Friday, September 30, 2016

.විග්නේෂ්වරන් පරාජය කිරීම සහ අමාත්‍යංශයේ ගුල්ලන් ජය ගැනීම

C.V.Vigneswaran_2.png (545×341) Sports-Minstry.jpg (800×500)

දකුණේ ජාතිවාදී කණ්ඩායම්වල අවශ්‍යයතාවය ඇති කරන පෙළඹවීම කිරීමේ කොන්ත්‍රාත්තුව පවරාගෙන ඇත්තේ උතුරේ මහ ඇමතිවරයාය.ඔහු උතුරේ ජනතාවගේ අවශ්‍යයතාවයන් පිළිබද අරගල කිරීම සැබෑ නියෝජිතත්ත්වය පෙන්වීමක් වුව ද,දෙමළ සංස්කෘතිය විසින් සිංහල සංස්කෘතියට උතුරේ ඉඩක් නොදෙන තරමට ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීම අනුමත කළ නොහැකිය.වෛරී ප්‍රකාශනයන් කිරීම නොකළ යුතුය.මෙවැනි දේශපාලනයන්ගේ සූත්තර නිසා තිස් වසරක යුද්ධයෙන් බැට කෑවේ උතුර පමණක් නොවේය.රටමය.නමුත් උතුරට අහිමි කළ තිබූ දේ යුද්ධයට හේතු වූවා සේම යුද්ධයෙන් උතුරට අහිමි වූ දේ දකුණට සාපේක්ෂව විශාල බව ද අප පිළිගත යුතුය.

විග්නේෂ්වරන් ගේ වෛරී ප්‍රතික්ෂේප කිරීම්වලට විරුද්ධ තත්ත්වයක සිටිය ද,උතුරේ මිනිසුන්ගේ අයිතීන් සුරක්ෂිත විය යුතුය යන මතය ප්‍රතික්ෂේප කළ නොහැකිය.ඔවුන්ගේ ඉඩකඩම් දේපළ යළි ඔවුන් වෙත ලබා දිය යුතුය.ඒවා හමුදා කඳවුරුවලට පැවරී තිබිය යුතු බවට ගෙනෙන මතය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ලැජ්ජාවට කරුණක් වන්නේ ඔහු හෝ ඇය නියෝජනය කරන මතවාදයටමය.අනුන්ගේ දේපළක් පිළිබදව එය වෙනත් පාර්ශවයක් සතුව තිබිය යුතු බව කියන්නට කෙනෙක් උත්සාහ කරන්නේනම්,එය වසර 30 අධික කාලයක් පැවති  යුද්ධයට අවශ්‍යය පරිසරය සකස් කළ ගෝත්‍රික දේශපාලනයේ පිළිබිඹුවක්මය.

මහින්ද රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කරන පරිදි යළිත් ජාතිවාදය උතුරේ හිස ඔසවන්නේනම් හෝ යුද්ධ බීතිය නැවත නැගෙන්නේනම් හෝ වරද කාගේ විය හැකිද?යුද්ධයෙන් ඉනික්බිති කොමිස් සමඟ උතුරට වැඩම කළ කොන්ක්‍රීට් පරිසර මිනිසුන්ගේ ආත්මීය සුවය වෙනුවෙන් සහ සංහදියාව පිළිබද තිබෙන අනවබෝධය දුරු කර විශ්වාසනීයත්වය තහවුරු කරන්නක් නොවුණේය.එය එසේ නොකිරීම වසර පහකට ආසන්න කාලයක් අතපසු කර අද කොරහෙ කිඹුල්ලු දකින්නට මහින්ද පාර්ශවය දරණ උත්සාහයට කියන්නට ඇත්තේ , හිරිකිතය.සිය මස්සිනා එල්ලී සිටින සාටකයේ අනිත් කොන දැන් විග්නේෂ්වරන් ද එල්ලී ඇති අතර වාසු - විග්නේෂවරන් මස්සිනාවරු සුසංයෝගය ඊ ළග තත්පරයේදී උතුරේ සහ දකුණේ ඇති වන්නට හැකි අනොන්‍යය සබඳතාවය වැළක්වීමට පිඹුරුපත් සකසමින් ඇත.ඒ සාමය,සහයෝගය හෝ මිත්‍රත්වය යනු දේශපාලනයට බාධාවක් වන බැවින්ය.විසදන්නටඅරගලයක්,ගැටුමක් නැති වූ විට විසඳන්නට දෙයක් පෙන්වා නොදී ප්‍රතිපත්තිමය කරුණු මත පදනම්ව දේශපාලනය කිරීම ලංකාවේ දේශපාලන සංදර්භය තුළ ජනප්‍රිය කරුණක් නොවන බැවින්,ජාතිවාදය,ආගම්වාදය වැනි ගෝත්‍රික තත්ත්වයන් මතු කළ හැකි පදනමක් උතුරේ හෝ දකුණේ පවත්වා ගැනීම මේ ආකාරයෙන් බලය නඩත්තු කිරීමට උත්සාහ කරන්නන්ගේ විලාසිතාවය.

නමුත් මේ සියල්ල උඩු-යටි කුරු කර යාපනය දොරේ අප්පා ක්‍රිඩාංගණයට ජාතික ක්‍රීඩා උළෙල සපැමිණ ඇත.උතුරේ සහ දකුණේ සියල්ලෝ එකට එක්ව තරඟ වදිමින් සිටිති.වෙඩිවලින් උතුරේ සමාජ ප්‍රශ්න නිහඩ කර දකුණේ විසිල්වලින් ජීවත් වූ ආණ්ඩුව ඇති කළ සාමය ඉදිරියේ වුව එය යථාර්තයට සමීප කළ හැකි ආසන්නම මඟක් ලෙස ක්‍රීඩාව කැපී පෙණුනි.

යුද්ධය සමයේ ද උතුරේ ක්‍රීඩාවට සුළු හෝ ගණු දෙනුවක් දකුණ හා තිබිණ.නමුත් සාමය පැමිණෙන විටම මේ සටහන් කරු සිය ක්‍රීඩා ප්‍රකාශනයන් හී වරින් වර කී දෙයක් තිබිණ.ඒ මලල ක්‍රීඩාවේ පනින්නන් සහ දුවන්නන් උතුරෙන් බිහිවන බවය.මේ මොහොත වන විටත් එය යථාර්තයක් වෙමින් ඇත.ඒ සඳහා උතුර දකුණ අතර නිර්මාණය වූ දැණුම් හුවමාරු පාළම ද සෑහෙන බලපෑමක් ඇති කර ඇත.එසේම වොලිබෝල්,කබඩි සහ පාපන්දු ක්‍රීඩාවෙන්ද රටට අවශ්‍යය ක්‍රීඩක සම්පත් යාපනයෙන් සොයා ගැනීම අපහසු නොවනු ඇත.

උතුර ක්‍රීඩාවට දක්වන ආදරය සහ උනන්දුව කෙතරම් ද යන්න යුද්ධය නිමා වූ වහාම එහි පැවත් වූ නෙස්ටමෝල්ට් මැරතන් තරඟයෙන් පැහැදිළි කර ගැනීමට හැකිය.සහභාගි වූ ප්‍රමාණය 7000 ට ආසන්න විය.පළමු ආරම්භය වැරදියට ලබා ගෙන ඔවුන් කිලෝ මීටර් ගණනක්  දුව ගොස් නැවත කැදවා ගෙන පැමිණියේය.එහෙත් යළිත් බොහෝ උනන්දුවෙන් ඒ සියල්ලෝම නැවත දිව ගියහ.

ඉතාමත් ක්‍රියාකාරී දුෂ්කර ජීවිතයක් ගෙවන යාපනය මිනිසුන්ගේ ස්වභාවික ජීවන හැසිරීමේ වින්දනාතිමක කොටස ක්‍රීඩාවය.එය ජාතික වශයෙන් අප අවබෝධ කර ගත යුතුය.ඒ සංහදීයාව පිළිබද දේශපාලන කථිකාව හෘදයාංගම උවමනාවකින් මතු වන්නේනම් පමණි.ඒ නිසාම ජාතික ක්‍රීඩා උළෙල පිළිබඳව වචනයක්වත් නො'පවසා එහි සාර්ථකත්වය වළක්වන්නට විග්නේෂ්වරන් ක්‍රීඩා උළෙල ආසන්නයේ උතුරේ හර්තාලයක් පිටුපස සිට ගත්තේ ක්‍රීඩාවේ වින්දනාත්මක ප්‍රවේශය වළක්වන්නට ස්වීය දේශපාලන උවමනාවට නොහැකි බව දන්නා නිසාය.නමුත් විග්නේෂ්වරන් ඒ මොහොතේ උඩ ගොස් තිබෙන බව පෙණුනද,එය පදනම් කරමින් දකුණේ දේශපාලන ජාතිවාදය උස් හඪින් බෙරිහන් දෙන්නට පටන් ගත්තද,ඊයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් මීටර් 3.41 ක් රිටත් සමඟ ඉහළ ගිය ඇනීටා ජෙගදීස්වරන්, විග්නේෂ්වරන් පහළට වැට්ටුවේය.දකුණේ දේශපාලනයේ ජාතිවාදී හඬවල් තව දුරටත් ඇනීටා වෙනුවෙන් නැඟෙන ඔල්වරසන් හඬ අස්සේ නෑසී යනු ඇත.

නමුත් උතුරට ගිය මෙම ක්‍රීඩා උළෙලේ උතුරට ලැබුණු දේ මොනවාද යන්න අප සොයා බැලිය යුතුය.මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයම වාගේ උතුරේය.ජාතික ක්‍රීඩා උළෙල කරන විට මුළු අමාත්‍යංශයම උතුරට යා යුතුද?අත්‍යවශ්‍ය සේවා අධීක්ෂකයන් පිරිසක් පමණක් යොදවා උතුරු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් පිරිස හරහා මේ කටයුතු කළ හැකිව තිබිණ.නමුත් ඒ තත්ත්වය වෙනුවට ක්‍රීඩා උළෙලද උතුරේ ජනතාවගේ නිවාස සහ ඉඩම් අල්ලාගෙන හමුදා කඳවුරු බැඳ සිටින තත්ත්වයට පත් වී ඇත.කොළඹ ප්‍රජාව ක්‍රීඩා උළෙලේ සමස්ත පරිපාලනය අතට ගෙන තිබේ.

කොඩි කණුව පවා ජාතික ක්‍රීඩා උළෙලකට යන්නේ කොළඹ සිටය.එසේ යන කුලී ලොරි රථ කොඩි කණු බා එහි රඳවා ගන්නට නොහැකිය.යළි පැමිණිය යුතුය.එහෙත් යළිත් ඒවා ගෙන එන්නට ද ක්‍රීඩා උළෙල පැවත්වෙන ප්‍රදේශයේ වාහනයක් සොයා ගන්නේ නැත.නැවත වාහනය ඒ වෙනුවෙන් කොළඹ සිට යන්නේත් කොඩි කණු පටවාගෙන කොළඹ පැමිණෙන්නේත් සල්ලිවලටය.

මේ එකතුව බැලූ විට අවශ්‍යය කොඩි කණු ප්‍රමාණ්‍ය උතුරු පළාත් සභාවට කුලියට ගැනීමට පැවරුවද යන වියදමට වඩා බෙහෙවින් වැඩි එකක්ය.යන නිලධාරි සහ සේවක නඩය සියයට 50 න් අඩු කළ විට ඉතිරි විය හැකි මුදල කොපමණ ද?මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිලධාරීන් සතියට කී වතාවක් කොපමණ කාලයක් යාපනයේ ගොස් ඇත් ද?නමුත් අවශ්‍යය උපදෙස් ලබා දී ගෙවීම් ද කර නිලධාරි කිහිප දෙනෙක් යාපනයේ රැදෙව්වේනම් මේ කාලය තුළ ඔවුන් කාලය කළමණාකරනය කර ගනිමින් වැඩ කරනවා ඇත.

උළෙල අවසානයේ ක්‍රීඩා අමාත්‍යංශය නිලධාරීන් වෙනුවෙන් මේ ක්‍රීඩා උළෙල සංවිධානයේ දී යාපනයට යාම් -ඒම් සඳහා ගෙවා ඇති මුදල් ඉන්ධන වියදම් ද සමඟ ගණන් බැලිය යුතුය.නවාතැන් සඳහා කොපමණ වියදමක් දරා ඇත් ද?ක්‍රීඩා උළෙලට යාපනයට ගිය පිරිස් වෙනුවෙන් දරා ඇති නවා තැන් වියදම් කොපමණ ද?මේ වැය කරන්නේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් පහසුකම් ලබා දීමට යෙදිය යුතු මුදලයි.

බොහෝ විට විදෙස් සංචාරවලදී යන වියදම ගැන කතා කරන්නට ඉදිරිපත් වන කිසිවෙක් වසරක් පාසා මේ සිඳුවන නාස්තිය ගැන කතා නොකරයි.විදේශ සංචාරවලදී සීමිත පිරිසකට අවස්ථාව ලැබීම නිසා ඇති වන විරෝධය සහ වෛරය සමඟ එල්ලවන විවේචන ජාතික ක්‍රීඩා  උළෙල වෙනුවෙන් ඇති නොවීම ඛේදයකි.වසර හතරකට වරක් එන ඔලිම්පික් සදහා වන විවේචන තරමටම අවුරුද්දක් පුරා ඇති වන මේ විනාශකාරී වියදම ද නැවත්විය යුතුය.

පෞද්ගලිකව අදහස් දක්වන්නේනම් මේ ආකාරයට ක්‍රීඩා උළෙල කොළඹින් පිටට ගෙන යාම ම බොරු වැඩකි.නමුත් මේ මොහොතේ කොළඹ තිබෙන කෘතිම ධාවන පථවල තත්ත්වය ද අවුල් බැවින් ද,යාපනයේ පැවත්වීම ජාතික සංහදීයාවට පාර කැපීමක් ද වන බැවින් ද මෙයට එකඟ විය හැකිය.නැතිනම් වසර හතරකට වරක් කොළඹින් පිටට ක්‍රීඩා උළෙල ගෙන යාම සැළසුම් කර ඒ පවත්වන ප්‍රදේශයට කෘතිම ධාවන පථයක් ලබා දීමට කටයුතු කළ යුතුය.ඒ කොළඹ පැවත්වීමෙන් ඉතිරි කර ගත හැකි මුදලින්ය.ජාතීන් අතර ආගම් අතර සංහදීයාව සකස්කරන අතරම මේ ක්‍රීඩා උළෙලවල් ජාතික පරිපාලනය සහ පළාත් සභා පරිපාලනය අතර සංහදියාව සකසා ගැනීම සඳහා ද යොදා ගත හැකිය.එවිට බටා,ගමන් වියදම්,නවාතැන් වියදම්,ඉන්ධන වියදම් ලෙස අඩු වන මුදල් ප්‍රමාණය ක්‍රීඩා සංවර්ධනයේ වඩාත් ප්‍රායෝගික අවශ්‍යයතාවයක් වෙනුවෙන් යොදා ගත හැකිය.

එසේ නොවන තාක් ක්‍රීඩා අමාත්‍යංශය යකඩවලටත් ගුල්ලන් ගසන තත්ත්වයට ප්‍රදර්ශනය වීම වළක්වනු නොහැකිය.

No comments:

Post a Comment