔක්කොගෙම ජීවිත හරිම පුංචි ය. ඒ පුංචි ඉඩේ ඉදගෙන නඩේ එක්ක ලෝකෙම අපේ කියලා හැසිරෙමින් පෙන්නන්න පට්ටපල් බොරුවෙ දිග පළල 15 වැනිදා ට පෙර ලයනල් වෙන්ඩ්ට් එකට පැමිණ නොමිලේ මැනගෙන යන්න පුළුවන්නම් හොඳය.

අරගලය සහ අර්බුදය ආරාධනාව ඇතුළෙ තියෙන්නෙ හිරේ යන්න ඔබත් එන්න කියා ය.ඒ අමුතු ආරාධනාවට ආවට පස්සෙ ඔබට දැනෙන දේ සරලව මෙච්චරය.

ආයෙ මොනවද අමුතුවෙන් හිරේ යන්න තියෙන්නෙ?

පෙබරවාරි 15 වැනිදාට ඉස්සෙල්ලා බලාගන්න.ඉතිහාසයේ දෘශ්‍ය මාධ්‍ය අවකාශය තුළ සිද්ධ වෙන දැවන්ත හැරවුම් ලක්ෂයට පිටු පා සිටගන්න එපා.පුළුවන්නම් සුජිත්ව ඇකඩමික් නොවුණ ඇකඩමික් අවකාශය ඇතුළෙ ඇකඩමික් සංදර්භයක් හැටියට හඳුනාගන්න පරීක්ෂණය සඳහා තෝරා ගන්න.මේ ඊට හොඳම මොහොතයි.

 

 

නිශ්මං රණසිංහ

 

No comments:

Post a Comment