Sunday, June 15, 2014

ජීවිතය අහිංසක වී කවිය කොමර්ෂල් වීම



ගෙදර පුංචි වලියක්!ඒ දුව.

අයියා ගැන විතරද තාත්තා ලියන්නෙ?

ඇයි මම ගැන ලියන්නෙ නැත්තෙ?.............

ඇය ඇයගේ සුදුසුකම් ඉදිරිපත් කරනවා.අධ්‍යාපනික දක්ෂතා,චිත්‍ර කලාවේ හැකියාව,නැටුමේ මෙන්ම ගැයීමේ ද ඇති කුසලතා....ලිවීම.....

මගේ පුතා ගැන සටහන බලපු ආදරණීය මිතුරියක් පුතා සමග දුරකතනයෙන් කතා කළා.අරගලය ඉහළටම නැගල එන්න ගත්තා.දුවටත් කතා කරන්න ඕනි වුණා.අවසානයේ ඒ සහෝදරිය දුව සමගත් කතා කළ නිසා මගේ කන් දෙකට විදින්න තිබුණු විශාල වදයක් හීනි වුණා.

ඇය සැබෑවටම දක්ෂයි.පිළිගත් අධයාපනික සහ භාහිර ක්‍රියාවන්හී දී ඇය පුතා මෙන් ගව් ගණනක් ඉදිරියෙන්ය.එහෙත් මේ සටහන ඇතැම් විට ඔබට එතරම් වැදගත් කමක් නොවන්නට පුළුවන.එහෙත් ඇය ගැන ලියන්නට කරන ඇයගේ බලකිරීම නිසාම නොව දෙදෙනාගේ වෙනස ද නිසා මෙය මා ලිවිය යුතු බව හැගිණ.

පුතා ගැන ඇති සුවිශේෂත්වය කවරේද යන්න මම මිට පෙර ලීවෙමි.ඔහු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවෙක් වුව බොහෝ සෙයින් කාරුණික සහ මිත්‍රශීලි හදවතක් ඇති අයෙක් බව ද මම පැහැදිළි කළෙමි.එහෙත් දුව කාරුණික වන්නේ යම් තරමකටය.ඇයට සීමාවන් බොහෝ ඇත.

ඇයට යාමට අවුරුදු 5 පමණ පිරෙන විටම හැඩට අදින්නට පටන් ගත්තේය.චිත්‍ර කර්මය ඉගෙන ගන්නා බෝගහවත්ත ගුරුතුමාට අනුව දියණි කවෝදි,සිය වයසට වඩා අදින මිනිස් රූප වලදී,වියපත් බවක් පෙන්වන්නේය.ජාතික සහ ජාත්‍යන්තර තලයේද යම් ඇගයීම් ලැබුණ ද,සමහර විට ඒ රූප වල මේරු පෙණුම ඇයට ඊට වඩා විශාල ජයකට බාධා වන්නට ඇත.ඒවා අදින්නේ ඇය යැයි සැක උපද්දන්නට ඇත.

කාලයක සිට මා ලියා එකතු කර ගත් ළමා කතා කිහිපයක් පොත් වශයෙන් එළි දැක්වීමට චිත්‍ර ඇදීමේ කාර්යය දුවට පවරන්නට මා සිතා ගත්තේ ඒ නිසාය.එහෙත් එය යෝජනා වූ සැනින් දුව ඇසූ පැනයෙන් මා කරකවා අත හැරිය ගාණට වැටිණ.

කීයක් මට දෙනවද?

ඒ පැනය ගැන මා මිතුරෙකුට කී විට ඔහු කීවේ දුවට පුතා ගේ මෙන් මානසික අපහසුවක් නැති නිසා ඒ පැනය හොද බවය.ගෙදර ඇතුළට මිතුරාගේ හඩ වාර්තා වූ විට මිතුරාගේ කතාව සත්‍යය නම් පුතා ගේ පමණක් නොව පියාගේද හිස පරික්ෂා කරන්නට අවශ්‍යය සාධක ගණනාවක් යවුලක් ලෙස ගෙන මගේ කණ පතුලට කිදා බස්සන්නට විය.

සුනිල් මාධවයන් ලක්ජන පත්තරය එළි දක්වද්දි එහි පළමු පිටුවේ පිංතූරය වූයේ මගේ පුතාගේ පිංතූරයක්ය.රවින්ද්‍ර පුශ්පකුමාරයන්ගේ කාචයේ සිතුවම් වූ ඒ පිංතූරය පසුව වරින්වර විවිධ දේ සදහා යොදා ගනු ලැබිණ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මගේ දේශය අවදි කරනු මැන කළා උළෙල වෙනුවෙන් විකුණන ලද ස්ටිකරයක් වුණේ ද ඒ පිංතූරයය.තවත් අවස්ථා ගණනකදී අනවසරයෙන්ම මේ පිංතූරය යොදා ගෙන තිබෙන බව සැළ වුව ද,මට වෙඩ්ඩා විසින් (මංජුල වෙඩ්වර්ධන) සොයා ගෙනවිත් දුන් කතෝලික පියතුමෙක් ලියූ ගී පොතක එම පිංතූරය කිතුණු උපත වෙනුවෙන් ලියූ ගීයකට යොදා තිබෙනු දැක ගන්නට හැකි විය.

එම පියතුමාගේ පොත මට ලැබෙන විට පුතා ඒ වන විට උගනමින් සිටි පාසලේ ගුරුවරියක ලෙස සිටි කන්‍යා සොහොයුරියක පුතුව පාසලෙන් ඉවත් කළ යුතු තැනට කටයුතු නිර්මාණය කරමින් සිටියේය.එහිදී මා කන්‍යා සොහොයුරිය මුණ ගැසීමට ගියේ පියතුමාගේ ගීතිකා පොත ද සමගින්ය.

සිස්ටර් මේ ෆාදර්ට කතා කරල කියන්න කිතු උපතට දාලා තියෙන පිංතූරෙ ඉන්නෙ මේ වගෙ ළමෙක්,ඒකෙන් කිතු උපතට හානි වෙනවා කියලා...

මගේ යෝජනාව පියතුමා වෙත ඉදිරිපත් කිරීමට කන්‍යා සොහොයුරිය ඉදිරිපත් නොවුණ ද,ඇය ඉන් අනතුරුව පුතාට මහත් සෙනෙහසින් සැළකුවා පමණක් නොව ඇය විශේෂ අධ්‍යාපනය පිළිබදව දිගු හැදෑරිමකට ද පිවිසුණාය.

දුව සම්බන්ධයෙන් එවැනි කරදර වලට මුහුණ පෑමට සිදු වී නැත.ඇය සම්බන්ධයෙන් වන්නේ පවත්වන සෑම දෙයකටම ඇය තෝරා ගැනීම නිසා අපට හුස්ම ගැනීමට ඇති ඉඩ-කඩ සීමා වීම සහ සාක්කු හෑල්ලු විමය.ඒ ඉදිරිපත් වීම්,අයැදීම්  සියල්ල මුදල් අනුව සාර්ථක වන බව තේරෙන නිසා මෙන් දුව සෑම දෙයක්ම මුදලට කර ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි මම නොදනිමි.

පුතා මෙන් තෑන්ක්ස් වලින් නිවෙන දෙයක් දුව තුළ නැත.ඇය අවම තරමේ කළ දේ පිළිබදව කුමණ හෝ ඇගයීමක් හෝ බලාපොරොත්තු වන්නේය.උදාහරණයකට මේ ලිපිය සදහා මා පොළඹවන්නේම ඇය විසින් දරුවන් දෙදෙනාට දෙදෙනෙක් ලෙස සැළකීම සම්බන්ධයෙන් ගෙන එන විරෝධය ය.

මා පුතු ගැන ලියූ ලිපියේදී කියවන්නට නොදත් ඔහුව කැදවා ඒ ලිපිය සහ පළ වී ඇති කමෙන්ට්ස් කියා දුන්නද,ඔහුට එය වැඩි ගතියක් ගෙන දුන්නේ නැත.නමුත් වෙඩ්ඩා මුහුණු පොතේ ඒ ගැන ලියා තැබූ දේ පිළිබදව මෙන්ම දුරකතනයෙන් කතා කර පුතා සමග පිළිසදරක යෙදී තරුරසී ද ඔහුට විශේෂය.

විටෙක නාට්‍ය පුහුණුව සදහා මා සමග වැලිකඩ බන්ධනාගාරයට යන ඔහු මෙවර ගිය අවස්ථාවේ දි සම්පූර්ණයෙන්ම මාතෘකාව කර ගත්තේ වෙඩ්ඩාව සහ තරුරසී ය.දැන් නාට්‍යයට සම්බන්ධ සෑම රැදවියෙක්ම වෙඩ්ඩා ගැනත් තරුරසී ගැනත් දන්නේය.ඔහු වෙඩ්ඩාව හොදටම දන්නේය.කුඩා කාලයේ ඇතැම් විට හැඩුම නැවතුණේ ද ඒ රැවුලේ පැටලුම් හරිමින්ය.ඒත් තරු මාවත් දැක නැත්තේය.එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත.දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඩ බොහ‍ෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

වෙනත් අවස්ථාවෙක බන්ධනාගාරයේ සිට පැමිණෙද්දී, පුතා බොහොම කණස්සල්ලෙන් කියූ කතාවක් මට මතක් වෙන්නේය.

මේ යාළුවන්ට නිදා ගන්න ඇදවල් නැහැ නොවැ.අරං දෙනවකො

රැදවියන් ගැන ඔහු මට කීවේ එලෙස ය.එ් ඔහු වචන පාවිච්චි කරන හැටිය.සමහර විට ඊට වඩා දරුණු වචන ද භාවිතයට ගන්නේය.හැබැයි නිවැසියන්ගෙන් පිටට ඒ භාෂිතය නැති තරම්ය.පුතා මෙන්ම දියණි ය ද එහි ගිය විටෙක අපූරු කතාවක් කීවේය.ඇය හා කතාවට වැටි රැදවියෙක් ඔවුන්ට එළියෙ සැප නැති බව හගවමින් නිදා ගන්නේ බිම යැයි කීවේය.

ඉතිං ඇයි ඕගොල්ලො වැරදි කළේ?වැරදි කරාම එහෙම ඉන්න ඕනි.

ඒ දුව එම රැදවියාට දුන් පිළිතුරය.ඔහු ඒ සම්බන්ධයෙන් අකමැති වූවාට සැක නැත.එහෙත් ඒ දුවගේ හැටිය.මමත් බොහෝ විට කියන දේ මුහුණට කියන්නේය.එහෙත් වැඩකදී ඊට අවශ්‍යය ගාණක් කියන්නට දිව පැටලෙන්නේය.ඒ නිසාම මග බලන පුංචි ඇස් වල බලාපොරොත්තු විනාශ කරමින් හිස් අතින්ම පෙරළා ගෙදර එන්නට සිදු වන වාර අනන්තය.

මේ ළගදී දිනෙක ආදරණීය සහෝදරයින් තිදෙනෙක්ගේ පොත් එළි දැක්වීමකට ගියේය.ඉන් දෙදෙනෙක්ම සිය මාධ්‍ය ජීවිතය ඇරඹීමට මා දිරියක් වූ බව සිය පොත් වල ලියා තිබිණ.අමුතු ආකාරයේ පොත් එළි දැක්වීමක් වූ එහි වූ ප්‍රාසාංගික උළෙල කළමණාකරනය කළේ මා ය.රාත්‍රියේ නිවසට පැමිණි මා එම පොත් දෙකේ කතුවරුන් සිය පොත් වල මගේ නම සදහන් කරන්නට ඉදිරිපත් වීම ගැන බොහෝ සතුටින් කියන්නට විණ.

නිදි ගැට කඩමින් අවදිව පැමිණි දියණිය ද,එයට සවන් දුන්නාය.

කෝ ඉතිං ඒ පොත්? ඇයි ඔයාට දුන්නෙ නැද්ද? ඔයා ගැන ලියපුවා බලන්න මම සල්ලි දීල ද ගන්න ඕනි?

ඇය නැගිට වැනි වැනී ගොස් ඇදට වැටුනාය.මට ද කුමක්දෝ අඩුවක් දැණින.දන්නා හිතවතෙකුගේ යමක් පළ වූ විට එහි පත්තරයක් නොමිළේ ගෙනත් එම මිතුරාට දීම පත්තර කන්තෝරුවල සිටියදි පවා මම බොහෝ විට කළෙමි.දුව වැරදි නැත...

අවසානයේ සටහන දිගු නොකොට දෙදෙනා ජිවිතය සහ කවිය වූ හැටි ලියා තබන්නම්.පුතා ගේ මානසික අර්බූදය නිසා ම අපි දරුවෙක් ගැන නොසිතුවෙමු.එහෙත් මිත්‍ර වෛද්‍යවරුන්ගේ ද මග පෙන්වීම මතු දුව අප අතරට පැමිණෙන්නට වසර අටක් ගත විය.ඒ දක්වා 'මගේ ජිවිතය' ලෙස මම පුතුව හැදින්විමි.අනතුරුව බිරිදගේ ජිවිතය යාන්තමට රැකුණු බොහෝ සෞඛ්‍ය ගැටළු ඉතිරි කළ දුවගේ උපත වේදනාවෙන් උපන් කවියක් බදු විය.ඒ නිසාම නමින් කවෝදි වූ ඇය මගේ 'කවිය' විය.දෙපළ අද ද මා විසින් ආමන්ත්‍රණය කරන්නේ එලෙසය.පුතා ඇතැම් විටෙක එයට අඩු පුරවමින් ඔහු 'තාත්තාගේ රත්තරන් ජීවිතය' ලෙස ද හදුන්වා ගන්නේය.  


23 comments:

  1. හරිම සංවේදී , හදවතට දැනෙන සටහනක් නිශ්මන්

    "ඒවා අදින්නේ ඇය යැයි සැක උපද්දන්නට ඇත" මෙන්න මේ කියන කාරණය ඉස්කෝල වල තදින් දකින්නට ලැබෙන දෙයක් , ගුරුවරු තමුන් බලාපොරොත්තු වන මට්ටමට එහා ගිය දරුවන් දකින්න අකමැතිද මන්දා ?

    ReplyDelete
  2. මමත් ඕක අහන්න හිටියා.. ඒත් අපේ රටේ වචන භාවිතා කරන්න ඕන බොහෝම පරෙස්සමින්.. මම හිතපු දේ හරියටම හරි.. එළ කෙල්ලෙක්... ආන් එහෙමයි පුතා ඉන්න ඕන.. හොඳ මනුස්සයෙක් වෙන්න... අයියත් ආදරෙන් බලාගෙන ඉන්න.. ආදරණීය නංගා කෙනෙක් වෙන්න... සුපැතුම්..

    මීට මාතලන් මමා..
    මම රෑට කෝල් එකක් ගන්නම්...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සමහර අවස්ථාවලදි මම පාසල් වල වැඩ කරද්දි වැඩියෙන් ගුරු අවධානය යොමු නොවූ පිරිස් තමයි ඉදිරියට එන්නෙ.එපමණක් නෙවෙයි ඔවුන් පසුව අධයාපනයෙන්ද පෙරට පැමිණෙනු මා දැක තිබෙනවා.

      Delete
  3. මම දුව ගැන දැනගෙන හිටියෙ නැහැනෙ.. අයිය දුව එක්කත් කතා කරන්න මතක් කළ එක හොඳයි... නැත්නම් දරුවන්ගෙ හිත් තැලෙන වැඩ.. මට සතුටුයි දෙන්න එක්කම කතා කරන්න පුළුවන් වුණ එක.. මගේ කතාබහ පුතාට මේ තරම්මම දැනෙයි කියල මං හිතුවෙ නැහැ...මම ආයෙම කතා කරන්නම්...

    පුතාවත් බලාගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් ධෛර්යයක් දුවට තියෙන බව පේනවා අයියේ... එයා වෙනස් දරුවෙක්... ඒ වෙනස්බව තේරුම් අරගෙන ඉදිරියට යන්න එයාට උදව් කරන්න ඕන....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නංගි ඔයා ඒ කළ දේ ලොකු දෙයක් බොහොම ස්තූතියි

      Delete
    2. තරුරසී........මම ඔබ ගැන ආඩ්ම්බරවෙමි!!!!ඔබ වැනි දිව්‍යාංගනාවන් තව තවත් බිහිවේවා!!! මනුස්සකම් පැතිරේවා!!!

      Delete
  4. දුකත් කඳුලත් අතරේ තියෙන සුන්දරත්වයත් මේ ලිපියෙන් මට දැනුණා නිශ්මං!

    ReplyDelete
    Replies
    1. කදුළු අතරින් සිනාසෙන්නට ලැබීම තමයි ලොකුම දේ

      Delete
  5. දුවගේ චිත්‍ර ඇඳිමේ හැකියාව සුවිශේෂයි. විශේෂයෙන්ම වර්ණ භාවිතය.ඒ වගේම විශේෂයෙන් අගයකරන්න ඕන ඇගේ අත් අකුරු. ඒවා පිළිවෙළයි..! ආකර්ෂණීයයි..!!

    උඹට නොතේරෙන උඹලගේ “අඩුව“ තේරුම්ගත්තු ඇය තමයි උඹලගේ පවුලේ දීප්තිය.,ඇය ප්‍රායෝගිකයි.

    මටනම් “කවියයි“ “ජීවිතයයි“ දෙන්නම ලෙන්ගතුයි;ආදරෙයි. එයිනුත් දුව වඩාත් ලැදියි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙන්නම ලෙංගතුයි උඹට මචං.කොල්ලත් ආදරෙයි.ආවම උම ළගම දැවටෙන්නෙ ඒකයි.

      Delete
  6. මේවගේ ඒවා අයෙ ලිව්වොත් මම බොගෙ බ්ලොග් එක බලන එක නවත්තනවා. යකෝ මුණ බෙරි කොරගෙන ඇස් රතු කොරගෙන් office ඔල ඉන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++= මටත් කියන්න දෙයක් නැතුව මේ දෙවැනි පාරටත් ඇවිත් ගියේ මචෝ.

      Delete
    2. සොරි මචං ජීවිතේ සතුට වගේම දුකත් තියෙනවා

      Delete
  7. ඔබේ පුතාට මාගේ හද පිරි ආදරය පිළිගන්වන්න!! ♥ සහ දුවටත්!!
    දුවගෙ විදිහ එක විදිහකට හොඳයි. ඒත් ඒ ඇගේ විදිහද කියා තීරණය කරන්න ඈ පුංචි වැඩියි. අතිශය මුදු දරුවෙක් හදල ගෙයි වැටෙන් එපිටට තියන්නේ කොහොමද? ඒත්, මං පුතාගේ විදිහට ආදරෙයි..

    "මේ යාළුවන්ට නිදා ගන්න ඇදවල් නැහැ නොවැ.අරං දෙනවකො" මොන තරං සුන්දරද?

    "ඉතිං ඇයි ඕගොල්ලො වැරදි කළේ?වැරදි කරාම එහෙම ඉන්න ඕනි." මේ ගැටලු තුළ සංකීර්ණභාව ඇය තවම දැක නැතිව ඇතිනේ. එය දැනුණු දාට ඇය ප්‍රශ්න කරයි සිරකරුවන්ගෙන් ඔබ්බට ගිය අන් දෙයක්.. ඉතින් කොයිතරං හොඳද?

    සුබ පැතුම් දරුවන්ගේ ලෝකයට!! කරුණාවන්ත හදවත්වලට!!

    (එහෙත් වැඩකදී ඊට අවශ්‍ය ගාණක් කියන්නට දිව පැටලෙන්නේය.ඒ නිසාම මග බලන පුංචි ඇස් වල බලාපොරොත්තු විනාශ කරමින් හිස් අතින්ම පෙරළා ගෙදර එන්නට සිදු වන වාර අනන්තය.... මෙය නම් හරිම දුක්ඛිත අත්දැකීමක්, සමාන අත්දැකීමක්.. මමත් හිතනවා මගේ දිව කපලදාලද කියල.. ගාණ කියන්න අපි පැකිලුණත්, ගාණ නොදීයන්න ඒ අය පැකිළෙන්නෙ නැහැ..
    සරළම උදාහරණයක් විදිහට ඉල්ලාගත්තු පොතක්/මුදලක් නැවත් ඉල්ලීම ලැජ්ජාසහගත වගේ අපට හැඟුණත්, එය නොදී ඉන්න ගත් අයට කිසිම ලැජ්ජාවක් නැහැ..මෙය කවරක්ද මා දන් නෑ)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කදු!ඇය හැබැයි වෙනස් විදිහට හිතන කෙනෙක්.වෙන ළමුන්ට නොහිතෙන දේ හිතෙන කෙනෙක්.මම ඒ ගැන සතුටු වෙනවා.ඒක ඒ වයසෙ අනිත් දරුවන්ට වඩා වෙනස් වූ හැගීමක්

      Delete
  8. "මේ යාළුවන්ට නිදා ගන්න ඇදවල් නැහැ නොවැ.අරං දෙනවකො"
    "ඉතිං ඇයි ඕගොල්ලො වැරදි කළේ?වැරදි කරාම එහෙම ඉන්න ඕනි."

    දෙන්නගෙ තත්වයන් සහ දෙන්න හිතන විදිය කියාපාන කැඩපතක් තමයි මේ වාක්‍ය දෙක. උඹේ හොඳම ලියමන තමයි මේක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.මම ,මම ලියන කොට හොදට ලියවෙනවා ඇති

      Delete
  9. මොකුත් නොකියා ගියාට ලියන ලිපි කියවනවා ,කමෙන්ටුවක් දාන්න හිතා ගන්න බැරුව ගියා පුතා ගැන තිබුණ ලිපියටත් .....

    ReplyDelete
    Replies
    1. බැලීම සහ මා විදීම ලොකු දෙයක්

      Delete
  10. නිශ්මා...මට සමාවෙයන් මේ පරක්කුවට. උඹ හරිම වාසනාවන්තයි මෙවන් දරුවන් ලබන්නට. කවෝදි හරි...අපි වැරදියි. ඒ වැරදි නිසා තමයි අපිට තාමත් අත ගගා නැගිටින්න වෙන්නේ. මේ සටහණ තදින්ම හිතට වැදුනු එකක්. උඹ ඇතුළු පවුලටම ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹටත් ජය වේවා මචං !

      Delete
  11. කියාගන්න වචන නෑ... පුදුම තරමෙ සංවේදී ලිපියක්!

    ReplyDelete