Thursday, October 30, 2014

කොස්ලන්දෙන් පායන සද?



හීනියට හඩන ඇස්
කූඩයට ඔබා ගෙන
 කහට ගෑ ‍තොල් අතර
සිරික්කිය පුරෝගෙන
පාට වියැකුණු රෙද්ද
හිසේ සිට එලාගෙන
කාටවත් නොපෙනෙනා
අදුරේම පිටව යන

ලැයිම් කාමර වලට
ඉර එළිය වඩින කොට
අඩු කෝප්පෙක තරම
දාඩියත් පුරෝ ගෙන
පීප්පෙක තරම් උස
කූඩයට පිරී ගිය
දල්ලෙ කහටක් මිසක්
හිතේ කහටක් නැතිය

පිළිවෙලට ඇමිනෙන්න
අකුරු දැණුමක් නැතිව
හඩන පොඩි වුන් දිහා
නොදත් කම දරා ගෙන
වත්තෙ රස්සාවෙ ගුණ
හැමදාම කියා දෙන
ලෙච්චමී පස් ගොඩක
හැංගුණේ කිමද නුඹ

තොණ්ඩමන් කියන තුරු
අයිතියක් නොදැන සිටි
වත්තෙ මහතුන් තෙමේ
රහතුන්ව සිතා සිටි
රටේ කාගෙත් බතට
ලුණු ඇටක් තරම හෝ
මුසු කරන්නට ඔබේ
අතේ සවි හේතු විය

පවුකාරයන් මඩිය
තර කරන්නට හෙළුව
දාඩියේ සාපයද
කන්දකට යට වුණේ
අව් කණ්නාඩියෙන්
නුඹ නොදුටු පාපයද
ඇස් අගට කදුළු වී
අපෙ ඇසේ මතු වුණේ

පිංතාලියක් වී
හැම කහට උගුරටම
නුඹේ රස මුසු වුණේ
පව්කාරියක් යැයි
ඉතිං කොහොමද නුඹව
කන්දකට වැරදුණේ

තව වාරයක් යැයි
බලය ඇති අය නිබද
සටනකට අර ඇදේ
උන්ගෙ අත පසු වීම්
වළලද්දී මිනිසුන්ව
නින්දෙන්ම නිදි ඇදේ

නුඹේ හුස්මත් එක්ක
අලුත් හුස්මක් ගන්න
මිනිසුන්ගෙ පෙරහැරේ
වතු අයිති මහත්තුරු
නුඹේ ලේ බිව් නඩේ
වැලලේවී සිව් අතේ

අලුත් අකුරක් අරං
දෙගුරුන් ගෙ මල බතේ
හැගුම් පොකුරක් තබා
පිට වෙන්න දරුවනේ
නුඹේ දාඩිය එක්ක
කෙළි කවට වතු කරේ
හෙටින් අවසන් කරන
සටන එයි පෙර මගේ









20 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෙදිරිල්ලක් නැගෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. දැන් මේ අසරණ උන ජනතාවට ආන්ඩුව සියල්ලම කරන්නේ, වත්ත ආන්ඩුවේද? එසේනම් මේ ව්‍යසනයේ වගකීමත් ආන්ඩුව ගතයුතුයි නේද? එතකොට ඒ සඳහා වගකියන ඇමතියා හා නිළධාරින් කෝ...

    ReplyDelete
    Replies
    1. වත්තනම් අනුන්ගෙ මචං මිනිස්සු ආණ්ඩුවෙ.ඒ මිනිස්සුනගෙ ජීවිත අවදානම දැකල නිහඩව සිටි ආණ්ඩුව පර්චස් එකක මිල ලක්ෂ ගාණකින් කියවෙන කොළඹ නිවාස වල මිනිස්සු එක රැයෙන් පාරට දැම්මෙ අනවසර ඉඩම් කියලා.එහෙනම් මේ මිනිස්සු වෙනුවෙන් ඒ දේ කරන්න බැරිද?

      වැලිවේරියෙ ධම්මික පෙරේරා වෙනුවෙන් වතුර ටික දූෂනය වෙනවා කියලා කෑ ගහපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ වගේ මේ මිනිස්සුන්ගෙ ජීවිත නොතකන ව්‍යාපාරිකයාගේ ව්‍යපාරය ගැන හිතලා කටයුතු කරා කියල තේරෙන්නෙ නැද්ද?

      මේ මිනිස්සු දුප්පත්.නූගත්.ඒ අය බොහෝ දෙනෙක්ගෙ ජීවිතය වත්තෙ හතර මායිම පනින්නෙ ගෙදරක මෙහෙකාරකමකට හරි කඩේක තේ හදන්න හරි නැත්නම් ගෝල වැඩකට හරි.නැත්නම් වත්තටම සින්න වෙනවා.ඒ දුප්පත්කමත් එක්ක මේ මිනිස්සුනට පරිසර ප්‍රශ්න ගැඹුරින් තේරෙන් නැහැ.අවදානමක් නැති තැනෙක ගෙවල් හදල දීල තේරුම් කරානම් යනවා.

      මේක නායට යට වුණු ජීවිත වල අනාගතය වෙනුවෙන් කරන්න තියෙන්නෙ මේ රටේ වතු කම්කරුවන්ගෙ දරුවන්ගෙ දැණුම වර්ධනය කරන ක්‍රියාවලියක්.තොණ්ඩමන්ලගෙ දිගම්බරම්ලගෙ ඇහෙන් නොබලන්න ස්වාධීන දැක්මක් හදා හදා ගන්න මේ මිනිස්සුන්ට ඇස් පෑදෙන්න ඕනි.

      Delete
    2. වතු සම්ගම්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ.රටේ තියෙන්නේ අපක්ෂපාති පොලිසියක් නම්,නීතියක් නම් මේ වෙද්දීත් වතු සමාගෙමේ ලොක්කෝ රිමන්ඩ් එකේ ඉන්න ඕනේ.කොළඹ මිනිස්සු බලහත්කාරයෙන් ගෝඨාගේ උන් එළියට ඇදලා දැම්මා කොළඹ ලස්සන කරන්න කියලා.මේ වතුකරේ මිනිස්සුන්ගේ ජිවිත බේරලා දෙන්න ඒ කාලකන්නිට බැහැ.අවධානම හඳුනාගෙන මේ තරම් කාලයක් පොල් ගැවද මේ යක්කු.

      Delete
    3. මේ දක්වා වතු සමාගමට එරෙහිව ක්‍රියා මාර්ග නොගැනීම.එ්ක පැහැර ඇරීමේ ප්‍රධාන වගකිව යුත්තා ඒ වෙනුවෙන් ලිපියක් සකස් කළේ නම් එය කෙළ පිඩක් ලා අලවා තැපෑලට නෙදැමූ පියන් ද?ඒ ගැන නිරන්තරයෙන් සොයා බැලිය යුතුව තිබූ අමාත්‍යංශයේ වගකිව යුතු ප්‍රධානියාද? පොලිසියට එන්නෙ ඊටත් පස්සෙ.පොලිසියට නියෝග දෙන්න ඕනි එව්වො නිදා ගත්තම වැඩක් වෙයිද?

      මේක කොළම පර්චස් එකේ වටිනාකම මීරියබැද්දෙ මිනි්සුන්ගෙ ජීවිතේට වඩා වැඩි වීමේ ප්‍රශ්නයක් මනෝජ්

      Delete
    4. /////වත්තනම් අනුන්ගෙ මචං මිනිස්සු ආණ්ඩුවෙ/////

      කොහොමද බං මේ සිතුවිලි ඔළුවට එන්නේ....නියම කියමනක්!!

      Delete
    5. උඹලගෙ ඇසුරෙන්ම තමයි

      Delete
  3. ආපදා කලමනකරය කියන්නේ විපතක් වුනාම බත් පැකට් බෙදල දෙන එකද ? එහෙනම් නම වෙනස් කරමු බත් පැකට් අමාත්‍යාංශය කියලා. දැන් මේ නොමැරී බේරුණු උන්ට මලානම් හොඳයි කියලා නොහිතෙන්න වැඩකරමු

    ReplyDelete
  4. මචං පොඩි වැ‍ඩක් යනවා.මීරියගොල්ලට වැටෙන කදුළුත් දැන් වැස්ස තරම්ය.ඒත් ඒ අදුර ජීවිත වලට දැන් ඊට වඩා උනුසුමක් අවශ්‍යය වී ඇත.විශේෂයෙන් කාන්තාවන්ට සිය අවශ්‍යයතා වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ආදියත්,කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට උනුසුමට ඇදුම් ලබා දීමත් මේ අතරින වඩා වැදගත්ය.පිරිමින් නොසළකා හැර නැත.ඒ අය වෙනුවෙන්ද ඔබට දායක විය හැකිය.මේ සදහා පමා වන්නට කාලයක් නැත.ආලය ප්‍රමාද වී පැමිණෙන විට කාලය කල් ඉකුත් වී තිබිය හැකිය.ඔබට කළ හැකි උපකාරය වෙනුවෙන් හිමාශි කරුණාරත්න (0712 137 082) සහ නිශාන්ත ප්‍රියදර්ශන (0713 518 512) අමතන්න.විදේශ රටවල සිටින සහෘදයන්ට මේ සදහා ද්‍රව්‍යමය ආධාර ලබා දීම සදහා ඉක්මණින් දායක වීමට නොහැකිනම් ඒ දායකත්වය ලබා දෙන අයුරු හිමාශි සහ නිශාන්ත සමග සාකච්ඡෘ කරන්න.

    සිස්ටම් එකට පාණ්ඩුව වුණහම අපිට ආන්ඩුව වෙන්න වෙනවා.සේරටම කලිං මිනිස්සු වෙන්න වෙනවනෙ මචං.

    බලමු මොනවද කරන්න පුළුවන් කියලා.

    ReplyDelete
  5. /* හෙටින් අවසන් කරන
    සටන එයි පෙර මගේ */

    දවල් හීනය පෙනේ.

    ReplyDelete
    Replies
    1. 'නුඹේ දාඩිය එක්ක
      කෙළි කවට වතු කරේ'
      හැමදාම ඔවුන්ගේ ජීවිත වල ඉරණම අනුන්ගෙ කෙළ කවට බවට පත් විය යුතු බව කියන ම්ලේච්ඡ හැගීමකට දවල් හීන පේන වගේ පෙණුනට ඔවුන් ගේ ජීවිතවල ඉරණම වෙනස් විය යුතුයි.වතු පාසල් අධ්‍යාපනයේ,සෞඛ්‍යයේ ඉදල ඔවුන්ගෙ අයිතිවාසිකම් වලට දක්වන අවර ගණයේ සැළකිල්ල මේ ඛේදවාචකයත් සමග එළියට පැමිණ තිබෙන මොහොතක එය හෙට වෙනස් කරන සටනක් බවට පත් කර ගැනීමේ උවමනාවක් නැති වීම හෝ එය දවල් හීනයක් කොට වීසි කර දැමීමට හැකි සාහසික හැගීම 'ග්‍රෝත්‍රික දේශපාලනික ලක්ෂණයක්' පමණි.

      ඇතැම් විට පුද්ගලානුබද්ධ දේශපාලනයේ මරාගේ රංගනය නිමා වේය යන ආත්මාභිලාශයන් විසින් ඇති කර ගත් සැක හා බිය විසින් මගේ කවි බස ද,හුදු මරා විරෝ්ධයක් කොට ගෙන පොළවේ ගසා තෘප්තියට පත්වීමේ උවමනාවෙන්, මනුෂ්‍යය කොට්ඨාශයකට අත් වී තිබෙන සමාජ දේශපාලන ඉරණම වෙනස් කිරීමේ උවමනාව බැහැර කළා විය හැකිය.

      'නුඹේ දාඩිය එක්ක
      කෙළි කරන හැති කරේ
      රකින එක අරමුණයි
      පැවත්මට සනුහරේ'

      ඔබේ අවශ්‍ය්‍යතාවය පරිදි මෙවැන්නක් යොදා ගැනීමේ හැකියාව ඇත.(පොදු අරමුණකට සමාජය හැඩ ගැසෙන තෙක්)

      Delete
  6. කළු ගැහුනු දැළි වළං
    ලොකු වෙලා දැං උන්ට
    ඉන්නකං පයට ගත්
    මිනිස්සුය උන් අදත්..

    ReplyDelete
    Replies
    1. කළු ගැහුනු දැළි වළං
      ලොකු වෙලා දැං උන්ට
      ඉන්නකං පයට ගත්
      මිනිස්සුය උන් අදත්..

      නුඹේ දාඩිය එක්ක
      කෙළි කවට වතු කරේ
      හෙටින් අවසන් කරන
      සටන එයි පෙර මගේ

      Delete
  7. සොබාදහමත් අසරණයින්ට එරෙහි වුණු බොහොම සංවේදී අවස්තාවක්..

    ReplyDelete
    Replies
    1. සොබා දහමෙන් මේ අසරණයන්ව බේර ගන්න තිබුණා.ඒක ස්වභාව ධර්මය පාලනය කිරීමෙන් කළ හැකි බවට සහ සීමා කළ හැකි බවට සාක්ෂි 'ඉවාන් පවුලූෂා' ගෙ බ්ලොග් එකේ අපූරුවට ලියලා තියෙනවා.ඒ වගේම මේ රටේ පරිපාලනයට සහ නීතියටත් මේක වලක්වා ගන්න තිබුණා.ඒ නිසා මේක මිනිසා මිනිසාට එරෙහිව යාමක් ලෙස හදුන්වන්නයි වෙන්නෙ.

      Delete
  8. නිශ්මං........උඹ තුල කැකැරෙන මානව ප්‍රේමය, කලකිරීම, පවතින මජර සිස්ටම් එක කෙරෙහි ඇති ක්‍රෝධය මේ සියල්ලක්ම කවි පෙළකින් එලියට ඇවිත්. මේ ගැන ෆුල්ස්කැප් කඩදාසි පහ හයක ලියන්න පුළුවන් දේ , උඹේ කවීත්වය ඉදිරියේ මෙහෙම හැකිලිලා. අගෙයි මචෝ!!!

    ReplyDelete
    Replies
    1. මචං මේ දාලා තියෙන පින්තූරය ළමා ලෝකය ගැන මහා කතාවක් කියනවා. බලපන් ඒ පොඩි එකීගේ ටීෂර්ට් එක....

      Delete
    2. ටීෂර්ට් එකේ තියෙන්නෙ උන්ගෙ හීනය බං.ඒ හීනය වෙනුවෙන් ලියපු කවි මේ මජර සිස්ටම් එකටම යට කරන්න හදපු කමෙන්ට් එකකුත් තියෙන්නෙ.කුමන දේශපාලන මතයක් දැරුවත් මේ ජීවිත වෙනස් කරන සටන් කළ යුතුයි නේද මිනිස්සුනම්...

      Delete