Thursday, September 11, 2014

ජීවිතය අන් තැනෙකට

මේවා එක අතකින් අදෝනාය.සමහර විට මට පමණක් වැදගත් කතාය.ඒත් පිටාර දාන කොට වැවක් වුණත් නවත්තන්න බැහැ.මේකත් එ වගේ.පුතාගෙ පාසල් ගමණ නවත්තන්න වුණා.ඇත්තම කිව්වොත් නැවත්තුවා.

ඒකට කාරණා දෙකක් බලපෑවා.පළමු එක විශේෂ අධ්‍යාපන අවශ්‍යයතා ඇති දරුවෙක් විදිහට ඔහුගේ ජීවිතයට සම්ප්‍රදායික පංති කාමරය ඇතුළෙන් ලැබෙන ශක්තිය මදිකම.එහෙම සාමාන්‍යකරණය කිරීමේ විධිමත්බවක් නැති වීම.සමායෝජනය ලෙස ඔහුට ලැබෙන සහයෝගය වැදගත් නමුත් ඒ සදහා වෙනත් අවස්ථා ඇති සහ කුඩා කළ සිටම හොදින් මානව සබදතා පවත්වා ගෙන යාමට ඔහුට ඇති හැකියාව සහ උනන්දුව නිසා ඒ සදහාම පාසල් යැවීම අනවශ්‍යය බව හැගිණ.

දෙවන කාරණය ආර්ථිකය විය.ඔහු විශේෂ අධ්‍යාපනය ලැබූ පාසල බොරැල්ල සීවලිය ය.තවත් ආකාරයකට කියන්නේ නම් වනාතෙ සීවලිය විය.එයට පාසල් වෑන් රථ වලින් දරුවන් නොඑයි.වැඩි දෙනෙක් ඒ අවට පැල්පත්වාසී දරුවන්ය.කීර්ති කේ රත්නායක ජීවත් වූයේ මේ පාසල අසළින් වැටී ඇති මගෙහිය.දැන් ඔහු එහි නැත.අදටක් ප්‍රේම ජයන්ත කපුගේ ගේ නිවස ඒ ආසන්නයේ වෙයි.මේ වර්ථමාන නාට්‍ය කලාව සමග රැදී සිටින හොද යැයි සම්මත නිර්මාණ සදහා දායකත්වය දක්වන ගැඹුරක් ඇතැයි සිතන දෙදෙනෙක්ය.එසේම ගාමිණි වියන්ගොඩයන් වනාතේය.ජ්‍යෙෂ්ඨ සහ දක්ෂ පරිපාලකයෙක් ලෙස ප්‍රකට ජාත්‍යන්තර සබදතා ඇති හේමසිරි ප්‍රනාන්දු හැදී වැඩෙන්නේද මේ ගමේය.හේමසිරි ප්‍රනාන්දුගේ පියා මේ පාසලේ ආරම්භක විදුහල්පති මෙන්ම හේමසිරි මෙහි ආදි ශිෂයයෙක් ද වන්නේය.

එහෙත් ලෝකය දන්නේ මේ අය නොවේය.විහේෂයෙන් මාධ්‍ය විසින් වනාත අනාත කළ පසු ඇති වී තිබෙන පීඩනය නිසා එහි සිටින්නේ කචල්කාරයෝ පමණක් යන චිත්‍රය එහි සිටින මිනිසුන්ගේ නැගිටීමට එරෙහිව නැගෙන බව මා අවබෝධ කර ගත් සත්‍යය වන්නේය.වනාතේ වූ ගමන් පොලිසියට ඊළග ආමන්ත්‍රණය හැදෙන්නේ කුණුහරුප සමගය.මේවා වෛරය බවට පත් වී එහි බහුලව දැකිය හැකි සමාජ විරෝධින්ගේ රැලි තුළම ඊ ළග පරපුර ගිලී යන්නේ ගොඩ ඒමක් නැති බවට සමාජයෙන් කරන බපපෑම මතම බව මට හැගෙන්නේය.

දෙවන කාරණයට පිවිස වටේ යන්නට සිදු වීම කණගාටුවට කරුණකි.එහෙත් එසේ නොයා බැරිය.මේ සමාජමය චිත්‍රය නිසා පාසල් වෑන් රථ හෝ දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීවිල් මේ පාසලට නොයන්නේය.එකක් ඒ පිළිබදව ඇති කර තිබෙන හුඹස් බියය.දෙක එම වාහනයේ යන දරුවන්ගේ දෙමව්පියෝ සිය දරුවන් වනාතේ සීවලිය ළගින් දරුවෙක් ගන්නා වාහනයක සිය දරුවා යැවීමට මනාප නැත.ඊට මගේ දරුවා විශේෂ දරුවෙක් වීම සහ ඔහු පෙළෙන්නේ මන්ද මානසික තත්ත්වයක යන්නද එක් වූ විට එම දෙමව්පියන්ගේ ඔළු ගෙඩි ඇතුලෙ හැදෙන්නේ වනාතෙ අපරාධකාරයන්ගෙ තිප්පලේ තියෙන පාසලෙන් අපේ දරුවන් එක්ක එන්න පිස්සු කොල්ලෙක් නග්ග ගන්නව නම් අපි කොහොමද ඒ වාහනේ අපේ ළමයි අරින්නෙ යන ප්‍රශ්නයය.

මේ නිසා දුව මසකට රුපියල් 2100 ට වාහනයේ ගමන් කරද්දී,පුතාට දවසකට රුපියල් 300 ක් වියදම් කරන්නටත් ඔහු රැගෙන එන්නට මට එහි යාමටත් සිදු වන්නේය.ඒ ප්‍රදේශය බස් පාරකට අත වනන දුරින් නැති නිසා පුතාව සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවයක රැගෙන ඒමත් දුෂ්කර වැඩකි.හැමදාම අතේ 300 ක් තියාගෙන සිටීම අනිවාර්ය කාර්යයක් වුවත් බන්ධනාගාර නාට්‍යය ඇසුරේ වෙහෙසෙද්දී ඒ තත්ත්වය වෙනස් විය.පොරොන්දු පරිදි සුළු මුදල ගෙවා ගන්නට හෝ මුදල් සොයා ගැනීමට එහි සුබසාධන අංශයට නොතිබි හැකියාව මත පුතාගේ පාසල් ගමණ මාස එක හමාරක පමණ කාලයකට සම්පූර්ණයෙන් නැවතී ගියේ  වෘත්තිමය වශයෙන් සුබසාධන ක්‍රියාවලියක් සමග බැදුණු වෘත්තිකයන් පිරිසක් මගේ සුබසාධනය හා බැදි කාරණා සදහා අල්ප මාත්‍රයක වටිනාකමක් හෝ නොදීම නිසාය.ලංකාවේ රාජ්‍ය සේවයේ නි්මාණශීලී චින්තකයන් දැඩිව හිගය යන මතයේ පිහිටා මමම තනියෙන් තෙත් කර ගත් ඇසින් එය ඉවසුවෙමි.

අනතුරුව මේ වාරය ඇරඹෙන විට මා තීරණයකට එළැමුනෙමි.ඒ ඉහත කී කාරණා දෙක පදනම් කර ගනිමින්ය. පළමු ඉලක්කය ඔහුට වෘත්තීය පුහුණුවක් ලබා දීමය.වසරක කාලයක් ඔහු ඒ සදහා නිවසින් බැහැරව සිටිය යුතුය.එය දරා ගැනීමට අපහසුම කරුණකි.වයස 16 ක් වුවත් මා පිටබැලිව නිදි
කොට එය සයනය කොට මා වැළද ගෙන නිදන්නට පුරුදු වී සිටින පුතා ට ඇති එකම ප්‍රශ්නය ද එයය.

මං කොහොමද තාත්ගෙ පිටේ ඉන්නෙ...?

එහෙත් ඔහු ජීවත්වීම සදහා යමක් කළ යුතුය.ඒ සදහා ඒ වේදනාව හැඩූ කදුළින් ඉවසන්නට මට ද සිදු වී ඇත.මා පවුල කියන ඒකකය තුළ සියළු විදීම් සහ විදවීම් සමග රන්දා තැබුවේ මපුතුය.මා ඉහත සටහන තුළ කියූ පරිදිම ඔහු වෙනස් එකෙක් ලෙස අගය කරන සිස්ටම් එකක් වෙනුවට ඔහු සාමාන්‍ය ජනයා ප්‍රතික්සේප කරන්නට ඇති ඉඩ වැඩිය.එය අවම කර ගත හැක්කේ ඔහු සතු වෘත්තීයමය දැණුමකින් යන්න මා විශ්වාස කරයි.ඒ අනුව මේ වන විට ඉලෙක්ට්‍රොනික් සහ ආහාර තාක්ෂනය ඉගෙන ගැනීමට ඉල්ලුම් කර ඇති අතර ඉදිරි දිනෙක ඔහු වඩාත් ගැලපෙන දෙයකට ඇතුළත් කරගෙන සීදුවේ රදවාගනු ඇත.ජීවිතය රදවා ගන්නට මතු දිනෙක ඔහුට එය අත්වැලක් වනු ඇතයි මම විශ්වාස කරමි.

පුතුගේ උපත වෙනුවෙන් මා ලියූ සටහනක් මෙසේ සටහන් කර තබමි.එය ගීතයක් කර ගන්නට ඇරයුම් කිහිපයක් ලැබුණද මට ඒමොහොතේ එවැනි උවමනාවක් නොතිබිණ.නමුත් අද එ් සදහා අකමැත්තක් නැත.නමුත් එයට සැළකිය යුතු ආර්ථික වටිනාකමක් දී පුතුගේ ගිණුමේම එය තැන්පත් කළ යුතුය.

හීනවැට මායිමේ
හීතලට තුරුළු වී
දුරුතු හද පිපුණා
ඈත යන මාරුතේ
ඈතටම තල්ලු කර
මං හදට එබුණා

පාට මල් කුඩ පොකුරු
පාමුලේ සුවද දී
බඹර විය ගෙවුණා
සාගරේ තරමටම
ආදරේ රැලි දිගේ
කිරි සුවද ගැලුවා

පෑල දොර අද්දරින්
සනුහරේ නෝක්කඩු
ගොළුවෙලා මැකුණා
දෑත පා හුරතලෙන්
රෝස පෙති අත ගගා
හෙමි හෙමින් ඉම්බා

මෙය එකල දිණමිණ පුවත්පතේ මෙත්ලාල් සංස්කරණය කරන ලද කවි පිටුවෙහි පළ විය. 

18 comments:

  1. මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ නිෂ්මං. හොඳයි කියල හිතෙන දෙයක් කරපං. අධ්‍යාපනය නැවැත්වීම ගැන ආයෙත් හිතල බලපං.

    ReplyDelete
  2. එයා ලියන්නෙ කියවන්නෙ නැහැ මචං.දැන් 16 ක් නෙ

    ReplyDelete
  3. පුතාට සුබ පතනවා... එයා වෘත්තීය පුහුණුවකට යොමු කිරීම වැදගත්... නිශ්මං ගෙ හැඟීම් යම්තාක් දුරකට දැනෙනවා... මට හිතෙන හැටියට විඳවීමේ වර්ගයන් ප්‍රමාණයන් වෙනස් වුණත් අපි බොහොමයක් ජීවිතය විඳවන මිනිස්සු ගැහැණු... නිශ්මං එක්කෙනෙක්... මං තව එක්කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. විදවන මිනිස්සු විදවීම් බෙදා ගන්න කූඩුවෙ ඔබ ඉදීම සතුටක්

      Delete
  4. දුකෙන් වුණත් මේ ගන්න තීරණය පුතාගෙ අනාගතේට යහපතක් වේවි අයියේ....

    මම හිතන්නෙත් එහෙමයි....

    ReplyDelete
    Replies
    1. බලමු නංගි කොල්ල දැන් උඹෙත් යාළුවනෙ

      Delete
  5. මේ වගේ පෝස්ට් ලඟදි තමයි මං කියාගන්න දෙයක් නැතුව ගොලුවෙන්නෙ.
    පුතාව වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම හොඳ තීරණයක් නිශ්මන් අයියේ. ඔහුට දවසක තනිවම නැගී හිටින්න පුලුවන් ශක්‍යතාවක් වර්ධනය වේවි ඒකෙන්.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා නංගි.මේ වගේ දේවල් අතිශය පෞද්ගලික දේවල් කියලා මට හිතෙන්නෙ නැහැ.පොදු දේවල් මේවා ඇතුළෙ තියෙනවා කියලා මට දැනෙනවා

      Delete
  6. අබාධිත මිනිසෙක් වූ මට ඔබේ සිතුවිලි වැටහේ,මා මගේ පැවැත්ම ගැන බිය වන්නාසේම ඔබද දරුවා ගැන බොහෝ දේවල් සිතන බව දනිමි.ඔහුට කිසියම් වෘර්තීය පුහුණුවකට යොමු කිරීම ඉතා හොඳය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආදරෙයි මම මේ වචන ටිකට

      Delete
  7. මුකුත් කියන්න හිත් දෙන්නේ නෑ මචෝ.. ජීවන බර එකසිය ගානට මටත් දැනිලා තියෙන්නේ. බොහෝම අමාරුයි ජීවත් වෙන්න. ප්‍රශ්ණ හෝ ගාලා.. ඒත් ඉතින් ජීවිතේ ගෙනියන්න එපයි ගමනේ, පලා යන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. අපි ජීවිතය දිනන්න ට්‍රයි කරනවා එච්චරයි

      Delete
  8. ඒක හොඳයි මචං..කවදා හරි පුතා ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න එපායැ. ටික දවසකින් ඒකට හුරු වෙයි.
    ගෙදරින් වෙන් වෙනවා කියන එකනම් මටත් ටිකක් අවුල් වගේ...ඒත් ඉතින් ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ හොදටම දන්නවා.මට තමයි අමාරුම ඒක දරාගන්න උටත් අමාරුම මාව නැති එක දරාගන්න වැළදගෙන හිටියට ප්‍රශ්න ඉවර වෙන්නෙ නැහැ මචං

      Delete
  9. දරුවා වෘත්තිය පුහුනුවකට යොමු කලොත් වැදගත් විදියට ඉමක් ඉගෙන ගනීවි..චිත්ර සෞන්දර්ය වගේ දෙයක් වුනත් අවුලක් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොද තාලයක් තියෙනව‍ා.ඒක අපි පොඩි කාලෙදිම දැක්කා.ලංකාවෙ ඉන්න සුපිරිම තාල වාදකයෙක්ගෙ ජීවිතය එතැනට ගේන්න තාත්තා කෙනෙක් වගේ මම මැදිහත් වුණත් අවුරුදු 7 ක් විතර කොල්ලට තබ්ලාවක් ගෙනත් තියලා බොංගො එකක් ගෙනත් තියලා තම්මැට්ටමක් ගෙනත් තියලා උට කියලා මග බලන් හිටියත් තවම අපේ දොරකඩින් ඇතුළට ආවෙ නැහැ.

      මේක විවේචනයක් නෙමෙයි.ඒ හැකියාවට පෙරට යන්න පාර කපපු මගේ දරුවට එහෙම කරන්න කලාවෙ මහා පොර ටෝක් දෙන එකෙක්ට පුළුවන්ද?හුගක් අය කලාව කරන්නෙ මල්ලි හදවතින් නෙමෙයි.ලියන දේවල් මොනව වුණත් ඒවයෙ උවමනාව බඩ ළග නතර වෙනවා.

      කොල්ලගෙ ප්‍රශ්නය හරහා මට ඒක කියන්න ලැබුණු එකට උඹට ස්තූතියි.

      Delete
  10. මොනවා ලියන්නද කියල හිත හිත ටිකක් වෙලා ගොළුවෙලා හිටියා...

    එත් අමාරුවෙන් වුනත් බය නැතිව පුතාගේ අනාගතේ වෙනුවෙන් ගත්තු තීරනෙට හදවතින්ම සුබ පතනවා.

    තාත්ත ගත්තේ හරි තීරණයක් කියල කවදාහරි දවසක පුතා කියනවා අහගෙන ඉන්න වාසනාව ඒකාන්තයෙන්ම ලැබෙනවා.

    යුනිකෝඩ් වලින් කතාකරන අපි වගේ ඩිජිටල් චරිත වල සුබපැතුම් හැම එකකටම වඩා සතුටක් නිෂ්මන්ට එදා ට ලැබෙයි.

    අපි බලන් ඉම්මු...ලෝකේ හැම කෙනාටම තැනක් තියෙනවා. ඔබේ පුතත් අනිවාර්යයෙන්ම එයාගේ තැන ලබා ගනියි..

    පුතාටත් ඔබටත් හදවතින්ම සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. හදවකින්ම දිරියක් විදිහට මේ වචන ටික භාර ගන්නවා

      Delete