Friday, July 15, 2016

දුටු තැන අල්ලනු සහ අල්ලන්නට බැරි තරම් අවුල

පහුගිය කාලේ අපේ රටේ තිබුනේ පහුගිය කාලේ විතරක් නෙවෙයි අද සහ මේ යන විදිහට ඉදිරියේ තවත් අවුරුදු ගණනාවක්ම තියෙන්නේ පුදුම මජර දේශපාලන ක්‍රමයක්නේ. අපි මේක එපා කියල අරක හොඳයි කියනවා, ඒක නරකයි කියල ආයේ මේක තෝරාගන්නවා.
--- මිනිසා කියන කෙනා බලාපොරොත්තු අත් නොහරිනා නිසා මේක නැත්නම් ඊලඟ එක හරියයි කියකියා ජීවත් වෙනව. කුණුවෙලා තියෙන සමාජයක් එකපාරටම ගොඩදාන්නත් බැහැ. මේ කුණුගොඩෙන් ගොඩ එන්න අපිට සෑහෙන කාලයක් යයි. මොකද එකම කට්ටියනේ මේ කැරකෙන්නේ. ""දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්නේ.""
--- පොදු ජනයා විදිහට අපිට තමයි එළවළු ගණන්. අපිට තමයි පාරෙ යන්න වාහන තදබදය. අපිට තමයි පාරට බැස්සහම බස් කෝච්චි නැත්තේ. සාමාන්‍ය මිනිහට තමයි ලැබෙන සොච්චම් පඩියෙන් ජීවත් වීමේ අරගලය තියෙන්නේ.
--- සමහරු තාම කියනවනේ අයියෝ මේ 'වෝකිං පාත්', 'හයි වේ', 'පෝර්ට් සිටි' හද හදා හිටපු ආණ්ඩුව එළවල, මුන් මොනාද කරන්නේ කියල. අපිට ඒවා විතරද ඕනේ? මම විශ්ව විද්‍යාල තුනක උගන්නනව. දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගත්තොත් මම ඒ අයගෙන් අහනව මොකක්ද අවසානයට කියවපු පොත් කියල. පොත් තියා පොතක් දැකලවත් නැහැ.
- Kaushalya Fernando -
නොබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කාගේ ‘ඔපෙරා වොන්යෝසි’ නමැති නාට්‍ය පිටපත ඇසුරින් කෞශල්‍යයා ප්‍රනාන්දු නිර්මාණය කළ 'දුටු තැන අල්ලනු් නාට්‍යයට පේරාදෙණිය වලේ දී ගල් ප්‍රහාර එල්ල වන්නට ප්‍රථම ඇය මුහුණු පොතේ තැබූ සටහනක මේ බව කියා තිබිණ.
කෞශි ලාංකේය වේදිකාව,පුංචි තිරය සහ සිනමාව යන ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ හොඳම නිළිය වීමේ භාග්‍යය ලත් තැනත්තියකි.ඇය සෝමලතා සුබසිංහගේ දියණියය.ඒ නිසා ඇය ඉදිරිපත් කරන හෝ දායකවන නිර්මාණයක ගුණාත්මකභාවය පිළිබද ඇයගේ උගත්කමේ සාධක නොගෙනාවට ඇයගේ භාවිතය විසින්,පවුල් පසුබිම විසින් ඇති කර තිබෙන සාධක ප්‍රමාණවත්ය.
වොලී සොයින්කා 1986 සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සම්මානයට පාත්‍ර වෙන්න පෙර 1977 දී නයිජීරියාවේ බොකාසා පාලනය විවේචනයට ලක් කරන්නයි මේක ලියලා තියෙන්නෙ.ඒ ඇති වී තියෙන මිනීමරු ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රහසනාත්මක විවේචනයක් විදිහට වොලී අතින් ලියැවෙන මේ පිටපත ඇසුරෙන් අනුවාදිත නාට්‍යය පේරාදෙනිය සරසවිය ඇතුළත දී බොකාසා පරපුරේ විවේචනයට ලක් වුණා ද යන්න විමසා බැලිය යුතුයි.
තව කාලයකින් මේ සමාජය පෙරමුණට රැගෙන යන්නට වගකීම පැවරී තිබෙන පිරිසනම් මේ ආකාරයට හැසිරෙන්නෙ අපේ රට ලෝකය ඉදිරියේ පසුපසින් තැබෙනු ඇතැයි සිතිම අරුමයක් ද?
"අප‍්‍රිකාවේ සිටි වඩාත් කෲරතම ඒකාධිපතියෙකි. මිනීමස් කෑම ගැනත්, තම සතුරන්ව සතුන්ට කෑමට සැලසූ බවටත් චෝදනා ලැබූවෙකි. 1979 දී බලයෙන් පහ කෙරෙන තෙක්, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ අධිරාජයා වශයෙන් තමන් විසින්ම ඔටුනු පළඳාගෙන සිටියේය. ඔහු දරුවන් 62 කු ජාතක කෙළේය. නැපෝලියන් බොනපාට් කෙනෙකු මෙන් ඔටුනු පැළඳීම සඳහා ඔහු වැය කළ මුදල, මුළු රටේම වසරක දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ය.’’
සරළව කිවහොත්, බොකාසා යනු, තමාගේ පුද්ගලික මනදොළ සපුරා ගැනීමට ගැළපෙන පරිදි, ආණ්ඩුකරණයේ පිළිගත් සෑම ප‍්‍රතිපදාවක්ම ඉවතලූ, දේශපාලනික උන්මත්තකයෙකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, බොහෝ කාලයකට ගොඩ ඒමට නොහැකි වන පරිද්දෙන් ඔහුගේ රටට වින කෙරූ අයෙකි."
ලන්ඩන් ගාඩියන් පුවත්පත කියූ බවට මේ සටහන කළඹ්ඹු ගාර්ඩියන් පුවත්පතෙනි.එසේනම් මේ පිරිස පෙනී සිටින්නේ සමස්ත නාට්‍යයේ අරුතට අනුව බොකාසාගේ සිස්ටම් එක අපහාසයට සහ උපහාසයට ලක් කිරීමට එරෙහිවය.ඒ වොලී සහ කෞශල්‍යයා ගැන හැදෑරීමේ දුර්වල කමක් නිසා සිදු වූවක් විය යුතුය.
විශ්ව විද්‍යාල සිසුන් එවැනි හැදෑරීමකින් තොරව සහ මූලික පදනමකින් තොර වීමම මට සිතෙන්නේ ඛේදවාචකයක් බවය.සිප ගැනීම් සහ මෙහි වීඩියෝවෙ එන රංගන ශිල්පිණියගේ සුන්දර දෙපය විඳ ගැනීම බොකාසා විරෝධයට වඩා වැදගත් සංස්කෘතික ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස ඔවුන්ට සිතීමම ගැටළුවක් නොවන්නේද?
මේ රටේ දේශපාලන ඛේදවාචකයමය.මීනීමස් බුඳින්,සිය කිරුළු පැළඳීම වෙනුවෙන් රටේ ආදායමම විනාශ කරන පාලකයෙක් නිර්මාණය කරන ක්‍රමවේදයකට තල්ලුවීමේ අවදානමට වඩා වැදගත් වන්නේ මේ සංස්කෘතික ආගමික මිත්‍යාව රැකීමය.ඒ තරමට ජනතාවගේ ඔළු කුහර පුළුල් නොවීම තුළ පටු විනාශකාරී පාලකයාගේ පැවත්ම පහසුය.ඒ නිසා මේ පොළව බොකාසා ලා පැටව් ගසන්නට තරම් කොදු නාරටි බිදුණු පටු හැඟීම්වලින් යුත් නිල උගතුන්ගේ පාරාදීසයක් වීමේ අවධානමට මුහුණ පා සිටියි.
දුටු තැන අල්ලනු නාට්‍යයට ගල් ගැසීම නාට්‍යකට ගල් ගැසීමක් නොවන පුළුල් ලෙස අපේ රටේ විශ්ව විද්‍යාල සිසුවාගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේ එබැවින්ය.මේ රටේ විශ්ව විද්‍යාල පරපුර ලෝකයේ අලුත් ප්‍රවනතා වැළඳ ගැනීම පසෙකලා අතීත කාමය වළඳන එ් අනුව සමාජ රාමුවේ හතර කොන සටහන් කිරීමේ අරගලයට පැමිණ දැන් බොහෝ කල්ය.ඒ නිසාම මේ රටේ උගතුන් යනු කාලයක සිට නිර්මාණය වන්නේ සහ උත්පාදනය වන්නේ ලෝකයට අභියෝග කිරීමේ දැණුම,නව ප්‍රවනතා සහ තාක්ෂණය සමඟ එක පෙළට සිට ගැනීම පසෙකලා ගුහාගත වීමේ අරගලය තුළ සිටි සාමාජික සාමාජිකාවන්ගෙන් වීම විශාල ඛේදවාචකයකි.
ඒ නිසා දේශපාලකයාගේ තීරණවලට හැසිරෙන එහෙයි කියන පාලකයාගේ සුවච කීකරු ගෝලයන් මිස රටේ නැඟී සිටීම වෙනුවෙන් දේශපාලන නායකත්වය සමඟ ලෝකයේ නව ප්‍රවනතා පිළිබදව අදහස් ඉදිරිපත් කරන පරිපාලන නිලධාරි ව්‍යහුයක් අපට කලකින් ලැබෙනු නැත.
මේ සමඟ දුටු තැන අල්ලනු නාට්‍යයේ වීඩියෝ දර්ශනයක් සහ සොයිනකෝ ගේ සහ බොකාසාගේ තොරතුරුවලට අදාළ ලින්කු ද ඉදිරිපත් කරමි.


5 comments:

  1. එකග වෙන්න පුළුවන් කියවීමක්.....

    ReplyDelete
  2. ඒ නිසා මේ පොළව බොකාසා ලා පැටව් ගසන්නට තරම් කොදු නාරටි බිදුණු පටු හැඟීම්වලින් යුත් නිල උගතුන්ගේ පාරාදීසයක් වීමේ අවධානමට මුහුණ පා සිටියි.
    ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. නිෂ්මං මේ නාට්‍යය නැරඹුවාද?
    මට නං දැනුනේ ස්පාඤ්ඤ පසුබිමක එකක් වගෙයි!

    ReplyDelete
  4. අාකෘතිය ඒ් අාකාරයට දැනෙනවා විය හැකියි.යටත්විජිතකරණය හෝ අධාර්මික ඒ්කාධිපති වියරු සිත් අැති නායකයන් දකුණු අැමෙරිකාවටත් පොදුයි.අාසියාවටත් ඒහෙමයි.ෙහොද කලා කෘතියකට දේශසීමා මායිම් නැහැ.
    සරලව හොර නඩයක් සහ හිගන නඩයක් අතර ගැටුම කියන කාරණයම ගන්න.
    ඒහි සමස්තයයි වටින්නෙ.පට්ටම වැඩක් නෙමෙයි.නමුත් ඒහි සමස්ත ෙදේශපාලනව ෙවෙනුවට කිස් ඒකක් අල්ලා ගැනීම ඊ ළඟ පියවෙරේ මේ රටේ පරිපාලනයට උර දෙන විද්වතුන්ගේ වර්ගපලය වීම සංකීර්ණ ගැටළුවක්.
    සොයින්කි ට මේ කෘතියට බර්ටෝල්ට් බ්‍රෙස්ට් ගේ the threepenny opera කියන නාට්‍යය පදනම් කර ගන්නවා.
    http://www.graeae.org/wp-content/uploads/2013/10/3PO-production-shot1.jpg
    මේ තියෙන්නෙ රසික ඊට අදාළ පිංතූරයක්

    ReplyDelete