Thursday, January 15, 2015

පුතුට

සීතලක් තිබුණේම නැති
දහවලක් වාගේ
ඉර රවා ගෙන
පහර දෙන
ජීවිතය ඉරි තැලුණු
නියං බිමකට සමව
ඇස් වලින් වැටෙන්නට
පොර බදින කදුළු හංගන
පිරිවර සපිැරුනද
තනි වුණු හැගුම් පොකුරක
මිය ගියපු පැතුම් රහසෙම
හිනා වෙන්නට දකින
හීන කප්පරක් පොදි බැද
උහුලන්න බැරි තරම
විදවනා ජීවිතය
ඇසිල්ලක පිපිරෙන
අකුණු සැරයක් වගේ
දෙතොල් පෙති මැද්දට
පනින පොඩි හිනාවට
කිති කවන්නට ඉතිං
පුතේ නුඹ නැති කමට
වාන් දහසක් බැදන්
ඇස් වලින් පිට දාන
කදුළු හංගපු බැම්ම
දෙදරලා ගියා අද
මහ හඩින් කෑ ගසා
සිප ගන්න නුඹේ මුව
ගව් ගණන් දුර ගිහින්
රාත්‍රිය දිගුය මට
මුනින් වැටි ම'පිට මත
බරක් නොව පැටවුණේ
නුඹේ ආදරයෙ රග
තුරුල්ලට තුරුළුවෙන
ඇසිල්ලක් නොවේ පුත
ජීවිතය හරි දිගයි
පළල නොමැනිය හැකියි
නැති කමට දිගු කරන
අතක් හරි හිරිකිතයි
ආදරේ විතරක්ම
එහි තබන අය අඩුයි
සරණ ඉල්ලන විටදි
මිතුරුකම් අසරණයි
සොදුරු හැගුමක් දිගේ
යනෙන දුර හරි කෙටියි
ඉතිං පොළවත් එක්ක
හැප්පෙන්න ඉගෙනගෙන
මගේ දිවි මාවතේ
මග හැරුණු ලකුණු ටික
ඉගෙන ගෙන නුඹ වරෙං
හිස්ම හිස් ඇස් වලට
බලාපොරොත්තුව එයයි....

කාලෙකින් ලියන්නෙ.ඡන්දෙට අහු වුණා.thecolombopost.net එකේ වැඩට ගියා.ඡන්දෙ කාලෙ වගේම ඉස්සරහටත් ඒකෙ අකුරු එක්ක මම පැටලිලා ඉන්නවා.ඒ අතරෙ හදා ගන්න විවේකයෙ මම බ්ලොග් එකත් එක්ක හාදකම තියා ගන්නවා.

මම පුතා ගැන ගොඩක් දේ ලිව්වා.මගේ බ්ලොග් හිතවතුන්ට පුතාව අමුත්තෙක් නෙමෙයි.මානසිකව අඩුපාඩුවක් තිබුණත් ආදරය ලෙංගතුකම පිරුණු ඒ හිතේ පිටාර ගලන කදුළු ගෙදර බිත්ති හතර අස්සෙ අද ඉදන් අහෙන් නැහැ.මහ හයියෙන් කෑ ගහලා උම්මාාාාා කියන්නවත් තාත්තගෙ රත්තරන් ජීවිතේ මම කියන්නවත් මේ උළුවහු ඇතුළෙන් පැන ගෙන හඩ අද ඉදන් අප්‍රේල් වෙනකං අහන්න ලැබෙන්නෙ නැහැ.
අද වීත්තීය පුහුණුව සදහා පුතා පිටත් වුණා.එයා වතුරුගම අමුණකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද ඉදලා නේවාසිකයි.

දරන්න අමාරුයි මේ තනිකම.විදින්න අමාරුයි තනිකම.අඩන්න අමාරුයි ඔක්කොටම වැඩිය.ඇයි අඩන්නෙ කියලා මගේ හිත අහනවා.ගේ ඇතුලෙ තියා ගන්න මගේ ජීවිතය පුරවා ගන්න ඒ අඩුව හිර කර ගන්න මට තියන උවමනාවට වඩා එයාට එයාගෙ අනාගතය වෙනුවෙන් දෙයක් ලැබෙන්න ඕනි.

සමහර වෙලාවට වඩු වෘත්තීය.පෙදරේරු වෘත්තිය,එමෙත් නැත්නම් කෘෂිකර්මය.පුතාගෙ සීමාවන් ඔය ටික අතරෙ සීමා වෙයි.එතනින් එහා අපිට වගේම එයාටත් හීන තියෙනවා.ඒත් එයාගෙ හීන සහ අපේ හීන වලට වඩා වැදගත් ආයතනයක් සාක්ෂාත් කර ගන්න බලාපොරොත්තු වෙන සුදුසුකම් වලින් පුතාට යන්න පුළුවන් දුරයි.

බලමු මට හදල තියන්න බැරිවෙච්ච ගෙයක් උඹවත් හදා ගන්න ඉගෙන ගනිං.මම බලා ඉන්නවා.මගෙ පුතාට මම ආදරෙයි.ඔක්කොම එකතු කළාම ඒ වචනෙට වඩා විශාල දෙයක් නැහැ.
ජයවේවා!

21 comments:

  1. කවිය කියෙව්වට පස්සෙ මොකක් කියන්න්ද කියල හිතාගන්න බැරි වුණා...
    සමහර වෙලාවට අපිත් අත්තටම ගොළුවෙල වෙලාවල් තියේ අපිටම ඒ අත්දැකීම විදින්න නොවුනත්...
    පුතාගේ අනාගත සිතුම් පැතුම් කාර්යයන් සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා පතමි

    ReplyDelete
  2. ඒ ටික ඔහු කරනවා නියතයි......

    ReplyDelete
  3. පුතාගේ අනාගතය සාර්ථක වේවි, එසේම වේවා කියා පතන්නම් ...ඔහුට ජය

    ReplyDelete
  4. පුතාගේ අනාගතයට සුභ පතනවා! ඔහු ඒ බලාපොරොත්තුව ඉහලින්ම ඉටුකරාවි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සියෙ හ්ම්!හ්ම්!

      Delete
  5. උඹ බය වෙන්න එපා... දරුවා වෙනුවෙන් ඉවසහං.. බොලාට ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ඉවසන එක මාර අමාරු වැඩක් බං.ළමය කළබල වෙයි කියලා දැන්ම කතා කරන්න එපාලු.ඒක දරන් ඉන්න බැහැ බං

      Delete
  6. පුතාට ජයම වේවා...!

    ඒ වගේම උබත් හැදෙන්න බලපන්..

    අර ලාල් කාන්තගෙ නෝනා කිව්වා වගේ..

    ReplyDelete
    Replies
    1. හැදෙයි හැදෙයි බලමු

      Delete
    2. @මාතලං...
      //ඒ වගේම උබත් හැදෙන්න බලපන්..//

      එම‘මයි මටත් කියන්න තියෙන්නෙ.

      Delete
  7. පුතාට ජය වේවා...!

    උඹට නැති වුනාට; ජීවිතය ගැන/අනාගතය ගැන හීන පුතාට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙනවා බං හීන ඉදපංකො සැබෑ කරල පෙන්නන්න

      Delete
  8. කවියයි කතාවයි කියවලා හිත පොඩ්ඩකට නැවතුනා.. හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ වගේම හැමදාම වරදින්නෙත් නෑ.. ඔබේ පුතාගේ හොඳ කාලයත් ඉදිරියේදී ලැබෙවි. බලාපොරොත්තුසහගතව ඉන්න දිරි! ජය ශ්‍රී!

    ReplyDelete