Monday, May 18, 2015

යුද්ධය ඉවරයිද?


යුද්ධය නිමා කර වසර හයකි.එහි ගෞරවය බෙදා ගන්නට පොර කන දේශපාලන හැතිකරයට එය නිමා වූවකි.මට එසේ නොසිතෙන්නේය.මුං හදන්නේ අපහු යුද්ධයකට රට තල්ලු කරන්නටය.උන්ට ගාණක් නැත.මෙහේ රැකවරණ මදිනම් රටකට හෝ යවා උන්ගේ දරුවන්ට උගන්නන්නට උන්ට හැකියාව ඇත.පත්තර කොළවල නිදා ගත්තු එවුන් පත්තර ගසන්නට තරම් සල්ලිකාරයෝ කරපු දේශපාලනයක රස දමා යා නොහැකි හෘදයාංගම වේදනාවක් මිස වෙන කිසිම කැක්කුමක් මේ අය තුළ තිබිය නොහැකිය.

මට මතක් වෙන්නේ යාපනයේ මැරතන් තරගයමය.එහි ජයග්‍රාහකයාට අම්මා සහ පියා දෙදෙනාම අහිමි කර තිබුණේ යුද්ධය ය.ඔහු ජයගත් පසු එය බෙදා ගන්නට මව් පියන් නොමැති කම විද ගත්තේ අත් ගෙඩි දමන තුරු දොරේඅප්පා ක්‍රීඩාංගණයේ වැටට තඩි බාමින්ය.මාතලේ සිට කොළම එද්දී හමු වූ හමුදා නිලධාරියාගේ සිඟිති දියණිය අතුරුදහන් වූ පියා වෙනුවට මා නිවසට කැදවා ගෙන යන්නට ඇයගේ මවට යෝජනා කළ හැටි මතක් වෙද්දී යුද්ධයේ සමරන්නට ආඩම්බරයක් තිබෙන බව මටනම් නොහැඟෙන්නේය.

යුද්ධය නිමා වන්නට බොහෝ කලකට පෙර සිටම ලේ පිපාසිත ආශ්වාදයක මා පැටලී නොසිටියෙමි.මා එහි උරුමය ඊට පෙර සිටම ලීවෙමි.මේ ඊට එක් උදාහරණයක්ය.
ගැහැණියගේ උරුමය
තැන්පත්ව
අල්මාරි කොණ
විහිදන
කාවුන්ට
කපුරු තේජස
කාකි නිල ඇඳුම
ඇඟට ඇලුණ
රෙද්දක් වගේ
තෙතබරිත
නොවෙලෙන මතකය
තෙමයි ඇස් දෙක

එබී
තොටිලි වැට උඩින්
හෙමිහිට
සිප ගතිමි
ළපටි මල් කැකුළ
කවුරුත් කියන්නා සේ
තාත්තාගේ
කපාපු පළුව

හිතිනි
පෙරළ දමයි
තත්පරයට
අවුරුදු ගණන්
පෙනෙයි
හිස නවා දොරකඩින්
එබෙන
ඔහු රුව

සැනින්
ඒ වතට මුහුවෙයි
පදක්කම් නිල ලාංඡන
පැලැන්දූ කාකි ඇඟ

කර දඬු වඩුණු
මගේ ඉහ උඩ පේන
වත නැමෙයි හෙමිහිට
මගේ පා ළග
වඳියි යැද අවසර
යන්න යුද්ධයට
අසයි
කොයි දෙමළාද
නැසුවෙ මා පිය පණ

අල්පෙනිත්තක් වගේ
කෙළින් සිටවූ
පොඩි පවන් රැළටත්
පෙරළෙන
ගැහැණුන්ගෙ ජීවිත
විදින්නේ කොහොමද
තනිකම
වෙඩි උණ්ඩ වගේ සැර
වැන්දඹුකම
පා ඇඟලිවලින්වත්
ඇවිදින්න
බැරි තරමට
බොම්බ අතුරාපු
යුද බිමෙකි
සලෙල හිත්
හැම තැනෙම

දෙමළු නොව
යුද්ධයයි
නිමා විය යුත්තෙ
ම‘පුතුනි
නවතින්න


නිමා වූ බව කියන යුද්ධයට බොහෝ පෙර රාවයට මා ලියූ එම කවියෙන් කියූ ලෙස මට නම් යුද වීරයෝ නැත.යුද්ධය බිහි කළ දේශපාලනික සහ ජාතිවාදි නරුමයෝ ඇත.ඒ නිසා ඇති වූ යුද්ධය විසින් ඉතිරි කළ වැන්දඹුවෝ,මව් පියන් නැති දරුවෝ මෙන්ම ගණිකාවෝ ද වෙනත් ව්‍යාධින්ද බොහෝය.ඉතිරි වී ඇත්තේ ඒ දේවල් මිස වීරයෝ නොවන්නේ අප වීරයන් කියා ගන්නා බොහෝ අයගේ දායකත්වයන් අඩු වැඩි වශයෙන් මේ ව්‍යාධින් නිර්මාණයෙහිලා බල පා තිබෙන බැවිණි.

කෙනෙකුට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම යනු ඔහුගේ ආගමික සහ ජාතිය විසින් උරුම කර දෙන දේ වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය තහවුරු කිරීමය.ඒ අයිතිය ජාතියක්අනුව ආගමක් අනුව වෙනස් විය යුතු බව සිත්න්නෝ පළමුවෙන්ම අවමන් කරන්නේ ඔවුන් පෙනී සිටින ජාතියටය.ඔවුන් පෙනී සිටින ආගමටය.

තවෙකෙක් වහලෙක් හෝ තමන්ගේ යටත් වැසියෙක් ලෙස සිතා කටයුතු කරන අය මනුෂ්‍යයන් නොවන බව මඟේ හැඟීමය.නායකයා යනු පාලනය කරන්නා නොව.ඔහු ආදරය කරන්නෙක් විය යුතුය.සමඟි කරන්නෙක් විය යුතුය.බේද කරන්නා මටනම් කාලකණ්නියෙකි.ගැටුම් ඇති කරන්නා තිරිසනෙකි.

ඒල්ටීටීය වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා මේ පවතින ක්‍රමවේදය ත්‍රස්තවාදී ව්‍යාපාර ලෙස හංවඩු ගසා විනාශ කරන්නට උත්සාහ කළ බව අපි දනිමු.ඒ ක්‍රමවේදයේ නෛතික සහ සමාජ සම්මත රාමූන් බිද දැමූ නිසාවෙන්ය.ඒවාට නිවැරදි බව කියන පිරිසක් ඒවා ත්‍රස්තවාදය යැයි කියා ගන්නා පිරිසක් තමුන් ප්‍රජාතන්ත්‍රවාදි යැයි කියා ගනිමින් ඒ රාමුම බිද දමමින් උත්සාහ කරන්නේ එල්ටීටීඊ හෝ ජවිපෙ තරම් ඉහළ නොගිය දේශපාලන අරමුණකින් බැහැරව පුද්ගල කේන්ද්‍රීය උවමනාවක් වෙනුවෙන් මේ රටේ ජීවිත කිහිපයක් බිලි දෙන්නටය.ඒ මිනී මතින් කතිර ඉල්ලා ගෙන කුක්කාත් මැක්කො ටිකත් රජ වෙන්නටය.අපුල එයමය.

නීතියට ගරුකරන්නා සහ බියවන්නා පැහැදිලිව හදුනා ගත හැකිය.බියවන්නා වැරදිකරුය.බලය අහිමි වේය යන්න නොසිතා වැරදි කළ වුන් නීතියට බිය ය.එහෙත් බලය නොව හෘද සාක්ෂියට අනුව කළ යුතු දේ මෙය යැයි සිතා යමක් කළ අය එය වරදක් යැයි කීව ද,තමන්ගේ හෘද සාක්ෂිය සමඟ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේය.ඇත්ත එබඳුය.

යුද්ධය වීරයෝ නිර්මාණය නොකරන බව යළි යළිත් මම කියමි.එසේ නිර්මාණය වන විරයන් පසෙකට වීරයන්ය.පසෙකට දුෂ්ඨයන්ය.පාටක්,ජාතියක්,ආගමක් නැතිව ලෝකයටම මඟ කියන දේ කරන්නෝ පමණක් වීරයෝ වෙති.මාක්ස්,ලෙනින් වීරයෝ වුව ඔවුන්ව ප්‍රදර්ශනය කරමින් ඒ යට සිට මොරතලන උන් වීරයෝ නොවන්නේ එබැවින්ය.වසර තිහක යුද්ධය විසින් ඉතිරි කළ වීරයන් බොහෝ පිරිසක් සොහොන් කොත්ය.ස්මාරකය.ඊට අමතරව වැඩිපුරම ඇත්තේ දොම්නසය.දුක් සුසුම්ය.ඔබ ඒවාට කැමති නම් අනෙක් ජාතියේ ආගමේ අයිතියේ තමන්ගේ සැරයටිය වැද්දුවාට කම් නැත.මට මගේ දරුවන්ට හෝ උන්ගේ දරුවන්ට අත් වන ඉරණම යුද්ධයේ ස්මරණ වීමේ වේදනාව කිරීමට මම අකමැති වෙමි.මට ජාතිය,ආගම අදාළ වන්නේ දේශයට පසුවයි.ඉතිං ඒ දේශයේ මොන ආගම මොන ජාතිය පිණුම් ගසන්නේද යන්න නොව සියල්ල එකාවන්ව සහජීවනයෙන් ජීවත් වන්නේ නම් සහ එකිනෙකාට ගරු කරන්නේනම් මට වැදගත් එපමණකි

14 comments:

  1. //යුද්ධය නිමා කර වසර හයකි.එහි ගෞරවය බෙදා ගන්නට පොර කන දේශපාලන හැතිකරයට එය නිමා වූවකි.මට එසේ නොසිතෙන්නේය.මුං හදන්නේ අපහු යුද්ධයකට රට තල්ලු කරන්නටය.උන්ට ගාණක් නැත.// ගාන ඇත්තේ බහුතරයක් වූ මෙරට සාමාන්‍ය වැසියන්ටය. උන්ගේ දරුමුණුපුරන්ටය. ඔබේ ලිපිය හිතට කාවදිනවා.ස්තුතියි

    ReplyDelete
  2. යුද්ධය වීරයන් නිර්මාණය කරයි. එහෙත් එය සාපේක්ෂ දෙයකි...

    ReplyDelete
  3. //එසේ නිර්මාණය වන විරයන් පසෙකට වීරයන්ය.පසෙකට දුෂ්ඨයන්ය.පාටක්,ජාතියක්,ආගමක් නැතිව ලෝකයටම මඟ කියන දේ කරන්නෝ පමණක් වීරයෝ වෙති.// මට හිතෙන්නෙ මෙහෙමයි.ඒ ඒකමද?

    ReplyDelete
  4. යුද්ධය වීරයන් නිර්මාණය නොකරයි මටත්,දැන් මේ දේවල් අතීතයට එකතු වෙලා ඉවරයි.නැවත යුද්දයක් ඇති නොවෙන්න ක්‍රියා කිරීමයි අප කල යුත්තේ.මේ දේවල් සැමරුවා ඇති.පරන තුවාල පාරන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
  5. මෝඩයින් සහ යුධ විරෝදීන් අතර බෙදීම සැමදා පවතිනු ඇත.

    ReplyDelete
  6. කාවෙක්ගේ පැමිණිල්ලක් !

    කඩදාසි පිච්චෙන දුමට ඇස් දන්න ගත්තා
    ඇතුලෙ පොත් රාක්කෙක මගේ පෙම්වතී උන්නා

    කාවන් පරපුරම මැරෙනවා දැක දැක
    මම උඩ ජනේලෙන් පැන්නා

    යාපනේ පොත්ගුලට ගිණි තියපු යකුණේ
    උඹල මොනවාද ආදරේ ගැන දන්නේ

    ReplyDelete
  7. ඔතන තියෙන පට්ටම ජෝක් එක තමයි යුද්ධය ඉවරයි කියන එක. ඒත් එකෙක්වත් දන්නේ නෑ යුද්ධේ ඉවර නෑ, කලේ මැඩපැවැත්වීමක් පමණයි කියලා. ඒකනේ උසාවී නියෝග ගේන්නේ සැමරුම් තහනම් කරලා. යුද්දය ඉවරනම් මක්කටෙයි තහනම් නියෝග.

    ReplyDelete
    Replies
    1. කාටද කියන්නෙ බං.

      Delete
  8. //යුද්ධය නිමා වන්නට බොහෝ කලකට පෙර සිටම ලේ පිපාසිත ආශ්වාදයක මා පැටලී නොසිටියෙමි//
    සමහරුන්ට දැන් ලේ ගලන යුද්දයක් නැතුව උනත් ලේ පිපාසය ඉවර වෙලා නෑ.. ඒ කාඩ්බෝඩ් වීර කමක්.. යුද්දෙ හැබැහින් දැක්ක අත්වින්ද ලේ කඳුළු දාඩිය අඳුනන උන් යුද්දෙකටවත් යුද ජයග්‍රහණ සමරණවටවත් කැමති නෑ. යුද්දය වගේම ඒ සැමරුමුත් එකක්වත් ඊට මහන්සිවෙන කැපවෙන ලේ හලන මැරෙන උන්ගේ උවමනාවල් නොවෙයි.

    ReplyDelete
  9. රට ගැන තිබෙන කළන මිතුදම දුටිමි ඔබේ සටහනෙන්

    ReplyDelete