Wednesday, February 22, 2023

දාහතක් පස්සට ගිහිං අඬපු රැයක්


ඊයේ රාත්‍රියෙ ආමර් වීදියෙන් ත්‍රීරෝද රථයකට ගොඩ වුණේ ගෙදර එන්න.නමුත් ඒක ඔරුගොඩවත්තෙන් නවතින්නෙ කාර්මික දෝෂයක් නිසා.හොඳ කොල්ලෙක්.සල්ලි එපා කියද්දි මම බලෙන් සීයක් දුන්නා.ඊට පස්සෙ ඔරුගොඩවත්ත බස් නැවතුමට යද්දි නවත්තපු කාර් එකක් නිශ්මං අයියෙ කිව්වා.

මට ඇත්තටම මතක නැහැ.මනුස්සය මාව ගෙදරට ගෙනත් දානකම්වත් මේ මොහොත වෙනකම්වත් මං අමතක කතාවක් කිව්වෙ නැහැ.සමහර විට දැන් සයිස් එකට වඩා පොඩි සයිස් එකෙන් තමයි මාව දකින්න ඇත්තෙ.මේක දැක්කොත් සමා වෙයිං.මතක් කරගන්න බැරි වුණාට උඹ මගේ ජීවිතේ දිගේ ඇවිදපු එකෙක්.වැල්ලම්පිටිය හන්දියෙන් කොළොන්නාවට හරවන්න හදද්දි මං කිව්වා මාව මෙතනින් දාන්න කියලා.

නැහැ අයියව ගෙදරට දාන්නම් කිව්වා.හන්දියෙමනෙ තවම ඉන්නෙ.

නැහැ ඒ ගෙවල් කඩලා.අපි දැන් ඉන්නෙ කොටිකාවත්තෙ.

කොල්ලා මේ පැත්තෙන් යමු කියලා දාපු පාරෙම ආවා.මහජන බැංකුව නවත්තලා මහා කැළයක් වෙලා තියෙන ඌ ආ ගිය ගේ දිහා බලාගෙන හිටියේ මට වඩා කැක්කුමකින්.මං ඊට පස්සෙ හිටියා කුලී ගෙවල්වල පාරවල් ටිකත් උගේ ඇස ගස්සලා දිගටම ආවා.ඌ මතකය දිග ඇරියා.

දවස් කිහිපයක්ම අපේ කුලී ක්වාටස් එකේ ලැගලා තියෙනවා.අජිත් සෙනවිරත්න තමයි මුලින්ම එක්ක ඇවිත් තියෙන්නෙ.ඒ අජිත්ගෙ හැටි.ඉර පැන්නම ගොඩක් වෙලාවට කොළොන්නාවට තමයි එන්නෙ.සමහර වෙලාවට හැන්දැවෙ පහට විතරත් බාර් එකක නැතුව බිබී කතාවක් දාන්න වුණාම රොහාන්,තව පීඑස්ඩි හිටිය මිත්‍රයෙක් වගෙ අය අරගෙන අපේ කුලී නිවහනට කඩා පාත් වෙන එක පුරුද්දක්.

ඊයෙ දිගටම මං මල්ලි කියලා කතා කරපු මිත්‍රයා කියපු හැටියට ආපු එක දවසක අජිත් එක්ක විශාල පිරිසක් ඇවිත් තියෙනවා.ඒ පිරිස අතර මංජුල තමයි හිටිය බව එයාට මතක.මහ රෑ කන්න තිබිලා නැහැ.ඊට පස්සෙ ආපු කට්ටිය උයන්න ලැහැස්ති වුණාම බිරිඳ ඇවිත් සද්දයක් දාලා.සද්දයක් කියන්නෙ හෙට මට අස් කරන්න වෙන මහන්සියට වඩා උයන්න මහන්සි වෙන එක පහසුයි කියලා.හැබැයි කරවලයි සම්බෝලයි එක්ක හදපු ඒ බත් එක කකා අපි එළිවෙනකම් බිව්වලු.

මට ඉතිං එහෙම ගොඩක් දවස් තියෙන නිසා කොයි දිනයද කියලා ඒවා විශේෂයෙන් මතක නැහැ.කෑම එක්ක මතක් වුණේ විමලනාත් වීරරත්නව. රාවයෙ විමලෙගේ බත් ගෙඩිය හැමෝම කන එක ඉස්සර සුපිරි ආස්වාදයක්.එක කටක් දා ගත්තත් බඩ පිරෙනවා.සිමෙන්ති කොට්ටයක් තරම් විශාල ඒ බත් එකෙන් කෑම ගෙනාවත් කවුරුත් කටක් හරි කන එක පුරුද්දක් වෙලා තිබුණා.

ඊට පස්සෙ විමලෙගෙ බත් එක වගෙ මට කොටසක් වෙන් කරලා ලොකුවට බැඳගෙන එන බත් එකකින් කොටසක් හම්බ වෙනවා ලක්බිමේ දි.බිරිඳ හෙම රත්නපුර හිටිය අවුරුද්දෙ මං වෙනුවෙන් ඒ වැඩේ කරේ ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ.සියතෙදි සියතට පිටින් කෑම බීම දුක සැප හොයා බලන කණ්ඩායමක් හැදුණා.එතනත් අජියා හිටියා.එහෙම මිනිස්සු සම්බන්ධ වෙන මොකද්ද ගුණයක් තියෙන නිසා කඩේ සමීර,ත්‍රීවීල් එක දුවපු සංජීව වගෙ අය බොහොම බැදීමක් ආදරයක් තිබුණා.මේ ළඟදිත් බම්බලපිටියට ගිය වෙලාවෙ සමීරගෙන් ප්ලේන්ටියක් ගහලා කයියක් දාගෙන ඉද්දි අජිත්ව මතක් කරා.සංජීව අරගලය වෙලාවෙ රට ඉඳන් ඇවිත් දරුවන්ගෙ නාට්‍ය වැඩේට බඩු ගන්න තැනටත් ඇවිත් පෑන් පාට අරගෙන දීලා ගියෙ.ඒ වගෙම නැවත රට යන දවසෙත් අරගල බිමට ඇවිත් සුජීවයි,මමයි,දිමුතුයි එක්ක සෙට් වෙලා තමයි එයාර් පෝට් ගියෙ.අද සංජීව ලොකු ව්‍යාපාරිකයෙක් වගෙම වෘත්තිකයෙක්.

ඊට පස්සෙ කළම්ඹු පෝස්ට් එකේ ඉද්දි විමලෙ වගෙම නොවුණත් දුර ඉදන් එන අජිත්ටත් එක්ක බත් එකක් උස්සන් එන්න පුරුදු වුණා.සමහර වෙලාවට කෑම එක වීසි කරනවා.එළියට ගිහිං ටක් ගාලා එනවා කියන අජිය සමහර වෙලාවට හම්බවෙන්නෙ පහුවදා.ඒ වෙලාවට හොඳවයින් අහගෙන සොරි මචං කිව්වට ආයෙත් ඒ දේ ම වෙනවා.පහළ කඩේ විජේ අයියා වගෙම ත්‍රීවිල් මිත්‍රයො එතනත් මට හිටියා.වනාතෙ සිවලියෙ තියෙන සම්බන්ධය එක්ක මාව දන්න අයත් හිටියා.2015 ජනාධිපතිවරණය වෙලාවෙ ඒ මිනිස්සු එළිවෙනකම් අපේ ගේට්ටුව ළඟ ඇහැරලා.රෑ සිගරට් එකක් ඕනිම වෙලා බලද්දි විජේ අයියා කඩේ වහලා කට්ටියම බැම්ම ළඟ.

මෑත කාලෙ හම්බවෙච්චි වෙලාවෙත් මෙත්ලාල් සහ මං කතා කරේ විජේ අයියා ගැන.මැරෙන්න දවස් කිහිපයකට කළිං ගියහමත් ආදරයෙන් අත් අල්ලගෙන අජිත් ඇතුළු හැම කෙනෙක් ගැනම කිව්වා.සමන් අයියට (සමන් වගආරච්චි) එයා කිව්වෙ මැතිවරණ කොමසාරිස් කියලා.ඇත්තටම හුඟ දෙනෙක් එහෙම පැටලිල්ලක හිටියා.පස්සෙ විජේ අයියගෙ කඩේට එන්න අංකල් කෙනෙක් අමුවෙන්ම මගෙන් ඇහැව්වා.හැමදාම වගෙ මැතිවරණ කොමසාරිස් එන්නෙ ඇයි කියලා.ඊට පස්සෙ මම කතාව කිව්වා.

මාධ්‍ය අස්සෙ ජීවිත මාරම ආතල්.ඇස්වලට කදුළු පිරෙන දේවල්,හිතන්න බැරි තරමේ අවුල් හම්බ වුණාට,සමහර වෙලාවට මිනිස්සු හිතාගනන බැරි තරමට වෙනස් වුණාට ඒව අස්සෙ ඉතුරු වෙන කදුළු විතරක් නෙමෙයි හිනාත් හරි බරයි.

ජීවිතේ ගැන අහ අහ ආපු මල්ලිගෙ වාහනය ගේ ළඟටම ඇවිත් දාලා යන්න ඉස්සර අහපු දේ තමයි නිශ්මං අයියට බයික් එකක්වත් නැද්ද තාම කියලා.මං නැහැ කිව්වා.පුංචි දුකකුත් ආවා.

කොච්චර ප්‍රශ්න මැද්දෙ හරි අනුන්ව සතුටු කරලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු වුණේ කොහොමද කියන එයාට තාමත් හිතාගන්න බැරිලු.

මං ඒක කිව්වට පස්සෙ ගෙවුණු දවස් දෙකේ මං විදපු අසීමාන්තික සතුට ගැන එයාට කිව්වා.ඒ විග්නේෂ්වරන්.මාධ්‍ය සහ ආරක්ෂක අංශ වැලිවේරියෙ බෝම්බය පුපුරපු වෙලාවෙ පුවත් මවලා ඇතුළට දාන්න හදපු විග්නේෂ්වරන්.ලක්බිම තමයි ඒකෙ හරිම කතාව කිව්වෙ.ඒ කියන්න මට ඉඩ දුන්නෙ.විශේෂයෙන්ම රංජන් පරණවිතාන.ඒ වගෙම නිවිස් එකකදි වුණත් කතා කරලා අහපු සම්පත් දේශප්‍රිය.ඒ ඓතිහාසික වරද වුණා නම් සමහර විට ලක්ෂ්මන් කුරේ වගෙ ඇතුළටම වෙලා විග්නේෂ්වරන්ටත් මේ වෙනකනුත් ඉන්න තිබුණා.

හැබැයි එහෙම නොවුණ නිසා හමුදාවෙ රැකියාව අවසන් කළත් විග්නේෂ්වරන් අද ජාතික ශිෂ්‍ය භට බලකායට සම්බන්ධ වෙලා රජවැල්ල හින්දු විද්‍යාලයේ දරුවන්ට කෝච් කරනවා.එයාගෙ දරුවො ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා පැවත්වූ තේරිම් තරගාවලියෙ සහභාගි වූ ඉසව්වලින් දිනනවා.

ඒ සතුට සල්ලිවලට ගන්න පුළුවන්ද මල්ලි

ඌ උත්තරයක් දුන්නෙ නැහැ.අන්තිමට ඇහැව්වෙ අයියෙ මං අන්තිමට එන දවසෙ අක්කා හිටියෙ අමාරුවෙන් දරුවෙක් හම්බ වෙන්න.මං අහන්නෙ නැතුව හිටියෙ කොල්ල ගැන දන්න නිසා.ඒ හම්බ වෙච්චි එක්කෙනා කොහොමද?

ඒක ඌ ඇහැව්වෙ මාර විදිහකට.වචන ටික කියන්න බොහොම වෙලා ගත්තා වැඩියි.අවුරුදු 17 ට ත් පස්සෙ එහෙම මතකයක් ඉතුරු කරලා තියාගන්න මනුස්සෙක්ට කරපු බලපෑම ගැනනම් මාර ආඩම්බරයක් ආවෙ.

ඒකි කෙල්ලෙක්.මේ පාර ඕලෙවල් කළේ.ඒ නවයකුත් ගත්තා

කරන දේවල් කොහෙන් හරි ලැබෙනවා අයියෙ.මං ගෙදර කට්ටියත් එක්කම දවසක එනවා.

ඒ ආවොත් කට්ටියට බලාගන්න පිංතූරයක් දාන්නම්.එතකං රුපියල් හයසීයක් විතර ඉතුරු කරලා අතීතය ගැන එළිවෙනකම් සතුටෙන් අඩන්න දෙයක් ඉතුරු කරලා ගිය උඹට ස්තූතියි.ඒ ඇඬිල්ලෙ කතාවට ගෙදරින් හොඳ ප්‍රතිචාරයකුත් උදේම හම්බ වුණා.

වෙනද වගෙ බොන්න යන්න එපා.දැන් වයසයි.ගාණකට බොනවා.ඉස්සර ඔහොම සිහි නැතිවෙන්නෙ නැහැනෙ.

ඒ ඇඬුවේ හොඳම හොඳ සිහියෙන්.මං ඒක කියන්න ගියෙ නැහැ.

අර මල්ලි මේක බැලුවොත් අර උස්සන් හිටපු බඩේ හිටපු කෙල්ල තමයි මේ පිංතූරෙ ඉන්නෙ.එයා අරගලයට ආපු වෙලාවක චිත්‍රයක් අඳිනවා.ඒත් චිත්‍රාගාරයෙ.

ආ ..එතනත් අජිය හිටියා.මේ අදින දවසෙත් හිටියා. බොහෝ වෙනස් අදහස් මතුවෙද්දි අජිත් එතන ඉන්න ඕනි ඒකට විරුද්ධ වෙන්න එපා කියන එකත් මං කිව්වා.අජිත් එක්ක ඇවිත් හඳුනගත්ත මල්ලිටත් මං කියපු දෙයක් තියෙනවා.අජිත් කියන්නෙ ලංකාවෙ පත්තරවල නිව්ස් පොටෝවල සෙන්සර් එකක්.ඒව බැලුවත් ඉගෙන ගන්න පුළුවන්.අවස්ථා කිහිපයකදිම උගේ ඓතිහාසික පිංතූර එක්ක වැඩක් කරපං කරමු කිව්වට ඒවා ඒ මොහොතට රහට කතා කරලා ප්ලෑන් ගැහැව්වට වැඩේ වෙන්නෙ නැහැ.


No comments:

Post a Comment