Sunday, October 19, 2014

බලු කම


මනුස්සයට හිතවත්ම සත්වයා බල්ලා කියලා අපි අහලා තියෙන්නෙ පොඩිම කාලෙ.මේ දවස්වල බල්ලො ගැන විතරක් නෙමෙයි පූසො ගැනත් ලොකු අර්බූද ගාණකට හිත වද විදිනවා.පූසො කතාවටනම් මුල පහු ගිය කාලෙ අපේ ගෙදරට ආව ගිය අයට මතකනම් හුරතල් වෙවී හිටිය පූස් පැටව් ටික.දැන් හතර දෙනාම සූරයො වගෙ ගෙදර අනිත් පැත්ත පෙරලනවා.කවුරු හරි ඇහැව්වම දෙන්න හා කිව්වත් ඒක නිකං අර වැල මිට පස්සෙන් අල්ලල තේ බොන්න කතා කරනවා වගේ වැඩක්.දෙන්න හිතක් නැහැ.

මුන්ගෙ දැගලිල්ල කොච්චර ද කියනවනම් මේ වෙන කොට එකෙක් ඇහැකට කෙළව ගෙන.ඒක කවදාවත් පේන්නෙ නැති වෙයිද දන්නෙ නැහැ.දැන් බෙහෙත් කරන් යනවා පශු වෛද්‍ය උපදෙස් මත.තව එකෙක් අණ්ඩක් කඩා ගෙන.සමහර විට උට ඔපරේෂන් එකක් කරන්න වෙයිද දන්නෙ නැහැ.ඒ තරම් අමාරුයි.මේ සුමානෙ බලල ඒක ඉක්මණට කරල දාන්න වෙනවා.

දැන් ආයෙත් බලු කතාවට.බල්ලො හරිම හිතවත්.ඒ නිසා උන් හරිම මිත්‍රශීලීයි.තමන්ගෙ හිතවත්කම වෙනුවෙන් ඕනි දෙයක් කරනවා.අපේ ගෙදර ආව ගිය අය දන්නවා පාරෙ හිටිය බලු රෑන.උන් ඒ පාරෙ සිකුරටි එක වගේ.දන්නෙ නැති කෙනෙක් පාරට ඇතුල් වුනොත්,ඒ පාරෙ ගෙදරක කෙනෙක් බලල ඕකේ එක දෙනකං බල්ලො ටික පස්සෙන් බුරා ගෙන වැටෙනවා.ඒ වගෙම තමයි කුඩු සෙට් එකට පත්තර,බෝතල් එකතු කරන්න පාරට ඇතුල් වෙනවනම් ඒ දේ කර ගන්න වෙන්නෙ අරුන් විසින් නොනවත්වා පවත්වන බලු ඝෝෂාව මැද්දෙ.

මේකෙ ලීඩර් හිටියෙ බැල්ලියෙක්.උා තමයි මේ ආරක්ෂක වැඩ පිළිවෙලේ ප්‍රධානියා.එන්න එන්න වයසත් එක්ක මෙයා දිරලා ගියා.විශේෂයෙන්ම හැව මාරු වෙන්න වගෙ තියෙන ලොම් ටික හැලිල ඇගේ හමේ පාට ප්‍රසිද්ධියෙ ප්‍රදර්ශනය වෙන්න ගත්තා.කන බොන එක සීමා වුණා.වේදනාව වැඩි වුණා.උා ටික ටික මේ පෙණුම නිසා මිනිස් ඇසුරෙන් ඈත් වුණා.නමුත් මම ගේ ළගට ආවම කන්න දෙයක් තිබුනොත් ගේට්ටුව අස්සෙන් දැම්මා.මොකද ළගට ගියොත් මූ උගේ තත්ත්වය ගැන තේරුම් ගන්න බුද්ධියක් තියෙන සතෙක් නොවන නිසා උගේ අපිරිසිදු කම සහ ඒකෙන් මට සෞඛ්‍යමය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටළු ගැන උෟ නොදන්න නිසා හැම වෙලේම බැලුවෙ ඇගේ එල්ලෙන්න.

බුද්ධිය ගැන කිව්වම මතක් වුණේ බල්ලට මම හිතන්නෙ බුද්ධිය නැහැ.ඉව තියෙනවා.පුරුද්ද තියෙනවා.ඒ වුනාට හිතල තීරණ ගන්න කල්පනා ශක්තියක්.තාර්කික බුද්ධියක් උට ඇති වෙන්නෙ නැහැ.සමහර බල්ලො කන්න පුරුදු වුනාම හොද නරක පෙණුම අදාළ නැහැ.උෟ කවුරු වුණත් හපා කනවා.උට කන්න දෙන කෙනා කවුද කියන එක විතරයි වැදගත්.ඒ හොරෙක්,බොරුකාරයෙක්,මංකොල්ලකාරයෙක් වුණත් බල්ලට වැදගත් නැහැ.ඒ වෙනුවෙන් ඕනෑම හොද කෙනෙක්ව නිරපරාදෙ හපා දාන්න බල්ල ඉදිරිපත් වෙනවා.

මේ වගෙ මේ බැල්ලිට මෑත කාලෙ සියල්ල අමතක වෙනවා.මම හිතන්නෙ වේදනාවට.ඒ වගේම උෟව සෙක්සුවල් අතින් දිරා යාමත් බලපාන්න ඇති.හම ගිය උෟව රැලේ කාලෙට පූට්ටු වෙලා ඉන්නවා දැක්කෙ නැහැ වගේම වාර ගණනකින් පැටව් ලැබුණෙත් නැහැ.ඒ නිසා වෙන්න ඇති එයාගෙන් පැවත එන පරපුරේ කාන්තා පාර්ශවය එක්ක එයා නිතර පැටළුණා.දුවල මිණිපිරියො එක්ක.

මේ තත්ත්වය දරුණු වුණේ වේදනාව දරා ගන්න බැරිව ඒ පාරෙ කිහිප දෙනෙක්වම කෑවට පසුවයි.ඒ සමගම බුද්ධිමත් මිනිස්සු බැල්ලි ගැන අතීතය සම්පූර්නයෙන් වළලා දැම්මා.ඌ කැලේට පැනල වගේ හිටියෙ.දකින්නම නැහැ.ඉද හිට හෝ කොහේ හරි හැංගෙන තැනකින් කෑමක් හොයා ගන්න ආපු වෙලාවටත් මූ මිනිස්සු හපාකාලා යන්න පටන් ගත්තා.

දවසක් උදේ මාත් එක්ක බැල්ලිගෙ සපා කෑමට ලක් වුනු කෙනෙක් කතා කර කර හිටියා.ඔයා වුණත් පරිස්සම් වෙන්න.දැක්කත් ළගට යන්න එපා.කොච්චර කන්න බොන්න දුන්නත් ෂුවර් නැහැ කියලා ඒ මනුස්සය කිය කියා ඉද්දි මම කිව්වෙ මට නම් එහෙම කරන එකක් නැහැ කියලා.මට බල්ලො පශ්චාත්තාප වෙන වැඩ කරන්නෙ නැහැ කියලමයි හිතුණෙ.

බන්ධනාගාරෙ නාට්‍යයෙ කොල්ලෙක් දවසක් මට අමුතු ටෝක් එකක් දුන්නා.නාට්‍ය ගැන ලොකු ලොකු කතා කිය කිය හිටියට වේදිකාවෙ හැරෙන හැටි ඉද ගන්න හැටිවත් නොදැන සිටිය මනුස්සය ඒ වැඩෙන් පස්සෙ විනය හේතු මත නාට්‍යයෙන් ඉවත් කෙරුණා.ඒත් මනුස්සය මේ ළගදි බලපත්‍ර මණ්ඩලයෙන් නිදහස ලබලා.ඒකට ගිය ගමන්ම නාට්‍ය දැකලා තිබුණු නිලධාරි ඒ ගැනලු කතා කලේ.මනුස්සය නිදහස් වෙන්න මග නාට්‍යය කියලා දැන් මා එක්ක කතා කරන්න අවස්ථාවක් අරං දෙන්න කියලා අඩනවලු.ඉතිං මම කිව්වා නොදන්න දේ ඉගෙන ගන්න ඕනි.උගන්නපු කෙනා නෙමෙයි ඉගෙන ගත්තු දේ අමතක නොකිරීමයි වැදගත් හරියට දෙයක් කරන්න අපිට බලං ඉදල සතුටු වෙන්න පුළුවන් කියලා.සමහර මාර වැඩකාරයො කියලා පෙනී සිටින සහ ඇතැමුන් විශ්වාස කරන අයත් අපිට වැඩ වලදි හම්බ වෙලා තියෙනවා.ඒ අයත් වේදිකාවෙ හැරෙන්න ඉද ගන්න දැනං හිටිය අය නෙමෙයි.පස්සෙ කාලෙක ඒ අයගෙන් අපි ඉගෙන ගත්තා වගේ කතා කරලා පුළුවන්නම් මූණට කෙළත් ගහල යන්නෙ.හිර ගෙදර නෙමෙයි පිටත් ඒ විදිහෙ පුනරුත්ථාපන අවශ්‍යය අය ඉන්නවා. ඒ වගේ වෙලාවක පුනරුත්ථාපනය වෙමින් ඉන්න කෙනෙක් එහෙම කියපු එක සුළු දෙයක් කියලා මම මග ඇරියා.

මම බැල්ලි එහෙම කරන එකක් නෑ කියන එක හිතුවට ඒකිත් වේදනාවට ඒ ජාතියෙම වැඩක් කළා.අර මනුස්සය සමග කතාව අස්සෙ ගේ ළග නවත්තලා තිබුණ කාර් එකක් අස්සෙන් බඩ ගා ගෙන ආපු බැල්ලි මට කන්න පැන්නා.මම හතර වරක් උගෙ ඉලක්කයෙන් බේරුණා.ගේට්ටුව හදිස්සියට ඇර ගන්නත් බැහැ.ගහන්න හිත දෙන්නෙත් නැහැ.කතා කර හිටපු මනුස්සය අලි ගල් ගෙඩියක් අරං මා පස්සෙන් එහාට මෙහාට පනින බැල්ලිට කුරුමාණම් අල්ලනවා.ඒක බැල්ලිට නොවැදි මට වැදුණත් බඩු බනිස්.

බේරෙන්න බැරි තැන මම පැත්කට පැනලා පයින් පහරක් ගැහැව්වා.ඒකි මීටර් 3 ක් විතර වීසි වෙලා ගිහිං වැටුණා.නැගිට ගන්න බැරිව කෑ ගැහැව්වා.කෙදිරි ගෑවා.ඊට පස්සෙ අමාරුවෙන් නැගිටලා එතන තියෙන හදන ගේ අස්සට රිග ගත්තා.මම හවස බන්ධනාගාරෙ ඉදල ගෙදර එනකොට ඌ මැරිලා.නගර සභාවෙන් ඇවිත් අරං ගිහිං.ඒත් ඌ මගේ හිතේ ඉන්නවා.ඒකෙන් එලව දාන්න බැහැ.කොහේ හරි දවස් කිහිපයක ගමණක් ගිහිං එනවනම් ගෙදරට හැරෙන පාර ගාව ඉදල ඇගේ එල්ලෙමින් එන අැගේ දැවටුන බැල්ලිගෙ මතකය උගේ ගුණය මම කොහොමද බල්ලෙක් වගේ අමතක කරල දාන්නෙ.

'මම මනුස්සකමට දරා ගෙන හිටිය දේ උගේ බලුකමට තේරුණෙ නැති නිසා තමයි මග හරින්න මග හරින්න පැන්නෙ' කියල මට ජයන්ත අයියා කියන අසල්වාසියා කිව්වෙ. මනුස්සකමට දරාගෙන  ඉන්න ඉන්න නිරපරාදෙ බුරාගෙන පනිනවනම් බල්ලො මරන්න ඕනි මම මටම කියා ගත්තට මනුස්සෙක් නිසා ම මගේ හිතට බැල්ලිව මතක් වෙනවා.

පව් නොදන්න කම, බලු කම!
මනුස්සයො වුණහම ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න ඕනි.


18 comments:

  1. අනේ මංද නිශ්මන් සමහර විට උගෙ වේදනාව නිසා ඌ පොඩ්ඩක් සිහිය විකල වුණාද දන්නෑනෙ...
    සමහර විට සත්තුන්ට උන්නෙ වයසක කාලෙ ආවහම පොඩ්ඩක් අමතක වෙන ගතියක් තයනව ඒක සාමානෘ දෙයක්...
    http://www.mawbima.lk/e-paper.html
    ඔය මව්බිම ඊ එඩිෂන් එක.. ඕකෙ විසිහත් වෙනි පිටුව බලන්න.. ඊයෙ එක ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් මම බලන්නම්.දුකක් බෙදා ගන්න එකතු වෙන්න අය අඩුයි

      Delete
  2. අනේ මන්දා මොනවා කියන්නද කියල ,
    //""මට බල්ලො පශ්චාත්තාප වෙන වැඩ කරන්නෙ නැහැ කියලමයි හිතුණෙ.""// කොහොමවුනත් මිනිස්සු කරන්නෙම එහෙම වැඩනේ.. කතාව හරිම සංවේදියි නිශ්මන් ....

    ReplyDelete
    Replies
    1. සංවේදී වීම තමයි අද අඩු මචං

      Delete
  3. දුක හිතුනා.. අපේ පැත්තෙත් මෙහෙම සෙට් එකක් ඉන්නවා.. හැබැයි උන් නම් මට හැමදාම කන්න පනිනවා.. මම එනකන් රැකගෙන ඉන්නවා වගේ... උන් වත්තට පනිද්දී මම ගහනවා. උන්ගේ ඒරිය එකෙන් එද්දී උන් කන්න පනිනවා.. :D

    ReplyDelete
    Replies
    1. බල්ල හුරු කරපු හෝ හුරු වූ රටාවකට වැඩ කරන්නෙ.ඒ නිසාම මම හිතුව මාව කවදාවත් කන්න පනින එකක් නැහැ කියලා

      Delete
  4. මේ සටහන ලියවෙන්න ඇත්තෙ, බැල්ලි මැරුනෙ මගෙ පා පහරින්ද කියන වරදකාරී හැගීම නිසා වෙන්න ඇති...
    එහෙම හැගීමක් මටත් සෑහෙන කාලයක ඉඳලා තියෙනවා...
    බල්ලට හිතන්න පුළුවන්ද - බැරිද කියන එක අපැහැදිලියි
    නමුත් මිනිසා හා සැසදීම නම කොහෙත්ම කරන්න බෑ

    කොහොම උනත්, පාරෙ වැසියන්ට කරන්න තිබුනෙ උගෙ හමේ ලෙඩේට බෙහෙතක් අරන් දෙන එක...
    දැන් කරන්න දෙයක් නෑ...
    ඇක්සල් මුන්තේ කියන ස්විඩන් ජාතික වෛද්‍යවරයා ලියූ පොතක් තියෙනවා the story of san Michele කියලා
    ඒ ඔහු සත්තු සමග දිවියෙන් වැඩි කාලයක් ගෙවූ දූපතේ නම යෙදූ කතාව
    ඔහු ලුවී පාස්චර් ගෙ සමකාලිනයෙක්
    ඔහුට සත්තු සමග අදහස් හුවමාරු කිරීමේ හැකියාව තිබුනා කියලා කියනවා
    ඔහුට අනුව සුව කල නොහකි සතුන් euthanasia/mercy killing කියන එක සත්තු සම්බ්න්දයෙන් සාධාරනයි කිය්ලා
    ඔහු කියන්නෙ සතෙක් අසරන උනාම දුක් විදීම උන්ට දරා ගන්න අමාරුලු, උන්ට මරනය ගැන අපට වගෙ බියක් නෑලු - එනිසා දුක් විදින සතෙකුගෙ වේදනාවෙන් මුදවීමට ජීවිතය තොර කිරීම වඩාත් සාර්ථකලු....
    දැන් ඒ කතාව ඉවරයි
    ඊලගට කෙරෙන්න ඕන දේ තමයි ඔය බලු පූස් පරපුර වසංගතයක් වෙන්න කලින්, සත්ව සංවිධානයක් එක්ක එකතු වෙලා, ඔය ප්‍රදේශයේ ව්ද සැත්කම් කදවුරක් කරන එක...
    ඒ අය නොමිලේ කරන්නෙ..
    ගෙවල් වල ඉන්න බල්ලො බලල්ලු ගෙනාවම කරනවා ... දඩාවතේ යන බල්ලන්ව කට්ටිය එකතු වෙලා දිනකට පෙර ගැට ගහ ගන්න

    ReplyDelete
    Replies
    1. 'ඊලගට කෙරෙන්න ඕන දේ තමයි ඔය බලු පූස් පරපුර වසංගතයක් වෙන්න කලින්, සත්ව සංවිධානයක් එක්ක එකතු වෙලා, ඔය ප්‍රදේශයේ ව්ද සැත්කම් කදවුරක් කරන එක...
      ඒ අය නොමිලේ කරන්නෙ..
      ගෙවල් වල ඉන්න බල්ලො බලල්ලු ගෙනාවම කරනවා ... දඩාවතේ යන බල්ලන්ව කට්ටිය එකතු වෙලා දිනකට පෙර ගැට ගහ ගන්න'

      මෙන්න හරිම වැදගත් සුහග.ඒ වගෙ තැනකට අදාළ ලින්කුවක් දෙන්න බැරිද?

      Delete
  5. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. බස්සි මොන අදහසකින් කෑ ගහනවද දන්නෙ නැහැ

      Delete
  6. හෘද සාක්ෂීය බලපෑමක් කරල වගේ..

    ReplyDelete
  7. මොනවා කරන්නද බං....දුක තමයි රංජනී කිව්වලු.

    මචං දවසක් බල්ලෙක් පාරේ අයිනේ පූසෙක්ගේ බෙල්ලෙන්ම අල්ලලා කරකවලා කරකවලා අත ඇරලා දැම්මා. කරන්න කිසිම දෙයක් නැහැ පූසා මැරෙන්නෙත් නැහැ...ගොඩ ගන්න විදිහකුත් නැහැ බෙල්ලේ කෑලි එලියේ. හිත හදාගෙන උස්සන් ගිහින් පාරේ පයිප්පේ ඇරලා නහයට වතුර අල්ලන් හිටියා ඉවරයක් වෙනකම්. විනාඩි දෙකක් වත් ගියේ නැහැ. විඳවනවා බලන් ඉන්න බැහැ බන්. ඕක උනේ කොලොන්නාව හන්දියේ පයිප්පේ ගාව.

    ReplyDelete
    Replies
    1. කන්න ඉල්ලන් එන එකා උගෙ වරදකින් හරි මැරුම් කෑවා කියන එක ටිකක් හිතට රිද්දනවා

      Delete
  8. බල්ලෝ කොහේද බං නැත්තේ.. මේක පස්චත්තාපවීමද මක්කද එක කියලා තමයි මටත් හිතෙන්නේ.. කොහොමත් පාරේ බැල්ලියොත් එක්ක යනවට හොඳ පාඩම්..

    ReplyDelete
    Replies
    1. පාරෙ බැල්ලියොනම් හරි යන්නෙ නැහැ බං.උන් කීකරු නැහැ.කීකරු එකෙක් ඉන්නවනම් ගෙදර නවතින්න ඕනි නැති හුරතල් වෙන්න කැමති....අන්න ඕකේ

      Delete
  9. ඕක බලු වැඩක් නෙමේ.කරන්න දෙයක් නැති නිසානේ ගහන්න වුණේ.වරදකාරී සිතුවිල්ල තියෙනවා තමයි.එක අතකට ඔය බල්ලා තවත් දරුණු කලින් ඔහොම මැරුණු එකත් හොඳයි.

    ReplyDelete