Saturday, November 8, 2014

රටක් වටින දරුවො


මේ සටහන බ්ලොග් එක වෙනුවෙන් ලියූ ‍දෙයක් නොවන බව කිව යුතුයි.මෙය නොවැම්බර් -8 නිකුත්වන 'සිළුමිණ'පුවත්පතේ පළවන ලිපියක්.මේ දරුවන් තිදෙනා ගැන බ්ලොග්වාසීන්ගේද අවධානය යොමු කළ යුතු බව සිතුණ නිසා මේ සටහන ඒ ආකාරයෙන්ම බ්ලොග් එකට කැදවා ඒමට තීරණය කළා.කියවා බලන්න.කැමති අයට මේ දරුවන්ට කතා කර තමන්ට හැකි විදිහට උපකාරයක් කරන්නත් පුළුවන්.                                                                                             

»
»
»
»
»
»
»



ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ
නෙත්මි නිසංසා ද සිල්වා විජේසිංහ ලකුණු 193 - 2009 වසරේ දිවයිනේ දෙවන ස්ථානය
රිසිනු පේෂ්ර ද සිල්වා විජේසිංහ ලකුණු 189 - 2011 වසරේ දිවයිනේ සත්වන ස්ථානය
නිහිදු නේෂර ද සිල්වා විජේසිංහ ලකුණු 196 - 2014 වසරේ දිවයිනේ සිව්වන ස්ථානය

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව තරගය ලංකාවේ විශාලතම අධ්‍යාපනික තරගය වී ඇති වට පිටාවක එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් මෙසේ ප්‍රතිපල ලැබීම අසිරිමත් සිදුවීමකි.එය වඩාත් අපූරු සිදුවීම් පෙළකින් වූ ජයග්‍රහණ බවට පත් වෙන්නේ ඒ පවුලේ යථාර්තයට එබී බැලීමේදීය.

රත්මලානේ පිහිටි ලංකාවේ ප්‍රධානතම බිස්කට් නිෂ්පාදනායතනයක සේවය කළ මේ දරු තිදෙනාගේ පියා වන සුසන්ත ද සිල්වා විජේසිංහ රැකියාව තිබියදී සිය දරුවන්ට උපරිම සැප සම්පත් ලබා දෙන්නට සිහින මැව්වේය.ඒ නිසාම නිසංසා සහ රිසිනු ට ඉංග්‍රිසියෙන් අධ්‍යාපනය ලබා දීමට සිතූ සුසන්ත මේ දෙදෙනාව පළමු වරට ඇතුළත් කරන්නේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලටය.නමුත් වැඩ වර්ජනයක් හේතුවෙන් රැකියාව අහිමි වීමත් සමග සුසන්තගේ ඒ සිහින සියල්ල බිදී වැටෙන්නේය.විශේෂයෙන් නිසංසා ගේ හිත අහළකවත් නොතිබි ශිෂ්‍යත්ව කඩ ඉම ඇය ඉදිරියට වැටෙන විට ශිෂ්‍යත්වයට මුහුණ දීමට තිබුණේ වසරකටත් අඩු කාලයකි.

ලීඩ්ස් හී ඉංග්‍රිසි අධ්‍යාපනය ද සමග ජීවිතයෙ එතෙක් විදි සුඛ විහරණ අහිමිව යන නිසංසාගේ අලුත් විද්‍යාස්ථානය වූයේ ඒ වන විට වැසී යාමේ තර්ජනයකට මුහුණ දී සිටි කුළුපන තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලය විය.දෙමව්පියන්ගේ දිරියත් සමග පාසල රැක ගැනීම උදෙසා යහපත් ප්‍රතිපල ලබා දීමට තිබූ ගුරු උනන්දුවත් සමග නිසංසා ඒ වසරේ මහා විප්ලවයක් කළේ ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි තැනට පත් වෙමින්ය.එහි වැඩි බරක් සිය උර මතට ගත් අනෝමා ශිරානි,මවක් ලෙස නිසංසාගේ සෙවණැල්ල සේ රැදී උන්නාය.

‘ස්කෝලෙන් මහන්සි වෙලා ඉගැන්නුවා.ඒත් දරුවො තුන් දෙනාම පිටි පස්සෙ හිටිය ලොකුම හයිය අම්මා තමයි.’

දරුවන් තිදෙනා මවුපියන් සමඟින්
සුසන්තගේ දෙඇස කදුළෙන් තෙත් වන්නේ සිය දරුවන්ගේ ශක්තිය පිළිබදව උපන් ගෞරවයෙන් වගේම සිය බිරිද පිළිබදව ඇති වූ මහත් ගෞරවය ද හේතු කර ගෙනය.

‘මට විද්‍යා - ගණිත ගුරු පත්වීමක් ලැබෙන්න නියමිතව තිබුණා.නමත් ලිස්ට් එකේ තිබිලා දේශපාලන හේතු මත කැපිලා ගියා.’

අනෝමා ද 80 දශකයේ ඛේදණීය මතකය අවදි කළේ කදුළින් තෙතැති ඇස් සමගය.

‘මමත් බලපිටියෙ ඉදලා කොළඹ ආනන්ද බාලිකාවට ආවෙ ශිෂ්‍යත්වය සමත් වෙලා.මගේ දරුවොත් කවද හරි එහෙම කරයි කියලා මම හීන දැක්කා.ඒත් මහත්තයට ඕනෑ වුණේ ළමයින්ට ඉංග්‍රිසි අධ්‍යාපනය ලබා දෙන්න.කොහොම හරි අන්තිමට දෛවය විසින් කරපු සරදමකින් හරි මගේ හීනයට උපරිම ආශිර්වාදය ලැබුණා.තුන් දෙනාම ඉහළම ප්‍රතිපල පෙන්නලා ලංකාවෙ තියෙන හොදම කාන්තා සහ පිරිමි පාසල් වලට කරදරයකින් තොරව ඇතුල් වෙන්න සුදුසුකම් ලබා ගත්තා.’

එහෙත් එම සිහින වලට තවත් සිහින එකතු වෙමින් ඇත.ඒ දරුවන්ගේ සිහින ද සමගය.වෛද්‍යවරියක් වීම නිසංසාගේ සිහිනය ය.රිසිනු ට අවශ්‍යය මෘදුකාංග ඉංජිනේරුවෙක් වන්නටය.මෙවර ශිෂ්‍යත්ව කඩඉම පැන්න නිහිදු ගේ අධ්‍යාපනයේ අවසන් පිම්ම වෛද්‍යවරයෙක් වීමෙන් නිමා කරන්නට සිහින දකින්නේය.
‘ලොකු දරුවො දෙන්න දවසට පැය හතරක් බස් වල.එක්කෙනෙක්ට දවසට බස් ගාස්තුව රුපියල් සීයක් වෙනවා.’
සුසන්ත දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් විදින දුක් ගැහැට පවසන්නේ වර්ථමානයේ පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිය දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා අසීරු උත්සාහය ද පෙන්වා දෙමින්ය.

‘අම්මා නැගිටින්නෙ උදේ දෙකට විතර.’

එ වෙනුවෙන් දෙමව්පියන් දරන මහන්සිය පිටවෙන්නේ රිසිනුගේ වචන වලින්ය.

‘මම ගණිතය,විද්‍යාව සහ සෞඛ්‍ය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නෙ.මුල් කාලයෙ ලීඩ්ස් වලදී ඉංග්‍රිසි දැණුමේ මූලික දේවල් ඉගෙන ගත්තු එක මට ලොකු ශක්තියක් ඒකට.නමුත් මේ විෂයන් වලට හොද පොත පත සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් උපකාරක පංති වගෙ දේවල් හොයා ගැනීමත් අසීරුයි.’
නිසංසා පැහැදිලි කරන්නීය.

‘ඒවට ලොකු වියදමක් යනවා.දුව මහන්සි වෙලා ඉංග්‍රිසියට පෙරළා ගන්නවා.ඉංග්‍රිසියෙන් ඉගෙන ගන්න දේ වලටත් අපි එයාව පංති අරින්නෙ සිංහල මාධ්‍යයෙන් උගන්නන තැනකට.’

නිසංසාගේ අසීරුතාවය පැහැදිළි කරන්නී අනෝමා ය.

මේ වන විට දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් කුළුපන තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලයට ආසන්නව වන කුලී නිවෙසකට වී මේ දුෂ්කරතා විදින සුසන්තලාගේ පවුලට දැන් තව දුරටත් තක්ෂිලාවෙන් දරුවන්ට ලැබෙන ඥානාලෝකය වෙනුවෙන් එහි රැදෙන්නට අනවැසිය.ඒ තිදෙනාම එයින් ශිෂ්‍යත්වය සමත්ව අවසන් බැවින්ය.

‘අයියා හෙම ගොඩක් මහන්සිවෙලා එන්නෙ.ඒ නිසා මට රෝයල් යන්න බයයි.මට ගොඩක් මහන්සි වෙලා ඉගැන්නුව ස්කොලෙ චන්ද්‍රලාල් පෙරේරා ස්රුත් කියන්නෙ අයිය වගේ රෝයල් යන්න කියලා.මාත් ආසයි.ඒත්....’

පුංචි නිහිදුගේ ඇස් වල ප්‍රශ්නාර්ථයකි.

‘ස්කෝලෙ කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න තියෙනවනම් අයියටයි අක්කටයි මටයි තුන් දෙනාටම එකට ඉගෙන ගන්න පුළුවන්’

පවුලේ බඩ පිස්සා වන නිහිදු, පවුල සමගම රැදී ඉන්නට ඇති උවමනාවද පැහැදිළි කරමින් පවසන්නේය.

‘බාහිර කිසි දෙයක් කරන්න අමාරුයි.ආෆ්ටර් ස්කූල් ඉන්න බැහැනෙ.’

දැනටත් පාරට පැය හතරක් ගෙවෙන ජීවිතයේ දුෂ්කරතාවය සිහියට නගමින් පවසන්නේ රිසිනුය.

‘ඒත් කොහොම හරි ටෙනිස් ප්ලේ කරන්න තියෙනවනම් කියලා හිතෙනවා.ඒත් රැකට් එකක් වුණත් හරි ගණන්නෙ.’

රිසිනු තමන් දකින සිහිනය සැබෑ කර ගන්නට ඇවැසි බාධකය පෙන්වා දෙන්නේය.

‘ඔහොම කිව්වට මේ අය ඒවා ඉල්ලල කරදර කරන්නෙ නැහැ.පුදුම දරා ගැනීමේ ශක්තියක් තියෙන දරුවො.බිස්කට් එකක් කාලා දවසක් ඉදියි.බඩගිණියි කියලවත් අඩන කරදර කරන අය නෙමෙයි.’

සිය දරුවන් කෙරෙහි උපන් ගෞරවය සහ සෙනෙහස සුසන්තගෙ දෙනෙත් යළි යළිත් තෙත් කරන්නේය.

‘ගොඩක් පහසුකම් තියෙන අය ඉන්නවා.ඒත් ඒව නැහැ කියලා මම මොකටද පසුතැවෙන්නෙ.මම ඉගෙන ගත්තොත් හොදට ඒව ලැබෙයි.’

රාජකීය විද්‍යාලය සහ විශාඛා විද්‍යාලය වටා බැදෙන සමාජ පරිසරය තුළ සිය භෞතික අඩු පාඩු ගැටළුවක් කර නොගන්නා බව රසිනු මෙන්ම නිසංසා ද පෙන්වා දෙන්නේ සුසන්තගේ වචන යථාර්තයක් කරමින්ය..

‘අපේ හැකියාවට ගුරු මණ්ඩලයෙන් වගේම යාළුවන්ගෙනුත් හොද සැළකිල්ලක් ලැබෙනවා.’

්ඔවුන්ට ඇති'. ‘හැකි කම’ ගැන මහත් විශ්වාසයෙන් සහ ප්‍රමෝදයෙන් යුතුව ඔව්හූ පවසති.

‘අපේ උපන්ගම හොරණවත් කළුතරවත් නෙවෙන නිසා ද දන්නෙ නැහැ.කවුරුවත් දේශපාලනඥයො මේ දරුවන්ගෙ ජයග්‍රහණ ගැන උනන්දුවෙන් බැලුවෙ නැහැ.’

මේ හැකියාව රටම ආලෝක කළ හැකි අනාගතයක පෙරමග ලකුණුව තිබියදීත් කළුතර දිස්ත්‍රික්කයේ සිටින ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේත් දැවැන්ත දේශපාලන චරිත කිසිවක් මේ දරුවන්ගේ අනාගතය ගැන වගකීමට ඉදිරිපත් නොවීම පිලිබදව සුසන්තලා එසේ පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ජයග්‍රහණ වලදී දේශපාලනඥයන් කරළියට ඒම සාමාන්‍ය සිරිතක්ව තිබෙන බැවින් විය යුතුය.

‘ප්‍රශ්න දිහා මේ දරුවො බලන්නෙ වෙන විදිහකට.’

අනෝමා සිය දරුවන් පිළිබද ආඩම්බරය යළිත් වචන වලට පෙරලන්නේය.

‘මහත්තයාගේ රස්සාව නැති වුණාට පස්සෙ දරුවො බෙහෙත් ගන්න අරං ගිහිං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ පෝලිමේ පැය ගාණක් තියං ඉන්නවා.එතකොට දුව අහනවා අම්මෙ මමත් දොස්තර කෙනෙක් වුනොත් මෙහෙම අමාරු අයට ගොඩක් උදව් කරන්න පුළුවන් නේද කියලා.’

අනෝමාගේ වචනවල රැදී ඇති ආඩම්බරය සහ වේදනාව...

‘මේ ළමයින්ට කැපකරු මාපිය ක්‍රමයට හරි කවුරුහරි උදව් කරනවනම්; මගෙ දරුවො තුන්දෙනා රටට ආද‍රේ කරන දරුවො.එයාලා අනාගතයෙ රටට වැඩදායක දෙයක් කරයි.’

එය කා අතින් හෝ විය යුතු වගකීමක් කොට අනෝමා නොසිතන්නීය.

‘අපේ දරුවන්ගෙ වගකීම අපි දරන්න ඕනි.ඒක කාගෙවත් වැඩක් නෙමෙයි.ඒත් මේ දරුවො රටට වැඩක් කරන දක්ෂ දරුවො.ඒ ගැන හිතල එක්කෙනෙක්ට හරි කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් වෙනවනම් අපිට පහසු නිසයි එහෙම කිව්වෙ.’

අනෝමා ඉකිගැසීම ආසන්නයේ සිය වචන ගිල ගන්නේය.

‘මට ගොඩක් සංතෝශයි.මම නිසා තමයි මල්ලිලා විභාගයට ඔය තරම් හොදින් මුහුණ දෙන්න සූදානම් වුණේ.ලොකු මල්ලි ශිෂ්‍යත්වය කරන කාලෙ මම හිටියෙ හොස්ටල්.පොඩි එක්කෙනාටනම් මම පාඩම් හෙම කියා දීලා උදව් කළා.ඒ අය හරි හොදයි.රණ්ඩු වෙන්නෙ නැතිව මම කියන දේවල් අහගෙන ඉන්නවා.’

රට කතා කරන මාතෘකාවක් බවට සිය පවුල පත් කිරීමට පුරෝගාමීත්වය ගත් නිසංසා පවසන්නීය.වචනයකින් වචනයකට පිවිසීමට පවා බොහෝ වෙලාවක් ගන්නා නිසංසාගේ මුවින් අනවශ්‍යය වචනයක් හෝ පිට නොවන්නීය.

‘අමාරුකම් තියෙනවා.ඒ වුණාට අපි තියෙන විදිහට ඉගෙන ගන්නවා.භාහිර දේවල් කරන්න ගිහිං අම්මටයි තාත්තටයි කරදර කරන්න යන්නෙ නැහැ.එයාලගෙ හැම දෙයක්ම අපි වෙනුවෙන් කැප කරනවා.අපිට ඕනි ඒකට හරි යන්න හොදට ඉගෙන ගෙන අම්මටයි තාත්තටයි සළකන්න.’

රිසිනු තමන්ගේ අවසාන අධ්‍යාපන ඉලක්කය ජය ගැනීමෙන් පසුව කරන්නට සිතා සිටින දේ පැහැදිළි කරයි.ඒ තිදෙනාගේම සිහිනය බව නිහිදු සහ නිසංසා ද අවධාරණය කරන්නේය.

‘රටක් වටින දරුවො තුන් දෙනෙක්!’

පිටත් වන්නට වාහනයට ගොඩ වී මද වේලාවකට පසුව ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මමත් එකිනෙකාට කියා ගතිමු.ඒ වටිනාකම ආලෝකමත් කළ හැකි ශක්තියක් ඇත්තෙකුට, මේ වටිනා දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට සරණක් වන්නට හැකිය.කුළුපන තක්ෂිලා කණිෂ්ඨයට හූවක දුරින් ඇති මේ දරුවන්ගෙ කුලී කැදැල්ලේ යොමුව ‘පාලි සෙවණ'.කුළුපන, හොරණ ය.දුරකථනයෙන් සුසන්තව සම්බන්ධ කර ගන්නේනම් 0713 429252 දුරකථන අංකය හරහා තොරතොරු දැන ගැනීමට හැකිය.

13 comments:

  1. අනිවාර්යයෙන් උදව් කළ යුතුමයි.. මේක ළොක්කා දැක්කා නම් මුකුත් ඕන නෑ.. අර මනුස්සයට ස්ථිර රැකියාවක් දෙන්න පුළුවන් නම් ළොකු දෙයක්.. බ්ලොග් බලන උන් නම් අනිවාර්යයෙන් උදව් කරයි..

    ReplyDelete
    Replies
    1. ඒක එතනට ගිහිං විදින කොට මට දරා ගන්න බැරි දුකක් ආවා මචං.මට මතක් වුණේ මගේ කොල්ලව.(උඹ දැකලා තියෙනවනෙ) උට ඉගෙන ගන්න බැරි එක ගැන කම්පා වෙන තරමටම මුන්ට ඉගෙන ගන්න පුළුළුන්කම තියෙද්දි ඒකට අත දෙන්න කවුරුත් නැති එක ගැන දැණුන කම්පාවත් ඒ හා සමානයි

      Delete
    2. මචං රෝයල් එකේ මොනව හරි වැඩක් බලන්න පුළුවන්නම් බලපං.මම ලොකු කොල්ලගෙ ටෙනිස් හීනෙට මැක්ස්වෙල්ට කතා කළා.එයා රැකට් එකක් අරං දෙන්නම් ළමයට කතා කරන්න කිව්වා

      Delete
  2. නිශ්මචං

    අනිවාර්යයෙන් ම මේ පණිවුඩය මාධ්‍ය වලට ගෙන ගිහින් සහයෝගයක් දෙන්න ඕනේ... මාධ්‍ය වල වෙන මගුල් කරන්නැතුව මේවා තමයි කරන්න ඕනේ... ආණ්ඩුවෙන් හරි උතුරු පළාත් සභාවෙන් හරි අනිවා වැඩේ කරයි... මේ දවස් වල එයාලා ළමයි හොයනවා...............

    ReplyDelete
    Replies
    1. කොහෙං හරි වෙන්න ඕනි මචං.සල්ලි නැතත් පොත් ටිකක් ගන්න විභාගෙට ඉස්සර වෙලා කතා කරල මොනව හරි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක ලොකු දෙයක්.කෙල්ල මේ අවුරුද්දෙ ඕ ලෙවල්නෙ

      Delete
  3. ලොක්කා මොනා හරි කරාවි.. මචං නිශී.. මේ සමාජයේ මිනිස්සු අමාරුවේ දාන්නේ අපිමයි.. කව්රු හරි අමාරු අය කියල ගෙනැත් බස්සනවා. ටික දවසකින් සද්දේ වැඩි වෙලා ආධාර ටිකක් ලැබෙනවා. ඊට පස්සේ ඒ අයත් ආධාර වලින් යැපෙ න්න හුරු වෙනවා.. ටික දවසකින් ඔක්කෝම අමතක වෙලා ආධාර ත් අමතක වෙනවා. ඒත් ආධාර හුරුව තියෙනවා. ඒක නිසා ආයිමත් පත්තර මාමල ගාවට ඇවිත් අඩනවා.. මචං බහුතරයක් මිනිස්සු දුකින් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒක හරිම පොදු දෙයක්. මොනා හරි කරනවං ඒ ළමයි ගගනේ ගොඩ වෙනකම්ම කරන්න ඕන. සිහින දීල බාගෙට දකිද්දි අතැරල දානවට වඩා.. මට මේ වගේ සීන් ඒ තරං වදින්නේ නැත්තේ මම නරුමයෙක් නිසාද දන්නෑ. ඒත් බං අපි දකින සමාජයේ දහයෙන් හයක් හෝ හතක්ම ඔය තත්වය.. උඹට තේරෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. 'මොනා හරි කරනවං ඒ ළමයි ගගනේ ගොඩ වෙනකම්ම කරන්න ඕන. '

      මේක තමයි ඇත්ත.ඒකට හොදම දේ උපයන්න මාර්ගයක් වැඩිහිටියන්ට හදල දෙන එක.බොහොම වගකීමෙන් ඒක දරන්න දෙගුරුන්ට බල කළ යුතුයි.දරුවන්ට ඔය තරම් හොද මග පෙන්වීමක් කරන්න පුළුවන් අම්මා කෙනෙක්ටයි තාත්තා කෙනෙක්ටයි ඒ දේ කරන්න බැරි වෙන එකක් නැහැ.

      Delete
  4. රටටම වාසනාවන්

    ReplyDelete
  5. මේ වැඩිහිටියෝ දෙන්නට හොඳ ආදායම් මාර්ගයක් හදා දෙන්න පුලුවන්නම් එක තමයි මම හිතන විදියට කරන්න පුළුවන් හොඳම ලොකුම උදව්ව.

    ReplyDelete
  6. මේ වගේ දේවල් වලදි හිතින් හඬා වැටෙනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ බං මට. තාත්තාට ස්ථිර ආදායම් මාර්ගයක් හදලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. කාට කියලා කියන්නද...පෞද්ගලිකව හරිම මානසික අපහසුතාවයකට පත්වෙනවා. මාත් ඔහොමයි ශිෂ්‍යත්ව පාස් වෙලා රෝයල් ගිය කාලේ. මචෝ...මම තාමත් බිල් ගෙවලා අමාරුවෙන් දුවන එකෙක්, රට එංගලන්තේ වුනාට කතාව ඕකයි. මම හැකි විදිහට උදව්වක් කරන්නම්. උඹට තේරෙනවා ඇති මාව.

    ReplyDelete
    Replies
    1. මම දනිමි.කළ හැකි අයුරෙන් හැමදෙයක්ම කරන බව ද දනිමි.එයට වෙනත් උදාහරණ කුමටද?මා සතුවම ඇත.

      Delete