Tuesday, April 21, 2015

පිය හැඟුම් සහ දරු පෙම

ඒ තාත්තලා සහ මේ තාත්තලා - ආඩම්බරයෙන් පරාධීනත්වයට

මම මගේ පුතු ගැන ලියමි.කෙදිනකවත් උෟ ඒ දේ කියවන්නට තරම් අකුරු සාස්තරය ඉගෙනගනු ඇතැයි සිහිනයකවත් හැඟිමක් ඇතිව නොවේය.ඒ ඔහු විශේෂ දරුවෙක් බැවින්ය.ඔහුට කළ හැකි හොදම ඉගැන්වීම හොඳින් මිනිසුන් ඇසුරු කරන්නේ කෙසේද යන්නය.

එසේම මට මගේ ජීවිතයේ දූ පුතුන් රැසක් හමුවී ඇත.ඒ අයට තිබෙන අඩු පාඩුව මානසික අර්බූදයක් නොවේය.ඔවුන්ට අඩු වී තිබුණේ මව්වරුය.පියවරුය.ඒ අතර රූපකායෙන් පමණක් සිටින මව්වරු සහ පියවරුද වෙති.එහෙත් යුද්ධය,දේශපාලනය සහ සමාජයේ වෙනත් දූෂණ නිසා මව්පිය සෙනෙහස අහිමි වූ දරුවෝ අපට නිරන්තරයෙන්ම මුණ ගැසෙති.

වරක් මා මාතලේ සිට කොළඹ බලා එමින් සිටියේය.මාතලේ පැවති ප්‍රාදේශිය බැංකු ක්‍රීඩා උළෙලක මාධය සම්බන්ධිකරණය අතරතුර සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ පැවති මව්බිම පුවත්පත එළි දැක්වීමේ උත්සවයේ ප්‍රසංග කළමණාකාරිත්වය පැවරි තිබුණේ මටය. ඒ සඳහා පැමිණෙන මට මාතලේ සිට කොළඹ පැමිණෙන අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙබළකුගේ බිරිදක් සහ දියණියක් හමු වන්නේය.මගේ අසුනේ පැමිණෙන මේ දෙදෙනාගෙන් දියණිය ඉතා ඉක්මණින් කුළුපඟ වූවාය.ඇය එක වසරේ ය.

බොහෝ දේවල් මා සමග පවසමින්,ගීත ගයමින් හුරතල් වෙමින් පැමිණි ඇය මගෙ යාළුන්ගෙ තාත්තලත් ශයා වගෙලු යැයි වරෙක කීවේය.

එතකොට ඔයාගෙ තාත්තා?

.............

පියාගේ ඉරණම පිළිබද කතාව මතු වන්නේ එතැනින් ය.

අම්මෙ අපි මේ අන්කල්ව අපේ ගෙදර නවත්තගමුකො.

කොටුවෙන් බැස වෙන් වී යන්නට ආසන්නයේ මගේ අතින් මිදෙන්නට ඇති ලෝභකමෙන් ඇය පවසන්නීය.

ඒ මොකටද පුතේ?

මව දියණියගෙන් විමසූ පැනයට ඇය දුන් පිළිතුරත් සමඟ ඇයට අත වනා විසිර ගියද ඒ මවත් මමත් වචනයකුදු කතා නොකර වෙන් වූහ.

තාත්තට.අපි තුන් දෙනාට හයියෙන් බදා ගෙන දොයියන්න පුළුවන් එතකොට

ඒ තාත්තා යළි ආවාදැයි මම නොදනිමි.එහෙත් කිහිප වතාවක්ම ඒ දිනවල මගේ ඇස් ඒ මතකයෙන් තෙත් විණි.

ප්‍රසිද්ධ පාතාල නායකයෙකුගේ දියණියක් සහ මගේ පුතා එකම ළදරු පාසලේ ඉගෙන ගනිමින් සිටියේය.ඒ දියණිය ළදරු පාසලට පැමිණි මුල් කාලයේම ඔහු ඝාතනය වන්නේය.ඒ අතරතුර ළදුරු පාසලේ ප්‍රධාන ආචාර්යතුමියගේ නිවසේද මරණයක් සිදුවන අතර එයට සහභාගි වන්නට ගොස් ආපසු එන විට අර දියණියද මව ද පැමිණෙන්නේ අප සමඟය.පුතා එයට රැගෙන නොගිය නිසා සාමාන්‍යෙයන් අද දුවගේ පංතියේද සිදුවන පරිදි පැටව් ටික (පස් හය දෙනෙක්) කෝච්චියේ මා සමඟ අසුන්ගෙන විවිධ කතා කියමින් රඟමින් එන්නට විය.මා ද ඔවුන්ට හවුල් විණි.රඟ පා පෙන්වමින් ද කතා කියමින්ද මා ඔවුන්ව විනෝදවත් කරමින් පැමිණෙන අතරේ මට වඩාත්ම සමීපව සිටින්නේ අර දියණිය ය.

මාමේ ඔයා ජාරක එක්කත් මෙහෙම සෙල්ලම් කරනවද?

ඔව් පැටියො. ඇයි?

අය පිළිතුරු දෙනු වෙනුවට මා ව බදාගෙන නිහඩව සිටියි.ඇයගේ පියාගෙ සිදු වීම මතක් වී මා මුවද ගොළු වී ඇත.පොඩි එවුන් කෑ ගසයි.මා දුම්රියෙන් ඉවත බලා ගෙන ඇසට නැගෙන කදුළු පිසලන්නට වෙර ගතිමි.මගේ උරහිසට හේත්තු වි සිටින අර පුංචි දියණිය මගේ කණට ඇසෙන සේ මෙසේ කොදුරන්නේය.

ඔයා හරි ෂෙෘ්ක්... අපිට ඉතිං තාත්ත නැහැනෙ.

මෙවැනි තාත්තල නැති විශාල පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයේද මට හමු වී ඇත.මගේ උපකාරද ඇතිව අද ද ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද ඒ අතර වෙති.එහෙත් යුද්ධය නිමා වී යාපනයේ පැවති නෙස්ටමෝල්ට් මැරතන් තරගය නිමාවේ එය ජයග්‍රහණය කළ පුතු ගේ කතාව මෙහිදී වැදගත්ය.

ඔහු තරගය නිමා වී දොරේඅප්පා ක්‍රීඩාංගණයේ යකඩ වැටට අත් රිදෙනතුරු වැරෙන් පහර දුන්නේය.

එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.

ඒ යුද්ධයේ ආදීනවය.ඔහු පහර දෙන්නේ මේ ජයග්‍රහණය විද ගන්නට ඔවුන් නැතිවීමේ වේදනාවෙන්ය.

මේ සටහන ඉහළ ඡායාරූපයේ වාඩි වී සිටින පුතු නියෝජනය කරන්නේ මේ සියලුම දරුවන්ට පියවරු මව්වරු අහිමි කරන්නට යෙදුණ දේශපාලන සමාජ පසුබිම පාලනය කළ පියෙක්ගේ දරු සෙනෙහසේ තරමය.ලක්ෂ තුනක් වැනි සුළු මාසික වැටුපකට ශ්‍රී ලංකා ගුවන් සේවිකාවක් සේවයට ගන්නට තමන්ට වරප්‍රසාද ඇති කළ පියෙකුගේ සෙනෙහසය.ඔහුට පියා අහිමි වී නැත.ගැටළුව අල්ලස් කොමිසමට පියා කැදවීමය.

ඒ පියා ද වගකිව යුතු මෙරට සමාජ දේශපාලන ව්‍යහුය තුළ ඒ ක්‍රමයේ හිදැස්වලින් වැටුණු යුද්ධයට,භීෂණයට,සමාජ විරෝධි ක්‍රියාවන්ට මෙන්ම සමාජය වෙනස් කරන්නට සිය අභිමතය අනුව ගත් උත්සාහයන් වලදී ද,පීතෘත්වය අහිමි වූ දූ පුතුන්ට වඩා මේ පුතු අසරණ වන්නේ කොතැනද?

ඊයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අපූරු කතාවක් කීවේය.

මට දරුවො නැහැ.හැබැයි දරුවො මරා දාන කුඩු ගේන්න මම දායක වෙලා නැහැ.

රනිල්ගෙන් මෙතැනට වටින්නේ ඒ වචනවල බරය.එය රනිල්වාදියෙක් කර,මා දඩුකදේ ගසන්නට නොයා මෙය කියවීම වැදගත්ය.දරුවෙක් වෙනුවෙන් දෙන ශුක්‍රාණු දායකත්වය පියෙක්වීමට ප්‍රමාණවත්ය.එහෙත් පිය හැඟුම් සඳහා එය ප්‍රමාණවත් නොවේය.තමන්ගේ දරුවාගේ සුඛ විහරණය වෙනුවෙන් වැය කරන පීතෘත්වය සහ සමාජය දෙස පියෙක් ලෙස බලන්නට ඇති හැකියාව අතර සෑහෙන දුරස්කමක් ඇත.මෙවැනි ඡායාරූප පළ කළ හැකි හිස් තැන නිර්මාණය වන්නේ ඒ දුරස්කම නිසාය.ඒ නිසා දරුවෝ ගරු කළ යුතු පීතෘත්වය ලෙස ආත්මාර්ථකාමී කැපවිම් හදුනා ගන්නා අතර පියවරු දරුවන් වෙනුවෙන් ආත්මාර්ථකාමි කැපකිරිම් කරති.පිය සෙනෙහස සහ දරු සෙනෙහස වඩාත් අප සමාජය තුළ සක්‍රීයව පවතින්නේ මේ වපසරිය තුළ ය.

එය රටේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන තැනද එලෙසම පවතින්නේය.මේ ඡායාරූපය කියන ඒ දුර්භාග්‍යය අවසන් වෙන තෙක් මේ සමාජයේ දරුවන් පිතෘත්වයේ උණුසුම නොමැතිව දුක් සුසුම්ලනු ඇත.


14 comments:

  1. කියල වැඩක් නෑ, නිෂ්ම!
    මට නං ලෝකය ගැන කළකිරුනේ දරුවෙකු මරා දැමීම යනු වඳ කෙසෙල් ගසක මොටෙයියෙක් කපා දැමීමට සමාන කිරීම වැනි ඒ අපරාධ සාධාරණීකරනය කරන කතා අහපු දවසේයි.

    ReplyDelete
    Replies
    1. මාතෘ සහ පීතෘ හැඟුමෙන් ලෝකය බලන්න මිනිස්සු අඩුයි රසික

      Delete
  2. කියවලා ඇතිවුන හැඟීම් කියන්න වචන නෑ.ඔය කතාව මේ විදිහට නැතුව වෙන කොහොම මේ විදිහට දැනෙන්න ලියන්නද?
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මේ හිස්තැන පිරෙන්නම ශ්නි සතුට ගලන්න

      Delete
  3. සමහර දේවල් තියෙනව කියෙව්වපුවාම අහපුවාම කියන්න වචන නැතිව ගොළුවෙන සමහර දේවල් ගැන අපි හිතන විදියයි ඒ දේවල් වලට සම්බන්ධ වෙලා ඉන්න අයටයි ඇත්තටම දැනෙන දේ අතර සෑහෙන ලොකු පරතරයක් තියෙනව

    ReplyDelete
  4. හුඟක් දරුවො හුදෙකලා වෙලා ඉන්නෙ.අපි උන්ට ඕනි දේ හැටියට හිතන දේ නෙමෙයි උන්ට ඕනි.ඒක චක්‍රයක් වගේ යනවා.මනුස්සකම වද වෙනවා.

    ReplyDelete
  5. උන්ට දෙයක් වුනොත් විතරයි දුක දැනෙන්නේ.මුළු මහත් සමාජයම දවස ගාණේ විඳින දුක වේදනාව උන්ට පේන්නේ නැහැ,දැනෙන්නේ නැහැ.ඒ වගේ කාලකන්ණි පාලනයක් ගෙදර යවන්න හැකිවීමම අපි ලැබූ ජයග්‍රහණයක්.
    ප්‍රගීත් එක්නැලිගොඩගේ ළමයි තාත්තා ඉල්ලලා ඉන්නකොට ඔය දැන් පාර්ලිමේන්තුවේ බුදියගෙන උපවාස කරන අමනයෙක් කිව්වා ප්‍රගීත් ප්‍රංශයේ ඉන්නවා දැක්කා කියලා.එහෙම අමනයෝ ඕකුන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රගීත් එක්නැලිගොඩගේ ළමයි තාත්තා ඉල්ලලා ඉන්නකොට ඔය දැන් පාර්ලිමේන්තුවේ බුදියගෙන උපවාස කරන අමනයෙක් කිව්වා ප්‍රගීත් ප්‍රංශයේ ඉන්නවා දැක්කා කියලා.එහෙම අමනයෝ ඕකුන්.හුදෙකලා පියවරු.මම ඒ කියපු කෙනාගෙ දරුවට උගන්නල තියෙනවා.ඒ දරුව පුදුම විදිහට ආදරය බලාපොරොත්තු වෙන දරුවෙක් මනෝජ්

      Delete
  6. ජාතියේ පියාට අනම් මනම් කියන්නෙපා හරිය... ඒ කොල්ලට බඩු ගහන්න බැරුව, රගර් ගහන්න බැරුව. කාර් රේස් පදින්න බැරුව විඳින දුක ඔහේට තේරෙන්නේ නැතියි.. එතකොට උන් දරුවෝ නොවෙයිය...

    ReplyDelete
    Replies
    1. ඔය පියාට ඉස්සරහට පිං කෑල්ලක් දාලා ගම්මුකො මාතලන්.එතකොට දරුවයි පියයි කොච්චර පිංංවන්තද බං

      Delete
  7. අනුන්ට දැනෙන දේ තමන්ටත් දැනනවා කියලා මිනිස්සු තේරුම් ගන්න ඔ්නේ නිෂ්මචං

    ReplyDelete
    Replies
    1. තේරෙන්න දැනෙන්න ඕනි නෙ බං

      Delete